Friday, December 2, 2022

ජූලි අහස නැවතත් කළු දුමින් වැසෙන්නට ඉඩ නොතබමු.  -රංජිත් හේනායක ආරච්චි

මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහතදී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ  මිනිස්කමද අඳුරු යුගයකට ඇද දැමුණි. අද නැවත වසර 39 ක ට පසුව ජූලි මස ලංකාව ඉතා අවදානම් මොහොතක පසුවන බව මගේ වැටහීමයි. එදා කළු ජූලිය ඇති කරනු ලැබුවේ අද තාවකාලික ජනාධිපති ධූරය දරන රනිල් වික්‍රමසිංහගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධනගේ නිහීන අත්තනෝමතික පිළිවෙත හේතුවෙනි. එම සිද්ධිය පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතු මැයකි.

තම ජනතාව මත  නිහීන ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමින් ලංකාවේ එදා ඒ ජූලි මස මිනිස් ඝාතනයන් සහ දේපල විනාශයන් වලට හේතු පාදක වූ ඉතිහාසය දෙස අප මොහොතක් බැලිය යුතුය.

“එදා ජයවර්ධන ලංකාවේ අහස කළු දුමින් වසාදැමීමට ක්‍රියාකර රට විනාශ මුඛයට ගෙන ගිය බව අප අද දන්නෙමු. නැවතත් ජයවර්ධනගේ බෑණා රනිල් පිළිබඳව ලිබරල් බලාපොරොත්තු තබා ගත් අප රටේ බොහෝ දෙනෙකු ඔහු අද රට ගෙන යමින් තිබෙන අගාධය තේරුම් නොගන්නා බව මගේ වැටහීමයි.”

කඳුරට දෙමළ ජනයාගේ අයිතිය කෙළෙසීම

සුදු අධිරාජ්‍යවාදීන් අතින් ලංකාවට නිදහස ලැබෙන්නේ 1948 දී වන අතර රටෙහි ප්‍රභූ පන්තියෙන් කොටසක් රටෙහි පාලනය අතට ගැනීම මගිනි.  පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඩී. ඇස්. සේනානායකගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිට වූ අතර එම ආණ්ඩුව විසින්  සම්මත කළ පුරවැසි පනත මගින් මිලියනයකට වැඩි ජන කණ්ඩායමක  පුරවැසි අයිතිවාසිකම් අහිමි කර දැමීම තුළින් රට තුළ රටක් නැති ජනතාවක් බිහි කරනු ලැබුණි. ඒ වන විට රටේ ජනගහනය මිලියන අටක පමණ වූ අතර ඇත්තෙන්ම එසේ රටක් නැති මිනිසුන් බවට පත් කරනු ලැබූ ජන කණ්ඩායම රටෙහි ජනතාවගෙන් සියයට දහයක් පමණ කොටසක් විය. ඒ වාගේම මෙහිදී මා මතක් කළ යුතු තවත් ප්‍රධාන කරුණක් ඇත. මෙම පුරවැසි පනත මගින් පුරවැසිභාවය අහිමි කරනු ලැබූ වතු කම්කරු ජනතාව ඒ වන විට මේ රටේ ප්‍රධාන නිර්යාතයන් වන තේ සහ රබර් නිෂ්පාදනය තුළින් රටෙහි ප්‍රධාන ආදායම් මාර්ගය සකස් කළ කණ්ඩායම වූ බවයි. ඇත්තෙන්ම කියන්නේ නම් ඔවුන් රටට ආහාර සැපයූ මිනිසුන්ය. ඒ එදා ඒ නිර්යාත වලින් ලබන ආදායම් වලින් සහල් පිටරටින් ලංකාවට ගෙනැවිත් ලංකා ජනතාවගේ කුස ගින්න නිවීමේ කාර්යයට දායක වූයේ මෙම වතු කම්කරු ජනතාවය.

ප්‍රජාතන්ත්‍රවාදයට වළ කැපීම

සුදු අධිරාජ්‍යවාදීන් විසින් විවිධ හේතූන් නිසා ලංකාව තුළ ඇති කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ක්‍රමවත්ව කප්පාදු කිරීම ආරම්භ වෙන්නේ එසේ රටට කෑම සැපයූ මිනිසුන් ගේ මානුෂික අයිතීන් නැති කරමිනි.

ඊළඟට 1956 සිංහල පමණක් යන පනත මගින් රටෙහි 4න් එකකට ආසන්න ජනතාවක් කතා කරන දෙමළ භාෂාව දෙවැනි තැනකට ඇද දමනු ලැබීය.

“ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ”

මේ තත්ත්වය තුළ දෙමළ දේශපාලන පක්ෂවලින් තම අයිතීන් විශේෂයෙන්ම භාෂා අයිතිය සමතැන ඉල්ලමින් ඇතිකළ සාමකාමී අරගලයන් වලට රාජ්‍ය මර්දනය යොදමින් දෙමළ නායකයින් සිර කරමින් සමහර අවස්ථාවන්හිදී වෙඩි තබා මරා දමමින් දිගින් දිගටම දෙමළ ජනතාව මත මර්දනය හස්තය දියත්කරවනු ලැබීය.

මෙම සාමකාමී ඉල්ලීම් දිගින් දිගටම දෙමළ දේශපාලන පක්ෂ විසින් කරගෙන යනු ලැබූවද සිංහල දේශපාලන නායකත්වය විවිධ උප්පරවැට්ටි යොදමින් “රට බෙදීමට ඉඩ නොදෙමු.” “ සක්විති රජකම ලැබුනත් රට නොබෙදමු.” “ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ” වැනි පාඨයන් යොදා ගත් අන්දම අපට තවමත් මතක් කළ හැක.

කෙසේ වුවද එක දිගට ම දෙමළ බස කතාකරන මන්ත්‍රීවරුන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයන් කරගෙන යන ලැබූ නමුත් ඔවුන්ට කිසි දිනක ඇහුම්කන් දීමේ උවමනාවක් පක්ෂ භේදයකින් තොරව  සිංහල ජාතිවාදී නායකත්වයට නොතිබුණි.

එල්ටීටීඊය ශක්තිමත් වීම කලු ජූලියේ විපාකයකි.

1971 අප්‍රේල් කැරැල්ල ඇති වන විට ලංකාවට නිදහස ලබා ගත වී තිබුණෙ වසර විසි තුනකි. ඒ දකුණේ සිංහල තරුණ තරුණියන්ගේ නැගිටීම සහ එහි හරි වැරදි වෙනම කථා කළ යුතුය. මේ අවදියේම උතුරේත් දෙමළ තරුණයින් අතර ජාතික ව්‍යාපාරය ඇති වන්නේ මෙතෙක් සාමකාමීව කළ ඉල්ලීම් වලින් අපට අපේ අයිතීන් නොදෙන්නේ නම් අප නුඹලාගෙන් අයිතීන් හිඟා නොකමු, අප සටන් කර අයිතීන් දිනා ගන්නෙමු යන සටන් පාඨය යටතේය. එය දෙමළ ශිෂ්‍ය සංවිධානයේ සිවකුමාරන්ගේ නායකත්වයෙන් ඇරඹුනි.

මෙසේ ආරම්භ වන දෙමළ තරුණ නැගිටීම ඉතා කුඩා කණ්ඩායමක් ලෙස උතුරේ යම් සන්නද්ධ ක්‍රියාදාමයන් වල යෙදෙන අතර හැත්තෑ ගණන්වල අග භාගය වන විට මෙම කණ්ඩායම නව දෙමළ කොටි යන නම යටතේ ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. හැත්තෑ නමයේදී රහස් පොලිස් නිලධාරීන් වන බස්තියන් පුල්ලේ සහ තවත් හතරදෙනකු මෙම තරුණයින් විසින් ඝාතනය කරනු ලැබීම සමග එවකට රටෙහි ජනාධිපතිවරයාව සිටි ජේ ආර් ජයවර්ධන මාස තුනකින් උතුරේ ත්‍රස්තවාදය වැනසීමට යැයි කියා “ත්‍රස්තවාදය වැළකීමේ පනත” සම්මත කරමින් බ්‍රිගේඩියර් වීරතුංග යටතේ සන්නද්ධ ඒකකයක් උතුරට යැවූයේ මාස තුනකින් ත්‍රස්තවාදය අතුගා දැමීම සඳහායි.

මෙම හමුදා කණ්ඩායම උතුරේ සිවිල් වැසියන් අත්අඩංගුවට ගනිමින් අඩන්තේට්ටම් කරමින් මරා දමමින් දේපල හානි කරමින් ලිංගික බලහත්කාරකම් කරමින් උතුරේ සිහිවටන ස්මාරක කවීන්ගේ වැනි කඩා බිඳ දමමින් සංහාරක යෙදුණි. එහි ප්‍රතිඵලය ලෙස තරුණයින් වනගත වෙමින් ඒ වන විට සැඟව සිටි දෙමළ සටන් කාමින් සමග එක් වීම සිදුවිය. එමෙන්ම මේ අවධිය වන විට මෙම කණ්ඩායම් අතර මත ගැටුම් හේතුවෙන් කණ්ඩායම් ගණනාවක් බිහි විය. ප්‍රභාකරන් ගේ නායකත්වය යටතේ දෙමළ කොටි සංවිධානයත්, උමා මහේෂ්වරන්ගේ නායකත්වය යටතේ පොලොට් සංවිධානය, කුට්ටුමනී සහ ශ්‍රී සභාරත්නම් වැනි අයගේ නායකත්වයෙන් ටෙලෝ සංවිධානයත්, පද්මනාභා ගේ නායකත්වයෙන් ඊ පී ආර් එල් එෆ් සංවිධානයත්, බාලකුමාර් සහ රත්නසබාපතිගේ නායකත්වයෙන් ඊරෝස් සංවිධානයත් වැනි සංවිධාන ගණනාවක් බිහි විය. මේවා ඉතා කුඩා කණ්ඩායම් වූ අතර මේ සෑම එකකම ඉල්ලීම වූයේ දෙමළ ඊළමක් ඇතිකර ගැනීමයි.

කෙසේ වුවද 1983 ජූලි මස දිනක ප්‍රභාකරන් ගේ නායකත්වයෙන් පැවති එල්ටීටීඊ සංවිධානය විසින් බිම් බෝම්බයක් තබා උතුරේ මුර සංචාරයක යෙදෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් පුපුරවා යැවීම තුළින් සෙබලුන් දොළොස් දෙනෙක් හෝ දහතුන් දෙනකු මරා දැමූ බව මගේ මතකයයි.

ඬුවම් නියම වූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී (මැද), ජෙගන් (වමේ) හා ඥාණවේලු (දකුණේ) – 1982 අගෝස්තු )

මේ වන විට විවිධ තත්වයන් තුළ අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ දේශපාලන සිරකරුවන් වැලිකඩ ඇතුලූ බන්ධනාගාර වල සිර කර තිබුණි. කුට්ටුමනී ඇතුළු කැරලිකාරී දෙමළ තරුණයන් ප්‍රමාණයක් ද දොස්තර රාජසුන්දරම් ඇතුළු අවිහිංසාවාදී ගාන්ධියන් ව්‍යාපාරයේ කොටසක්ද මේ වන විට අත්අඩංගුවේ පසු විය.

සෙබළුන් මරා දැමීම පිළිබඳව විශාල ප්‍රචාරයක් දෙමින් ජේ ආර් ජයවර්ධන මෙම සෙබළුන්ගේ සිරුරු කොළඹට ගෙන එමින් ඒ සමගම පොලිසි සහ හමුදාවන් වල සහය ලබන කොටස් වලට තමන් කැමති ආකාරයකින් රට තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව නැතිනම් ඔ්නෑම හිංසන ක්‍රියාවකට ලයිසන් දෙනු ලදී.

කලු ජූලිය එජාපයේ නිර්මාණයකි

රටෙහි නමගිය දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ චරිත මැර කණ්ඩායම් මෙහෙයවමින් කොළඹ ගෙවල් ගිණි තබමින් අමු අමුවේ පණ පිටින් මිනිසුන් ගිනි තබමින් දේපල කොල්ල කමින් ජාති ආලය නම් සටන් පාඨය යටතේ ත්‍රස්තවාදය විනාශ කිරීමේ ක්‍රියාදාමය ඇරඹීය. මෙම මැරවර කණ්ඩායම් වලට පොලිසිය සහ හමුදාවේ සහාය ලැබුණු අතර ජේ ආර් ජයවර්ධන දින ගණනක් යනතුරු මෙම පොලිස් ක්‍රියාදාමයන් නිල වශයෙන් ම නතර කරන ලදී. දහස් ගණනක් අමු අමුවේ මරා දැමුණි. පවුල් පිටින් ඇවිලෙන ගිනිනට විසිකර දහස් ගණනින් කඩසාප්පු මංකොල්ලකා ගිනි තබමින් කොළඹ එමෙන්ම තවත් ප්‍රධාන නගරවලත් මෙසේ දෙමළ ජන ඝාතනයක් ඇරඹීය. පිළිස්සෙන මලමිනි සහ දේපළවලින් උඩට නගින කළු දුමින් ජුලි මාසයේ ලංකා අහස මුළුමනින්ම අඳුරු විය. ලක්ෂ ගණනක් ජනයා තම උපන් බිමේ අනාථයින් බවට පත් විය. ඔවුන් සතු සියලු දේපළ ඇඳි වතට පමණක් සීමා වන මට්ටමට ඔවුන්ව කොල්ල කා ඔවුන්ගේ දේපළවලට ගිනි තබනු ලදී. කොළඹ සහ අවට ප්‍රදේශ වල අනාථ කඳවුරු ඇති කර ඉන්පසු ඔවුන්ව නැව්වලින් උතුරට ගෙන යනු ලැබුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තරය විසින් ඇති කරන බලපෑම හේතුවෙනි.

මෙම කාලකන්නි දේශපාලනයට සිංහලයින් අතර විවිධ කණ්ඩායම් විරුද්ධ වූවා වුවත් සිංහලයින්ගෙන් වැඩිදෙනෙක් එදෙස බලාගෙන නිහඬ විය. ඒ වාගේම රජය විසින් ප්‍රචාරය කරන සියලුම ජාතිවාදී බොරු ප්‍රචාරයන් දෙමළ ජනයාට එරෙහිව ඔවුන් ගිල ගන්නා ලදී.

මේ වන විට සිරගෙදර සිරකර සිටි දෙමළ සිරකරුවන් 54 දෙනෙකු දින දෙකක් තුළ පොලු වලින් ගසා කටු වලින් ඇණ මන්න වලින් කපා මරා දමනු ලැබුවේ අමු තිරිසන් ක්‍රියාවක් ලෙසිනී. කුට්ටුමනී සහ දොස්තර රාජසුන්දරම් දෙදෙනාම මේ මරා දැමූවන් අතර විය.

ලොව පුරා විරෝධතා

මෙම මරාදැමීම් ගිනි තැබීම් ලෝකය පුරා මාධ්‍යයෙන් ප්‍රචාරය වුණු අතර එවකට ජර්මනියේ සිටි මට මෙහි රූපවාහිනියෙන් ඒ සහගහන සාපරාදී අපරාධ දෙස තුෂ්නිම්භූතව බලා සිටීමට සිදු විය.

 

මෙම පිළිකුල් සහගත තුච්ච ඝාතනවලින් පසු ලෝකය පුරා එවකට අධ්‍යාපනයේ හෝ විවිධ රැකියා වල යෙදී සිටි දෙමළ තරුණයන් සහ තරුණියන් වෙත පණිවිඩයක් ලැබුණි. ඒ ලංකා භූමිය තුළ දෙමළ මිනිසුන්ට කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙම සිංහල රාජ්‍යය විසින් ලබා නොදෙන බවයි. තම හිත මිතුරන් ඥාතීන් මරාදමන දෙස බලා සිටී දෙමළ තරුණයන් තමන්ගේ දැනුම සහ ධනය සමග අර වල් වැදී සිටි කුඩා කණ්ඩායම් වූ සටන්කාමී කණ්ඩායම් වෙත නැඹුරු විය. මෙසේ ඇරඹුණු දෙමල අරගලය කොතෙක් දුර ගියා ද යන්න මෙයින් එහාට සාකච්ඡා කළ යුතු කරුණකි.

“ලිබරල්” ජේ ආර්ගේ ගෝල “ලිබරල්” රනිල්

එදා ජයවර්ධනගේ අනුගාමිකයින් වූ බොහෝ දෙනෙකු සිතා සිටියේ ඔහු ලිබරල් නායකයකු ලෙසිනි. ඔහු රටට කළ දෙය දීර්ඝකාලීන යුද්ධයකිනුත් ජන වර්ග අතර බෙදීම් උග්‍ර වීමෙනුත් ඒකාධිපති ස්වරූපයක ව්‍යවස්ථාවකිනුත් අප අද වෙනතුරුම අත්විඳිමින් සිටිමු. එදා ජයවර්ධන ලංකාවේ අහස කළු දුමින් වසාදැමීමට ක්‍රියාකර රට විනාශ මුඛයට ගෙන ගිය බව අප අද දන්නෙමු. නැවතත් ජයවර්ධනගේ බෑණා රනිල් පිළිබඳව ලිබරල් බලාපොරොත්තු තබා ගත් අප රටේ බොහෝ දෙනෙකු ඔහු අද රට ගෙන යමින් තිබෙන අගාධය තේරුම් නොගන්නා බව මගේ වැටහීමයි. නැවත මෙම ජූලි මාසයේ ලංකා අහස කළු දුමේ අඳුරින් වැසී යන රටක් බවට පත්කිරීමට ඉඩ නොතැබීම රටෙහි ජීවත් වන කාගේත් යුතුකම බව ද මගේ වැටහීමය. මෙවර අහස කළු දුමින් වැසුණ හොත් එය තවත් දීර්ඝ කාලීන ඛේදවාචකයක ආරම්භය පමණි. එය වලකාගැනීම අප කාගේත් යුතුකමයි.

රංජිත් හේනායකආරච්චි.

Archive

Latest news

Related news