Friday, November 22, 2024

අරගල බිමෙන් පාඩම් – දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය

ඡායාරූපය: රඹුක්කනදී මරා දමන ලද විරෝධතාකරු වෙනුවෙන් ඉයේ රැයෙහි ගාලු මු දොර පැවැති අනුස්මරණය.

ශ්‍රී ලාංකීය ජනතාව එකාවන්ව නැගිට මේ පෙන්වන්නේ අතිමහත් සහෝදරත්වයේ සහ සුහදත්වයේ අරගල බිමකි. මේ දැවැන්ත අරගල බිම බලාපොරොත්තු සහගත හෙටක් ගැන කදිම චිත්‍රයක් මවා පායි. ජනතා අරගලය විසින් මිනිසුන්ගේ ජීවිතවලට අද අලුත් පන්නරයක් සහ අරුතක් එක් කර දී ඇත. අරගල බිම ම පීඩිත මිනිසුන්ගේ පාඨශාලාව වී ඇත. දේශපාලකයින් උන්ගේ උවමනාවන් වෙනුවෙන් ආගම් සහ ජාතීන් කොටවමින් මේ වෙන තෙක් ම ලංකා ඉතිහාසයේ සිදු කොට ඇත්තේ මිනිසුන්ගේ මළ කඳන් මතින් උන්ගේ බලය සහ ආධිපත්‍යය පැතිරවීමේ ම්ලේච්ඡ කටයුත්ත බව අද අරගල බිමේ සාකච්ඡාව ට ලක්වෙන මහඟු පාඩමකි.

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය කෙරේ විශ්වාසය සහමුලින් අහෝසි වී ඇති මොහොතක රාජපක්ෂ අගමැතිවරයා සාකච්ඡාවකට තරුණයින් ට ආරාධනා කර ඇත. කිසිදු විශ්වාසයක් ගොඩ නැගී නැති තැනක සාකච්ඡා පවත්වන්නේ කෙසේද?

පාඩම් කියා දෙන තෝතැන්න

අරගල භූමිය ජනතාව ට පාඩම් කියා දෙන තෝතැන්න බවට පත්වී ඇත. විචාරශීලී ව, නිර්මාණාත්මක ව, සහ අහිංසාවාදී ව තම අයිතීන් ඉල්ලා සිටින්න ට, සහ පාලකයින් ට බලපෑම් කරන්න ට අලුත් ක්‍රමවේදයන් ජනතාව විසින් හඳුනාගෙන ඇත. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අලුත් සිතීමක් ජනිත කරන්න ට ජනතාව ට පන්නරය සැපයුවේ ඔවුන් විසින් තම උවමනාවෙන් ම අරගල බිමට එක්වීමෙනි. එහිදී අනෙකා සමග සහයෝගී වන්න ට, අනෙකා කෙරේ වටිනාකමක් ලබා දෙන්න ට, සහ අනෙකා හා සමග අරගලයේ නියුක්ත වන්න ට මිනිසුන් ඉගෙන ගෙන ඇත.

මේ තාක් සියලු ආණ්ඩු කලේ සිතන මිනිස්සු සිර කිරීම ය. නමුත් අද ජනතාව ඉදිරියට විත් කියන්නේ තමන් තවදුරටත් ඒ වහල්භාවයේ සිරවී සිටීමට සූදානම් නැති බවය. පක්ෂ සහ පාට පදනම් කරගෙන ජනතාව තුළ වහල් මානසිකත්වයක් පවත්වා ගැනීමට සෑම දේශපාලන පක්ෂයක ට ම හැකියාව තිබුනි. නමුත් ඒ වහල්බවින් මිදී ගොඩ ඒමට අද ජනතාව තීන්දුවක් ගෙන ඇත.

අරගලය විසින් ජනතාවගේ සිතීමට සහ ජීවිතය ට එල්ල කොට ඇති අභියෝගයන් එමට ය. පීඩකයාගේ ව්‍යාජ සුබසාධන වැඩ පිළිවෙලට හසු නොවීම ඉන් එක් අභියෝගයකි. මිනිසුන් මෙල්ල කරන මේ අවිය පීඩකයා යොදා ගනිමින් මේ තාක් කර ඇත්තේ දුප්පත්කම පවත්වා ගැනීම ය. දරිද්‍රතාවය නිසා වැඩි වැඩියෙන් දේශපාලකයා ඉදිරියේ සිඟමනේ යන්න ට මිනිසුන් ට සිදු වී ඇත. මේ නිසා හැම තලයකදීම තමන්ගේ ඡන්ද තුරුම්පු බවට ජනතාව පත් කරගැනීමට දේශපාලකයෝ කටයුතු කර ඇත. උදාහරණයක ට අද දවසේ රැකියාවක් ලබා ගැනීමට තරුණ තරුණියන් ඇදී යන්නේ දේශපාලකයා පසුපස ය. මේ දේශපාලන පසුබිම මගින් ලංකාවේ ජනතාව හැමදාමත් හිඟන්නන් කොට ඇත. අද, ජනතා අරගලය විසින් ඉල්ලා සිටින්නේ ජනතාවගේ අභිමානය සහ ස්වාධීනත්වය ස්ථාපිත කරන දේශපාලන ක්‍රමයක් තනා ගත යුතු බවයි.

දේශපාලකයා අතේ නැටවෙන ඉත්තෙක් නොවන බව

ජනතාව තම අරගලය හරහා කියා සිටින්නේ තමන් තවදුරටත් දේශපාලකයා අතේ නැටවෙන ඉත්තෙක් නොවන බවයි. පවුල්වාදය, මිත්‍ර සංග්‍රහය, මුදල් මංකොල්ලය වැනි කාරණා හරහා ඉදිවී ඇති ලංකාවේ දේශපාලන බඩගෝස්තරවාදය ට දැන් අරගල බිමේ ජනතාව උත්තර දී ඇත. දේශපාලකයා ජනතාවට වග විය යුතු බව ජනතාව අවධාරණය කොට සිටී. ඒ වගවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහාම ගොඩ නැගිය යුත්තකි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ව්‍යවස්ථාදායකයත්, විධායකයත් ප්‍රශ්ණ කල හැකි ඉඩක් ජනතාවට විවෘත කර ගැනීම මේ අරගලයේ අත්‍යවශ්‍ය පාඩමකි. ජනතාව සක්‍රීය ව ආණ්ඩුකරණය ට සහභාගි විය හැකි අවකාශයක් නිර්මාණය කරගනිමින්, ජනතාව හුදෙක් ඡන්ද දායකයින් වීමෙන් වැළකී, සැබෑ ලෙස රටේ සාමාන්‍ය නීතිය ඉදිරියට විධායකය සහ ව්‍යාවස්ථාදායකයේ සාමාජිකයින් පැමිණවීමේ ඉඩ ජනතාව ඉල්ලා සිටී.

පවතින පාදඩ දේශපාලන ක්‍රමයට එරෙහි ජනතාවගේ වෛරය, සහ කේන්තිය එහි උච්ච අවස්ථාවට ම පැමිණ ඇත. බොරු බේගල් ඇද බාමින්, රටේ ආර්ථික ගැටලුව ජනතාවගෙන් වසන් කල පාලකයින්, ජනතාවගේ ඉවසීම හෑල්ලුවට පත් කලහ. අද අරගල බිමේ සිටින ජනතාව මේ කපටි පාලක පන්තිය ට දැවැන්ත අභියෝග ගණනාවක් ඉදිරිපත් කර ඇත. ජනතාව තවදුරටත් ඉවසනු ඇතැයි සිතීම පාලකයාගේ මිථ්‍යාවකි. 1948 සිට පැවති විවිධ ආණ්ඩු ඒ මිථ්‍යාවේ සිරවී සිටියේ ජනතාව ද තමන්ගේ හඬ අවදි කරන්නට කල් මැරූ නිසා ය. නමුත් 1971 සහ 1989 තරුණ නැගිටීම් සහ තිස් වසරක දෙමළ තරුණ අරගලය ද ඒ මිථ්‍යාව පුපුර වන්න ට මතු වූ ඒවා ය. 2022 වන විට මේ රාජපක්ෂ ජනාධිපති සහ ඔහුගේ ආණ්ඩුව කලේ ජනතාවගේ පීඩනය මර්ධනය කරන්නට හැම උපායක්ම යෙදීම ය. නමුත් ජනතාවගේ පීඩනය අද පුපුරා ගොස් ඇත.

සාකච්ඡාව හො මෙවලමකි.. ඒහෙත්

අද, වර්තමාන ආණ්ඩුව වහසි බස් දොඩමින් කියන්නේ තමන් ප්‍රජාතන්ත්‍රීය ව කටයුතු කරන බවය. නමුත් මේ ප්‍රෝඩාව ගැන අවදි වුනු ජනතාව, ඊට එරෙහි ප්‍රතිචාරය ජනතා අරගලය තුළින්ම එළිදක්වා ඇත. ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය කෙරේ විශ්වාසය සහමුලින් අහෝසි වී ඇති මොහොතක රාජපක්ෂ අගමැතිවරයා සාකච්ඡාවකට තරුණයින් ට ආරාධනා කර ඇත. කිසිදු විශ්වාසයක් ගොඩ නැගී නැති තැනක සාකච්ඡා පවත්වන්නේ කෙසේද? සාකච්ඡාව හො මෙවලමක් වුවත්, පවතින පාලනය ජනතාව අතර ඇති කොට ඇති අවිශ්වාසය නිසා සාකච්ඡාව ට ඉඩ ඇහිරී ඇත.

රාජපක්ෂ පාලනය 2009 න් පසුව කලේ යුද්ධය විකුණමින් තමන්ගේ ජයග්‍රහණයන් ගැන උදම් ඇනීම ය. නමුත් ඒ යුද්ධය විසින් ජනිත කෙරුනු මේ ආර්ථික අර්බුදය දකින්න ට ජනතාවට පවා නොහැකි විය. නමුත් දේශපාලකයින්ගේ මුදල් කොල්ලය සහ විනිවිද බවක් නොතිබීම දිගින් දිගටම ජනතාව මත ආර්ථික බරක් පටවන්නක් බව ජනතාවට අවබෝධ විය. ලංකාවම ආර්ථික ගොහුරේ සිර කොට මේ රාජපක්ෂ පාලනය බොරු බේගල් ඇද බාමින් ජනතාව රැවටීමේ කාරියේ යෙදුනි. ඒ නිසා අරගල බිමේ ජනතාව තවත් ඒ බොරු බේගල් වලට හසුවන්නේ නැත.

අරගලය අවිහිසංවාදීය

අද මේ ජනතා අරගලය, 1971 සහ 1989 තරුණ නැගිටීම් වලට වඩා වෙනස් සොබාවක් දරයි. අද හිංසනය ට ඉඩක් නැත. අහිංසාව අවිය කරගනිමින් වර්තමාන පාලක පංතියට ඉවත් වන ලෙස ට ජනතාව බල කර සිටියි. මේ අහිංසාවාදී අරගලය සාධාරණත්වය, යුක්තිය, සහ නිදහස ඉල්ලා සිටී.

අවුරුදු තිහක යුද්ධයෙන් ලංකාව දිනාගත් දෙයක් නැත. දෙමළ ජාතික ගැටලුවට කිසිදු විසඳුමක් ගෙන එන්නට රට කරවූ රාජපක්ෂලාට හැකිවූයේ නැත. අද දකින ආහාර හිඟය සහ තෙල් පෝලිම්, එදා දෙමළ ජනතාව යුද සමයේ දී වඩාත් බරපතල ලෙස අත්වින්ද හ. අතුරුදහන් වූවන් සහ ඝාතනය කෙරුන වුන් වෙනුවෙන් එදා පාරේ සිටගත් දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් අදත් පාරේ සිටගෙන සිටිනු දැකිය හැක. යුද්ධයේදී තමන්ගේ දේපල අහිමි වූ පිරිස් තවමත් අතරමංව සිටිති. ජාතික ගැටලුව බැරෑරුම් කාරණයක් සේ දකින්න ට රාජපක්ෂලා ට නොහැකි වීමෙන් අදටත් ඒ කාරණය එලෙසින් ම නොවිසඳී පවතී.

අලුත් ක්‍රමයක දේශපාලනයක්

දේශපාලන සිරකරුවන් ගැන ද මෙතැනදී අප මෙතැනදී අමතක නොකල යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවට ගෙන ආ 20 වැනි සංශෝධනය හරහා ජනතාව ට දේශපාලකයා ප්‍රශ්ණ කරන්නට ඇති සියලු අවස්ථා අහුරා ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ජනතාවගෙන් මේ අණ පණත් හරහා උදුරා ගෙන ඇත. මේ ජනතා අරගලය අලුත් ක්‍රමයෙක දේශපාලනයක් (සිස්ටම් ජේන්ජ්) බලාපොරොත්තු වෙනවා නම් මේ මර්ධනකාරී අණපණත් අතු ගා දැමිය යුතුය. සියලු දෙනා ට සමාන ගරුත්වයකින් යුතුව ජීවත්වෙන්නට අයිතියක් දීමෙන්, ජනතාවගේ නිදහසේ හඬට ඉඩකඩ දීමෙන්, ලංකාවේ සියලු ප්‍රජා කොටස් ආරක්ෂා කෙරෙයි. අප සොයන අලුත් දේ වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් තැනීම අත්‍යවශ්‍ය ය.

අරගල බිමේ සහෝදරවරුනි, ශ්‍රී ලංකාවේ බහුලත්වය ට සහ විවිධත්වයට ගරු කරන්න ට අරගල බිම ඉඩ විවර කර ඇත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ තවත් ජාතීන් මේ අරගලය ට දායක වී ඇත. නමුත් මේ කාරණය හුදෙක් සංස්කෘතික සංදර්ශණයක් කර ගැනීමෙන් වැළකිය යුතුය. සැබෑ ලෙසම සංඛ්‍යාවෙන් සුලු ජාතීන් හා ආගම් සඳහා ඇති සම අයිතිය තහවුරු කිරීම ක්‍රියාවෙන්ම ඔප්පු කොට සිටීම වැදගත් ය. මන්ද, හැමවිටම දේශපාලකයා කලේ ඒ බහුලත්වය ට පහර දීමය. රාජපක්ෂවරුන් ද ඊට පහර දුන්නේ “එක රටක් එක නීතියක්” යන පාඨය හරහා ය. නමුත් ඒ ජරාජීර්ණ සටන්පාඨවලට එරෙහි වන්න ට ජනතාව තුළ සැබෑ උවමනාවක් සහ ක්‍රියාකාරිත්වයක් තිබිය යුතුය.

මිනිසුන් හිඟන්නන් නොකරන, මිනිසුන් ට අභිමානයෙන් ජීවත්වෙන්න ට හැකි දේශපාලන පසුතලයක් නිර්මාණය කර ගමු!

Archive

Latest news

Related news