Thursday, March 28, 2024

ජන ජීවිතය පූර්ණ වශයෙන් අවුල්; භයානක ජාතිවාදී හා ආගම්වාදී ගැටුමක අනතුරක් – කරු ජයසූරිය

ඡයාරූපය: විපක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයට උසාවි නියෝග ද අභිබවා ඊට බාධා එල්ල කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

ගංවතුර, නායයාම් ආදී ස්වාභාවික විපත් නිසා ඇතිවූ ජීවිත හානි මෙන්ම  කොවිඩ් වසංගත තත්වය නිසා රෝගීන් සංඛ්‍යාව වැඩි වීම රටටත් ජනතාවටත් තදින්ම බලපෑම් ඇති කර තිබේ.

ඊට අමතරව රජයේ කළමනාකාරීත්වයේ දුර්වලතා හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෑස්,සීනි,කිරිපිටි වැනි එදිනෙදා ජීවිතයට උපයෝගී වන දේ ද ලබා ගැනීම සඳහා ජනතාවට පැය ගණනක් පෝලිම්වල කල් ගෙවීමට සිදුව ඇත.

මේ අනුව  බලන විට ජන ජීවිතය පූර්ණ වශයෙන් අවුල් වී ඇත.

20 වැනි සංශෝධනයෙන් අසීමිත බලතලත් 2/3 පාර්ලිමේන්තු බලයක් ලැබුණ ද මෙම ප්‍රශ්ණ විසඳීමට රජය අපොහොසත් වීම නිසා ජනතාව තුළ විශාල කලකිරීමක් ඇති වී තිබේ.

ඊට අමතරව පොහොර ප්‍රශ්නය සැලැස්මක් නොමැතිව  ක්‍රියාත්මක කිරීම නිසා මහා වියවුලක්  බවට පත්ව ඇත. සමහර ගොවීන් මේ කන්නයේ වගා නොකිරීම නිසාත් රසායනික පොහොර නොමැතිකමින් ද ඵලදායීතාවය ශීඝ්‍ර ලෙස අඩුවී ඇත.

40% කින් පමණ අස්වැන්න අඩු වීමක් සිදුවිය හැකි බවට පළවූ විද්වත් මත අප අසා ඇත.

දැනටමත් එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ පොහොර නොමැතිකම නිසා බව ගොවි මතය යි.

පසුගිය දා ඉදිරිපත් කළ අයවැයෙන් ද ජීවන වියදම පිළිබඳව කිසිම සහනයක් නොලැබීම ද ජනතා කනස්සල්ලට හේතු වී ඇත.

අය වැය ගැන ශුභවාදී හා අසුභවාදී අදහස් ගැන පාර්ලිමේන්තුවේදීත් පිටස්තරවත් කරුණු සඳහන් වන හෙයින් දීර්ඝ විවරණයක් කිරීම අපගේ අදහස නොවේ.

නමුත් පොහොර ගැටලුව නිසා ඇතිවූ අස්වැන්න අඩුවීමට වන්දි ගෙවීම ගැන ක්‍රමවේදයක් සඳහන් නොකිරීමත්, අලි මිනිස් ගැටුම හේතුවෙන් ඇතිවන බව භෝග විනාශය සම්බන්ධව විසඳුමක් ඉදිරිපත් නොවීමත්, අයවැයේ අඩුවක් ලෙස අපි දකිමු. ගොවීන්ට වන්දි ගෙවීම පිළිබඳව රජය දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ඉහත සඳහන් කළ කරුණු ගැන අවධානය යොමු කොට මනා කළමනාකාරිත්වයකින් අභියෝග වලට මුහුණ දිය හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. මේවා අසාධාරණ විවේචන නොව බිම් මට්ටමේ යථාර්ථය බව බලධාරීන් වටහා ගන්නා ලෙස කරුණාවෙන් සඳහන් කරමු.

මේ සියලු කරුණු වලට වඩා අති භයානක ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිකර රට අස්ථාවර කිරීමට හා විනාශ කිරීමට දරන උත්සාහයක් ගැනද වාර්තා ලැබෙමින් පවතී. දැනට දින කිහිපයකට පෙර මුස්ලිම් ආගමික සිද්ධස්ථානයකට බෝම්බ ගැසූ බවට පළ වූ පළවූ වාර්තා අප දුටුවෙමු. මේ සිද්ධිය තුල යටි අරමුණක් ඇති බව පෙනී යයි.

පසුගිය සතියේ මහා විනාශයක පෙරනිමිති දුටු ලංකාවේ ජනාදරය හා විශ්වාසය දිනාගත් මහතෙරුන් වහන්සේලා ඇතුළු මුස්ලිම් කතෝලික හා හින්දු පූජක උතුමාණන් වහන්සේලා  රැස්වී සම්මන්ත්‍රණයක් පවත්වා රට ආරක්ෂා කිරීම උදෙසා ගත යුතු පියවර ගැන දීර්ඝ විවරණයක යෙදිණි.

මේ සඳහා සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් සම්භාවනීය බුද්ධිමතුන් රාශියක් ද සහභාගි විය .

ජාතිවාදය එපා

සමුළුව අවසානයේ දී සියළු දෙනාගේම පූර්ණ එකගතාවයෙන් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

“ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස සියලුම ජාතීන් හා ඔවුන් අයත්වන්නා වූ ආගමික අනන්‍යතාවයන්ට ගරු කරමින්, එකී ජාතීන් හා ආගම් අතර සහජීවනය හා යහපැවැත්ම පලුදු කරන්නට උත්සාහ කරනු ලබන ඕනෑම අන්තවාදී  දුෂ්ඨ බලවේගයක් පරාජය කරන්නට අවශ්‍ය වන්නා වූ දැක්ම හා ධෛර්යය සමස්ත සමාජය තුළම පෝෂණය කිරීමේ ජාතික වගකීම පෙරටු කර ගනිමින් හා ඒ වෙනුවෙන් කැප වීමෙන් පෙනී සිටින අප සමස්ත සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව ගෙන්ඉල්ලා සිටිනු ලබන්නේ දේශපාලනික හා අනෙකුත් උවමනාවන් මුල් කරගනිමින් ජාතිවාදී හා ආගම්වාදී පටු අරමුණු පෙරදැරි කරගෙන ගොඩනගන දුෂ්ට බලවේග පරාජය කරනු උදෙසා අධිෂ්ඨාන සහගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඒ සඳහා යහපත් වූ දැක්මකින් යුතුව පෙරට එන ලෙසය.

අපගේ මාතෘ භූමිය නිදහස් නිවහල් සාමකාමී හා සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීම උදෙසා ද ඒ මඟින් අපගේ මතු පරපුරට යහපත් රටක් උරුම කර දෙනු පිණිස ද වන අපගේ කැපවීම 2021 ක් වූ නොවැම්බර් මස 03 වන දින කොළඹ දී ප්‍රකාශයට පත්කරමින් මෙසේ සපථ කරන්නෙමු”

ජාතික ආගමික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම ගැන අප පුන පුනා සඳහන් කරන්නේ ජාති හා ආගම් බේද මෙන්ම දේශපාලන භේද ඇති ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු රටකට අනාගතයක් නොමැති නිසයි.

මේ දිනවල එක් රටක් එක් නීතියක් ගැන බලධාරීන් කතා කරනවා. මෑතකදී අප දුටු සිද්ධීන් තුළින් තවමත් පෙනී යන්නේ බලය ඇති අයට බලය රැකගැනීම සඳහා එක් නීතියකුත් බලය නැති අයගේ බලය තවදුරටත් සිඳලීම සඳහා තවත් නීතියකුත් බලපවත්වන ආකාරයයි.

මෙය එළිපිටම සිදුවෙනවා. අති බහුතර ජනතාව මේ ක්‍රියාදාමය වටහා ගෙන තිබෙනවා.

රංජන් රාමනායක

අපි කිහිප විටක්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව නොදීම ගැන කරුණු ඉදිරිපත් කළා. ඔහුගේ මුළු කලා ජීවිතයම දැන් විනාශ වෙමින් පවතිනවා. ඔහු නැවතත් අසනීප වී ඇති හෙයින් මැගසින් බන්ධනාගාරයට මාරු කර ඇති බවට වාර්තා වුණා. මහා පරිමාණයේ අපරාධකරුවන්ට ජනාධිපති සමාව දී තිබියදීත් රන්ජන් රාමනායක මහතාට ද සමාවක් දීම මිනිස් යුතුකමක් ලෙසත් එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීමේ  ආදර්ශයක් බවත් කියන්නට කැමතියි.

අපි කිහිප විටක්ම පැවසූ පරිදි එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීමට දැනට බලපවත්වන නීති රීති හොඳටම ප්‍රමාණවත්.

පොලිසියට, රාජ්‍ය සේවයට හා නීති අංශ වලට බලපෑම් කරන්නේ  නැත්නම් රට තුළ යුක්තිය සාධාරණය ඉටු වේවි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවි. ජනතාවට මූලික අයිතිවාසිකම් ලැබේවි.

විපක්ෂයට ඉඩ නොදීම

ඊයේ විපක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයට උසාවි නියෝග ද අභිබවා ඊට බාධා එල්ල කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස අපි දකිමු.ජනතාව කෙරෙහි විශ්වාසය තබන, ජනතාවගේ ආශිර්වාදය ලබන කිසිදු රජයක් එවැනි දේ නොකරන බව කියන්නට කැමැතියි.
මෙවැනි සිදුවීම් වලින් රජයට හා ජනාධිපතිවරයාටද අපකීර්තියක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා නොවැම්බර් 17 වන දින පැවති  පුවත්පත් සාකච්ඡාවේදී පළ කරන ලද අදහස් ඇසුරෙණි.)

Archive

Latest news

Related news