Tuesday, July 16, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ත්‍ර.වැ.ප. යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ පවුල් කෙරෙහි ඇති වූ සමාජ ආර්ථික හා මානසික බලපෑම

මරිසා ද සිල්වා විසිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අයගේ පවුල් මුහුණ දෙන සමාජ ආර්ථික බලපෑම් ඉස්මතු කිරීම සඳහා මෙම පර්යේෂණය සිදු කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ ජනවාර්ගික හා ආගමික සුළුතරයට අයත් (දෙමළ හා මුස්ලිම්) පිරිමින් වන අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් කාන්තාවන් සහ පවුල් අවදානමට ලක්ව තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම්වල සමාජආර්ථික බලපෑම කාන්තාවන් විසින් දැරිය යුතුව තිබේ.

වැඩිහිටියන් හා තම දරුවන් රැකබලා ගැනීමට සහ එදිනෙදා ජීවත්වීම වෙනුවෙන් ආදායමක් උපයා ගැනීමට කාන්තාවන්ට නියම වී තිබේ. නීතිඥයින් සමඟ සබඳතා පවැත්වා ගැනීමත්, අත්අඩංගුවටගත් පිරිමින් බැලීමටයාමත් ඔවුන් විසින් සිදුකළ යුතු ය. පවුලේ මූලික ආදායම් උපයන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ අතිරේක ප්‍රතිඵලයක් වශයෙන් දරිද්‍රතා මට්ටම් හා ණයගැතිභාවය ඉහළයාම ඇති වී තිබේ. මේ අනුව, මෙමගින් වක්‍රව රජය මත අමතර බරක් ද පැටවේ. තවද, සමාජය රජයේ ආඛ්‍යානය පිළිගැනීමට සහ මෙම පවුල් “ත්‍රස්තවාදී පවුල්” ලෙස හංවඩු ගැසීමට නැඹුරු වීමත් සමඟම, මෙම පවුල් සමාජීයව නෙරපා හැරීමකට සහ මානසික කම්පනයන්ට ද මුහුණ දෙති.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් පිරිමින් 8 දෙනෙකුගේ පිරිමි ළමයෙකුගේ සහ කාන්තාවක්ගේ පවුලේ සමාජිකයින් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 10 කි. ඊට අමතරව, හොරොව්පතානේ දී බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පස්දෙනා සමඟ කතා කිරීමට ද මට හැකි වූ අතර, පසුගිය නොවැම්බරයේ දී ඇප මත ඔවුන් මුදා හැර තිබේ.

පවුල –  ෆාතිමා (මව), 53, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
රැඳවියා –  ඉන්ෆාස් (පුතා), 21
දැනට රඳවාගෙන සිටින්නේ – කෑගල්ල බන්ධනාගාරය
චෝදනාව – NTJ විසින් සංවිධානය කරන ලද බයාන් සඳහා නුවරඑළිය වෙත යාම
රැකියාව – විකුණුම් නියෝජිත, හාඩ්වෙයාර් වෙළඳසැල
විවාහක තත්වය – අවිවාහක
යැපෙන්නන් – තනි මාපිය මව, ඇඳුම් මැසීම

ෆාතිමාගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ තුන්වන දරුවා ඉපදුණු පසු පවුල අතහැර ගොස් තිබේ. පසුව ඇය *ඉන්ෆාස්ට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ඇයගේ නිවස විකුණා දමා ඇති අතර, ඔවුන් එතැන් පටන් කුලී නිවාසවල වාසය කර තිබේ. ඇයගේ වැඩිමහල් පුතුන් දෙදෙනා විවාහ වී සිටින හෙයින්, ඇයව සහ 75 හැවිරිදි ආච්චි අම්මා රැකබලා ගනිමින් සිට ඇත්තේ බාලයා වන ඉන්ෆාස් විසින් ය. *ඉන්ෆාස් විසින් මසකට රුපියල් 30,000 ක් උපයා ඇති අතර එයින් රුපියල් 25,000 ක් නිවසේ කටයුතුකරගෙන යාම සඳහා ඔහු විසින් මවට ලබා දී තිබේ.

බයන් (දේශනාවකට) සවන් දීම සඳහා නුවර එලිය වෙත යාමට නොමිලේ චාරිකාවක් ලබා දුන් මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඉන්ෆාස් එකතු වී තිබේ. ඊට වඩා වැඩි යමක් ඔහුට පවසා නැත. කෙසේ වෙතත්, තමා මිතුරන් කිහිප දෙනෙකු සමඟ සාදයක් සඳහා යන බව ඔහු තම මවට පවසා සිකුරාදා සවස පිටත්ව ගොස් තිබේ. ඔහු සෙනසුරාදා රාත්‍රියේ ආපසු පැමිණි විට, ඔහු සිටි තැනත් බයාන් (දේශනය) ගැන තම මවට පවසා ඇති අතර, “තමන්ව NTJ1 විසින් පාවා දෙනු ලැබූ බවක්ඔහුට දැනුණු බව පවසා තිබේ.එයින් පමණක්ම ඔහු ත්‍රස්තවාදියෙකු නොවන බව ඔප්පු කළ හැකියියනුවෙන් ඔහුගේ මව පැවසුවා ය. ඔහු ගියේ සාමාන්‍ය පල්ලියකට ය. එය NTJ එකක්වත් නෙවෙයි.

එදා රාමදාන් දෙවන දිනය (2019 මැයි 9), මගේ පුතයි මමයි නිවසේ පිටුපස විවේකයෙන් හිටියා.අවදි වූ වහාම ගිහින් උපවාසය අවසන්කිරීම සඳහා සමෝසා මිල දී ගන්නා බව ඔහු මට කිව්වා.පසුව එදිනම, පොලීසියේ සහ රහස් පොලිසියේ නිලධාරීන් සමඟ වාහන දෙකක් අපේ නිවසට ඇවිත්  ඉන්ෆාස් ගැන ඇහුවා. ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රැගෙන යා යුතු බව පොලීසිය පැවසුවා. මම කිව්වා ඔහු කිසිම වැරැද්දක් කරලා නැහැ කියලා. ඔවුන් ඔහුගේ දුරකථනයත් පරීක්ෂා කර බලලා ආපසු දුරකථනය දුන්නා, නමුත් මගේ පුතාව දුන්නේ නැහැ,” ෆාතිමා පැවසී ය. ඔහු මුලින් කාන්තන්කුඩි පොලිසියේ රඳවාගෙන පසුව මඩකලපුව බන්ධනාගාරයට මාරු කරනු ලැබ තිබේ.ඔවුන් ඔහුව අපේ ගෙදරින් අරගෙන ගියේ. නමුත් ඔහු සැඟවී සිටි බව ඔවුන් චෝදනා පත්‍රයේ ලියා තිබුණා. ඔවුන් චෝදනා පත්‍රය කියවන විට, මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි ඔවුන් බොරු කියන්නේ කියලා, නමුත් ඔවුන් එත් එම ප්‍රකාශය වෙනස් කළේ නැහැ, ”ඇය පැවසුවා ය. *ඉන්ෆාස් පළමු වරට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ විටත් මම මේ ප්‍රශ්නයම මතු කළා. ඉන්ෆාස් තම නිවසේ සිට අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔහු සැඟවී සිටින බව ප්‍රකාශ කළේ ඇයි කියලා විනිසුරුවරයාත් විමසුවා.

දැන් ඔහුව ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව කතා කරන ප්‍රදේශයක් වන කෑගල්ල වෙත මාරු කර යවා තිබේ.අපට පොදු ප්‍රවාහන සේවයෙන් එහේ යන්න බැහැ. ඒ නිසා දරුවන් කෑගල්ලේ රඳවා සිටින පවුල් 15 ක සාමාජකයින් සිංහල කථාකරන රියදුරෙකු සමඟ එකට ගමන් කරන්න වෑන් රථයක් කුලියට ගැනීමට දායක වෙනවා. ඔහු වෙනුවෙන් ගෙනයන යම් ආහාරයක වියදමත් එක්ක මගේ ගමන් වියදමත් එකතු කළාම අවම වශයෙන් රු. 5000ක් එක ගමන් වාරයකට වියදම් වෙනවා. අවම වශයෙන් සති දෙකකට වරක්වත් අපි ඔවුන්ව බැලීමට යාමට උත්සහ කරනවා. යන්න එන්න යන ගමනට මුළු දවසම ගත වන අතර, මට ඔහු සමඟ කතා කිරීමට විනාඩි 20 ක් පමණ කාලයක් ලැබෙනවා.

ඔහු මුල දී මට කිව්වා ඔවුන්ව සාඩින් වගේ අසුරලා තියෙනවා කියලා, නිදාගන්න තියෙන්නේ එකිනෙකාට ලන්ව පැත්තට කියලා. ඔවුන්ට හරියට නිදා ගන්න හෝ යාඥා කරන්න විදිහක් තිබුණේ නැති බවත් එය ඉතාම අපිරිසිදු බවත් ඔහු කිව්වා. දැන් තත්වය දියුණු වී ඇති බව ඔහු කියනවා.ඔයා මාව හැදුවේ කාටවත් කෝපයෙන් පහර දෙන්නවත්, කිසිම වෙලාවක ප්‍රචණ්ඩකාරී වෙන්නවත් නෙවෙයි, ඒත් දැන් බලන්න මට වෙච්ච දේකියලා අපි මුණගැසෙන සෑම වෙලාවකම ඔහු මට කියනවා. ඔහු යම් වැරැද්දක් කරලා තියෙනවා නම්, මට තේරුම් ගන්න පුළුවන්, ඒත් නොකළ දෙයක් වෙනුවෙන් ඔහු මේ මිල ගෙවන්නේ ඇයි? දෙවියන් මගේ පුතා නිර්දෝෂී බව දන්නා නිසා ඔහුට උදව් කරයි කියලා මම විශ්වාස කරනවා.

ඇයට අවශ්‍ය කුමක්දැයි අපි ඇයගෙන් විමසූ විට ඇය පැවසුවේ ඇයට මහන මැෂිමක් අවශ්‍ය බවත්, ප්‍රදේශයේ බොහෝ ඇඟලුම් කර්මාන්තශාලාවලට කෑලි මැසීමට ඇයට හැකි බවත් එය ඇයට නිවසේ සිට කළ හැකි දෙයක් බවත්ය එයින් * ඉන්ෆාස් මුදා හරින තුරු ඔවුන්ට ජීවත් වීමට යම් ආදායමක් උපයා ගත හැකි බවත් ය. මැෂිමක මිල රු. 40,000 ක් පමණවන අතර ඇයට එය මිලදී ගත නොහැකි ය.

පවුල – රෙනෝසා (බිරිඳ), 39, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
රැඳවියා – රියාස් (සැමියා), 43
දැනට රඳවාගෙන සිටින්නේ – මොණරාගල බන්ධනාගාරය
චෝදනාව – NTJ විසින් සංවිධානය කරන ලද බයාන් සඳහා නුවරඑළිය වෙත යාම
රැකියාව – කාර්මික, ලංකා ප්‍රවාහන මණ්ඩළය
විවාහක තත්වය – විවාහක – දියණියන් තිදෙනෙක් (07, 12 සහ 14).
යැපෙන්නන් – බිරිඳ සහ දරුවන් තිදෙනා
ගමන් දීමනාව – සෑම දින 45 කටම ICRC වෙතින් රු. 2,600 ක් (2020 ජනවාරි 11 දිනට වරක් ලැබුණි)

අසල්වැසියෙකු වන රාවුෆ් [ජාතික තව්හීත් ජමාත්( NTJ) හි සාමාජිකයෙක්]රියාස් සහ තවත් මිතුරෙකු වන සුබෙයාර්ගෙන් නුවර එළියේ දින 3 ක බයාන් උත්සවයකට සහභාගි වන ලෙස ඉල්ලා සිටිය ද, එහි කියැවෙන දේට අකමැති වීම නිසා සුබෙයාර් සහ  රියාස් පළමු දින ඇතුළත ආපසු පැමිණ තිබේ.  රියාස් යාඥා කරන්නේ NTJ විසින් පාලනය කරන මුස්ලිම් පල්ලියක නොව සාමාන්‍ය පල්ලියක යරියාස් ලංකා ප්‍රවාහන මණ්ඩළයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳට රු. 37,000ක් (ඊපීඑෆ් + ඊටීඑෆ්) එක් වරක් සිදුකරන ගෙවීමක් වශයෙන් ලබා දී තිබේ. ඉන්පසුව, ඔවුන්ට තමන් විසින් ම යැපීමට ක්‍රම සොයා ගැනීමට සිදුව තිබේ.

රියාස් රාමසාන් 3 වන දිනයේ දී (2019 මැයි 10) සිය නිවසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිසිය ඔහුව සොයා බස් ඩිපෝවට ගොස් ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඔහුව අරගෙන යන්නේ ඇයිදැයිද , ඔහු NTJ සාමාජිකයෙක්වත් නොවන බව රෙනෝසා ඔවුන්ගෙන් අසා සිටියා. ඔවුන් පවසා ඇත්තේ ඔහු නුවරඑළියේ බයාන් සඳහා ගොස් ඇති බවයි. (පොලිසිය බයාන් හැඳින්වූයේ පුහුණුවක් ලෙසයි.)  රියාස් අත්අඩංගුවට ගන්නා විට රෙනෝසා මාස 5 ක ගැබිනියක් විය. ඇයට සැප්තැම්බර් මාසයේ දී දරුවා ලැබුණ ද, ළදරුවා උපතින් ටික වේලාවකට පසු මිය ගොස් ඇත.

මගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් වහාම, මගේ අසල්වැසියන් සියල්ලෝම පැමිණ ඔහු නිර්දෝෂී බවත් ඔහු අත්අඩංගුවට නොගත යුතු බවත් මට කිව්වා. ඔවුන් රාමසාන් කාලයේ දී සෑම සවස් වරුවකම පැමිණ මා සනසමින් ශක්තිමත් වන ලෙස පැවසුවා. මාව දැඩිලෙස සෝදිසියට ලක් වී සිටින නිසා මගේ සහෝදරයන් මාව බැලීමට ගෙදර ආවේ නැහැ. ඒ වගේම ඔවුන් විවිධ පල්ලිවලට අයත් නිසා අපගේ පවුල් අතරත් යම් ආතතියක් ද තියෙනවා.

වර්තමානයේරෙනෝසා ඇගේ දරුවන් සමඟ ජීවත් වන්නේ ඇගේ මව සහ සහෝදරිය සිටින පරිශ්‍රයේම ය. ඇයගේ ස්වාමිපුරුෂයා ඔවුන්ව සැමවිටම රැකබලා ගත් නමුත් දැන් ඇය මුළුමනින්ම යැපෙන්නේ ඇයගේ නැන්දම්මා මත වීම ගැනද ඇය ඉතාමත් අසතුටින් සිටී. මම ඔහුව බැලීමට යන සෑම අවස්ථාවකම මගේ ස්වාමිපුරුෂයා අපි වැඩකයුතු කළමණාකරණය කරගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා යැයි ඇය පැවසුවා ය. ඔහු තම සිරකුටිය තවත් දෙදෙනෙකු සමඟ බෙදා ගන්නා අතර රෙනෝසා දැන් ඔවුන්ව හොඳින් හඳුණයි. රැඳවුම් භාරයේ සිටින තම පවුලේ සාමාජිකයන් බැලීම සඳහා පවුල් එක්ව ගමන් කරයි. ඔවුන්ට දින භාගයක් ගමනේ යෙදෙන අතර රඳවා සිටින ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ විනාඩි 20 ක් කතා කිරීමට අවසර තිබේ. නත්තල් නිවාඩු කාලය තුළ දෙවරක් තම පියා බැලීමට දරුවන් රැගෙන යාමට ඇයට හැකි විය.

මගේ ස්වාමිපුරුෂයා සෑම දින 14 කටම වරක් මඩකලපුවේ මහේස්ත්‍රාත්වරයා වෙත ගෙන එනු ලැබුව ද, උසාවිය තුළට යාමට හෝ අපට ඔවුන්ව බැලීමටවත් කථා කිරීමටවත් අවසර නැහැ.අනෙක් සියලුම රැඳවියන්ගේ පවුල්වලට උසාවියට ​​ඇතුළු විය හැකි නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවටගත් අයගේ පවුල්වලට ඇතුලුවීමට ඉඩ නොදේ. පොලිසිය අපට පැවසුවේ ඔවුන් විසින් විනිසුරුවරයාගේ නියෝග පිළිපදින බවයි. අපට උත්සහ කළ හැක්කේ බස් රථයේ දී හෝ ඔවුන් උසාවියට යන විට දී ඔවුන් දෙස යන්තමින් බැලීම විතරයි. සංඥා භාෂාව භාවිතා කරමින් ඔවුන් සමඟ කතා කිරීමට අපි උත්සහ කරනවා.

සෑම සිකුරාදා දිනයකම වාගේ මගේ ස්වාමිපුරුෂයා ළමයින්ව මුහුදු වෙරළට රැගෙන යන්න පුරුදු වෙලා සිටි නිසා සිකුරාදා දවස් මට විශේෂයෙන්ම දුෂ්කරයි. විශේෂයෙන්ම සිකුරාදා දිනවල ඔවුන්ට තම පියා නැතුව පාලුයි,ඇය වේදනාවෙන් පැවසුවා. මම නිවසේ සිට උපකාරක පන්ති පැවැත්වීමට පුරුදු වෙලා හිටියා. ඒත් ඔහුව අත්අඩංගුවට අරගෙන මගේ දරුවා මියගිය දා ඉඳන්, මට ඉගැන්වීමට තරම් මානසික තත්වයකින් නැහැ. ඒ වගේම මගේ ස්වාමිපුරුෂයාගේ නඩුවට සහභාගිවීමයි දරුවන් රැකබලා ගැනීමයි නිසා ඇත්තටම මට වෙලාවක් නැහැ. මගේ සැත්කම් කැපුම (සිසේරියන් සැත්කමෙන්) සුව වූ පසු නැවතත් ඉගැන්වීම ආරම්භ කිරීමට මම බලාපොරොත්තු වෙනවා, ”ඇය පැවසුවා ය.

*රෙනෝසා ඇඟලුම් කර්මාන්තශාලා සඳහා ඇඳුම් මැසීම ගැනද සලකා බලමින් සිටින අතර එමඟින් ඇයට මැක්සි ඇඳුමක් සඳහා රු. 15 ක් (දිගු ඇඳුමක්) සහ සායක් සඳහා කුඩා රු. 5 ක් ලැබෙනු ඇත. මැක්සි ඇඳුමක් එකක් රු. 700 ක් බැගින් විශාල ලාභයක් සහිතව (අමුද්‍රව්‍ය සඳහා රුපියල් 300 ක් සහ ශ්‍රමය සඳහා රු .15 ක් අඩු කිරීමෙන්) විකිණෙන අතර, එම ඇඳුම් මසන කාන්තාවන්ට එයින් ලැබෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයකි.

රෙනෝසා වැනි බොහෝ පවුල් ඔවුන්ගේ ලිපිගොනු සකස් කිරීම සඳහා මුලින් එක් නීතිඥයෙකුට රු. 10,000 බැගින් ලබා දී තිබුණ ද, ඔහු කිසිඳු අවස්ථාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිට නැත. එමනිසා, ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ නඩු භාරගත් තවත් නීතිඥයෙකු වූ රතීබ්ට ගෙවීමට සිදුව තිබේ. පළමු නීතිඥයා පවුල් දුන් මුදල් ඔවුන් වෙත නැවත ලබා දී නැත.

සම්මුඛ සාකච්ඡාවේදී නිරාවරණය වූ පරිදි ඇයගේ මාසික වියදම් දළ වශයෙන් රු. 50,000 ක් වන අතර, ඇගේ දරුවන්ගේ පාසල් වියදම් දළ වශයෙන් රු. 12,000 ක් පමණ වේ. ඇය තම දරුවන්ගේ පාසල් වියදම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙයි.

පවුල – ෂහිරා (බිරිඳ), 31, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
රැඳවියා –  උමාර් (සැමියා), 38
දැනට රඳවාගෙන සිටින්නේ – ත්‍රිකුණාමලය
චෝදනාව – 2017 දී අලියාර් හන්දිය ගැටුමට සම්බන්ධ බවට සැක කෙරේ
රැකියාව – ඇඳුම් මැසීම
විවාහක තත්වය – විවාහක – දරුවන් දෙදෙනෙකු (පිරිමි ළමයා – 6 සහ ගැහැණු ළමයා – 10).
යැපෙන්නන් – බිරිඳ සහ දරුවන් දෙදෙනා
ගමන් දීමනාව – සෑම දින 45 කටම ICRC වෙතින් රු. 1250 ක් (2020 ජනවාරි 11 දිනට වරක් ලැබුණි)

2017 දී සහරාන් හා ඔහුගේ අනුගාමිකයන් සහ තවත් මුස්ලිම් නිකායක් අතර කාන්තන්කුඩි අලියාර් හන්දියේ දී විශාල ගැටුමක් ඇති විය. උමාර් කල්මුනේ පොලිසිය විසින් 2019 මැයි මස 13 වන දින අත්අඩංගුවට ගනු ලැබුව ද, එය වැරදී හඳුණා ගැනීමක් නිසා ටික කලකට පසුව නිදහස් කරන ලදී. ඉන් ටික කලකට පසුව, 2017 ගැටුමට සම්බන්ධ අයගේ ලැයිස්තුවක් අනුව ඔහු නැවතත් අත්අඩංගුවට ගනු ලැබී ය.

ෂහිරා සති දෙකකට වරක් වත් තම ස්වාමිපුරුෂයා උමාර් බැලීමට යාමට උත්සහ කරයි. ඔහුට ගෙදර පිසූ ආහාර ලබා දීමට ඇයට අවසර නැති අතර ලබා දිය හැක්කේ දිවා ආහාර පැකට්ටුවක් පමණි. දරුවන් නිදහස් ව සිටින විට, ඇය ඔවුන්ගේ පියා බැලීමට දරුවන්ව රැගෙන යයි. අමුත්තන් සහ රැඳවියන් අතර කුඩා දැලක් සහිත තිරයක් තිබේ. එමනිසා, එකිනෙකා අතර කතා කිරීමට තිරය හරහා කෑ ගැසිය යුතුය.ඔවුන් සෑහෙන දුරින් සිටින අතර එකවර බොහෝ දෙනෙක් රැඳවියන් බැලීමට පැමිණෙති. අපට කතා කිරීමට ලබා දී ඇත්තේ මිනිත්තු 5 ක් විතරයි,” ෂහිරා කඳුළු සලමින් පැවසී ය. නත්තල් දිනයේ දී, පවුල්වලට විවෘත දිනයක් ලබා දුන් අතර, එහි දී රැඳවියන්ට විනාඩි 15 ක් කතා කිරීමට අවසර දෙන ලද අතර එකිනෙකාට මේසය හරහා හිඳ ගැනීමට හැකි විය. මම දරුවන්ව විවෘත දවසේ දී ඔවුන්ගේ පියා බැලීමට රැගෙන ගියත් ඔවුන්ව ඇල්ලීමටවත්, අපේ පුතාගේ පාසලේ පළමු දින ඡායාරූපය ඔහුගේ අතට ගන්නටවත් ඔහුට නොහැකි වුණා. ඔහුට බලන්න මට ඒක අල්ලගෙන ඉන්න වුණා,යැයි ඇය හැඬුවා ය.

අපි ආපසු නිවසට පැමිණි විට, ඔහුගේ පියා සිරගෙදර සිටින බව ඔහුගේ පාසල් මිතුරන්ට නොකියන ලෙස මම මගේ පුතාට කිව්වා. ඔහුගේ පියා මඩකලපුවෙන් පිටත සාප්පුවක වැඩ කරන බව කියන්න කියලා මම ඔහුට කිව්වා. ඇයි ඔහු බොරු කියන්න ඕන කියලා? මගේ පුතා මගෙන් ඇහුවා, මට ලැජ්ජාවක් වගේම බලාපොරොත්තු රහිත බවක් දැනුණා. කුමක් කළ යුතුදැයි මම දන්නේ නැහැ. සහරාන් අපේ ජීවිත සියල්ලම විනාශ කළා. මගේ සැමියා අහිංසක යි. කරුණාකර යමක් කර ඔහුව එළියට ගන්න ෂහිරා ආයාචනා කළාය.

ඇය කිසිවෙකුගෙන් උදව් ඉල්ලීමට අකමැති වූ නිසා ඔහු අත්අඩංගුවට ගත් දා සිට, පසුගිය මාස 8 තුළ ෂහිරා ජීවත්වීම වෙනුවෙන් නිවසේ භාණ්ඩ හා තම පෞද්ගලික භාණ්ඩ විකුණමින් සිටියි. ඇය ඇඟලුම් කර්මාන්තශාලා සඳහා මසන ලද ඇඳුම් කිහිපයක් ද විකුණා ඇති අතර, ඇගේ සැමියා ඇයට පවසා ඇත්තේ දැන් මහන මැෂිම ද විකුණා මුදල් සපයා ගන්නා ලෙස යි.

ඇගේ ස්වාමිපුරුෂයා විසින් ගෙනෙන ලද නිම නොකළ ඇඳුම් ගෙදර ගෙනැවිත් මසා කර්මාන්ත ශාලාවට ගෙන යනු ලැබී ය. කර්මාන්තශාලාව සඳහා සැපයීමේ මෙම කාර්යය සිදු කරනු ලබන්නේ කාන්තන්කුඩිවල පිරිමින් විසින් පමණක් නිසා ඇයට ඇගේ නිවස තුළට ආගන්තුක පිරිමින් ගෙන්වා ගැනීමට ඇති අකමැත්ත නිසා ඇගේ සැමියා අත්අඩංගුවට ගත් පසුව ඇය මැහුම් වැඩ නතර කළා ය. ටික කාලයක් මිතුරියකගේ ස්වාමිපුරුෂයෙකු විසින් ඇයට මැසීම සඳහා ඇඳුම් ගෙන ආ නමුත්, ඇගේ මිතුරිය ඇගේ ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන නිසා ඇයට දැන් ඇඳුම් ලබා ගැනීමට ක්‍රමයක් නැත.

ප්‍රහාරයෙන් ඉක්බිතිව, සෑම දෙනෙකුම ඇයගෙන් සහ ඇගේ පවුලේ අයගෙන් ඈත් වී සිටි නිසා ඇයට කිසිදු සහයක් ලබාගත නොහැකි විය. නමුත් දැන් තත්වය තරමක් වෙනස් වී තිබේ. විදේශයක ජීවත් වන ඇගේ මස්සිනා ඇයට සහයෝගය දැක්වීමට උත්සහ කළත්, ඔහුගෙන් දිගටම උදව් ඉල්ලා සිටීමට ඇය අකමැති ය. මගේ ස්වාමිපුරුෂයා නිතරම අපට අවශ්‍ය දේ ලබා දුන්නා. ස්වාමිපුරුෂයන් විසින් නොසළකා හැරීම නිසා හෝ ඔවුන්ට අයුතු ලෙස සැලකීම නිසා ක්වාසි උසාවි වෙතට සහ ඉන් පිටතට දිව යන කාන්තාවන්ගේ කථා අපට අහන්න ලැබෙනවා. මගේ ස්වාමිපුරුෂයා සෑම විටම මට උදව්කළ නිසා මම මේ තත්වයට පත්වනු ඇතැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ,” ඇය කීවා ය.

සම්මුඛ සාකච්ඡාවේදී ඇය ප්‍රකාශකළේ, ඇගේ නිවස සහ කර්මාන්ත ශාලාව අතර ඇඳුම් ප්‍රවාහනය කිරීමට කාන්තාවක් වූ ඇඳුම් රැගෙන යන්නෙකු ඇයට අවශ්‍ය බව යි.

පවුල – රෂීඩා (මව), 67, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
රැඳවියා – අස්මා (දියණිය), 36
දැනට රඳවාගෙන සිටින ස්ථානය – දුම්බර බන්ධනාගාරය
චෝදනාව – ත්‍රස්තවාදයට ආධාර කිරීම සහ අනුබල දීම (NTJ නායක නියාස්ගේ බිරිඳ)
රැකියාව – අර්ධකාලීන මැහුම් සහ ගෘහණිය
විවාහක තත්වය – විවාහක – දරුවන් 3 දෙනෙක් (ගැහැණු ළමයින් දෙදෙනෙක් – 7 සහ 10 සහ පිරිමි ළමයා – දළ වශයෙන් මාස 6)
යැපෙන්නන් – මව සහ දරුවන් තිදෙනා.
ගමන් දීමනාව – සෑම දින 45 කටම ICRC වෙතින් රු. 3,200 ක් (2020 ජනවාරි 11 දිනට වරක් ලැබුණි)

නියාස්අස්මාගේ සැමියා, 2017 සිට මැද පෙරදිග සේවය කරමින් සිටියේ ය. ඔහු 2019 මාර්තු මාසයේ දී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දින බෑගයක් පුරවා ගත් ඔහු ඔහුගේ සහ ඇයගේ දුරකථන දෙකම රැගෙන යන්නේ කොතැන දැයි අස්මාට කියන්නේ ද නැතිව නිවසින් පිටව ගියේ ය. නියාස් නිවසින් පිටව ගොස් ඇති බව අස්මා පසුව මවට පවසා තිබුණි. අප්‍රේල් 26 වන දින, අම්පාරේ සයින්දමරුතුවල සිදු වූ මරාගෙන මැරෙන පිපිරීම ගැන අපට අසන්නට ලැබුණු අතර, 2019 අප්‍රේල් 27 වන දින දී, පොලිසිය නියාස්ගේ රූපයක් ගෙනැවිත්, ඔහු සයින්දමරුතුවල නිවසක සිටි නිසා පැමිණ ඔහුගේ සිරුර හඳුනා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. පසුව පොලිසිය ඇගේ නිවස පරීක්ෂා කර බැලූ විට ඇගේ වෛද්‍ය ලිපිගොනුව සහ යතුරුපැදියක් හමු වී ඇති අතර, ඔවුන් විසින් එහි ලියාපදිංචි පොත සහ යතුරු රැගෙන ගොස් තිබේ. සිරුර හඳුනා ගැනීමෙන් පසුව, අස්මා එදිනම පසුව නිවසට පැමිණියා ය. අප්‍රේල් 28 වන දින, ප්‍රශ්න කිරීම සඳහා ඇයට පැමිණෙන ලෙස ඉල්ලා තිබූ බැවින් ඇය ඇගේ සහෝදරයා සමඟ ගියා ය. ඇගේ සැමියාගේ දේහය නිදහස් කිරීම ද ඇයට අවශ්‍ය විය. ඔවුන් අම්පාර මෘත ශරීරාගාරයට ගිය පසු, ඇයට කියා සිටියේ ස්ථානාධිපතිවරයා එහි නොමැති බවත්, ඇයට රාත්‍රිය ගත කරන ලෙසත්, උදෑසන දී දේහය මුදා හරින බවත් ය. එදින ඔවුන් විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇයව මඩකලපුව බන්ධනාගාරයට මාරු කරනු ලැබී ය. ඇය ඒ වන විට මාස 5 ක් ගැබ්ගෙන සිටියා ය. ඇය මාස 3 කට පසු සිරගෙදර සිටිය දී පිරිමි දරුවෙකු බිහි කළ අතර දරුවා ඉපදී දින 7 කට පසු දුම්බර බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබීය.

ඔවුන් මඩකලපුව බන්ධනාගාරයේ සිටින විට, මම දිනපතාම මගේ දුවත් සහ මුණුබුරත් බලන්න යනවා. නමුත් දැන් මට සති දෙකකට වරක්වත් ඔවුන් බැලීමට යෑමට නොහැකි තරම්. ඔවුන් මඩකලපුව බන්ධනාගාරයේ සිටිය දී මම ඔවුන්ට විදුලි පංකාවක් සහ ජල තාපකයක් මිල දී ගෙන ගෙනවිත් දුන්නා නමුත් ඔවුන් ඒවා ඇයත් සමඟ දුම්බර බන්ධනාගාරයට ගෙනිහින් නැහැ. මඩකලපුව බන්ධනාගාරයේ දී තවත් මවක් ඒවායින් ප්‍රයෝජන ලබනවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මගේ දුව සීතල කාලගුණයට පුරුදු වී නැති නිසා බොහෝ වෙලාවට රෝගාතුර වී තිබූ නිසා ඇයව නැවතත් මඩකලපුව වෙත මාරු කරන ලෙස විනිසුරුවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළා. නමුත් ඔහු පවසා ඇත්තේ එය ඔහුගේ බල සීමාව තුළ නොපවතින බවයි. මගේ දුව NTJ ගැන කිසි දෙයක් දන්නේ නැහැ, ” අසිමියාගේ මව රෂීඩා විලාප තැබුවා ය. ඇයව කැඳ වූ විට ඇය පොලිස් ස්ථානයට පැමිණියා වුවත් ඇය සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් ඇයගේ චෝදනා පත්‍රයේ ලියා තිබේ.

සති දෙකකට වරක් දුම්බරට යාම සඳහා වෑන් රථයේ ආසනයකට රුපියල් දෙදහසක් ගෙවිය යුතුයි. මට හැකි සෑම අවස්ථාවකදීම මම ළමයින් ද රැගෙන යනවා. ඊට අමතරව, මම කරවල හා හරක් මස්, කිරිපිටි වගේ වියළි ආහාර සමඟ සනීපාරක්ෂක තුවා, පැම්පර් වැනි ද්‍රව්‍ය ගෙනයෑමට උත්සහ කරනවා. ඉතිං ඒක ලොකු වියදමක්. NTJ සාමාජිකයින් දෑවැද්ද ගන්නේ නැති නිසා ඔවුන් විවාහයෙන් පස්සේ කුලියට ජීවත් වුනා. මගේ දුවත් රෙදි මහන්නියක් විදිහට වැඩ කළ නමුත් විවාහ වූ පසු ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඇයව රැකියාවෙන් නතර කළා. ඔහු මැද පෙරදිග රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි අතර ඇයට සෑම මසකම රු. 40,000 ක් එව්වා. උත්සව සමයේ දී ඇය ඇඳුම් මසා අමතර ආදායමක් වෙනුවෙන් විකුණුවා.

මගේ වැඩිමහල් මිණිබිරිය ඉතා දීප්තිමත් දක්ෂ ශිෂ්‍යාවක්. ඇය මේ වන විට ඇයගේ 5 වසර ශිෂ්‍යත්වය සඳහා ඉගෙනුම ලබනවා. ඒ සඳහා ඇගේ උපකාරක පන්ති වෙනුවෙන් මසකට රු. 750 ක් පමණ වියදම් වෙන නිසා ඇයට නිවසේ ඉගෙන ගත හැකි බවත්, ටියුෂන් සඳහා වියදම්වන මුදල් මව සඳහා ඉතිරි කර ගන්නා ලෙසත්, මවගේ නඩුව හා බන්ධනාගාර චාරිකා වලට අදාළ වියදම් සඳහා මුදල් යොදවන ලෙසත් ඇය මට කිව්වා. අනෙක් ළමයින් ටියුෂන් යනවා, හොඳ ලකුණු ලබා ගැනීමට නම් ඇයත් යා යුතුයි. ඒ සිදුවීමෙන් මගේ හදවත බිඳුණා යැයි අස්මාගේ මව පැවසුවා ය.

රෂීඩාත් ධමනි අවහිරවීම් දෙකකින් පෙළෙනවා. ඇයගේ සැත්කම සඳහා අවශ්‍ය සියලු කටයුතු යාපනය රෝහලේ සූදානම් කරලා තිබුණේ. තම දියණිය මාරු කරන විට මඩකලපුවේ බන්ධනාගාරයේ දමාගොස් තිබූ ළදරුවාගේ කොට්ටය ආපසු ලබා ගැනීමට ඇය උත්සහ කළ නමුත් ඇය බන්ධනාගාරයට පැමිණි විට සියල්ලන්ම මුඛ ආවරණ පැළඳ සිට තිබේ. එහි දී ආරක්ෂකයින් ඇයට පවසා ඇත්තේ ඇය වයස්ගත හෙයින් බන්ධනාගාරය පුරා පැතිරෙමින් යන වෛරසය වැළදීමට ඉඩ ඇති නිසා ඇතුළු නොවන ලෙසයි.

මගේ දුව සහ මුණුබුරා සීතල පුරුදු නැති නිසා ඔවුන්ගේ සෞඛ්‍යය ගැන මම බොහොම බයෙන් ඉන්නේ. බන්ධනාගාරයේ බලන්නට යෑමේ දී හැරුණු විට මට ඒ දෙන්නාව පෙනෙන්නේ ඔවුන් දින 14 කට වරක් මඩකලපුව උසාවියට ගෙන එන විට විතර යි,” ඇය පැවසුවා ය.

ඇය මුහුණ දෙන සියලු අභියෝගවල දී, මිණිබිරියගේ මාසික උපකාරක පන්තිය සඳහා රු. 750 ක් සහ ඇය මහලු සහ අසනීපව සිටින නිසා ආදායම් මාර්ගයක් නොමැති බැවින් දරුවන්ගේ නඩත්තුව සඳහා අමතර සහයක් ඇය විසින් බලාපොරොත්තු වේ.

පවුල – නදීහා (මව), 59, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
රැඳවියා – නිහාල් (පුතා), 18
දැනට රඳවාගෙන සිටින්නේ – කෑගල්ල බන්ධනාගාරය
චෝදනාව – NTJ විසින් සංවිධානය කරන ලද බයාන් සඳහා නුවරඑළිය වෙත යාම
තත්වය – ශිෂ්‍ය

විශේෂයෙන් යෞවනයන් නැරඹුම් චාරිකා සඳහා නොමිලේ රැගෙන යාම මෙහි සාමාන්‍ය සිරිතකි. හිස්බුල්ලා බස්රථ පුරවා මිනිසුන් නොමිලයේ ඔවුන්ට ආහාර ලබා දෙමින් ඔහු විසින් ගොඩනඟමින් සිටි ඉස්ලාමීය විශ්ව විද්‍යාලය පෙන්වීමට රැගෙන ගියේ ය. බොහෝ විට මිනිසුන් නොමිලයේ ලබාදෙන ජමාත් (හුවමාරු විවේක වැඩසටහන්) සංවිධානය කරනවා. එබැවින් නුවරඑළියේ බයාන් හා සම්බන්ධ වීමට පිරිමි ළමයින්ගෙන් ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් ලෙස සැළකුණේ නැහැ. ඔවුන් කවදාවත් නුවරඑළියේ ගිහින් තිබුණේ නැති නිසා, ඔවුන් සාමාන්‍යයෙන් වගේ අළුත් තැනක් දකින්න ගොඩක් සතුටු වුණා, නදීහා පැවසුවා ය.

නිහාල් සිකුරාදා දහවල් 1 ට පමණ දිවා ආහාරයෙන් පසු නිවසින් පිටත්ව ගොස් ඇති අතර ඉරිදා අලුයම නිවසට පැමිණ තිබේ. එය කුමක්වාගේ දැයි මම ඔහුගෙන් විමසූ විට, ඔහු කීවේ, එහි බයාන් එකක් තිබූ බවත්, ඔවුන්ට ආහාර ලබා දී පසුව ඔවුන් නිදාගත් බව යි.පසුව අපට දැනගන්නට ලැබුණ පරිදි බයාන් වලින් පසු සහරාන් කඩුවක් රැගෙන පැමිණ බයාන්වල සඳහන් දේ ගැන කිසිවෙකු සමඟ කතා නොකරන ලෙස සියලු පිරිමි ළමයින්ට තර්ජනය කර තියෙනවා. ඉතිං ඒ නිසා කවුරුවත් ඒ ගැන කතා කළේ නැහැ.

2019 මැයි මස 09 වන දින පොලිසිය ඔවුන්ගේ නිවසට පැමිණි අතර ඔවුන්ට මිල්හාන්ගේ පින්තූරයක් අවශ්‍ය විය. ඔවුන් පැමිණි විට, නිවසේ පිටුපස පාඩම් කරමින් රාමසාන් සඳහා නිරාහාරව සිටි මිල්හාන්ගේ බාල සහෝදරයා වන නිහාල් පිටතට පැමිණියේ ය. ඔහුගේ හැඳුනුම්පත රැගෙන ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් සමඟ පැමිණෙන ලෙස පොලිසිය ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. පොලිසිය දෙමළ බසින් ආචාරශීලී ලෙස කතා කළ අතර පසුව ඔහුව රැගෙන ගියේ ය. ටික වේලාවකට පසුනිහාල්ගේ පියා පොලිස් ස්ථානයට ගොස් ඔහු පිළිබඳව විමසූ නමුත් ඔවුන් පවසා ඇත්තේ ඔහු එහි නොමැති බවයි. ඉන්පසු නදීහා ඇයගේ පුතා ලබා ගැනීමට ගිය අතර ඔවුන් ඔහුව ඇයට පෙන් වූ අතර ඔහු තරුණ වියේ පසුවන (18) ඔහුගෙන් ඔවුන්ට හැකි තරම් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය බව පැවසී ය. ඇය පොලිසියට කියා සිටියේ  නිහාල් NTJ සමඟ සම්බන්ධ නැති බවත් කරුණාකර ඔහුව නිදහස් කරන ලෙසත් ය. ඔවුන් විසින් තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බවත් වැඩි විස්තර ලබා ගත යුතු බවත් ඔවුහු පවසා තිබේ.

ඔවුන් පසුදා සවස්වන තුරු නොනැවතී ඔහුගෙන් ප්‍රශ්න කර තිබූ අතර පසුව ඔහුගේ මවට පවසා තිබුණේ ඔහුට උපවාසය අවසන් කිරීම සඳහා යමක් සහ මාරු කර ගැනීමට ඇඳුම් ගෙන එන ලෙසත් ය. ඔහුගේ මව සිකුරාදා දහවල් 2-2.30 ට පමණ ආහාර සහ ඇඳුම් රැගෙන පැමිණිවිට, තම පුතා මාංචු දමා සිරකුටියක සිටින බව දැන ගැනීමට ලැබුණි. පසුව පොලිසිය විසින් *නදීහාට පවසා තිබුණේ ඔහුව උසාවියට ගෙන යා යුතු නිසා ඇයට ඔහු වෙත කිසිවක් ලබා දිය නොහැකි බවයි. කෙසේ වෙතත් ඇය කෙසේ හෝ ඔවුන් සමඟ රණ්ඩු වී පුතාට ආහාර සහ ඇඳුම් ලබා දුන්නා ය. පසුව ඇය දුටුවේ මාංචු දැමූ මිනිසුන් 10 දෙනෙකු පමණ දෙදෙනෙකු බැගින් පොලිස් ජීප් රථවලින් රැගෙන යන බවයි. ඇය පසුපසින් යාමට උත්සහ කළ විට පොලිසිය ඇයව නවතා ඇයට නොඑන ලෙස පවසා තිබේ. පසුව නිහාල් අත්අඩංගුවට ගත් බව ඇයට දැනගන්නට ලැබුණි. ඔහුව සිරගත කිරීමෙන් පසු ඇය ඔහුව දුටුවේ එක් වරක් පමණි.

නිහාල්ගේ පියා වයස අවුරුදු 67 ක් වයසැති ඉතාමත් රෝගී වූ කාර්මික ශිල්පියෙකි. ඔහු මේ වන විට කොළඹ සීඅයිඩී මූලස්ථානයේ 4 වන මහලේ රඳවා සිටින ඔවුන්ගේ වැඩිමහල් පුත් මිල්හාන් බැලීමට ගොස් තිබේ. අපට 27 හැවිරිදි, ශාරීරික වශයෙන් අභියෝගයට ලක් වූ, තමා වෙනුවෙන් කිසිවක් කළ නොහැකි තවත් පුතෙක් ඉන්නවා. අපි ඔහුට ඇඳුම් ඇන්ඳිය යුතුයි, ස්නානය කරවා ආහාර කැවිය යුතුයි. සාමාන්‍ය පෙළ (O / L) විභාගය සඳහා ඉගෙනුම ලබන දියණියක් ද අපට සිටිනවා. මිල්හාන් පවුලේ මූලිකම ආදායම් උපයන්නා විය.

නිහාල් මඩකලපුව බන්ධනාගාරයේ සිටියදී , පරිගණක හා වෙනත් විෂයයන් පිළිබඳ යම් පුහුණුවක් ලබා ගැනීමට ඔහු සමත් වී තිබේ, සමහර ගුරුවරුන් ද අත්අඩංගුවට ලක්ව තිබේ. ඔහුට මේ වසරේ ඔහුගේ උසස් පෙළ විභාගය සඳහා හැදෑරීමට අවශ්‍යයි, නමුත් බලධාරීන් ඔහුට බන්ධනාගාරය තුළ දී කිසිම පොතක් සඳහා ප්‍රවේශය ලබා දෙන්නේ නැහැ. දැන්, ඔහු කෑගල්ල වෙත මාරු කර යවා ඇති නිසා එහි දී ඔහුට ඉගැන්වීමට උදව් කිරීමට පවා කිසිවෙක් නැහැ. මගේ ස්වාමිපුරුෂයා ඔහුට සටහන් කිහිපයක් රැගෙනයාමට උත්සහ කළත් ඔවුන් එය ඔහුට දීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඊළඟ වතාවේ ඔහුව බැලීමට යන විට මම මගේ වාසනාව උරගා ලබනවා.

මේ මොහොතේ නිහාල්ගේ පියා පවුලේ එකම ආදායම් උපයන්නාවන නමුත් ඔහු ද අපේ පුතුන්ගේ නඩු සමඟ දුවමින් සිටින නිසා අපට මුදල් ණයට ගැනීමට සිදු වී තිබෙනවා. අපගේ පුතුන් දෙදෙනා සහ ලේලිය බැලීමට පිළිවෙලින් කෑගල්ල, කොළඹ සහ ත්‍රිකුණාමලය යන ස්ථාන තුනකටම යාමට සිදු වෙනවා.

අපේ වැඩිමහල් පුතාගේ බිරිඳව, බැලීමට මම ගිහාම ඇයට ක්ලාන්ත වුනා. ඇය දිගින් දිගටම මිල්හාන් ගැන විමසුවා. ඇය ඉතාම අහිංසක යි, ඒවගේම කිසිවක් දන්නේ නැහැ. සිදු වූ සෑම දෙයකින්ම ඇය තවමත් කම්පනයට ලක්වෙලා ඉන්නේ. ඇයව වෙනම කාන්තා අංශයක තබා තිබෙනවා. නදීහාට මහන්න පුළුවන්, නමුත් ඇයට දැන් එය කිරීමට වෙලාවක් නැහැ, ඇය කීවා ය.

නදීහාට ද හෘදයාබාධ තිබෙන අතර ඇගේ පිත්තාශයේ ගලක් ද තිබෙන නමුත් ඇය හෘද රෝගියෙකු බැවින් ඇයව සැත්කමට ලක්කිරීමට නොහැකිවී තිබේ. ගල නිසා ඇය ඉතාම වේදනාවෙන් යුතුව ජීවත් වේ. ඇය ඉතා අසනීපව සිටින බැවින් ඇය යාපනයේ දී ඇන්ජියෝග්‍රෑම් එකක් සැලසුම් කර තිබුණි.

ඔවුන්ට මූල්‍යමය ආධාර අවශ්‍ය වේ,රෝගාතුරව සිටින මේ දෙමව්පියන් දෙදෙනාට රැකබලා ගැනීමට තවත් දරුවන් දෙදෙනෙකු සිටින අතරම විවිධ ස්ථාන 3 කට වරින් වර බන්ධනාගාර වෙත චාරිකා කිරීමට සිදු වීමේ වියදම ඉතා ඉහළ ය.

පවුල – ෆරීඩා (බිරිඳ), 37, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
රැඳවියා –  අහමඩ් (සැමියා), 39
දැනට රඳවාගෙන සිටින ස්ථානය – බදුල්ල බන්ධනාගාරය
චෝදනාව – 2015 දී NTJ විසින් පවත්වාගෙන යනු ලබන ලියාපදිංචි ඉස්ලාමීය පුණ්‍යායතනයක් සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කිරීම.
රැකියාව – අවුරුදු 20 ක් පරිගණක ගුරුවරයකු වන අතර පරිගණක සාප්පුවක් හිමි විය
යැපෙන්නන් – බිරිඳ සහ දරුවන් තිදෙනා (වයස අවුරුදු 8 සහ 10 සහ 1 පිරිමි ළමයා අවුරුදු 1.5)
ගමන්  දීමනාව – සෑම දින 45 කට වරක් ICRC වෙතින් රු. 5,650 ක් (2020 ජනවාරි 11 දිනට වරක් ලැබුණි)

මැයි 10 වන දින, නගරයේ අහමඩ්ගේ සාප්පුව අසල ජීවත් වන මිතුරියක් *ෆරීඩාට දුරකථනයෙන් කතා කොට පවසා ඇත්තේ පොලිසිය විසින් ඇයගේ සැමියාව සොයමින් සිටින බවයි. එබැවින් *අහමඩ් සාප්පුව වෙත ගොස් එය පරීක්ෂාකිරීම සඳහා විවෘත කර තිබේ. ෆරීඩාගේ සැමියාගේ සොහොයුරිය ඔහුගේ කාර්යාලය අසල ජීවත් වූ බැවින්, ඇය සාප්පුවෙන් පිටත විශාල ප්‍රමාණයක් හමුදාව සහ පොලිසිය රැඳී සිටින බව ෆරීඩාට දන්වා තිබේ. එබැවින් *ෆරීඩා සහ ඇගේ සහෝදරයා ද වහාම සාප්පුව වෙත පැමිණ තිබේ. ඉන්පසුව හමුදා භටයන්ගෙන් පිරුණු වෑන් රථයක් සහ ජීප් රථයක් ඔවුන්ගේ නිවසට පැමිණ ඔවුන්ගේ කුණු කසළ ඇතුළු සියල්ල සෝදිසි කර තිබේ. චාමරනම් නිලධාරියෙක් විසින් සිංහල භාෂාවෙන් ලියා ඇති පෝරමයක් *ෆරීඩාට භාර දී ඇති අතර, ඇය එය අත්සන් කර ඇත්තේ එය කුමක්දැයි නොදැන සිටියත් ඇය බියට පත්ව සිටි බැවිනි. පසුව ඇය දැන ගෙන ඇති පරිදි එය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් විය.

ඉන්පසු ඔවුහු ඔහුත් ඔහුගේ පරිගණයකයත් රැගෙන ගිය හ. පරිගණකයේ චාජරය ලබා ගැනීම සඳහා පොලිසිය නැවත පැමිණ ඇති අතර, දැන් පරීක්ෂණයේ අවසාන කොටසෙහි සිටින බව ඔවුන් ඇයට පැවසුවෝ ය. ඇය පොලිසියට යන විට පොලිසිය ඇයට පවසා ඇත්තේ ඔහු එහි නොමැති බවයි. ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අවසන් කර නැවත ඔහුව නැවත ගෙනඑන බව පැවසූහ. එදින ඇයට ඔහු ගැන වැඩි විස්තරයක් නොලැබුණු අතර, පසුවදා (සෙනසුරාදා) ඔවුන් ඇයව සම්බන්ධ කර ගත් අතර, එවිට ඇගේ දරුවන් සහ උපවාසය අවසන්කිරීම සඳහා යමක් රැගෙන *අහමඩ් හමුවීමට පැමිණෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටිනු ලැබීය. මම මගේ ස්වාමිපුරුෂයාව මුණගැසුණු විට, ඔහු මට කිව්වේ ඔහුගෙන් එකම ප්‍රශ්නය බොහෝ වාරගණනක් ඇසූ නිසා මා දන්නා දේ පමණක් මිස වෙන කිසිවක් පොලිසියට නොකියන්නැයි,” කියා පැවසූ බව ඇය කීවා ය.

*අහමඩ් විසින් 2015 දී NTJ පල්ලිය විසින් පවත්වාගෙන යනු ලබන පුණ්‍යායතනයක් සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කර තිබුණි. ඔවුන් අසල ජීවත් වූ සහරාන්ගේ සහෝදරයා *අහමඩ්ගෙන් වෙබ් පිටුව නිර්මාණය කරන ලෙස ඉල්ලා සිට තිබුණි. ඔවුන් තවමත් කාර්ය වෙනුවෙන් ඔහුට රු. 6,000 ක් ගෙවීමට ඉතිරිව තියෙනවා. ඒ කියන්නේ ඔවුන් මගේ සැමියාට මුදල් ගෙවා නැහැ,” ඇය කීවා ය.

අපට අපේ දුවව ලැබීමට හැකි වූයේ අවුරුදු 4 ක් පමණ උත්සහ කිරීමෙන් පසුව නිසා මගේ ස්වාමිපුරුෂයා ඇයට හුඟක් ආදරෙයි. ඒ වගේම ඇගේ පියා ගෙදර එන්නේ කවදාදැයි දුව දිගින් දිගටම අහනවා. මගේ දරුවන්ගේ ප්‍රශ්නවලට දිනපතාම පිළිතුරු දෙන්න සිද්දවීම හරිම කණගාටුදායක දෙයක්. ඒක මට විශාල පීඩනයක් ගෙන දෙනවා, ” *ෆරීඩා පැවසී ය.

මගේ දුව සිංහල භාෂාවෙන් ලිපියක් ලිව්වා ඇගේ පියා බලන්න ඉල්ලීමක් කරලා. ඒ නිසා අපට මිනිත්තු 15 ක් ඔහුව බැලීමට බදුල්ලට යාමට අවසර ලැබුණා. මම අපේ දරුවන්ව ඔවුන්ගේ පියා බැලීමට රැගෙන ගිය අවස්ථාවේ දී, ඔවුන් අපේ ළදරු දරුවාව ස්පර්ශ කිරීමට පවා ඔහුට ඉඩ දුන්නේ නැහැ. මගේ දුව ඇගේ තාත්තාට ලියූ ලිපියක් භාර දීමටවත් ඔවුන් මට අවසර දුන්නේ නැහැ. ඒක හද කම්පා කරවන ලිපියක්. මඩකලපුවේ දී අපට කතා කරන්න සිද්ධවුනේ වීදුරුවක් හරහා, නමුත් අවම වශයෙන් බදුල්ලේ දී අපට ඔහුව කෙලින්ම දකින්න පුළුවන් වුණා. අපි අලුයම 5.30 ට නිවසින් පිටත් වී මධ්‍යම රාත්‍රියට නිවසට පැමිණ පැය 15 ක් ගමනේ යෙදී මිනිත්තු 15 ක් ඔහුව දකිනවා. සමහර විට දරුවන් සමඟ, සමහර විට තනිවම ඇය සෑම දින 15 කටම වරක් ඔහු බැලීමට යාමට උත්සහ කරනවා. එය වෙහෙසකර ගමනක් වුනත්, අපට අවම වශයෙන් ඔහුව දකින්න පුළුවන්, ඉතිං ඒ ඇති. බදුල්ල බන්ධනාගාරය මඩකලපුවලට වඩා හොඳ තත්වයක තියෙනවා, නමුත්, අපට යන්න ගොඩාක් අමාරුයි. මට ඔහුව කොහොමහරි එළියට ගන්න ඕනෑ! ප්‍රධානම ගැටළුව වෙන්නේ පුද්ගලයන් 65 දෙනෙකු මේ තනි චෝදනාවක් යටතේ ගෙන ඇති නිසා ඔහුව නිදහස් කර ගැනීම ඉතා අසීරු යි,”ෆරීඩා පැවසී ය.

ෆරීඩා ද තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි ඉගෙන ගෙන ඇති අතර, ළමුන් 20 කට පමණ, නිවසේ දී විෂයයන් 5 ක් සඳහා උපකාරක පන්ති පැවැත්වීමට පුරුදුව සිටිය ද, තම සැමියාගේ නඩුවට අදාළ සෑම දෙයක්ම තනිවම කිරීමට ඇති නිසාත් ඇයට මානසිකව සියල්ල කළමනාකරණය නොහැකි නිසා දැන් ඒවා නතර වී තිබේ.

මගේ ස්වාමිපුරුෂයා නිර්දෝෂී බව කවුරුත් දන්නා නිසා සෑම කෙනෙක්ම මට හොඳින් සැළකුවා. ඔහු ගියේ සාමාන්‍ය පල්ලියකට. ඔහු මුස්ලිම් පල්ලි සංසදය වෙනුවෙන් දුප්පතුන්ට පරිත්‍යාග කිරීම සඳහා මාසිකව සකාත් එකතු කිරීම භාරව හිටියා. මේ වසරේ ඔහුගේ නම පමණක් බුලටින් එකේ තිබුණේ නැහැ,” ඇය කීවා ය.

පාසලේ පළමු දිනයේ දී මගේ දුවට ඇගේ පියා සමඟ පින්තූරයක් ගැනීමට අවශ්‍ය වූ නමුත් ඔහු එහි නොසිටි නිසා ඇගේ පියාගේ පින්තූරයක් අතේ තබාගෙන පින්තූරයක් ගන්නැයි ඔහු ඉල්ලා සිටියා. එය ඉතාමත් දුකහිතෙන දෙයක් වූ බව *ෆරීඩා පැවසී ය.

ඇයට හැකි වූ විගසම ඇය නැවත උපකාරක පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින අතර, ඇයට යම් මැහුම් ඇණවුම් ලබා ගත හැකි නම් මහන මැෂිමක් ද තිබේ.

පවුල – හුස්නා (මව සහ බිරිඳ), 37, වයඹ පළාත, ශ්‍රී ලංකාව
රැඳවියන් – මුජිබ් (පුතා), 16 සහ *හකීම් (සැමියා), 40
දැනට රඳවාගෙන සිටින – කැප්පෙටිපොල පරිවාස මධ්‍යස්ථානය සහ 4 වන මහල, සීඅයිඩී කාර්යාලය, කොළඹ
චෝදනාව – NTJ විසින් සංවිධානය කරන ලද බයාන් සඳහා නුවරඑළිය වෙත යාම සහ 2018 දී මාවනැල්ලේ බෞද්ධ ප්‍රතිමාව විනාශ කිරීමට සම්බන්ධ යැයි චෝදනා එල්ල වීම.
රැකියාව – ශිෂ්‍ය සහ මව්ලවි
විවාහක තත්වය – තොරතුරු නැත
යැපෙන්නන් – දරුවන් දෙදෙනෙක් (පුතා වයස අවුරුදු 12 සහ දියණිය වයස අවුරුදු 3.8)
ICRC – රු. 2,920 x දින 45 (සැමියා) සහ රු. 4,500 x දින 45 (පුතා) – සංචාර සඳහා සංචාරක දීමනාව

හකීම් 2017 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වසර 10 ක් කටාර්හි නීති කාර්යාලයක සේවය කරමින් සිටියේ ය. ඉන්පසු ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ කෙකුනගොල්ලේ වාසය කළ අතර, ඔහු මවුලවිවරයෙකු වූ බැවින් ප්‍රාදේශීය මුස්ලිම් පල්ලිවල දේශනා සිදු කළේ ය. ඔහු NTJ සහ සහරාන්ට විරුද්ධ වූ බව ඔහුගේ බිරිඳ පැවසුවාය. 2018 දෙසැම්බරයේදී ඔහු තම පුතා බයාන් (දේශනය) සඳහා නුවරඑළිය වෙත කැඳවාගෙන ගියේ ය. *මුජිබ් සංචාරය සඳහා ගොස් ඇත්තේ නුවරඑළිය බැලීමට මිස බයාන් සඳහා නොවේ. නුවරඑළියේ සිට ඔවුන් ආපසු පැමිණීමෙන් පසු, ඉඩම් ආරවුලක් හේතුවෙන් ඔහු තම බිරිඳගේ පියා සමඟ අමනාප වී, ඔවුන්ගේ නිවසින් ගොස්, 2019 ජනවාරි මාසයේ දී මඩකලපුවේ කාන්තන්කුඩි පිහිටි සිය ගමට ආපසු ගියේ ය. ඉන්පසු ඔහු තම බිරිඳගේ දුරකථන ඇමතුම් කිසිවකට පිළිතුරු ලබා දී නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට පෙර දිනයේ දී කාන්තන්කුඩි බලා යමින් සිටිය දී තම සැමියා දඹුල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව දැනුම් දීම සඳහා 2019 අප්‍රේල් 24 වන දින කටුපොත පොලිසියේ නිලධාරීන් *හුස්නාගේ නිවසට පැමිණ තිබේ. පසුව ඔවුන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට ඔවුන් සමඟ පොලිසියට පැමිණෙන ලෙස ඉල්ලා තිබේ. ඇගේ ස්වාමිපුරුෂයා විදේශයක සිට ආපසු පැමිණෙන විට, ඔහු වෙනත් රටවලට ගියේ ද, සැක සහිත පුද්ගලයින් නේවාසිකාගාර කාමරවල (උඩුමහලේ) කුලියට රැඳී සිටිනවා ද ආදී වශයෙන් ඔවුන් ඇයගෙන් විමසා තිබේ.

තම දරුවන් තම පියා පිළිබඳව විමසන නිසා, අත්අඩංගුවට ගැනීමෙන් මාස දෙකකට පසුව *හුස්නා කොළඹ SIU II කාර්යාලයේ 4 වන මහලේ සිටින තම ස්වාමිපුරුෂයා බැලීමට දරුවන් රැගෙන ගොස් තිබේ. ඇය එහි දී ඔහුව අත්අඩංගුවට ගත්තේ ඇයි සහ ඔහු මෙය කළේ ඇයි ආදී වශයෙන් තම ස්වාමිපුරුෂයාගෙන් විමසා තිබේ. ඔහු ඇයට පවසා තිබෙන්නේ ඔහු ඊට සම්බන්ධ නැති බවයි. ඔහු ඇයගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදුන්නේ හෝ ඔවුන්ව බැලීමට ආවේ නැත්තේ මන්දැයි ඇය විමසා තිබේ. ඔහු පැවසුවේ ඔහුට ඇගේ පියා සමඟ ජීවත් විය නොහැකි බවත් එමනිසා ඔහු අසල ජීවත් විය නොහැකි බවත් ය. ඇයට ඔහුට කතා කිරීමට හැකි වූයේ විනාඩි පහක් පමණයි.

2019 අගෝස්තු 16 වන දින උදෑසන කටුපොත පොලිසිය නැවත වරක් ඔවුන්ගේ නිවසට පැමිණ, CDB ශාඛාවෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් සමඟ අම්පාරට පැමිණෙන ලෙස *මුජිබ්ගෙන් ඉල්ලා තිබේ. *මුජිබ් සමඟ ඔහුගේ පියාගේ කාන්තන්කුඩිවල ඥාතියෙකු පැමිණ තිබේ. පළමුව, *මුජීබ්ව ප්‍රශ්න කිරීම සඳහා අම්පාරේ හි හිස් නිවසකට ගෙන ගොස් තිබේ. ඔහු NTJ සමඟ මාස 4 ක පුහුණුවක් ලබා ඇති බව පවසන ලෙසත්, ඉන් පසුව ඔවුන් ඔහුව නිදහස් කරන බවත් පවසා තිබුණි. ඔහු බිය වූ නිසා ඔහුට පැවසූ ලෙසම සිදුකොට තිබේ. ඔහු පාසැල් යන නිසා (O/L) ඔහුගේ ඡායාරූප හෝ වීඩියෝ පට නොගන්නා ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා තිබුණේ ඔහුගේ අධ්‍යාපන අනාගතය විනාශ කිරීමට ඔහුට අවශ්‍ය නොවූ නිසා ය. කෙසේවෙතත්, ඔහුගේ ආයාචනය නොතකා, පසු දිනවල දී ඔහුගේ ඡායාරූපය මාධ්‍ය තුළ පළ විය.

ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා මුජීබ්ව රැගෙන ගිය පසු, හුස්නා ඔහු නැවත පැමිණෙන තුරු පාර අයිනේ බලා සිටියා ය. ඇය පසුව ඔහුගේ දුරකථනය හා සම්බන්ධවීමට උත්සහ කළ නමුත් එය ක්‍රියා විරහිත වී තිබුණි. සවස 4 පමණ වන තෙක් බලා සිටි ඇය පුතා පිළිබඳව සොයා බැලීම සඳහා අම්පාර බලා පිටත්ව ගොස් තිබේ. ඇය තම පුතාව සොයාගත් විට, ඔහු හඬා වැලපී ඇති අතර, ඔහු රැගෙන ගියේ ඇයිදැයි ඇය ඇසූ විට, ඔහු පවසා ඇත්තේ ඒ නුවරඑළිය සංචාරය නිසා බවයි. මුජිබ්ගේ සාක්ෂිය තුළින් ඔවුන් තම පියාව කරදරයට පත් කිරීමට උත්සහ කරනු ඇතැයි ඔහුට සිතුනු බව ඔහු මට කීවේ ය. හකීම්ගේ චෝදනාව වන්නේ 2018 දෙසැම්බරයේ මානැල්ලේ බෞද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමට ඔහු සම්බන්ධ වූ බවට චෝදනා ඇතිවී තිබීම ය. කෙසේ වෙතත්, ඔහු ඒ වන විට මක්කමෙහි සිටි බැවින්, මෙය බොරු චෝදනාවක් බව හුස්නා පැවසී ය.

මගේ පුතා හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ ශිෂ්‍යයෙක්. ඔහු අපේ නිවසේ සිට රැගෙන යන විට පසුගිය වසරේ ඔහුගේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරමින් සිටියා. ඔහු කැප්පෙටිපොල පරිවාස මධ්‍යස්ථානයේ රඳවාගෙන සිටිය දී, ඔහුට විභාගය සඳහා ඇතුළත්වීමේ පෝරමය තිබුණ ද, ඔහුගේ විභාගයට පෙනී සිටීමට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ඔහුට පාසැලට පරිපූර්ණ පැමිණීමක් ඇති බව සනාථ කරන ඔහුගේ පාසලේ විදුහල්පති විසින් සහතික කරන ලද නිල පැමිණීමේ පත්‍රිකා මා සතුව ඇති නිසා ඔහු මාස 4 ක පුහුණුවක් සඳහා සහභාගී වීමට හැකියාවක් කොහෙත්ම නැහැ,” *හුස්නා පැවසී ය.

මගේ පුතා බැලීමට මට අවසර නැහැ. සිරකරුවන්ට පවා අමුත්තන් සඳහා අවසර තියෙනවා. මගේ පුතා බලන්න ඔවුන් මට ඉඩ නොදෙන්නේ ඇයි ද කියලා මට තේරෙන්නේ නැහැ. රඳවාගත් මොහොතේ සිට පරිවාස මධ්‍යස්ථානයේ දී මගේ පුතාව එක් වරක් පමණක් විනාඩි 15 ක් පමණක් බැලීමට මට පුළුවන් වුණා. එහෙත්, ඉන් අනතුරුව, පරිවාස නිලධාරියාට මට ඔහු වෙත ප්‍රවේශය ලබා දීමට අවසර දීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. ඔවුන් මගේ පුතාව බැලීමට අවසර නොදී එක් වරක් පුතා බැලීමට අවසර දුන්නේ මොකද කියලා විනිසුරුවරයා පරිවාස නිලධාරියාගෙන් ප්‍රශ්න කළා. මට යන්තමින් හෝ ඔහු දෙස බැලීමට ලැබෙන්නේ දින 14 කට වරක් ඔහුව අම්පාරට ඔහුගේ නඩු විභාග සඳහා ගෙන එන විට විතරයි,” ඇය කීවා ය.

ඇය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇති අතර, ග්‍රාම නිලධාරීගෙන් ලිපියක් ලබා ගෙන පුතා බලන්න යන්නැයි ලෙස ඇයට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත්, ප්‍රාදේශීය පරිවාස නිලධාරියා ඇයට කිය ඇත්තේ විනිසුරුවරයා එම සංචාරය අනුමත කරනතාක්කල් ඇගේ පුතා බැලීමට නොහැකි බවයි.

වරක් ඔහු මා දුටු විට සංඥාකර කෑම ඉල්ලුවා. මගේ පුතා නිතරම නිවසේ දී හොඳින් පෝෂණය වූ නිසාත්, ඔහු තම සහෝදර සහෝදරියන් හා ඥාති සහෝදරයන් සමඟ සිනාසෙමින් සෙල්ලම් කරන නිසාත්, ඉතාමත් ප්‍රීතිමත් පිරිමි ළමයෙකු වූ නිසාත්, මගේ හදවත වේදනා දුන්නා. ඔහු දැන් කෙට්ටු හා ඇදීගිය පෙනුමක් තියෙන දුක්බර කෙනෙක්. මේ වසරේ පෙබරවාරි 11 වන දින මා ඔහුව අවසන් වරට දුටු විට ඔහුට ඇඳුම් කිහිපයක් හා බිස්කට් දෙන්න මට පුළුවන් වුණා. සිරකුටියෙන් පිටත සිට මිනිත්තු 5 ක් පමණ ඔහුට කතා කිරීමට මට පුළුවන් වුණා. ඔහුට තවදුරටත් මේ ආකාරයට රැඳී සිටිය නොහැකි බවත්, කරුණාකර ඔහුව පිටතට ගන්නා ලෙසත් ඔහු හඩමින් කිව්වා යැයිහුස්නා වේදනාවෙන් කථා කළා ය.

විනිසුරුවරයා අවසන් නඩු විභාගයේදී පවසා තිබුණේ මුජීබ් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් බලාපොරොත්තු ව සිටින බවයි.

ආදායම සම්බන්ධයෙන් ගත් කල, හුස්නාගේ නැන්දම්මා සෑම දින 14 කට වරක් අම්පාරා වෙත පැමිණෙන සෑම විටම ඇයට සුළු මුදලක් ලබා දෙයි. ඊට අමතරව, ප්‍රහාරය වු දා සිට, ඇය නිවසේ සිට මැහුම් කටයුතු කිහිපයක් සිදු කරමින් සිටින නිසා ඇය රු. 7000 ක් පමණ උපයා ගැනීමට හැකි වී තිබේ. තවදුරටත් කුලියට නවාතැන් ගත්තවුන් නොමැති නිසා එම ආදායම තවදුරටත් ඇයට නැත. ඇගේ අසල්වැසියන්ගෙන් සමහරෙක් ඔවුන්ට හැකි විට දී හාල් සහ කෑම වර්ග ද ලබා දෙති. අපිට කෑම තියෙනවා නම් අපි කනවා. නැතිනම් නැහැ. ඇයට ළමුන්ගේ පාසල් අධ්‍යාපනය සහ නිවස පවත්වාගෙන යාම සඳහා මසකට රු. 25,000 ක් අවශ්‍ය වෙනවා. දැනට, ඇගේ පුතා උපකාරක පන්ති යැවීම සඳහා යැවීමට ඇයට මුදල් නැහැ. ඇය අපනයනය සඳහා ස්ටොකිනෙට් මල් සාදන කණ්ඩායමක සම්බන්ධ වී සිටිය ද ප්‍රහාරයෙන් පසුවද එය නතර වී තිබේ. සෑම දෙනාම දැන් වෙනස් ආකාරයකින් බලන නිසා ඇයට එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ හැකි දැයි ඇයට බලාපොරොත්තුවක් නැත.

මගේ පුතාට අලුත උපන් බිළිඳෙකු විදිහට සරම්ප හැදිළා යන්තම් බේරුනේ. දැඩි සත්කාර ඒකකයේ තියාගෙන ගෙන ඉඳළා ඔහුගේ වාට්ටුවෙන් දිවි ගලවා ගත් එකම දරුවා එයා. ඉන් පසුව ඔහු ගැන ඉතාම ප්‍රවේශම් වෙන්න කියළා වෛද්‍යවරයා අපට කිව්වා. ඔහුට වයස අවුරුදු හතේදී ෆිට් එක හැදෙන්න ගත්තා. පසුගිය දෙසැම්බරයේ රැඳවුම් භාරයේ සිටිය දී ඔහුට උණ වැළඳී තිබූ නිසා එය ඔහුගේ හදවතට ද එය බලපා තිබූ නිසා ICRC ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුණා. එයාගේ අම්මා විදිහට, මට ඔහු ගැන බලාගන්න බැරි නිසා මම ගොඩක් දුකෙන් ඉන්නේ, ”ඇය කනගාටුවෙන් පැවසුවා ය.

කරුණාකර කොහොමහරි මගේ පුතාව එළියට ගන්න. මට ඔහුව බලන්නවත් බැහැ. හේතුව මොකද් ද කියලාවත් මම දන්නේ නැහැ. දිගින් දිගටම අම්පාර යන්න අමාරුයි. එයාටත් දින 14 කට වරක් උසාවියට එන්න මොණරාගලත් නැවතිලා රැයක් ගමන් කළ යුතු යි. ඔහුට අවශ්‍ය වන්නේ සාමාන්‍ය පෙළ විභාගය හා පාසැල් අධ්‍යාපනය දිගටම කරගෙන යන්න. එයාගේ මූණ ප්‍රවෘත්තිවල ප්‍රචාරය වීම ගැන ඔහු තවමත් කලබලෙන් ඉන්නේ. ඔහු නිතරම කනගාටුවෙන් කල්පනා කරමින් ඉන්නේ. කරුණාකරලා, මට රාමසාන්වලට එයාව ගෙදර ගේන්න ඕනෑ,හුස්නා පැවසී ය.

පවුල – එම්. නසීබා (29)
රැඳවියා – එන්. සකරියා (40), හිජ්රාපුරම්, කැබතිගොල්ලෑව
දැනට – ඇප මත නිදහස් (2019 නොවැම්බර් 19 සිට)
චෝදනාව – සහරාන් වෙතින් ඔහුගේ ගිණුමට මුදල් ලැබුණු බවට චෝදනා එල්ලවීම.
යැපෙන්නන් – දරුවන් තිදෙනෙක් (වයස අවුරුදු 10 සහ 7 ගැහැණු ළමයින් සහ පුතා වයස අවුරුදු 3)

2019 මැයි මස 25 වන දින උදෑසන හොරොව්පතාන පොලිසිය පැමිණ සකරියා ඔවුන්ගේ නිවසින් රැගෙන ගියේ ය. ඇගේ මාමා ඔහු සමඟ පොලිස් ස්ථානයට ගොස් ආපසු පැමිණියේ ඔහුව දින 3 ක් එහි සිටිය යුතු යැයි පොලිසිය පැවසූ බව පවසමිනි. පසුව නසීබා තම දරුවන් සමඟ ඔහුව බැලීමට පොලිස් ස්ථානයට ගියා ය. ඉන් අනතුරුව ඔහුව තවත් දින 7 ක් රඳවා තබා ගත යුතු බව කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශකළ අතර පසුව ඔවුන් රඳවා තබා ගැනීම දින 14 කට දීර්ඝ කරනු ලැබී ය. මුළුමනින් මාස 7 ක්ම ඔවුන් මේ ආකාරයට තබාගෙන තිබුණි.

පොලිසිය අපේ ගෙදරට ආවාම, ඔවුන් මම සහරාන් වෙනුවෙන් කෑම උයපු බවට චෝදනා කළා. අපි දන්නවා ඔබ තව්හිඩ් ජමාත් බව සහ අපි දන්නවා ඔයා සහරාන් වෙනුවෙන් වැඩ කළා කියලා ඔවුන් මට චෝදනා කළා. මම ඔවුන්ට කිව්වා මගේ ජීවිතේ මම ඔහුව කවදාවත් දැකලා නැහැ කියලා. ඔවුන් මාව විශ්වාස කළේ නැහැ, ඒ වගේම මගේ නිවස පරීක්ෂාකර බැලීමට බල කලා. විශේෂ කාර්ය බලකායෙනුත් ඇවිත් ගෙදර හතරපාරක් පාරීක්ෂා කළා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිමදෙයක් හම්බ වුණේ නැහැ, ඇය පැවසුවා ය.

සියලු මුස්ලිම්වරු තව්හිඩ් විශ්වාස කරනවා, එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ එකක් කියන එකයි. ඔහු වෙන් කළ නොහැකි බවයි. එයට ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැහැ. NTJ, ඔවුන්ගේ සංවිධානයේ නමේ කොටසක් විදිහට තව්හිඩ් යොදා ගැනීම නිසා එසේ සිදු වුණා. ඔබ සියලුම තව්හිඩ් මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගන්නවා නම්, ඔබ අප සියල්ලන්ම අත්අඩංගුවට ගත යුතුයි,සකරියා සිනාසෙමින් පැහැදිලි කළේ ය.

මගේ තාත්තා පළමු මාස ​​3 මාත් දරුවන්ත් සමඟ නැවතී සිටියත්, පසුව ඔහුට නැවතත් ඔහුගේ නිවසට යාමට සිදු වූ නිසා අපි හිටියේ තනිවම. නිවාඩු දිනයක් වූ ඉරිදා දින හැරුණු විට මම දිනපතාම ආහාර රැගෙන මගේ සැමියා බැලීමට අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියා. තුන්දෙනාම හැම තැනටම එක්කගෙන යන එක වියදම් අධික දෙයක් නිසා, මම බොහෝ විට මා සමඟ මගේ බාල දරුවා පමණක් රැගෙන ගියා. අපේ නිවසේ සිට බන්ධනාගාරයට කි.මී 55 ක් නිසා සහ පොදු ප්‍රවාහන සේවයෙන් බන්ධනාගාරයට යාමට බස් 3 ක යාමට අවශ්‍ය නිසා ඉන්ධන සඳහා ගෙවීම ලාභදායී හා පහසු වීම හේතුවෙන් අසල්වැසියෙකු සමඟ යතුරුපැදියකින් ගියා. මේ ඔක්කොම කරදර වලින් පස්සෙත් අපට මගේ ස්වාමිපුරුෂයා වීදුරුවකින් හෝ කුඩා දැල් තිරයකින් දැක ගන්න පුළුවන් වුනේ විනාඩි 5 ක් විතරයි. අපට වීදුරු තිරය ලැබුනොත් අපට එකිනෙකා සමඟ කතා කරන්න බැහැ, දැල් තිරය ලැබුනොත් අපට එකිනෙකා පේන්නේ නැහැ. ඔහුට දරුවන් අල්ලන්නවත් බැහැ. දරුවන් තමන්ගේ තාත්තා දැක්කම ඔහු සමඟ නවතින්න ඕනෑ කියළා අඩන්න පටන් ගන්නවා. ඒක මානසිකව ඉතාම පීඩාකාරියි,” ඇය පැවසුවා ය.

රෝහලට යන ඕනෑම ගමනක් සඳහා කැබිතිගොල්ලෑව රෝහලට අපට රු. 500 (යාමට) වියදම් වෙනවා. මගේ තාත්තා සහ අසල්වාසීන් ඔවුන්ට හැකි පමණින් උදව් කළා. මම වේලාසනින් අවදි වෙලා, කෑම උයලා, මගේ ස්වාමිපුරුෂයා බැලීමට ගිහින් ආපසු ගෙදර ඇවිත් ඊළඟ දවසේ කෑම පිළියෙළ කරනවා. ඊට අමතරව, මම තනියම මගේ දරුවන් බලා ගැනීමත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමත් කරන්න ඕනෑ. ළමයින් අවදි වූ විගස, ඔවුන් තම තාත්තා ඉල්ලන නිසා හැමදාම ඔවුන්ට කුමක් කියන්න දැයි මම දන්නේ නැහැ,” ඇය කීවා ය.

ඇයගේ පියා සිරගෙදර සිටින්නේ මොකද? කියලා මගේ දරුවන්ගේ මිතුරන් අහනවා. ඉතින් ඔවුන් ගෙදර ඇවිත් අයිසිස් කියන්නේ කවුද කියළා මගෙන් අහනවා. අපේ වැඩිමහල් දරුවා හැමදාම පන්තියේ පළමු වැනියා වුනත්, ඇගේ පියා අත්අඩංගුවට ගත් පසු ඇය දැඩි ලෙස දුක් වූ නිසා ඇයට නිසි ලෙස ඉගෙනීම නොහැකි වුණා. ඇගේ පියා සිරගෙදර සිටින බව පවසමින් ගුරුවරයා ඇයට පහර දුන් නිසා මගේ තවත් දරුවෙකු පාසැල් යාම ප්‍රතික්ෂේප කළා. දැන් ඇය මගේ පියාගේ ගමේ පාසලක ඉගෙන ගන්නවා. තාත්තාව කිසිදු හේතුවක් නැතුව අත්අඩංගුවට ගත්තේ අයිසිස් හේතුවෙන් නිසා ඔහු ලොකු වී පොලිසියට බැඳී අයිසිස් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව මගේ අනෙක් දරුවා මට කිව්වා. මාස 7 කින් මගේ බර කිලෝග්‍රෑම් 12 ක් අඩු වුණා. මම උයනවා ඒත් කෑම කන්න බැහැ,” ඇය කනගාටුවෙන් සිහිපත් කළා ය.

දැන්, සකරියා ගෙදර සිටිය ද, ඔහුට පසුගිය වසරේ අස්වැන්න කපන කාලය මඟ හැරුණු නිසා, දැන් ඔහු ඊළඟ කන්නය තෙක් බලා සිටිය යුතුය. ඔහු අසනීපයෙන් සිටින අතර ඔහුට වැඩ කිරීමට නොහැකි වීම ද අතිරේක ගැටළුවකි.

අමතර ආදායමක් උපයා ගැනීම සඳහා මහන මැෂිමක ඇති අවශ්‍යතාවය ඇය ප්‍රකාශ කළා ය.

පවුල – ජේ. හයුරුල්හුදා (29)
අත් අඩංගුවට ලක් වූයේ – එල්.ටී. ජෙස්මින් (33), හිජ්රාපුරම්, කැබිතිගොල්ලෑව
දැනට – ඇප මත නිදහස් (2019 නොවැම්බර් 19 සිට)
චෝදනාව – සහරාන් වෙතින් ඔහුගේ ගිණුමට මුදල් ලැබුණු බවට චෝදනා එල්ලවීම.
යැපෙන්නන් – දරුවන් දෙදෙනෙක් (පුතා වයස අවුරුදු 5 සහ දියණිය වයස අවුරුදු 2)

2019 මැයි 25 වන දින අපේ දොරට හයියෙන් ගහනවා ඇහුණා. ළමයින් නින්දෙන් අවදි වුනා, ඔවුන් මගේ ස්වාමිපුරුෂයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගියා. ඔවුන් මුලින් කීවේ ඔහු දින තුනකින් ආපසු එනු ඇති බවත් පසුව දින හතක් බවයි. ඊට පස්සෙ එයාලා දිගින් දිගටම මේ කාලය දීර්ඝ කළා. මට ඉන්නේ මගේ තාත්තා විතරයි, ඒ නිසා මම දරුවන් හා ඔහු සමඟ හොරොව්පතාන හි නැවතීමට ගියා. එහි සිට අනුරාධපුර බන්ධනාගාරයට පැය දෙකක් (යාමට) ගත වූ බැවින් මට එහාට මෙහාට යාමට අපහසු වුණා. මම හැමදාම මගේ මහත්තයාට කෑම අරගෙන හිරේට යනවා. මම ගෙදර එන විට රාත්‍රී 8 ට පමණ වෙන නිසා මගේ දරුවන් ඒ වන විටත් නිදාගෙන ඉන්නේ. දරුවන්ට හරි විදිහට පාසලට යන්නත් නොහැකි වුණා. ඔවුන්ගේ පාසල් ප්‍රසංගය පැවැත්වෙන දිනයේ දී ඔවුන් තම තාත්තාව ඉල්ලා සිටීම මට දරා ගැනීම ඉතා අපහසු වුණා. ඒ දවස්වල මම හිටියේ උමතු පුද්ගලයෙක් වගේ. සමහරක් වෙලාවලට මම උයනකොට ලුණු හෝ ළූණු දාන්න අමතක වෙනවා,ඇය පැවසුවා ය.

මෙම නඩුව උසාවියේ දී විභාග වන විට සෑම දින 14 කටම වරක් මට නීතිඥවරයාට රුපියල් 10,000 ක් ගෙවීමට සිදු වුණා. සියලු වියදම් කළමනාකරණය කිරීමට මගේ ආදායම පමණක්ම තිබූ නිසා එය ඉතාම දුෂ්කර වුණා. මම උපයන රු. 35,000 න් රු. 20,000 ක් නීතිඥයාටත්, රු. 10,000 ක් පාසල් සමාජයේ ණය ආපසු ගෙවීමේ වාරිකයක් විදිහටත් රු. 2,000 එහි සාමාජික ගාස්තුව ලෙසත් ගෙවනවා. දැන් මම ණය ගත් සෑම කෙනෙක්ම ඔවුන්ගෙන් මුදල් ආපසු ගෙවන ලෙස ඉල්ලන නිසා මම තවමත් සෑම මසකම ණය ආපසු ගෙවමින් ඉන්නවා. මට ආහාර සහ මගේ ස්වාමිපුරුෂයා බැලීම සඳහා දිනකට දිනකට අවශ්‍ය රු. 2,000 සඳහා මගේ පවුලේ අය උදව් කළා. මට සෑහෙන්න නිවාඩු ගන්න සිද්ද වුනා, දැන් මට මේ වසර සඳහා නිවාඩු නැහැ.

ඇයගේ ස්වාමිපුරුෂයා දැන් ගෙදර සිටියත්, නඩුව අවසන් වන තුරු ඔහුට තවමත් වැඩ කිරීමට නොහැකි අතරම හදිසි අනතුරකින් පසු හෘද සැත්කමක් කර ඇති නිසා ඔහුට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ද නොහැකි ය. මගේ සැමියාට ගමේ වැඩ කරන්න බැහැ, මොකද හැමෝම අපිට විරුද්ධ යි. අපිව අල්ලලා දීමට හවුල් වු බව පවා අපි දන්නා ඉදිරිපස සිටින අසල්වැසියන් ද අපට විරුද්ධ යි. විශේෂ කාර්ය බලකාය අපේ නිවස සොයන විට ඉදිරිපස නිවසේ සිටි අය අනෙක් අසල්වැසියන්ට පවසා තිබුණේ අපි ඔවුන්ට හොඳ පාඩමක් ඉගැන්වුවාකියා යි. අපට විදුලිය පවා නැහැ, ඒ අපට රැහැන් ඇදීම සිදු කළ නොහැකි නිසා. රජය අප වෙනුවෙන් එය හදා දෙන්නේ නැහැ.

මගේ ස්වාමිපුරුෂයා මීට වසර 10 කට පමණ පෙර දරුණු අනතුරකට ලක් වී දරුණු ලෙස තුවාල ලැබූ නිසා, ඔහුට කොමෝඩයක් අවශ්‍ය වූ නමුත් අපට එය සකස්කර ගැනීමට පවා නොහැකි වුණා. පහුගිය අවුරුද්දේ අපේ වගාවන් ඔක්කොම විනාශ වුණා. අපට සෙවිලි තහඩු දාගන්න පුළුවන් වුණේ වහළෙන් භාගයකට විතරයි. ඉතිං අපිට වහලෙන් භාගයක් සෙවිලි තහඩු, ඉතිරි භාගයේ උලු තියෙන්නේ. වහින කොට ගෙදරින් බොහොමයක් තෙමෙනවා වතුර පිරෙනවා. අපට හරිහමන් වහලයක් නැති වුනත් මිනිස්සු කියන්නේ අපගේ වහලේ පයිප්පවල කෝටි 100 (රු. බිලියනයක්) සඟවා තිබෙන බවයි. මොන විහිළුවක් ද. සහරාන් කියන්නේ කවුද කියලා අපි දැනගත්තේ ප්‍රහාරයෙන් පස්සේ,” ඇය එකතු කළා ය.

මගේ ස්වාමිපුරුෂයා අයිසිස් කියළා අසල්වැසියන් මට විහිළු කරන්න පුරුදු වෙලා හිටියා. මාස හතක් තිස්සේ මම කොහේවත් ගියේ නැහැ, මොකද හැම කෙනෙක්ම ඔන්න අයිසිස් කට්ටිය එනවා. ඔක්කොම ත්‍රස්තවාදීන්යැයි කියනවා. මම වැඩට ගිහින් ආපහු ගෙදර එනවා විතරයි. අපි අයිඑස්අයිඑස් යැයි කියමින් බොහෝ දෙනෙක් මට ණයට මුදල් දීමත් ප්‍රතික්ෂේප කළා,” ඇය කීවා ය.

ඇගේ පියා තනිව සිටින නිසා ඔහුට යමක් සිදුවුවහොත් ඇය ඔහු ගැන ද ගැන සැලකිලිමත් විය යුතුයි, මන්ද ඇගේ අනෙක් සහෝදර සහෝදරියන් වැඩි සහයෝගයක් නොදක්වන බැවින්. ඇගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් විට පවා ඇයට ඇගේ පියා වෙනුවෙන් සෑම දෙයක්ම සොයා බැලීමට සිදු වූ අතර එය ඉතා අපහසු විය. මම ඔහුගේ නඩු විභාග දිනවල ළමයින් උසාවියට ගෙන ගිය විට දී බන්ධනාගාර බස් රථය පැමිණෙන බව ළමයින් දුටු විට, “තාත්තාගේ බස් රථය පැමිණ ඇතැයි ඔවුන් ප්‍රීතියෙන් කෑ ගසා තිබේ. ඔවුන් එක් වරක් තම පියා සමඟ කතා කිරීමට ඉඩදෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිය ද පොලිසිය ඔවුන්ට බැණ වැදී ඔවුන් තල්ලු කර ඇත්තේ ඔවුන් අයිසිස් යැයි පවසමිනි. දැන් පොලීසි හා උසාවි හා සම්බන්ධ අපි සියල්ලන්ම සහ සියල්ලක්ම දන්නවා, පීටීඒ සහ අයිසීසීපීආර් ආදිය ගැනත් අපි දන්නවා, අපිට කලින් කිසිවක් දැන සිටියේ නැහැ” ඇය පැවසී ය.

මාධ්‍යයට එරෙහිව පියවර ගන්න අපට අවශ්‍ය යි. ඔවුන්ගේ බොරුවලින් අපේ ජීවිත විනාශ කළේ ඔවුන්. ඔවුන්ගේ වගකීම් විරහිත වාර්තාකරණයට ඔවුන් කෙසේ හෝ වගකිව යුතුයි. මගේ ස්වාමිපුරුෂයා ගැන බොරු ප්‍රකාශයට පත් කළ ආකාරයටම, ලංකාදීප මුල පිටුවේ පළකිරීමක් හා සමාව අයැදීමක් අපට අවශ්‍යයි,” ඇය කේන්තියෙන් කීවා ය.

පවුල – A.S.S. අයේෂා (36)
අත් අඩංගුවට ගනු ලැබූවේ – එම්.බී. *හකීම් (44), හොරොව්පතාන
වර්තමානයේ දී – ඇප මත නිදහස් (2019 නොවැම්බර් 19 සිට)
චෝදනා – සහරාන් වෙතින් ඔහුගේ ගිණුමට මුදල් ලැබුණු බවට චෝදනා.
යැපෙන්නන් – දරුවන් පස්දෙනෙක් (පුතුන් වයස අවුරුදු 9, 4 ½ සහ 3 සහ දියණියන් වයස අවුරුදු 11 සහ 6)

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පස්දෙනාගෙන් පළමුවැන්නා මගේ සැමියා. 2019 මැයි මස 25 වන දින අලුයම 5.05 ට පමණ ඔවුන් තුවක්කු රැගෙන පැමිණියා. පොලිසිය ඇහුවා ඇයි අපේ ළමයි අඬන්නේ කියලා, ඔවුන් ප්‍රකාශයක් අරගෙන මගේ මහත්තයාව ආපහු එවනවා කියලා කිව්වා. STF පැමිණ අපේ නිවස පරීක්ෂාකර අපගේ හැඳුනුම්පත් සහ බැංකු පොත් රැගෙන ගියා. සියල්ල අප වෙත ආපසු ලබා දෙන ලෙස TID විසින් පසුව STF වෙතින් ඉල්ලා සිටියා. ඔවුන් ඔහුට මාංචු දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ඔහුගේ සේවා ස්ථානයට ගෙන ගොස්, ඔහුගේ සියලු සගයන් ඉදිරියේ ඔහුට නින්දා කරමින්, ඔහුගේ සේවා ස්ථානය පරීක්ෂා කර බැලුවා. ඉන්පසු ඔවුහු නිවස පරීක්ෂා කිරීම සඳහා මාංචු දමා ඔහුගේ දරුවන් ඉදිරිපිටට ගෙන ආවා. සිදුවන්නේ මොකද් ද කියලා දැනගන්න මම වහාම නසීබාට කතා කළා. එතකොට දැනගත්තා සකරියා ඇතුළු තවත් 4 දෙනෙකු රැගෙන ගොස් ඇති බව, ඇය පැවසුවා ය.

මම හොරොව්පතානේ අභ්‍යන්තර පාසලක ගුරුවරියක්. මම උයනවා, පාසැලට යනවා, උගන්වනවා, කෑම අරගෙන බන්ධනාගාරයට ගිහින් මගේ ස්වාමිපුරුෂයා බලලා ගෙදර එනවා. මට මගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආහාර පිසීම වැනි බොහෝදේ ගැන රැකියාවට යාමට පෙර සොයාබැලීමට සිදු වූ නිසා සෑම දිනකම මම පාසලට ප්‍රමාද වුණා. මගේ දරුවන්ගේ මිතුරන් ඔවුන්ට විහිළු කළා, ඔවුන්ගේ පියා අයිසිස් හි සිටියේ දැයි විමසමින් ඔවුන්ට හිරිහැර කළා. ඔවුන් බොහෝ සෙයින් බියට පත් වූණා වගේම ඔවුන්ගේ පියා පිළිබඳව දුකෙන් හිටියා. අපේ වැඩිමහල් දරුවා ඉතා දක්ෂයි, ඒත් ඇය තම පියා අත්අඩංගුවට ගැනීම ගැන කොතරම් දුක්වුණා ද කියනවා නම්, ඇය පන්තිවලට යාම නැවැත්තුවා පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයත් සමත් වුණේ නැහැ. මම ඒ දවස් ගැන හිතන්න පටන් ගත්තම මට කෑගහලා අඬන්න ඕනේ,” ඇය සිහිපත් කළා ය.

සෑම මසකම අයේෂාගේ නිවසේදී දරුවන්ගේ බර මණින පවුල් සෞඛ්‍ය සේවිකාව, *හකීම් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගේ පැමිණීම නැවැත්වූවා ය. අනිවාර්ය නිවාඩු ලබා ගන්නා ලෙස හකීම්ට ඔහුගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කාර්යාලයෙන් ලිපියක් ලැබුණි. ඔවුන් ඔහුව රැකියාවෙන් ඉවත් කළේ නැහැ. ඒ නිසා ඇප මත නිදහස් වූ වහාම ඔහුට නැවත සේවයට පැමිණීමට හැකි විය. ඔහුගේ සමහර සගයන් *හකීම්ට පවසා ඇත්තේ ඔහුට කෝටි 100 තිබීම ගැන ඔවුන්ට නොකියූ බවයි. එසේම ඔවුන් බොහෝ දෙනෙක් ඔහුව මග හැරීමට පටන් ගෙන තිබුණි. ඉතින්, ඔහු තමා සමඟ කතා කරන අයට පමණක් කතා කරනවා. ඔහු වෙන කුමක් කරන්න ද?”අයේෂා විමසයි.

දැන් මගේ ලොකුම ගැටලුව වෙන්නේ ඒ කාලය තුළ මා ලබා ගත් සියලුම ණය ආපසු ගෙවීම යි. මම උපයන රු. 40,000න් රු. 20,000 ක් ණය සඳහා පමණක් කපා හරිනු නිසා, නිවස පවත්වාගෙන යාමට සහ දරුවන්ගේ වියදම් සඳහා වැඩි මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. මට අවශ්‍ය අනෙක් ප්‍රධාන දෙය වෙන්නේ මාධ්‍යයෙන් මගේ ස්වාමිපුරුෂයාගේ නම නිර්දෝෂී කර ගැනීමයි. ඔවුන්ගේ බොරුවලින් අපේ ජීවිතය විනාශ කළේ ඒ අය යි,” ඇය කීවා ය.

රැඳවියා – එන්. සකරියා (40), හිජ්රාපුරම්, කැබිතිගොල්ලෑව
වර්තමානයේ දී – ඇප මත නිදහස්
චෝදනා – සහරාන් වෙතින් ඔහුගේ ගිණුමට මුදල් ලැබුණු බවට චෝදනා.
විවාහක තත්වය – විවාහකයි
යැපෙන්නන් – දරුවන් තිදෙනෙක් (වයස අවුරුදු 10 සහ 7 ගැහැණු ළමයින් සහ පුතා වයස අවුරුදු 3)

2019 මැයි මස 24 වන දින හොරොව්පතාන පොලිසිය සකරියාගේ නිවසට පැමිණ ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රැගෙන ගියේ ය. ඔහු සවස 2 සිට 8 දක්වා ප්‍රශ්න කිරීමක් නොමැතිව පොලිස් ස්ථානයේ සිටි අතර පසුව රාත්‍රී 8.30 ට පමණ ඔහුට ආපසු ගෙදර යා හැකි බවත් අවශ්‍ය නම් ඔවුන් විසින් ඔහුව නැවතත් කැඳවන බවත් පැවසී ය. එය රාමසාන් සමය වූ අතර උපවාසයෙන් පසු ආහාර ගැනීමේ වේලාවේ දී ඔහුට කිසිවක් ලබා දී නොතිබුණ අතර ඔහුට එදින රාත්‍රියේ නැවත නිවසට පැමිණෙන තෙක් වතුර පමණක් ලැබී තිබුණි. පසුදා උදෑසන අසල වෙළඳසැල් හිමියන් පවසා තිබුණේ එදින ඔවුන්ගේ ගමෙන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යන බවයි.

එදින (25) අලුයම 5.30 ට පමණ හොරොව්පතාන පොලිසිය යළිත් වරක් සකරියාගේ නිවසට පැමිණ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. තවත් හතර දෙනෙක්, එල්.ටී. ජෙස්මින්, එම්.බී. හකීම්, එස්..ඉර්ෆාන් සහ එස්..කලිෆතුල්ලා ද එදිනම අත්අඩංගුවට ගනු ලැබී ය. දින තුනකට පසු ඔවුන්ව වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලදී. හොරොව්පතාන පොලිසිය විසින් සිය පවුලේ අය ඉදිරිපිට නිවසේ සිටිය දී මාංචු දමා *හකීම්ව ඔහු වැඩ කරන ඩී.එස්. කාර්යාලය ස්ථානයට ගෙන ගිය අතර එහිදී ඔහු සිය සගයන් සියලු දෙනා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමෙන් පසු පොලිසියට රැගෙන ගියේ ය. පසුව ඔවුන් ඔහුව නැවතත් නිවස පරීක්ෂා කිරීම සඳහා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් තිබේ.

සහරාන් විසින් කෝටි 100 (ලංකා රුපියල් බිලියනයක) මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති බවට චෝදනා කරමින් පොලීසිය ඔවුන්ට ලංකාදීපයේ පළ වූ ප්‍රවෘත්තියක් පෙන් වූ අතර ඔවුන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේ ය. මුදල් ලබා ගැනීම පිළිබඳව ඔවුන් ප්‍රතික්ෂේප කළ විට පොලීසිය ඔවුන්ට පවසා තිබුණේ ගමෙන් පැමිණි නියාස් සහ අබු බකාර් නම් දෙදෙනාට එරෙහිව සාක්ෂි දුන්නොත් ඔහුව නිදහස් කරන බවයි. අන් අය පිළිබඳව බොරු කීමට හා වැරදිකරුවන් කිරීමට ඔවුන්ට අවශ්‍ය නැති නිසා ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි. තවද, ඔවුන් සියලු දෙනාම නිශ්චිතවම කියා සිටින්නේ තමන් කවදාවත් සහරාන් හමුවී හෝ කතා කර නැති බවත්, ඔහු පිළිබඳව දැනගත්තේ පහරදීමෙන් පසුව පමණක් බවත් ය.ත්‍රස්තවාදී යැයි අර්ථකථනය කළ හැකි ඕනෑම දෙයක් අපෙන් කිසිවෙකු විසින් මෙතෙක් දේශනා කර ඇති එක් දේශනයක් හෝ උපුටා දක්වන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. අපි සෞදි මුදල් යොදාගෙන කිසිවක් හදලා නැහැ. අප විසින් ගොඩනගා ඇති සෑම දෙයක්ම දේශීයව අරමුදල් රැස් කර ගෙන හදලා තියෙන්නේ. අපට මෙහි තියෙන්නේ එක් මුස්ලිම් පල්ලියක් විතරයි. බෂීර් සහ අනෙක් අයට 3 ක් තියෙනවා,ඔවුන් පැවසී ය.

කෝටි 100 අතහරින්න, අපේ නිවස හදලා ඉවරගන්න අවශ්‍ය ලක්ෂ 5 ක් වත් තිබුනේ නම් ඒක ලොකු දෙයක්. අපෙන් එක් කෙනෙකුට බැංකු ගිණුමක් වත් නැහැ. තවත් කෙනෙකුට, සම්පූර්ණ සිවිලිම ආවරණය වන පරිදි සෙවිලි තහඩු හෝ නිසි වැසිකිළියක් තැනීමට තරම් මුදලක්වත් නැහැ යනුවෙන් ඔවුන් සිනාසෙමින් පැවසූ හ.

පසුව ඔවුන් පස්දෙනා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතර ඔවුන්ගෙන් හතර දෙනෙකු දින 14 කට පසු වාරියපොල බන්ධනාගාරයට මාරු කරනු ලැබී ය.මුල දී ඔවුන් පස්දෙනාට වෙනම අංක යටතේ චෝදනා ගොනු කර තිබුණ ද, පසුව ඔවුන් නියාස් සහ අබුබකාර් යන අයගේ අංකය යටතේම චෝදනා ගොනු කරන ලදී එමනිසා ඔවුන්ව පිටතට ගැනීම ඉතා අපහසු විය. පොලිසියට ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොතිබුණා.කැබිතිගොල්ලෑව පොලිසිය සනාථ කළේ ඔවුන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවත්, බෂීර් සහ ඔහුගේ කණ්ඩායම විසින් ඔවුන්ට එරෙහිව පුද්ගලික පළිගැනීමක් හේතුවෙන් චෝදනා එල්ලකර ඇති බවත් ය. ඔහු (බෂීර් සහ ඔවුන්) ඔබ සියලු දෙනා සමඟ මෙතරම් කෝපයෙන් සිටින්නේ මන්දැයි ඔහු කණ්ඩායමෙන් විමසා තිබේ. සහරාන් කිසි විටෙකවත් මෙම ප්‍රදේශයට පැමිණ නොමැති බව ද ඔහු පැවසී ය.

ඔවුන් රඳවාගෙන සිටියේ රාමසාන් කාලය තුළ බැවින් මුල දී ඔවුන්ට උපවාසය බිඳීම සඳහා ආහාර පවා ලබා දී තිබුණේ නැත. කෙසේ වෙතත්, පසුව ඔවුන් සියල්ලන්ම සත්‍යය දැනගත් විට සහ ඔවුන් ත්‍රස්තවාදීන් නොවන බව දැනගත් විට, සෑම කෙනෙකුම ඔවුන් ගැන කණගාටු වී ඔවුන්ට හොඳින් සළකා තිබේ.

ප්‍රජාවේ ඇතැමුන් විසින් ඔවුන්ට එරෙහිව කරන ලද පුද්ගලික පළිගැනීම් හේතුවෙන් ඔවුන් පටලවා ඇති බව සකරියා පැවසීය. පුද්ගලික පළිගැනීම් ඇතිවී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා සහ ඉස්ලාමයේ අර්ථ නිරූපණයන් සහ භාවිතයන් මෙන්ම සමහර පවුල් ආරවුල් හේතුවෙනි. අප පටලවා ඇති බව අපි දැන ගත්තා. අපව අත්අඩංගුවට ගත් දිනයේ දී මෙහි සිට 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා බව මුළු ගමම දැන සිටියා. ඔවුන්ගෙන් අයෙක් අපව පටලවා ඇත්නම් මිස ඔවුන් මෙය දැනගත්තේ කොහොම ද? ”සකරියා විමසී ය.

ඔවුන්ව පැටලවීමට වගකිව යුතු යැයි ඔවුන් විශ්වාස කරන පිරිමි කණ්ඩායමෙන් එක් අයෙකු වන බෂීර්ගේ දි‍යණිය සකරියාගේ සහෝදරයා සමඟ විවාහ වී සිටී. සකරියාගේ සහෝදරයා ලොරියක් මිලදී ගැනීම සඳහා බෂීර්ගෙන් රු. 200,000 ක ණයක් ලබාගත් අතර ඔහුට එය ආපසු ගෙවීමට නොහැකි වූ නිසා සකරියා සිය එළදෙනුන් විකුණා එම මුදල් බෂීර් වෙත ආපසු ලබා දී තිබේ.

තව දුරටත්, බෂීර්ගේ මිනිසුන්, නවාස්ගේ බිරිඳ ප්‍රදේශයේ මොන්ටිසෝරි පවත්වාගෙන යනවා, අපිත් එකක් පවත්වාගෙන යන නිසා, එය හොඳින් සිදු වන නිසා, නවාස් සහ ඔවුන් ඊර්ෂ්‍යා වුණා. එමනිසා, ඔවුන් ප්‍රහාරවලින් ප්‍රයෝජන අරන්, අපව ඉවත් කිරීමට අපව පැටළුවා යැයි, සකරියා පැවසී ය.

අපි ජේවීපී ආධාරකරුවන්, අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අපි දැඩි විශ්වාසයක් තියෙනවා, විශේෂයෙන් අප වැඩෙන කාලයේ අපට බොහෝ අවස්ථාවන් තිබුණු නැති නිසා.. අපි අනුගමනය කරන්නේ ඉස්ලාමය පිළිබඳ දෘඩ නොවන හා වඩා ප්‍රායෝගික අර්ථකථනයක්. මෙහේ සමහර කණ්ඩායම් ඊට විරුද්ධ යි,” ඔහු පැවසී ය. *හකීම් සහ මෙම නිකායේ වෙනත් අය වසර 2000 සිට අරාබි භාෂාවට අමතරව දෙමළ භාෂාවෙන් ද දේශනා කරමින් සිටින නිසා ඔවුන්ව මෙම කණ්ඩායම් විසින් ඉස්ලාමීය විරෝධී යැයි ද සැලකේ. මිනිසුන් තේරුම් ගන්නා භාෂාවකින් කථා කිරීමේ වරද මොකක් ද? ඔබ කියන දේ කිසිවෙකුටවත් තේරුම් ගත නොහැකි නම් අරාබි භාෂාවෙන් දේශනා කිරීමේ තේරුම කුමක්ද?,” ඔහු ඊට එකතු කළේ ය.

අපගේ නිකායන් දෙක අතර මතභේදයට තුඩු දෙන කරුණු අතර අල් කුර්ආනයේ ඉගැන්වීම් පිළිබඳ අපගේ අර්ථ නිරූපණය ඇතුළුව, ජීවිතයක් බේරා ගැනීම සඳහා මුස්ලිම්වරුන්ට ප්‍රජාවෙන් පිටත රුධිරය පරිත්‍යාග කිරීමට අවසර දීම, අපි දෑවැද්ද භාර නොගැනීම, යාඥා සඳහා තොප්පිය හෝ වළලුකර දක්වා දිග ඇඳුම් ඇඳීම අනිවාර්ය නොවීම ආදිය යි,

අවසානයේ දී නොවැම්බර් 19 වන දින ඔවුන් ඇප ලබා ICCPR චෝදනාවෙන් නිදහස් විය. කෙසේ වෙතත්, PTA චෝදනා තවමත් අඛණ්ඩව තිබේ. පොලිසිය නිතිපතා අපේ නිවෙස්වලට යන එන අතරම රහස් පොලිසිය අපට පවසා ඇත්තේ අපට අපගේ පල්ලියේ යාඥා කිරීමට යා නොහැකි බවයි. පසුගිය වසරේ ප්‍රහාරයෙන් පසුව එය වසා දමා තිබේ.

අපට තවමත් බොහෝ අපකීර්තියට මුහුණ දීමට සිදුවී තිබෙනවා, තවමත් ‘මෙන්න කෝටි 100 කණ්ඩායම එනවා’ මිනිසුන් කියනවා, තාත්තලා ත්‍රස්තවාදීන් යැයි කියා අපේ දරැවන්වද හිරිහැරයට ලක් කරනවා. මෙම නඩුව අවසන්වන තුරු අපෙන් කිසිවෙකුට නැවත රැකියාවට යාමට හෝ විදේශගත වීමට බැහැ. අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති ජයවර්ධන අපට පැවසුවේ අප නිර්දෝෂී බව ඔහු දන්නා බව හා බස්නාහිර පළාතෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත අපව රැගෙන ගිය බවයි,” සකරියා පැවසීය.

මේ වන විට පරීක්ෂණ අවසන් බවත් ඔවුන්ගේ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ආයතනය ඔවුන්ට පවසා තිබේ. අපේ නඩුව නිෂ්ප්‍රභ කිරීම සඳහා ඔවුන් එතැනින් නියෝගයක් නිකුත් කළ යුතුයි. එබැවින් එතෙක් නඩුව ඉදිරියට ඇදගෙන යනු ඇත.

රැඳවියා – එල්.ටී. ජෙස්මින් (33), හිජ්රාපුරම්, කැබිතිගොල්ලෑව
වර්තමානයේ – ඇප මත නිදහස්
චෝදනා – සහරාන් වෙතින් තම ගිණුමට මුදල් ලැබුණු බවට චෝදනා.
යැපෙන්නන් – දරුවන් දෙදෙනෙක් (පුතා වයස අවුරුදු 5 සහ දියණිය වයස අවුරුදු 2)

මම නිවසේදී උපකාරක පන්ති පැවැත්වූ නමුත් මා අයිසිස් සමඟ සම්බන්ධ වී ඇති බවට ඔවුන් බිය වූ නිසා මා නිදහස් කිරීමෙන් පසු කිසිවෙකුත් තම දරුවන් එව්වේ නැහැ. අපේ ගෙදරට නිසි දොරවල් හෝ ජනෙල් නැහැ. අපි නිවස ඉදිකිරීමට ණය ලබාගෙන තියෙනවා, දැන් සියල්ල ගෙවන්නේ කොහොමද කියන්න අපට අදහසක් නැහැ,” ඔහු පැවසී ය.

අපේ ඉදිරිපස නිවසේ අසල්වැසියන් තමා අපව මෙයට පටලවා දුන්නේ. මම නැවත නිවසට පැමිණ මස 2.5 ට වඩා ගතවෙලා තියෙනවා(මෙය ලියන අවසිථාවේදි ) එත් ඔවුන් මෙතෙක් අප කෙසේදැයි විමසුවේ නැත. ඔවුන්ට පැහැදිලි හෘද සාක්ෂියක් තිබේ නම්, ඔවුන්ට පැමිණ අපත් සමග කතා කිරීමට ගැටලුවක් නොතිබිය යුතුය.

මම සිරගතව සිටිය දී, වෙනත් දෙමළ PTA සිරකරුවන් හමුවී කතා කළා, ඔවුන්ගෙන් සමහරු අවුරුදු 10 ක් පමණ එහි සිට ඇති අතර ඔවුන්ගේ ලිපිගොනු තවම ඉදිරියට ගෙන නැහැ. මටත් ඒ දේම වෙයි ද කියලා මම ගොඩක් වද වුණා. සිරගෙදර ගත කළ කාලය පුරාම මගේ එකම සිතුවිල්ල වූයේ මගේ දරුවන් සහ ඔවුන් ආරක්ෂිත ද කියන එක. දැන් මම ආපසු පැමිණ ඇති නිසා මම කිසි විටෙකත් මගේ පවුල තනි කරන්නේ නැහැ. අපට නිසි දොරවල් හෝ ජනෙල් පවා නොමැති නිසා මගේ අසල්වැසියන් කුමක් කළ හැකිදැයි මට විශ්වාස නැහැ.

අපේම මිනිස්සු අපිව පාවලා දුන්නාකියා ජෙස්මින් කනගාටුවෙන් පැවසුවේ ය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත: වසර 42 ක් පුරා ශ්‍රී ලංකාව භීතියට පත් කරමින් සිටී. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ පවුල් කෙරෙහි ඇති වූ සමාජ ආර්ථික හා මානසික බලපෑම” නම් වාර්තාවෙනි.

සමපූර්ණ වාර්තාව පීඩ්ෆ් ගොනුවක් ලෙස:PTA_Terrorising-Sri-Lanka-for-42-years-Sinhala

© 2020 නීතිය හා සමාජ භාරය

Archive

Latest news

Related news