Monday, May 6, 2024

ආදර කතාවක්: ඉන්දියානු පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු සමරිසි ප්‍රේමය වෙනුවෙන් කළ සටන

Photo: Sharon McCutcheon/Unsplash.

1980 ගණන්වල ඩයිනෝසෝර බිත්තර සහ පොසිල සොයා ගැනීම සඳහා ප්‍රසිද්ධ වූ ඉන්දියාවෙහි ගුජරාටයේ මහීසගර් පෙදෙස නැවත වරක් ප්‍රවෘත්තිවලට පැමිණ තිබේ, මෙවර එම ප්‍රසිද්ධිය ලැබී ඇත්තේ පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ සමරිසි ප්‍රේමයේ ධෛර්ය සම්පන්න කතාවක් සඳහා.

24 හැවිරිදි පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු වන අව්නි සහ ප්‍රීති (නම් වෙනස් කර ඇත) එකට ජීවත්වෙමින් සිය ප්‍රේම සබදතාවය පවත්වා ගෙන යමින් සිටියහ. සිය සමරිසි ප්‍රේමය ඔව්හු රහසක් ලෙස තබා නොගත් අතර මිතුරු කවයන් ඒ ගැන දැන සිටියහ. දෙදෙනාම ඔවුන්ගේ මිතුරන් හා සගයන් සමඟ සිය සම්බන්ධතාවය ගැන විවෘතව ප්‍රකාශ කර තිබුණි.

තම පෙම් සම්බඳතාවයට නීතිමය අනුමැතිය ලබා ගැනීම සඳහා ජුනි 10 වන දින ඔවුහු “මයිත්‍රි කරාර්” නම් මිත්‍ර ගිවිසුමට අත්සන් කළහ. හින්දු විවාහ පනත උල්ලංඝනය නොවන සේ හින්දු පුරුෂයින්ට අනියම් බිරිඳක් ලබා ගැනීමට ආවරණය සැපයීම සඳහා ගුජරාටය මෙම මිත්‍රත්ව කොන්ත්‍රාත් ක්‍රමය 1970 දශකයේ දී නිර්මාණය කරන ලදී. කෙසේ වෙතත්, පසුගිය වසරයන්හිදී මෙම “මයිත්‍රි කරාර්” නම් මිත්‍ර ගිවිසුම භාවිත කර ඇත්තේ බහුතර සමාජය විසින් බොහෝ විට පිළි නොගන්නා අන්තර්ආගමික සහ සමරිසි ප්‍රේමවන්තයින් විසින් ඔවුන්ගේ සබඳතාවන්ට නීතිමය ආවරණයක් ඇති කර ගැනීම සඳහාය.

ප්‍රීති සහ අව්නිටද අන් බොහා් තැන්වලදි මෙන් සිය ආදරය නිසා දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන දැනගත් පසු ප්‍රීතිගේ දෙමාපියන් ඇයට තර්ජනය කළහ. “ඔවුන් අපේ ගෙදරට ඇවිත් මගේ රැකියාව අතහැර ඔවුන් සමඟ ආපසු යන ලෙස ඉල්ලා සිටියා. අව්නි සමඟ මගේ සම්බන්ධතාවය ඔවුන්ට තේරුම් ගන්න බැහැ. මට ජීවිතයේ අවශ්‍ය කුමක්ද සහ මට ජීවත් වීමට අවශ්‍ය වන්නේ කෙසේද කියන එක ගැන ඔවුන්ට තැකීමක් නැහැ” යැයි ගොවී පවුලකින් පැමිණි ප්‍රීති පවසයි.

මෙම තත්වය යටතේ ඔවුන් දෙදෙනා තමන්ට ආරක්ෂාව ඉල්ලා සිය සේවා ආයතනයද වන පොලීසියෙහි පොලිස් අධිකාරී හමුවී පැමිණිල්ක් දැමූහ. නමුත් පොලීසිය කල් මැරුවෙිය.

පොලීසිය නිසි පියවරක් නොගත් බැවින් ප්‍රීති සහ අව්නි ගුජරාට් මහාධිකරණය හමුවෙහි පෙත්සමක් ගොනු කළහ. ඊට පිළිතුරු වශයෙන් පොලිස් අධිකාරී උෂා රාඩා කියා සිටියේ ඔවුන් පැමිණිල්ල පිළිබඳව සොයා බලන නමුත් විමර්ශනයට යම් කාලයක් ගත වන බවයි. ඔහු මෙසේද කීවේය. “අප සැලකිලිමත් වන්නේ ඔවුන් සිය පොලිස් රාජකාරිය කරන්නේ කෙසේද යන්න ගැන පමණයි. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සමඟ අපට අදාළ වන්නේ නැහැ”,

ජුනි 23 අධිකරණ නියෝගයක් දෙමින් විනිසුරු ඒ.ජේ. දේසායි මහතා මෙසේ “අවශ්‍ය නම් පෙත්සම්කරුවන්ට පොලිස් ආරක්ෂාව ලබා දිය යුතු” බවට නියෝග කර තිබේ.

මේ වනාහී ස්වකීය ආදරය වෙනුවෙන් අධිශ්ඨාන සහගතව සටන් කළ තරුණියන් දෙදෙනෙකුගේ ධෛර්යමත් කතාවකි.

( “ද වයර්” හි පළ වූ පුවතක් ඇසුරිනි)

පසු සටහන: ශ්‍රී ලංකාවේ පොලීසිය මෙවැනි සිදුවීමක් ඇති වුව හොත් කෙළෙස කටයුතු කරනු ඇත්ද? ඉටත් වඩා ජඩ මාධ්‍ය විසින් ඒවැනි නිලධාරිනියන් වෙතොත් ඔවුන් මත කොතරම් අවලාද සහ මඩ මුදා හරිනු ඇත්ද? එමෙන්ම පසුගාමී දේශපාලඥයින් විසින් කොතරම් නින්දිත ලෙස ඔහුනට විරුද්ධව පොලීසිය උසිගන්වනු අත්ද?

Archive

Latest news

Related news