Friday, April 26, 2024

සැබෑ නායකයන් කැපී පෙනෙන්නේ ව්‍යසනයක දී ය.

කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ දී, වඩාත් ඵලදායී වන්නේ, වහා ක්‍රියාත්මක වීම, සානුකම්පිත බව සහ විද්‍යානුකූල ප්‍රවේශයන් කෙරෙහි විශ්වාසය තැබීමයි.

[title]ධෛර්ය සම්පන්න දයාර්ද්‍ර හදවත්[/title]

නායකත්වය යනු කෙබන්දක් දැ’යි පැහැදිලි කිරීම පහසු නොවනු ඇති නමුත්, ව්‍යසනකාරී වාතාවරණයන් දී, එය හඳුනා ගැනීම පහසු ය. ලෙඩවීමත්, මරණයත් සමග වෛරසයත් පැතිරෙන අතර, ලොවපුරා ජාතික නායකයන්ගේ නායකත්වයත් පරීක්ෂණයට භාජනය විය. සමහරුන් හැකිලෙද්දී, තවත් සමහරු අඳුරෙහි සැඟව ගිය අතර, බලාපොරොත්තු සහගත ව, ධෛර්ය සම්පන්න දයාර්ද්‍ර හදවත් උත්කර්ශවත් කෙරෙමින් තැනට සුදුසු නුවණින් නැගී සිටි නායකයෝ ද සිටිති. ඔවුන් විද්‍යාව කෙරෙහි දැක්වූ ගරුසරු බවත්, මුලික වශයෙන් ප්‍රකට කළ හික්මීමත්, ඔවුන්ගේ ජනතාවන්ට රෝගයෙන් වූ පීඩාව අව ම කරවී ය.ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ පළමුවන තැන හිමිවන්නේ නවසීලන්ත අගමැතිනි 39 හැවිරිදි ජසින්තා ආර්ඩර්න්ට ය. මාර්තු 21 දින වන විට නවසීලන්තයේ සිටි තහවුරු කර ගැනුණ රෝගීන් සංඛ්‍යාව 52 කි. සිය ජනතාව ඇමතූ ඇය, රජයේ ප්‍රතිචාරය ජව සම්පන්න කර ගැනීම සඳහා අනුගමනය කෙරෙන පිළිවෙළ කිමෙක් දැ’යි පැහැදිලි ව ප්‍රකාශ කළා ය. “මේ තීරණවලින් නවසීලන්ත ජනතාවගේ හැසිරීම් මෑත ඉතිහාසයේ කිසිදිනෙක නොවූ විරූ ලෙස පාලනය කෙරෙනු ඇති නමුත්, වෛරසය පැතිරීම පාලනය කර, ජීවිත ආරක්ෂා කර ගැනීමට හොඳින් ම ඉඩ සැළසෙන්නේ ඒවායින් පමණි. ඒවා ඉතාමත් සානුකම්පිත ව ගැනෙන පියවරයන් ය. කරුණාකර, කෝවිඩ්-19 ට එරෙහි ව එක්සත් ව, ශක්තිමත් ව නැගී සිටින්න.”

මධ්‍යස්ථ මතධාරී ආර්ඩේන් මහත්මිය, අන් සියල්ල දෙවෙනි කොට, වෛරසය තම දිවයින්වලින් අතු ගා දැමීමේ අදිටනින් සහයෝගිතා ප්‍රයත්නයක් දියත් කිරීම සඳහා ඉන්පසු ව, සම්බන්ධ වන්නේ ගතානුගතික මත දරණ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වන, ස්කොට් මොරිසන් මහතා සමග ය.

[title]ධෛර්යවන්ත ස්ත්‍රී නායකත්වය[/title]

රෝගයේ උණුසමත් මැඩ පවත්වා ගෙන, ස්වකීය ජාතීන් අතර එකමුතු භාවයත් රැක ගැන්මට සමත් වූ ජාතීන් පිළිබඳ සෙසු නිදසුන් සැපයෙන්නේ ආසියානු කලාපයේ දකුණු කොරියාව සහ තායිවානයෙනුත්, යුරෝපයේ ජර්මනිය, ග්‍රීසිය සහ අයිස්ලන්තයෙනුත් ය. ඒ අතරින් වඩාත් ඵලදායක මෙන් ම, ධෛර්යවන්තයන් ලෙස ඉස්මතු වූයේ, ලෝක නායකයන් අතර සුලු පිරිස වූ කාන්තාවන් ය.

ආර්ඩේර්න් මහත්මිය මෙන්, සන්සුන් ව, කල් ඇති ව ක්‍රියාත්මක වූ ජර්මනියේ චාන්ස්ලර්වරිය වූ ඇන්ජෙලා මාර්කෙල් රෝග පරීක්ෂාව ක්ණිෂක ව ම දියත් කරමින්, ඇගේ නියෝගයන්ට අනුගත නොවුවහොත් බොහෝ දෙනෙකු නව කොරෝනා වෛරසයට ගොදුරු වනු ඇතැ’යි ජර්මානුවන්ට අවවාද කළා ය. වහ වහා රෝග පරීක්ෂාව කරළියට නංවමින් නව අනතුර ඉස්මතු වූ මුල් ම අවස්ථාවේ දී ම, ඒ අයුරින් ම ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වූ තායිවාන ජනාධිපති ත්සෙයි ඉංග්වෙන්ට එක්සත් ජනපදයට සහ යුරෝපයට ලක්ෂ ගණනින් මුහුණු ආවරණ සැපයීමට හැකි විය. අයිස්ලන්තයෙහි අගමැති කැත්‍රින් ජේකොබ්ඩොටීර් රජය මෙහෙයවූයේ, සියළු දෙනාට ම වෛරස පරීක්ෂාව නොමිළයේ කර ගැනීමටත් ආසාදිතයන් ඇසුරු කළ වුන් හඹා යාම වඩාත් විධිමත් කරවීමටත් ඉඩ සළසමිනි. ඩෙන්මාර්කයේ අගමැතිනි මෙටේ ෆ්‍රෙඩ්රික්සන්, ඔවුන’තර ලාබාලතමයා වූ ෆින්ලන්ත අගමැතිනි 34 හැවිරිදි සානා මැරීන් සහ නොර්වේ අගමැතිනි එර්නා සොල්බර්ග් ඔවුන්ගේ රටවල ප්‍රශංසාවට භාජනය වෙමින් අර්බුදය ජයගෙන ලෝකයාගේ ද ගෞරවයට පාත්‍ර වූ අනෙකුත් කාන්තාවන් ය.

ඒ අතර විමතිය දනවන අවස්ථාවන් ද තිබුණ රටවල් අතර නොදෙවෙනි ම තැනක් හිමි වන්නේ, නොකඩවා ම සාමාන්‍ය තත්වයෙන් රටේ කටයුතු පවත්වා ගෙන ගිය ස්වීඩනයට ය. ස්වීඩනයේ වසර හැත්තෑවට පහළ බොහෝ දෙනෙකුට කෝවිඩ් ආරවුලෙන් ජීවිතාරක්ෂා ව සළසා ගත හැකි වූයේ, “සාමුහික ප්‍රතිශක්තිකරණය” අනුගමනයෙනි. ප්‍රවේශය අනෙක් සියල්ලන් ම අනුගමනය කළ පිළිවෙළට වඩා හාත්පසින් ම පෙරළිකාරී එකක් වුව ද, වයෝවෘද්ධයනට නිවෙස්වල ම රැඳී සිටින්නට නියම කෙරුණ අතර ම, අනතුරු ඇඟවීමේ නියෝග කිසිවෙකුත් මග නොහැරෙන සේ සියළු රට වැසියන්ට ම ලැබුණ බව තහවුරු කෙරිණ. එහි සාර්ථක අසාර්ථක භාවය කෙසේ වෙතත්, එයින් ලබාගත හැකි පාඩම් තිබේ.

[title]ගෞරවය දිනූ ඉතාලියෙහි නායකයා[/title]

වසංගතය දරුණු ලෙස පැතිර ගිය යුරෝපීය ජාතිය වූ ඉතාලියෙහි නායකයා වූ නීති මහාචාර්යවරයෙකු වූ ගියුසෙෆේ කොන්තේ, මොන ම අයුරකින්වත් ප්‍රසිද්ධ තැනැත්තෙකු නොවේ. ඉපැරණි සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක නායකත්වයට ක්‍රමයෙන් නැගෙන ඔහු ව තෝරා ගැනෙන්නේ ඉතාමත් අසංවිධානාත්මක, නොහික්මුණ දේශපාලනික කණ්ඩායම් සභාගයක් මගිනි. ඔහු රජය රට වැසියා ආරක්ෂා කරන්නේ ය යන පොරොන්දුව තහවුරු කෙරෙන සේ දැඩි නියෝග පැනවීමේ ගෞරවය දිනාගෙන තිබේ.

සිත් ගත නොහෙන තරමින් සාර්ථකත්වයට පත් වෙමින්, හෙමින් සීරුවේ ක්‍රියාත්මක වූ යුරෝපීය කොමිසමෙහි දුබල ම සාමාජිකයන් අතර සිටි ග්‍රීසිය අත්පත් කරගෙන තිබෙන තරම විස්මය ජනක ය. තෙසොලිනිකි ප්‍රදේශයෙහි මුල් ම ආසාදිතයා වාර්තා වූයේ, පෙබරවාරි 21 ය. ඉතාමත් ක්‍රියාශීලී ව නැගී සිටි අගමැති කිරියාකොස් මිස්කොටැකිස් ප්‍රසිද්ධ ස්ථාන වසා දැමීමට යුහුසුළු වූයේ ය. සංචාරක කටයුතු සීමා කරවී ය. දැඩි සත්කාර සඳහා රෝහල් පහසුකම් පුළුල් කරවී ය. මේ සතිය වන විට, ග්‍රීසියෙහි සිටින්නේ ආසාදිතයන් 3000 කට අඩු ප්‍රමාණයකි.

සැබවින් ම, මේ ජයග්‍රහණ සහ සංඛ්‍යා සටහන්, නියෝග දුන් තැනැත්තන්ගේ අනුමැතියට යටත් වියයුතු ය. ජර්මනියෙහි මරණ සංඛ්‍යාව තිබෙන්නේ ඉතාමත් පහළ මට්ටමක ය. නිදසුනක් වශයෙන්, අනෙක් රටවල් හා සසඳන විට, එහි පරීක්ෂණ මට්ටම තිබෙන්නේ ඉතාමත් ඉහළ තැනෙක ය. ජනගහණයෙන් ඉතාමත් විශාල ප්‍රතිශතයක් වෛරසය ආසාදිතව සිටින බව එයින් දැනුවත් විය හැකි වූ අතර, වෛරස සම්බන්ධ මරණ සංඛ්‍යාව ඉතාමත් අඩු මට්ටමක තබා ගැනීමටත් හැකියාව ලැබුණේ එයිනි. ග්‍රීසියෙහි මරණ සංඛ්‍යා ඉතාමත් පහළ මට්ටමක තිබෙන්නේ, සංසන්දනාත්මක ව, ජනගහණයෙන් 1% ටත් අඩු ප්‍රතිශතයක් පරීක්ෂණයට භාජනය කරවිය හැකි වූයේත් එනිසා ම ය.

ප්‍රශංසනීය ප්‍රතිචාරයක් පෙන්නුම් කළ බොහොමයක් එකිනෙකට සහ සම්බන්ධිත, එක ආකාරයක මෙන් ම, දියුණු ජාතීන් වන අතර, වසංගතයක් සමග ගැටෙන මෑත අත්දැකීම් සහිත දකුණු ආසියාතික රටවලට ඇත්තේ අමතර වාසියකි. ස්වීඩනයේ තරම් ජනගහණයේ විවිධත්වයක් නොමැති වුවත්, ජනගහණ ඝනත්වය අතින් ඉතා ඉහළ මෙන් ම දියුණුවෙන් ද අඩු රටක් ස්වීඩනය ගත් පියවරයන් ගන්නේ කෙසේ දැ’යි යන්න හෝ රජය කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති ජනතාවක් ජර්මානුවන් සේ ඔවුන්ගේ රජයන් කෙරෙහි ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න විවෘත ව සිතා බැලිය යුතු කාරණයන් ය.

[alert type=”success or warning or info or danger”]මෙම වසංගතයේ ගර්ජනාවන් නිහඬ කරවමින්, රෝගයේ බලපෑම මැඩ පවත්වා ගැනීමෙන් ස්වකීය ජනතාවන්ගේ ගෞරවය සහ අවධානය දිනාගෙන සිටින නායකයන්ගේ ඇතැම් නායකත්ව ගති ලක්ෂණ සහ අර්බුදයක් විසඳීමට ඉදිරිපත් වන ආකාරයන්ගේ සමානකමක් දැකිය හැකි බවත්, අනාගත අර්බුදයන්හි දී ද ඔවුන්ට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙන බව සහතික කෙරෙන බවකුත් මෙයින් පෙන්නුම් කෙරේ.[/alert]

නායකත්වයක තිබෙන ගැඹුරු ම මෙන් ම වැදගත් ම සලකුණ අර්බුධකාරී අවස්ථාවක දේශපාලනික අවදානමක් පෙනි පෙනී පවා, ක්ෂණික, එඩිතර පියවර ගැනීමේ හැකියාවක් තිබීමයි. වෛරසය පුපුරා යාම සැඟවීමට චීනය දරණ ප්‍රයත්නයත්, ජනාධිපති ට්‍රම්ප් එය දිගින් දිගට ඇදගෙන යාමට දරණ ප්‍රයත්නයත් තහවුරු කරන්නේ එය කෙතරම් විනාශකාරී ද යන්නයි.

[title]ඥනාන්විතකම[/title]

ඵලදායක නායකත්වයක් තුළ කැපී පෙනෙන වෙනත් මූලික කාරණයන් අතර, විද්‍යාත්මක ඥානය කෙරෙහි දක්වන ගෞරවාන්විත භාවය, තොරතුරු ලබා දීමෙහි පවත්නා විවෘත භාවය, නිරතුරු ව තොරතුරු යාවත්කාලීන කිරීම සහ මූල්‍යාධාර සැපයීමෙහි දී කඩිනම් වීම සටහන් කළ හැකි ය. ඒ අතර ම, විද්‍යාඥවරියක් ලෙස මර්කෙල්ස් මහත්මියගේ පසුබිම ඇය කෙරෙහි විශ්වාසය තැබීමට තිබෙන ප්‍රධාන කාරණයකි. සතියකට දින භාගයක් දුරකථන ඔස්සේ උපදෙස් ලබා ගැනීමේ පහසුව ඇරඹීමට අයර්ලන්තයේ අගමැති ලියෝ වරද්කාර්ව පොළඹවන්නේ, ඔහුගේ වෛද්‍ය වෘත්තික පසුබිම ය. ඔවුන් කලින් දිනා සිටි නම තව තවත් උත්කර්ශයට නැංවෙන්නේ මේ අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීම නිසා ය.

දේශපාලනයෙන් එහා, ආර්ථික විද්‍යාව සහ විද්‍යාව පිළිබඳ දැනුම මෙන් ම වැදගත් වන්නේ, බියෙන් තැතිගෙන සිටින, අනාරක්ෂිත බවෙන් පීඩාවට පත් ව සිටින රට වැසියා කෙරෙහි බොරු මවා පෑම් නොකරන සැබෑ සානුකම්පිත බව ය. යුරෝපීය නායකයන්ගේ ජනකාන්ත නායකත්වය සහ චතුර කථිකත්වය අතින් විවාදාත්මක ලෙස අඩු ම සාටෝපවත් බවකින් කටයුතු කරන්නේ මර්කෙල් මහත්මිය වුවත්, ඇයගේ සංසුන් බව කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට භාජනය නොවෙයි. ඉතාමත් කළාතුරෙකින් මෙන් ම, කැපී පෙනෙන තරමේ නොකැමැත්තකින් වුව ද, රූපවාහිනිය ඔස්සේ ස්වකීය ජනතාව අමතන ඇය කිසි විටෙකත් උජාරුවෙන් කටමැත නොදොඩවයි. ඇය හැම විට ම සමු ගන්නේ, “ඔබ ව මෙන් ම, ඔබේ ආදරණීයයන්ව ද හොඳින් රැක බලා ගන්න” යයි පවසමිනි.

අප්‍රේල් 30 දා නිව්යෝර්ක් ටයිම්ස්හි කර්තෘ මණ්ඩලය විසින් ලියන ලද In a Crisis, True Leaders Stand Out නම් ලිපියේ පරිවර්ථනය කුඩගම්මන සීලරතන හිමි විසිනි.

(ලංකා ඊ නිව්ස්)

 

Archive

Latest news

Related news