Sunday, May 19, 2024

කොවිඩ් 19 සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග.

ඇමැතිවරයෙක් මාධ්‍යවේදීන් කැදවල තියපු පුවත්පත් සාකච්ජාවක් ගැන ජනමාධ්‍යවෙිදීන් පිරිසක් මුහුණූ පොතේ අදහස් බෙදා ගෙන තිබුණ.

මේ නිමිත්ත හොදයි කොව්ඩ් 19 ගැන ඇත්ත තොරතුරු බෙදා ගන්න පුලුවන් නව තාක්ෂණ ක්‍රම ගැන සාකච්ජාවක් පටන් ගන්න. සමහර විට දැනටමත් කල් පහුවෙලා වෙන්න පුලුවන්.

අද මාධ්‍ය සංවිධාන එකතුව කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබදව ප්‍රකාශයක් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට යවල තියෙනව. එය මේ සටහනට යටින් පළ වෙනව.

ඒක හොද ආරම්භයක්. නමුත් එහි සඳහන් නොවෙන ඉතා කාලීන අභියෝගයකට ජනමාධ්‍යවේදීන් සහ වේදිනියන් මුහුණ දෙනවා. ඒ තමයි අර මුහුණු පොතේ සාකච්චජා වෙන කාරණය.

ඒ කියන්නේ අද වගේ කාලයක රුස්විම් ශාලාවන්ට නොගොස් කොහොමද සජීවීව තොරතුරු බෙදා ගන්නේ, ප්‍රශ්ණ අහන්නේ කියන එක.

මෙවැනි මඟපෙන්වීම් සිංහල සහ දෙමළ බසින් නිකතු කිරීමත් මාධ්‍ය සංවිධානවලට ලෙහෙසියෙන් කරන්න පුලුවන්.

අද අපට ඉතාම ලෙහෙසියෙන් සූම් හෝ එවැනි මෟදුකාංගයක් පාව්ච්චි කරල ජනමාධ්‍යවේදීන් සමඟ සජීවී පුවත්පත් සාකච්ජා පවත්වන්න පුලුවන්. $ 140ක් දීල අව්රුද්දකට සූම් ගත්ත නම් තොරතුරු අමාත්‍යාංශයට පුලුවන් අදාළ ජනමාධ්‍යවේදීන්ට පුවත්පත් සාකච්ජාවහි දිගුව සහ තේකය යවල සම්බන්ධ වෙන්න කියන්න. ප්‍රශ්ණයක් අහන කොට ඔහු කව්ද කියළ පේනවා. අද මේ ක්‍රමයට සම්මන්ත්‍රණ සහ වැඩමුලු පවා ලෝකය පුරා ඉන්න පිරිස් සම්බන්ධ කර ගෙන පැවැත්වෙනවා.

දැන් අප ගමන් කරන්නේ අන්තර් ජාලය මත පදනම්ව ජාල ගතවෙමින් තොරතුරු බෙදා ගන්නා ක්‍රමවේදයන් කරා.

ඊයේ පෙරේද සෞඛ්‍ය ඇමතිනී වන්නිආරච්චි ලංකාවෙම ඉන්න වෛද්‍ය අධිකාරීන්ට කොළඹට එන්න කියල දවස්ණන් නාස්තිකරෙත් මේ අවබෝධය නැති නිසා. ඒ රැස්වීම ඉතාම අපූරුවට කාලය නාස්තා නොකර සූම් හරි එවැනි වෙනත් මෟදුකාංගයක් හරහා පවත්වන්න තිබුණා. එවිට කාලය ඉතිරිවෙනවා. ආරක්ෂාව වැඩි වෙනවා.

ජනමාධ්‍යවේදීන් අතරම පවා කොවිඩ් 19 වසංගතය ගැන සාකච්චා කරන්න මෙවැනි මෘදුකාංගයක් යොදා ගන්න පුලුවන්. ජනමාධ්‍ය විද්‍යාලයට පුලුවන් එවැනි ක්‍රමයක් සංවිධානය කරන්න. ඔවුන්ට සල්ලි තියෙනවා. දැනුමත් ඇති. දිනපතා උදේ තොරතුරු බෙදා ගන්න පුලුවන් විදියට හැමදාම එවැනි සාකච්ජාවක් සංවිධානය කරන්න පුලුවන්. එතකොට එම සාකච්ජාවට අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගන්නත් පුලුවන්.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට වුණත් පුලුවන් මේ වගේ දෙයක් කරන්න. එතනත් සල්ලි තියෙනවා. හැබැයි ඊමෙල් එකක් හැර වෙනත් තාක්ෂනයක් දන්නේ නැති අයට නම් මේක කරන්න බැහැ. මේක තේරෙන එකකුත් නැහැ.

සමහර විට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට පුලුවන් වේවි කාගෙන් හරි උදව් අරං මෙැවැනි සාකච්ජාවක් දිනපතා සංවිධානය කරන්න. එතකොට රට පුරා ඉන්න මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනින් ඊට එකතු වෙන්න පුලුවන්. සූම් යටතේ සිය දෙනෙකුට සාකච්ජාවට එක් වෙන්න පුලුවන්. අවශ්‍ය නම් අනෙක් රටවල ඉන්න වඩා තොරතුරු එක්ක ජීවත්වෙන මාධ්‍යකරුවන් අවශ්‍යතාවය අනුව සම්බන්ධ කර ගන්න පුලුවන්.

අද වගේ අභියෝගාත්මක කාලයක අලුතෙන් කල්පනා කරන්න පුලුවන් නායකත්වයක් ජනමාධ්‍ය ව්‍යාපාරවලට අවශ්‍ය යි. තොරතුරු තාක්ෂණය නොදන්නා ඊමෙල් එකක් යවන්නත් කාර්යාලයේ ලේකම්වරියට කියන පරණ හණමිටි නායකත්වයන්ගෙන් නම් ඒ කාරිය සිදුවෙන එකක් නැහැ.

මීට අමතරව කොවිඩ් 19 වාර්තාකරණයේ යෙදෙන වාර්තාකරුවන් සහ වාර්තාකරියන් සඳහා ආරක්ෂන මඟ පෙන්වීම් අද අනත්ර් ජාතික මාධ්‍ය සංවිධාන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම තොරතුරු බෙදා ගැනීමටත් අප කටයතු කරන්න ඕන.

– සුනන්ද දේශප්‍රිය විසිනි.

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබදව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්, ප්‍රධානීන් වෙත.

කොවිඩ්-19 වෛරසය වසංගතයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ. එවැනි පසුබිමකදී නිරවද්‍ය හා විශ්වාසදායක ප්‍රවෘත්ති හා තොරතුරු බෙදාහරිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සියලුම ජනමාධ්‍ය ඉටුකරනු ලබන්නේ අතිශය භාරදූර හා ප්‍රශංසනීය මෙහෙවරකි. අවදානම පහව යනතුරු සමස්ත කාලය පුරාම ජනමාධ්‍ය සතු එම යුතුකම හා වගකීම මැනවින් ඉටුකරමින් මේ ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපගේ අපේක්ෂාවයි. ඒ අතර ම, විශේෂයෙන් පුවත්පත් කර්මාන්තය ඇතුළු මාධ්‍ය කර්මාන්තය සහ එහි පැවැත්ම ආරක්ෂා කරගැනීමද අතිශයින් වැදගත් බව අපි අවධාරණය කර සිටිමු.

ඒ උදෙසා මේ ව්‍යසනකාරී අවස්ථාවේ දැඩිලෙස සැළකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු කරුණු කිහිපයක් මෙලෙස ඔබේ අවධානයට යොමු කිරීමට අප සංවිධාන අපේක්ෂා කරනු ලබයි.

ශ්‍රී ලංකා රජයද, නිවසේ සිට වැඩකිරීමේ කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක අත්‍යවශ්‍ය සීමිත සේවක පිරිසක් සහ මාධ්‍ය කාර්ය මණ්ඩලයක් පමණක් ආයතන වෙත කැඳවා සෙසු පිරිසට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නිවසේ සිට වැඩකිරීමට අවස්ථාව සළසා දීමෙන් ඔවුන් ව්‍යසනයට ගොදුරු වීමේ අවස්ථා සහ රෝගය තවදුරටත් පැතිර යාමේ අවස්ථා හැකිතාක් අවම කළ හැකි වේ.

පුවත් බෙදා හැරීමක් සිදුවන්නේ නම් ජනතාව අතර විෂබීජ සංසරනයවීම වැළැක්වීම සදහා අදාල අංශවල උපදෙස් පැතීම වැදගත්වන අතර විද්‍යුත් මාධ්‍ය උපකරන භාවිතයේදී ද අදාල ප්‍රමීතීන්ට අනුව ආවරන කටයුතු සිදුකරන්නට උපදෙස් දීම ද වැදගත්වේ.

මෙම සියලු කාර්ය මණ්ඩල ආයතන වෙත සහ පෙරළා නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට යොදාගන්නා වාහන සම්පූර්ණයෙන් විෂබීජහරණය කළ බවට තහවුරු කිරීමද නිතිපතා නියමිත පරිදි එය සිදුකිරීමද වැදගත් වන අතර ආයතනයේ ඇති සියලු යන්ත්‍ර සූත්‍ර නිතිපතා පිරිසිදු කිරීමද, කාර්ය මණ්ඩල වෙත පිරිසිදුවීම සහ ආරක්ෂාවීම සඳහා පහසුකම් සැපයීම අනිවාර්ය කිරීම ඇතිවිය හැකි ගැටලු අවම කරයි.

රෝගය මර්ධනය කිරීමේ ක්‍රියාන්විතය සඳහා පත්කර ඇති ජාතික යාන්ත්‍රණය දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනු ලැබේ. ඒවාට සහභාගී වීම සහ ඉදිරිපත් කෙරෙන තොරතුරු ජනමාධ්‍ය මගින් බෙදාහැරීම රට සහ ජනතාව වෙනුවෙන් කළයුතු ප්‍රමුඛ යුතුකමකි. එහෙත්, එවැනි ප්‍රවෘත්ති හමුවලට සහභාගී වන ආයතනික හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම දැඩි වගකීමක් හා යුතුකමක් වේ.

විශේෂයෙන් රූපවාහීනී මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු මයික්‍රෆෝන භාවිතා කරමින්, ජනතාවට හා නිලධාරීන් ඇතුළු පාර්ශවවලට සමීපව තොරතුරු විමසන අන්දම සහ ඇතැම් විට මුව වැසුම් භාවිතා නොකරන බව මෙන්ම මුවවැසුම මද වේලාවකින් ගෙලට ඇද දමමින් තොරතුරු විමසන ආකාරයද නාලිකා කිහිපයකම ප්‍රවෘත්ති විකාශ අතරතුර දකින්නට ලැබුණි. සියලු දෙනා අවධානමට පත්විය හැකි බැවින් ඒ සම්බන්ධව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමද, පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ මයික්‍රෆෝනය පිරිසිදු කරමින් භාවිතා කරන ලෙස උපදෙස් දීමද මෙහිලා වැදගත් වේ.

කොවිඩ් – 19 වෛරසයේ ජීවකාලය පැය හෝ දින ගණනක් වියහැකි බැවින් ඒවා විවිධ ද්‍රව්‍යවල තැවරී සංසරණය විය හැකි බව වෛද්‍ය විශේෂඥයින්ගේ සහ වෛරසවේදීන්ගේ මතයයි. ඒ අනුව, දිවයින පුරා බෙදාහැරෙන පුවත්පත් වෛරසය වහනය කෙරෙන මාධ්‍යයක් බවට පත්නොවීමට දැඩිලෙස වගබලා ගැනීම ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම මාධ්‍ය කර්මාන්තයේ විශ්වාසනීය පැවැත්මට ද වැදගත් වන බව අපගේ අපේක්ෂාවයි. ඔබ ආයතනවල වෙබ් අඩවි සහ සෙසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව තුළ පුවත්පත් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම මෙන්ම බෙදාහැරීම් ක්‍රියාවලියේදී අවශ්‍ය වගවීම කෙරෙහි සැළකිලිමත්වීම ද ඒ වෙනුවෙන් ගන්නා ඥානාන්විත පියවර වේ.

මෙම තීරණාත්මක අවස්ථාවේ ඔබ සහය ලබාදිය යුතු උක්ත කරුණුවලට අදාලව ගන්නා පියවර සමස්ත ජාතියේ ආරක්ෂාව සඳහා මෙන්ම පාර්ශවකරුවන් ලෙස ඔබ හා අප කැපවී ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු මාධ්‍ය කර්මාන්තයේ උන්නතියටද වැදගත් වන බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමු. එබැවින් අප සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලබන කරැණු පිළිබදව දැඩි ලෙස සැළකිලිමත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස එය බෙහෙවින් අගය කරනු ලබයි.

Archive

Latest news

Related news