Saturday, May 4, 2024

බලය කේන්ද්‍රගත කර ගැනීමේ ගෝටා සැලැස්ම: ශක්තීන් සහ දුබලතා – කුමාර් ඩේවිඩ්

ජනවාරි 03වන සිකුරාදා පාර්ලිමේන්තුවට ජනාධිපති රාජපක්ෂ කළ ඉතාම වැදගත් ප්‍රකාශය නම් මෙයයි. ‘වර්ථමානයෙහි ඇති වී තිබෙන බොහෝ ගැටලුවලට හේතුව නම් ව්‍යවස්ථාවෙහි අන්තර්ගත නොපැහැදිළිතාවයන් සහ අවල් වියවුල් ය. අප දේශයේ ආරක්ෂාව, සෛවරීත්වය, ස්ථාවරබව සහ සමගිය රැකගැනීම පිනිස වර්ථමාන ව්‍යාවස්ථාවට වෙනම්කම් සිදු කැරෙනු ඇත.’ මෙම වෙනස්කම් කරනු ලබන්නේ ‘ජනතාවගේ සෛවරීත්වය ආරක්ෂා කරනු පිනිස ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ඇති කරනු පිනිස ය.’

ගෝඨාභයට අවශ්‍ය කරන්නේ ‘ ශක්තිමත් විධායක’ ජනාධිපති ධූරයක් ඇති කරගැනීමට ය. ඒ සඳහා ඔහුගේ බලතල කප්පාදු කරව 19ව නසංසෝධනය අහෝසි කරනු ඇත. එය කරනු සඳහා ඔහුට එළඹෙන මැතිවරනයේ දි තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වීමට ඉඩ තිබේ.

ජේ.ආර් ව්‍යවස්ථාව ඝෝර ය. ජේ.ආර්. සමයෙහි එය ඒකාධිපතියකු සඳහා යානාවක් විය. මහින්ද රාජපක්ෂ ඇදහිය නොහැකි තරමේ අනිසි බලයක් භුක්ති විදිමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ නොවූ විරූ දරුණුතම දූෂණ වසා ගැනීම සඳහා කඩතුරාවක් ලෙස එය භාවිත කළේ ය. කෙටියෙන් කියන්නේ නම් ‘ශක්තිමත් විධායකය’ මෙරට මත ඇදහැලුනු සාපයකි. මේ ව්‍යසනයට එරෙහිව ජනයා සිය උපරිම ශක්තියෙන් සටන් කළ යුතු ය.

19වන සංසෝධනයෙහි ඇති නරක ම දෙය නම්, එය විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි නොකිරීම යි. වෙස්ට්මිනිස්ටර් (එනම් ආසන අනුව තෝරා ගන්නා) මාදිලියේ අඩුපාඩු තිබේ, ඇමරිකානු ත්‍රයි පාර්ශවීය බල තුලනය ලංකාවේ භාවිතා කළ නොහැකි වන්නේ අපගේ ආයතනවල දුර්වලතාවය සහ පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ දත් රහිත බිය නිසා ය. එබැවින් ශ්‍රී ලංකාවට ඇති හොඳම නරක දෙය නම් ආසන ක්‍රමයෙන් තොරා ගැනෙන වෙස්ට්මිනිස්ටර් මාදිලිය සහ අර්ධ සමානුපාතික මැතිවරණ ක්‍රමයක මිශ්‍රණයක් තෝරා ගැනීම යි.

මගේ හේතු සරල ය. (අ) පවත්නා සමානුපාතික මැතිවරණ ක්‍රමය මඟින් කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ; (ආ) ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් ඇති කිරීමේ සංශෝධනයකට මා විරුද්ධ ය; (ඇ) පවත්නා සමානුපාතික ක්‍රමය තුළ මෙය සාක්ෂාත් කරගත හැක්කේ ද්වි පාර්ශවීය සම්මුතියකට පමණි; (ඇ) එබැවින් “ශක්තිමත් විධායක” ජනාධිපති ධුරයක් නැවත පැමිණීම නැවැත්වීම සඳහා මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් කිරීම වැළැක්වීම අවශ්‍ය වේ. පවත්නා සමානුපාතික ක්‍රමය දැනට රඳවා ගත යුතු අතර ඡන්දදායකයා සිය යුතුකම ඉටු කරමින් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතුය.

ඒකාධිපති ව්‍යවස්ථාවක් එතරම් පහසුවෙන් පරාජය කළ නොහැකි ය. මගේ ගෝටා හිතවාදී මිතුරන් මට සතුටු සිතින් මතක් කර දෙන්නේ “අනේ කුමාර්, මැතිවරණයෙන් තුනෙන් දෙකක් අපට නොලැබුනේ නම් අපි ඒවා මිලදී ගන්නෙමු. එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය, මක්කල් කොන්ග්‍රසය සහ අමුතු ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවා මිලදී ගැනීම කොතරම් පහසුදැයි ඔබ දන්නවා.

ආදරණීය පාඨකය, මම එම අදහස ප්‍රතික්ෂේප කිරීමට අදිමදි කරමි; අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට වඩා වඩා හොඳ යැයි ඔබ මෙන්ම මම ද නොසිතමි.

කෙසේ වෙතත් තර්ජනය ඊට වඩා බරපතල ය. අධිපතිවාදීන් බලයට පත්වන ආකාරයත්, ඉන්පසුව ඔවුන් සිය ග්‍රහණය තහවුරු කරගන්නා සැටිත් සිතා බලන්න. 1932 සහ 1933 පුරා රීච්ස්ටැග් ( ජර්මානු පාර්ලිමේන්තුව) මැතිවරණයේදී හිට්ලර්ගේ නාසීන්ට ඡන්ද ලැබුණේ 33% ත් 37% ත් අතර ය; කිසි විටෙකත් 50% ට ආසන්න නොවී ය. කෙසේ වෙතත්, සන්ධාන හරහා නාසිවාදීන් රීච්ස්ටැග්හි පාලනය අත්පත් කර ගෙන හිට්ලර් චාන්සලර් ලෙස පත් කිරීමට ජනාධිපති හින්ඩන්බර්ග් පොළඹවා ගත් ඔවුහු සියලු විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා දරුණු ලෙස යොදාගත් ප්‍රතිපත්ති පැනවූහ. වෙනත් ඒකාධිපතියන් විසින් බලය අල්ලා ගැනීම් විසින් ද පෙන්නුම් කරන්නේ දොරකඩට අඩිය තබා ගැනීමෙන් පසු ‘ශක්තිමත් විධායකයෙකුගේ’ පාලනය නීතිමයෙන් සහ යථාර්තයෙන් තහවුරු වන තෙක් පාලනය හැඩිදැඩි කරන අන්දමයි.

ජර්මානු ලිබරල් පංතිය කෙතරම් මෝඩයන්ද යන්න 1933 ජනවාරියේ ෆ්‍රෑන්ක්ෆර්ටර් සයිතුං නම් වූ ‘ශ්‍රේෂ්ඨ’ ’ප්‍රකාශනය මෙසේ දැක්වීය.“ ජර්මානු ජාතිය මත ඒකාධිපති පාලනයක් ඇති කළ හැකි යැයි සිතීම බලාපොරොත්තු රහිත වැරදි විනිශ්චයකි. ජර්මානු ජනතාවගේ විවිධත්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරයි ”! මෙන්න මේ නිසාය ඡේද කිහිපයකට පෙර මා ‘ඉඩ තිබේ’ කියා ලියුවේ. ගෝඨාභය -මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් අහිමි වුවද, අප තල්ලුකර දමන්නට ඉඩ ඇත්තේ යම් ආකාරයක ඒකාධිපති ආඥාදායකත්වයක් වන උමගකට ය. අද සම්පූර්ණ බලය ඒකාරාශි කර ගැනීමකට එරෙහිව ලංකාව සටන් වදින්නේ පසුමුණ ආරක්ෂක අපායක් ලෙස ය. පෙරමුණෙහි නොවේ. මෙමගින් අනාගතය බියජනක කරයි.

ගෝඨාභය -මහින්ද රාජපක්ෂ තන්ත්‍රය සිංහල-බෞද්ධ දේශීයවාදයෙන් පෝෂණය ලබා ගනී. එබැවින් එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාව යලි සංසෝධනය කිරීමට හෝ අත්හැර දැමීමටත් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (ඕඑම්පී) වසා දැමීමට සැලසුම් කර ඇති බව පැවසීම පුදුමයක් නොවේ. වගවීම පිළිබඳ කටයුතු කිරීම සහ විමර්ශනය තුළින් සත්‍යය සොයා ගැනීම තන්ත්‍රයේ ලැදියාව නොවේ. එය සෑම විටෙකම අතුරුදහන්වීම් ප්‍රතික්ෂේප කළ අතර OMP වැනි ආවරණයක් පවත්වාගෙන යෑමට එයට හේතුවක් නැත. පවුල් නිශ්ශබ්ද කිරීම සඳහා වත්මන් පාලන තන්ත්‍රය ද චන්ද්‍රිකාගේ කාලයේ මෙන් වන්දි ගෙවනු ඇත.

දේශීයවාදී මහජන උන්මාදයන් සමඟ ඒකාධිපති මූලෝපායක් සම්මිශ්‍රණය වීම මාරාන්තික සංයෝජනයකි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පෙන්නම් කරනු ඇත්තේ ගෝඨාභය කඳවුර වටා ඇති මහ ජාතිවාදී රැල්ළ දිගුකල් පවතින එකක් ද නැත්නම් තාවකාලික නැගීමක් පමණක් ද යන්නයි.

ජනාධිපති ගෝඨාභය දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් සිටී. රෝම දෙවියා වන ජනුස් නිරූපණය කෙරෙන්නේ දෙපැත්තකින් බලන ආකාරයකිනි. ගෝටාගේ ප්‍රායෝගිකත්වය සහ වැඩ කරවීමට ඇති දැඩි ආශාව ඔහුට ප්‍රශංසා ගෙන එයි. ඔහු තම පදනම පුළුල් කිරීමට උත්සාහ කරන අතර එය සාර්ථක වී තිබේ. කසළ ඉවත් කිරීම, කාණු පිරිසිදු කිරීම, මාර්ග වැඩිදියුණු කිරීම සහ රාජකාරි අවස්ථාවෙහි නිදා සිටින හෝ රාජකාරියෙන් බැහැරව සිටින වරදකාර නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා රජයේ දෙපාර්තමේන්තු වෙත පැමිණීම විසින් මධ්‍යම පංතිය සතුටට පත්වෙයි. ඵලදායිතාව ඉහළ නංවන බවත් පිරිවැය අඩු කරන බවත් පැවසේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය සීමා කිරීම සහ දේශපාලනඥයින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම ධනාත්මක ප්‍රතිචාරයක් ඇති කරයි. පණිවිඩය නම් “මට බලය දෙන්න; මම පොරෙන්දු ඉටුකර ඔබව ඉදිරියට ගෙන යන්නෙමි ” යන්නයි.

සාර්ථකත්වයන් සමඟ බැදුණු අධිකාරීවාදයට පහසුවෙන් ප්‍රතිවිරුද්ධකම්පෑමක් දැක්විය නොහැක. අඩක් බැරෑරුම් ලෙස පැවසුවහොත් මෙසේ ය: ‘කුණුගොඩ පිරිසිදු කර රට එකලස් කිරීමට ශ්‍රී ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍යය’. එය ගෝඨාභයගේ අනෙක් වෙළඳපොලයි; වෙනත් ආකාරයකින් මා ඉන් අදහස් කරන්නේ සිංහල බෞද්ධ දේශීයවාදින් නොවන අංශයයි. ඇත්ත වශයෙන්ම මේ වෙළඳපල දෙක එකපිට එක වැටෙයි.

සැබවින්ම අප සිටින්නේ මේ තාක් ගමන්මඟ සටහන්ව නැති භූමියක ය; වසර තුනක පමණ අතරමැදි කාලයක් තුළ තත්වය විකාශනය වන්නේ කෙසේදැයි පුරෝකථනය කිරීමට ජනාධිපති ගෝඨාභයටවත් කිසිවෙකුටවත් නොහැක. ආයතනික පත්වීම්වල ඥාති සංග්‍රහය (ගෝටාගේ එක්සත් ජනපද සංචාරක නියෝජිතයා; මහින්ද රාජපක්ෂගේ බෑණා) නැවතත් එහි කැත හිස ඔසවන බව නිරීක්ෂණය කරන්න. සමස්තයක් වශයෙන් වැදගත්කම (සදාචාරය නොව බලපෑම අනුව) අනුපිළිවෙලින් තීරණාත්මක සාධක ලෙස මා දකින්නේ පහත දැක්වෙන පරිදි ය.

1. සිංහල-බෞද්ධ දේශපාලනය: පසුගිය වසර අවසානයේ දී අප දුටු නැගිටීම කොපමණ කාලයක් පවතී ද? එය දේශීයවාදී ඒකාධිපතිවාදයකට තුඩු දෙන පරිදි කල්පවත්නා දෘෂ්ටිවාදයක පදනම ලෙස මුල් බැසගනු ඇත්ද?

2. ජනාධිපති ගෝටා වැඩකරු: නියමිත වේලාවට දුම්රිය ධාවනය කරවන, නගර බිත්ති පින්තාරු කරවන, කාණු පිරිසිදු කරවන, දෙපාර්තමේන්තු වැඩ කරවන මිනිසා. සිංහල-බුද්ධාගම සමඟ බද්ධ වන මෙම ප්‍රතිරූපය විසින් ප්‍රායෝගිකවාදී (ආයතන ප්‍රතිසංස්කරණ, මිලිටරිවාදී) ඒකාධිපතිවාදකට මග පෑදිය හැකිය.

3. විකල්පයක් ලෙස, අනෙකා නොඉවසන, ලිබරල් නොවන හා ඥාති සංග්‍රහයක් ඇති ඒකාධිපති පාලනයක් කරා හැඩගැසෙමින් පවත්නා ප්‍රවණතාවයට වැඩි වැඩියෙන් ජනයා බියට පත් වේද? කිසියම් බලමුලු ගැන්වීමක් ගොඩ නැගීම සඳහා (වගකීමක් නැති) එක්සත් ජාතික පක්ෂය, (අරමුනක් නැති) ජේවීපී ය සහ (නිවහනක් නැති) සුළුතර ජාතීන්ට එක්ව වැඩ කළ හැකි වනු ඇත්ද? පෙනෙන්නට ඇති සලකුණු නම් හොඳ නැත.

4. මධ්‍ය කාලීනව ආර්ථිකය වැදගත් වන්නේ හතරවන ස්ථානයෙහි පමණි. ණය පියවා ගත හැකි නම් වර්ධනය සඳහා මධ්‍ය්ථ අපේක්ෂාවක් තබා ගත හැක. සාමාන්‍යයෙන්, ඒකාධිපතිවාදයට පණ පොවන තුන්වන කුළුණ නම් ජනතාවාදයයි. එහෙත් වැඩි ණය ප්‍රමාණයක් ලබා නොගෙන මහජනයාට තුටුපඩුරු බෙදා හැරීම කළ නොහැකිය. දැනටමත් පොරොන්දු වී ඇති බදු කප්පාදුව සහ රැකියා 100,000 ක් අයවැය විනාශ කරනු ඇත. එබැවින් පාලන තන්ත්‍රයට ගැටලුවක් තිබේ, එයට ගොඩ යා හැක්කේ එක්කෝ ණය හිමියන් සමඟ නැත්නම් ජනතාව සමඟ යාප්පුවෙනි.

5. සුළුතරයන්, දෙමළ (ප්‍රභේද දෙකම) සහ මුස්ලිම්වරු, දේශපාලන ගණනය කිරීම් වලදී යම් කිසි ඉදිරි කාලයක් සඳහා වැදගත් නොවේ. නොවැම්බරයේ කොමඩිය විසින් ඔවුන්ව පැත්තකට දමා තිබේ.

6. පිටත විශාල පුළුල් ලෝකය (ජිනීවා, නවදිල්ලිය,එංගලන්තය සහ වොෂින්ටනය) මා සිතන්නේ, යම් කාලයක් සඳහා පැත්තකින් තැබීමට පාලන තන්ත්‍රයට හැකි බවයි. දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යාපාර විශාල වශයෙන් චිත්‍රයෙන් ඉවත් කර තිබේ.

එසේනම් මධ්‍ය කාලීනව මගේ සමස්ත තක්සේරුව කුමක්ද?

දැනට ගෝටා සහ අධිකාරීවාදයට වාසිය! නමුත් තවමත් ක්‍රීඩාව ආරම්භයෙන්, සූදානමින් සහ තරඟයෙන් දුරස්ථ ය. මෙය පරාජය කිරීම සඳහා ද්විත්ව දෝෂයක් පාලන තන්ත්‍රයට මත ඇති කළ යුතුය. පළමුව එයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා නොදිය යුතු ය; දෙවනුව ත්‍රෛ-පාර්ශවීය ( එනම් රිජීමය, එජාපය සහ සුලුතරයන්) අනුමත කිරීමකින් හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ කඩාකප්පල් කිරීමට දරන සියලු උත්සාහයන් පරාජය කිරීම ය.

AMENDING THE CONSTITUTION WILL BE THE FIRST STEP TO AUTOCRACY – KUMAR DAVID නමින් ලියන ලද ලිපයක සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. මෙය සම්පූර්න පෙළ පරිවර්තනයක් නොවන බව සළකන්න.

Archive

Latest news

Related news