Monday, May 6, 2024

කටුනායක (2011 මැයි) පොලිස් ප්‍රහාරය මානව හිමිකම් කෙළෙසීමක්; වන්දි ගෙවනු! – ශ්‍රේෂ්ඨාධිකරණය

ඇන්ටන් මාකස් විසිනි.

පසුගිය ආණ්ඩුව විසින් 2011 වසරේ දී  ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ ඊනියා විශ්‍රාම වැටුප් ක්‍රමය පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල මංකොල්ල කෑමට කරන ලද සැලසුමක් ලෙස අප සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති තීන්දු කළ බැව් මාධ්‍ය ද දන්නා කරුණකි.

යෝජිත එම විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතික‍්ෂේප කරමින් ඊට විරුද්ධව දියත් කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව වූයේ අප සංගමය නායකත්වය  දුන් 2011 මැයි මස 24 වන දින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 40,000 ට අධික සේවක සේවිකාවන් පිරිසකගේ ඉතාම සටන්කාමී, සාර්ථක විරෝධය විය. එම විරෝධතාවය ඉදිරියේ ඔවුන් ගෙන ආ විශ්‍රාම වැටුප් යෝජනාව නිල වශයෙන් ආණ්ඩුව ඉල්ලා අස් කර ගන්නා ලදී.

එනමුත් එදින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක උද්ඝෝෂණයෙන් උරණ වූ ප්‍රදේශයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සේවකයින්ගෙන් පළිගැනීම සඳහා 2011 මැයි 30 වන දින ඉතා ප්‍රකෝපකාරී ක්‍රියාවන් සංවිධානය කළහ. ඒ සමග ඉතා  අමානුෂික පොලිස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම පොලිස් ප්‍රහාරයට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් ගොදුරු වී රෝහල්ගත කරන ලද අතර එහිදී වෙඩි ප්‍රහාරයට ලක් වූ රොෂේන් චානක නමැති තරුණ සේවකයා මිය ගියේය.

යහ පාලකයෝ හැංඟු කොමිෂන් වාර්තාව 

පසුගිය ආණ්ඩුවේ මෙම මැර ප්‍රහාරය සම්බන‍්ධයෙන් රට පුරා මෙන්ම ලොව පුරා ද විරෝධතා මතු විය. එම විරෝධතා යටපත් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ විසින් විශ්‍රාමලත් විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් ඒක පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. එම කොමිසමේ නිර්දේශ ද සමග 2011 ජූලි මස 15 වන දින කොමිසම් වාර්තාව හිටපු ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුණි. එහෙත් එම ජනාධිපති කොමිසම් වාර්තාව පසුගිය ආණ්ඩුව අනෙක් සියළු වාර්තා මෙන් ප්‍රසිද්ධ නොකළේය.

2015 ජනවාරියේ බලයට පත් වත්මන් ජනාධිපති හා යහපාලන ආණ්ඩුව යටතේ ද එම කොමිසම් වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකළේය. එම කොමිසමේ නිල නොවන වාර්තාවක් අප සංගමයට ලැබී තිබූ හෙයින් එහි වූ කරුණු හුවා දක්වමින් ද අපි එම කොමිසම් වාර්තාව ප්‍රකාශයට පත් කරන මෙන් ජනාධිපතිගෙන් කිහිපවර ඉල්ලා සිටියෙමු. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප සංගමය 2017 මැයි මස 02 වන දින දරණ ලිපිය මගින් එම කොමිසම් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි අතර එය ලබා නොදෙන්නේ නම් අප සංගමය සතුව පවතින වාර්තාව ප්‍රසිද්ධ කරන බවට අප දන්වා සිටියෙමු. ඉන් පසුව එම වාර්තාවේ පිටපතක් නිල වශයෙන් අප සංගමය වෙත එවා තිබුණි.

මූලික අයිතිවාසිකම් නඩු 13 ක්

ඒ වන විට 2011 මැයි මස 30 වන දින ඇති වූ එම  පොලිස් ප්‍රහාරය නිසා විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වූ සේවකයින් 13 දෙනෙකු වෙනුවෙන් අප සංගමයේ මූලිකත්වයෙන් මූලික අයිතිවාසිකම් නඩු 13 ක් උපරිමාධිකරණයේ ගොනු කර තිබිණි.

ඉහත කී ජනාධිපති කොමිසමේ වාර්තාව එම නඩුවේ සාක‍්ෂියක් ලෙස ද  අපගේ නීතිඥ මහත්වරුන් ඉදිරිපත් කර තිබුණි.

2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මෙම නඩු විභාග කිරීමෙන් පසු 2019 අප්‍රේල් 05 වන ඊයේ දින එම නඩු 13 අංක SCFR 265/2011 සිට SCFR 274/2011 දක්වා ද SCFR 346/2011 සිට SCFR 348/2011 දක්වා යන නඩු අංක නඩුවලට අදාල නියෝග නිකුත් කරමින් 2011 මැයි 30 වන දින පොලිස් ප්‍රහාරය නිසා එම සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදු කර ඇති බවට තීරණය කළ බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වින්දිතයින් සඳහා වන්දි ගෙවිය යුතු බවට ද එකී වන්දි මුදල් රජය විසින් ගෙවිය යුතු බවට ද නියෝග කරන ලදී.

මෙම නඩු සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් 13 දෙනෙකු කිසිදු අය කිරීමකින් තොරව පෙනී සිටින ලද බව ඔවුනට ගෞරව වශයෙන් සටහන් කර තැබිය යුතුය.

ඕනෑම ආණ්ඩුවක් ගනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විරෝධය පෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අප රටේ පුරවැසියාට හිමි මූලික අයිතියක් වුව ද එවැනි විරෝධයන් මර්දනය කිරීමට පොලීසිය කටයුතු කරන ආකාරය දිනපතා සිදුවන සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී ඇති මෙම වකවානුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම නියෝගය අප රටේ කම්කරු පන්තිය මෙන්ම පොදු ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සළකන්නෙමු.

ඇන්ටන් මාකස් විසිනි

සමලේකම් -නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

Archive

Latest news

Related news