Thursday, May 9, 2024

මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක්

චිත්‍රය: Delhi Gang Rape -A Tragedy by Tanmay Singh.

රජිත් කීර්ති තෙන්නකෝන්.

ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කිරීමේ උත්සාහය ජාතිවාදී කෝලාහයකට වඩා සරණාගත ස්ත්‍රී දුෂණයක් වසන් කිරීම සදහා දැරූ යම් උත්සාහයක් බව මේ වන විට තොරුතුරු හෙළිවෙමින් ඇත.  මිරිහාන ආගමන විගමන රැදවුම් භාරයේ සිටි මියන්මාර්  තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති  පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇත.

මිරිහාන කදවුරේ දී මියන්මාර් කාන්තාව දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණවර්ධන වාස් නැමැත්තෙකි. අධිකරණය විසින් පැවැත්වූ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින්  හදුණාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇති අතර පොලීසිය විසින් ඔහුගේ වැඩ තහනමට ලක් කොට ඇත. 

එම නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන්වන්නේ වින්දිත කාන්තාව සහ ඇගේ මස්සිනා වන  මොහෝමඩ් අමීන් නැමති අයයි.  ඔවුන් දෙදෙනාම ගල්කිස්ස සිද්ධිය වන විට නිවසේ සිට ඇත.  වසර ගණනාවක් මිරිහාන කදවුරේ සේවය කළ ස්ත්‍රී දුෂණ චෝදනා සැකකරු  ස්ත්‍රී දුෂණයට සදහා එම කදවුරේ පිරිසිදු කරන්නියක ලෙස සේවයකරන හින්දි භාෂාව කථා කළ හැකි නිහාරා (45) නැමති කාන්තාව  යොදා ගෙන ඇත.  ‘අතපය බැද දමා මියන්මාර් තරුණිය රැයක් පුරා දුෂණය කොට ඇත.  පසුදා උදේ රෝහල් ගේට්ටුව අසලට ඇය දමා ගොස් ඇත.  මේ පිළිබද පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට සහ නීතිඥයින්ට පවා දුෂණයට ලක් වූ කාන්තාවට කථා කිරීමේ අවස්ථාව හිමි වී නැත.   ස්ත්‍රී දුෂණයට උපකාර කළ ‘නිහාරා‘ හා අනෙක් රැදවුම් කදවුරු සේවිකාව පැය කිහිපයක දී පොලීසිය නිදහස් කොට ඇත.  ස්ත්‍රී දුෂණය පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදුවූයේ නම් මේ පිරිස් අත්අඩංගුවට පත් විය යුතුය තිබුණි.

මෙම සිදුවීමෙන් පසුව ආගමන නිලධාරීන්, පොලීසිය, ආරක්ෂක අමාත්‍යාංශය හා බුද්ධි නිලධාරීන් ද නීතිපති දෙපාර්තමේන්තුව ද මෙම සරණාගත පිරිස වෙනත් ස්ථානයකට යොමු කිරීම සදහා එක්සත් ජාතීන් සමග එක්වී කටයුතු කර ඇත.  අගෝ. 8 දින ඒ සදහා අධිකරණ නියෝගයක් ලැබී ඇත.   ස්ත්‍රී දුෂකයින් විසින් මෙම සරණාගතයින් පිරිස හැකි ඉක්මනින් ලංකාවෙන් පිටත් කිරීමට උත්සහ දරා ඇත්තේ ඒ සමගය.  ඒ සදහා උපකාර කළ බවට සැකකරන අනෙක් පුද්ගලයා පානදුරේ පෙට්‍ර‍ල් බෝම්බ සිද්ධියට ද  සම්බන්ධයෙන් ඇප ලබා සිටින ප්‍ර‍ගීත් චානක ගුණතිලක හෙවත් බණ්ඩාර නැමති හිටපු පොලිස් නිලධාරියෙකි.  පොලීසිය ඔහු සොයා මේ වන විට මෙහෙයුම් සිදු කරයි.

අවස්ථා දෙකක දී මියන්මාර් සරණාගතයින් 156 දෙනෙකු නිරුපද්‍රිතව ඇමරිකාව හා කැනඩාවේ සරණාගතයින් ලෙස පිටත් කොට හැර ඇත.  දේශපාලන අවශ්‍යතාවක් මත එයට භික්ෂුන් පිරිසක් ද සහභාගි වී ඇති බව සැක කරන නමුත් ඔවුන් ද ස්ත්‍රී දුෂණ සිදුවීම දැන සිටින්නට ඇතැයි සැක කෙරේ. 

මේ වන විට අත්අඩංගුවට පත්වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු පමණක් මෙහි ප්‍ර‍ධානීන් වෙති.  අනෙක් අය නොදැනුවත්කමින් එයට සම්බන්ධ වූ අය වෙති.    අයුතු ජන රාශිය මෙහෙයවා ඇත්තේ ඔවුන් සමග සමීප ඇසුරක් පවත්වන චීවරධාරියෙකි.     

ගල්කිස්ස හිංසනය සැලසුම්කරුවන් හා ජනතාව කුපිත කළ පිරිස චීවරයක් දරා සිටීම ස්ත්‍රී දුෂකයින්ට රැකවරණය සැපයීම සදහා වන බලපත්‍ර‍යක් නොවිය යුතුය.  ජාත්‍යන්තර වශයෙන් ලංකාවට සිදුවන අපකීර්තිය වලක්වා ගත හැක්කේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මගින් පමණී.   

මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බකරුවන්, හා 87-89 යුගයේ මනුෂ්‍ය ඝාතන සදහා සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් දරවා තබා සිටි බූස්සේ කදවුරු අධි ආකර්ෂිත සිර මැදිරි වෙත මෙම සරණාගතයින් යොමු කිරීම ද පුදුම සහගත ය.  එමගින් මියන්මාර් සරණාගතයින්ට බාහිර සමාජය සමග තිබූ සියළු සබදතා අවහිර කොට ඇත.  ලොව කිසිදු රාජ්‍යයක් ආගමන නීති උල්ලංඝනය කළ අයෙකු ‘මිනීමරුවන් රදවන සිර මැදිරි වෙත යොමු නොකරයි. 

 

Archive

Latest news

Related news