Friday, April 19, 2024

ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර

ජායාරූපය: උද්ඝෝසණයේ යෙදෙන සිසුන් සහ පොලිස එස්ටීෆ් අතර  හුවමාරුවක!  Credit- Sudam Gunasinghe/DN.

සයිටම් විරෝධය පෙරටු කරගත් තවත් එක් උද්ඝෝෂණයක් බලහත්කාරී අත්පත් කරගැනීමක් දක්වා යොමුකර තිබේ. ඊයේ ඔවුන් විසින් ඒ ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරගෙන තිබූ විරෝධතා පාගමනක් අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමූහයක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත් කරගෙන පැය තුනකට අධික කාලයක් එහි ආධිපත්‍යය දරා තිබේ.

එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ රුපියල් කෝට් ගණනාවක රටේ පොදු දේපළ විනාශ වීම හා එකී දේපළ විනාශයට තුඩු දුන් විශ්වවිද්‍යාල සිසුන්ගේ බලහත්කාරී ග්‍රහණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුදාගැනීම සඳහා පොලිසිය යෙදවීමට සිදුවීමය. එහි අනිවාර්ය ප්‍රථිඵලය වී ඇත්තේ සිසුන් ගණනාවක් මෙන්ම පොලිස් නිලධාරීන් ගණනාවක් ද තුවාල ලැබීමය. විද්‍යුත් මාධ්‍ය නාලිකා වල ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශයන්හි මෙන්ම අද දවසේ පළවූ සියලුම මුද්‍රිත මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට මෙම සිදුවීම පත්වන්නේ ඒ අනුවය. එහිදී රටේ ජනමාධ්‍යයන් හි ආසන්න අවධානය යොමුවන්නේ අදාළ සිදුවීමේ ස්වභාවය හා එහි ආසන්න ප්‍රථිඵල වෙතටය. ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ පාගමන බලහත්කාරී අත්පත් කරගැනීම, එම ආධිපත්‍යයයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුදාගැනීම සඳහා සිදුකළ පොලිස් මෙහෙයුම මෙන්ම එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ දෙපාර්ශවයටම සිදුවූ තුවාල වැනි කරුණු පිළිබඳව පමණක් අවධානයක් යොමුවීම ස්වභාවිකය. එහිදී බොහෝවිට හේතුඵල සබඳතාවය පිළිබඳව දක්වන අවධානය අතිශයින්ම සීමිතය.

ඒ අනුව සිසුන්ගේ ආවේගකාරීත්වය, රාජ්‍ය ආයතනයක් බලහත්කාරී ලෙස අත්පත් කරගැනීම, පොලිසිය විසින් සිදුකළ බැටන් ප්‍රහාරය වැනි රූප රාමු හා ඡායාරූප වලින් අප රටේ ජනමාධ්‍ය පිරීයාම නොවැළැක්විය හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙවැනි සංකීර්ණ ආවේගාත්මක අවස්ථා ආවරණය කිරීමේදී ජනමාධ්‍යයන්ට පවා බොහෝවිට හේතුවේ මූලය මඟහැරී යාමය. එසේත් නැත්නම් සිදුවීමකට තුඩුදිය හැකි එහි මූල බීජයන් හා ඒ තුළ පවත්නා දේශපාලන අරමුණු යටපත් වී යාමය.

අනේ හාමුදුවනේ! Credit- Sanka Vidanagama.

ඉතා පැහැදිළිවම පෙනීයන පරිදි ඊයේ පැවති විරෝධයට එක්වූ සිසුන්ට බැටන් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන්නේ බලහත්කාරී ලෙස ඔවුන් විසින් අත්පත් කරගෙන සිටි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන් මුදාගැනීම සඳහාය. ඒ වනවිටත් සිසුන්ගේ අති ධාවනකාරී හා වගකීමකින් තොර ක්‍රියාකලාපයන් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ නවතා තිබූ රථවාහන බොහොමයකට හා අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මෙන්ම එහි වූ බඩුභාණ්ඩ වලට සිදුකර ඇති හානිය තුළ කෝටි ගණනක රාජ්‍ය දේපළ විනාශ වි තිබේ. එවැනි පසුබිමක පොලිසියේ මැදිහත්වීම නොවන්නට සිදුවන්නට හැකිව තිබූ අලාභය තවත් බොහෝ සේ වැඩිවීමට ඉඩකඩ නොතිබුණා ද නොවේ. එයට අමතරව රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට පැවරී ඇති වගකීමට අමතරව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම සළකා බැලීමේදී පොලිසිය එම අවස්ථාවේදී සිදුකළ මැදිහත්වීම අතිශයින්ම ස්වභාවිකය. ඒ සමගම එහිදී ඔවුන් මුදාහළ බලය ප්‍රතික්‍රියාවන්ට සාපේක්ෂව අවම වූ බවද පැහැදිළිය. එසේ නොවන්නට දෙපාර්ශවයටම කෙසේ වෙතත් සිද්ධියට මූලික වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඇතිවීමට ඉඩතිබූ ප්‍රථිඵලය ඊට බොහෝ සෙයින් වෙනස්වීමට ද ඉඩතිබුණි.

එය වෙනම තත්වයකි. ඒ සමගම රටක පුරවැසියන් ලෙස මෙහිදී අවධානය යොමුකළයුතුව ඇත්තේ ප්‍රශ්නයේ මූලය වෙතය. ඒ අනුව පැහැදිළි වන්නේ රටේ උසස් අධ්‍යාපනයට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තියට මේ රටේ යම් සීමිත පිරිසක් එකඟත්වයක් නොදැක්වීම තුළ තවත් කණ්ඩායම් කිහිපයක් එම තත්වය ආණ්ඩු විරෝධි රැල්ලක් නිර්මාණය කරගැනීම සඳහා උපයෝගී කරගනිමින් සිටින බවය. ඒ අනුව මේ විරෝධය මෙහෙයවන එක් කොටසක් රටට හා නූතන ලෝකයට අදාළව සැලකීමේදී කිසිසේත්ම ප්‍රායෝගික නොවන මනෝරාජික දේශපාලන සංකල්ප හිස මත තබාගෙන කටයුතු කරන අතරතුර ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි අවස්ථාවාදී බලලෝභි දේශපාලන ව්‍යාපාරයන් හා සංවිධානයන් එම විරෝධය පෙරට දමා ආණ්ඩු විරෝධි බලවේග මුළු ගැන්වීම සඳහා මාන බලන බව පැහැදිළිය.

එය තවදුරටත් පැහැදිළි කළහැක්කේ මෙසේය. සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහි වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඒ පිළිබඳව වන අවබෝධය කෙසේවෙතත් ඔවුන් පසුපස සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ අරගලය මුවහත් කරන්නේ ඔවුන්ගේ මනෝරාජික දේශපාලන සිහිනය තුළ ඇත්ත වශයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉඩක් නැති නිසාය. නූතන දේශපාලන හා ආර්ථික ලෝක වටාපිටාව තුළ එය කොතරම් ප්‍රායෝගික නොවන ආතාර්කික දැක්මක් වියහැකි වුවත් එය ඔවුන් දකින ආකාරය බව අප පිළිගත යුතුය. එහෙත් ඔවුන්ගේ ඒ සිහින අරමුණ පෙරමුණට ගනිමින් ඊට මුවා වී මේ පෙරහැරට එක්වන තවත් කණ්ඩායම් දෙකක් දැකිය හැකිය. ඒ ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් අද මතුපිටින් ප්‍රදර්ශනය කරන සටන්පාඨ කෙසේවෙතත් ඇතුළාන්තයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වී නැති පිරිසක් බව ඉතා පැහැදිළිය. මේ රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැඹුරින්ම ස්ථාපිත කරන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා ඊට සහය දුන්නේ ඒ සඳහා ඔවුන්ගේ ද එකඟත්වයක් ඇති නිසාය.
එහෙත් අද මේ දෙපාර්ශවයේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන අන්තවාදීත්වයට හා සටන්පාඨයන්ට මුවා වී අද වනවිට රට කළඹන්නට උත්සාහ කරන්නේ පොල්පොට් පන්නයේ මිලේච්ඡ කොමියුනිස්ට් පාලනයක් තුළ පුද්ගලික දේපළ හා ව්‍යවසාය තහනම් කරන්නට නොවේ. එහෙත් එවැනි සටන්පාඨ තුළ රට අවුල් සහගත තත්වයකට ඇද දමා දේශපාලනික වශයෙන් අරාජික තත්වයක් ඇති කරන්නටය. ඒ මත මේ රටේ දේශපාලන බලය එක් පවුලකට අත්පත් කර දෙන්නට ඔවුන් දත මදිමින් සිටින බවනම් ඉතා පැහැදිළි වේ.

ඒ අනුව මේ සයිටම් විරෝධය පෙරට ගනිමින් අද වනවිට රට ඉදිරියේ සිටින්නේ ඔඑ දෙකේ බූරුවෙකි. විෂ ගොබ සහිත පෙන දෙකකින් යුත් දෙපත් නාගයෙකි.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news