Tuesday, July 16, 2024

මෙවර ජීනීවා යෝජනාව බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සම දායකත්වයෙන්

මානව හිමිකම් කවුන්සිලය මුළුදෙන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය  (c )s.deshapriya.

මෙම මස 27දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරයට ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ජා කරමින් සිටින බව බ්‍රිතාන්‍ය පවසයි. මෙ බව ප්‍රකාශ කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලයේ පෙබරවාරි 13දා පැවැති සංවිධාන රුස්වීමේදීය.එවැනි යෝජනාවක් ඉදිරිපත් වුව හොත් එහි සමදායකත්වය එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව දරනු ඇත.

පසුගියදා ලංඩනයෙහි සංචාරයක යෙදුණූ විදේශ ඇමැති මංගල සමරවීර මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා බ්‍රිප් වෙත දැන ගන්නට ලැබී තිබේ.

මෙම යෝජනාවෙන් බොහෝ දුරටම සිදුවනු ඇත්තේ 2015 සැප්තැම්බර්හි පැවැති 30 වන සැසිවාරයේදී සම්මත කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ 30/1 දරණ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිනිස ශ්‍රී ලංකාවට තව වසරක කාලයක් ලබා දීමය.

කොලඹ ආරංචි මාර්ග දක්වන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ ගොලු බෙලි සංක්‍රාන්ති යුක්ති ගමන පිළිබඳ කිසිදු නිශේධාත්මක විවේචනයකට යෝජනාවෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ නොවනු ඇති බවයි.

පෙබරවාරි 27වන දින කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වන විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා 28වන දින කවුන්සිලය අමතනු ඇතැයි වාර්තා වේ. ඔහු සමඟ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධ අග්‍රාමාත්‍ය ලේකම් තනතුර දරණ පා.. ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාද කවුන්සිල සැසිවාරය සඳහා පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් දැනට කටයුතු යෙදී ඇති අන්දමට ඒ පිළිබඳව කටයුතු කරනු ඇත්තේ ජිනිවාහි ශ්‍රී ලංකා තානාපතිවන රවිනාථ ආරියසිංහය.

ශ්‍රී ලංකාව 30/1 දරන යෝජනාව ක්‍රියාත්මක කර ඇත්දැයි කවුන්සිලයට වාර්තා කිරීමේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මාර්තු 22වන දින ඉදිරිපත් කිරීමට නියමිතය. එදිනම ලිබියාව, ගිනියාව සහ උක්රේනය සම්බන්ධ වාර්තාද මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන අතර ඒ සියලු වාර්තා පිළිබඳව පැවැත්වෙනු ඇත්තේ එක් පොදු සාකච්චාවකි.

මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වයද සාකච්ජා කැරෙනු ඇත.

ජිනීවා ආරංචි මාර්ග දක්වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධ සුව්ශේෂි සාකච්ජාවක් කිරීමට ශ්‍රී ලංකාන්ඩුව විරුද්ධත්වය පළ කර ඇති බවයි.

මෙවර සැසිවාරයේදී දෙමළ ඩයස්පෝරා සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව තදබල යෝජනාවක් ගෙන ආ යුතු බවට දැන් සිටම බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානද ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති වැඩසටහනෙහි මන්දගාමී ස්වභාවය ගැන විවේචනාත්මක ස්ථාවරයක් ගනු ඇති බව වාර්තා වේ.

34 වන සැසිවාරය පිළිබඳ පැවැති සංවිධාන රුස්වීමෙහි විශේෂත්වය වූයේ ඊට සහභාගි වූ ඇමෙරිකානු නියෝජිතයා කිසිම කාරණයක් සම්බන්ධයෙන් ස්ථාවරයක් නොගැනීමයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එන බවට බ්‍රිතාන්‍යය ප්‍රකාශ කළ අවස්ථාවෙහිදීත් ඇමෙරිකානු නියෝජිතයා මුනිවත රැකි බව වාර්තා වේ.

Archive

Latest news

Related news