Tuesday, May 7, 2024

රවිරාජ් ඝාතන සැකකරුවන් නිදහස් කිරීම අධිකරණය ගැන විශ්වාසය පළුදු කළා – සුමන්තිරන්

පුස්තකාල ජායාරූපය : ඇසින් දුටු සාක්ෂිකරුවකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා නිලධාරියා වෙඩි තබනු බව දුටුවා යැයි කීවද ජූරි සභාව සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙළේය.

රාජපක්ෂ රෙජීම සමයේ 2006 නොවැම්බර් 10 වෙනිදා මහ දවාලේ, මහ පාරේ, යුද හමුදා කඳවුරක් අබියස, දෙනෝ දහක් බලාගෙන සිටියදී, වෙඩි තබා ඝාතනය කළ හිටපු පාලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වසර 10 කට පසුව පැවරූ නඩුවේ තීන්දුව දෙමින් ඔහුව ඝාතනය කළ අයෙක් නොමැති විය.

රෙජීම සමයේදී රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොකෙරුණු අතර නව යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ පරීක්ෂණයකින් පසුව නාවික හමුදාවේ තිදෙනකු ඇතුළු 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා බාර දී නඩුව විභාග වූ අතර ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති ප්‍රධාන සැකකරුවෙක් අධිකරණය මග හැර පළා ගොස් තිබියදී ඔහු නොමැතිව නඩුව විභාග විය. නඩු විභාගය සිදු කෙරුණේ ජූරි සභාවක් ඉදිරියේ ය. එසේ ජූරියක් පත් කෙරුණේ විත්තියේ ඉල්ලීම අනුව නමුත් එම ජූරි සභිකයන් සියළු දෙනාම සිංහල කතා කරන අයගෙන් පමණක් සමන්විත විය. දෙමළ දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධාන ඒ සම්බන්ධයෙන් තම විරෝධය නඩු විභාගයට පෙරදීම ප්‍රකාශ කර තිබිණ.

ලංකා ඉතිහාසයේ පළමුවරට ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් නඩු විභාගය පැවැත්වූ අතර අද (24) ට එළිවෙන පාන්දර ජූරි සභාව තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් සියළුම දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය.

මෙහිදී රජයේ සාක්කි කරුවෙකු ලෙස බුද්ධි අංශයේ ලියනාරච්චිගේ අභයරත්න පොලිස් කොස්තාපල් වරයාගේ සාක්කියකින් හෙළි වූයේ රවිරාජ් ඝාතනයට මැදිහත් වූ කරුණාගේ කණ්ඩායමට ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් කෝටි 5 ක මුදලක් ලැබුනු බවයි. එසේ නමුත් ගෝඨාභය සාක්කියකට හෝ කැඳවූයේ නැත.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ පොලිස්‌ රියැදුරකු ලෙස කටයුතු කළ ප්‍රීති විරාජ් මනම්පේරි නමැති පොලිස් නිලධාරියා ඝාතනය ඇසින් දුටුවෙකු ලෙස සාක්කි දෙමින් විත්තිකරුවෙකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා නිලධාරියා වෙඩි තබනු බව දුටුවා යැයි කීවද ජූරි සභාව සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙළේය.

මේ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේ නඩු තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.

මෙම නඩුතීන්දුව රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙන්නුම් කරන්නක් බව කී මන්ත්‍රීවරයා යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනිසුරුවරුන්ගෙන් පරිබාහිරව ජාත්‍යන්තර අධිකරණයක සහය ඉල්ලා සිටින්න්නේ මෙවැනි තත්ත්වයක් නිසා යැයිද කියා සිටියේය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් තමන් වින්දිතයින් වෙණුවෙන් පෙනී සිටි නීතිඥවරයා වශයෙන් ඇපෑලක් ඉදිරිපත් කරණ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

නඩු තීන්දුව පිළිගත නොහැක්කේ නඩු පවරණ ලද විත්තිකරුවන් විසින්ම රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කළේ යැයි යන විශ්වාසය මතදැයි මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් එසේම ප්‍රකාශ නොකළත් මහදවල් සිදුවූ මේ ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් ඉකුත්ව ගියත් නිසි ලෙස අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට රජය අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවයි.

අපරාධකරුවන්ට මෙපමණ කලක් නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ ලබාදීමම බරපතල වරදක් බව පෙන්වා දෙන සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන් එවැනි තත්ත්වයක් කිසිසේත් අනුමත නොකරණ බවද කියා සිටියේය.

ලංකා ඊ නිව්ස් අධිකරණ වාර්තාකරු සහ දිනසේන රතුගමගේ විසිනි / ලංකා ඊ නිවිස්

Archive

Latest news

Related news