තමාට ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තමා සතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෑතදී කියා තිබුණි. එමෙන්ම ඔහු කියා තිබුණේ ඒ සඳහා තව වසර තුනක් පමණ තිබෙන බවයි. ගෝඨාභය ජනාධිපති කිරීමේ මාධ්‍ය මෙහෙයුම්ද දැන් ආරම්භ වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට පවත්වාගෙන ගිය යුදවාදී මර්දනය ගැන අලුතෙන් ලිවීමට අවශය නැත. 2015දී රාජපක්ෂ යළි ජනාධිපති වූයේ නම් මේ වන විට ශ්‍රී ලංකාව ගෝටාභය යටතේ බුද්ධිසේවා විසින් සෑම දෙයක්ම පාලනය කරන මර්දනකාරී රාජ්‍යක් බවට පත්වන්නට නියමිතව තිබුණි. එවැන්නකු ජනාධිපති වුවහොත් කොහොම හිටීවිද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වී දෙවසරක් ගතවීමට ඇත්තේ තව දෙමසකි. කාලය කොයිතරම් ඉක්මනට පියාසර කර ඇත්ද? එපරිද්දෙන්ම ඉදිරි තෙවසරත් වහ වහා ගෙවී යනු ඇති බව මතකයේ තබා ගන්න. එවිට ගෝඨාභය ඔබේ එලිපත්තේ සිටීමට ඉඩ තිබේ.
ගෝඨාභය රාජපක්ෂ කලින් කීවේ දේශපාලනයට ඒමට තමාගේ කිසිදු අපේක්ෂවක් නැති බවයි. දැන් ඒ මහතා සිය අදහස වෙනස් කරගෙන තිබේ. ඒ ඇයි ද කියා ටිකක් කල්පනා කර බැලීම නොවටීද?
එක අතකට ඔහු කල්පනා කරනු ඇත්තේ කව්රුත් ඒ තරම් නොදැන සිටි මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිකම කරන්නට පුළුවන් නම් මට බැරි මොකද කියාය. එමෙන්ම පසුගිය දෙවසර තුළ රනිල්- මෛත්‍රී ආණ්ඩුව ඇදගෙනම නාගෙන ඇති සැටියෙන් ඊට ඊළඟ තෙවසර තුළ විකල්පයක් අවශ්‍යයැයි ජනතාව කල්පනා කරනු ඇතැයි ද ඔහු කල්පනා කරනවා විය හැකිය. වඩාම වැදගත් කාරණය ලෙස පෙනී යනු ඇත්තේ රාජපක්ෂවරුන් මුහුණ දීමට නියමිත මහා පරිමාණ දූෂණ චෝදනාවලින් ගැලවීමට නම් තමන්ගේ ආණ්ඩුවක් අවශ්‍ය බවට රාජපක්ෂ සනුහරය දිනපතා දකිමින් සිටිනු ඇති බියකරු සිහිනයයි.
මන්ද යත් දැන් කැරෙන දූෂණ වංචා විමර්ශන සිදුවන්නට යන්නේ අද පවත්නා මන්දගාමී වේගයෙන්ම නම් ඊළඟ ජනාධිපතිවරණ සටන එන තුරු අභියාචනා යනාදී විවිධ ක්‍රම මගින් සිය නඩු විභාග අවසානයක් නොවී පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි රාජපක්ෂවරුන් කල්පනා කරනවා වෙන්නටත් පුළුවන. එය ඇත්තක් වීමටත් ඇති ඉඩ වැඩිය.
මීට අමතරව අප නොදන්නා තවත් කරුණූ තිබිය හැකිය. ඊළඟ ජනාධිපතිවරණයේදී සටන ඇතිවන්නේ මෛත්‍රීපාල සිරිසේන සමඟ නොව රනිල් වික්‍රමසිංහ සමඟ යැයි ඔහු කල්පනා කරනවා වෙන්නටත් පුළුවන. එහිදී තමා ශ්‍රිලනිප අපේක්ෂකයා බවට පත්වනු ඇතැයි ඔහු කල්පනා කරනවා වන්නටත් පුළුවන.
ඊටත් වඩා තමා ජනාධිපතිකමට සුදුසු බව ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරනු ඇත්තේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවත් තමාගේ පිළිවෙත් ඉදිරියට ගෙන යනු දැකීමෙන් විය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදි වෙනසක් ඇති කරන බවට පොරොන්දු වී බලයට පැමිණි නමුත් මෙම ආණ්ඩුව පසුගිය කාලයෙහි ගෝඨාභය තාලයේ මර්දන නීති තුනක් සම්මත කර ගැනීමට උත්සාහ දැරුවාය. ඉන් පළමුවැන්න නම් ‘වෛරී ප්‍රකාශන’’ තහනම් කිරීමේ පනතක මුවාවෙන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතයි. එහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි අඩංඟු වගන්ති එළෙසම දක්වා තිබුණි. එම පනත් කෙටුම්පත බහා තැබීමට ආණ්ඩුවට සිදුවූයේ මානව හිමිකම් කොමිසම, ජනමාධ්‍ය, සිවිල් සමාජ පිරිස් සහ සුලුතර දේශපාලන පක්ෂ දැක්වූ විරෝධය නිසාය.
දෙවැන්න නම් අත් අඩංඟුවට ගන්නා සැකකරුවන්ගෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගන්නා තුරු නීතිඥයින් හමුවීම තහනම් තරන්නට ගෙන ආ අපරාධ නීති සංසෝධනයයි. එම සංසෝධනය සම්මතකර ගැනීමට රනිල්-මෛත්‍රී ආණ්ඩුව සමත්වූයේ නම් සැකකරුවන් ඇතිතරම් බිය ගන්වා වධහිංසාවන්ට ලක්කර තමන්ට අවශ්‍ය ප්‍රකාශ ලියවා ගැනීමට පොලීසියට අවස්ථාව ලැබෙන්නට තිබුණි. මෙම සංසෝධනයට එරෙහිවද මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙරට ආවේය. එමෙන්ම ජනමාධ්‍ය සහ සිවිල් ක්‍රියාධරයින්ද ඊට එරෙහි විය. ඊට අමතරව එම සංසෝධනය අවසාන වශයෙන් බහා තැබීමට ආණ්ඩුවට සිදුවුයේ යුරෝපීය සංගමයේ මැදිහත්වීමෙන් පසුවය. ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීමට නම් අත්අඩංඟුවට ගැනෙන සැකකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කැරෙන එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්ති පිළිපැදීම අවශය බවට ආණ්ඩුවට පසුව තේරුම් ගියේය.
තෙවැන්න නම් මේ දිනවල සාකච්ජා වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පතය. 2016 මාර්තු මාසයේහිදී විදේශ ඇමැති මංගල සමරවිර ජිනීවාහිදී කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සහායද ඇතිව එවැනි පනතක් සකස් කරගෙන යන බවයි. ඇත්ත වශයෙන්ම නම් එවැනි පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් සකස් කරන ලදී.
රනිල්- මෛත්‍රී ආණ්ඩුව එම කෙටුම්පත කුණු කූඩයට යවා නීතිපති දෙපාර්ථමේන්තුවේ රාජපක්ෂවාදී නීතිඥයකු ලවා වෙනත් කෙටුම්පතක් සකස් කළේය. දැන් නොනිල වශයෙන් ප්‍රසිද්ධියට පැමිණ ඇති එම කෙටුම්පත පවත්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වඩා භයානක එකකි. එහි ත්‍රස්තවාදී ක්‍රියා යන්න වඩා පුළුල් කර ඇති අතර මර්දනකාරී වගන්ති ඉවත් කර නැත. මෙම කෙටුම්පත ගැන ආණ්ඩුව මුනිවත රකීමින් සිටින අතර ඊට පක්ෂයක් ලෙස මේ තාක් ප්‍රසිද්ධියේ විරුද්ධත්වය දක්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය පමණි. දැන ගන්නට ඇති පරිදි එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ද මෙම නව කෙටුම්පතට විවේචන ඉදිරිපත් කර තිබේ.
මේ කරුණූ කිහිපයෙන් වුව පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමට පෙරම ගෝඨාභයගේ අවතාරය විසින් රනිල්-මෛත්‍රී ආණ්ඩුව සිය වසඟයට ගෙන ඇති සැටියකි.
එපමණක්ම නොවේ. ගොඨාභය රාජපක්ෂ නිදහස් ජනමාධ්‍ය සහ මානව හිමිකම් සිවිල් සමාජ සංවිධාන (රාජ්‍ය නොව සංවිධාන ද ඇතුළුව) සම්බන්ධයෙන් දැක්වූයේ මාරාන්තික විරෝධයකි. මේ ආණ්ඩුව ද රනිල් වික්‍රමසිංහ යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මගින් උත්සාහ කරන්නේ සියළු රාජ්‍ය නොවන සංවිධාන සිය පාලනය යටතේ නැත්නම් අඩුම වශයෙන් නිරීක්ෂනය යටතේ පවත්වා ගැනීමටය. ඊටත් වඩා දැන් ජනාධිපති සිරිසේන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ගෝඨාභයගේ වචනම පුනරුච්චාරනය කරන්නට පටන් ගෙන සිටී. තමා විවේචනයට කරන සිවිල් සමාජ කන්ඩායම් ඔහු ඇතුළත් කරන්නේ ද්‍රෝහීන්ගේ ගොඩටය. තමන් යටතේ ඇති දැවැන්ත ජනමාධ්‍ය ජාලයන් සහමුලින්ම අගතිගාමීව හසුරුවන රනිල්- මෙමත්‍රී දෙපොල අනෙක් ජනමාධ්‍යන්ට බණ කීමත් බැණ වැදීමත් දැන් පුරුද්දක් කර ගෙන තිබේ.
අන්තජාතිවාදී ගිනි ගන්නා සුළු බොරු ප්‍රචාරය කරන දිවයිනේ පුවත්පත්වලට ජනාධිපති සිරිසේන සම්මුඛ සාකච්ජා දෙන අතරවාරයේම බොරු ප්‍රචාරය කළේ යැයි චෝදනා කොට දෙමළ භාෂා වෙබ් අඩවියක් තහනම් කලේ පසුගිය සතියේය.
ගෝඨාභය අවතාරය කොතරම් ආණ්ඩුවට අවේශවී ඇත්ද යත් ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැළිගොඩ යන මාධ්‍යවේදීන් ඝාතනය කල බවට වෝදනා ලද යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ජනාධිපති සිරිසේනගේ අනුකම්පාව පවා හිමිවෙයි. නීතිපතිට පිටින් ඔවුන්ට ඇප ලැබෙයි. ගෝඨාභයවාදී බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්නැයි කී සිවිල් සංවිධාන ළදරුවන් යැයි අවඥාවට ලක් කරයි.
ගොඨාභය යටතේ ග්‍රීස් යකා උතුරු නැගෙනහිර දෙමළ ජනයා බිය වැද්දුවේය. දැන් ආවා ගෟප් පැමිණ තිබේ. යාපනය පාලනය කිරීමට යුද හමුදාව බලය ඉල්ලයි. (ඇයි දකුණේ උද්ඝෝෂණ සහ ඊට වඩා දරුණු මැරකම් නැත්ද?)
2015 ජනවාරි 08 දා මෙරට ජනයා රාජපක්ෂ පාලනය පෙරළා දමා නව ආණ්ඩුවක් පිහිටවූයේ ගෝඨාභය අවතාරයට ආරෑඩ වීමට නොවේ. සැබෑ වෙනසක් ඇති කිරීමටය. අප ගෝඨාභයට මුහුණ දීමට සූදානම් විය යුත්තේ තෙවසරකින් නොවේ. අදම ය. මන්ද යත් දූෂණයේ සහ භීෂණයේ රාජපක්ෂ අවතාර දැනටමත් යහපාලනයට ආරූඩ වෙමින් ඇති නිසාය.