Friday, November 22, 2024

සතියේ ආරක්‍ෂාව: රටක බුද්ධි අංශය රාජ්‍යය සම්පතක්ද? – නිලන්ත ඉලංගමුව

( පොලිස්පති පුජිත ජයසුන්දර දකුණේ)

“ඔත්තුබැලීම යනු ලෝකයේ දෙවන පැරණිතම රැකියාව වේ” – වෙජාස් ගේබ්‍රියල් ලියුලේවිසියස් , – ඔත්තු බැලීම සහරහස් මෙහෙයුම් : ලෝක ඉතිහාසය.

තැටිය රත්වෙමින් තිබේ. පැරණි කලාව යළිත් වෙනත් ඇතිරිල්ලක අඳිමින් සිටිති. හොරුන්, සීලවන්තයින් සේ වෙස් ගැනීම, වෙස්ගෙන පාලකයාගේ ආදරවන්තයින් සහ ආදරවන්තියන් වීම, මෙන්ම හොරුන් මැඩීම සඳහා පත් වූ අයවලුන් දේශපාලන වාසී සහ තම ඉක්මන් උසස් වීම් උදෙසා කළ හැකි සියල්ල සිදු කිරීම ආදී දෑ රාශියක් සිදුවෙමින් තිබේ. පෙර දවස, තිරයෙන් පිටුපස සිදු වූ බොහෝ දෑ මේ වන විට වේදිකාව මතට පැමිණ තිබේ. වෙස්ගැනීම, වෙස් මුහුණු බැඳීම මෙන්ම නැටීම සියල්ලම ජනතාව ඉදිරියේ සිදුවේ. ඊට අදාලව රටේ ජනමාධ්‍යය ආයතන බොහොමයක් කිසිඳු වගතුවක් නොමැතිව, තම, පුවත් වාර්තාකිරීමේ, පිපාසයෙන් පෙළෙන සැටියෙකි.

ඇතැමෙකු “බොළඳ” දේශප්‍රේමයක් මවාගෙන ඇමෙරිකාව මෙරට ගිල ගැනීමට මාන බලන ආකාරය ගැන විවද මාතවාද නිර්මාණය කරමින් සිටිති. රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතා නැගෙනහිර නාවික අඥාපති කිරීම, එකී “නිවට දේශප්‍රේමීන්ගේ” දියාරූ ගතිය සංසිදුවා ගැනීම සඳහා ගොදුරක් කරගෙන තිබේ. මෙම මෝහය දැක අනුමාන කළ හැකි එකම කාරණය වූ කලී, යළිත් රට නැති අර්බුදයක් වෙතට තල්ලු කිරීමට දරණ උත්සහයයි.

මේ අතර, විශේෂ කාර්යය බලකාය විසින් පසුගියදා සිදුකරනු ලැබූ වැටලීමක් සම්බන්ධයෙන් සිදුවන හා-හූව, මෙම සිදුවීමේ ඇති වඩාත් කණගාටුදායක සහ අප්‍රසන්න පැතිකඩක් නිර්මාණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා තම පෞද්ගලික ආරක්‍ෂාව නොසලකා වඩාත් අනුවේදනීය ලෙස පැයකට ආසන්න කාලයක් පුරා සිදු කළ කතාව අතිශය කණගාටුදායක වේ. එය, මාධ්‍යට සිදුකළ තර්ජනයක් යැයි අරුත්ගන්වමින්, අදාළ කතාවේ කොටසක් පමණක් උපුටා දක්වමින් ඔහුගේ පණිවිඩය ව්‍යාකූල කොට ඇත. ඊට පිළිතුරු ලබා දීම ජනමාධ්‍යවේදීන් මහත් ප්‍රවේශමෙන් කළ යුතුව තිබූ කාරණයක් විය.

පෙරේරා මහතාගේ හෙළිදරව්ව සහ ඔහු සිදුකළ බොහොමයක් කාරණා අතිශය සංවේදී වන අතර, බොහොමයක් කරුණු හෙතමට අකමැත්තෙන් වුවද සඳහන් කිරීමට සිදුවිය. ඔහු, තම වෘත්තියේ ආරක්ෂාව ගැන වුවද නොතකා සිදු කළ සම්පූරණ ප්‍රකශය සම්බන්ධයෙන් පුළුල් අවදානයක් ලබා දී ඒ පිළිබඳව විමසා බැලීම වැදගත් කාරණයකි. ඒ වෙනුවට ඔහුගේ ප්‍රකාශය, හුදු තර්ජනයක් කළේය, යන වාග් මාලාවට මුවා වී සැබෑ අභියෝගකාරී කටයුතු හෑල්ලුවට ලක්කිරීම අතිශය කණගාටුදායක වේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රට නිදහස් කර ගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඊට පැහැදිලි ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය වේ. එය, පෙරාරා මහතා වඩාත් නිවැරදිව සඳහන් කළ ආකාරයෙන්, “ විශාල මුදලක් වියදම් කරමින්, යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට වඩා වැදගත් වන්නේ, අදාළ යන්ත්‍ර නිවැරදිව භාවිතා කිරීමට හැකි පිරිසක් අදාළ ස්ථාන වලට යොමු කිරීමය.” එසේම, සල්ලි දුටු තැන තම සියල්ල අමතක කරන ආලපාළුවන් පිරිසක් එම ස්ථානවලට යොමු කොට පරම්පරාවක් අබ්බගාත ලෙඩුන් කිරීමට ඉඩදීම නොකළ යුතුය. රටේ පවතින සැබෑ ආරවුල මෙයයි. පෙරේරා මහතා පමණක් නොව, තම රැකියාවේ ගරුත්වය තබාගෙන කටයුතු කිරීමට මාන බලන අතලොස්සක් වූ පිරිස මුහුණ දී සිටින සැබෑ අභියෝගය මෙයයි. මෙම කුණු ගොඩින් රට ගලවා ගැනීම සඳහා පැහැදිලි අවබෝධයක් තිබිය යුතුවේ.

මෙය මේ ආකාරයෙන්ම, නවගමුවේ පොලිස් ස්ථානිධිපති ලෙස කටයුතු කරන මංජු ද සිල්වා මහතා, මීට කලකට පෙර මුහුණ දුන්නේය. ඔහුට සිදු වූ අසාදාරණය මහත් බරපතළ එකකි. මෙවැනි, සිදුවීමක ඇති ඛේදනීය තත්වය වූ කලී, මේ ආකාරයෙන් රටේ අපරාධ මර්ධනය කිරීම සඳහා තම ජීවිත පරදුවට තබා කටයුතු කරන නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් රටට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබේද යන්න ගැටලුවකි. මෙය බලවත් අසාදාරණයකි.

පොලිස් විශේෂ කාර්ය බලකා සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා සඳහන් කරන කාරණා වඩාත් හේතු ප්‍රකාරව නිරවුල් මනසකින් බැලීම වැදගත් වේ. එසේම, යම් සිදුවීමක් වාර්තාකරණයේදී අනුගමනය කළයුතු නිවැරදි වැඩපිළිවෙලක් තිබිය යුතු වේ. හෙතම අදාළ මාධ්‍යය සාකච්ඡාවේදී ඉදිරිපත් කළ සියලුම අදහස් ප්‍රසිද්ධියේ මාධ්‍යය ඔස්සේ හෙළිදරව් කිරීමෙන් මූලාශ්‍රයට සිදුකොට ඇත්තේ අසාදරණයකි. ඔහු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවේදිනියන්ට පමණක් ( පණිවිඩකරුවාට පමණක්) දැන ගැනීමට අවශ්‍යය යැයි සිතා සඳහන් කළ දෑ සියල්ලම ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නොවේ. ඔහු තම කතාබහේ, බොහොමයක් ස්ථාන වලදී, “මෙය මේ වෙදිහට දාන්න එපා”, යනුවෙන් සඳහන් කරන කාරණය, මාධ්‍ය වාරණයක් ලෙස මතුකොට නැති කාරණයක් මවා පෑමට හැකිය. නමුත්, ඉන්, රටේ ජනමාධ්‍යය සංස්කෘතියට සුගතියක් නොවේ. මාධ්‍යවේදීන් මෙන්ම අදාළ නිලධාරීන් හෙට දවසේද මේ රටේ ජීවත් විය යුතුවා පමණක් නොව, ඔවුන්ට තම රාජකාරිය සිදුකළ යුතු වේ. මේ නිසා, මෙවැනි අතිශය සංවේදී කාරණාවලදී හැසිරීම, පණිවිඩකරුවාගේ වගකීම ආදිය මූලික වශයෙන් සැලකිල්ලට ගත යුතු කාරණා වේ.

රංජිත් පෙරේරා මහතා සැබවින්ම, සිදු කළේ විලාපයකි. ඒ තුළ තම රාජකාරිය නිවැරදිව සිදුකරන විටදී මුහුණ දීමට සිදුවන ප්‍රභල සහ බලවත්ම දුෂ්කරතාවයන් ගැබ් වී තිබේ. මෙරට, රාජ්‍යය සේවය කොල්ලකාරීන්ගේ ලබ්බ ඇතුලේ තොයිලයක් බවට පත් වී ඇත්තේ, මෙවැනි නිලධාරීන්ට තම රාජකාරිය නිවැරදිව සිදු කිරීමට ඉඩ නොදීම හේතුවෙනි. මේ නිසා, මෙවැනි ගැටලු රාජ්‍යය ප්‍රතිපත්ති පමණක් නොව වෘත්තීමය සදාචාරයක් තිබිය යුතු මූලික කාරණා වේ.

පෙරේරා මහතා මාධ්‍යවේදීන්ට තර්ජනය කළා යැයි කීමට වඩා වැදගත් සහ, ප්‍රතික්ෂේප කිරීමට නොහැකි මූලික සත්‍යයක් තිබේ. එය, මෙරට වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හෝ වෙනත් වගකිව යුතු නිලධාරීන්, අමතක කොට තිබුනද මාධ්‍යය තුළ වඩාත් නිරවුල්ව විසඳාගත යුතු කාරණයක් වේ.

අදාළ සිදුවීමේ ඇති සැබෑ කාරණා සියල්ල මහත් ඕනෑකමින් වසා දමමින්, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, “සමාව” ගැනීම සැබවින්ම විගඩමකි. ඊට වඩා වැදගත් වන්නේ තමන් ආයතනයේ ප්‍රධානියා ලෙස, ආයතනයේ සේවය කරන නිලධාරීන්ට තම රැකියාවේ ගරුත්වය රැකගෙන රාජකාරී කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමය.

අවසානවට මෙන්, හෙතම ධූරයට පත් වූ වහාම, පොලිස් දෙපාර්තමේන්තුව සතු වූ මාධ්‍ය ඒකකය විසුරුවා හැරුණු ලැබීය. එමඟින් සිදු වූයේ මාධ්‍ය සහ දෙපාර්තමේන්තුව අතර තිබිය යුතු මූලික බැඳීම කඩා දමා එය තමන්ගේ අතට ගැනීමය. එමඟින්, සිදු වූයේ පැවති ව්‍යාකූලත්වය තවදුරටත් ව්‍යාකූල කිරීම බව මේ වන විට ඔප්පු වී හමාරය. “ලකුණු” පිටුපස හඹා ගොස් රාජකාරිය නිවැරදිව සිදුකරන නිලධාරීන් හෑල්ලුවට ලක් කිරීම ඕනෑම ආයතනයක් කුණු වී කඩාවැටීම සඳහා මූලික හේතූන් අතර එකක් වේ. ඊට, ආලපාලු දේශපාලනය සම්බන්ධ වූ විට කළ හැකි ඉටිගෙඩියක් ඉතුරුවන්නේ නැත.

මේ නිසා වත්මන් පොලිස්පතිවරයා තම ආයතනය තල්ලු කරමින් සිටින බරපතළ සහ ව්‍යාකූල ස්වභාවය වහාම හඳුනා ගැනීම සහ ඊට පිළියම් යෙදීම අතිශය තීරණාත්මක වේ. කලක් යුද්ධය, පුවත්පත් සහ මාධ්‍යය ඔස්සේ සිදු කළ නිලධාරීන් ජාතික “වීරයින්” කළ ආකාරයෙන්, තම අපරාධ මර්ධනය පුවත්පත් වල පිටු පිරවීමෙන් කළ හැකි යැයි ඇතැමෙකු සිතූහ. මුලාව පදනම් කරගත් මෙවැනි දෑ, තම පෞද්ගලික අභිමතාර්ථයන් ජයගැනීම සඳහා මහෝපකාරී වූහ. නමුත් ඒ කිසිවකින් රටට සුගතියක් සිදු වූයේ නැත. මෙවැනි නළුවන්, ප්‍රත්පත්ති තීරණගන්නා ස්ථාන වලට පත් වූ විට එම ආයතන මෙන්ම රාජ්‍යයන් අඝාදයට ඇදවැටේ. මතට තිත හෝ මතින් තොර රටක් තබා, රටේ වෙසෙන සාමාන්‍යය ජනතාවට නිදහසේ සාමකාමිව විසීමට හෝ ඉන් අවස්ථාවක් නොලැබේ.

රංජිත් පෙරේරා මහතා ඉදිරිපත් කරන මූලික අදහස් තේරුම්ගත යුත්තේ මෙම අර්ථයෙන් මිස, නළුවන් තම දේශපාලන ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා, සිදුකරන ව්‍යාජ “සමාව” ගැනීම් ඔස්සේ නොවේ.

පොලිස් දෙපාර්තමේන්තුව වූ කලී රටක මූලික රාජ්‍යය අවයව වලින් එකකි. එසේම ඔවුන්ට ලැබී ඇති බලය අසීමිතය. තම රාජකාරීය නිවැරදිව සිදු කිරීමට නොහැකි වටපිටාවක් තිබේනම් ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය. මේ දක්වා ගෙවී ගිය ඉතිහාසයේ, මෙම දෙපාර්තමේන්තුවේ සිටි එකඳු පොලිස් නිලධාරියෙකු හෝ තම රාජකාරියට බාධා කළේ යැයි, දේශපාලනඥයෙකුට හෝ ඔහුගේ ආවතෙවකරුවෙකුට එරෙහිව, නඩු පවරා තිබේද? එලෙස, නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අවශ්‍යය වූ නිලධාරීන් , තම කණස්සල්ල වගකිව යුතු නිලධාරීන්ට සඳහන් කරන විට, ඔවුහු ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

එම අප්‍රසන්න ව්‍යාකූල ස්වභාවය විසඳීම සඳහා, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකොන් මහතා ප්‍රභල දුෂ්කරතා මධ්‍යයේ උත්සහ කරනු ලැබීය. වත්මන් පොලිස්පතිවරයා, අවධානය යොමු කළ යුත්තේ, තම පූර්වගාමිකයා නවත්තපු තැනින් ඉදිරියට තම ආයතනය ගෙන යෑමට, මිස යළිත් ආපස්සට ඇද දැමීම නොවේ. එය කළ හැක්කේ, ආයතනයට හිමි ගරුත්වය සහ එය රටේ ජනතාවට සමීම කරවීමේ නිවැරදි වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කිරීමෙනි.

වැදගත් වන්නේ පොලිස් නිලධාරියෙකු රටේ සාමන්‍යය හෝ “අසාමාන්‍යය” පුද්ගලයෙකුගෙන් පගාව ගැනීම නොව, එවැන්නක් ගැනීම සඳහා ඔහු වටා සකස්කොට ඇති පරිසරයයි. වෙනස් කළ යුත්තේ පරිසරයය. ඉන් පසු ස්වාභාවිකවම පුද්ගලයා වෙනස් වේ. ආයතනයක, සදාචාරය, වගවීම මෙන්ම විනිවිදභාවය වැදගත් වන්නේ මේ නිසාය. එය කළ හැක්කේ, අදාළ ආයතනය කළමනාකරණය කරන මූලික මෙහෙයුම් කරුවාට මිස, එවැනි දෑ කිරීම සඳහා අහසින් මිනිසුන් වැටෙන්නේ නැත. එහි භාරධූර වගකීම පැවරී ඇත්තේ පොලිස්පතිවරයාට සහ ඒ සම්බන්ධයෙන් වගකීම් ලබා දී ඇති නිලධාරින්ටය.

සාගලගේ ආදරවන්තයා මීළඟ යුධ හමුදාපතිද?

මේ අතර, ශ්‍රී ලංකා යුධ හමුදාවේ මීලඟ හමුදාපති සඳහා වූ සීතල යුද්ධය වඩාත් ක්‍රමෝපායිකව දිග් ගැස්සෙමින් තිබේ. වත්මන් යුධ හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මහතාට මාස කිහිපයකට සේවා දිගුවක් ලැබෙන්නේය යන විශ්වාසය බොහෝ දෙනෙකුට තිබේ. එසේම වැනි සේවා දිගුවක් ලබා දී, මීළඟ ජනවාරී මාසය දක්වා ඔහුට තම ධූරයේ සේවය කිරීමට ඉඩ දී මීළඟ යුධ හමුදාපති පත් කරනු ඇතැයි පැතිරෙමින් පවතින ආරංචිය වේ.

ඊට හේතුව, වත්මන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ පාසල් මිතුරෙකුට අදාළ ධූරය පිරිනැමීමට යෝජනා වී ඇති බව සඳහන් වේ. එසේම, පාසල් සමයේ සිට පැවති දැඩි ආලවන්තකම, අදාළ තනතුර සඳහා මූලික සුදුසුකම වී ඇති බවත්, ඊට අදාළ මෙහෙයුමේ විශාල ප්‍රතිශතයක් මේ වන විටත් සිදු වී අවසන් වන බවත් වාර්තා වේ.

ඒ අනුව මීළඟ ජනවාරි මාසය දක්වා කාලය තුළ විශ්‍රාම යෑමට නියමිත සැලකිය යුතු නිලධාරීන් සමූහයක් වෙති. ඔවුහු, අතර හමුදාපති ධූරය සඳහා පොරදින නිලධාරීන් කිහිප දෙනෙකුද වෙති. මෙහි ඇති වඩාත් සැලකිය යුතු සහ හාස්‍යයජනක කාරණය වූ කලී, නිතීය සහ සාමය පිළිබඳ අමාත්‍යය සාගල රත්නායක මහතාගේ මිතුරු නිලධාරියා මේජර් ජනරාල් සුමේද පෙරේරා මහතාගේ මස්සිනා වීමය. සුමේද පෙරේරා මහතා, තම සේවය තුළ රාජකාරියේ ගරුත්වය තබා ගත්තෙක් නොවූ බවට වූ සාධක රාශියක් තිබේ. කණගාටුවෙන් වුවද, සඳහන් කළ යුතු මූලික කාරණය වූ කලී සුමේද පෙරේරා මහතා යුධ හමුදාවේ මූලික මූලධර්ම මෙන්ම පරිපාලන ව්‍යුහය හෑල්ලුවට ලක් කළ නිලධාරියෙකි. ඉන්, ඔහුගේ මස්සිනා ඔහු මෙන් කටයුතු කළ බව කියන්නේ නැත. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව වර්තමානයේ මුහුණ දී ඇති පරිපාලනමය සහ කළමනාකරණ ගැටලූ සහ අභියෝග ජයගැනීම සඳහා එවැනි පත් කිරීමක් කෙතරම් සුදුසුද යන්න සැක සහිතය.

මේ අවස්ථාවේදී වැදගත් වන්නේ, ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව විනය සහ පරිපාලනය ශක්තිමත් කළ හැකි නිලධාරියෙකු අදාළ තනතුරට පත් කිරීම සඳහා අවශ්‍යය පැහැදිලි වැඩපිළිවෙලක් ගොඩ නැගීම මිස, ආලවන්තයින්ගේ සොඳුරු සියුමැලි සහින වෙනුවෙන් රාජ්‍යය ව්‍යුහය හෑල්ලුවට ලක් කිරීම නොවේ. පසුගිය දශක ගණනාවක් තිස්සේ පැවති එම අප්‍රසන්න ක්‍රමවේදය වෙනස් කළ යුතුව ඇත. එය වෙනස් කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ, සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මහතාටය.

ජනවාරි මාසයේදී අදාළ නව පත්වීම කරනු ලැබුවහොත්, වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත සිලවා මහතා විශ්‍රාම ගත යුතු වේ. එසේම, දක්ෂ නිලධාරියෙකු ලෙස පිළිගැනෙන මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා 2017 වසරේ විශ්‍රාම ගැනීමට නියමිතය. ඉන් පසු අදාළ ධූරාවලියේ සිටින්නේ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාය. සුදන්ත රණසිංහ මහතා එම ධූරයට පත් කිරීමට නම්, ජනවාරි මාසයේදී කිරීමට බලාපොරොත්තු වන වෙනස් වීමට අදාලව පත්කරන නව යුධ හමුදාපතිවරයා වසර එක හමාරක් වැනි කෙටි කාලයකින් විශ්‍රාම ගත යුතු වේ. එසේ සිදු නොවුන හොත්, ධූරාවලියේ මීළඟ උරුමක්කරුවා වන්නේ මේජර් ජනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතාය. කාරණයේ බරපතළකම හඳුනා ගැනීම සඳහා මෙය තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ. රටේ ආරක්ෂක අංශ ගැන අවබෝධයක් ඇති සහ යුද්ධය පත්තර සහ රූපවාහිනී නාලිකා වල සිදුකොට තම පෞද්ගලික වීරත්වය තනාගත් අයවලුන් ගැන දන්නා සියල්ලෝම එය දනිති.

මෙලෙස සිදුවුව හොත්, යුධ හමුදාව තවදුරටත් දේශපාලන පක්ෂ සහ පුද්ගලයින්ගේ අතකොළුවක් බවට පත් වී, ආයතනය නිවැරදි පරිපාලන රාමුවකට ගැනීමේ අවස්ථාව අහිමි වනු නියතය. එය, බරපතළ දේශපාලන සහ සමාජීය කාරණා වලට හේතු වීමට ඉඩ තිබේ. යුධ හමුදාපතිවරයකුට ධූරයේ කටයුතු කිරීම සඳහා අඩුතරමින් වසර හතරක පමණ කාලයක් අත්‍යවශ්‍යය වේ. එවිට ඔහුට, එහි ව්‍යුහය වෙනස් කොට ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන ආයතනයක් බවට පත් කිරීමට අවස්ථාව ලැබේ. නමුත් වර්තමානයේ සිදුවන්නේ, තම ආලවන්තයින්ගේ මනදොල පිනවීම සඳහා මෙම ධූරය, “ත්‍යාගයක්” ලෙස තබා ගැනීමය.

එමඟින්, රටට සිදුවන යහපතක් නොමැත. මෙහි ප්‍රතිඵලය, මෙරට ඔත්තු සේවය මුහුණ දී සිටින වත්මන් තත්වයෙන් හඳුනා ගත හැකිය. රටේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන්, පරීක්ෂණ කිරීම සඳහා, අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා තිබේ. ඊට පරීක්ෂණ කිරීම, ඒ සඳහා නීතිපතිවරයා දැනුවත් කොට නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ආදී මූලික බලතල ලබා දී තිබේ.

ඔත්තු සේවය ගාල් කිරීම

මේ සම්බන්ධයෙන් වාර්තා වූ නවතම කාරණය හමුදා ඔත්තු සේවයේ ප්‍රධානියාට උසාවියේ පෙනී සිටීමට නියෝග ලබා දීමය. ඔහු සහ ඔහුගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමය. ඊට අදාළව සතිඅන්ත පුවත්පත් කිහිපයකම පුවත් වාර්තා ප්‍රසිද්ධ වී තිබුණි. ඊට හේතුව, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ වකවානුවේ, එක්තරා ආරක්ෂක නිවසක පවත්වාගෙන ගිය දත්ත වාර්තා වල සටහන් අතුරුදන් වීමය. අදාළ ආරක්ෂක නිවාසය, කොළඹට තදාසන්න ස්ථානයක පවත්වාගෙන ගිය අතර එහි ප්‍රධාන කණ්ඩායම් තුනක් රැඳී සිටි බව ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට අදාළ, බොහෝමයක් දෑ හෙළිදරව් කිරීමට නොහැකි සංවේදී කරනා වේ.

කෙසේ වෙතත්, අදාළ කාරණය බැලූ බැල්මට වරදක් ලෙස දැකිය නොහැකි සිදු වීමක් ලෙස හඳුනා ගත හැකි වුවද, විමර්ශනයකදී වැදගත් වන්නේ විමර්ශණය කුමන සාධකයක් අරම්භයා සිදු කරන්නේද? එහිදී මාධ්‍යයට හෙළිදරව් කළ යුතු කරුණු මොනවාද? එහිදී අගතියට පත් පාර්ශවයට සාදාරණයක් ඉටු කිරීම සඳහා හුදු මාධ්‍යය සංදර්ශනයෙන් ඔබ්බට ගමන කළ හැකි වැඩපිළිවෙලක් සකස් කර ගන්නේ කෙසේද? අදාළ පරීක්ෂණවල එකම අරමුණ තමන්ට උසස්වීම් ලබා ගැනීම සහ දේශපාලන වාසි ලබා ගැනීමද? යන මූලික කාරණා ගැන අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරිපාලන සමය තුළ බොහොමයක් නිලධාරීන්ට අසාදාරණකම් සිදු වූ බව සැබෑය. ඒවා විඳ දරාගෙන තම රාජකාරි කළ පිරිසක් සිටි අතර ඇතැමෙකු ඒවා ඉවසා ගැනීමට නොහැකිව සේවයෙන් විශ්‍රාම ගියෝය. නව ආණ්ඩුව යටතේ පැරණි ක්‍රමය, යළිත් වෙනත් පාටකින් සිදුවීම, යහපත් කාරණයක් නොවේ. එකට එක කිරීම, මූලික උවමනාව වූ විට ආණ්ඩුවකට යා හැකි දුර අවම වේ. එසේම රාජ්‍යය සංස්ථා බිඳ වැටීමට ලක්වේ.

මෙරට ඔත්තු සේවය අරඹයා සිදුවන නොගැඹුරු වැඩපිළිවෙල තුළින් පෙනී යන කාරණා කිහියක් තිබේ.

පළමු කාරණය වූ කලී, රටක ඔත්තු සේවය ( බුද්ධි අංශය) යනු කුමක්ද සහ ඊට ලැබිය යුතු ගරුත්වය කුමක්ද යන්න ගැන පැහැදිළි අවබෝධයක් බොහෝ දෙනෙකුට ඇති බවක් පෙනෙන්නට නොතිබීමයි. ඕනෑම රටක ඔත්තු සේවය වූ කලී, එම රාජ්‍යයේ මූලික පැවැත්ම තහවුරු කරන මූලික ඒකකය වේ. එය, රාජ්‍යය සතු වත්කමක් මිස, එක් එක් දේශපාලනඥයාට රිසි සේ භාවිතා කළ හැකි මෙවලමක් නොවේ. නමුත් පසුගිය දශක කිහිපය පුරා, මෙරට ඔත්තු සේවය මුහුණ දුන් මූලික අභියෝගය එයයි. එමඟින්, මෙරට සේවය කළ කීර්තිමත් ඔත්තු සේවා නිලධාරීන් අකාලයේ මරුමුවට පත් වූහ. ඇතැමෙකු රට හැර ගියහ. තවකෙකුට, තනතුරු සඳහා කුලල්කා ගත් අභ්‍යන්තර ආරවුල් හේතුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

දේශපාලන මතවාද හමුවේ පිළිගත නොහැකි කාරණා රාශියක් සිදුකළද මේජර් ජනරාල් හෙන්දවිතාරණ මහතා මෙරට ඔත්තු සේවය වෙනුවෙන් බොහොමයක් දෑ සිදු කළ නිලධාරියෙකු විය. නමුත්, එක අවස්ථාවකදී හෙතම මාධ්‍යය ඉදිරියට පැමිණ, එවකට බලයේ සිටි ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට සිදු විය. එය, එකල බරපතළ විවේචනයට ලක් වූ සිදුවීමක් විය. එසේම, වත්මන් ආණ්ඩුව යටතේ, ඔත්තු සේවයේ ප්‍රධානීන්ගේ නම්, සහ ඔවුන්ගේ පසුබිම් වාර්තා හෙළිදරව් කිරීම එතරම් බුද්ධි ගෝචර කාරණයක් නොවේ. කුමන පරීක්ෂණයකට අදාලව විස්තර අවශ්‍ය වන්නේ නම්. ඒ සඳහා, සිදුකළ යුතු වැඩපිළිවෙලක් තිබේ. විශේෂයෙන්, ආරක්ෂක අංශ සතුව, යුධ අධිකරණ සහ වෙනත් විශේෂ ආරක්ෂක කමිටු වැදගත් වන්නේ මෙවැනි දෑ සම්බන්ධයෙනි.

මීළඟ කාරණය වූ කලී, පැහැදිලි යුද්ධයක් නොමැති වටපිටාවක ඔත්තු සේවයක කාර්යය පටිපාටිය වේ. යුද්ධයක් නොමැති වටපිටාවක, ඔත්තු සේවය වූ කලී ඉතා වැදගත් මෙවරක් සිදු කිරීමට භාවිතා කළ හැකි ඒකකයකි. විශේෂයෙන් ලංකාව වැනි දූපත් රාජ්‍යයක් මුහුණ දී සිටින අභියෝග රාශියක් තිබේ.

ශ්‍රී ලංකාව සමඟ, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරන රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මූලික වන ඒකක වලින් එකක් වූ කලී රටේ ඔත්තු සේවය වේ. මේ වන විට සංවර්ධන ඉලක්ක කරා ගිය බොහෝමයක් රටවල දැකගත හැකි මූලික කාරණය වූ කලී එම රටවල් සෑම එකක්ම තම ඔත්තු සේවය ශක්තිමත්ව නඩත්තු කිරීම සඳහා පියවර ගැනීමය. ඒ සම්බන්ධයෙන් වැදගත් සාහිත්‍යයක් නිර්මාණය කිරීමය. ප්‍රතිප්තිමය කාරණා මත සකස් කරනු ලැබූ ඔත්තු සේවයක් නොමැති තැන මෙරට ශක්තිමත් “රාජ්‍යය ධූත සේවයක්” ඇති වන්නේ නැත.

ජාතික සංහිදියාව ඇතිකිරීමට යැයි කියමින් “දීපන්” වැනි රූපවාහිනී නාලිකා තම තානාපති කාර්යාලවල ප්‍රදර්ශනය කිරීම්, තම පවුලේ සෑම අයෙකුටම වෙනත් රටක විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්ව ලබා ගැනීම්, තමන්ගෙන් පසු තම දරුවන් සේවයට දමා ගැනීම්, තම පවුලට අවශ්‍යය ව්‍යාපාර කටයුත්තක් තානාපති සේවයේ වරප්‍රසාද අයුතුලෙස භාවිතා කරමින් ආරම්භ කිරීම්, වැනි හුදු පෞද්ගලික තණ්හාව මූලික කරගත් තානාපති සේවයක් මෙරට නාමයෙන් නඩත්තු කිරීම සඳහා රටේ ජනතාවට බදු ගෙවීමට සිදු වී තිබෙන්නේ මේ නිසාය.

අවාසනාවකට මෙන්, මෙරට ඔත්තු සේවය, දේශපාලන බලය මත රඳා පවතින, දේශීය වටපිටාව තුළ බලය ලබා ගැනීමේ අතකොළුවක් බවට පමණක් පත් කර ගනු ලබන, රූකඩයක් බවට පත්කොට තිබේද? යන ගැටලුව තිබේ. එය අවස්ථාවාදීන් හමුවේ දියවී යන ඒකකයක් වී තිබේද? සතියේ සෑම දිනයකම කට ගොන්නක් බීගෙන, සතිපතා පවත්වන ආරක්ෂක කවුන්සලයට, වෙබ් අඩවි වල ප්‍රසිද්ධ වන පුවත් එහෙන් මෙහෙන් එකතුකර ගෙන “ ඔත්තු වාර්තාවක් තනා” එය රැගෙන ගොස්, දේශපාලන නායකත්වය ඉදිරියේ “නියම ඔත්තුකරුවන්” වූ පිරිස් මෙරට නොසිටියා නොවේ. වෙනස් කළ යුත්තේ මෙම සංස්කෘතියයි. ඒ වෙනුවට පුද්ගලයින් අරඹයා සිදුකරන පළිගැනීම්වලින් කිසිඳු වගතුවක් සිදුවන්නේ නැත.

එනම්, වර්තමානයේ වැදගත් වන්නේ සේවය කරන නිලධාරින් සහ ඔවුන්ගේ වතගොත හෙළිදරව් කොට, දෙන්නම් බැටේ දීම නොව, ආයතනය මූලික පරිපාලනමය ප්‍රතිපත්ති වලට නතු කර ගැනීමට හැකි වටපිටාව සොයා බැලීම, විමසීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. ඒ වෙනුවට්, එකිනෙකාගෙන් පළිගෙන සතුටු වීමෙන් කිසිවෙකුට සුගතියක් සිදු වන්නේ නැත.

ශ්‍රී ලංකාවට ඔත්තු සේවාවල රහස්‍යභාවයට අදාළ රාජ්‍යය ප්‍රතිපත්තියක් තිබේද? රාජ්‍යය රහස් වලට අදාළ දේශපාලන කල්ලිවාදයෙන් වෙන් වූ රාජ්‍යය ප්‍රතිපත්තියක් තිබේද? ආදී කාරණා අතිශය ගැඹුරින් සිතා බැලිය යුතු කාරණා බවට පත් වී තිබේ. තම රාජකාරියේ ගරුත්වය රැකගෙන වඩාත් සුපරික්ෂාකාරීව සේවය කරන්නේ කෙසේද යන කාරණය තීරණය කිරීම සාමුහිකව සිතා බැලීමට කාලය එළඹ තිබේ. මෙය දේශපාලන කල්ලිවාදයෙන් ඔබ්බට ගොස් සිතා බැලිය යුතු කාරණයකි.

තමන් අභිමුඛව සිටින සහ හඳුනා ගත හැකි සතුරාට එරෙහිව කටයුතු කිරීම පහසු කටයුත්තක් වන නමුත් නොපෙනෙන සහ වෙස්වලාගත් සතුරාට එරෙහිව කටයුතු කිරීම සංකීරණ කටයුත්තකි. ඒ සඳහා පැහැදිළි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය වේ. එය කළ හැකි එකම වැඩපිළිවෙල, රාජ්‍යය ඔත්තු සේවය පරිපාලනමය ප්‍රතිපත්ති වලට නතු කිරීම, විෂය දන්නා අයවලුන්ට වගකීම් දැරීමට ඉඩදීම, විනිවදභාවය සහ වගවීම විමසා බැලීම, ආදී මූලික කාරණා සඳහා රාජ්‍යය ඔත්තු තොරතුරු සම්බන්ධයෙන් නීතමය ප්‍රතිපාදන සකස් කිරීමය.

දේශපාලන සහ ආර්ථික වශයෙන් හෙම්බත් වී ඇති රටකට අත්‍යවශ්‍යය වන්නේ, රටේ ස්වෛරීත්වය රැකගෙන දියුණු වීම සඳහා ඇති වැඩපිළිවෙලක් සකස් කිරීමය. එසේ නොවුන හොත් සිදුවන්නේ, වෙනත් රටක ගොදුරක් බවට මෙහි ඇති සෑම කොටසක්ම නතු වීම පමණි. ප්ලොට් සංවිධානයේ සිටි සන්ධදියාර් මහතා, ඉන් පසු උමා මහේෂ්වරන් මහතා වැනි , දෙමළ ජනතාවගේ ගැටලුව ගැන සැබෑ අවබෝධයක් ඇති පිරිස් අතුගා දැමීම ඔස්සේ මෙරටට සිදු වූ ප්‍රභල හානියක් තිබේ. ඒ සියල්ල සිදු වූයේ අහම්බෙන් නොවේ. ඒවා සිදු කළේ කවුරුන්ද යන්න බොහෝ දෙනෙකු දනිති.

අස්ථාවර රටක් තමන් සමීපයේ තබා ගැනීමට සහ එම රට තම අභිමතය පරිදි මෙහෙයවීමට බොහෝ පරිවාර රාජ්‍යයන් උත්සහ දරති. එය ස්වභාවික කාරණයකි. එක්සත් ජනපදය අභිමුඛව පිහිටි මෙක්සිකෝව, ඉන්දියාව අභියස පිහිටි නේපාලය, රුසියාව අභිමුඛව පිහිටි යුක්රේනය මේ සඳහා වූ සියගණනක් වන නිදසුන් අතර කිහිපයක් පමණි.

යහපාලන ආණ්ඩුව යටතේ තවත් “අතුරුගිරිය මිලේනියම් සිටි” පන්නයේ කටයුත්තක් සිදුවීමට පෙර කළ යුතු දෑ නිසි කලට ගෙන පවතින අර්බුදය විසඳා ගැනීමට යුහුසුළුව මැදිහත් වීම මෙන්ම රට තුළ යළිත් ලේ වැගිරීම් සිදු නොවන තැනට තල්ලු කිරීමේ මූලික වගකීම නායකත්වයට සහ ඔහුට අවංකව සහය දෙන අයවලුන් හමුවේ ඇති වගකීම සහ යුතුකම වේ. එසේම, තමන්ගේ කටයුතු වලට සහභාගී කරගත හැකි විශ්‍රාම ගොස් සිටින නිලධාරීන් විශාල පිරිසක් දැනුම් සම්බාරයක් පුරවාගෙන තම කාලය ගතකරමින් සිටිති. ඔවුන්ගෙන් තම පරිපාලනයට අවශ්‍යය සේවය ලබා ගැනීමට නායකත්වය කටයුතු කරන්නේ නම්, බොහෝ සුභවාදී දෑ අප අභිමුඛව සිදුවනු ඇත.

Archive

Latest news

Related news