Tuesday, July 16, 2024

නාය ගිය කළුපහණ වතුයායේ දමිළ ජනතාවට කෙනෙහිළිකම් !

“ලයිම් ගෙවල් දහයෙන් හයක් ම නාය ගියා. 16 දෙනෙක් පොලොව යට වැළලූණා. කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. දැනටත් වත්ත අවධානම්, එහි යළි පදිංචි වෙන්න අපි කැමති නැහැ. නමුත් අපි ගැන කිසිම හැඟීමක් නැතිව, එච්චර විනාශයක් වෙච්ච වත්තට ගිහිං අපිට ජිවිතේ පටන් ගන්න කිව්වා, රජයෙන් ටෙන්ට් ගහලා දෙන්නම් කිව්වා ඒත් කිසිවෙක් ආවෙත් නැහැ ලැබුණෙත් නැහැ.” – අසීරුවෙන් ජීවිත බේරාගත් කළුපහණ වතුයායේ දමිළ ජනතාව එසේ කියති.

ඒ ජීවිත මිනිස් ජිවිත යැයි කියා හැගීමකින් තොරව, හෘදය සාක්‍ෂියකින් තොරව එවැනි ගුණමකු යෝජනාවක් ක‍්‍රියාත්මක කරවමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විපතට පත් වී සිටින ඒ දමිළ මිනිසුන්හට එසේ අණකර ඇත්තේ බුලත්කොහුපිටිය අතිරේක දිස්ත‍්‍රික් ලේකම් රම්යා ජයසුන්දර විසිනි.

පසුගිය දිනවල හටගත් ව්‍යසනය හේතුවෙන් නාය යැමෙන් බැට කා විපතට පත්වු කළුපහණ වතුයායේ දමිළ ලොකු කුඩා, ගැහැණු පිරිමි, පුංචි දරුවෝ 306 දෙනෙකු බුලත්කොහුපිටිය අතිරේක දිස්ත‍්‍රික් ලේකම් රම්යායා ජයසුන්දර විසින් ම ඔවුන්ගේ ආරක්‍ෂාව පතා යක්කෙල ශ‍්‍රි ශිලානන්ද මහා විද්‍යාලයේ නේවාසික කර ඇත.

එහෙත් මේ ව්‍යසනයෙන් ලයිම් ගෙවල් 10 න් 06ක්ම සොදාගෙන ගොස් සිය ඥාතින් 16 දෙනෙකුගේද ජීවිත බිළිගත් ඒ කුරිරු නාය යෑමේ ඛේදවාචකයේ අදෝනා හඬ වියැකි යන්නත් මත්තෙන් එම ඥාතින් ශෝ්චනීය ලෙසට වැළලි සිටින ඒ පොළව දෙස බලමින් ඒ වත්තට ම ගොස් ජීවත්වන්නැයි තමන්ට කියා සිටින්නේ කුමන පදනමක් යටතේ දැයි ජීවිත බේරාගෙන සිටින ඔවුහු විමසති.

“අපේ වත්ත නාය ගියාට පස්සේ දිස්ත‍්‍රික් ලේකම්වරිය තමයි තාවකාලිකව අපිව ශ‍්‍රි ශිලානන්ද මහා විද්‍යාලයේ පදිංචි කළේ. අපිට නිසිවිධියට ඉන්න තැනක් ලැබෙනකම් ඒ පාසැලේ තමයි අපි ඉන්නවා කිව්වෙ. නමුත් හිටි හැටියේම පසුගිය ඉරිදා එතුමිය අපිට කිව්වා රජයෙන් ටෙන්ට් හදලා දෙනවා අපේ බඩුත් අරගෙන ආයෙමත් අපේ වත්තටම යන්න කියලා. එකසැරයක් නාය ගිය වත්ත අවධානම් නිසා අපි යන්න බැහැ කිව්වා. ඒත් අපිට යන්න කියලා බල කළා. අපි ආවා. රජයෙන් හදලා දෙනවා කියපු ටෙන්ට්ටුත් නැහැ. ස්කෝලේ ගොඩනැගිල්ලක් පිරෙන්න තිබුණු සහනාධාරවත් අපට ලැබුණේ නැහැ.”යැයි කළුපහණ වතුයායේ ඉතිරිව සිටින දමිළ මිනිස්සු අයිතිය ට කීහ.

ඒ මිනිසුන්ගේ අකමැත්ත තිබිය දී , ප‍්‍රාදේශිය බලධාරින් විසින් කඩිනම්ව එවැනි තීන්දුවක් රැගෙන ඇත්තේ මන්ද ? එසේ ක‍්‍රියාකර ඇත්තේ කාගේ බලකිරීමකට ද ? කාගේ උසිගැන්වීමකට ද ? කාගේ අවශ්‍යතාවයකටද ? ඔවුන් හට නිවාස ලබාදෙන්නේ කෙසේ ද ? කුමන ප‍්‍රදේශයෙන් ද යැයි සමාජ ක‍්‍රියාධරයින් විසින් ප‍්‍රශ්න කරති.

මාරිමුත්තු සත්‍යවේල් පියතුමා
මාරිමුත්තු සත්‍යවේල් පියතුමා

“පසුගිය සිකුරාදා ශ‍්‍රි ශිලානන්ද මහා විද්‍යාලයේ තාවකාලිකව පදිංචි වි සිටින මේ පිරිස බලන්න අපි ගියා. එහිදි අපිට දැනගන්න ලැබුණා, ඒ පාසැලට අදාළ සංවර්ධන සමිතිය ගමේ ඇතැම් පුද්ගලයින් එකතුවෙලා උද්ඝෝෂණයක් කරන්න යනවා කියලා පසැල අවශ්‍යයි, දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, අනාථයින් ඉවත්කර පාසැල වහාම ලබාදෙන්න” කිියන ඉල්ලීම මූලික කරගෙන. නමුත් අපෙන් කෙනෙක් ඒ ගැන හොඳින් විමසා බලා එවැන්නක් ක‍්‍රියාත්මක වීම වැළැක්වුවා. එහෙත් පසුගිය ඉරිදා වත්තේ මිනිසුන්ගේ කිසිම කැමැත්තකින් තොරව ඔවුන්ගේ ඥාතින් වැළලී ගිය ඒ බිමේ යළි පදිංචි වෙන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරිය විසින් බලහත්කාරයෙන් ඔවුන් පාසැලෙන් එහි යවා තිබුණා. නාය ගිය වත්තේ ජිවත්වීම සඳහා රජය ගාණේ ටෙන්ට් ගසා දෙනවා යැයි කීව ද ඒ සහනයවත් තවම ලබා දී නැහැ.” යැයි සමාජ ක‍්‍රියාධරකෙු වන ගරු මාරිමුත්තු සත්‍යවේල් පියතුමා අයිතිය ට ප‍්‍රකාශ කළේය.

“මෙය මහා අසාධාරණයක්. කවුද මේ දරුණු තීන්දුව පිටුපස සිටින්නේ ? පාසැල අවශ්‍ය නිසා ද ? නැතිනම් මේ මිනිස්සු දෙමළ නිසාද විපතකට පත්වෙලා ඉන්න වෙලාවකත් මේ ඒ වගේ අසාධාරණ විධියට සළකන්නේ ?” යැයි සතිවේල් පියතුමා චෝදනා කරයි.

“නාය යෑම් සම්බන්ධයෙන් මේ ප‍්‍රදේශවල ස්ථාන 1150ක් ලකුණුකර තිබෙනවා, නමුත් දරුණු නායයැමකට ලක්වුණු අරණායකවත් මේ කළුපහණ වතුයායවත් ඒ සළකුණු කළ ස්ථාන අතරෙ නැහැ. එතකොට මේ අහිංසක මිනිස්සු වන්දි ගෙවන්න ඕනෙ කාගේ වැරදි වලට ද ?” යැයි සතිවේල් පියතුමා වැඩිදුරටත් බලධාරින් පාලකයින් දෙසට සිය චෝදනාව එල්ල කරයි.

කළුපහණ වතුයායේ ඒ ඛේදණිය ඛේදවාචකයට මුහුණ දුන්, දැනට ඉතිරිව සිටින දමිළ ජීවිත 306, එම වතුයායේ අතහැර දමා තිබෙන පැරණි නේවාසිකාගාර ගොඩනැගිල්ලට වී සිය “ජිවිතයේ අවධානම” පිළිබඳව මෙනෙහි කරමින් සිටිති.

සටහන – මෙලනි මානෙල් පෙරේරා/ අයිතිය වෙබ් අඩවිය

Archive

Latest news

Related news