Saturday, April 27, 2024

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු කවුරු ද?

(ෂ්‍යාම් සෙල්වදුරෛ)

“මම සමකාමියෙක්. පොතේ චරිතය- ‘අර්ජි’ කියන්නෙත් සමකාමියෙක්. මම ශ්‍රී ලාංකික දෙමළ සහ ඔහුත් එහෙමයි. අපි කැනඩාවට ආවා; පොතේ අවසානයට ඔවුනුත් කැනඩාවට එනවා. සමානකම් ලෙස දැක්විය හැක්කේ ඒ දේවල් තමා,” (1996 දී Ray Deonandan විසින් ෂ්‍යාම් සෙල්වදුරෛ සමග India Currents Magazine වෙනුවෙන් පවත්වන ලද කතාබහක සංක්ෂිප්ත පරිවර්තනයකි. උපුටා ගැනීම බූන්දි වෙබ් අඩවියෙනි.)

ඉහත ප්‍ර‍කාශය කරන ශ්‍යාම් සෙල්වදුරෛ විසින් රචනා කරන ලද ‘ෆනී බෝයි’ [Funny Boy – 1994] ලෝ පුරා සහස් සංඛ්‍යාත පාඨක ජනයාගේ අවධානයට පාත්‍ර වූ නවකතාවකි. එය ප්‍ර‍වීණ ලේඛක සුගතපාල ද සිල්වා විසින් ‘අමුතු ඉලංදාරියා’ නමින් සිංහලට පරිවර්තනය කරන ලදී.

පසුගිය මැයි 17දා විශේෂ දිනයක් යෙදිණි. ඒ සමභීතිකාවට, පාරභීතිකාවට හා ද්විභීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනයයි (International Day Against Homophobia, Transphobia and Biphobia).

මේ පිළිබඳ කිසිදු සටහනක් සිංහල මාධ්‍යවල පළ වනු දක්නට නො ලැබිණි. පුදුම විය යුතු නැත. හේතුව මෙම භීතිකාවන් මොනවා ද යන්න අප බොහෝ දෙනෙක් දන්නේ ද නැත.

සමභීතිකාව

සමභීතිකාව යනු සමලිංගික හෝ සමරිසි ජනයා කෙරෙහි දක්වන අකැමැත්ත හා අගතිගාමී හැඟීමයි.

සමරිසි ජනයා කොටස් දෙකකට වෙන් කළ හැකි ය. ඒ ලෙස්බියානු (lesbian) හා ගේ (gay) ලෙසයි. ලෙස්බියානු යනු සමරිසි කාන්තාවන් වන අතර ගේ යනු සමරිසි පිරිමි ය.

පාරභීතිකාව

පාරභීතිකාව යනු පාරලිංගික (transgender) ජනයාට අකැමැත්ත හා අගතිගාමිත්වයයි.

පාරලිංගික ජනයා යනු ගැහැනු හා පිරිමි පිළිබඳ සමාජ සම්මත ආකෘති අනුව තම අනන්‍යතාව පැහැදිලි කළ නො හැකි අයයි.

ද්විභීතිකාව

ද්විභීතිකාව යනු ද්විලිංගික (bisexual) පුද්ගලයන්ට දක්වන නො කැමැත්ත හා අගතියයි.

ද්විලිංගිකයන් යනු පිරිමි හා ගැහැනු යන දෙවර්ගයේ ම පුද්ගලයන්ට ලිංගිකව ආසක්ත වන අයටයි. මේ අය අතර පිරිමි මෙන් ම ගැහැනු අය ද සිටිති.

අන්තර්ලිංගික ජනයා යනු ජීව විද්‍යාත්මකව ප්‍ර‍ජනනේන්ද්‍රිය වර්ධනයේදී අසාමාන්‍ය ලෙස ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ දෙක ම ඇතිව වැඩුණු පුද්ගලයෝ ය. මේ අය පාරලිංගික හෝ ලිංගිකත්වය ප්‍ර‍ශ්න කරමින් සිටින අය වන්නට ද පුළුවන. විශේෂයෙන් ම බිළිඳු අවධියේදී මේ හා සම්බන්ධ සැත්කම්වලට මුහුණ දුන් අය වයසින් මුහුකුරා ගිය විට පාරලිංගික විය හැකි ය.

තම ලිංගිකත්වය විමසන අය ලෙස සැලකෙන්නේ තමන්ගේ ලිංගිකත්වය කුමක් ද යන්න ප්‍ර‍ශ්නයක්ව වී තිබෙන අයයි. මෙම තත්වය වැඩි විය පැමිණීම ආසන්නයේදී හෝ ඕනෑම වයසකදී පැවතිය හැකි ය.

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු වරදකරුවන් පිරිසක් නො වේ. එය ඔවුන් මෙලොවට ජනිත වූ ආකාරය වන අතර ඔවුන් රෝගීන් නොව සාමාන්‍ය ජනයා ය. ඔවුන් ආදරය කරන හා සමාජ සම්බන්ධකම් පවත්වන ආකාරය ඔවුන්ගේ අයිතියකි.

වෙනස ඔවුන් බහුතර විෂමලිංගිකයන්ගෙන් වෙනස් වීම පමණි. මෙම ජනයා කෙරෙහි භීතිකාවන් ඇති අය මෙවැනි ජනයා පිළිකෙව් කරනවාට අමතරව ඔවුන්ට පහර දෙන්නට, තුවාල කරන්නට පමණක් නොව මරා දමන්නට පවා ඉඩ තිබේ.

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයාගෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු සමභීතිකාවන්ගෙන් පෙළෙන්නන් අතින් පීඩාවට පත්ව ඇති බව ද, එසේ පීඩාවට පත් වන්නන් අතරින් 75%ක් ම ඒ පිළිබඳ වාර්තා නො කරන බව ද LGBT පදනම පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනූව, යම් පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රි පුරුෂ භාවය මත වෙනස් ලෙස සැලකීම, පුද්ගලයකු සතු සමානාත්මතාවට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. එහෙත්, දණ්ඩ නීති සංග්‍ර‍හයේ 365 (අ) වගන්තිය භාවිතා කරමින් මෙම ප්‍ර‍ජාවන්ගේ ජනයාට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථා වාර්තා වී තිබේ.

– APJ / කියන්න වෙබි අඩවිය

Archive

Latest news

Related news