Wednesday, April 24, 2024

පාර්ලිමේන්තු මදාවිකම් සමාව ලැබීමට යෝග්‍ය නැත – සුනිල් ජයසේකර

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය බව පුන පුනා කියන්නේ පාර්ලිමේන්තවේු මැති ඇමතිවරුන්ම ය. උත්තරීතර යන්නෙහි තේරුම විමසා බැලීමේදී පෙනී යන්නේ උතුම් වූ, වඩා උසස්, ශ්‍රේෂ්ඨතම, අතිශ්‍රේෂ්ඨ යන අරුත්ය. රටක පාර්ලිමේන්තුව තුළින් අපේක්ෂා කරනු ලබන කාර්යයභාරය පිළිබඳව සැලකීමේදී ජනතාව නියෝජනය කිරීම, ව්‍යවස්ථා සම්පාදනය කිරීම හෙවත් නීති සම්පාදනය හා රටේ මුදල් පාලනය කිරීම ප‍්‍රමුඛ වන්නේය. එමෙන්ම රාජ්‍ය පාලනයට අදාළ සෑම අංශයක්ම විභාග කිරීම හා පරීක්ෂණ සිදුකිරීමේ වගකීම ඇත්තේ ද පාර්ලිමේන්තුව වෙතය. ඒ අනුව සලකා බැලීමේදී පාර්ලිමේන්තුව තුළින් අපේක්ෂා කරන්නේ ද පැහැදිළි ලෙසම සිදුවිය යුත්තේ ද උත්තරීතර කාර්යභාරයකි.

එහෙත් ඇතැම් අවස්ථා වලදි ඒ උත්තරීතර ආයතනය තුළ සිදුවන ඇතැම් දේ හැදින්විය යුත්තේ උත්තරීතර යන අර්තයෙහි ප‍්‍රතිවිරුද්ධම අරුතෙනි. නින්දිත යන්න ඒ සඳහා යොදාගත හැකි එක් වචනයක් පමණකි. ඊයේ දිනයේදි පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති මුෂ්ඨි ප‍්‍රහාරය අරුත් ගැන්වීමේදී නින්දිත යන වචනය ඊට ප‍්‍රමාණවත් ද යන්න පිළිබඳව සැකයක් ද උපදී. එහෙත් අදාළ සිදුවීම පාර්ලිමේන්තුව නියෝජනය කරන ජේ්‍යෂ්ඨතම මන්ත‍්‍රීවරුන් විසින් නින්දිත ප‍්‍රහාරයක් ලෙස හදුන්වා දීම තුළ රටේ මහජනතාව ලෙස අපට ද එම යෙදුමට එක`ගවිය හැකිය.

රටේ වැඩිහිටි පුරවැසියන් විසින් තමන් නියෝජනය කිරීම ස`දහා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ එමගින් තමන් අපේක්ෂා කරනු ලබන කාර්යභාරය ඔවුන් විසින් ඉටුකරනු ඇතැයි සහ තම ගරුත්වය ඔවුන් තුළින් ප‍්‍රදර්ශනය වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. මේ රටේ යුක්තිගරුක, නීතිගරුක කිසිදු පුරවැසියෙකු මදාවි, චණ්ඞීන් ඒ තුළින් අපේකෂා නොකරයි. එහෙත් ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළදී ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් මගින් ප‍්‍රදර්ශනය කර ඇත්තේ එවැනි මදාවි භූමිකාවකි. ඊයේ සිදුව ඇති සිදුවීම තුළ මේ රටේ මහජනතාව පෙනි සිටිය යුතු පැහැදිළි ස්ථාවරයක් ඇත. එනම් අපගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත ලබාදී ඇති වරප‍්‍රසාද ඔවුන් වෙත හිමි විය යුතුව ඇත්තේ මහජනතාව ලෙස අප ඔවුන්ගෙන් අපේක්ෂා කරන කාර්යභාරයට අදාළව පමණකිය යන්නය. එනම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සභා ගර්භය තුළ සිදු කරන අදහස් හෝ ප‍්‍රකාශයන් පිළිබඳව නීතිමය වශයෙන් පියවර ගැනීමට හැකියාවක් නොතිබිය යුතු නමුත් වධහිංසා සහ අනෙකුත් අපරාධ ගණයට වැටෙන කිසිදු ක‍්‍රියාවකට ඒ තුළ රැකවරණ නොතිබිය යුතුය යන දැඩි ස්ථාවරයයි. ඒ අනුව පැහැදිළි ලෙසම අප ලබා දියයුතු පණිවුඩය වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසට ලබාදිය යුතු ගෞරවය හා වරප‍්‍රසාද ඒ ආකාරයෙන්ම ලබාදීමට අප බැදී සිටියද රස්තියාදුකාර, මදාවිකාරයෙකුට මන්ත‍්‍රීවරප‍්‍රසාද හා ගෞරවය ලබා නොදිය යුතු බවයි.
ඒ සමගම මුළුමහත් රටේම අවධානයට ලක්විය යුතු අනෙක් කරුණ වන්නේ මෙම සිදුවීමට පාදක කරගෙන ඇති හේතුවයි. එනම් හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා භටයන් ඉවත්කර එම ආරක්ෂක භට ප‍්‍රමාණයම විශේෂ කාර්ය බලකාය ද ඇතුළත් පොලිස් නිලධාරින්ගෙන් යෙදවීමට ගනු ලැබ ඇති තීරණයයි. ඒ අනුව ඇතැම් ජනමාධ්‍ය හා විපක්ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කරන පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කිසිසේත්ම අඩුකර නොමැත.

එවැනි තත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැමුන් නගමින් සිටින හඬ පිළිබඳව සලකා බැලීමේදී රටේ පුරවැසියන් ලෙස ඉතා පැහැදිළි ලෙස තේරුම් ගත යුතුව ඇති කරුණක් ද ඇත. එනම් අන් සියලූ කරුණු පසෙක තිබියදි මේ රටේ පුරවැසියෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා රාජ්‍යය බැඳී සිටින බවය. දෙවැන්න මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී හිටපු රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව හා වරප‍්‍රසාද පිළිබඳව අනුගමනය කළ ප‍්‍රතිපත්ති බිඳකුදු අඩු නොකර හිටපු රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත ද ලබාදීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවයි.

ඒ අනුව මේ ඝෝෂාකරුවන් අන්සියල්ලටම පෙර අවධානය යොමුකළ යුතුව ඇත්තේ විශ‍්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද හා හිමිකම් පිළිබඳව වන 1986 අංක 04 දරණ පනතේ විධිවිදාන වෙතය. හිටපු ජනාධිපතිවරයෙකුට සහ කලත‍්‍රයාට ලබාදිය යුතු වරප‍්‍රසාද පිළිබඳව එහි ඉතාමත් පැහැදිළි ලෙස සඳහන් කර තිබේ. ඒ අනුව හිටපු ජනපතිවරයාට හිමිකම් කිවහැක්කේ කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි වරප‍්‍රසාද හා පහසුකම් උදෙසා පමණකි.

එයට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය දරණ ලද සමයේදී හිටපු අගවිනිසුරු සරත් එන්.ද සිල්වා මහතා විසින් හිටපු රාජ්‍ය නායකයින්ට ලබාදිය යුතුව ඇති ආරක්ෂාවට අදාළව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද ඇත. ඒ අනුව නම් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතුව ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 07 දෙනෙකුගේ ආරක්ෂාවක් පමණකි. එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත් ලෙස ක‍්‍රියාකාරීව පැවති කාලයක දී  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 07 දෙනෙකු දක්වා පහත දමනු ලැබුවේ එම නියෝගය අනුව බවද අප අමතක කළ යුතු නැත. එහෙත් අද වනවිට මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ඇතුළත්ව දෙසීයකගෙන් පමණ යුත් භට පිරිසක් ආරක්ෂාව සඳහා ලබාදී ඇති බව රජය සහතික කරයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන පිරිසගේ නොදැනීම ගැන අනුකම්පා කළ හැකි නමුත් රටේ උත්තරීතරම ආයතනය කෙළසමින් මදාවියන් ලෙස කටයුතු කර ඇති ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැන නම් කිසිසේත්ම සමාව දිය හැකිද යන්න නම් බරපතළ ප‍්‍රශ්නයකි.

සුනිල් ජයසේකර
ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී

(පුවත් පසුබිම        2016-05-04)

Archive

Latest news

Related news