Thursday, April 25, 2024

යාන් බ්‍රවුන්ස්මා: සගයකුගේ සහයෝගිතා මතකය – සුනන්ද දේශප්‍රිය

යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි  ඕලන්ද ජාතික යාන් බ්‍රවුන්ස්මා ( Jan Bruinsma 1950 ජූනි 26 – 2016 අප්‍රේල් 14) පසුගිය සති අන්තයෙහි අනපේක්ෂිත ලෙස ජිවිතයට සමු දුන්නේ ය‍. ඒ ඔහු හැට හයවන විය පසුකරමින් සිටියදී ය‍.

1970ව දශකයේ අවසන් භාගයෙන් පටන් ගෙන  2000 මැද භාගය දක්වා යාන් ශ්‍රී ලංකාවේ විවිධාකාර ප්‍රගතිශීලී ව්‍යාපාරයන්හි සමීප සගයකුව සිටියේ ය. මුල් කාලයෙහි ඔහුගේ අපේක්ෂාව වුයේ විශ්‍රාම ගැනීමෙන් පසු  ශ්‍රී ලංකාව සිය නිවහන කර ගැනීමට ය. එසේ නමුත් යුද්ධය සහ ඒ හා සමඟ බැදි ආ මර්දනකාරී දේශපාලනය විසින් අන් බොහෝ ලංකා මිතුරන් මෙන්ම යාන් බ්‍රවුන්ස්මාට ද මෙරට හැර දමා යාමට පොළඹවන ලදී.

ඔහු මෙරට දේශපාලන හා සමාජ ජිවිතය සමඟ සිය දිර්ඝ කාලීන බැදීම පටන් ගත්තේ 1970 ගණන් මැද භාගයේදී ය. දකුණු දිග ප්‍රංශයේ විකල්ප ක්‍රිස්තියානි ආරාමයක් වූ තේසේ ප්‍රජාව සමඟ ගත කල වසර කිහිපයකට පසු යාන් ශ්‍රී ලංකාවට පැමිණියේ ද විකල්ප ජීවිතයක තවත් නවාතැනක් ලෙසිනි.

එසේ පැමිණි ඔහු 1971 කැරැල්ල වෙනුවෙන් සිරගතව සිට නිදහස ලැබිමෙන් පසු  සමූහ ගොවිපල ජාලයක් හරහා සමාජ වෙනසක් ඇති කිරීමේ ව්‍යායාමයක නිරතව සිටි කුරුනෑගල තරුණ පිරිස් ඇසුරට වැටුණි. ඒ ඇසුරෙන් කුරුණෑගල මැල්සිරිපුර සිට සැතපුම් 08ක් තරම් දුරින් පිහිටි දිද්දෙණිය නම් ගම්මානයේ සමූහ ගොවිපොළක සාමාජිකයකු බවට පත්විය.

එනයින් විකල්ප සොයමින් සිටි 71 පරම්පරාවේ පිරිස් සමඟ වූ ඇසුර විසින් ශ්‍රී ලංකාවෙහි ඉදිරිගාමී වෙනසක් සඳහා  දැරෙමින් තිබූ විවිධ සමාජ දේශපාලන ප්‍රවණතාවයන් කරා මෙම තරුණ ඕලන්ද ජාතිකයා යොමු කෙරුණි.

1977  අවසානයේදී නිදහස ලබා පැමිණි මා දිනෙක සැන්දැවෙහි අම්බලන්ගොඩ රිච්මන්ඩ් සිනමා හළෙහි විත්‍රපටියක් බලමින් සිටියෙමි. සිරගෙදර මගේ ගජයකු වූ දයා රණසිංහ  විදේශිකයකු සමඟ පැමිණ සිටින බැවින් ගෙදර එන්නැයි විත්‍රපටයේ විවේක කාලයෙහිදී අයියා ඇවිත් කීවේ ය. ජිවිත කාලයක් පැවැතීමට ඉරණම් ලබා තිබූ දේශපාලන මිතුදමක් යාන් බ්‍රවුන්ස්මා සමඟ ගොඩ නැගුනේ එදින ය.

මැල්සිරිපුර සිට දිද්දෙනියේ සමූහ ගොවිපල කරා අප දවසක පයින් ම යමින් සිටියෙමු. මඟ දිගට බොහෝ ජනයා ඔහු දැන සිටි අතර යාන් මහත්තයා කොහොමද? යැයි විමසීමට ඔවුන් අමතක කළේ නැත. එකළ යාන්ට ද සිංහල බසින් අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව තිබුණි. ගොවිපළෙහි තනිව සිටි දිනෙක දර ලිපක යාන් රොටියක් පුච්චාගෙන කෑ හැටි අසමින් අපි සැතපුම් අටම පා ගමනින් ගියෙමු.

දින සති බවටත් සති මාස බවටත් පත්වෙමින් කාලය ඉක්මනින් ගෙවී ගියේ ය. 1979 වසරෙහි දී මහවැලි ව්‍යාපෘතිය අදාළව ගොවි ජන සමීක්ෂනයක් කිරීමට අපි ආධාර සොයමින් සිටියෙමු. ඊට මැදිහත් ව සිටියේ ද විවිධ ධාරාවන්ට අයත් වූ  71 කැරැලිකාරී පරම්පරාවේ පිරිස් ය. එවකට ඕලන්දයේ එක්ස් මයිනස් වයි ( X-Y)  නමින් කුඩා කන්ඩායමක් සිය වැටුපෙන් සියයට 01ක් පරිත්‍යාග කරමින් සහයෝගිතා සංවිධානයක් පවත්වා ගෙන යමින් තිබුණි. ඔවුන් දැන හැදින සිටි යාන් අපේ සමීක්ෂණය සදහා කුඩා මුදලක් ඒ හරහා ලබා ගැනීමට සමත් විය.

පසු කලෙක ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ගොඩ නැගීමට මූලික වූයේ එළෙස 1979 එක්ස් මයිනස් වයි ආධාරයෙන් මහවැලි සමීක්ෂණයට සම්බන්ධ වූ පිරිස ය.

මේ වන විට ඕලන්දයේ අගනුවර වූ ඇම්ස්ටර්ඩෑම් නගරයෙහි හෙන්ක්ස්රාම් නම් ශ්‍රී ලංකාවට සම්බන්ද වයස්ගත පියතුමකු වාසය කළේය. එකළ ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයාට සහාය දීමේ කුඩා එකතුවක් හෙන්ස්රාම් ඇම්සටර්ඩෑම්හි පවත්වා ගෙන ගියේය‍‍

යාන් බ්‍රයින්ස්මා ද වහාම මෙම එකතුවට බැදුණි. මාගේ මතකයේ හැටියට ඕලන්දයේ ශ්‍රී ලංකා ක්‍රියාකාරී කන්ඩායම ගොඩ නැගුනේ ඒ ඇසුරෙනි. පසු කාලීනව යුරෝපයේ පැවැති ශක්තිමත්ම ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරය බවට එය පත්විය.  එහිලා තීරණාත්මක වැඩ කොටසක් කළ පුද්ගලයා වූයේ අද අප අතර නැති යාන් බ්‍රවුන්ස්මා ය.

වසර ගණනාවක් පුරා කොන්දේසි විරහිතව මෙරට ‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ ව්‍යාපාරය’ ට මුල්‍යමය සහාය ලබා දෙන ලද්දේ එකී ශ්‍රී ලංකා ක්‍රියාකාරී කන්ඩායමේ සාමාජික මුදල් වලිනි.

වසර විසි පහක් පමණ කාලයක් පුරා ඔහුගේ දේශපාලන ජිවිතයේ කේන්ද්‍රය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ව්‍යාපාරය යි. පසු කළෙක ඔහුගේ වෘත්තීයම ජිවිතයේ මධ්‍යස්ථානයක් බවට ද ශ්‍රී ලංකාව පත් විය. 1980 ගණන් අගභාගයේ ඔහු ජිවත් වූ හේග් නුවර ඔහුගේ නිවස ශ්‍රී ලාංකික අමුත්තන්ගේ සොදුරු නවාතැනක් බවට පත්ව තිබුණි.

1981 මහා වැඩවර්ජනය යකඩින් සහ ගින්දරින් තලා පෙළා දැම්මෙන්  පසු ජේ ආර් ජයවර්ධන විසින් මුදා හරින ලද මර්දනකාරී පිළිවෙත හමුවෙහි  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම දේශපාලන න්‍යාය පත්‍රයෙහි මූලිකත්වයට පැමිණයේ ය. රටපුරා රැකියා අහිමි කරන ලද වැඩ වර්ජකයිනට සහාය දෙන ව්‍යාපාර පැන නැගුණි.

ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම පිණිස යුරෝපා සහයෝගිතා ජාලයක් ගොඩ නැගීමට මෙම අවස්ථාවෙ හි පෙරමුණ ගත්තේ ද යාන් බ්‍රවුන්ස්මා ය. එකළ ඩයස්පොරා සංවිධාන තිබුණේ නැත. නුමත් ඒ වනාහී යුරෝපය පුරා තෙවැනි ලොව රටවල ප්‍රගතිශීලී ව්‍යාපායන්ට සහාය දෙන පුළුල් සංවිධාන ගොඩ නැගණූ යුගය යි. එම ස්වේජ්චා ජාලයන් හි පෙරමුණ ගත්තේ යුරොපා ජාතික තරැණ තරුණියන් ය.

ඔහු ශ්‍රී ලංකා සහයොගිතා ව්‍යපාරයන්හි පමණක් නොව ඉරිත්‍රියානු සහ පිලිපීන විප්ලවවාදී ව්‍යාපාරයන්ට සහාය දුන් ව්‍යාපාරයන්ට ද සම්බන්ධ වී සිටියේ ය. ඕලන්දය තුල න්‍යෂ්ටික අවි විරෝධය වැනි සමාජ ප්‍රවනතාවයන්හි ද කොටස්කරුවක් වූ යාන් එකල ඕලන්දයේ ජීවත්වූයේ ද ආන්හෙම්හි සමූහ නිවසකය. තෙමහල් නිවසක් වූ එහි ලිපිනය මගේ මතකයේ හැටියට ඩයික්ස්ට්‍රාට් අංක 07 විය.

යාන් සතුව පරණ විශාල ටෙයෝටා කාරයක් තිබුණි. ශ්‍රී ලංකා සහයොගිතා ජාලයක් ගොඩ නැගීම පිණිස අප දෙදෙනා යුරෝපය හරහා ගමන් කළේ එම කාරයෙනි. වරක් ජර්මනියේ සිට ඔස්ට්‍රියාවෙහි ඇල්ප්ස් කදුකරය හරහා ස්විස්ටර්ලන්තයට එමින් සිටියදී කාරයේ කර්බිලේටරයෙන් වතුර පිටතට කාන්දුවීමට පටන් ගත්තේ ය. අප ඉක්නින්ම වාහනය නතර කොට රැය එහිම ගත කළෙමු. සංචාරය පුරා  බොහෝ විට අප නිදා ගත්තේ කාරයෙහි පසු පසට ඇල කරන ලද ඉදිරිපස ආසන දෙකෙහි ය.

ජර්මනිය, ඕස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ස්වීඩනය වැනි රටවල  ඒ වන විටත් පැවැති ශ්‍රී ලංකා සහයෝගිතා කන්ඩායම් පණ පොවා ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්‍ත්‍රවාදය රැක ගැනීමේ අරගලයට දායක කර ගැනීම අපේ අරමුණ විය. යාන් විසින් පෙන්වන ලද අධිශ්ඨානය සහ දැක්ම නොවන්නට එවැනි ජාලයක් ගොඩ නොනැගෙන්නට ඉඩ තිබුණි. මේ කාර්යන්අප විසින් කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් වලින් නොව අපේම දායකත්වයෙනි. ශ්‍රී ලංකා වැඩ කන්ඩායමේ අනෙක් සමාජික සාමාජිකාවන් ද සමඟ අප දෙදෙනා යුරෝපා රටවල විදේශ ඇමැතිවරුන් හමුවෙමින් ලිපි ලේඛන බෙදා දෙමින් අප රටෙහි වියැකී යමින් තිබූ මානව හිමිකම් ගැන දැනුවත් කළෙමු. එම ලිපි ලේඛන සියල්ල සකස් කළේ යාන් ය.

1982 ජනමත විචාරණ කොල්ලය, 1983 දෙමළ විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා සහ 80 ගණන් මැද භාගයේ නැගෙනහිර පළාතෙහි වර්ධනය වූ අතුරුදහන් කිරීම් සහ සමූළ ඝාතන යනාදී බේදවාචකයන් හමුවෙහි  යුරෝපයෙහි ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරයන්හි වැදගත්කම වඩ වඩා ඉහළ ගියේ ය. 80 දශකය අවසන් වූයේ දකුනේ ද උතුරේද මහා බේදවාචකයන් මැදින් බව අපි දනිමු. එකළ රජයෙන් මෙන්ම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන්ද මරණ තර්ජන එල්ල වී තිබූ බොහෝ ක්‍රියාධරයින්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරනු පිණිස මුල්‍ය ආධාර සොයා දීමට ද යාන් පෙරමුණ ගත්තේය.

එපමණක් නොව 1970 ගණන් අගභාගයේ සිට තම පුද්ගලික මුදලින් බොහෝ සත් ව්‍යායාමයන්ට දක්වන ලද සහායන් කිසි විටෙක ඔහු ප්‍රසිද්ධියට පත් කළේ නැත. 88- 90 භීෂණ සමය කෙළෙවර වී 1990 මුල් කාලයෙහි ආරම්භ වූ විභවි, ඌව ප්‍රජා මධ්‍යස්ථානය වැනි මූලිකත්වයන් සඳහා මුල්‍යමය දායකත්වය පෙළ ගස්වන ලද්දේ ද ඔහු ය‍.

අවසානයක් නැති යුද්ධය සහ මර්දනය විසින් ඇති කරන ලද කළ කිරීම සහ වෙනත් පුද්ගලික හේතු මත පසුගිය දශකය තරම් කාලයක් පුරා යාන් බ්‍රවුන්ස්මා ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ව්‍යාපාරයෙන් ඇත්වී සිටියේ ය. එහිම විපාකයක් ලෙස දුෂ්කර කාලයන්හි ඔහු සමඟ දුක සැප බෙදා හදා ගත් මෙරට සගයින්ගෙන් ද සහමුලින්ම වාගේ දුරස් විය. එබැවින්ම රාජපක්ෂ රිජීමය පෙරලා දැමූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී  ජයග්‍රහණයෙහි කොටස්කරුවකු වීමට ඔහුට වාසනාව ලැබුණේ නැත.

jan 2
යාන් සංචාරය ප්‍රිය කළේ ය .

2010  නොවැම්බර් මාසයේ දී මා ස්විස්ටර්ලන්තයේ දේශපාලන රුකවරන අයැදූ වහාම යාන්ට ලියා යැවුවෙමි. ඔහු මේ සීතල රටට ඔබින ඇදුම් තොගයක්ද පාවහන් යුගල කිහිපයක් ද පුරවා ගත් බෑගයක් ඇතිව මගේ ජිනීවා නවාතැන අභියස වහාම පාදූර්භූත විය. 2015 ජනවාරි ජයග්‍රහණය ලද වහාම යළි මව්රට යෑම පිණිස මා ස්විස්ර්ලන්තයේ දේශපාලන රුකවරණ ඉවත ලූ බව දන්වා යැවූ විට ඔහු මෙසේ ලියා එවූයේ ය: ‘‘ උඹ හැමදාම ඔහොමයි! ඉක්මන් තීරණ ගන්නවා. කමක් නෑ, පරිස්සම් වෙන්න’’. තරුණ සමයෙහි ඔහුගේ පියා මට ද කීමට පුරුදුව සිටි  යාන් ද ප්‍රිය කල කියමනක් තිබුණි.‘‘මිනිස්සු ඕන දෙයක් කියපු දෙන්!තමන්ට කැමැති දේ තමයි කරන්න ඕන’’. (do as you like, whatever people say!)

මානවයාගේ නිදහස සඳහා වන දමනය නොවන කැමැත්ත අපේ කැමැත්ත ලෙස ගනිමින් අප ලී කී දහසක් එක්ව ගමන් කරන්නට ඇත්ද?  ඒ  වනාහී අතින් අතට පරම්රාවෙන් පරම්පරාවට යන නොනිමෙන කැමැත්තකි. ගමනකි.

පසුගිය සති අන්තයෙහි යාන් ජීවිතයට සමු දී තිබුණේ සිය ලියන මේසය මත හිස හොවා ගත් ගමන් ය. හදිසි  සහ දරුණු හෟද ආබාධයක් විසින් ඔහු සිය මිය ගිය ඥාතීන් කරා අපට නොකියාම කැදවා ගෙන ගොස් තිබුණි. ඔහුගේ අවසන් හුස්ම පොදට පෙර ඔහු විසින් කල අවසාන කාර්ය වී තිබණේ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සංචාරයකට පැමිණිමේ ගුවන් ගමන් පත සිය පරිඝනයෙන් මුද්‍රණය කර ගැනීමයි!

තම ජීවිතය මෙන් ආදරය කළ රටට යෑමට වූ සිතිවිල්ලෙන්ම දෛවෝපගත පරිදි ඔහු දැස් පියා ගන්නට ඇත.

යාන්, ඔබට සුභ ගමන්!. ගමන නොනිමෙයි!! නැවත හමුවෙමු!!!

Archive

Latest news

Related news