Tuesday, July 16, 2024

මා දුටු යාපනය (1):යතුරු පැදි ව්‍යසනය – නඩරාජා ගුරුපරන්

(යාපනයේ යකුරු පැදි සංචාරකයෝ)

යාපනයේ යතුරු පැදි, ස්කූටර් යැයි විවිද මාදිලියේ යතුරු පැදිවලින් මාර්ග සියල්ල පිරී යයි.. යතුරු පැදිවල හිමිකරුවන් බහුතරයක්ම තරුණයන්ය. රැකියාවටත් ගෘහ මූලිකත්වය මැද පීඩාවට පත්වන කාන්තාවන් ද වැඩි වශයෙන් යතුරු පැදි භාවිතා කරති.

තරුණයන් සතුව තිබෙන මෙම යතුරු පැදිවලට වේග සීමාවක් යැයි කිසිවක් නැත. ඉවසීමක්, වගකීමක් නැති බොහෝ තරුණයන් අන් අයව හප්පාගෙන යෑම පමණක් නොව තමන්ද කොතැනක හෝ හප්පාගෙන සැලකිය යුතු ප්‍රමාණයකින් අනතුරු සිදු කරති. සුළු අනතුරු පටන් මාරක අනතුරු දක්වා සිදුවේ.

උදෑසන නිවසින් පිටත්වී යා යුතු ස්ථානයට යෑමට පෙර එක් අනතුරක් හෝ නොදැක යෑමට නොහැකි තත්වයක් පවතියි. අනතුරුවලට ලක් නොවී ආරක්‍ෂාකාරීව යාමට දැඩි වෙහසක් දැරීමට සිදුව තිබේ.

දවසක් කන්ගසන්තුරයි මාර්ගයෙන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් මැදි වියේ කාන්තාවක් කුඩා යතුරු පැදියක ඉතා සීරුවෙන් තමන් ගමන් කළ යුතු පැත්තෙන් ගමන් කරමින් සිටියාය.

ඉදිරිපසින් යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු ඉකුත් කාත්වගේ යතුරු පැදියට හරහා පාර මාරුවීමට තැත් කළේය. එලෙස හදිසියෙන්ම හරස් කළ තරුණයන්ගේ යතුරු පැදිය සමඟ ඉකුත් කාන්තාවගේ යතුරු පැදිය ගැටීමෙන් ඇය මාර්ගයේ ඇද වැටුණි. සීරුම් තුවාල සමඟ ඇය නොසන්සුන්ව යළි නැගිටියාය.

පැමිණි තරුණයන් තමන් පාර මාරුවීම සඳහා හරස් කිරීම නිවැරදි බවත්, එම කාන්තාව බිරේක් නොදැමූ බැවින් අනතුර සිදුවූ බවට වාද කළහ. මා ඇස් ඉදිරියේදීම සිදුවූ එම අනතුරේ සියයට සීයක්ම වරද එම තරුණයන්ගේය. නමුත් ඔවුන් එය පිළිගැනීමට සූදානම් නැත.

විදෙස් රටවලින් ලැබෙන මුදල්, මෙහි දෙමව්පියන් නැතිනම් සිය භාරකරුවන්ව තර්ජනය කර ලබා ගන්නා මුදල්වලින් කාලය නාස්ති කරන පිරිස සතුව තිබෙන යතුරුපැදි, නිසි ලෙස ගමන් කරන ජනතාවට දැඩි හිසරදයක් වී ඇතයි ජනතාව පවසයි. ඉකුත් නාස්තිකාර තරුණයන්ගේ සමාජ විරෝධි අයුතු ක්‍රියා කලාපයන් ගැන උතුරේ ජනතා කනස්සල්ල පළ කරයි.

ඒ9 මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව, උතුර බලා ව්‍යාප්ත වූ ලීසිං ආයතන, සීමා රැහිත අයුරින් ණය යටතේ වාහන අලෙවි කිරීම මෙහිදී සිහිපත් කළ යුතුයි. තවත් පැත්තකින් ණය යටතේ වාහන මිලදී ගෙන එහි වාරිකය පවා ගෙවා ගැනීමට නොහැකිව බොහෝ දෙනෙකුගේ වාහන නැවත අත්පත් කිරීමෙන්, ලබාදුන් මුදල ද අහිමි කරගෙන කොටසක් විලාප දෙමින් සිටිති.

යුරෝපා රටවල්වල අවුරුදු 18ට ඇතුලත් පුද්ගලයන් රිය බලපත්‍ර ලබා වාහන එලවීමට සූදානම් වන විට ඔවුන් සඳහා වූ රක්‍ෂණය, වැඩි වයසේ අත්දැකීම් බහුල පුද්ගලයන්ගේ රක්‍ෂණයට වඩා උසස් ලෙස නිර්ණය කර තිබීම ගැන ද අවධානය යොමු කළ යුතුයි. තවද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම මා වාසය කරන එංගලන්තයෙහි  ශ්‍රී ලංකාවේ මෙන් පහසු දෙයක් නොවේ. අධික පුහුණුව, මාර්ග නීති සම්බන්‍ධ දැනුවත් කිරීම් ඒ සඳහා වූ පරික්‍ෂණ රැසකට මුහුණදී එම රියදුරු බලපත්‍රය ලබාගත යුතුය.

නමුත් එවැනි සීමාවන් ඉතා අඩු ශ්‍රී ලංකාව වැනි රටවල විශේෂයෙන් දශක තුනක යුද්දයෙන් පසු ජාත්‍යන්තරයටම විවෘත කළ උතුරේ කඹය ලිහා ගත් හරක් මෙන් තරුණයන් බොහෝ පිරිසක් වාහන එලවීම මැඩපැවැත්වීමට පළාත් සභාව හා මධ්‍යම රජය නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

එය පමණක් ප්‍රමාණවත් යැයි මම නොසිතමි. යුද්දයේ තද පරිසරයක සිට හදිසියෙන්ම නිදහස් වූ අසීමිත මුදලක් ගලා එන සමාජක තරුණ පරපුරට යහපත් දැනුවත් කිරීම්ද ලබාදීම අවශ්‍යවේ. තරුණ කාලය එලදායි මඟක යෙදවීමට සැලසුම් කළ යුතුයි. නැතිනම් වෙනත් බලවේගයන් පැමිණ උතුර විනාශ කිරීමට අවශ්‍ය නැත එය ක්‍රමක්‍රමයෙන් ඉබේම විනාශ වනු ඇත.

– ග්ලෝබල් ටැමිල් නිව්ස්

Archive

Latest news

Related news