නත්තල නිමාවී නව අව්රුද්දකට මුල පිරීමට ඔන්න මෙන්න කියා ඊටත් වඩා ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අභිමුවෙහි අහෝ! ශ්‍රී ලංකාව ලොව පතල වූයේ කුමන තරමේ කුහක සදාචාරයට ද? එම කුහක සදාචාරය කලඑළියට ආවේ ජනවාරි විප්ලවයේ නායකයා වූ ජනාධිපති සිරිසේනගෙන් වීම කොතරම් ඛේදවාචකයක් ද?
ජනාධිපති සිරිසේනගේ වචනයෙන් පසුගියදා කොළඹ පැවැත්වුනු එන්රික් ඉග්ලේසියස් සංගීත සංදර්ශනය මෙරට ප්‍රෞඩ සංස්කෘතියට වින කැටූ මහම අපරාධයක් විය. එවැනි සංදර්ශණයන්ට තමන් තවත් ඉඩ නොතබන බවට ඔහු මොරගෑවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ලෙස නොව මූලධර්මවාදී අඥාදායකුයකු ලෙස ය. එපමණක් නොව ඔහු කියේ එම සංදර්ශනයේ සංවිධායකයිනට මඩු වල්ගයෙන් තැලිය යුතු බවය. කොතරම් සාහසික මානව විරෝධී ප්‍රකාශයක් ද?
කස පහර දීම පවා මානව විරෝධී දඩුවමක් ලෙස ලොව පුරා පිළිගැනීමක් ඇතිව තිබෙන කළක ශ්‍රී ලංකාවේ යහපාලන ජනාධිපති යෝජනා කරන්නේ විෂ සහිත මඩු වලිගයෙන් තැලීමට ය. ඛේදවාචකය තීව්ර වන්නේ ඊනියා ප්‍රෞඩ සංස්කෘතිය රැක ගැනීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට රාජපක්ෂ විසින් වැරදීමක් සිරිසේන විසින් ලෙව පිළිකෙව් කරන විසකුරු ප්‍රචණ්ඩ බලයක් නිර්දේශ කිරීම නිසා ය.
ජනපතිගේ ප්‍රෞඩ සංස්කෘතිය යනු විසිකුරු මඩු වලිගයෙන් එහි සංවිධායකයින් වූ කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට තැලීම ය. එවැනි ප්‍රෞඩ සංස්කෘතියක් නම් අපට අවශ්‍ය නැත.
( මඩු වලිගය අතිශය භයානක ප්‍රහාරක උපංගයක් බව බටහිර ලෝකයා දන්නේ ස්ටිව් අයිවන් හෙවත් ලෝ පතල කිඹුල් දඩයක්කරු නම් ඔස්ට්‍රේලියානු ජාතික කිමිදුම්කරැ 2006 වසරෙහි දී මඩු මත්‍යසාගේ වල්ග ප්‍රහාරයකින් පපුව කැපී ගොස් මිය යාමෙන් පසු ය. එම වල්ග ප්‍රහාරය ඔහුගේ පෙණහල්ල සහ හදවත පසා කර තිබුණි.)
එතරම් භයානක මඩු වලිගයෙන් තැලීමට හෝ සංදර්ශන හිතු මතයේ තහනම් කිරීමට හෝ අධිකාරීවාදී බලයක් 2015 ජනවාරි 08දා අප ඔහුට දුන්නේ ද නැත. අප ඔහුට බලය දුන්නේ හිතුවක්කාර සිරිසේන පාලනයක් පිහිටුවිමට නොව නීතියේ පාලනයක් පිහිටුවීමට ය.
මේ බලන්න ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස ගැන වර්ණනා කරමින් සිටි ලෝක ජනමාධ්‍ය පසුගිය සතියේ කීදේ:
ලොව පතල ඇමෙරිකානු ටයිම් සඟරාව කීයේ එන්රික් ඉග්ලේසියස් සංදර්ශණයේ සංවිධායකයිනට කස පහර දිය යුතු වන්නේ එසේ මෙසේ කසයකින් නොව විෂ සහිත මඩු වල්ගයකින් බව ශ්‍රී ලංකා ජනපති කියයි යනුවෙනි.
ජනාධිපති දඩුවම වූ මඩු වලිගයෙන් තැලීම බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්‘ විග්‍රහ කළේ මධ්‍යතන ශ්‍රී ලංකාවේ දරුණූ අපරාධකරුවන්ට දුන් දඩුවමක් ලෙස ය. එමෙන්ම එය කියා සිටියේ ශ්‍රී ලංකාව යනු ප්‍රසිද්ධියේ ආදරය පෙන්වීම තහනම් සිප ගැනීම නිසා පෙම්වතුන් අත් අඩංගුවට ගන්නා රටක් බව ය.
ජනප්‍රිය වෙබ් අඩවියක් වන බස්ෆීඩ්නිවස් කියා සිටියේ එන්රික් ඉග්ලේසියස් කොතරම් ආකර්ශණිය ද යත් ශ්‍රී ලංකා ජනපතිට යකා නැග ඇති බවයි. එන්රික්ගේ ආකර්ශනීයත්වයට ඔහුට ඊර්ෂාවක් ඇතිවූවා වත්ද? යැයි එය උපහාසයක් ද එල්ල කර තිබුණි.
ශ්‍රී ලංකා ජනපති මඩුවල්ගයෙන් තැලීමට කළ යෝජනාව විදෙස් ජනමාධ්‍ය සිය ගණනින් පළ කළේ බිය ජනක සහ අපහාසාත්මක අදහස් ද ඇතිව ය.
ලංකාවේ ප්‍රෞඩ අභිමානයට විනයක් ලෙස ජනපති විසින් දක්වන ලද්දේ එකී සංගීත සංසංදර්ශනය අවස්ථාවෙහි තරුණියක වේදිකාවෙහිදී එම ගායකයා බදා ගැනීමත් කවරකු හෝ විසින් ගායකයා වෙත තනපටක් විසි කිරීමත් ය. ( එය විසිකළේ තරුණියක විසින් යැයි ඔහු කියන්නේ කුමන සාක්ෂියක් උඩ දැයි කියා නැත.)
ඇත්ත වශයෙන්ම නම් ජනපති සිරිසේනට පෙර මෙම සංගීත සංදර්ශනයෙහි සිදු වූ ඉහත සිදුවීම් දුෂ්ඨ ලෙස හෙළා දැකීම ආරම්භ කළේ ලිංගික ඊර්ෂාවෙහි ගිලිණු බොරු සදාචාරවාදී අන්තර්ජාල පුවත් අඩවි විසිනි. ජනපති ඒ ළනුව කෑවේ ය.
තරුණියක විසින් තරුණයකු බදා ගැනීම අශිෂ්ඨ දෙයක් නම් ජනපති සිරිසේන කළ යුත්තේ හෙටම අනුරාධපුරයට ගොස් ඉසුරුමුණී පෙම් යුවලට පොරෝ පහර දීමය. තනපට ගැලවීම හෝ විසි කිරීම ඒසා අපරාධයක් නම් ඔහු අදම සීගිරියට ගොස් සීගිරි ලලනාවන් නිරාවරණය කරගෙන සිටින පියවුරු වැසෙන සේ රෙදි කඩමාලු හෝ තවරා ආ යුතු ය.
සමාජ සාදයන්හිදී දී තරුණ තරුණියන් සිය නිදහස උරගා බලමින් විටෙක සමාජ සම්මත සීමා ඉක්මවා යෑම අලුත් දෙයක් නොවේ. වියපත් වන විට ඔවුහු බොහෝ දෙනෙකු එවැනි සිමා බිඳදැමිම් වලින් වැළකෙති. තාරුණ්‍ය යනු නව ඉසව් සොයා සීමා තරණය කරන ජීවන යුගය යි. එමෙන්ම ජිවිතයේ වින්දනය සොයා යන අවධිය යි. මෙම සිදුවීම් එවැනි සංදර්භයක තේරුම් ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලකයකුට නොහැක්කේ ඇයි?
හයදහසක් තරම් වූ පිරිසක් අතුරින් එක් අයකු හෝ දෙදෙනෙකු යම් සීමා ඉක්මවා යෑමක් ගැන ජනාධිපතිවරයකුට මෙතරම් කේන්ති යෑමටත් ඒ ගැන කතා පිට කතා පැවැත්වීමටත් අවශ්‍ය වන්නේ මන්ද? තනපටක් විසි කිරීම අනෙක් ප්‍රේක්ෂක පිරිස් විසින් නොසළකා හැර තිබියදී එය ජනාධිපතිවරයකුගේ ජාතික ප්‍රශ්ණයක් විය යුතු ද? පොළාන්නරුවේ වැව් කන්ඩිවල සහ මැති ඇමැති කාර්යාල වල එවැනි තනපට සුළගේ යන්නේ නැත්ද?
තනපට සුළගේ යැවීම සහ බදා ගැනීම සම්බන්ධ ප්‍රශ්ණයක් ජනපතිට තිබුණේ නම් මඩු වල්ග දේශපාලනයට ගාවා ගන්නේ නැතිව අදාළ පිරිස් සමඟ සුහදව සාකච්චා කිරීමට සිය නියෝජිතයකු යැවූයේ නම් එය කොතරම් අපූරු යහපාලන ආදර්ශයක් වීමට තිබුණේ ද?
නමුත් සිදු වූ දේ ජුගුප්සාජනකය. සාකච්ජාව සම්මුතිය වෙනුවට ජනපති සිරිසේන කළේ මෙම සංගීත සංදර්ශනය ගැන කිසිදු අදහසක් නොතිබූ ග්‍රාමීය පෙදෙසක් වන අම්පාරට ගොස් තනපට විසිකිරීමෙන් සහ සිප ගැනීමෙන් මෙරට ප්‍රෞඩ සංස්කෟතියට වන විනාශය ගැන මොර දීමය. (සිප ගැනීමක් සිදු වුනේ ද නැත). සිප ගැනීම මානව වින්දනයේ සහ සංස්කෘතියේ අපූර්වතම ආශ්වාදයක් නොවේ ද?
අම්පාරට ගොස් එම කතාව පැවැත්වීමේ තේරුම ප්‍රශ්ණයක් ඇත්නම් එය විසදීම නොව තනපට විරෝධය පෙන්වා තමාට සදාචාරවාදී වීරත්වයක් ආරෝපණය කර ගැනීම නොවේ ද? වෙනත් වචනයෙන් කියන්නේ නම් ලාභ ජනප්‍රියත්වයක් සඳහා මහාජනයාගේ ප්‍රාථමික කුහක හැගීම් පාවිච්චියට ගැනීමක් නොවේ ද?
ජනාධිපතිවරයා අදහස් කරන ප්‍රෞඩ සංස්කෘතිය කුමක්දැයි කියන්නට අපි නොදනිමු. මන්ද යත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ද අන් සෑම සංස්කෘතියක් මෙන්ම විවිධ බෙදීම් සහ සංඝටකයන්ගෙන් සමන්විත වන නිසා ය.
සංඝයා විසින් සංඝයා ඝාතනය කිරීම සහ කුමාරවරුන් විසින් පිය රජුන් ඝාතනය කිරීමේ සිට සේයා කෙළෙසා ඝාතනය කිරීම මෙන්ම පන්සලේ සෙල්ලම ද ශ්‍රී ලාංකික සංස්කෘතියේ කොටස් ය. දැන‍් පිරිවෙන සැළකෙන්නේ ළමා අපයෝජනය බහුල ස්ථානයක් ලෙස ය. දේශපාලන පංතියේ දූෂණය සහ භීෂණය මෙන්ම ලිංගික අල්ලස් ගැනීම් ද එපමණක් නොව එවැනි දේශපාලනඥයින් පලවා හැරීමට එහැමපිටින්ම පුක පේන අමුඩ ඇද කොළඹ උද්ඝෝෂන කිරීම ද අපේ සංස්කෘතියට අයත් ය.( එළෙස අමුඩ හැඳි තරුණ පිරිසක් එකී සංදර්ශනයේ දී වේදිකාවට පැන්නා නම් !) සිගිරිය ද ඉසුරුමුනිය ද කුණුහබ්බ පිරි සොකරි යනාදී බොහෝ දේ අපේ සංස්කෘතියට අයත් ය. අපේ රටෙහි පිඩිත සමාජ ස්ථරයන්හි ස්ත්‍රීන්ට තනපට තබා හැට්ටයක් වත් අදින්නට ඔය කියන ශ්‍රී ලාංකික සංස්කෘතිය ඉඩ දුන්නේ නැත. එම දුෂ්ඨ සිරිත අහෝසි කරන ලද්දේ ඉංග්‍රිසි පාලන සමයේ දී ය.
අන් රටවල මෙන්ම බෙහෝ යහපත් දෙයින් ද අපේ සංස්කෘතිය පිරී තිබේ. එබැවින් තමා අදහස් කරන ප්‍රෞඩ සංස්කෘතිය කුමක් ද යන්න අපට පැහැදිළි කරදීම ජනපති සිරිසේනගේ කාර්යකි. සංස්කෘතිය වෙනස් වෙයි. එය එකතැන රඳා නොපවතී.
එම පැහැදිළි කිරීමට ලැබෙන්නට පෙර අපට මෙවැනි ප්‍රශ්ණයක් ඇසිය හැකි ය: වඩා දුෂ්ඨ අපරාධය හෝ අශිෂ්ඨ හැසිරීම වන්නේ කවරකු හෝ තනපටක් විසි කිරීම හා තප්පර කිහිපයක ආලිංගනයක යෙදීමද? නැත්නම් රටෙහි ප්‍රධාන පුරවැසියාගේ පුත්‍රයා රු. 35,000 අවසරපත් සියයක් නොමිලයේ ඉල්ලා එකී සංගීත සංදර්ශනයේ සංවිධායකයිනට එකදිගට වද දීමද?
තීරණය ඔබට ඉතිරි කරමි.
නෝම් චොම්ස්කි මෙසේ කීවේ ය: ‘බලවතුන්ට අපරාධ යනු අනෙකා කරනු ලබන දේ පමණි.’