එක් මුහුදු රළක බිඳීම මඟින් සමස්ථ මුහුද විවරණය කළ නොහැකිය – ව්ලැඩිමීර් නබොකොව්
ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ කාරණය යළිත් උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ. ක්‍රමෝපායිකව යට ගැසීමට උත්සහ දරනු ලැබූ අතිශය බරපතළ කාරණයක් යළිත් මතුපිටට පැමිණීම සහ ඒ ගැන රටේ මාධ්‍ය තුළ ඉඩක් ලබා ගැනීම අනර්ඝ ප්‍රවණතාවක් ලෙස හඳුනා ගත හැකිය.
නමුත් මෙම කාරණය දේශපාලනඥයින්ගේ සහ අනෙකුත් පාර්ශවන්යන්ගේ හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට පත් වී තීරණාත්මක අවස්ථාවකට පැමිණි විට සාක්ෂි නැතැයි කියමින් උපායමාර්ගිකව යට ගැසීමට ඉඩ නොතැබීම යුක්තිය සහ රටේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටින සියලුම පාර්ශවයන්ගේ වගකීම වේ.
මෙම සම්පූර්ණ ජවනිකාව හමුවේ පැන නගින මූලික ගැටලු දෙකක් තිබේ.
පළමුවැන්න, ඇවන්ට් ගාඩ් සමාගම මීට කලකට පෙර ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් සිදුකළ ආකාරයේ කටයුතු වල ස්වරූපය සහ හැඩය වෙනස්කරමින් රටක ජාතික ධනය මංකොල්ල කෑ කණ්ඩායමක්ද? එනම් හොරුන් මට්ටු කිරීමට යැයි කියමින් හොරුන්ගේ ආගමනය වෙනස් ස්වරූපයකින් සංඛේතවත් කළ ආයතනයක්ද?
දෙවැන්න, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරනු ලැබූ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක අංශවල අසමත්බාවයට පිළිතුරු ලබා දෙමින් මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් සිදුවිය යුතු දේශප්‍රේමී මෙහෙවරක් අදාළ සමාගම විසින් සිදු කළේද?
පළමුවැනි ගැටලුවට පිළිතුරු සෙවීම මේ සමාගම සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සහ ඒවා යට ගැසීමට සිදුකර උත්සාහයන් මඟින් අවබෝධ වන සහ ඉදිරියේදී වඩාත් පැහැදිලිව අවබෝධ කර ගත හැකි යැයි උපකල්පනය කරන කාරණයකි. මෙම ලිපියෙහි අරමුණ ඊට ඌණපූරකයක් සැපයීමය.
දෙවැනි කරණය, එනම් අදාළ සමාගමේ දේශප්‍රේමී මෙහෙවර එම සමාගම විසින් වියදම් කොට හිතවත් මාධ්‍ය ආයතන යොදා ගනිමින් සිදුකළ ප්‍රචාරණ ව්‍යපෘතිය මඟින් අවබෝධ කර ගත හැකිය. එසේම ඇතැම් මාධ්‍ය ආයතන මේවන විට හිතාමතා සිදුකරණ මුනිවත රැකීම මඟින් එය අවබෝධ කරගත හැකිය.
හෙළිදරව් වී ඇති මූලික කරනා වලින් පෙනී යන ප්‍රධාන කාරණය වූ කලී, සුවිශේෂී කල්ලියකගේ කෙටි කාලීන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සමස්ථ රටේ දීර්ඝ කාලීන හෙවත් පෘතුල කාරනා ඇවන්ට් ගාඩ් නමැති දංගෙඩියට බිලි දී ඇති ආකාරයයි.
අදාළ සමගම පිහිටුවීමේදී, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ නැසී යාමෙන් ඔහුගේ අනුගාමිකයා බවට පත්වූ කුමාරන් පදමනාදන් සහය වූයේද යන්න ඔප්පු වී නැති කලපිතයක් වුවද, හෙළිවෙමින් පවතින කාරනා අනුව පෙනී යන්නේ මෙරට තීරණාත්මක කටයුතු බලයේ රැඳී සිටි කණ්ඩායමක පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් වෙන්දේසී වී ඇති ආකාරයයි.
ඇවන්ට් ගාඩ් සමුද්‍ර කටයුතු ආයතනය හෙවත් ( ඒ. ජී. එම්. එස්.) යනු ඇවන්ට් ගාඩ් ආරක්ෂක පෞද්ගලික සමාගමට අනුබද්ධව සමාගම් පනත යටතේ 2011 ජුනි මස 24 වැනි දින ලියාපදිංචි කරනු ලැබූ ආයතනයකි. එහි මුඛ්‍ය අරමුණ ලෙස සටහන් කරනු ලැබුවේ, රක්නා ලංකා සමගාමට හිමිවන රාජ්‍ය ව්‍යාපාරික කටයුතුවලට අදාළ සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමය.
අදාළ සමාගම් වල වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඒවායෙහි ඉතිහාසය මෙන්ම අදාළ සමාගම් රටේ ඉතිහාසය අලංකාරලෙස වෙනස් කොට ඇති ආකාරය දැකගත හැකිය. එය සැබවින්ම ආගන්තුකයින්ට ආකර්ශනීය වේ. විෂය නොදන්නා අයවලුන්ට මැජික් වේ. වඩාත් සරල බසින් කිවහොත් රාජ්‍යය සතුවිය යුතු කටයුතු සහ ආයෝජනයන් තමන්වෙත ආකර්ෂණය කර ගැනීමට අදාළ සමාගම තම උපරිම උත්සාහයෙන් සහ මනා සිහිනුවණින් කටයුතු කොට ඇති ආකාරය නිරීකෂණය කළ හැකිය.
නමුත්, රටක පුරවැසියකු ලෙස මෙහිදී මතුවෙන ප්‍රධාන කාරණයක් වන්නේ, මහජන මුදලින් නඩත්තු කරන රටේ නාවික හමුදාවේ කාර්යය කුමක්ද? යන්නයි. නාවික හමුදාවට වඩා අදාළ සමාගම සතු හැකියාව සහ කෞශල්‍ය කුමක්ද? මෙරට නාවික හමුදාව සැබවින්ම අකර්මණ්‍ය වූ සහ අදක්ෂයින්ගෙන් සමන්විත ආයතනයක්ද?
අදාළ සමාගමේ තොරතුරුවලට අනුව, සමාගම සතු ශ්‍රම සම්පත හෙවත් එමඟින් ජනනය කොට ඇති රැකියා සංඛ්‍යාව 6,500කි. මින් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් නිලධාරීන්ය. එහි ප්‍රධාන නිලධාරීන්ට විශාල වැටුපක් සහ දීමනා ලබා දෙනු ලැබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ධූරය සඳහා තරගයක් පවතින අවස්ථාවේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම සහෝදරයා හෙවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලබාදී තිබු උපාය ලියවෙන්නේද ඒ අනුවය. නාවික හමුදාපතිධූරය සඳහා හැකියාවෙන් සහ රැකියාවේ ගරුත්වයක් ඇති නිලධාරියෙකු වෙනුවට තම පටු දේශපාලන බලයේ ආවතේවකරුවෙකු බවට පත්කරගැනීම හිටපු ජනාධිපති රාජපක්ෂගේ ක්‍රමය විය.
එහිදී මතු වූ සැබෑ විරෝධය යටපත් කරනු ලැබුවේ, කෞශල්‍යයෙන් පිරි නමුත් දේශපාලන අවතේවකරුවන් වීම ප්‍රතික්ෂේප කළ නිලධාරීන් ඇවන්ට් ගාඩ් සමාගම වෙත යවා ඔවුන්ට නාවික හමුදාපති ලෙස ලබාගත හැකි වැටුපට සහ දීමනාවලට වඩා විශාල ගුණයකින් වැඩි මුදලක් සහ දීමනා ලබාදීමය.
රාජපක්ෂ ජනාධිපතිවරයා එවැනි දීමනා ඇතැම් නිලධාරීන්ට යෝජනා කරන විට නම්බුව රැකගෙන ගෙදර ගිය නිලධාරින් නාවික හමුදාවේ සිටීම අභිමානයට කාරණයකි. නමුත් ඔවුන්ට මේ දක්වාත් සදාරණය ඉටු වී නොමැත.
මෛත්‍රී – රනිල් වර්තමානයේ භුක්තිවිඳින දේශපාලන බලය මෙන්ම රටේ ජනතාව භුක්ති විඳින දේශපාලන නිදහස ආරම්භ වූයේ එලෙසය. එම ප්‍රවණතාවය නිවැරදිව ග්‍රහණය කරගැනීමේ නුවණ තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටය. ලෝකයේ වෙනත් තැන්වලදී මෙන්ම මෙරටද, ජයග්‍රහණයෙන් පසු එහි උරුමකරුවන් වීම සහ තම තමන්ගේ තනතුරු වෙනුවෙන් ඇණකොටා ගැනීම මෙරටද සිදු වූයේය. එවැනි පිරිස් , ( ඇමති චම්පික රණවකට අනුව එවැනි කැණහිලුන්) සිටින තාක් කල් මෙරට දේශපාලනය විසින් රටේ ගැටලුවලට පිළිතුරු ලෙස ජනිත කරනු ලබන්නේ මන්දපෝෂිත පිළිතුරුය. එය විමල් වීරවංශ වැනි දේශපාලනඥයෙක් අගවිනිසුරුවරිය නෙරපීම සඳහා නඩු ඇසීම හා සමානය. ආරම්භයද අවසානයද හාස්‍යජනක මෙන්ම ගඳගසන විහිළුවකි. එමඟින් කළහැක්කේ මංමුලා කිරීම පමණි. මෙරට දේශපාලඥයින් බහුතරයක් රටේ මිනිසුන්ට දුන් දෑවැද්ද එයයි.
ඇවන්ට් ගාඩ් මතුවූයේද එහි ප්‍රතිඵලයක් ලෙසය. ඉහත සඳහන් කළ ආකාරයෙන් ඇවන්ට් ගාඩ් සතු ශ්‍රම බලය 6,500කි.
නමුත්, මෙරට නාවික හමුදාව සතු ශ්‍රම සම්පත 48,000කි. එනම් පනස්දහසකට ආසන්න පිරිසක් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවට, ඉන් විශ්‍රාම ගත් නිලධාරීන් ඇතුළු 6,500 ක පිරිසක් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන කටයුතු කිරීමට නොහැකි වී ඇත්තේ මන්ද? එය ලංකා රාජ්‍යයට වාසිදායක වන්නේ කෙසේද?
වසර තිහකට ආසන්න සිවිල් යුද්ධයට නායකත්වය ලබා දුන්, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරනු ලැබූ කැරලි දෙකක් මැඩලීමට දායකත්වය ලබා දුන් සේම දෙවැනි ලෝක යුද්ධයෙදී පවා තම හැකියාව ප්‍රදර්ශනය කළ කීර්තිමත් රාජ්‍යය ආයතනයක්, 2011 දී ආරම්භ කරනු ලැබූ පෞද්ගලික සමාගමක් හමුවේ දනින් වැටී ඇත්තේ මන්ද? ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙන්ම එහි සේවය කොට විශ්‍රාමගත් සහ බලෙන් විශ්‍රාම ගැන්වූ නිලධාරීන් කල්පනා කළ යුතු මූලික කාරණය මෙය නොවේද? මන්ද මෙය තමන් සේවය කළ රට වෙනුවෙන් මෙන්ම තම ප්‍රතිරූපය තීරණය කරන මූලික කාරණයකි.
අභිමානය සහතික කරනු ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාව, මුදල් සහ දීමනා හමුවේ තම ආත්මය/ භවය පාවා දී තම තණ්හාව මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් රටට සිදුකළ සේවය බාල්දු කිරීම සංස්කෘතිකාර්ථයෙන් පාපකර්මයකි. සුළු පිරිසකගේ ප්‍රමෝදය වෙනුවෙන් රටේ මහජනතාවට ඇති අයිතිය අමු අමුවේ පැහැරීම තමන්ට කළහැකි උපරිම මට්ටමේ පාවාදීමකි.
කෙසේ වෙතත්, අදාළ සමාගම තම ප්‍රතිරූපය පෙන්වීම සඳහා මූලික කාරණා හයක් පෙන්වා දී තිබේ;
01. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කළ සේවයේ විශිෂ්ඨයින් අදාළ සමාගම මෙයෙවනු ලබයි. ඊට අද්මිරාල් ජයන්ත කොළඹගේ, ඕමාන් නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස වරක් කටයුතු කළ සලීම් අල් අලාවි, ජෝර්ජ් චෙන්, මේජර් ජනරාල් චන්ද්‍රවංශ, කැප්ටන් ප්‍රසන්න රාජරත්න, රියර් අද්මිරාල් රසීක්, රියර් අද්මිරාල් දයා ධර්මප්‍රිය, මේජර් ජනරාල් ලෝරන්ස් ප්‍රනාන්දු, මේජර් ජනරාල් වී. ආර්. සිල්වා, රියර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්, මේජර් ජනරාල් රොහාන් කඩුවෙල, මේජර් ජනරාල් සුනිල් සිල්වා, වින්ග් කොමාන්ඩර් සෙනරත් දිසානායක, බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි, කොමොදෝර් සුධර්මන් සිල්වා, කොමාන්ඩර් නන්දන දියබලනගේ, කැප්ටන් සංජය දහනායක, උප පොලිස් පරීක්ෂක ආර්. ඩබ්.එම්. සී. රණවන, ආර්.එම්. එස්. රත්නායක, මේජර් නිස්සංක සේනාධිපති සහ මංජුල යාපා ආදී නිලධාරීන් එහි ප්‍රධාන නිලධාරීන් වෙති.
02. කිසිවෙකුට සමකළ නොහැකි යටිතල පහසුකම්
03. මෙහෙයුම් මධ්‍යස්ථාන අතර ඇති ශක්තිමත් ජාලය ( අදාළ සමාගම සතුව පාවෙන අවි ගබඩා තුනක් ඇති අතර
04. ඉහළ නිපුණතාවයකින් යුතු මෙහෙයුම් කරුවන්
05. ආරක්ෂක අමාත්‍යංශයේ නිරීක්ෂණය යටතේ රාජ්‍ය සහ පෞද්ගලික කටයුතු වල නිරතවීම
06. අවි ගනුදෙනුවේදී සීයට සීයක් නීත්‍යානූකූල වීම, විනිවදභාවයකින් යුක්ත වීම සහ වගවීම.
ආදී ප්‍රධාන කරුණු 06, ඇවන්ට් ගාඩ් සමාගම ඔවුහු සතු සුවිශේෂී හැකියාවන් ලෙස දක්වා තිබේ. මෙම හැකියාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු නොවේද යන්න පොදු අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට මතුවන මූලික ගැටලුවයි. එසේම මෙහි 06 වන කාරණය වන සමාගම විසින් සිදුකරනු ලබන සියලුම අවිගනුදෙනු වල විනිවදභාවය ගැන අදාළ සමාගම වග කියනු ලැබේ. මෙය සැබවින්ම භයානක කාරණයක් වන්නේ මේ සම්බන්ධයෙන් යළි යළිත් මතු වී ඇති අර්බුධය සම්බන්ධයෙනි.
අදාළ සමාගම සතුව ගාල්ල මුදු සීමාවේ රඳවා ඇති පාවෙන අවි ගබඩාව අරම්භයා මෙහෙයුම් සිදුවිය යුතු ක්‍රමවේදය සටහන් කොට ඇති සූචිත්‍රිතයක් සමාගම විසින් නිකුත් කොට තිබේ. එය පහත දැක්වේ.
ඒ අනුව නාවික හමුදාවේ ඍජු සහ පූර්ණ අධීක්ෂණය යටතේ එහි සියලුම කටයුතු සිදුවිය යුතුය. නමුත් අදාළ සූචිත්‍රිතය මඟින් ලෝකය හමුවේ කියාසිටින දෑ ඒ ආකාරයෙන්ම සිදුවූයේද? ඒවා කෙතරම් දුරට උල්ලංඝනය කරනු ලැබුවේද යන්නඅදාළ සමාගම සහ ඊට සම්බන්ධ පිරිස් දනිති?
නීතීපති දෙපාර්තමේන්තුව රටේ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන ආයතනයක් වෙනුවට එය විටින් විට පාට වෙනස්කරන කටුස්සන්ගේ පාරාදීසයක් බවට පත් වීම මඟින් අදාළ සමාගම හිර වී තිබු උගුලෙන් මිදී පලා යාමට හැකිවිය.
යහපාලනය නිරුවත් කරමින් අදාළ සමාගමට එරෙහිව එල්ල වූ චෝදනා සියල්ලගෙන්ම නිදහස් වීමට එය සමත් වූයේය. චෝදනා වලින් නිදහස් වූ වහාම, ආයතනය සිංගපූරුවේ ස්ථානගත කිරීමටත්, මෙරට සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටීමටත් අවශ්‍ය සැලසුම් කඩිමුඩියේ සකස් කරනු ලැබීය.
අදාළ සමාගම මෙරට සංචාරක ව්‍යාපාරය ඉලක්ක කොට වෙස්මාරු කිරීමේ තම කපටි පලායෑමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍යය නිලධාරියෙකු මෙම ලියුම්කරු සමග සඳහන් කරනු ලැබුවේ, “ සංචාරක අමාත්‍යංශයටත් වැඩේ දෙන්න හදන්නේ…” කියාය. රටේ රාජ්‍යය ආයතන පද්ධතියට මෙම ආලපාළුවන් සිදුකොට ඇති විනාශය සුළුපටු නොවන අතර එමඟින් රට තවදුරටත් හිඟමනට ඇද දමා තිබේ. මිලියන ගණන් වියදම් කරමින් මාධ්‍යය ඉදිරියේ තම ප්‍රතිරූපය මවා පෑමට සහ කපටි දේශප්‍රේමී සළුපිලි පොරවා ගැනීමට අදාළ සමාගම කළ අප්‍රසන්න උත්සාහය දෙස බැලීමෙන්ම පෙනී යන්නේ ඔවුහු රටේ සාමාන්‍යය ජනතාවගෙන් යමක් සැඟවීමට දරණ උත්සහයයි.
මෙම දූෂිත වැඩපිළිවෙල නවතා දැමීමට නොහැකි වුවහොත්, යහපාලනය, යමපල්ලන්ගේ දොලපිදේනි වලට හසු වී, දේශපාලනික වශයෙන් යළිත් හාස්‍යජනක ඉරණමකට සමස්ථ රටම තල්ලු වීම වැළක්විය නොහැකිය.
එය නවතා දැමිය හැක්කේ කෙසේද? කළ හැකි එකම කටයුත්ත වූ කලී, අදාළ සමාගම 2011 සිට සිදුකළ සියලුම කටයුතු විධිමත් ස්වාධීන විඝනනයකට බදුන් කිරීමය. එසේම අදාළ ස්වාධීන පරීක්ෂණය වෙනුවෙන් අදාළ විෂය ගැන මනා අවබෝධයක් ඇති නාවික හමුදාවේ සේවය කළ ස්වාධීන නිලධාරීන් යොදා ගැනීමය. එසේ කොට, අදාළ සමාගම විසින් සිදුකළ කටයුතු නාවික හමුදාවට තනිව කළ නොහැකි වූ ඒවාද යන්න සොයා බැලීමය. එය ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමය.
යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ එක් වැදගත් කටයුත්තක් වූ වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධූරයට පත් වීම මඟින් යම් සුභවාදී බලාපොරොත්තුවක් රට තුළ ඇති කළේය.
ඔහුගේ මැදිහත්වීම මත ඊයේ ( ඔක්තෝම්බර් 9), මහනුවර නමැති ඇවන්ට් ගාඩ් සමාගමට අයත් පාවෙන අවිගබඩාවට ආයුධ සහ අනෙකුත් ද්‍රව්‍යය සැපයු නෞකාව නාවික හමුදාභාරයට ගෙන පරීක්‍ෂණ ආරම්භ කරණු ලැබීය. එය නාවික හමුදාපතිවරයා විසින් සිදුකරනු ලබන අතිශය වැදගත් මෙන්ම අතිශය සංවේදී කාරණයකි. ඊට අවශ්‍ය දේශපාලන සහයෝගය ඔහුට ලබා දීම වගකිව යුතු බලධාරීන්ගේ යුතුකම වේ.
මේ වන විට මහනුවර නමැති නෞකාව නිතී විරෝධී ලෙස ප්‍රවාහනය කොට ඇතැයි සැලකෙන ආයුධ ගැන මෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලය ගැන තොරතුරු හෙළිදරව් වී තිබේ. එනම්, අදාළ සමාගම යට ගැසීමට උත්සහ දරනු ලැබූ ඇත්ත යළිත් හෙළිදරව් වී තිබේ.
මෙම කාරණය, නාවික හමුදාවේ ප්‍රතිරූපය නිරූපණය කරන මෙන්ම නව නාවික හමුදාපතිවරයා සතු වගකීම සහ හැකියාව ඔප්පු කිරීමට සමත් කාරණයක් බවට පත්වීමට නියමිතද? නොඑසේනම්, සාක්ෂි නැතැයි කියමින්, අධිකරණයේදී තම දුර්ගන්දය පෙන්වන අප්‍රසන්න දුෂිතයින්ගේ තවත් එක් ගොදුරක් බවට පත්වී රටේ හීන ඔවුන්ගේ මදුසාදයන්වල වීදුරු අතර දිය වී යෑමට නියමිතද? පිළිතුර ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇත.
ලොලිටා ඇතුළු ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ව්ලැඩිමීර් නබොකොව් වරක් සඳහන් කළ කාරණයකින් මෙම තීරුව ආරම්භ කළා සේම අවසන් කිරීමද යෝග්‍යය යැයි සිතේ. ඒ වූ කලී, “ මා පිළිකුල් කරන දෑ ඉතා සරලය; මෝඩකම, දුෂ්ට පාලනය, අපරාධ, කුරිරුකම සහ ළාමක සංගීතයය”.