Friday, April 19, 2024

සොල්දාදුවන් සිරගත කළ  විශ්වමඩු ස්ත්‍රී දූෂන නඩු තීන්දුව පූර්වාදර්ශයක් සපයයි

කාන්තා ක්‍රියාකාරී ජාලය විසිනි.
යාපනය මහාධිකරණය විසින් විශ්මඩු හමුදා ස්ත‍්‍රී දූෂණ නඩුව (නඩු අංක 1569/12) සම්බන්ධයෙන් ඊයේ දිනයේ (2015 ඔක්තෝබර් 6 වන දා) ලබා දුන් පූර්වා දර්ශ තීන්දුව සම්බන්ධයෙන් කාන්තා ක‍්‍රියාකාරී ජාලය ස්වකීය සතුට ප‍්‍රකාශ කරයි. වින්දිතයින් දෙදෙනාගේම ධෛර්යයට අප අපගේ ආචාරය පුද කර සිටිමු. විශේෂයෙන්ම ඉන් එක් වින්දිතයෙක් 2010 ජූනි මස 14 වන දින තම පැමිණිල්ල ගොණු කළ මොහොතේ සිට ශාරීරික පීඩා, බිය ගැන්වීම්, අපහාස සහ කරදර කිරීම් ගණනාවකට මුහුණ දුන්නාය. ඇයට සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට මුහුණ දෙන්නට සිදුවූ පුද්ගලික විඳවීම් හා ව්‍යුහාත්මක බාධාවන් සියල්ල මධ්‍යයේ නඩුව දිගටම පවත්වාගෙන යාමේ දී ඇය දැක්වූ නොපසුබස්නා සුලූබව ප‍්‍රශංසනීයය. මෙම ධෛර්යය හමුදාවට එරෙහිව ස්ත‍්‍රී දූෂණ නඩු පවරා තිබෙන වෙනත් කාන්තාවන් තුළ මෙන්ම නඩු පැවරීමක් සිදු නොකොට නිහඩව විඳවමින් සිටින තවත් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තුළ අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන්නකි. යුක්තිය ඉල්ලා සිටින කාන්තාවන් පශ්චාත් යුද සන්දර්භයක් තුළ පවා මුහුණ දෙන බාධාවන් කවරේද යන්න මෙම සිදුවීම මනාව පැහැදිලි කරයි.

නඩුව පිළිබඳ තොරතුරු – 2009 දී අවසාන වූ මිලෙච්ඡු යුද්ධයේ ප‍්‍රතිඵල ලෙස ඒ හා බී නම් වූ කාන්තාවන් දෙදෙනා කිහිප වරක් අවතැන් තත්වයට පත්වූහ. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙන්ම දේපළ ද මේ නිසා අහිමි විය. 2010 ජූනි මාසයේ දී මේ කාන්තාවන් දෙපොළම මැනික් ෆාම් ( වවුනියාවේ තිබෙන මහා පරිමාණ අවතැන් කඳවුරක් ) සිට ආපසු කිලිනොච්චියේ විශ්වමඩු ප‍්‍රදේශයට පැමිණියේ එම ප‍්‍රදේශයේ ඉඩම් ‘නැවත පදිංචියට සුදුසු තත්වයට’ පත්කළ බවට ප‍්‍රකාශ වීමත් සමගය. මෙම කාන්තාවන් තම දරුවන් සමග තම ඉඩම් කැබලි ශුද්ධ පවිත‍්‍ර කරමින් සිටිය දී ශ‍්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් සිවු දෙනෙක් එම ඉසවුව වෙත පැමිණියෝය. මෙම කාන්තාවන්ගේ පවුල්වල පිරිමි සාමාජිකයින් කිසිවෙක් නැති බව වටහා ගැනීමෙන් ඉක්බිති ඔවුහු යළිත් තම කඳවුර වෙත ගිය අතර නැවත රාත‍්‍රියේ පැමිණ කාන්තාවන්ට හා ළමුන්ට අඩත්තේට්ටම් කළහ. ඉක්බිති ඒ නම් වූ කාන්තාව දූෂණය කළ ඔවුහු බී නම් කාන්තාව ලිංගික අතවරයට ලක්කලහ. ‘ඒ ’ තමා මුහුණ දුන් අපරාධය පිළිබඳ පොලිසියට පැමිණිලි කල විට එම පැමිණිල්ල පලමුව හමුදාවට ඉදිරිපත් කරන ලෙස පොලිසිය දැනුම් දුන්නේය. හමුදාවට පැමිණිල්ල ඉදිරිපත් කරන විට ‘ඒ’ වෙත දැනුම් දෙනු ලැබූයේ සිදුවූ හානියට මුදල් ලබාදෙන බවත්, දෙන මුදල ගෙන නිශ්ශබ්දව සිටින ලෙසත්ය. එම මුදල් ප‍්‍රතික්ෂේප කළ ‘ඒ’ තම පැමිණිල්ල ලියාගත යුතු බවටත් එය විමර්ශනය කළ යුතු බවටත් ඉල්ලා සිටියාය. පොලිසිය පැමිණ නිල පැමිණිල්ල භාරගන්නා තෙක් ඇයව හමුදා අත්අඩංගුවේ රඳවා ගනු ලැබීය. 2010 ජූනි 14 වන දින කිලිනොච්චි මහේස්ත‍්‍රාත් උසාවියේ පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී වින්දිතයින් දෙදෙනා තමාට අතවර කළ හමුදා නිලධාරීන්ව හඳුනාගත්තෝය. අංක 572 දරන බ‍්‍රිගේඩයට අයත් කෝප‍්‍රල් ධනුෂ්ක ප‍්‍රියලාල් රත්නායක, පතිනරත්න බණ්ඩාරනායක ප‍්‍රියන්ත කුමාර, පණ්ඩිතගෙදර ශාන්ත සුබසිංහ හා දෙල්ගොලලාගේ ධනුෂ්ක පුෂ්පකුමාර යන අයවයි මෙලෙස හඳුනා ගනු ලැබූයේ. 2010 නොවැම්බර් 19 වන දා චෝදනාලාභී හමුදා නිලධාරීන් සිවුදෙනා ඇප මත මුදා හරිනු ලැබූ අතර සිවුවන සොල්දාදුවා පළාගිය අතර අත්අඩංගුවට පත්වීම මගහරිමින් ඔහු කල් ගත කරන්නට වූයේය. එම නිසා නඩුව විභාග වූයේ ඔහු අනභිමුඛවය.

 

ඊයේ දින, සන්ධිස්ථානාත්මක නඩු තීන්දුවක් ලබාදෙමින් යාපනය මහාධිකරණය මෙම සොල්දාදුවන් සියලූ දෙනා වසර විස්සක බරපතල වැඩ සහිත සිරදඩුවමකට යටත් කළේය. එසේම දූෂණයට ලක්වූ කාන්තාවන්ට රු. ලක්ෂ 5 බැගින් වූ වන්දියක් සහ රු. 25 000 බැගින් වූ දඩයක් ගෙවන ලෙස එක් එක් සොල්දාදුවාට නියම කළේය. දඩය ගෙවීමට අසමත් වන්නේ නම් තවත් වසර දෙකකට සිරදඩුවම දීර්ඝ වනු ඇත. එසේම වින්දිතයන් සඳහා වන්දි ගෙවීමට අසමර්ථ වන්නේ නම් සෑම සිරකරුවෙක්ම වසර 25 ක සිරදඩුවමකට ද තවත් අවුරුදු 5 ක අමතර සිරදඩුවමකට ද යටත් වන බව විනිසුරුවරයා ප‍්‍රකාශයට පත්කළේය.

 

මෙම අවස්ථාවේ දී තවමත් තීන්දුවක් ලැබී නොමැති තවත් එක් නඩුවක් ගැන අවධානය යොමු කිරීමට අපි කැමැත්තෙමු. එය 2001 මාර්තු 19 වන දා මන්නාරමේ දී දෙමළ මවුවරුන් දෙදෙනෙක් සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධ සිදුවීමකි. චන්ද‍්‍රිකා කුමාරතුංග පාලන සමයේ මෙය  විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිෂමක් පත්කරනු ලැබූ නමුත් තවමත් මෙම නඩුව සම්බන්ධ අවසාන තීන්දුවක් ලබා දී නොමැත.

වාර්ගික සුලූතරයට අයත් ස්ත‍්‍රීන්ගේ පැත්තෙන් බැලූ විට තමාට එරෙහිව සිදුවූ අයුක්තියට විරුද්ධව සන්නද්ධ සොල්දාදුවන්ට එරෙහිව නැගී සිට යුක්තිය ඉල්ලා සිටීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් මෙම නිශ්චිත සමූහ දූෂණයට ලක්වූ කාන්තාවන් දෙපොළ ඝාතනයට ලක්වීමේ අවදානම පවා නොතකා ඉදිරියට පැමිණ සිය නඩුව ඉදිරිපත් කළහ. මෙම සිදුවීමේ දී පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ නාවික හමුදා නිලධාරීන් නම දෙනෙක් සැකකරුවන් ලෙස හඳුනාගන්නා ලදී. 2006 අගභාගයේ දී මෙම නඩුව අනුරාධපුර මහාධිකරණයේ දී විභාගයට ගැනීම පටන් ගැනිණ. මෙය ස්ත‍්‍රී දූෂණ නඩුවක් ලෙස ගැනීම ප‍්‍රතිඵලදායක නොවේ යැයි තීන්දු කළ නීතිපති දෙපාර්තමේන්තුව එය ගොනු කරනු ලැබූයේ වධහිංසාව සම්බන්ධ නඩුවක් ලෙසය. 2008 දී මෙම නඩුව විභාගය වීම අභියාචනාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මත අත්හිටුවනු ලැබීය. ඒ එක් වින්දිතයෙක් අතුරුදහන් වී සිටීම නිසාය. අනෙක් කාන්තාවට රට හැර පළා යාමට සිදුවිය. ඒ ඇයගේ ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙනි.

හමුදාවේ සාමාජිකයින් විසින් කාන්තාවන් දූෂණයට, වධහිංසාවට හා ඇතැම් විට ඝාතනය කරනු ලැබීමට පවා ලක්කළ නඩු කිහිපයක් මීට පෙර ද කාන්තා ක‍්‍රියාකාරී ජාලය විසින් මෙහෙයවා තිබේ. ලිංගික හිංසනය සහ අඩත්තේට්ටම් කිරීම විෂයගත වූ මෙබඳු අවස්ථා ගණනාවක දී කාන්තාවන් ඒ සම්බන්ධව නිල වශයෙන් පැමිණිලි කිරීමට බිය වෙති. ඒ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති භීතිය හේතුවෙනි. නඩු කාර්යපටිපාටිය දිග්ගැස්සීමට හමුදාව විසින් පාවිච්චි කරන බලපෑම් යෙදීමේ උපක‍්‍රම හේතු වී තිබේ. එසේම ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉෂ්ට කරගැනීමට කාන්තාවන් දරන උත්සාහය වැලැක්වීම සඳහා විවිධ හිරිහැර පැමිනවීමේ ක‍්‍රමවේද පාවිච්චි කෙරෙනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ හමුදාව හා පොලිසිය විසින් පිරිමින් සහ ගැහැණුන් අරභයා දූෂණය හා ලිංගික හිංසනය යොදාගනු ලැබූ ව්‍යුහාත්මක හා විධිමත් ස්වභාවය පිළිබඳ පැහැදිලි විස්තරයක් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් විසින් මෑතක දී ප‍්‍රකාශයට පත්කරනු ලැබූ ශ‍්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාවේ අන්තර්ගත වේ. කිලිනොච්චි හිදී හදිසි අනතුරක් නිසා මියගිය දරුවෙකුගේ මවක් අත්අඩංගුවට ගනු ලැබ , පොලිස් නිලධාරීන් විසින් වධයට පාත‍්‍ර කරනු ලැබූ අතර ඇගේ යෝනි මාර්ගය තුළට රිටක් ඇතුලූ කිරීම වධදීමේ ක‍්‍රමවේදයක් ලෙස යොදාගන්නා ලදී. මෙය ලිංගික හිංසක ක‍්‍රියා හා වධහිංසාවට ලක්කිරීම්වල දැක්නට ලැබෙන ක‍්‍රමානුකූල හා විධිමාත‍්‍රික ස්වභාවය පිළිබඳ කදිම නිදසුනකි.

මිලිටරිකරණය හා ලිංගික හිංසනය එකිනෙකට සම්බන්ධය
මිලිටරිකරණය හා ලිංගික හිංසනය එකිනෙකට සම්බන්ධය

තමා මුහුණ දුන් සාහසික අපරාධ පිළිබඳ මතකයන් වලින් පීඩා විඳින විශ්වමඩු හා මන්නාරම් කාන්තාවන් හා සමාන තවත් කාන්තාවෝ විශාල ප‍්‍රමාණයක් ලංකාවේ සිටිති. මෙම ස්තී‍්‍රන්ට විරුද්ධව බරපතල අපරාධ සිදුකළ අපරාධකරුවෝ කිසිදු දඩුවමක් ලැබීමෙන් තොරව නිදැල්ලේ සැරිසරති. මෙබඳු අපරාධ සිදුකරන්නේ හමුදාව පමණක් නොවේ. විවිධ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් හා බලය අත දරා සිටින විවිධ පුද්ගලයින් ද මෙබඳු අපරාධවල නියැලෙන අතර මෙය අපරාධ නිර්මුක්තිය රාජ්‍ය ආයතන තුළට කා වැදී තිබෙන බරපතල ආකාරය විදහා දක්වන්නකි. මෙබඳු අවස්ථාවල පැමිණිලි භාරගැනීම, අත්අඩංගුවට ගැනීම හෝ විමර්ශනය කිරීම පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම සුලභව දැකගත හැක. එසේම නඩුවක් පවරා තිබේ නම් එය හැකි තාක් දිග්ගැස්සීමට චේතාන්විතව ක‍්‍රියා කරනු ලැබේ. මේ අනුව කාන්තාවන් සඳහා යුක්තිය ඉටු විම පමාවීම හා ප‍්‍රතික්ෂේප වීම පමණක් නොව ඒ සම්බන්ධයෙන් නීතිය නිශ්ශබ්ද වීම හා අසංවේදී වීම ද සුලභ වශයෙන් සිදුවේ.

ලිංගික අඩත්තේට්ටම් හා අතවර, වධහිංසා, අංගෙඡ්දනය, ස්ත‍්‍රී දූෂණය හා මිනීමැරුම් වූ කලී හුදු සන්නද්ධ ගැටුම නිසා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් නොව සුලූතර ප‍්‍රජාවන් යටත් කොට තබාගැනීම සඳහා, භීතිය පැතිරවීම සඳහා, ප‍්‍රජාවන් අස්ථාවර කිරීම සඳහා සහ විශේෂයෙන්ම පුරුෂාධිපත්‍යය පවත්වාගැනීම සඳහා කාන්තාවන්ට එරෙහිව භාවිතා කළ උපායමාර්ගික ප‍්‍රවේශයන් බව අපි හොඳාකාරවම දනිමු. කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන එක් රැුයෙකින් තුරන් කළ නොහැක. කාන්තාවට සම අයිතිය හා සියලූ දෙනාට යුක්තිය හිමිවීමේ වැදගත්කම පිළිබඳ සමාජය තුළ සවිඥානිකත්වය ගොඩනැගීම සඳහා ක‍්‍රමානුකූල ලෙස ක‍්‍රියාමාර්ග ගැනීම මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ දී මෙන්ම ඉදිරි ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ද ආණ්ඩුව විසින් සැලකිල්ලට ගත යුතු කරුණකි.

ලිංගික හිංසනය සම්බන්ධයෙන් දැනට තිබෙන නිර්මුක්ති තත්වය අවසාන කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය, පොලිස් දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ඉක්මනින් ක‍්‍රියා කළ යුතුය. මෙම නිර්මුක්ති තත්වය විශේෂයෙන් පවතින්නේ චූදිතයන් රජයට සම්බන්ධ නිලධාරීන් වන විටය.

මෙම අපරාධ සඳහා මරණ දඩුවම නියම කළ යුතු යැයි කාන්තා ක‍්‍රියාකාරී ජාලය කිසිසේත්ම අදහස් නොකරන බව මෙහිද අවධාරණය කළ  යුතුය. මෙම යෝජනාව රාජ්‍ය නායකයා විසින් ද ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකි. ජීවත්වීමේ අයිතිය පිළිබඳ අප දැඩිව විශ්වාස කරන අතර නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත් ස්ත‍්‍රී පුරුෂභාවය කෙරෙහි සංවේදීවීමක් එකී ක‍්‍රියාවලිය තුළ පැවැතිය යුතු බවත් අපි ඉල්ලා සිටිමු. එසේම පනවනු ලබන දඩුවම් දණ්ඩ නීති සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට අනුකූල විය යුතු බවටත්, එබඳු නඩු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ස්ත‍්‍රී පුරුෂභාවය කෙරෙහි සංවේදීතාවයක් සහිතව හැසිරවිය යුතු බවටත් අපි ඉල්ලා සිටිමු.  යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස සමීපතමයන් අහිමි වූ වාර්ගික සුලූතරයට අයත් කාන්තාවන් ලෙස ජීවිතයේ වටිනාකම අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. අපරාධවලට වගකිවයුත්තන් ගේ ජීවිතවලටත් එය අදාළය.

ජනමාධ්‍ය කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය වාර්තා කරන ආකාරය තුළ පවතින අසංවේදී ස්වභාවය බෙහෙවින් කණගාටුදායක බව කාන්තා ක‍්‍රියාකාරී ජාලය අදහස් කරයි. නඩු තීන්දුවෙන් පසු විශ්වමඩු ස්ත‍්‍රී දූෂණ සිදුවීම වාර්තා කළ ආකාරය ඊට උදාහරණයකි. ශ‍්‍රී ලංකාවේ හමුදාවට හෝ රාජ්‍යයට සම්බන්ධ අයවලූන් චූදිතයන් වන සිදුවීම් වාර්තා කිරීම මාධ්‍ය බොහෝ විට ප‍්‍රතික්ෂේප කරන අතර එසේ වාර්තා කරන අවස්ථාවලදී ස්ත‍්‍රීපුරුෂභාවය කෙරෙහි සංවේදීතාවයක් ඔවුන් පෙන්වන්නේ නැත. ස්ත‍්‍රී දූෂණ හා ලිංගික හිංසනය වූ කලී මහත් අපකීර්තිමත් හිංසන විශේෂයකි. අතිමහත් ශාරීරික හා මානසික වධහිංසනයකට ලක්වූ, එහෙත් යුක්තිය වෙනුවෙන් ධෛර්යයමත් ලෙස සටන් කළ කාන්තාවන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස අප මාධ්‍යවලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

එසේම ලිංගික හිංසනය සහ ලිංගික වධහිංසාව පිළිබඳ සියලූ නඩු මනා ලෙස සහ ස්ත‍්‍රී පුරුෂභාවය පිළිබඳ සංවේදී ලෙස විභාග කිරීම සහතික කිරීම සදහා විශේෂ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන මෙන් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. එසේම ඒ සම්බන්ධ නඩු විභාග කටයුතු වේගවත්ව සිදුවිය යුතු බවටත් තවද රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් කරනු ලැබූ ලිංගික හිංසාවන්වල වින්දිතයන්ට අනිවාර්යය වන්දි ගෙවීමක් නියම කරන ලෙස දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කළ යුතු බවටත් අපි ඉල්ලා සිටිමු. අවසාන වශයෙන් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ස්ත‍්‍රී දූෂණය හා ලිංගික වධහිංසාව පිළිබඳ නඩු අඩුම තරමින් ලඝු නොවන විමර්ශන කටයුතු අවසාන වන තෙක් හෝ ඇප දිය නොහැකි වැරදි ලෙස ප‍්‍රකාශයට පත් කරන ලෙසය.

–    කාන්තා ක‍්‍රියාකාරී ජාලය වූ කලී උතුරු හා නැගෙනහිර පළාත්වල ක‍්‍රියාත්මක වන කාන්තා සංවිධාන 8 න් සමන්විත සාමූහිකයකි.

Archive

Latest news

Related news