Friday, March 29, 2024

කිලිනොච්චිය: ඉරනමඩු වැව සහ කනකාම්බිකයි කෝවිල තවමක් හමුදාව යටතේ

කිලිනොච්චිය ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල සහ ඉරණමඩු වැව තවමත් යුද හමුදා ව විසින් අල්ලාගෙන සිටීම එම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට මහත් බාධාවක් බවට පත්ව තිබේ.

කෝවිල වටා ඇති ස්ථානවල ශ්‍රී ලංකා හමුදාව දැවැන්ත කඳවුරු ඉදිකරගෙන රැඳී සිටින අතර කෝවිලේ පසු පස සහ දකුණු පස ඇති ප්‍රදේශයන් හමුදා කඳවුරුවලින් පිරී තිබේ.
මෙම ඉඩ කඩම් කෝවිලේ ක්‍රියා කටයුතුවලට අවශ්‍ය වන ඉඩම්ය. ආරාම මඩම්, උත්සව පිටිය ඇතුළු කෝවිලේ පසු පසින් ජනතාවගේ ජනාවාස ඉඩම්ද හමුදා අල්ලා ගෙන සිටී. එම ඉඩම්වල පදිංචිව සිටි ජනතාව එම ඉඩම්වලට ආසන්න ප්‍රදේශයක තාවකාලිකව පදිංචි වී සිටිති.

ඉරනමඩු වැවි
ඉරනමඩු වැවි

ඉරනමඩු වැව කිලිනොච්චිය ජනතාවගේ ජීවනෝපාය කටයුතුවල ප්‍රධාන අංගයකි. කනකාම්බිකයි අම්මන් කෝවිල වන්නි ජනතාවගේ ජීවිතයෙහි විස්වාසනීය ප්‍රසිද්ධ පූජා ස්ථානයකි. එම ප්‍රධාන ස්ථාන දෙකම හමුදාව විසින් තවමත් අත්පත්කරගෙන තිබෙන්නේ ඇයි?

ඉරනමඩු වැවෙන් මසුන් අල්ලා සිය ජීවනෝපාය කටයුතු පවත්වාගෙන යන ධීවර පවුල් සහ වැව් ජලය මත පදනම්ව ගොවිතැන් කටයුතුවල නිරතවන ජනතාවද හමුදාවගේ ඉරනමඩු ආධිපත්‍ය නිස දැඩි අපහසුතාවලට මුහුණදී සිටී.
හමුදාව ධීවරයන්ට මසුන් මැරීමට අවසර දෙන්නේ නැත. තවද ජනතාවට වැවේ අවශ්‍ය තරම් ජලය ඉතුරු කර ගැනීමටද අනුමැතියක් ද නැත. එයට හේතුව ඉරනමඩු ප්‍රදේශය හමුදාව තම පාලනය යටතේ තබා ගෙන සිටීමයි. කෝවිල් පරිපාලකයනට කෝවිලේ ඉඩම් සම්බන්ධයෙන් ද , ධීවර සංගම්වලට වැවේ වතුරට හිමිකමක්ද නැත.

පසුගිය කාලයෙහි දී ඉරනමඩු වැවේ මසුන් මරන ධීවරයන්ගේ බෝට්ටු සහ දැල් හමුදාව විසින් විනාශ කර දැමූ පුවත් රැසක් තිබේ. ඉරනමඩු ප්‍රදේශයදී මෙවැනි තත්වයක් පවතින අතරතුර නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා පසුගිය 14වන දිනකෝවිලට පැමිණ තිබේ. එනමුත් ඔහු පොරොන්දු වි ඇත්තේ හමුදාව විසින් වටකරගෙන ඇති කෝවිලේ නැගෙනහිර මාර්ගය පමණක් නිදහස් කර දෙන බවට ය.

වත්මන් තත්වයට අනුව නැගෙනහිර මාර්ගය හෝ විවෘත ගැනීම යහපතක් වනු ඇතැයි කෝවිල් පරිපාලකයන්ගේ බලාපොරොත්තුව බව දැන ගන්නට තිබේ.

උතුරේ හමුදාව සතුකරගෙන ඇති සිවිල් ඉඩම් නිදහස් කිරීමේදී අමාත්‍යංශවල තීරණවට වඩා ඉහළින් හමුදාවෙහි තීරණ බලපාන්නේදැයි ජනතාව අසති.

මෑතකදී පැවැති උත්සවයදී අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමුදාව තමන්ට අනවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි පවසා තිබුණි. රටේ ජනාධිපතිවරයකු ක්‍රියා කරන්නේ හමුදා අනුමැතිය යටතේද?

මෙහිදී ද ජනතාවට අවශ්‍ය ජනතාවගේ ඉඩම් යන සංකල්පයට වඩා හමුදාවට අනවශ්‍ය ඉඩම් ලෙස සැළකිල්ලට ගෙන ඇත. වලිගාමම් උතුරු ප්‍රදේශයදී නිදහස් කළ ඉඩම් ද හමුදාවට අනවශ්‍ය ඉඩම් ද? තමන් පෙර ජීවත්වූ ඉඩම් හා නිවාස හමුදාව යටතේම තබා ගෙන තියාගෙන ජනතාවට ජීවත්වීමට දුෂ්කර ඉඩම් නිදහස් කර ඇතැයි එම පිරිස් පවසති.

එපමණක් නොව මෙතෙක් කාලයක් එම ජනතාවගේ ඉඩම් තම සතුකරගෙන තිබීමෙන් එම ජනතාවගේ ජීවනෝපාය ආර්ථිකය අඳුරු යුගයකට ඇද දැමූ රජය එයට වන්දියක් ලබාදිය යුතුයි. අත්පත්කරගත් ඉඩම්, අහිමිවූ ජීවනෝපාය මාර්ගය සහ ආර්ථික ජීවන රටාව ඇතිකර දීම නැවැත පදිංචි කිරීමේ අරමුණ විය යුතුයි.

එමෙන් ඉරනමඩු වැවට ආසන්නව ඉදිකර ඇති හමුදා කඳවුරු ඉවත් කළ යුතුය. එමඟින් කෝවිලේ පූජා කටයුතු නිදහසේ පවත්වාගෙන යෑමට සහ වැව මත පදනම්ව ජීවනෝ කටයුතුවල නිරතවන ධිවරයන්ට සහ ගොවි ජනතාවට යහපතක් උදාවනු ඇත. විශේෂයෙන් එම ප්‍රදේශයෙන් පවරාගත් ජනතාවගේ ඉඩම් නැවැත එහි මුල් අයිතිකරුවන්ට ලබාදිය යුතුයි.

ඉඩම් නිදහස් කිරීමේ අවංක භාවය එයවේ. එය හැර හමුදාව විසින් වටකරගෙන සිටින ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේ නැගෙනහිර දොරටුව පමණක් නිදහස් අනෙකුත් කඳවුරු දිගටම පවත්වාගෙන යෑමෙන් කිසිම වෙනසක් සිඳුවන්නේ නැත. කෝවිලක්, දේවස්ථානයක් හමුදා පරිසරයකින් තොර පූජා ස්ථානයක් ලෙසත්, වැවක් හමුදාවෙන් තොර ස්වභාවයෙන් තිබිය යුතුයි යන්න ජනතාවගේ ඉල්ලීම වේ.

(ග්ලෝබල ටැමිල් නිව්ස් අඩවයේ් ලිපියක් ඇසුරිනි)

Archive

Latest news

Related news