යුද හමුදාවේ ට්රිපොලි කඳවුරත්, නාවික හමුදාවේ ගන්සයිඩ් කඳවුරත් පසුගිය කාලයේ සිදුවූ අපරාධවලට සම්බන්ධ බව මේ වන විට අධිකරණය ඉදිරියේ තහවුරු වෙමින් තිබෙන පැහැදිලි කරුණු ය. එම නිසා අමුතු සුදු හුණුගෑම් අවශ්ය නැත. අපරාධකරුවන් මෙතෙක් භුක්ති විඳි මුක්තිය අහිමි කොට යුක්තිය ඉටු කළ යුතුය.
පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදා, එනම් හරියටම වසරකට පෙර ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කරගැනීමේ මූලික ජනතා අභිලාෂ අතර නීතියේ ආධිපත්යය සුරක්ෂිත කිරීම ඉදිරියෙන් ම තිබිණි.
තීරණාත්මක සහ සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් අපරාධ රැසක් පිළිබඳ සඟවමින් සිටි තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. 2018 පෙබරවාරි මාසයේ පැවැති පළාත්පාලන මැතිවරණයෙන් පසු මාර්තු මාසයේදී ව්යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කරගැනීමේ උත්සායක් ක්රියාත්මක විය. එවකට ජනාධිපති ලේකම් ධුරය දැරූ ඔස්ටින් ප්රනාන්දු ප්රමුඛ පිරිසකගේ දැඩි විරෝධය නොවන්නට, එවකට ජනාධිපති මෛත්රිපාල සිරිසේන ඒ වැඩේ කරන්නේය. කෙසේ හෝ ඒ වැඩේ අවසානයට 2018 ඔක්තෝබර් 26 වැනිදා සිදුකළේය. පසුව එහි ව්යවස්ථා විරෝධී බව ශ්රේෂ්ඨාධිකරණයෙන් අවධාරණය කෙරිණි.
මේ කරුණ සඳහන් කළේ විශේෂ හේතුවක් නිසා ය. වර්තමානයේ මෙන්ම සුවිශේෂී නඩු කිහිපයක, උදාහරණයක් ලෙස මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතන නඩුව 2018 පෙබරවාරි- මාර්තු වන විට තීරණාත්මක තැනකට පැමිණෙමින් තිබූ බව වාර්තා විය.
අද වන විටත් විත්ති පාර්ශ්ව කලබල වී ඇත්තේ හරියටම එදා වගේම ය.
පසුගිය බ්රහස්පතින්දා (18) උදෑසන වන විට කොළඹ ස්ථාන කිහිපයක ඇලවුණු පෝස්ටරයක් විය. එහි සඳහන් වූයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න නිදහස් කරන ලෙසයි. හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එසේ ම නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්යක්ෂ විශ්රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි ද අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. දැන් ඔවුන් සිටින්නේ අධිකරණය භාරයේ ය.
කෑගල්ල ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ ව නාවික හමුදාවේ සේවය කළ මේ ඉහළ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. එම පුද්ගලයා ත්රීකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඩ් නම් ස්ථානයේ රඳවාගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ ගන්සයිඩ් සිදුවීමකට අදාළව ය, පසුගිය සඳුදා (15) හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අදාළ නියෝගයක් ද ශ්රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙනු ලැබුවේ.
2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් වසන්ත කරන්නාගොඩ නම් කර තිබිණි. එහෙත් පසුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ නඩුව විභාග කළ ත්රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙන ලද්දේ කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කරන බවයි. මේ තීරණය අභියෝගයට ලක්කරමින් අතුරුදන් තරුණයන්ගේ මව්පියන් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරන ලදි. එහෙත් අභියාචනාධිකරණය එම පෙත්සම ප්රතික්ෂේප කළේය.
ඉන්පසුව ය, ඔවුන් ශ්රේෂ්ඨාධිකරණයට පැමිණ තිබුණේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ප්රමාණවත් සාක්ෂි තිබියදී මේ නඩුවෙන් ඔහු ඉවත් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව එම මව්පියන් පෙන්වා දී තිබිණි. දීර්ඝ කරුණු සලකාබැලීමකින් පසු අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳුදා තීරණය කළේ නීතිපතිවරයාගේ අදාළ තීරණයේ නීත්යනුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වීමටයි.
මේ තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වසරේදී ත්රිපුද්ගල මහාධිකරණයක චෝදනා ගොනුකරන ලදි. ඉන්පසුව නීතිපතිවරයා විසින් ම වසන්ත කරන්නාගොඩ එයින් ඉවත් කරන බව අධිකරණයට දැනුම් දුන්නේය. මේ තරුණයන් ද, කෑගල්ලේ අතුරුදන් පුද්ගලයා රඳවා සිටි බව හෙළි වී තිබෙන ත්රීකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඩ් නම් ස්ථානයේ රඳවා තිබූ බවට ප්රමාණවත් තොරතුරු මේ වන විට අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා අතර කාලයේදී කොටහේන, වැල්ලවත්ත ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණවලින් පසු නාවික හමුදා නිලධාරීන් ඇතුළු චූදිතයන් පිරිසකට නඩු පවරනු ලැබිණි. එහිදී තමන්ට චෝදනා ගොනුකිරීම අභියෝගයට ලක්කරමින් වසන්ත කරන්නාගොඩ මීට පෙර අභියාචනාධිකරණයට ද ගියේය.
දෙහිවල ප්රදේශයේදී මෙසේ තරුණයන් පස්දෙනකු පැහැරගෙන යෑමට එවකට නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සෘජු ව සම්බන්ධ වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ මීට වසර 10කට පෙර ය.
මේ පිළිබඳ විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපති නිශාන්ත සිල්වා අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ පැහැරගෙන යෑම් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිට ඇති බවයි.
මේ අතර තවත් හිටපු නාවික හමුදාපතිවරයකු වූ ට්රැවිස් සින්නයියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදෙමින් පවසා තිබුණේ මේ සිදුවීම සිදු වන කාලයේදී තමන් නැඟෙනහිර පළාත භාර ව කටයුතු කළ බවත්, ත්රීකුණාමලය නාවික කඳවුර අභ්යන්තරයේ තිබූ ගන්සයිඩ් නම් කලාපයට තමන්ට පවා ඇතුළු වීම වළක්වා තිබූ බවත් ය. එම කලාපයට අදාළ සියලු කටයුතුවල වගකීම එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ඩී.කේ.පී.දසනායක විසින් සිදු කළ බව ද ඔහු පවසා තිබිණි.
මේ පැහැරගැනීම් සම්බන්ධයෙන් වන මුල් ම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේ ද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ය. එය සිදුව තිබුණේ සිය පෞද්ගලික සහකාර ලෙස සිටි නිලධාරියාට එරෙහි ව්යාපෘතියක කොටසක් ලෙස ය. ඒ, ඔහු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සමඟ සමීප සම්බන්ධ්කම් පැවැත්වීම ආරම්භ කිරීම නිසා බව පසුව හෙළි විය. එවකට නාවික හමුදාපතිවරයා සහ යුද හමුදාපතිවරයා අතර ගැටුමක් තිබූ බව මාධ්ය මගින් වාර්තා කර තිබිණි.
මේ පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වූයේ ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකගෙන් සැදුම් ලත් කප්පම් කල්ලියක් නාවික හමුදාව තුළ ක්රියාත්මක වී ඇති බවයි. එම කල්ලිය විසින් මෙම පැහැරගැනීම් සිදු කර ඇති බවට වන සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අමතරව, තවත් හිටපු නාවික හමුදාපතිවරයකු මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්රධානියකු ද වූ රවී විජේගුණවර්ධන ද මෙහි සැකකරුවෙකි. මේ සිද්ධියේ ප්රධාන සැකකරුවකු වන සම්පත් හෙට්ටිආරච්චි නම් නිලධාරියාට සැඟවී සිටීමට ආධාර අනුබල දීම මෙන්ම මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
2018 ඔක්තෝබර් 26 ව්යවස්ථා කුමන්ත්රණය සිදු වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙම විමර්ශනය මෙහෙයවූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් ස්ථානයේ සාමාන්ය රාජකාරි සඳහා මාරු කර යැවීම සම්බන්ධයෙන් මැදිහත් වී තිබුණේ ද මේ විජේගුණවර්ධන ය. එමඟින් අදාළ විමර්ශනය අඩාල කිරීම ඔවුන්ගේ අරමුණ වූ බවට මාධ්ය වාර්තා පළ විය. කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිසම මඟින් එම ස්ථාන මාරුව අත්හිටුවීමට කටයුතු කරන ලදි.
2008 අගෝස්තු 08 වැනිදාත්, 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් මරා දැමීමට කුමන්ත්රණය කිරීම, පැහැරගෙන යෑම, අයුතු ලෙස සිර කර තැබීම, ඔවුන්ගේ දේපොළ බලහත්කාරයෙන් ලබාගැනීම, තරුණයන් අතුරුදන් කිරීමට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් මුලින් නම් කර තිබුණේ නාවික හමුදාවේ හිටපු මාධ්ය ප්රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්රසන්න වික්රමසූරිය, ඇන්ටන් ප්රනාන්දු, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්රිආරච්චිගේ ගාමිණී, උපුල් චමින්ද, චන්දන ප්රසාද් හෙට්‌ටිආරච්චි හෙවත් නේවි සම්පත්, නන්දප්රිය හෙට්ටිහැන්නදි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ ය.
මේ අතර අධිකරණවල විභාග වන නඩු පිළිබඳ සැක මතු කළ බවට චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පළිගැනීම් කොමිසම මඟින් නිර්දේශ කර තිබුණේ මේ පැහැරගැනීම් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යෑම වළක්වාලිය යුතු බවයි. කෙසේ වෙතත් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම කොමිසමේ නිර්දේශ හකුළාගන්නා ලදි.
විමර්ශනවලදී අනාවරණය වන කරුණු අනුව ඉදිරියේදී නාවික හමුදාවේ තවත් නිලධාරීන් පිරිසක් මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමට නියමිත බවට වාර්තා පළ වේ. ජනතාව බලාපොරොත්තු වූ යුක්තිය පිළිබඳ අභිලාෂය සෑහීමකට පත්විය හැකි පරිදි ඉටු විය යුතුය.
කෙසේ වෙතත් මීට වසර 17කට පෙර සිදු වූ මේ බරපතළ අපරාධ පිළිබඳ යුක්තිය නොදැකම, දැනටමත් එම තරුණයන් කිහිපදෙනකුගේ මව්පියන් මරණයට පත්වී අවසන් ය. විත්තිකරුවන් කොතරම් ප්රබල ද සහ යුක්තිය ඉටුකිරීමට බාධාකරන්නේ ද යන්න ඉහත උදාහරණ කිහිපයෙන් වුවද, ඕනෑවටත් වඩා පැහැදිලි වන්නේ ය.
(මුහුණූ පොතිනි)