ඡායාරූපය: “රෙදි අපුල්ලන්නාගේ ජීවිතය: මුම්බායි මහා ලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාව කැමරා කාචය තුලින්” වෙතිනි.
සමන්ති පෙරේරා / ගාමිනී විතාණ.
රජක කුලයේ ව්‍යාප්තිය ගැන ඓතිහාසික වාර්තා හොයන පරියේෂිකා අනෝමා යකුම්පිටියටත් මටත් වැදගත් වන තොරතුරු ටිකක් ලැබුනා. රජක කුලය, රදා කුලය, හේන කුලය , රජක කුලය, ඩොබී කුලය, පේඩි කුලය යනුවෙනුත් හඳුන්වනවා.ඔවුන් ගේ පටබැඳිනාම පේඩි, පේඩියා, චාකාලි, හේනයා වෙනවා. රජක කුලයේ සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් අටවන වීර පරාක්‍රමබාහු රජු කාලේ ඉන්ඳියාවෙන් එනවා. මොවුන් එන්නේ රජු ඇතුළු රාජකීයන්ට සේවය කිරීමට. තවමත් ඉන්දියාවේ තෙලංගනා, ආඳ්‍රා, කර්ණාටක, තමිල්නාඩු හා උඩුප්පිලි දිස්ත්‍රික්ක වල රඳා කුලයේ ආදිතමයෝ ජීවත් වෙනවා.
රජක කුලයේ ධූරාවලි
මේ එන කණ්ඩායමේත් ධූරාවලීන් තියනවා. එහි පහල ධූරාවලියේ පිරිස් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුලීනයන්ට සේවය කිරීම සඳහා යවනවා. ඔවුන් හම්බන්තොට කටුවන , වලස්මුල්ල, ඕකිවෙල වගේ ප්‍රදේශ වල පදිංචි වෙනවා. මෙයින් කටුවන ප්‍රදේශයට යන රජක කුලයේ සාමාජිකයෝ ආනත්ත පතිරණ මානික්කු හේනයලාගේ, කිර හේනයාලාගේ කිරාගේ , නයිදගේ , සරෙන්ති කොන්ඩෙගේ , ආදී නම් දරනවා. මන්දාරම් පුවතේ සඳහන් වන අන්දමට මොවුන්ට තිබුනේ ද්‍රවිඩ සම්භවයක්.
මේ පරම්පාරාවෙන් එන සාමාජිකයෙක් සමග අදහස් හුවමාරු කර ගැනීමට මට ඉඩ කඩක් ලැබුනා. ඔහු නමින් හර්ශණ පතිරණ. වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා. ඔහු තමන් ගේ මුතුන් මිත්තන් ගැන අපිට හෙළි කලා. ඔහුගේ ගම හම්බන්තොට කටුවන. හේන වංශිකයන් වන ඔවුන් එන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන්. පෝල් ඊ පීරිස් මහතාගේ ලංකාව පෘතුගීසි යුගය පොතේ හම්බන්තොට කටුවන හේන වංශිකයන් ගැන සඳහන් වෙනවා.
සිංහල සමාජයේ කුල පිලිබඳව කේ. ටී. සිල්වා ලියන ලද පොතේ කටුවන රජකයන් ගැන සඳහන් වෙනවා. ඔවුන් ගෙන් සමහරක් පෘතුගීසීන් හමුදාවේ රෙදි සේදීම සඳහා ගෙන යනවා. සමහර විට වහලුන් වශයෙන් බලහත්කාරයෙන් ගෙනියන්න ඇති. ඔවුන්ව කටුවන බලකොටුවට ගෙන යනු ලැබුවා.
මේ කාලයේ හේන වංශිකයන් රෙදි සේදීම කලේ දේශීය ගස් පොතු ,සෙංකොට්ටං වගේ ස්වභාවික ද්‍රව්‍ය මගින්. පෘතුගීසීන් විසින් ඔවුන්ට රසායණික සබන් හඳුන්වා දෙනවා. දොස්තර හර්ශණ පතිරණ ගේ ඥාතීන් කටුවන පමණක් නෙවෙයි කළුවම්මෝදර, මහඉදුරුව, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, බ්‍රාහ්මණාවත්ත, ආඳාදොළ, මාදම්පාගම, වේනාමුල්ල, අකුරළ, රත්ගම, වගේ ප්‍රදේශ වලටත් විසිරෙන බව කියනවා.
ඔවුන්ට රාජකාරී කිරීමට හම්බන්තොට ප්‍රදේශයේ ගොවිගම කුලීනයන් ඉඩම් ලබා දෙනවා. ඔවුන් තම කුල කාර්‍යය ඉෂ්ඨ කළේ එම කාර්‍යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙන.ඔවුන්ට නියමිතව තිබුනේ රෙදි ඇපිල්ලීම හා කොටහළු චාරිත්‍රයන් ඉටු කිරීමයි. මේ හේන වංශිකයන් තද කහට පැල්ලම් ඉවත් කරගැනීම සඳහා රෙදි උණු වතුරින් තම්බා ගැනීමට විශාල වෙල්ල හැලි භාවිතා කරනවා. මේ වෙල්ල හැලි භාවිතය එන්නේ ඉන්දියාවෙන්. කටුවන , රත්ගම ආදී ප්‍රදේශ වල ජීවත් වන හේන වංශිකයන් බොහොමයක් තම මුල් නම් අත හැරලා ආනත්ත පතිරණ හෝ පතිරණ නාමයන් දැන් භාවිතා කරනවා.
ඉන්ඳ්‍රකීර්ති සිරිවීර ලියූ “රජරට ශිෂ්ඨාචාරය හා නිරිතදිග රාජධානි” නම් පොතේ කටුවන හේන වංශිකයන් ගේ මුල් නාමයන් ගැන සඳහන් වෙනවා. රැල්ෆ් පීරිස්ට අනුව හේන වංශිකයන්ට නියමිත ඇදුම් ආයින්නම් තිබුනා. ඔවුන් උඩුකය නග්නව තබාගත යුතුයි.
රොබට් නොක්ස්ගේ වාර්ථා වලත් හේන වංශිකයන් ගැන කියනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව රජක කුලයේ සාමාජිකයන් ගැනයි. සිංහල කුල ක්‍රමය ගැන ලියන සේපාලි මායාදුන්නේ ගේ පොතත් වැදගත්. රජක කුලයේ චාරිත්‍ර වචන සිංහල ප්‍රධාන සමාජයටත් එක් වෙලා. මේ අතර ජන කතා ජන කවි තියනවා.
“රඳා ගෙදර යන පාරේ,
ඩංඟු ටුකුරු ගසක් ඇතේ.
මල් පුසඹයි ගෙඩි තිත්තයි
නොතේරුවොත් ටොකු විස්සයි”
සිංහල තේරවිලි කවි අතරට වැටෙන මෙම කවියෙන් කියවෙන්නේ රදා (රජක කුලයේ) ගෙදරට යන පාරේ දකින්නට ලැබෙන ඉඹුල් ගසක් ගැන.
රජක කුලයේ වර්තමාන සාමාජිකයන් අද සමාජයේ වැදගත් මෙහෙවර කරනවා. දොස්තර හර්ශණ පතිරණ ඕමානයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා. ඔවුන් තමන් ගේ සම්භවය ගැන කතා කරන්නේ අභිමානයෙන්.