Thursday, November 14, 2024

2014 – 20 19 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව (01) – ශාලික විමලසේන

(thetime.lk)රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය. එම තනතුරෙන් ඔහු ඉවත් කරන ලද්දේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුකරන බවට සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් විසින් 2016 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය.

සුරේෂ් සලෙයි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දරමින් සිටියදී ය, දර්ගා නගරයේ සිංහල-මුස්ලිම් ගැටුම අවුළුවනු ලබන්නේ. ඔහු විසින් ගැටුම අවුළුවන ලද බව සඳහන් කරන්නේ ඔහුගේ මැදිහත්වීමක් එහි ඇති බව පැහැදිලිව පෙනෙන නිසා ය. 2014 ජුනි මාසයේදී මේ සිදුවීම ඇරඹෙන්නේ ස්වාමීන් වහන්සේ නමක මාර්ගයේ යන විට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු පහර දුන් බවට එල්ල වූ චෝදනාවකින් ය. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලදි.
ඊන්පසුව බොදු බල සේනා ඇතුළු අන්තවාදී සංවිධාන එක්ව මීට විරෝධය දැක්වීම පටන් ගත්තේය. ඔවුහු අලු‍ත්ගම නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ. ඉන්පසු ඉස්ලාම් ආගමිකයන්ගේ වන්දනා වේලාවක් වන සිකුරාදා දහවල් පල්ලිය ඉදිරිපිටින් ජනතාව පාගමනින් යන්නට වූහ.

අලු‍ත්ගම පොලිසිය මීට අවසර දීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් පොලිසියේ ඉහළින් පැමිණි නියෝගයකට අනුව පොලිසියට ඊට අවසර දීමට සිදු විය. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුප්‍රකට අබ සරණයි කතාව කිව්වේ මෙහිදී ය.

විරෝධතාකරුවන් ඉස්ලාම් ආගමික පල්ලිය ඉදිරිපිටින් යන විට ගැටුමක පසුබිමක් පෙනෙන්නට තිබිණි. ඉන්පසු වෙඩි තැබීමක් ද සිදුවූ බවට සාක්ෂි තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙක් නැත. තිදෙනෙක් ඝාතනය වූහ. වෙළෙඳසැල් රැසක් ගිනි තැබිණි.

මේ අපරාධයට සැකපිට කිහිපදෙනකු, ආසන්න වශයෙන් 11 දෙනකු පමණ අත්අඩංගුවට ගැනිණි. එවකට කළුතර දිසාව බාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන්ගේ නියෝග මත පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි. ඊට අදාළ බී වාර්තාව සකස් කරමින් තිබෙන අවස්ථාවේ පැමිණි නියෝගයකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් එම පිරිස නිදහස් කෙරිණි. ඔවුන් ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිසක් වූහ. නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් මේ පිළිබඳව පොලිස් සටහන් යෙදුවේය. පසුව ඒ පිළිබඳ ඔහුගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ද සටහන් කරගත් බව වාර්තා විය.

මේ සිදුවීම් සමග එහි විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ආගමික නායකයන්, ශිරාස් නූර්දීන්, අලි සබ්රි, හිජාස් හිස්බුල්ලා වැනි නීතිඥවරු, එන්.එම්.අමීන් වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු එහි සිටියහ. තවත් විශේෂ අයෙක් එහි විය. ඒ සුරේෂ් සලෙයි ය. එවකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ද එහි විය.

මෙහිදී සෘජුව අදහස් දක්වමින් හිජාස් හිස්බුල්ලා චෝදනා කරන්නේ දර්ගා නගරයේ මේ ගැටුම පිටුපස බුද්ධි අංශ සිටින බවටයි. මේ ප්‍රකාශයට දැඩිව විරෝධය පළ කළ සලෙයි, හිජාස් හිස්බුල්ලාව අදාළ රැස්වීමෙන් පිටමං කිරීමට ද කටයුතු කළේය.
මෙතැනින් සිදුවීම නැවතුණේ නැත. මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩ ගිනි තැබිණි. විවිධ ගැටුම් මතු කෙරිණි.
2015 ජනාධිපතිවරණයට පෙර කාලය
මතක තබාගන්න, ඒ 2014 ජුනි මාසයයි. 2015 ජනවාරියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළේ මේ පසුබිමේ ය.

ඇතැමුන් නොසිතූ ලෙස 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන දිනුවේය. ඒ රාත්‍රියේ මහින්ද රාජපක්ෂ බලහත්කාරයෙන් ජනාධිපති ධුරයේ සිටීමේ කුමන්ත්‍රණයක් දියත් විය. ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු සියල්ල සිටියදී ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයේ තීන්දුව අවතක්සේරු කරමින් සැලසුම් සැකසිණි. එහෙත් එවකට පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මෙන්ම එවකට නීතිපති යුවන්ජන විජේතිලක ද මේ සැලසුමට දැඩි ලෙස විරෝධය දැක්වූහ. එසේ නොවන්නට තත්ත්වය දරුණු වන්නට ඉඩ තිබිණි.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කෙරුණද, විවිධ හේතු නිසා ඒවා යටපත් විය. ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම වැළකුණේ රනිල් වික්‍රමසිංහගේ ද මැදිහත්වීමෙන් බව වාර්තා විය.

2015 ජනවාරි 26 වැනිදා ජනාධිපතිවරණයට දින 02කට පෙර, එනම් ජනවාරි 24 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. මේ ප්‍රගීත් එක්නැලිගොඩ ය, රාජපක්ෂ පවුල් ගස ලිව්වේ, ඇන්දේ. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එහි තීරණාත්මක බලපෑමක් ද විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුත්, හිටපු නීතිපති මොහාන් පීරිස් වැනි අයත් කිව්වේ එක්නැලිගොඩ අතුරුදන් වී නැති බවත්, ඔහු විදේශ රටක ජීවත් වන බවත් ය. අධිකරණයට කැඳවීමෙන් පසු ඔවුන් කිව්වේ මිතුරෙක් කිව්වා වැනි කතා පමණි. ඒ කතාවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් වූයේ නැත.
මේ අතරවාරයේ 2015 ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කළ අපරාධ පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කෙරිණි. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ය.

මෙහි එක් විමර්ශනයක් ලෙස ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙද්දී දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරිණි. එහිදී අනාවරණය වූයේ මීට බුද්ධි අංශ සම්බන්ධතාවක් ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු විමර්ශනයට කළ උත්සාහයන් එවකට යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ සුරේෂ් සලෙයි විසින් වළක්වාලීය.

එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ පිළිබඳව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අධිකරණයෙන් සුරේස් සලෙයි කැඳවීය. ඔහු ආවේය. අධිකරණයෙන් ඔහුට අවවාද කළේ විමර්ශනවලට සහයෝගය ලබාදෙන ලෙසයි. එහෙත් ඔහු එවැනි සහයෝගයක් දුන්නේ නැත. නැවත සලෙයි කැඳවිණි. මෙසේ ඉදිරියට යන විට අලු‍ත් පිටපතක් එළියට ආවේය.
ඒ, එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු යන්නයි.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක විය. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළිවෙමින් තිබියදී ය, බුද්ධි අංශය මේ කඩිනම් f‍මහෙයුම ක්‍රියාත්මක කළේ. එහි අරමුණ වූයේ ප‍්‍රගීත් එල්ටීටීඊකාරයකු බවට මතයක් සමාජගත කිරීම ය. ඒ හරහාිඕකව උස්සන්නමයි ඕනෙ, ඕකට හොඳ වැඩේ’ කියන පද ටික ජනතාව ලවා ම කියවා ගැනීම බුද්ධි අංශ වල ඉලක්කය විය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් මිනීමැරුම් සාධාරණීකරණය කරන්නට සැදී පැහැදී සිටි පරාජිත, එහෙත් යහපාලන ආණ්ඩුවෙන් පින ඵල දුන් ඇතැම් ඇමැතිවරු ද ඒ කුමන්ත‍්‍රණයට තමන්ට හැකි උපරිමයෙන් දායක වෙමින් සිටියහ. ඇතැම් මාධ්‍යවේදීන් කිව්වේ ප‍්‍රගීත් මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ නැති බවත්, ඒ නිසා ඔහු මාධ්‍යවේදියකු නොවන බවත් ය. ඒත් සැලසුම අසාර්ථක විය.

රජයේ ආයතන 10ක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් හෝ කර නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊයෙන් මුදල් ලබා ගත් බවත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සඟවන්නට උදව් කළ බවත් ඇතුළු බරපතළ චෝදනා රැසක් යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රසිද්ධ කෙරිණි. ඒ අතරවාරයේ මේ සිද්ධියට සම්බන්ධ ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ ලිපිගොනු සඟවන්නට ද ඔවුහු සෑහෙන උත්සාහයක් දැරූහ.

මේ සියල්ල සමග ය, 2016දී සුරේෂ් සලෙයි යුද හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කරන ලෙස එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට බලපෑම් ආවේ. ඒ අනුව 2016 නොවැම්බර් මාසයේදී ඔහු ඉවත් කෙරිණි. ඉන්පසු 2016 දෙසැම්බර් 01 වැනිදා සුරේෂ් සලෙයි මැලේසියාවට ගියේය.

2017 නොවැම්බර් 04 වැනිදා ඔහු යළිත් ලංකාවට ආවේය. 2017 නොවැම්බර් 17 වැනිදා ඔහු යළිත් ලංකාවෙන් මැලේසියාවට ගියේය.

2018 පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විණි. එහිදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණ ඉදිරියට ආවේය. ඊට මාසයකට පසු, 2018 මාර්තු 04 සිට 06 දක්වා මහනුවර, දිගන මුස්ලිම් ප්‍රජාවට පහරදීම් යළිත් සිදු විය. එහිදී වෙළෙඳසැල් ගිනිබත් කෙරිණි. පොලිසිය ඒවාට ඉඩදී බලා සිටි බවටත්, බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සහ යතුරු පැදි පොලිසිය අතරින් නිදහසේ එහෙ-මෙහෙ ගිය බවටත් වාර්තා කෙරිණි. එම පහරදීම්වලට ආරක්ෂක අංශ සහාය ලැබුණු බව ප්‍රකට විය.

මේ අතර 2018 මාර්තු මාසයේ අවසානයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ කුමන්ත්‍රණයක් දියත් විය. සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් දිනපතා උදේ-හවස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසෙමින් කිව්වේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර, මහින්ද රාජපක්ෂ ඒ තැනට පත්කරන ලෙසයි. මෛත්‍රී ද ඒ වැඩේට සිටියේ කැමැත්තෙන් ය.

එහෙත් මේ වෙලාවේ එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පිරිසක් ද මේ වැඩේට එකහෙළා ම විරුද්ධ වූහ. ඒ විරෝධතාව නොවන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද අගමැති කරන්නේ 2018 මාර්තු මාසයේදී ය. වැඩේ හරි නොගියද, වැඩේ අකුළාගත්තේ නැත. වැඩේ කල් දැමිණි.

ඒ අතරවාරයේ හදිසියේ නාමල් කුමාර කෙනකු මතු වූ අතර, ඔහු කිව්වේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවයි. ඒ පිටුපස එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇති බව ද මේ නාමල් කුමාර කිව්වේය. එහෙත් අවසානයට විමර්ශන මගින් තහවුරු වූයේත්, අධිකරණයට කරුණු දැක්වූයේත් සහකාර පොලිස් අධිකාරිවරයකු ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව පමණි. නාමල් කුමාර පසුව දිගින්-දිගටම තමන්ගේ කොන්ත්‍රාත්තුව කුමක්ද යන්න අනාවරණය වන ආකාරයට වැඩ කළේය.

බලය නොමැති, අමාරුම කාලය ආවේය. කලබලෙන් 2018 ඔක්තෝබර් 26 වැනිදා සැලසුම් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සිදු විය. නීතිවිරෝධී ලෙෂ මහින්ද රාජපක්ෂ අගමැති දුරයට පත්කෙරිණි. පාර්ලිමේන්තුව ද ව්‍යවස්ථා විරෝධී ලෙස විසුරුවා හැරිණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ කුමන්ත්‍රණය යළිත් ආපසු හැරවීය. මාර්තු මාසයේදී ඔස්ටින් ප්‍රනාන්දුලා කී දේ සත්‍යය විය.

සුරේෂ් සලෙයි යළිත් මැලේසියාවේ සිට ලංකාවට ආවේ 2018 දෙසැම්බර් 10 වැනිදා ය. ඒ, ඹඛ 315 ගුවන්යානයෙන් ය. මාවනැල්ලේ බුදු පිළිම කැඩුවේ 2018 දෙසැම්බර් 26 – 28 දිනවල ය.

2019 ජනවාරි 03 වැනිදා සුරේෂ් සලෙයි යළිත් ඉන්දියාවේ, නවදිල්ලි නුවරට ගියේය. ඔහු එහෙ සිටියදී 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු විය. විමර්ශන ඇරඹිණි. 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් විය. නැවතත් සලෙයි ඉන්දියා ගොස් ආපසු ආවේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් සුරේෂ් සලෙයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ බවට පත්කළේය. එතැන සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය. සහරාන් පිළිබඳව දැනුවත්ව කිසිවක් නොකළ බවට චෝදනා එල්ල වූ නිලන්ත වෙනුවට, මේවා ගැන කාලයක් දැන සිටි සුරේෂ් සලෙයි පත්කෙරිණි.

මේ ලිව්වේ ඉතා කෙටියෙන් ය. දීර්ඝ කතා ලිවිය යුතුය. ඊට පෙර සුරේෂ් සලෙයිගේ පාස්කු ප්‍රහාර කතාව ලිවිය යුතුය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ සලෙයිගේ සාක්ෂියේ ඊට අදාළ වැදගත් කතා රැසක් තිබේ.
අපරාධ රාජ්‍යයේ ඊළඟ කොටස තෙක් මේ කොටස අවසන් ය.

  • ශාලික විමලසේන https://thetime.lk/?p=11102 

Image is a copilite cration.

Archive

Latest news

Related news