Thursday, November 21, 2024

ආචාර්ය රිචඩ් ඩෝකින්ස්ගේ විශිෂ්ටතම කෘති දෙකක්

විජයානන්ද ජයවීර

ආචාර්ය රිචඩ් ඩෝකින්ස් විසින් අපේ තාර්කික චින්තනය අවදි කරමින් රචිත “The God Delusion ” සහ චාල්ස් ඩාවින්ගේ අතිශයින් සරල එහෙත් අපේ දැනුම දැවැන්ත ඥානවිභාගීය පිම්මකින් ඔසවා තැබූ පරිණාමය පිළිබඳ ඒ අපූරු අදහස තහවුරු කරන The Greatest Show on the Earth යන පොත් දෙක සිංහලට පරිවර්තන කිරීම ගැන පරිවර්තක වෛද්ය වජිර පෙරේරා මහතාට මගේ ප්රණාමය හිමි වෙයි. ආචාර්ය ඩෝකින්ස්ගේ පොතක් මුල්ම වරට සිංහලට පරිවර්තනය වුණේ මීට එකොළොස් වසරකට පෙර 2013 දී යි. සාමාන්ය ජනතාවගේ විද්යා දැනුම පරිපෝෂණය කිරීම සඳහා Magic of Reality නමින් ඩෝකින්ස් ලියා පළ කළ ඒ පොත “ඇත්තක අරුමය” යන නමින් සිංහලට පරිවර්තනය කළේ මම යි. ඒනිසා ඩෝකින්ස්ගේ තවත් වැදගත් පොත් දෙකක් සිංහල පාඨකයන්ට කියැවීමට ඉඩ සැලසීම ගැන වෛද්ය වජිර පෙරේරා මහතාට නැවතත් හෘදයංගම ව ස්තුති කිරීම වටී.

“දේව මායාව”

අද අපි හඳුන්වා දෙන පරිවර්තන දෙක “දේව මායාව” යනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇති God Delusion, සහ “මිහිමඬලේ අසිරිමත් ම දර්ශනය” යනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇති The Greatest Show on the Earth යන පොත් දෙක ආචාර්ය ඩෝකින්ස්ගේ විශිෂ්ටතම කෘති දෙකක් ලෙස හැඳින්විය හැකියි. මේ පොත් දෙක ම එකවර පරිවර්තනය කොට එක්වර ම ජනගත කිරීම ඉතා වැදගත් කාරණයක්. ඊට හේතුව මේ පොත් දෙක අතර ඇති අවියෝජනීය සම්බන්ධයයි. The Greatest Show on the Earth හෙවත් “මිහිමත විශිෂ්ටතම සංදර්ශනය” යන පොතෙන් ඩෝකින්ස් කරන්නේ ජෛව පරිණාමය යනු හුදෙක් ඇතැම් අය කියන අන්දමට “හුදු වාදයක් නැත්නම් තියරියක් පමණයි” යන්න ප්රතික්ෂේප කරමින් එය විශ්වාසදායක සාක්ෂිවලින් තහවුරු කළ විද්යාත්මක සත්යයක් බව නිසැක ව ම ඒත්තු යන අන්දමට අපට පෙන්වා දීමයි. The God Delusion පොතෙන් ඩෝකින්ස් කරන්නේ ප්රබල සාක්ෂිවලින් මොනවට තහවුරු කළ හැකි එකී ජෛව පරිණාමය නමැති විද්යාත්මක සත්යය මගින් සියලු ජීවීන්ගේ සම්භවය කදිමට තේරුම් ගත හැකිව තිබිය දී, දෙවියන් නමැති මැවුම් කරුවෙකුගේ පැවැත්ම සහ ඒ දෙවියන් විසින් මිනිසා ප්රමුඛ ජීවීන් මැවී යැ’යි ඇදහීම මෝහයෙන් මුලා වීමක් බව පෙන්වා දීමයි. එනිසා මේ පෙත් දෙක එකිනෙකට වෙනස් අරමුණු පාදක කර ගත්තත් ඒ දෙකෙන් ම ඉදිරිපත් වන පරිණාමය පිළිබඳ ඥානවිභාගීය දැක්ම අනොන්ය වසයෙන් ප්රතිපොෂණය වන විද්යාත්මක යථාර්ථයක්.

ඩෝකින්ස්ගේ වචන වලින් පැවසුවොත් “පරිණාමය කිසිම විටක ඔප්පු කර නැත” යන ඇතමුන්ගේ කියමන සම්බන්ධයෙන් කිව්වොත් ඔවුන් එහි දී ඔප්පු කිරීමක් ගැන තදින් ම අවධාරණය කරන්නේ ‘තොපි විශ්වාස කළ නොහැකි යැ’යි තර්ජනය කොට විද්යාඥයින් බිය ගැන්වීමටයි. ඒ ගැන ඩෝකින්ස් මෙසේ ද කියයි. “ ඇතැම් බලපුලුවන්කාර දාර්ශනිකයන් අපට කියන අන්දමට විද්යාවේ එන කිසිවක් අපට ඔප්පු කළ නො හැකිය. එහෙත් ඒ අතර ම ගණිතඥයන්ට දේවල් ඔප්පු කළ හැකියැ’යි ද ඔවුහු කියති. ඒ නිසා ඔප්පු කිරීම යනු ගණිතඥයින්ගේ භුක්තියට හිමි දෙයකි. එම මතවාදීන්ට අනුව විද්යාඥයින්ට කළ හැකි හොඳම දෙය තමන් කොයි තරම් වැරෙන් උත්සාහ කළේ ද යන්න පෙන්වා දෙමින් දේවල් ඔප්පු නො කිරීමට අසමත් වීමයි”. එහෙත් පොදු ජනයාගේ විද්යාවබෝධය පිළිබඳ මහාචාර්යවරයා ලෙස ඔක්ස්ෆර්ඩ් සරසවියේ දිගු කලක් සේවය කළ ඩෝකින්ස් සිය “මිහිමත විශිෂ්ටතම සංදර්ශනය” කෘතියෙන් පරිණාමය සහ එය සිදුවන ආකාරය සැක සංකා විරහිත ව සක්සුදක් සේ ඔප්පු කර දක්වයි.

“දේව මායාව” මුල් පොත The God Delusion මුලින් ම පළ වූයේ 2006 දී. ඒ පොත ලිවීමට හේතු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිටු පා ජෝර්ජ් බුෂ් (කනිෂ්ට) ජනාධිපතිවරයා 2003 මැයි 20 දා ඉරාකය ආක්රමණය කරමින් තමන් එසේ කළේ දෙවියන් වහන්සේගේ විධානයට අනුව යැයි කියා සිටීම නිසා එම මුසාව එළිදරව් කරමින් නැති දෙවියෙකුට එසේ කළ නොහැකි බව පෙන්වා දීමට යයි ඩෝකින්ස් වරක් පැවසීය එතෙක් මෙතෙක් The God Delusion පොත නිල වසයෙන් භාෂා තිස් පහකට පරිවර්තනය වී තිබෙනවා. Matt Dillahunty සමඟ 2016 දී ඩෝකින්ස් කළ සම්මුඛ සාකච්ඡාවක දී පැවසූ අන්දමට මෙම පොතේ අනවසර අරාබි පරිවර්තනයක් සෞදි අරාබියේ පමණක් මිලියන 3කට අධික වාරයක් බාගත කර තිබෙනවා.

ආචාර්ය ඩෝකින්ස් ප්රකාශිත අදේවවාදියෙක්. “දේව මායාව” කෘතියෙන් ඔහු මූලික ව ම කරන්නේ දෙවියන් විසින් ලෝකය නිර්මාණ කරන ලදැයි අදහන දේව නිර්මාණවාදී ආගමික විශ්වාසයේ පදනමට ම අභියෝග කිරීමයි. දේවවාදී විශ්වාසවලට අභියෝග කරන සහ ලෝකය පිළිබඳ ලෞකික, විද්යාත්මක දැක්මක් ප්රවර්ධනය කරන ප්රධාන තර්ක කිහිපයක් ඔහු සිය කෘතියෙන් ඉදිරිපත් කරයි. ඒවා මෙසේ ලුහුඬින් දැක්විය හැකියි.

1. දෙවියන් පිළිබඳ උපකල්පනය සහ එහි අශඛ්යතාව: අද්භූත නිර්මාතෘවරයෙකු සිටින බවට යෝජනා කරමින් ම “දෙවියන් පිළිබඳ උපකල්පනය” ගැන ප්රශ්න කිරීමට ඔහු අප පොලඹවයි. ඩෝකින්ස් තර්ක කරන්නේ එවැනි සංකීර්ණ ජීවියෙකුගේ පැවැත්ම අතිශයින් අභව්ය බවයි, විශේෂයෙන් ඒ සම්බන්ධ ආනුභවික සාක්ෂි නොමැතිකම අවධාරණය කරන ඔහු පරිණාමය වැනි ස්වාභාවික ක්රියාවලින් මගින් විශ්වයේ සංකීර්ණත්වය වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි බව පෙන්වා දෙයි.

2. ආගම සහ විද්යාව: ඩෝකින්ස් ආගම සහ විද්යාව අතර ප්රතිවිරෝධතා දක්වයි, විද්යාව සාක්ෂි සහ නව තොරතුරු වලට අනුවර්තනය වීමේ හැකියාව මත රඳා පවතින බව අවධාරණය කරන ඔහු ආගම බොහෝ විට එහි මූල ධාර්මික ඉගැන්වීම් අභියෝගයට ලක් කරන සාක්ෂි කිසිදු බුද්ධිගෝචර තර්කයකින් තොරව ප්රතික්ෂේප කරයි හෝ නො සලකා හරියි. ආගමික විශ්වාසය යනු ගුණධර්මයක් නොව තාර්කික චින්තනයෙන් බැහැර වීමක් බව ඩෝකින්ස් පෙන්වා දෙයි.

3. ආගමට එරෙහි තර්ක: “දේව මායාව” පොත දෙවියන්ගේ පැවැත්මට පක්ෂව ගෙන එන විවිධ තර්ක නිර්දය ලෙස විමර්ශනයට ලක් කරයි. සාමාන්යයෙන් දේව නිර්මාණ වාදයට ආරෝපණය කරනු ලබන Intelligent Design බුද්ධිමත් සැලැස්ම සහ මිනිසාගේ සදාචාරාත්මක නැඹුරුව වැනි තර්ක වල දෝෂ සහිත බව පෙන්වා දෙන ඩෝකින්ස් ඒ වෙනුවට ස්වභාවිකවරණය මගින් සිදුවන පරිණාමය වැනි ස්වාභාවික පැහැදිලි කිරීම් ඊට වඩා විශ්වාසදායක ලෙස පිළිගත හැකි බව පෙන්වා දෙයි. (ඩෝකින්ස් 1986 දී ලියා පළ කළ The Blind Watch Makers නම් කෘතිය මුළුමනින් ම කැප කර තිබුණේ දේව හස්තයකින් තොරව අපූරු මෝස්තර සහිත ලෝකයක් සැලසුම් කළ නො හැකිය යන තර්කය නිෂේධනය කිරීමටයි)

4. ආගමේ ඍණාත්මක බලපෑම්: ආගම් විසින් භේදකාරී නිකාය වාදය පෝෂණය කිරීම, විද්යාත්මක ප්රගතියට බාධා කිරීම සහ හානිකර සමාජ භාවිතයන් සාධාරණීකරණය කිරීම වැනි ක්රියා මගින් දේව නිර්මාණ වාදයෙන් ඇතිවෙන හානිකර බලපෑම් ඔහු සාකච්ඡා කරයි. ළමයින්ට ආගමික විශ්වාස ඉගැන්වීම ද ඔහු තරයේ විවේචනය කරයි.

5. ආගමෙන් තොර සදාචාරය: සදාචාරයට ආගමික පදනමක් අවශ්ය නොවන බව ඩෝකින්ස් පෙන්වා දෙයි. සදාචාරාත්මක හැසිරීම, ඥාතිබන්ධුත්වය සහ අන්යෝන්ය පරාර්ථකාමිත්වය වැනි ගතිගුණ පරිණාමීය ක්රියාවලියේ නිෂ්පාදනයක් බවත්, සංවේදනය සහ සබුද්ධික හේතු මත ආගමකින් තොරව මිනිසුන්ට තමන්ගේ ම සදාචාරාත්මක රාමුවක් වර්ධනය කළ හැකි බවත් ඩෝකින්ස් පෙන්වා දෙයි..

6. අදේවවාදය සහ ජීවිතයේ අරුත: අදේවවාදීන්ට ආගමකින් තොරව ජීවිතයේ අර්ථය සහ අරමුණ සොයා ගත හැකි ආකාරය ද ඩෝකින්ස් මේ පොතෙන් ගවේෂණය කරයි. ඩෝකින්ස් යෝජනා කරන්නේ විශ්වය විද්යාත්මක ව අවබෝධ කර ගැනීම ආගමික පැහැදිලි කිරීම්වලට වඩා ගැඹුරු විස්මයක් සහ ප්රඥාවක් ලබා දෙන බවයි.

7. සම්ප්රදායික ආගමික ග්රන්ථ විවේචනය: නවීන ප්රමිතිවලට අනුව යල් පැන ගිය හෝ සදාචාරාත්මක නොවන අනනුකූලතා සහ සදාචාර ප්රතිපත්ති අඩංගු වීම ගැන ඩෝකින්ස් බයිබලය සහ අනෙකුත් ශුද්ධ ග්රන්ථ විවේචනය කරයි. මෙම ග්රන්ථවලින් නිර්දේශිත පාඨ සදාචාරය සඳහා නො වරදින මාර්ගෝපදේශ ලෙස නො සැලකිය යුතු බව ඔහු දේව මායාව කෘතියෙන් ඒත්තු යන ලෙස තර්ක කරයි.

පොතක් පමණක් නොවේ

“දේව මායාව” යනු පොතක් පමණක් නොවේ; එය විද්යාව, දර්ශනය සහ දේවධර්මය යන ක්ෂේත්ර වෙත යන නිර්භීත ගමනකි. ආචාර්ය ඩෝකින්ස් අද්භූත නිර්මාණ කරුවෙකුගේ පැවැත්ම ප්රශ්න කිරීමට පරිණාමීය ජීව විද්යාව පිළිබඳ ඔහුගේ ප්රවීණත්වය භාවිතා කරයි. වෘත්තීය ජීව විද්යාඥයෙකු වන ඩෝකින්ස් ප්රථමයෙන් ම ගෝලීය මට්ටමෙන් අවධානයට ලක් වුණේ ඔහු 1976 දී ලියා පළ කළ Selfish Genes ( ආත්මාර්ථකාමී ජාන) නමැති කෘතියෙන්. “ද ගෝඩ් ඩිලූෂන්” හෙවත් “දේව මායාව” කියවිය යුතු ම පොතක් වන්නේ එහි බුද්ධිමය දෘඪතාවයි පමණක් නොව තේරුම් ගැනීමට පහසු එහි ඇති ප්රවේශ්යගෝචර (accessibility)බවයි. ඩෝකින්ස් ලියන්නේ සුපැහැදිලි බව, බුද්ධිය සහ ආනුභාවික සාක්ෂි සඳහා නො සැලෙන කැපවීමෙනි. සිය විශ්වාස පරීක්ෂා කර බැලීමටත්, විවෘත මනසකින් යුත් කතිකාවතක නිරත වීමටත්, මිථ්යා විශ්වාසවලට වඩා විද්යාවෙන් පැහැදිලි කරන විශ්වයේ සුන්දරත්වය සහ සංකීර්ණත්වය ගවේෂණය කිරීමටත් ඩෝකින්ස් දේව මායාව කෘතියෙන් සෑම පසුබිමක ම පාඨකයින් පොලඹවයි.

අදේවවාදීන්ට මෙන් ම දේවවාදීන්ට ද “දේව මායාව” පොත සිතීමට, ප්රශ්න කිරීමට සහ තේරුම් ගැනීමට කරන කැඳවීමකි. එය මානව කුතුහලය සැමරීමක් වන අතර ආගමික මූලධර්මවල ප්රශ්න නො කොට ඇදහිය යුතු අධිකාරවාදයට අභියෝගයකි. ඔබ ඩෝකින්ස් සමඟ එකඟ වුවත් නො වූවත්, “ද ගෝඩ් ඩිලූෂන්” හෙවත් දේව මායාව ඔබේ මනස උත්තේජනය කිරීමටත් ඔබ ලෝකය දකින ආකාරය බොහෝ විට වෙනස් කිරීමටත් පොරොන්දු වෙයි.

මේ කෘති දෙකම පොදු ජනතාව අතර විද්යාත්මක අවබෝධය වැඩි කිරීමට දායක වෙතැ’යි අපේ ඉමහත් බලාපොරොත්තු වයි. විද්යාවත් තවත් ආගමක් යැයි අන්දභුත කතා තෙපලන අයට විද්යාත්මක කරම වේදය හා ආගමික ඇදහීම අතර ඇති ව්යුහාත්මක වෙනස මේ කෘති දෙකෙන් ම කදිමට පැහැදිළි කරයි. ඒ ඒ කාලවල වටිනාකම්, හොඳ නරක, අයිතිවාසිකම් සහ යුතුකම්, සාධාරණය අසාධාරණය වැනි ආචාර ධාර්මික සහ දේශපාලන දර්ශන වාද විසින් ආමන්ත්රණය කරනු ලබන විවිධ විෂය කරුණු සම්බන්ධව විද්යාවට නියත නියාම නැති බව ඇත්ත නමුත් අනෙක් මිනිසුන්ට මෙන් ම විද්යාඥයන්ට ඒ සම්බන්ධ මත වාද තිබිය හැකිය. ඒ අනුව ගෝඩ් ඩිලුෂන් කෘතිය ලිවීමට ඩෝකින්ස් පෙලඹුණ එක් හේතුවක් වූයේ ලක්ෂ සංඛ්යාත ඉරාක ජනතාව පමණක් නොව හාර දහසකට වැඩි ඇමෙරිකානු තරුණයන්ට මරු කැඳවූ යුද්ධයක් දියත් කිරීම දේව බැල්මකින් ගත තීරණයක් බව ඇමෙරිකානු ජනතාවට ඒත්තු ගැන්වීමට ජෝජ් බුෂ් සටකපට ලෙස තැත් කළ බැවිනි. එවැනි ස9ටකදපට කම් එළිදරව් නොකර මග හරින විද්යාවකින් දර්ශන වාදයකින් කුමන පළක් ද? ජෝර්ජ් බුෂ් පමණක් නොව ආගමික ඇදහිලිවලට මුවාව බලය අත්පත් කර ගැනීමට හෝ තහවුරු කරගැනීමට තැත් කරන සියලු පාලකයන් සහ වෙන්ඩ පාලකයන් ගැන දැනුවත් වීමට පොදු ජනතාවගේ විද්යාවබෝධය වර්ධනය කිරීම නියම පින්කමකි.

විජයානන්ද ජයවීර

01/09/2024

මුහුණු පොතිනි.

Archive

Latest news

Related news