Friday, May 3, 2024

සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ඡායාරූපය: හ්‍රී ලංකාව ද ඇතුලු රටවල් 70 සමරිසි සබඳතා තවමත් නීතියෙන් තහනම්ය.

සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්‍යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්‍යාවක් ලෙස සැලකුනේ නැත. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හිරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය. රතු ඉන්දියානුවන්  අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියෙකු වූ වර්ජිල් සමරිසියන් අතර තිබූ ආදරය පිලිබඳ කවි ලියුවේය. 

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් ( කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කලේය. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කල බැවිනි. ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි.ඒ සඳහා දඞුවම් කල යුතුය.  ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා  හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන්  මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරයි.

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ. 

සමරිසියනට ආගමික  විරෝධය

ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම විරෝධයක් මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයෙකු වූ තෝමස් ඇක්වයිනාස් සම ලිංගිකතාව ස්වභාව ධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් ලෙස දේශනා කලේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි.  ස්පාඤ්ඤ සංවික්‍ෂණ සමයේදී (Spanish Inquisition  ) සමරිසියන් ලෙස සැක කල ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්සා මරා දමන ලදි.
ඔස්කා වයිල්ඩ්

සමරිසි ඔස්කා වයිල්ඩ් සිරගෙට

එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුල සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට නියම විය.  1871 දී එංගලන්තයේ වේදිකා නළුවන් දෙදෙනෙකු වූ තෝමස් බෝල්ටන් සහ විලියම් පාර්ක්ට එදිරිව සමලිංගික චෝදනා ගොනු කරන ලදි. කෙසේ නමුත් එම නඩුවේදී චෝදනා සනාත කිරීමට සාක්‍ෂි නොවූයෙන් ඔවුන් දෙදෙනා නිදහස්  කරන ලදි. වික්ටෝ‍රියානු එංගලන්තය සමලිංගිකත්වය භයානක අපරාධයක් ලෙස නම් කරන ලදි.

බුදු සමය සහ සමරිසිබව

බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය.  කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය.

පන්සලේ (සමරිසි) සෙල්ලම

අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල්  යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක්  විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී  ඇත. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි.
ලිංගික දිශානතිය (Sexual Orientation)  සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන , හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ව ලෝකයේද සමකාමීත්වය වාර්තා වී ඇත.

1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදි. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදි. 

ජර්මානු මනෝ වෛද්‍යවරයෙකු වූ රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං 1840 දී සමලිංගිකත්වය සහ ස්වයං වින්දනය ලිංගික අපගාමී චර්‍යාවන් ලෙස නම් කලේය. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිංගේ බලපෑම හේතු කාරක විය.
මොනලීසා සිතුවම් කළ ලියනාඩෝ ඩා වින්සි ද සමරිසයකු විය.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ සමකාමිත්වය

1905 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman  මගින් සමලිංගිකත්වය විග්‍රහ කලේය.  වික්ටෝ‍රියානු සංස්කෘතිය තුල උපත ලබා එම සංස්කෘතිය  තුල ජීවත් වූ ෆ්‍රොයිඩ් මනෝ වෛද්‍ය රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං අනුව යමින් සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවක් නිසා පැන නගින බව කීවේය.එහෙත් සමකාමී බව මානසික ව්‍යාධියක් බව ෆ්‍රොයිඩ් කීවේ නැත. එසේම යුරෝපයේ සමකාමීන් පෙළූ නීති වලට ෆ්‍රොයිඩ් එකඟ නොවීය.  සමකාමීත්වය මනෝ ලිංගික වර්ධනයේදී (Psycho-sexual Development) මතු වන අවහිරතාවක් නිසා පැන නගින බව ෆ්‍රොයිඩ් විශ්වාස කලේය.  එසේම ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු වූ  මනෝ වෛද්‍ය හැරී ස්ටක් සුලිවන් සමකාමියෙකු විය.
ලිංගිකත්වය පිළිබඳ පර්‍යේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් කිංසි 1943 – 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male  / Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක් එළි දක්වන ලදි.  කින්සිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමකාමියෙකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමටද කින්සි විරුද්ධ විය. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් පුරා සිරගත කරන ලද විශම ලිංගික සිරකරුවන් තුල ඇතැම් විට සමලිංක රුචිය වර්ධනය වූ අවස්ථාවන් ඔහු පෙන්වා දුන්නේය. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පරියේෂණ ඉවහල් විය.
1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ  කාර්‍ය සංග්‍රහයේ (The Diagnostic and Statistical Manual of Mental Disorders -DSM ) සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් ලෙස නම් කරන ලදි. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙකු වූ රොනල්ඩ් බේයර් ගේ පරියේෂණ සහ පත්‍රිකා නිසා සමලිංගිකත්වය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව බැලීමට ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය යොමු විය. මේ නිසා 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදි. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදි.
සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ.
 සමරිසිකම මානව වර්ගයා තරම් පැරණිය.
සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව ( lesbian, gay, bisexual or transgender -LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්‍යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ , යේමනයේ සමලිංගිකයන් මරණ දඞුවමට යටත් වෙති එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව  ඇතුළු රටවල් 77 තුල (ශ්‍රී ලංකාවද ඇතුළුව) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ.
සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia)  ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී  අවිඥානික සමකාමී ආශය  පිළිබඳව සඳහන් කොට ඇත.තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය.
නිදහස් මතධාරී ප්‍රන්ස කොමියුනිස්ට්වරියක මෙන්ම ලෙනින් ගේ හිතවතියකද වූ ඉනේසා අර්මාන්ඩ් සෝවියට් දේශයේ ලිංගික නිදහස පිලිබඳව ක්‍රියා කල නමුදු සමකාමීන් ගේ අයිතිවාසිකම් ගැන ඇය අමතක කලාය. සෝවියට් දේශය තුල සමරිසියන්ට නිදහසක් නොවීය. ඔවුන් ගේ ජීවිත බොහෝ විට අවසන් වූයේ පුනරුත්ථාපන කඳවුරු වලය. ස්ටාලින් යුගයේදී සමලිංගික චෝදනා සඳහා දඞුවම වූයේ වසර පහකට ශ්‍රම කඳවුරකට යැවීමයි. එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුරු වලට ගාල්  කරන ලදි.
1791 දී ප්‍රන්ස විප්ලවයෙන් පසු සමලිංගිකයන්ට එරෙහිව තිබූ නීති ඉවත් කරන ලදි. එහෙත් නැපොලියානු යුද සමයේදී යලිත් වරක් සමලිංගිකයන්ට එරෙහිව නීති සම්පාදනය විය. ෆැන්කෝගේ පාලන සමයේදී ස්පාඤ්ඤයේ සමරිසියන්ට දැඩි දඞුවම් පමුනුවන ලදි. යුරෝපයේ තිබූ සමරිසි විරෝධය අවසන් වීම සනිටුහන් වන්නේ 1989දී ඩෙන්මාර්කය විසින් සමලිංගික සබඳතා නීතිගත කිරීමෙන් පසුවය. මේ වන විට බොහෝ යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් විසින් සමලිංගිකත්වය නීතිගත කොට ඇත.
දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම  දඩුවම් ලැබියහැකි වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ 1886 දීය. සමලිංගික සම්බන්ධතා “ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්” සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන මෙම නීතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද අතර මේ වන විට බ්‍රිතාන්‍ය සමලිංගික විවාහය නීතිගතකර තිබේ.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකල යුතු බව ජාතික මානව හිමිකම් කොමිසමේ  සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. මේ අතර සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව තමන් ඉවත දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ.
කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියා සිතීමේ කාලය එලැඹී තිබේ.

Archive

Latest news

Related news