Friday, December 2, 2022

පැරකුම් යුගයක් උදා කිරීම යනු ගොවියන් වියගහට බැඳ තබන කපටි දේශපාලනයකි- විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

මම වෘත්තියන් වෛද්‍ය විශේෂඥයෙකු වෙමි. එනමුත් මේ ලිපිය ලංකාවේ ගොවිතැන ගැනයි. මෙයට පෙර මා වැනි වෛද්‍ය විශේෂඥවරුන් ගොවිතැන ගැන විශේෂඥ මත පලකර රටත්, කෘෂිකර්මයත්, ගොවි ජනතාවත් අනතුරේ හෙලා කල විපැත්තිය මතකයේ තිබෙන තුරු කිසිම ශ්‍රී ලාංකිකයෙකු වෛද්‍යවරයෙකු ගෙන් ගොවිතැන ගැන උපදෙස් නොගන්නා බව මම දනිමි.

මුග්දම තීන්දුව: කාබනික ගොවිතැන

මා, එදින මෙන්ම අද ද විශ්වාස කරන්නේ  මෑත යුගයේ රාජ්‍ය නායකයෙකු විසින් ගනු ලැබූ මුග්ධම තීරණය ලෙස, එක් රැයින් කාබනික ගොවිතැන හඳුන්වාදීම, ලක් ඉතිහාසයේ කළු අකුරින් ලියැවෙනු ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික පොහොර වියරුව මේ අතීතකාමයේ මස්තකප්‍රාප්ත වීමක් මිස, අහම්බයක් නොවේ. මෙයට ආවැඩුවේ රාවණාවාදයෙන්, නාථ දේවවාදයෙන්, නලින්වාදයෙන්, අමරසේකරවාදයෙන්, මෙරට බුදුන්වාදයෙන්, ජාත්‍යන්තර කුමන්ත්‍රණවාදයෙන්  හිස් කුරුවල් කරගත් මධ්‍යම පංතික උගතුන් හා යතිවරුන් පිරිසක් මිසක්, කෘෂි විද්‍යාඥයන් හෝ ගොවියන් නොවේ.

නොදුටු මානය

කෙසේ වෙතත් ලංකාවේ ගොවිතැන ගැන, විශේෂයෙන්ම වී ගොවිතැන ගැන විමසීමක් කිරීමට මා පෙළඹුවේ කාබනික පොහොර භාවිතය ගැන එදා ඇතිවූ සාකච්ඡාවයි. ලංකාවේ ගොවිතැන ගැන ඇති විද්‍යාත්මක දත්ත පිරික්සීමේදී මට වැටහී ගිය කරුණු වලින් මම කම්පාවට පත්වුවෙමි. ලංකාවේ ගොවියන්, කපටි දේශපාලඥයන් විසින් සදාකාලික දුගී බවේ තබා තම ඡන්ද පදනම පළල් කර ගැනීමට පවත්වා ගෙන යනු ලබන දේශපාලන මෙවලමක් බව මට වැටහී ගියේය. මේ පිළිබඳව ඇති විද්‍යාත්මක දත්ත මත පදනම්ව ලියූ මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ලංකාවේ ගොවිතැන ගොඩගත යුතු අකාරය ගැන මතයක් ප්‍රකාශ කිරීම නොවේ. මෙයින් කෙරෙන්නේ ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන ගැන මෙතෙක් නොදුටු මානයක් පෙන්වා, ප්‍රශ්න රැසක් මතු කොට, ඒ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම කියවන්නන්ට හා වගකිව යුත්තන්ට භාර කිරීමයි.

ගොවිතැනේ අතීතකාමී ආශ්වාදය

මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමු වරට ජනපතිවරණයට තරඟ කරන විට රුපවාහිනියේ පුන පුනා පෙන්වූ දැන්වීමක් වුයේ එතුමා නියරක් උඩින් ඇවිද ගොස් කුඹුරක් හරහා ගමන් කරන අයුරුයි. එමගින් වී ගොවිතැන කරන්නේ යැයි විශ්වාස කරන පවුලකින් ජනපති පුටුවට තරඟ කිරීමේ වාසිය එතුමා අත්කර ගත්තේය. ඇත්ත වශයෙන්ම එතුමාගේ මුල්ගම පිහිටි ගිරුවා පත්තුවේ ප්‍රධාන ආහාරය වුයේ බත් නොව, රාජපක්ෂ පවුලේ කුරහන් සාටකයට එම පාට ලබා දුන් කුරක්කන්ය.

ගොවියාගේ පුතා

එතුමාට විරුද්ධව තරඟ කල, ගොවි තරුණයන්ට බෙල්බොටම් ඇන්ද වීමට යෝජනා කල රනිල් වික්‍රමසිංහ මහතා, ගොවියන් බහුල දිස්ත්‍රික්ක වලින් පමණක් නොව, සමස්ත ඡන්දයෙන්ද පරාජය විය. මේ “ගොවි උපක්‍රමය”ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම මැතිවරණ වේදිකාවේදී පාවිච්චි කලේය. ජනපති අපේක්ෂකයෙකු ලෙස එතුමා මුල්වරට හඳුන්වා දුන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය පැවසුවේ “මේ ඉන්නේ ගොවියකුගේ පුතෙක්” යනුවෙනි. එම ජනපතිවරණයේදී එතුමා ගොවියෙකුගේ පුතෙකු වීම, මහින්ද පැරදවීමට බලපෑ එක් සාධකයක් විය. රනිල් වික්‍රමසිංහට වඩා ශුර දක්ෂිණාංශික දේශපාලඥයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන ජාතික වප් මඟුළක් පවත්වා, එක්සත් ජාතික පක්ෂයට ජාතික මුහුණුවරක් ලබා දුන්නේය.

ගොවිතැන දේශපාලන සාධකයක් ලෙස

මෙලෙසින් ලංකාවේ ගොවිතැන, විශේෂයෙන්ම වී ගොවිතැන දේශපාලනය සමඟ තදබල ලෙස බද්ධ වී තිබේ. මහා පරාක්‍රමබාහු රජු  “අහසින් වැටෙන එක් දිය බිඳුවකුදු ප්‍රයෝජනයට නොගෙන නිකරුණ   මුහුදට යන්නට නොදෙන්නෙමි” යැයි පැවසූ කියුම ලංකාවේ දේශපාලන වේදිකාවල විටින් විට ඇසේ. “මඩ සෝදගත්කල ගොවියා රජකමට සුදුසුය” කියා රොබට් නොක්ස් ලියු බව සැමට මතකය. මඩ සෝදා ගොවියන් රජුන් කරන බවට දේශපාලඥයන් වේදිකාවල මොර දෙයි. ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමා වැව් දහස් ගණනක් පිළිසකර කොට, නව වැව් තනා, ගොවි ජනපද ඇතිකළ නිසා, ඔහු පැරකුම් රජුගේ පුනරුත්පත්තියක් බව ලියු ලිපි මා කියවා ඇත.

අද තිබෙන අයුරින්ම වී ගොවිතැන රකින බවට පොරොන්දු වන, “දහසක් මහා වැව්” තනන, දේශපාලන ව්‍යපෘති වී ගොවියන් අතර පමණක් නොව, හදිසි ශාරීරික කෘත්‍යයකට හෝ කුඹුරකට නොබැසූ නාගරික සිංහලයන් අතරද අතිශයින් ජනප්‍රිය වේ. මෙයට හේතුව අපේ මුතුන් මිත්තන් බතින් රට අස්වද්දා, ලොවෙහි ප්‍රබලම රටක් බවට ලංකාව පත්කළ බවට ලංකාවේ අති බහුතරයක් වන සිංහල බෞධයයන් තුල ඇති විශ්වාසයයි. එදා දවස මෙන්ම අද දිනද වී ගොවිතැන සරුකර, බතින් රට ස්වයංපෝෂිත කොට, පිටරටටද සහල් අපනයනය කළහොත්, ලංකාව ලොවේ මුල්පෙළේ රටක් බවට පත්කළ හැකි බව මාද අයත්වන සිංහල බෞද්ධ මහා කුලකය තදින් විශ්වාස කරයි. වැවයි- දාගැබයි, ගමයි-පන්සලයි සංකල්පය අනුව යම් රජයක කාර්යක්ෂමතාවය මනින වැදගත් මිනුම් දණ්ඩක් වී ඇත්තේ තැනු වැව් සංඛ්‍යාවයි. පැවති එක් රජයක් “වැවක් තියා මාළු ටැංකියක්වත්  හැදුවේ නෑ” කීම එක් මැතිවරණයක ප්‍රබල සටන් පාඨයක් විය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික පොහොර වියරුව මේ අතීතකාමයේ මස්තකප්‍රාප්ත වීමක් මිස, අහම්බයක් නොවේ. මෙයට ආවැඩුවේ රාවණාවාදයෙන්, නාථ දේවවාදයෙන්, නලින්වාදයෙන්, අමරසේකරවාදයෙන්, මෙරට බුදුන්වාදයෙන්, ජාත්‍යන්තර කුමන්ත්‍රණවාදයෙන්  හිස් කුරුවල් කරගත් මධ්‍යම පංතික උගතුන් හා යතිවරුන් පිරිසක් මිසක්, කෘෂි විද්‍යාඥයන් හෝ ගොවියන් නොවේ.

ලොවෙහි වැඩිම ජනගහණ ඝනත්වයක් ඇති, අඩුම වගාකළ හැකි බිම් ප්‍රමාණක් ඇති, අඩුම ඵලදාවක් ඇති රටක, හිඟනුන්ව සිටින ගොවියන්ගේ පාත්තරයට හෙනහුරා  පාත්කලේ (අ)වියත්මග නියෝජනය කල නාගරික උගතුන්ය. අපේ ගොවිතැන අපේ මුතුන් මිත්තන් කල අන්දමටම ගොම පොහොර, කොළ අතු යොදා කලහොත් ලංකාවේ ආර්ථිකය ලොවෙහි මුල්තැනට පත්වී, වසවිස නැති ආහාර කෑම නිසා මිනිසුන් අඩුවෙන් මැරී, ලාංකිකයන්ගේ ආයු කාලය වැඩිවේ යැයි මේ මුග්ධයන් රැළ තවමත් විශ්වාස කරයි. මේ රැළට කුඹුරු වටේ මී ගස් වැවීමට යෝජනා කරන යතිවරුන්, ඌවේ ගස්වල හැදෙන මීපැණි, හෙරලි විකුණා දේශීය ආර්ථිකය ගොඩගැනීමට යෝජනා කරන ප්‍රගතිශීලි දේශපාලකයන්ද එක්වේ.  කිසිඳු විද්‍යාත්මක සාක්ෂියකින් තොරව මොර ගසන මේ “ගොවි බලකායේ” මත වෙනස් කිරීමට උත්සාහ ගැනීම නිෂ්ඵලය.

අනෙක් පසින් අද පවතින ගොවිතැන වෙනස් කිරීමට කථා කරන්නන් ගොවියාට බෙල්බොටම් ඇන්දවීමට හෝ කුඹුරුවල රෝස මල් වැවීමට පවසා අන් අයගේ විහිළුවට ලක්වේ. ඒ ඔවුන්ගේ තුල ඇත්තේ දුක් විඳින ගොවියන් ගැන ඇත්තේ අනුකම්පාවක් නොව අවඥා සහගත සිතිවිලි නිසාය. මේ අන්තවාදීන් දෙපිරිස ගැන අමතක කර, අප දැන් කල යුත්තේ ලංකාවේ කෘෂිකර්මය ගැන දැනට ඇති විද්‍යාත්මක තොරතුරු විමසා, විවෘත මනසකින් මධ්‍යස්ථව විමසා බලා, අලුතින් ගමනක් ගැන සිතීමය. අද ලංකාවේ ගොවියා හා ගොවිතැන ගැන ආර්ථික, සමාජ විද්‍යාත්මක, දේශපාලන සමස්ත විග්‍රහයක් සිදු කොට අද ගොවිතැන නිසා අද හිඟමනට වැටී ඇති අපේ ගොවියන් මේ වැටී ඇති  ඇති නරාවලින් ගොඩ ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමය.

වී ගොවීන් දේශපාලන මෙවලමක්ද?

2017 කෘෂිකාර් මික ගෘහ සංගණනය අනුව මිලියන 22ක් වන ලංකාවේ මුළු ජනගහණයෙන් තුනෙන් පංගුවකට වඩා එනම් මිලියන 8.1 ක් අයිති වෙන්නේ කෘෂිකර්මාන්තය මත යැපෙන පවුල්වලටය. කෘෂිකර්මයෙන් යැපෙන පවුල් වල ඡන්දදායකයන් අවම වශයෙන් මිලියන 5.8 කි. මෙයින් අදහස් වන්නේ මුළු ලංකාවේ ඡන්දදායකයන්  තුනෙන් පංගුවක් පමණ කෘෂිකාර්මික පවුල්වල සාමාජිකයන් බවයි. ලංකාවේ කපටි දේශපාලඥයන් සදා දුගී බවේ, අඳුරේ තබා ගෙන තම ඡන්ද මල්ල තර කර ගන්නේ මොවුන්ගෙනි. ලංකාවේ ගොවිතැනේ නියැලෙන පවුල් මිලියන 2.1 කි.ගොවියන් මිලියන 2.2කි. මෙයින් 36% එනම් ලක්ෂ 6.1 ක් වී ගොවිතැනේ යෙදී සිටියි. එළවලු වවන පිරිස 460,000 ක් පමණවේ. පලතුරු වවන්නන් උපරිම වශයෙන් සිටියේ 66,000 කි. තේ වතුවල  නියැලෙන පිරිස 365,000 ක්ද , රබර්  වතුවල නියැලෙන 55,000ක්ද,   පොල් වවන්නන් 167.000 ක්ද සිටී. ඉතිරි ගොවි පවුල් යැයි හඳුන්වන පිරිස වවන්නේ කුමක්දැයි පැහැදිලි නැත.

මේ පිරිස් අතුරින් සදා දිළින්දන්ව සිටින්නේ වී ගොවියන්ය. ඔවුන් තම අතට විටින් විට ලැබෙන සරු අස්වැන්නේ ආදායමද විවිධ හේතු නිසා කෙටි කලකින් නැතිකර ගනී. දුෂිත දේශපාලඥයන්, මේ අසරණ මිනිසුන් සදා අසරණ බවේ තබා, මඩ සෝදා ඔවුන් රජුන් කරන බවට පොරොන්දු වෙයි. හිඟන්නාගේ පාත්තරයට පාන් කැබැලි විසි කරන්නාසේ පොහොර සහනාධාරය, නියං සහනාධාරය, ගංවතුර සහනාධාරය, වල් අලි පාළු සහනාධාරය වැනි දේ මොවුන් වෙත විසිකර තම ඡන්ද පදනම පෝෂණය කිරීම මේ කපටින්ගේ දේශපාලන උපක්‍රමයයි.  දුගීන් බවට පත්වුණු ගොවියන් සියදිවි නසා ගැනීම, වල් අලි පහර නිසා මියයෑම, විෂ සහිත වතුර බී වකුගඩු නරක් කරගැනීම, දේශපාලන හයිය ගත් වී මුදලාලිලා ගොවීන්ගේ අස්වැන්න සූරා කෑම නිසා ඔවුන් දුප්පතුන් බවට පත්වීම නාගරික මධ්‍යම පංතියේ හිත් කම්පා කරවන සිදුවීම්ය. ගොවියන් ගැන සැබෑ කැක්කුමක් ඇති යැයි කියමින්, ඇතුම් සිංහල බෞධයන්ගේ උරුමයක් වන වී ගොවිතැන රැකීමට පොරොන්දු වන ඕනෑම කපටි, දුෂිත දේශපානඥයෙකුට ඡන්දය දීමට මේ මෝඩ නාගරික උගතුන්ද මැලි නොවෙයි. මේ මෝඩකමින් උපරිම ප්‍රයෝජන ගන්නේ කපටි දේශපාලනඥයින්ය. ගොවිතැන රැකීමට හැකි යැයි සිතන කපටින්ට ඡන්දය දීම හැරුණු කොට ගොවියන් දුගියන්ද, එසේ නම් ඔවුන් දුගියන් වුයේ වීමට හේතු කවරේද,මේ දුගී බව නැතිකළ හැක්කේ කෙසේද යන්න ගැන අපේ උගතුන් නම් නොසොයයි. ගැන කපටි දේශපාලඥයන් උනන්දු නොවන්නේ ගොවියන් දුගියන්ව සිටීම තම  පැවැත්ම තහවුරු කරන හෙයිනි.

ගොවිතැන ලංකාවේ ආර්ථිකයට කරන දායකත්වය කුමක්ද?

 2017 කෘෂිකාර්මික ගෘහ සංගණනය අනුව ලංකාවේ  මුළු ශ්‍රම බලකාය වන මිලියන 8න්  26% එසේත් නැත්නම් මිලියන 2.2 ගොවිතැනේ යෙදෙන්නන් වෙයි. ලංකාව කෘෂිකාර්මික රටක් කියන්නේ මේ අර්ථයෙන් විය යුතුය. 2019  මහ බැංකු අර්ථික හා සමාජ දත්ත වාර්තාව අනුව මේ සුවිශාල ශ්‍රමිකයන් පිරිස ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට කරන දායකත්වය 7% ක් පමණි. ඒ වී, තේ, පොල්, රබර්, එළවලු, කුළුබඩු ඇතුළු සියළු වගා වලිනි. ඉන්දියාවේ මෙය 17.7% ක්ද පකිස්ථානයේ 25% ක්ද බංගලාදේශයේ 15%ක්ද වේ. දළ දේශීය නිෂ්පාදිතයට(GDP ) කෘෂිකර්මාන්තය දායකවන ප්‍රතිශතය 1950 වසරේ  47% ක සිට 2019 වසර දක්වා 7% කට අඩුවී ඇත. මේ කරුණ සත්‍යයක්ව පැවතියදී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි තවමත් හදුන්වෙන්නේ ඇයිදැයි තේරුම් ගත නොහැක.

එම මහ බැංකු වාර්තාවටම අනුව මිලියන රුපියල් 698,000 ක් වූ මුළු කෘෂිකර්මාන්ත නිෂ්පාදිත ආදායමෙන් (GNI)  වී ගොවිතැනෙන් ලැබුණු ආදායම රුපියල් රුපියල් මිලියන 70,000 කි. එනම් ලංකාවේ මුළු ශ්‍රම බලකායෙන් 9%ක් නියුතු වන වී ගොවිතැනෙන් ලංකාවේ මුළු ජාතික නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 0.7% කි. අන් අයුරකින් කිවහොත් ලංකාවේ වැඩකරන මිනිසුන්ගෙන් 9%ක් දඟලන්නේ ලංකාවේ ජාතික ආදායමෙන් 0.9% ක් ලබාගැනීමටය. මෙය මොනතරම් මිනිස් ශ්‍රමය අපතේ හැරීමක්ද? වී ගොවිතැන තරම් ශ්‍රම ඵලදායිතාව අඩු තවත් රැකියාවක් ලංකාවේ තිබේදැයි සැක සහිතය.

වර්ග කිලෝ මීටරයකට මිනිසුන් 342 ක් සිටින ශ්‍රී ලංකාව ලෝකයේ ජනගහන ඝනත්වයෙන් ලෝකයේ රටවල් 235 ක් අතුරින් අප සිටින්නේ  40  වෙනි තැනය. මේ ලැයිස්තුවේ අප අසල සිටින යම් රටක් කෘෂිකර්මාන්තයෙන් තම රට දියුණු කිරීමට උත්සාහ කරන්නේ නම් එය දිළිඳු බවේ ගිලී පවතී. මුළු ලංකාවේම වගාකර ඇති බිම් ප්‍රමාණය අක්කර මිලියන 3.6 (හෙක්ටෙයාර් මිලියන 1.45) කි. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 22.2% ක් වගාකළ හැකි බිම් වන අතර මෙම මුළු බිම් ප්‍රමාණයම පාහේ දැන් වගාකොට ඇත. මෙයින් හෙක්ටෙයාර් මිලියන 1.07 ක වී වගා කර ඇත. මේ කුඹුරු  වලින් හෙක්ටෙයාර් 826,0000 ක්ම වාරිමාර් ග ක්‍රම මගින් වගා කරන බිම්ය. තේ හෙක්ටෙයාර් 200,000 කි. රබර් හෙක්ටෙයාර් 138,000කි. පොල් වගාව ගැන එවැනි දත්ත නැත. කුළුබඩු වගා කර ඇත්තේ හෙක්ටෙයාර් 80,000 ක පමණි. එළවලු වගා කර ඇත්තේ හෙක්ටෙයාර් 150,000 කට අඩු ප්‍රමාණයකය.

ලංකාවේ ඉතා අඩු ඉඩම් ප්‍රමාණයක වවන කුළුබඩු (කුරුඳු, ගම්මිරිස්, එන්සල්, කරාබුනැටි වැනි) සහ ඖෂධ පැළෑටි වලින් වී වගාවට ආසන්න ආදායමක් (රුපියල් මිලියන 66.000ක්) ලැබෙයි. පළතුරුද, එළවළුද එසේමය. (පිළිවෙලින් රුපියල් මිලියන 60,000ක් හා 58,000ක්).  අප සදා අගය කරන “සිලෝන් ටී” වලින් දැන් ලැබෙන්නේ රුපියල් මිලියන 66,000 කි. රබර් වලින් එය රුපියල් මිලියන 160,00 කි.පොල් වලින් එය රුපියල් මිලියන 68,000 කි. ඉතා අඩු ඉඩම් ප්‍රමාණයක වගාකොට වැඩි ආදායමක් ලබාගත හැකි වගාවන් තිබියදී තවමත් වී, තේ, පොල්, රබර් ගැන කතා කරමින් සිටින මෝඩ කමකි.

වී ගොවියන් සදා දුගියන් වන්නේ ඇයි?

සංගණනයන්ට අනුව ලංකාවේ එක් ගොවි නිවසකට අයිති සාමන්‍ය ඉඩම් ප්‍රමාණය අක්කර 2ක්  වූ අතර, මෙය වැඩිම වූ කිලිනොච්චි දිස්ත්‍රිකයේද එම ප්‍රමාණය අක්කර 5.3ක් විය. සාමාන්‍යයෙන් ගොවි පවුල් ඒකකයක සාමාජිකයන්  3.4ක් සිටින රටක පවුලක යැපීමට මෙවන් අඩු බිම් ප්‍රමාණයක් ඇත්දැයි යන්න විමසිය යුතු කරුණකි.

පෙර කී 2020 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ වාරිමාර්ග ක්‍රමවලින් වවන කුඹුරු හෙක්ටෙයාරයකට (හෙක්ටෙයාර් එකක් අක්කර 2.4 කි)  වසරකට ලැබෙන ශුද්ධ ආදායම රුපියල් 123,000 කි. මෙවන් අඩු ආදායමක් ලැබ කුඹුරක් වගාකර පවුලක් රකින්නේ කෙසේද? ගොවියන් සදා ණයකරුවන් වී සිටීම අරුමයක් නොවේ. වැසි දියෙන් වගා කරන කුඹුරු බිම් වල ශුද්ධ අදායම ඍණ රුපියල් 9000 ක් පමණ වේ. එසේ නම් වැසි දියෙන් කෙරෙන කුඹුරු වවා පලක් නැත. නගරාසන්නව ඇති “කුඹුරු ගොඩ කරනවෝ” කියමින් කෑමොර ගසන විද්වතුන් ඒවා වගා කොට පලක් නැති නිසා බව නොදන්නවා විය යුතුය. අනෙක් අතට  මයියොක්කා වගා කළහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් 510,000 ක්ද, රතුළුණු වගා කලහොත් රුපියල් මිලියන 2.95 ක්ද, මිරිස් වගා කලහොත් රුපියල් මිලයන 2.65ක්ද ,කරවිල වගා කළහොත්  මිලියන මිලියන 1.1ක්ද, වම්බොටු වගා කලහොත් මිලියන 1.2ක්ද ආදායම ලෙස ලබාගත හැක. මුතුන් මිත්තන් කළ නිසා වී වගා කිරීමට බලකොට ඇති ගොවියන් දිළිඳුන් බවට පත්වීම හද කම්පාකරවන සුළුය.

වී ගොවියන් දුගියන් වීමට හේතු බොහෝය. ලෝක දත්ත අනුව ශ්‍රී ලංකාවේ වී ඵලදාව හෙක්ටෙයාර් එකකට කිලෝ 3016කි. ඇමරිකාවේ එය 8112කි. චීනයේ 6932කි ඉන්දියාවේ 3695කි. බංගලිදේශයේ පවා එය 4912 කි. මෙයින් අදහස් වන්නේ අප තවමත් නොදියුණු ගොවිතැන් ක්‍රම මගින් වී වවන බවයි. සහල් නිෂ්පාදනයේ නිෂ්පාදන වියදම ලංකාවේ ඉතා ඉහළය. ඒ කෙසේ වෙතත් ලංකාවේ වී නිෂ්පාදනය ඇමරිකාවේ ප්‍රමාණයට සමාන වනසේ තුන් ගුණයකින් වැඩි කලත් අප‍ගේ වී ගොවිතැනෙන් අපට ලැබෙනු ඇත්තේ  මුළු දල ජාතික ආදායමින් අද ලැබෙන ප්‍රමාණය මෙන් තුන් ගුණයකි. එනම් 2% ක් පමණි. මුළු ශ්‍රම බලකායෙන් 9%ක් යොදවා මෙය සිදුකල යුතුද, එසේත් නැතිනම් වෙනත් බෝග සඳහා අප යොමු විය යුතුද යන්න දැන් විමසිය යුතු කරුණකි.

ගොවි ජනයා කඩේ යැවීම මෙරට දේශපාලනයේ මූලිකාංගයති.

තවමත් මුළු ගොවි පවුල් වලින් 52%ක් නියඟය නිසා හෝ අධික වැස්ස නිසා පීඩා විඳියි. ගොවියන්ගේ ආදායම අඩු වූයේ ඔවුන්ට හිමි ඉඩම් නැති නිසාම නොවේ. මුළු ගොවි පවුල් මිලියන 2.1 කින් 99% කට තමන්ට අයිති ඉඩමක් තිබුණි. මේ සංගණනයේ 52%ක් ගොවියන්ට උරුමයෙන් ලැබුණු ගොවිබිමක් තිබුණු අතර, 16%කට රජයෙන් ලැබුණු ගොවි බිමක් තිබුණි. මිලදී ගෙන වගා කළ බිම් 10%කට අඩු ප්‍රමාණයකි. 6%ක් අනවසරයෙන් වගා කළ ඉඩම් විය. ගොවිතැන දියුණු රටවල ගොවියන් අමතර ආදායමක් ලබා ගන්නේ සත්ව පාලනයෙනි. ලංකාවේ ගොවි පවුල් වලින් අමතර අදායමක් ලබාගත හැකි ගවයන්, එළුවන්, කුකුලන් වැනි කුමන අකාරයේ හෝ සත්වයෙක් සිටින්නේ පවුල් ලක්ෂ 260,000 එනම් 12% ක පමණි.

සිංහලයන්ගේ ගොවිතැන

වෙනත් බෝග වලට ලංකාවේ වී ගොවියන් යොමු කිරීමට ඇති ප්‍රධානම බාධාව පිටරටින් සහල් ගෙන්වා කෑම සිංහලකමට නොතරම් යැයි ඇති හැඟීමයි. වී වගාව අපගේ දේශීය උරුමයක් නිසා හිඟා කා හෝ එය රැකගත යුතු යැයි විශ්වාස කරන්නන් අප අතර බහුලය. කුඹුරු වල වැඩි ආදායමක් ඇති වෙනත් භෝග වැවීමට යමෙක් යෝජනා කළහොත් ඒ ගැන හද කම්පා කරගනු ඇත්තේ රාවණාවාදී, නාථ දේවවාදී, නලින්වාදී, අමරසේකරවාදී, මෙරට බුදුන්වාදී, ජාත්‍යන්තර කුමන්ත්‍රණවාදී, ගිහි පැවිදි ඇතැම් සිංහල බෞද්ධ උගතුන්ය. “ඔන්න සංස්කෘතිය විනාශ කරනවෝ” යැයි ඔවුන් කෑමොර ගසනු  ඇත.”පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා” යැයි මැලේ ජාතික “ලක්ෂ්මී බායි” ගායිකාව විසින් “චින්තාමණි” නම් ද්‍රවිධ චිත්‍රපටයේ ගීතයක තනුවට අනුව 1940 දී ගැයූ ගීතයේ පදයන් මතක තිබෙන තුරු සිංහලයන් පිටරට බත් කෑමට මැලිවෙනු ඇත.

අද දින සිංහල බතට වඩා අඩු මිලට ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ගෙනෙන පොන්නි සම්බා අකමැත්තෙන් හෝ කෑමට මේ සිංහලයන්ට සිදුවී ඇත. මේ පොන්නි සම්බා සහල චෙන්නායි කෘෂිකර්ම  විශ්වවිද්‍යාලයේ 1986 දී සොයාගනු ලැබූ බිත්තර වී විශේෂයකින් සැදෙන “දෙමළ සහලක්” බව දැනගතහොත් ඇතැමුන් මේ බත් කා වස ස්වල්පයක් පානය කරනු ඇත. ගෝඨාභය මැතිතුමාගේ කාබනික ප්‍රතිපත්තිය නිසා මිල ඉහල ගිය සිංහල හාල් වෙනුවට, දෙමල හාල් කෑම නිසා සිංහලකමට වන හානිය නිශ්චය කරගැනීමට තව මඳක් කල්ගත වෙනු ඇත. ඇතැම් විට දැන් සිංහලයන් දහස් ගණනින් මේ පින් බිම හැර යන්නේ සිංහල නායකයන් විසින් මං පහරා රට බංකොලොත්කල නිසා නොව, දෙමළ සහල් කෑම නිසා බවට ජාත්‍යන්තර කුමන්ත්‍රණවාදියෙක් තර්කයක්  ගොඩනගනු ඇත.

 වී ගොවිතැන ගැන අපූරු පොතක්

ගෝඨාභය මැතිතුමාගේ කාබනික පොහොර වියරුව උපරිමයෙන් පවතින සමයේ, මි ගස් වැවීමට යෝජනා කරන යතිවරයා, නැවත එළිදැක්වූ පොතක් ජනපතිතුමාට පිළිගැන්වීම, ජාතික ප්‍රවෘත්තියක් විය. එම පොතේ නම “සිංහල ගොවිතැන”යි. මේ පොත ගැන නලින්වාදී, රාජපක්ෂවාදී සති අන්ත ජාතික පුවත්පතක් පිටුවක් පුරවා ලිපියක් පළකළේය. “දැන්නම් ඉතින් රට සරුවෙයි.” ස්වරයෙන් ලියා තිබු මේ ලිපිය කියවූ මම අමන්දානන්දයට පත්වීමි. පිය උරුමයෙන් ලැබුණු, දැන් නම් හතර මායිම්වත් නොදන්නා, තෙත් කලාපයේ පුරන්වූ කුඹුරක් හිමි මම, අද එය අනවසරයෙන් අල්ලාගෙන සිටින්නන් පන්නා දමා අස්වැද්දීමට සිහින මවමින්, මේ පොත සෙවීමි. අන්තර් ජාලයේ ඇති එම පොත ලියා ඇත්තේ 1951 වසරේදී පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීති හිමිනම විසිනි. අහෝ, පිටු 132 ක් ඇති එම පොතේ වගා ක්‍රම ගැන ඇත්තේ පිටු 2ක් පමණි. ඉතිරි පිටුවල ඇත්තේ ගොවිතැනේදී භාවිතා කරන සිංහල වචනවල තේරුම් හා සිරිත් විරිත්ය. මෙම පොතෙහි සැබෑ නම විය යුත්තේ “ගොවිතැනේදී යෙදෙන සිංහල වචන හා සිරිත් විරිත්” යන්නයි. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී මෙවන් අභාවයට ගිය සිංහල වචනවල තේරුම් අසන නිසා, මේ පොත බාලාංශ සිසුන්ට අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කිරීම සුදුසුය. සිංහලයන් කුඹුරු හාන ගොන්නුන්ට ඇන්දවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව ඇති අයුරු වටහාගැනීමට මෙයට වඩා වැඩි උදාහරණ අනවශ්‍යය.

වී ගොවිතැනේ සමාජමය අර්බුදය

ලංකාවේ මුළු වී අස්වැන්න වන මෙට්‍රික් ටොන් 4870 වෙන්,  උතුරමැද පළාතෙන් මෙට්‍රික් ටොන් 1370 ක්ද , නැගෙනහිර පළාතෙන් මෙට්‍රික් ටොන් 1067 ක්ද ලැබී ඇත වයඹ පළාතෙන් 630 ක්ද ලැබී ඇත. එනම් මේ දිස්ත්‍රික්ක තුනෙන් ලංකාවේ මුළු වී අස්වනන්නෙන් 67% ක් ලැබේ. ලංකාවේ මුළු විදේශගත ශ්‍රමිකයන් 30% ගෘහ සේවිකාවන්ය. පුදුමයකට මෙන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව විදෙස්ගත ගෘහ සේවිකාවන්ගෙන් ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස වැඩිම පිරිසක් විදෙස්ගතව ඇත්තේ මේ වී වගා කරන දිස්ත්‍රික්ක වලින් හා පොලොන්නරුව, අම්පාර වැනි අනෙකුත් කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වලිනි. වී ගොවියන් වන තම සැමියන් දුගියන් නිසා, විදේශගතව නිවෙස්වල මෙහෙවරකම් කොට තම “අභිමානවත් ගොවි පවුල්” රැකීම හැරුණු කොට අන් කිසිදු විකල්පයක් මොවුන්ට ඉතිරිව නැත. ක්ෂුද්‍ර ණය රකුසා නිසා පීඩා විඳිමින් සියදිවි නසාගන්නා, සැඟවී ජිවත්වන කාන්තාවන් බහුතරයක් සිටින්නේද මේ ප්‍රදේශ වලයි. ක්ෂුද්‍ර ණය බරෙහි ඔවුන් ගිලී සිටීම දේශපාලඥයන්ට වාසිවන්නේ ඒවා කපා හරින බව පවසා ඡන්ද ලබාගත හැකි නිසාය.

වී ගොවියකු වැඩ කරන දින ගණන

එපමණක් නොව “මත්ද්‍රව්‍ය විරෝධී තොරතුරු මධ්‍යස්ථානය” හි දත්ත අනුව ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් බීමතුන් සිටින්නේ කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලය. මෙයට එක් හේතුවක් වන්නේ වී ගොවියන් වසරේ වැඩි කලක් කිසිදු රැකියාවක් නොකර නිකරුනේ කාලය ගත කිරීමයි. මේ පිළිබඳව කෙරී ඇති එක් සමීක්ෂණයකට අනුව වී ගොවියෙක් වසරකට වැඩ කරන්නේ මිනිස් දවස් 31 ක් පමණි. ඉතිරි දින 334 ඔවුන් නිකරුනේ කාලය ගත කරයි. මෙය ඇදහිය නොහැකි තත්වයක් වුවත් අද දින කුඹුරු කිරීම ගැන අවබෝධයක් ඇත්තන් මා සමඟ මේ කරුණ සනාථ කොට ඇත. පෙර කළ සීසෑමේ සිට අස්වනු වී කිරීම දක්වා සියළු කටයුතු සියතින් කල වී ගොවියන් දැන් ඒ දේ කරන්නේ කුලියට ගත් යන්ත්‍ර සුත්‍ර හා මිනිසුන් මගිනි. එසේ නමුත් කෘෂිකර්මය සඳහා අවශ්‍ය උපකරණ වලින් එකක් හෝ අයිති ගොවි නිවෙස් ඇත්තේ 31% ක් පමණි. කුලියට ගත් උපකරණ වලින් කුලියට ගත් මිනිසුන් ලවා වැඩ කරවා ගන්නා ගොවියන් එනිසා ඉතිරිවන කාලය නිකරුනේ ගත කරයි.

“නිකම් සිටින්නාගේ සිත යකාගේ කම්මලය” යැයි කියමනක් සැදුනේ නිකම් නොවේ. බීමත්කම, ලිංගික අපරාධ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය පානය, සුදුව, අනවසරයෙන් කැලෑ කැපීම, මැණික් ගැරීම වැනි අපරාධ කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල අතිශයින් බහුලය. මම කලක් කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක සේවය කලෙමි. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු යැයි රොබට් නොක්ස් පැවසුවද අද දින මඩ සෝදා ගත් ගොවියා වහා වහා දුවන්නේ කසිප්පු තිප්පොලටය. එසේත් නැත්නම් සුදු පොලටය. ඉන් පසුව කට ගොන්නක් බී, බිරිඳට සහ දරුවන්ට තැලීමටය. සැමියන්ගෙන් බැටකෑමද බිරිඳන් විදෙස්ගත වීමට එක් හේතුවකි. මේ තත්වය ගැන අප කල යුත්තේ සිනහවීම නොව ඇඩීමයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස, ගොවියාට ඇති වැඩ වැඩිකිරීමට අපේ මුතුන් මිත්තන් කල පරිදි මී හරක් යොදා, කාබනික පොහොර යොදා, කෙම් ක්‍රම භාවිතා කිරීමට රාවණාවාදී, නාථ දේවවාදී, නලින්වාදී, අමරසේකරවාදී, මෙරට බුදුන්වාදී, ජාත්‍යන්තර කුමන්ත්‍රණවාදී, ඇතැම් ගිහි පැවිදි සිංහල බෞද්ධ උගත් මෝඩයන් යෝජනා කරනු ඇත. එසේ කර ගොවියන්ගේ ආදායම වැඩිකර ගන්නේ කෙසේදැයි මොවුන්ගේ අල්ප ඥාණයට නොවැටහේ. මේ උගත් මෝඩයන්ට වඩා නුවණ ඇති කපටි දේශපාලඥයන්, මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොවියන් ගොඩ නොගෙන, ඔවුන් රජුන් යැයි පවසා ගොනාට අන්දවා, තමන්ගේ ඡන්ද පදනම තරකර ගනී.

කෙතරම් වගාඩම්බර දෙඩුවත් 2019 වර්ෂයේදී නිෂ්පාදනය වූ වී මෙට්‍රික් ටොන් 1.25 කින් රජය මිලදී ගෙන තිබුනේ 0.4%ක් පමණි. පුද්ගලික කොම්පැනි 28%ක්ද, පුද්ගලික වෙළෙන්දන් 27%ක්ද, වීමෝල් හිමිකරුවන් 32% ක්ද වී මිලදී ගෙන තිබුණි.

රජයෙන් කරන්නේ මොනවාද?

ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුයුක්ත සේවක සංඛ්‍යාව දහස් ගණනකි. මොවුන් ගෙන් කෙරන සේවය කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. 2017 කෘෂිකාර්මික ගෘහ සංගණනය අනුව කෘෂිකර්මයේ නියැලෙන ජනකායෙන් යම් ආකාරයක සංවිධිත පුහුණුවක් ලබා තිබෙන්නේ සියයට 1.7ක් පමණි. එයින් බහුතරයක් පවසා ඇත්තේ තමන් ලද පුහුණුව මසකට වඩා අඩු බවයි. මෙයින් අදහස් වන්නේ නව කෘෂිකාර්මික ක්‍රම ගැන අපගේ ගොවි මහතුන් තුල ඇති දැනුම ඉතා අල්ප බවය. සංගණනයන් අනුව පොහොර භාවිතය,නව බීජ වර්ග, පලිබෝධ නාශක, කාබනික පොහොර තැනීම, ගැන ගොවියන් වැඩිපුරම තොරතුරු දැනගන්නේ රජයෙන් නොව පුද්ගලික කොම්පැනි වලිනි. ණය පහසුකම් හා අලෙවිය පිළිබඳව යම් දැනුමක් ලබා ඇති ගොවි මහතුන් සිටින්නේ 5% කට අඩු ප්‍රමාණයකි.

මෙය මේසා අති විශාල කෘෂි විද්‍යාඥයන් රැසක් සිටින රටක ගොවියන් ගොවිකම නොදැන සිටීම මහා පුදුමයකි. පාංශු විශේෂඥයන්, පොහොර  විශේෂඥයන්, බීජ විශේෂඥයන්, පෙර අස්වනු විශේෂඥයන්, පසු අස්වනු විශේෂඥයන්, කෘෂි ආර්ථික විශේෂඥයන්, කෘෂි අපනයන විශේෂඥයන් වැනි මෙකී නොකී විද්වතුන් රැසක් ලංකාවේ සිටින බව අප දැනගත්තේ කාබනික පොහොර ප්‍රශ්නය අවස්ථාවේදීය. මේ උගතුන් විශ්වවිද්‍යාලවලද, රජයේ ආයතන වලද සැඟවී ජීවත්වී, කාබනික පොහොර ප්‍රශ්නය විසඳුනු පසුව කෘෂිකර්මයේ සියලු ප්‍රශ්න විසඳුනේ යැයි සිතන නිසාදෝ, නැවත සැඟවී ඇත. මේ උගතුන්ගෙන් මා කරන අවංක ඉල්ලීම  මා මෙහි පලකරන දත්ත හා අදහස් ගැන අවම වශයෙන්  නිර්දය විවේචනයක් හෝ කිරීමටයි. ඒ සංවාදය අද රටට අවශ්‍යව තිබේ.

කෙතරම් වගාඩම්බර දෙඩුවත් 2019 වර්ෂයේදී නිෂ්පාදනය වූ වී මෙට්‍රික් ටොන් 1.25 කින් රජය මිලදී ගෙන තිබුනේ 0.4%ක් පමණි. පුද්ගලික කොම්පැනි 28%ක්ද, පුද්ගලික වෙළෙන්දන් 27%ක්ද, වීමෝල් හිමිකරුවන් 32% ක්ද වී මිලදී ගෙන තිබුණි.ගොවියන් පුද්ගලික අංශයට වී විකුනන්නේ ඔවුන් මුළු අස්වැද්දුම් කාලය තුල ලබාගත් ණය කන්දරාවට හිලව් වීමට මිස ආසාවකට නොවේ. ඔවුන් මේ අයුරින් පුද්ගලික අංශයෙන් ලබාගත් ණය මුදල් මුළු ණය ප්‍රමාණයෙන් 40% ක් ඉක්මවා තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනින්, ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් වී ගබඩා ප්‍රතිසංස්කරණය කොට විවෘත කලේ මේ කරුණ ගැන නොදැන විය යුතුය. කිසිදු කරුණක් ගැන ගණනක් මිම්මක් නැතිව හොරණෑ පිඹීම ගැන මෙයට වඩා හොඳ තවත් උදාහරණයක් නැත. ජනතා මුදලින් එදා ප්‍රතිසන්කරණය වූ  ගබඩාවල අද තැන්පත් කර ඇත්තේ මොනවාදැයි විමසීමද වැදගත්ය.

අද පරාජය වී ඇති රාජපක්ෂවාදය ගොඩගැනීමට අවශ්‍යවන්නේ අම්බරුවන් දෙබානක්, වියගහක ගැටගසා, තම පුතෙකු, සරම වලාපොට ගසා කුඹුරකට බැස්සවීම පමණක් බව  ඒ කපටියන් හොඳින් දනී. එවිට යතිවරුන් පිරිසක් කමතට වැඩ සෙත් පිරිත් සජ්ජායනය කරනු ඇත

 ගොවියාගේ හතුරන් කවුද? 

ලංකාවේ වී ගොවිතැනේ නම් පරම හතුරා වී ගොවිතැනම මිස, වීමෝල් හිමියන්ම පමණක් නොවේ. වී ගොවිතැනේ යෙදෙන 9% යේ ආර්ථික දායකත්වය 0.9% ක්ව තබමින් වැඩ කරන ජනතාවගේ ශ්‍රමය අපතේ හැරීමට ඉඩහරින රටක් කෙසේ දියුණු කල හැකිදැයි මම නොදනිමි. බටහිර රටවල් පමණක් නොව ජපානය, චීනය, ඉන්දියාව වැනි පෙරදිග රටවල් පවා තම අස්වනු වැඩි කර ගත්තේ “හරිත විප්ලවය” (Green Revolution) මගින් මිස සම්ප්‍රදායික ගොවි ක්‍රම මගින් නොවේ. ලංකාව වැනි කුඩා බිම් කට්ටි ඇති රටවල කෘෂිකර්මය දියුණු කර ඇත්තේ හරිතාගාර වැනි දියුණු ක්‍රම මගින් මිස වැව් තැනීමෙන් නොවේ. දැන් පවතින තත්ත්වය අනුව වැවක් තනන්නා දුගියන් රැසක් බිහිකරයි. වැවක් හාරන්නා දුගියන් දුගී බවෙහි තබා ගනියි. අද ලොව ගමන් කර ඇත්තේ කුඩා ඉඩකින් වැඩි අස්වැන්නක් ලබා ගතහැකි සුහුරු කෘෂිකර්මයට මිස ගොම්පස්, මී ගස් ඇසුරෙන් කරන අඩු ඵලදාව ඇති මෝඩ ගොවිතැනට නොවේ. විශේෂයෙන්ම වගා කිරීමට ඉතා අඩු බිම් ප්‍රමාණයක් ඇති රටක, කුඩා ඉඩම් හිමි ගොවියන්ට සම්ප්‍රදායික ක්‍රමවලින් වගාකොට ජිවත්විය නොහැක.

මුතුන් මිත්තන් පසුපසම යා යුතුද?

අපේ මුතුන් මිත්තන් යමක් කල නිසා අපද එය ඒ අයුරින් කළ යුතුයැයි විශ්වාස කිරීම තරම් අමන ක්‍රියාවක් තවත් නැත. ගරාවැටුණු වලව්වක ඇති “වල” වැසිකිලියට අවම වශයෙන් පිඟන් ගඩොල් පෝච්චියක් වත් සවි නොකර පාවිච්චි කරන පවුලක් ගැන මම දනිමි.  මුතුන්මිත්තන් කල අයුරින්ම ශරීර කෘත්‍යය තමන්ද නොකිරීම, පරපුරට කරන අවමානයක් යැයි ඔවුන් තදින් විශ්වාස කරයි. දිනක් ඔවුන්ගේ අයෙක් වැසිකිලි වලට වැටුණි. අපේම හොරුන් විසින් මං පහරා වැසිකිලිවලට වැටී සිටන මා වැනි ඇතැම් සිංහල බෞද්ධයන් දැන්වත් අපගේ අමන චින්තනය ගැන අළුතින් නොසිතුවහොත් ඒ මෝඩ මිනිසා රෑ වැටුණු වැසිකිලි වලේ අප දවල් වැටෙනු ඇත.

අද පරාජය වී ඇති රාජපක්ෂවාදය ගොඩගැනීමට අවශ්‍යවන්නේ අම්බරුවන් දෙබානක්, වියගහක ගැටගසා, තම පුතෙකු, සරම වලාපොට ගසා කුඹුරකට බැස්සවීම පමණක් බව  ඒ කපටියන් හොඳින් දනී. එවිට යතිවරුන් පිරිසක් කමතට වැඩ සෙත් පිරිත් සජ්ජායනය කරනු ඇත. බතින් බුලතින් රට සරු කර, “පැරකුම් යුගයක් නැවතත් අරඹා”,රට ගොඩ ගැනීමට හැකි දියසෙන් කුමරෙකු පහළවීම ගැන ඇතැම් මධ්‍යම පංතික නාගරික උගතුන් සාදු කාර දෙනු ඇත. ගොවියන් කෙසේ වෙතත්, මඩ සෝදා ගොඩට එන දියසෙන් කුමරු රජවෙනු ඇත. අවසානයේදී  අම්බරුවන් ලිහා වෙනුවට ඒ වෙනුවට ගොවියන් වියගහට බැඳෙනු ඇත. මේ කපටියන්ට විරුද්ධ වන්නන් ගොවියන් දුගී බවේ තබාගැනීම, දේශපාලන ව්‍යාපෘතියක් බව රටට පැහැදිලිකර  දිය යුතුය.

මේ ලිපියේ සියලු කරුණු පාදකව ඇත්තේ දැනට ප්‍රකාශිත දත්ත මතය. මෙය කියවා කරුණු වැඩිදුරටත් හදාරා අද වල පල්ලට වැටී ඇති රට ගොඩ ගැනීමට උත්සාහ කරන යමෙක් ඇත්නම් අපේ ගොවිතැන ගැන නැවත සිතා අලුත් තීරණ ගැනීම කලයුතුමය. එවන් අය විසින් විමසිය යුතු කරුණු රැසකි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස දියුණු කල හැකිද? එසේත් නැත්නම් නව නිෂ්පාදන කරන ආර්ථිකයක්ට අප යා යුතුද? මුතුන් මිත්තන් කළ පමණින් වී වගාව දියුණු කිරීමට උත්සාහ කළ යුතුද ? එසේත් නැත්නම් වැඩි ආදායමක් ලබාදෙන වෙනත් වගාවන්ට ගොවියන් යොමු කළ යුතුද? නවීන බෝග වර්ග, නවීන කෘෂිකාර්මික උපක්‍රම අප භාවිතා කල යුතුද? දහස් ගණනින් සිටින කෘෂි නිලධාරීන් කරන්නේ මොනවාද ? වැනි වැදගත් ප්‍රශ්න රැසක් නැගිය යුතු අවදියකි. මා මතු කරන්නේ එවන් ප්‍රශ්න රැසකි.

වෛද්‍යවරයෙක් වන මම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට සුදුසු පුද්ගලයෙක් නොවෙමි. ඒ, ලංකාවේ ගොවිතැනේ ප්‍රශ්න වලට දේශීය විසඳුමක් ලබාදී, එය කළ නායකයන්ට “කුසල් අනුමෝදන් කර” වෙනත් වෛද්‍යවරයෙක් රට සාගතයකට තල්ලු කල නිසාය.

 

 

 

Archive

Latest news

Related news