Thursday, November 21, 2024

ලොහාන් රත්වත්තේගේ හිරගෙදර වියරුවේ සම්පූර්ණ කතාව – ඩී.බී.එස්. ජෙයරාජ්

ලොහාන් එවින්ද්‍ර රත්වත්තේ යනු වැරදි හේතු මත බොහෝ විට මාධ්‍ය අවධානයට ලක් වන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන 53 හැවිරිදි මොහු සාමාන්‍යයෙන් ලොහාන් ලෙස හැඳින් වනු ලැබේ. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ තරුණයන් කණ්ඩායමක් නින්දාවට හා භීතියට පත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුට පසු ගිය සතියේ විශාල නිෂේධාත්මක ප්‍රචාරයක් ලැබුණි.

ගෝටාබය රාජපක්ෂ රජයේ මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධ රාජ්‍ය ඇමති සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් එල්ල කරමින් සිරකරුවන්ට ඔහු ඉදිරිපිට දණ ගැසීමට බල කර ඇත. එමෙන්ම ඔහුගේ පිස්තෝලය සිරකරුවෙකුගේ හිසට තුන් වරක් තබා ඇත. මෙම සිදු වීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කම්පනයක් ඇති කළේය. පසුව ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරයි.

මෙම ලිපිය ලිවීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. කෙසේ වෙතත්, දැනුවත් මූලාශ්‍රවලින් එක්රැස් කර ගත් විස්තර මගින් අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ මූලික කරුණු එකට එකතු කර ගැනීමට හැකි විය.

රාජ්‍ය ඇමතිවරයා සිංහල භාෂාවෙන් ඔවුන් ඇමතීමට පටන් ගත්තේය. එම අවස්ථාවේ දී එක් සිරකරුවෙක් තමන් සිංහල නොදන්නා බව පවසා විරෝධය පෑවේය. ඉන් කෝපයට පත් වූ රත්වත්තේ සිංහල රටක ජීවත් වුව ද සිංහල නොදන්නා දෙමළ සිරකරුවන්ට බණින්නට පටන් ගත්තේය. “පර දෙම‍ළා” යන අපහාසාත්මක යෙදුම භාවිතා කරමින් ඔහු කුණුහරුපයෙන් ඔවුන්ට අපහාස කර ඇති අතර, සිංහල නොතේරෙනවා නම් ඉන්දියාවට යන ලෙස කියා ඇත.

අනුරාධපුරයට හෙලිකොප්ටර චාරිකාව

රාජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂාව සඳහා පත් කර තිබූ ඇමති ආරක්ෂක අංශයේ (MSD) නිලධාරින් පිරිසක් සමග ලොහාන් රත්වත්තේ 2021 සැප්තැම්බර් 12 වන දා හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පියාසර කළේය. හෙලිකොප්ටරය බන්ධනාගාර පරිශ්‍රයට ගොඩ බැස්සේ සවස 6 ට පමණ ය. සැර මත් පැන් අධික ලෙස බීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා බේබද්දෙකු මෙන් දිස් විය.  තමන් රජයේ බලවත් ඇමතිවරයෙකුය යන උද්දච්ඡකම ද ඔහුගේ බේබදුකමට එකතු වී තිබිණ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ගැනෙන වැරදි කළ දෙමළ සිරකරුවන් හමු වීමේ හදිසි සංචාරයක් සඳහා පැමිණි බව රාජ්‍ය ඇමතිවරයා බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුන්නේය.  එසේ රඳවා සිටින පුද්ගලයින් තමන් වෙත ගෙන එන ලෙස ඔහු  නිලධාරීන්ට නියෝග කළේය. දෙමළ දේශපාලන සිරකරුවන් 10 දෙනෙකු ඔවුන්ගේ සිර මැදිරිවලින් ඉවතට ගෙන රත්වත්තේ හමුවට ගෙන එන ලදි.

රාජ්‍ය ඇමතිවරයා සිංහල භාෂාවෙන් ඔවුන් ඇමතීමට පටන් ගත්තේය. එම අවස්ථාවේ දී එක් සිරකරුවෙක් තමන් සිංහල නොදන්නා බව පවසා විරෝධය පෑවේය. ඉන් කෝපයට පත් වූ රත්වත්තේ සිංහල රටක ජීවත් වුව ද සිංහල නොදන්නා දෙමළ සිරකරුවන්ට බණින්නට පටන් ගත්තේය. “පර දෙම‍ළා” යන අපහාසාත්මක යෙදුම භාවිතා කරමින් ඔහු කුණුහරුපයෙන් ඔවුන්ට අපහාස කර ඇති අතර, සිංහල නොතේරෙනවා නම් ඉන්දියාවට යන ලෙස කියා ඇත.

අනුරාධපුර බන්ධනාගාරයේ සමහර ප්‍රධාන නිලධාරීහු රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කර ඇමතිවරයා සන්සුන් කළහ. සිංහල හා දෙමළ භාෂාව චතුර ලෙස දන්නා බන්ධනාගාර නිලධාරීන් භාෂණ පරිවර්තකයන් ලෙස කටයුතු කිරීමට කැඳවා තිබුණි. රත්වත්තේ පසුව සිරකරුවන් අමතා සිංහලෙන් ද සමහර අවස්ථාවල දී ඉංග්‍රීසියෙන් ද කතා කළේය. ඔහුගේ වචන දෙමළ භාෂාවට පරිවර්තනය විය.

ලොහාන් රත්වත්තේ දෙමළ සිරකරුවන්ට කියා සිටියේ ජුනි මාසයේ දී රජය විසින් දෙමළ දේශපාලන සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර ඇති බවත් ඉදිරියේ දී තවත් කිහිප දෙනෙකු නිදහස් කරන බවත්ය. සිරකරුවන්ට ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමට අවශ්‍ය බැවින් ඇමතිවරයාම එම ක්‍රියා පටිපාටියට සම්බන්ධ වූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත්, දෙමළ සිරකරුවන්ගේ ගැටළු සහ PTA ගැටළු ජාත්‍යන්තර වේදිකාවල දී මතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය විරෝධී සංවිධාන සහ දෙමළ ඩයස්පෝරාවේ කොටස්කරුවන් බව ද ඔහු පැවසීය. ඔහු කියා සිටියේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන සතියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට යන බවයි. එක්සත් ජාතීන්ට හෝ රාජ්‍ය නොවන සංවිධානවලට හෝ දෙමළ ඩයස්පෝරාවට රට පාවා නොදෙන ලෙස රත්වත්තේ දෙමළ සිරකරුවන්ට අනතුරු ඇඟවීය.

“ලොහාන් යනු උච්චාවචනය වන මනෝභාවයකින් යුතු චපල  පෞරුෂයකි. අනුරාධපුරයේ දී මෙය ඉතා හොඳින් පැහැදිලි විය. හදිසියේම රාජ්‍ය ඇමතිවරයාගේ මනෝභාවය ආක්‍රමණශීලී විය.  කැමති කැමති විශේෂණ පද යොදා ගනිමින් ඔහු සිරකරුවන්ට දරුණු ලෙස බැණ වැදීමට පටන් ගත්තේය.”

චපල පෞරුෂය

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රත්වත්තේගේ සමකාලීනයන්ට අනුව, ලොහාන් යනු උච්චාවචනය වන මනෝභාවයකින් යුතු චපල  පෞරුෂයකි. අනුරාධපුරයේ දී මෙය ඉතා හොඳින් පැහැදිලි විය. හදිසියේම රාජ්‍ය ඇමතිවරයාගේ මනෝභාවය ආක්‍රමණශීලී විය.  කැමති කැමති විශේෂණ පද යොදා ගනිමින් ඔහු සිරකරුවන්ට දරුණු ලෙස බැණ වැදීමට පටන් ගත්තේය. අනතුරුව ඔහු පිස්තෝලය ඇද එය වනන්නට පටන් ගත්තේය. ඉණේ තිබෙන පිස්තෝලය අන් අයට පෙනෙන සේ උළුප්පා තබා ගැනීම ගැන මේ රාජ්‍ය අමාත්‍යවරයා කා අතරත් ප්‍රසිද්ධය. ඔහු බලපත්‍ර ලත් පිස්තෝලකාරයෙකි.

අනතුරුව දෙමළ තරුණයින්ට තමා ඉදිරියේ දණ ගසන ලෙස රත්වත්තේ නියෝග කළේය. ඇමතිවරයාට කීකරු වන ලෙස සමහර බන්ධනාගාර නිලධාරීහු සිරකරුවන් පිටු පස සිට ඔවුන්ට සංඥා කළහ. භීතියට පත් සිරකරුවෝ එසේ කළහ. අසරණ සිරකරුවන්ට ආයුධ පෙන්වා දණ ගැසීමට බල කර ඔවුන් නින්දාවට පත් කළ රත්වත්තේ, අනතුරු වාචික අපචාර ප්‍රහාරයක් ද දියත් කළේය.

දෙමළ පමණක් දන්නා අයට ඇමතිවරයා සිංහලෙන් කථා කිරීම ගැන මීට කලින් විරුද්ධ වූ අංක 141 දරන සිරකරු ලොහාන් රත්වත්තේ විසින් අන් අයගෙන් වෙන් කරන ලදී. කරුණු විමසීමේ දී හෙළි වූයේ, ඔහු යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි ප්‍රදේශයේ උතුරු කර්නවායි ගමේ, 34 හැවිරිදි මතියරාසන් සුලක්ෂන් බවයි. අනතුරුව තරමක කලබල ස්වභාවයකට පත් වූ රත්වත්තේ, සිරකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය.

ලොහාන් රත්වත්තේ සුලක්ෂන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේ ඔහු කොපමණ ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කර තිබේ දැයි දැන ගැනීමටය. සුලක්ෂන්ගේ ඇඟ හීතල වී ලේ කැටි ගැසෙන තරමට රත්වත්තේ තර්ජනය කළේය. විවිධ අවස්ථාවල දී ඔහු තම පිස්තෝලය සුලක්ෂන්ගේ නළල, කණ සහ නිකට මත තබා මරා දමන බවට තර්ජනය කළේය.  ඇමතිවරයා තව දුරටත් එසේ කිරීම MSD භටයින් විසින් උපායශීලීව වළක්වා ගනු ලැබිණ.

2013 ජූලි මාසයේ දී වවුනියා මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ තිදෙනෙකුගෙන් එක් අයෙකු වන්නේ සුලක්ෂන්ය. යුද්ධයේ අවසන් අදියරේ දී නාවික හමුදාවේ 18 දෙනෙකු සහ හමුදා සාමාජිකයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ බවට රාසතුරේ තිරුවාරුල්, මතියරාසන් සුලක්ෂන්, සහ ගනේෂන් තර්ෂාන්ට එරෙහිව නඩු පවරා ඇත. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) එම නාවික හමුදා සහ යුධ හමුදා සාමාජිකයින් සිරකරුවන් ලෙස රඳවා ගෙන සිටියේය. පසුව LTTE බුද්ධි අංශ ප්‍රධානී “පොට්ටු අම්මාන්” දුන් නියෝග මත මේ සැකකරුවන් තිදෙනා විසින් ඔවුන් මරා දමන ලදී.

2013 දී මුලින්ම අධිචෝදනා ගොනු කළේ මතියරාසන් සුලක්ෂන්ට සහ ගනේෂන් තර්ෂාන්ට පමණි. රාසතුරේ තිරුවාරුල්ට එරෙහිව මුලින්ම චෝදනා නැගුවේ නැත. වසර 4 කට පමණ පසු 2017 ජුනි මාසයේ දී සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කරන ලදී. සංශෝධිත අධිචෝදනා පත්‍රයේ දී රාසතුරේ තිරුවාරුල් පළමු විත්තිකරු ලෙස ද පිළිවෙලින් සුලක්ෂන් සහ තර්ෂාන් දෙවන හා තෙවැනි විත්තිකරුවන් ලෙස ද නම් කෙරිණි.

ලොහාන් රත්වත්තේ සුලක්ෂන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේ ඔහු කොපමණ ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කර තිබේ දැයි දැන ගැනීමටය. සුලක්ෂන්ගේ ඇඟ හීතල වී ලේ කැටි ගැසෙන තරමට රත්වත්තේ තර්ජනය කළේය. විවිධ අවස්ථාවල දී ඔහු තම පිස්තෝලය සුලක්ෂන්ගේ නළල, කණ සහ නිකට මත තබා මරා දමන බවට තර්ජනය කළේය.  ඇමතිවරයා තව දුරටත් එසේ කිරීම MSD භටයින් විසින් උපායශීලීව වළක්වා ගනු ලැබිණ.

ගනේෂන් තර්ෂාන්ට ද ඉදිරියට එන ලෙස රත්වත්තේ නියෝග කළේය. මධ්‍යම පළාතේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තර්ෂාන් ද සුලක්ෂන්ට සමාන චෝදනා මත සිරගතව සිටින්නෙකි. කෙසේ වෙතත්, සුලක්ෂන්ට තරම් දැඩි බවක් ලොහාන් තර්ෂාන්ට දැක් වූයේ නැත.  රාජ්‍ය අමාත්‍යවරයා තම ගිනි අවිය තර්ෂාන් දෙසට එල්ල කර කීවේ, ඔහුට අවශ්‍ය නම් සිරකරුට වෙඩි තබා මරා දැමිය හැකි බවය; කිසිවෙකුටවත් එය නැවැත් වීමට නොහැකි බවය.

ක්‍රමක්‍රමයෙන් බිහිසුණු වූ වාතාවරණය සමනය කිරීමට MSD නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරින් සමත් විය. නැවත කොළඹ බලා යාමට ඔවුහු ලොහාන් රත්වත්තේ ටිකෙන් ටික පොළඹවා ගත්හ. චාටුවෙන් හා රැවටීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා රාත්‍රී 7.30 ට අනුරාධපුර බන්ධනාගාරයෙන් පිටව ගියේය.

වැලිකඩ එල්ලුම් ගහ බලන්න යාම

අනුරාධපුර බන්ධනාගාරය තුළ, නීතිය බල්ලාට දමා පිස්තෝල වැනූ රාජ්‍ය අමාත්‍යවරයාගේ වෙඩි ප්‍රහාරකින් කිසිවෙකුත් මිය ගොස් හෝ තුවාල ලැබුවේ නැත. භීතියට හා නින්දාවට පත් වුව ද කිසිදු දෙමළ සිරකරුවෙකුට ශාරීරිකව හානියක් නොවීය. කෙසේ වෙතත් මෙම සිදු වීම සමස්ත රටටම බලවත් කම්පන සහගත  බලපෑමක් ඇති කළ අතර ගෝටාබය රජය දැඩි පීඩනයකට ලක් විය.

මේ අතර, ලොහාන් රත්වත්තේ තවත් බීමත් මිතුරන් කිහිප දෙනෙකු සමග පසු ගිය සැප්තැම්බර් 6 වන දින හදිසියේම වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ද ඇතුළු වී තිබේ. බේබදු කල්ලිය එල්ලුම් ගහ බැලීමට යාම වැළැක්වීම සඳහා උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ලොහාන් සිය පිස්තෝලය එල්ල කර හිරිහැර කර තිබේ.

අනුරාධපුරයේ දී ලොහාන් රත්වත්තේ විසින් සිදු කරන ලද බරපතල අපරාධය පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ලිපියේ පරමාර්ථය වන නිසා වැලිකඩ සිද්ධිය ගැන මා දීර්ඝ වශයෙන් ලියන්නේ නැත. අනුරාධපුරය හා සසඳන විට වැලිකඩ කතාන්දරයට මාධ්‍ය නිරාවරණය බොහෝ සෙයින් ලැබී තිබේ. කෙසේ වෙතත්, තහවුරු නොකළ වාර්තාවක දැක්වෙන්නේ රත්වත්තේ PTA වැරදි යටතේ රඳවා සිටි දෙමළ සිරකරුවන් සෙවීම සඳහා පළමුවෙන්ම වැලිකඩට ගොස් අනතුරුව අනුරාධපුරයට ගිය බවයි.

වැලිකඩ සහ අනුරාධපුරයේ දී ලොහාන් රත්වත්තේ ඇමති බලය අයුතු ලෙස භාවිතා කිරීම සමහර මාධ්‍යවල පළ විය. වැලිකඩ සිද්ධිය එතරම් දරුණු නොවූව ද, ලොහාන් ගමන් ගත් වාහනය රූපලාවණ්‍ය තරඟ ජයග්‍රාහකාවක විසින්  පදවන ලද බවට එල්ල වූ චෝදනාව හේතුවෙන්, ඊට වැඩි අවධානයක් යොමු විය. මාධ්‍ය දෘෂ්ටි කෝණයෙන් බලන විට, මෘගයෙකු සමග ගමන් කරන රූප රාජිනියක පිළිබඳ ප්‍රවෘත්තියකට පාඨකයින් වඩාත් ආකර්ෂණය කර ගත හැකිය.

මන්ත්‍රී රෝහණ බණ්ඩාර දැමූ 

සමගි ජන බලවේගයේ (SJB) අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කරන ලද අතර, බීමතින් සිටි ඇමතිවරයෙකු ඉරිදා (සැප්තැම්බර් 12) දින අනුරාධපුර බන්ධනාගාරයට යාමට හෙලිකොප්ටරයක් භාවිතා කළ බවටත්, තුවක්කුව පෙන්වා සිරකරුවන් දණ ගැස්ස වූ බවටත් චෝදනා කළේය. මේ ඇමතියා කවුද, ඔහු හදිසියේ බන්ධනාගාරයට ගියේ අවුල් ජාලාවක් ඇති කිරීමට ද? බණ්ඩාර ප්‍රශ්න කළේය.

සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීම සඳහා “The Morning” පුවත්පත බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක සම්බන්ධ කර ගත් විට ඔහු කියා සිටියේ එවැනි සිදුවීමක් ගැන තමා නොදන්නා බවයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අනුරාධපුර සිද්ධිය ට්විටර් වෙබ් අඩවියේ විස්තරාත්මකව හෙළිදරව් කළේය. දෙමළ ජාතික සන්ධානයේ (TNA) ප්‍රකාශක සහ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද ඊට එක් විය.

ඉන් අනතුරුව විපක්ෂ නායක සහ SJB නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් මේ පිළිබඳව ප්‍රශ්න කරන ලදී. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මේ පිළිබඳව ක්‍රියා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. JVP පක්ෂයේ ජාතික මහජන බලවේගයේ නීතිඥයින් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් ද ලොහාන් රත්වත්තේගේ අශීලාචාර හැසිරීම ගැන මාධ්‍ය සාකච්ඡා පවත් වන ලදී.

අනෙකුත් වැදගත් පුද්ගලයින් සහ සංවිධාන ද මීට එරෙහිව ක්‍රියාත්මක විය. කොළඹ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හනා සිංගර් මේ පිළිබඳව ට්වීට් කළාය. හිටපු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් මේ පිළිබඳ ට්වීට් කිහිපයක් ප්‍රකාශයට පත් කළාය. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කාරක සභාව (CPRP) දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි දී සමස්ත ගැටළුවම විස්තරාත්මකව පැහැදිලි කෙරිණ. 

රත්වත්තේ විසින් වෙඩි තබා දමන බවට තර්ජනය කරන ලද සිරකරු මතියරාසන් සුලක්ෂන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අදහස් කළ බව CPRP පැවසීය. සිද්ධිය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කළ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලිපිය

ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) එහි නව සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තේරී පත් වීමෙන් පසු ධෛර්යමත් වූ බවක් පෙනෙන්නට තිබෙන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් ද නිකුත් කළේය. රාජ්‍ය අමාත්‍ය රත්වත්තේගේ  අපරාධමය හැසිරීම හේතුවෙන් තම සංගමය බොහෝ සෙයින් කම්පනයට පත්ව සිටින බවත් තව දුරටත් රජයේ තනතුරු දැරීමේ ඔහුගේ සුදුසුකම් බරපතල ලෙස ප්‍රශ්න කරන බවත් BASL නිවේදනය කළේය.

“රත්වත්තේට විරුද්ධව ඇති චෝදනා අනුව තව දුරටත් බන්ධනාගාර සම්බන්ධ රාජකාරි පැවරෙන රාජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් පමණක් නොව, වෙනත් ඕනෑම අමාත්‍යාංශයක් දරන රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද විශ්වාසය තැබීම හෝ වගකීම් පැවරීම කළ නොහැකියි. දණ්ඩමුක්තිය නැති එවැනි ජඩ වැඩ අපක්ෂපාතීව හා මුළුමනින්ම විමර්ශනය කළ යුතු අතර ඔප්පු වුවහොත් දඬුවම් ලබා දිය යුතුය. මෙවැනි සාපරාධී අපරාධ ගැන ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍යයි. රජය භාරයේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්,” යයි එම නිවේදනයේ සඳහන් වේ.

රත්වත්තේ විසින් සිදු කරන ලදැයි කියන මෙම බරපතල දණ්ඩමුක්තිය නොමැති ක්‍රියාවට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස නීතිපති (AG) ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන සියළුම බලධාරීන්ගෙන් BASL ඉල්ලා සිටියේය.

රජයට බලපෑම් එල්ල වීමත් සමග ඉතාලියේ නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දුරකථනයෙන් ලොහාන් රත්වත්තේට කතා කර ඉල්ලා අස් වන ලෙස දන්වා ඇති බව පුවත් පත් වාර්තාවල සඳහන් විය. අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝටාබය රාජපක්ෂට දුරකථනයෙන් කතා කර රත්වත්තේගේ ඉල්ලා අස්වීම භාර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

සැප්තැම්බර් 15 වෙනිදා ලොහාන් රත්වත්තේ ජනාධිපති රාජපක්ෂට ලිපියක් යොමු කරමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් විය. “මේ අමාත්‍යාංශයේ සියලු කර්තව්‍යයන් මෙතෙක් ඉතා සාර්ථකව ඉටු කර ඇති අතර, අමාත්‍යාංශය සම්බන්ධයෙන් මේ මොහොතේ මාධ්‍යවල පළ වන වාර්තා හේතුවෙන් රජය දුෂ්කරතාවයකට පත් නොකිරීමේ අදහසින්, 2021 සැප්තැම්බර් 15 වෙනි දා සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් මගේ ඉල්ලා අස්වීම පිළිගන්නා ලෙස ස්වේච්ඡාවෙන් ඉල්ලා සිටිමි,” යනුවෙන් ඔහුගේ අමාත්‍යාංශ ලිපි ශීර්ෂය සහිත ලිපියේ සඳහන් විය.

වගකීම පිළි ගෙන ඉල්ලා අස්වීම

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගත් බවයි. “වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් පිළිබඳ වගකීම පිළි ගෙන බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ,” යයි එම නිවේදනයේ සඳහන් විය.

“වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ සිද්ධිවල වගකීම පිළි ගෙන රාජ්‍ය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම භාර දුන් බව” සහ “ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගත් බව” ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළත්, සම්පූර්ණ වට්ටක්කා ගෙඩියක් බත් පිඟානක සඟවා තැබීම වැනි නිෂ්ඵල ව්‍යායාමයක ලොහාන් රත්වත්තේ නිරත විය. රත්වත්තේ “Daily Mirror සමග “විශේෂ සම්මුඛ සාකච්ඡාවක” යෙදෙමින් ඔහු වැලිකඩට හා අනුරාධපුරයට ගිය බව පිළිගත් නමුත් ඔහුට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය.

“ඩේලි මිරර්” සම්මුඛ සාකච්ඡාව: චෝදනා ප්‍රතික්ෂේප කරයි!

සම්මුඛ සාකච්ඡාවේ අදාල කොටස් මෙසේය:

සති අන්තයේ දී දෙමළ සිරකරුවන් පිරිසකට තර්ජනය කළ බවට චෝදනා ලැබ රජය අසීරු තත්වයකට පත් කළ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, එවැනි ක්‍රියාවක් කිරීමට තරම් තමා මෝඩයෙකු නොවන බව පවසමින් එල්ල වූ සියලු චෝදනා ඊයේ ප්‍රතික්ෂේප කළේය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු වූ පසු, පළමු වතාවට නිහඬතාවය බිඳ දැමූ රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ට තමා තර්ජනය නොකළ බවත් තත්ත්ව පරීක්ෂාවකට පමණක් බන්ධනාගාරයට ගිය බවත් Daily Mirror සමග පැවසීය.

කෙසේ වෙතත්, වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ බැලීමට ගිය බව රත්වත්තේ පිළිගත්තේය;  නමුත් එය ද සාමාන්‍ය පරීක්ෂණයක් කිරීම සඳහාය. ඔහු බීමතින් සිටි බවට එල්ල වූ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. පිරිමි යාළුවන් සහ එක් ගෑණු යාළුවෙකු ද සමග එල්ලුම් ගස බැලීමට ගිය බව ද ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු සිටියේ තනියෙන් බව ඔහු පැවසීය.

“ඇමතිවරයෙකු හැටියට මට ඕනෑම වේලාවක ඕනෑම බන්ධනාගාරයකට යන්න පුළුවන්. මට කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ. මා යටතේ බන්ධනාගාර 29 ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. රෑ හෝ දවාලේ ඕනෑම වේලාවක මට ඒවා ඇතුළට යන්න පුළුවන්. ඒවා ඇතුළේ වෙන්නේ මොනවා ද කියලා දැන ගන්න ඕනෑ වුණ හින්දයි කාටවත් නොකියාම මං එහෙම යන්නේ,” යනුවෙන් රත්වත්තේ පැවසීය.

“සති අන්තයේ මං අනුරාධපුර බන්ධනාගාරයට ගියේ අනිත් ඒවා වගේ ඒකත් පරීක්ෂා කරන්න විතරයි. මම කිසි විටෙකත් ඇතුළට කඩා ගෙන ගියේ නැහැ, කිසිම සිරකරුවෙකුට තර්ජනය කළේත් නැහැ. එ්ක මගේ වැඩක් නොවෙයි. ඒ මං නොවෙයි,”යනුවෙන් ද රත්වත්තේ පැවසීය.

වැලිකඩ බන්ධනාගාරය තුළ එල්ලුම් ගහ බැලීමට කිසි දිනෙක කිසිවෙකු කැඳවා ගෙන නොගිය බවත්, නමුත් ඔහු තනිවම පරීක්ෂණ චාරිකාවක් සඳහා ගිය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ, තමා ඉරිදා අනුරාධපුර බන්ධනාගාරයට ගිය නමුත් චෝදනා කරන පරිදි සිරකරුවන් මුණ නොගැසුණ බවයි. “කවදාවත් එවැනි දෙයක් සිදු වෙලා නැහැ. මේක එහෙම පිටින්ම බොරුවක්,” යයි රත්වත්තේ පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයකම බලපෑම්වලට ලක්ව සිටින රත්වත්තේ දැන් පවසන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම දැන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැවරී ඇති බවයි. ඒ් අතර, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිය රාජකාරි අඛණ්ඩව කර ගෙන යන බවත් ඔහු පැවසීය.

රත්වත්තේ ” Daily Mirror” සමග එසේ ප්‍රතික්ෂේප කළ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අ’පුර බන්ධනාගාරයට පැමිණීමෙන් පසු එම බන්ධනාගාර සිද්ධියට අදාල සත්‍යය වඩාත් තහවුරු විය. දෙමළ සිරකරුවන් වෙනුවෙන් කරන ලද ආරාධනයකට අනුව ඔවුන් හමු වීම සඳහා කැබිනට් ඇමති නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට පැමිණියේය. TNPF පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාජා කජේන්තිර්න් ද අනුරාධපුරයට ගොස් මතියරාසන් සුලක්ෂන් ඇතුළු සිරකරුවන් හමු වූහ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සමග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  දොස්තර කාවින්ද ජයවර්ධන සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ද අ’පුරයට ගොස් විපතට පත් සිරකරුවන් හමු වූහ.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකයන් තිදෙනෙක් ද අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි නිලධාරීන්ගෙන් සහ දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ. මේ අනුව, ශ්‍රී ලාංකික ජනතාවගේ සාමූහික බුද්ධියට අපහාස කරමින් ලොහාන් රත්වත්තේ සිදු කළ අලජ්ජ ප්‍රතික්ෂේප කිරීම යටපත් කරමින්, අනුරාධපුරයේ සිද්ධියේ යථාර්ථය පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් විය.

විමර්ශන තුනක්

මේ වන විට අ’පුර සිද්ධිය ගැන පරීක්ෂණ තුනක් පැවැත්වේ. එකක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. මානව හිමිකම් කොමිසම විසින් තවත් එකක් ද තුන් වැන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද පවත් වනු ලැබේ.

කෙසේ වෙතත්, ගෝටාබය රාජපක්ෂගේ රජය නිදහස් හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ දෙනු ඇත් ද යන්න පිළිබඳව පුළුල් සැකයක් පවතී. පළමුවෙන්ම ලොහාන් රත්වත්තේ දිගටම කියා සිටින්නේ වරදක් සිදු නොවූ බවත් මාධ්‍ය වාර්තා වැරදි බවත්ය. ඔහු මැණික් හා ස්වර්ණාභරණ ඇමති ලෙස දිගටම කටයුතු කරයි. ඔහුගේ සගයා වන විමල් වීරවංශගේ වචනවලින් කිවහොත්, ලොහාන් ස්වර්ණාභරණ මංකොල්ලකෑමකට සම්බන්ධ නොවන තාක් කල් ස්වර්ණාභරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

“මොකුත් දැක්කේ නැහැ, මොකුත් ඇහුනේ නැහැ”

තව ද, විශාල සැඟවීමේ උත්සාහයක් ගැන දැඩි සැකයක් පවතී. අනුරාධපුරයේ බන්ධනාගාර නිලධාරීන් මානව හිමිකම් කවුන්සිලයට කළ ප්‍රකාශවල “මොකුත් දැක්කේ නැහැ, මොකුත් ඇහුනේ නැහැ” යන ආකල්පය අනුගමනය කර ඇති බවට දැනටමත් වාර්තා වී තිබේ. එසේම CCTV කැමරා සවි කර නැති බවත් එම නිසා එවැනි දර්ශන නොමැති බවත් කියැවේ. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීම් කරන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් දෙදෙනා සිර ගෙය තුළ ලොහාන් රත්වත්තේ පිළිබඳ කිසිදු සිද්ධියක් ගැන නොදන්නා බව කියා තිබීම ද වැදගත් කරුණකි. එක් අයෙක් ජනමාධ්‍යයට නින්දා   කළේය. පසුව රත්වත්තේගේ ඉල්ලා අස්වීම සහ ජනාධිපතිවරයා විසින් එය පිළි ගැනීම මගින් සිද්ධිය තහවුරු වූ විට ඒ ලොක්කන් දෙන්නා ඉන්නා බවක් වත් දැන ගැනීමට නැත.

මානව හිමිකම් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් පරීක්ෂණයක් කර යෝජනා ඉදිරිපත් කරනු ඇත. ඔවුන්ගේ සොයා ගැනීම්, නිගමන, නිර්දේශ සහ පසු විපරම් බොහෝ දුරට ඔවුන්ගේ දේශපාලන ස්වාමිවරුන්ගේ අවශ්‍යතා මත රඳා පවතී.

ආණ්ඩුව පැත්තෙන් කොළ එළියක් පත්තු වෙන්නේ නම් ලොහාන්ට එරෙහිව අහිතකර වාර්තා ඉදිරිපත් විය හැකිය; රතු එළියක් නම්  ලොහාන්ට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට නොහැකි වූ බවට වාර්තා වනු ඇත. ඇම්බර් එළියක් පත්තු වුවහොත් එක් අතකින් විමර්ෂණ දිගටම කර ගෙන යන අතර රත්වත්තේ රාජපක්ෂ ආණ්ඩු ඔටුන්නට ඇල්ලූ මැණික් ගලක් මෙන් පවතිනු ඇත.

රත්වත්තේ තම පිස්තෝලයෙන් වෙඩි තබා සිරකරුවෙකු හෝ සිරකරුවන් මරා දැමුවේ නම් කුමක් සිදු වේ ද? එසේ නම් ඒ බව වාර්තා වන්නේ “ත්‍රස්තවාදි” සිරකරුවෙකු ඇමතිවරයාගේ ගිනි අවිය උදුරා ගෙන තමාටම වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති ලෙස ද?

රත්වත්තේ ගාලගෝට්ටිය

අනුරාධපුරයේ රත්වත්තේ සිදු කළ ගාලගෝට්ටිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දෙමළ සිරකරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. “වැටත් නියරත් ගොයම් කෑවා සේ” බන්ධනාගාර කළමනාකරණය භාර ඇමතිවරයා බන්ධනාගාර සම්බන්ධ සියලු ක්‍රියා පටිපාටි ද නීතිය ද උල්ලංඝනය කර ඇත.

තම භාරයේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම ජේලර්වරුන්ගේ පරම යුතුකම වුව ද දැන් ඔවුන් විසින්ම සිරකරුවන් අනතුරේ හෙළා තිබේ. රත්වත්තේ තම පිස්තෝලයෙන් වෙඩි තබා සිරකරුවෙකු හෝ සිරකරුවන් මරා දැමුවේ නම් කුමක් සිදු වේ ද? එසේ නම් ඒ බව වාර්තා වන්නේ “ත්‍රස්තවාදි” සිරකරුවෙකු ඇමතිවරයාගේ ගිනි අවිය උදුරා ගෙන තමාටම වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති ලෙස ද? උඩතලවින්න මුස්ලිම් තරුණයන් සමූල ඝාතනය කිරීම හෝ පැපුවා නිව් ගිනියා රග්බි තාරකාව ජොයෙල් පේරා ඝාතනය කිරීම පිළිබඳ පූර්වාදර්ශ සියල්ල අමතක කළ නොහැකිය.

ඊළඟට මොකක් ද?

ඊළඟට? ලොහාන් රත්වත්තේට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා ද? එසේ නැති නම්, මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කිරීමට ඔහුට ඉඩ සලස්වනවා  ද?

අනුරාධපුරයේ සිදු වූ දේ පිළිබඳ සියලු සාක්ෂි විනාශ වී යන අතරේ, කැරට් අලයක් දීමෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් සිරකරුවන් නිහඬ කරනු ලබන්නේ ද?

සිහි කල්පනාවෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ ඇමතිවරයෙකු තම රාජකාරිය කඩිසරව ඉටු කළ බවට සිනා උපදවන නිගමන සහිත මඩ සෝදන විමර්ශනයක් සිදු වේ ද?

අවසානයේ දී, ලොහාන්ගේ ජරා වැඩ වැරදි ලෙස දැක පාලක පැලැන්තියට සඹුුක්කුවෙන් තැලූ ජනමාධ්‍ය මතම දෝෂාරෝපණය පැටවේ ද?

-2021 සැප්තැම්බර් 23 වන දින Jeyaraj.com වෙබ් අඩවියේ පළ වූ, D.B.S.Jeyaraj ලියූ, ‘How Gun – toting State Minister Lohan Ratwatte Terrified and Humiliated Tamil Prisoners at the Anuradhapura Jail’ නම් විමර්ශන වාර්තාව සිංහලට පරිවර්තනය කළේ, – ආනන්ද /( LankaeNews වෙතිනි)

Archive

Latest news

Related news