Friday, April 19, 2024

මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ (2020 පෙබරවාරි) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ නිගමන.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයට ඉදිරිපත් කරනු ලබන වාර්තාව.

[title]නිගමන[/title]

36.

30/1 යෝජනාවට අනුකූලව ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා ඇති නමුත් දුර්විපාක නොලබා සිටීම පරපූර්ණ වහයෙන් පිටුදැකීමට සහ හා ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට රජයට ඇති නොහැකියාව මානව හිමිකම් උල්ලංනයන් නැවත ඇතිවීමට හේතු විය හැකිය. ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස් අපේක්සා කළ පරිදි සාමකාමී සමාජයක් සහ තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා 30/1 යෝජනාව යටතේ එන කැපවීම් අත්‍යවශ්‍ය බැවින් 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස මහ කොමසාරිස්වරිය ඉල්ලා සිටී. 30/1 යෝජනාවේ එන බොහෝ කැපවීම් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාවලියන්ගෙනි. එනම් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රජය විසින් පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව සහ සියලු පාර්ශවකරුවන්, යුද හමුදාවන්ද අතුළුව, සම්බන්ධ කර ගත් පුළුල් සිවිල් සමාජ නායකත්වයෙන් යුත් ජාතික උපදේශනයකින් තවදුරටත් පෘතූල කරන ලද ඒවා ය. 30/1 යෝජනාවේ ඇති කැපවීම් පිළිබිඹු කරන්නේ දශක ගණනාවක සන්නද්ධ ගැටුම්හි, ත්‍රස්තවාදයේ සහ අධිකාරීවාදයේ උරුමය ජය ගැනීමට උත්සාහ කරන සියලු ප්‍රජාවන්ගේ අභිලාෂයන් ය.

37.

ඉතා වැදගත් වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන ය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන හා වෘත්තීයමය ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දිගටම සක්‍රීයව සහ ඍජුව කටයුතු කර ඇත. 2019 අපේ‍්‍රල් ප්‍රහාරයන්ගෙන් පසු පමණ ඉක්මවා ගිය සහ විශම පියවරයන් වැළැක්වීමේලා එහි කාලෝචිත මැදිහත්වීම් මහ කොමසාරිස්වරිය ප්‍රංසාවට ලක්කරයි. සියලු රාජ්‍ය බලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම සඳහා 2016 දී පිහිටුවන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව තවත් වැදගත් ආයතනයකි.

38.

සඳහන් කළ පරිදි, වෙනත් ආයතනවලට ද වැදගත් හා ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. වන්දි ගෙවීමේ සහ සහනදායී පියවර උදෙසා අතුරුදහන් වූවන්ගේ ඉරණම පැහැදිලි කරගැනීම පිනිස, ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස්වල වින්දිතයින්ගේ ඥාතීන්ට පිළිතුරු සැපයීම සඳහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය පිහිටුවන ලදී. ඒවායේ ස්වාධීනත්වයට තදින්ම ගරු කිරීමත් සහ ඔවුන්ගේ බලාධිකාරයලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් ලබා දීමත් අත්‍යවශ්‍ය වේ.

39.

මෑත වසරවල දී පුළුල් වූ සිවිල් සමාජ සහ විවේචනාත්මක හා ස්වාධීන මාධ්‍ය අවකාශය ද ආරක්ෂා කළ යුතුය. රාජ්‍ය නියෝජිතයින් විසින් මානව හිමිකම් ආරක්ෂකයින් සහ ආරක්ෂිකාවන්, සමාජ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් සහ මානව හිමිකම් උල්ලංනය කිරීම්වලට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව කරනු ලබන සියලු ආකාරයේ තර්ජනාත්මක සෝදිසි කිරීම්, හිරිහැර  සහ පළිගැනීම් වහාම නතර කරන ලෙස මහ කොමසාරිස්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ජනවාර්ගික, ආගමික හා අනෙකුත් සුළුතර ජාතීන්ට, විශේෂයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව රණකාමී ජාතිකවාදී සහ ආගමික කණ්ඩායම් විසින් කරනු ලබන වෛරී කතා සහ ආක්‍රමණශීලී උද්ඝෝෂන පිළිබඳව ද මහ කොමසාරිස්වරිය සැලකිලිමත් වෙයි. ඒ අතරම එවැනි අන්තවාදයන් සක්‍රියව වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් වාර්ගික හිංසනයන්ට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, තවද විශේෂයෙන් වෛරී කතා මැඩපැවැත්වීම මගින් ඒ හා සමාන සිදුවීම් වැළැක්වීමට පියවර ගැන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටී.

40.

අතීත උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීමට අපොහොසත් වීම සහ ඒවාට සහාය සපයන ව්‍යුහයන් විසුරුවා හැරීම සඳහා පුළුල් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් උල්ලංඝනයන් යළි සිදුනොවන බවට සහතිකයක් ශ්‍රී ලංකාවේ ජනතාවට නැතිව යයි. එවැනි අසාර්ථකත්වයන් විසින් වින්දිතයින් සහ ඔවුන්ගේ ප්‍රජාවන් හුදකලා කර රජය කෙරෙහි අවිශ්වාසය ඇති කරයි. එමගින් ප්‍රචණ්ඩත්වයේ තවත් චක්‍රයට ඉන්ධන ලැබිය හැකි ය. වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් දළ මානව හිමිකම් උල්ලංනයන් පිළිබඳ සියලු චෝදනා කඩිනමින් විමර්ශනය කොට නඩු පවරන ලෙසත්, දිගු කලක් තිස්සේ පවතින සංකේතාත්මක සිද්ධීන් සඳහා වගවීම සහතික කිරීම සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසත් මහ කොමසාරිස්වරිය රජයෙන් ඉල්ලා සිටී.

41.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම හා හෝසි කිරීම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසත්, ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේදී මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත සමඟ කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන නව නීතියක් සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන් සමඟ  කටයුතු කරන ලෙසත් මහ ‌කොමසාරිස්වරිය ආන්ඩුව දිරිගන්වයි.

42.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් අඛණ්ඩව අධීක්‍ෂණය කරන ලෙසත් 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන ලෙසත් මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සැම දෙනා වෙනුවෙන් ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා ඇති ජයග්‍රහණයන් ආරක්ෂා කර තවදුර වර්ධනය කර ගැනීම පිනිස මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය  සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අඛණ්ඩව ධනාත්මකව කටයුතු කරනු ඇතැයි මහ කොමසාරිස්වරිය බලාපොරොත්තු වේ.

පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Archive

Latest news

Related news