Wednesday, May 8, 2024

විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විජේදාස රාජපක්‍ෂ තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙන ඒමේ සූදානමක් තිබෙනවා. අපි පළමුවෙන්ම ආණ්ඩුවෙන් විමසනවා, මෙම යෝජනා විජේදාස රාජපක්‍ෂගේ පුද්ගලික වුවමනාවද නැත්නම් ආණ්ඩුවේ වුවමනාවද කියලා? ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා රටට පැහැදිලි කළ යුතුයි. අඩුම තරමේ මහින්ද රාජපක්‍ෂගේ අනුමැතියවත් මේ සඳහා තිබෙනවාද කියලා දැනගන්න කැමතියි. 21වැනි සංශෝධනය මගින් සිදු කිරීමට යන්නේ අපේ රටේ විවිධ දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ඉඩ සීමා කිරීමටයි. මේ වෙනකොට ඡණ්ද ප්‍රතිශතය අනුව එම සීමාව 5%ක් වෙනවා. නමුත් එම සීමාව වැඩිකළහොත් විවිධ දේශපාලන මතයන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වෙනවා. රටක සමාජයක, යහපත් පැවැත්මට නව මතවාද අවශ්‍යයි. යල්පැන ගිය දේශපාලන පක්‍ෂවල මතවාද වෙනුවට නව දේශපාලන මතවාද කරළියට ගෙන ආ යුතුයි. එයට ඉඩ ලබාදීමක් වශයෙන් තමයි 5% ප්‍රතිශතයේ සීමාව ඇතිකරලා තිබෙන්නේ. නමුත් එය වෙනස් කිරීමට විජේදාස ඉදිරිපත් කරන සංශෝධනය ගෝත්‍රික එකක් ලෙසයි අපි දකින්නේ.

ඒ වගේම 22වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායක සභාවට තිබෙන බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි. මේ වනවිට ඇතැම් ක්‍රියාමාර්ග ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා මැදිහත්ව අවබෝධයෙන් සිදුවෙනවා. නමුත් එම ක්‍රියාමාර්ගවල තීරණ ගැනීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි විජේදාස යෝජනා කරන්නේ. එය සාධනීය පියවරක් නෙවෙයි. එය අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම එවැනි තැනකට තල්ලු වෙනවා කියන්නේ නැවතත් 18වැනි සංශෝධනයට යෑමට සමාන වෙනවා. විධායක ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබියදී නැවත ඒවා අහෝසි කිරීමට යාම ඉතාම ගෝත්‍රික පියවරක්. ඒ වගේම අවස්ථාවාදී දේශපාලනයක්. විජේදාස රාජපක්‍ෂ මේ කරමින් තිබෙන්නේ අලුත් ජනාධිපතිවරයාගේ හිත දිනාගෙන කොහොම හරි මන්ත්‍රීකමක් ලබාගැනීමේ අවස්ථාවාදී දේශපාලනයක්. ඒ වගේම ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඉතාම පරස්පර විරෝධීවයි. මහින්ද රාජපක්‍ෂ පිලේ ඉඳලා අනෙක් පැත්තට පැන්න විජේදාස විධායක ජනාධිපති ක්‍රමය බරපතළ ලෙස විවේචනය කළා. නමුත් අද රාජපක්‍ෂ පිලට පැනලා ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කියනවා.

ඒ වගේම ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුව තිබෙනවා, තමන්ගේ පාලන කාලය තුළ ඒකාධිපති බලතල වැඩි කරගන්නවාද නැත්නම් ජනතාවාදී ක්‍රියාමාර්ගවලට පමණක් බලය ඉල්ලනවාද කියලා. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ තමන්ගේ බල වුවමනාවට ඒකාධිපති බලතල වැඩිකරගන්න ක්‍රියාමාර්ගයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඕනෑම දේකට අත උස්සන මන්ත්‍රීවරුන් පත් කර යවනවා වෙනුවට මුදලට, බලයට විකිණෙන්නේ නැති මන්ත්‍රීවරුන් පත් කිරීමෙන් පමණයි මෙම ජනතා විරෝධී ක්‍රියාමාර්ග නතර කළ හැකි වන්නේ.”

-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

—-

“අපේ රටේ 19වැනි සංශෝධනය සම්මත වෙන්න කලින් අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම පිළිබඳව විශාල ලෙස ගැටලු මතුවුණා. නමුත් 19වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව අධිකරණවල විනිසුරුවරුන්ගේ පත්කිරීම ප්‍රශ්නයක් වුණේ නැහැ. ජ්‍යෙෂ්ඨත්වය අනුව බොහෝ පත්කිරීම් සිදුවුණා. 19වැනි සංශෝධනය අනුව මෙම පත්කිරීම්වල සංවරණය හා තුලනය යහපත් ගතිගුණයක් ලෙස ක්‍රියාත්මක වුණා. නමුත් දැන් විජේදාස රාජපක්‍ෂ යෝජනා කරන්නේ මෙම යහපත් ක්‍රියාවලිය අහෝසි කරන්න කියලයි. ඔහු යෝජනා කරන්නේ නැති ප්‍රශ්න ඇති කිරීමටද? 19වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විජේදාස රාජපක්‍ෂයි. එම සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් විශාල වැඩ කොටසක් කරපු විජේදාස රාජපක්‍ෂම අද 19ට පස්ස හරවනවා. එනිසා අපි එය දකින්නේ විජේදාසගේ ගෝත්‍රික මෙන්ම “මං පොර වීමේ” වැඩක් ලෙසයි. ඒ වගේම ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී ජනතාවට වග කියන ජනතාවාදී ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරන බවයි. නමුත් විජේදාස රාජපක්‍ෂ ඉන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තේ.”

-නීතිඥ සුනිල් වටගල

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news