Friday, May 3, 2024

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට යෝජිත ප්‍රතිසංශෝධනය මූළික අයිතියක් නැතිකිරීමක් !

( මෙම සංසෝධනය පොලිස් වධහිංසා සඳහා වැඩි කාලයක් ලබා දීමකි)

නීතිඥ බැසිල් ප්‍රනාන්දි විසිනි.

අත්අ ඩංගුවේ සිටින සැකකරුවන්ට සහාය වීමට නීතිඥයන්ට ඇති අයිතිය නැතිකිරීමේ ප්‍රයත්නයක් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට ප්‍රතිසංශෝධනයක් ඉදිරිපත් කිරීමේ මුවාවෙන් ගෙන ඒමේ උත්සාහයක් පසුගිය සතිය තුළදී හෙළිදරව් විය.

සංශෝධනයේ සාරාංශය මෙසේය.

පොලිස් අත්අඩංගුවේ සිටින්නකුට නීතිඥ සහාය ලබාගත හැක්කේ ඔහුගේ විමර්ශනය අවසන් කොට ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමෙන් පසුවය. එසේ නීතිඥ සහායක් ලබාගැනීමේ දී සැකකරුට නීතිඥ ගාස්තු ගෙවීමට නොහැකි නම් එය නීති ආධාර ක්‍රමය යටතේ ගෙවීමට සැළැස්විය යුතුය.

නීති ආධාර පිළිබඳව සඳහන් කිරීම පිළිබඳව සළකා බැලීමේ දී මෙය ප්‍රගතිශීලී පියවරක් යැයි යමකුට සිතෙන්නට පුලුවන.

එහෙත් මෙම සංශෝධනය මගින් කිරීමට උත්සාහ කරන ලද්දේ පොලිස් පරීක්‍ෂණ අවසාන වන තුරු හා කටඋත්තරයක් ගන්නා තුරු නීතිඥ සහායක් ලබාගැනීම වළක්වාලීමය.

කටඋත්තරයක් ගැනීමේදී :

මේ පිළිබඳව ලංකාවේ නීතිඥ සංගමය කරන ලද ප්‍රකාශයක සඳහන් එක් කරුණක් වූයේ අද්දැකීම් මත බලන කල සැකකරුවනට පහරදීම හා වදහිංසා කිරීම සිදුවන්නේ අපරාධ පරීක්‍ෂණයක් කෙරෙන කාලයේදී හා ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමේදීය.

බොහෝ විට, විශේෂයෙන්ම ගම්බද පලාත්වල, දුගී සැකකරුවන් හා අඩු ආදායම් ලබන සැකකරුවන් පිළිබඳව කරන පරීක්‍ෂණ වලදී එකම අරමුණ වන්නේ සැකකරුවන් ලවාම ඔහු අපරාධයක් කළ බවට පාපෝච්චාරණයක් ලියාගැනීමය.

අපරාධය පිළිබඳ ඇත්තෙන්ම පරීක්‍ෂණයක් නොපවත්වන අතර පරීක්‍ෂණය යන්නෙන් අදහස් කරන්නේ සැකකරුටම පහරදී ඔහුගෙන් යම් තොරතුරක් හෙළදරව් කරගැනීමට හැකි වන්නේද කියා සොයාබැලීමත්, එම ව්‍යායාමය අසාර්ථක වුවහොත් බලයෙන් ඔහු ලවා කටඋත්තරයක් ලියා අත්සන්කර ගෙන එය උසස් නිලධාරීන්ට ඉදිරිපත්කර එයින් අපරාධය පිළිබඳ නිසි පරීක්‍ෂණයක් කළේය යන මතය හැදීමට කරන උත්සාහයත්ය.

වැරදි මතයක් නිර්මාණය කිරීම

මෙම සංශෝධනය ගෙන ඒමට පසුබිම වන්නේ ජාත්‍යන්තරවත්, ලංකාවේ මානව හිමිකම් සංවිධානවලිනුත් නොකඩවාම නීතිඥ සහාය ලබාගැනීමට සැකකරුවන්ට ඇති අයිතිය පිළිබඳව කරගෙන යන ලද උද්ඝෝෂණයයි.

දැන් සංහිදියාව පිළිබඳව කරගෙන යන කටයුතු සමග සම්බන්ධ කිරීම තුළින් මෙම සංශෝධනයෙන් අදහස් කරනු ලැබූයේ තවත් ප්‍රගතිශීලී සංශෝධනයක් ලංකාවේ ඉදිරිපත් කළා යැයි යන වැරදි මතයක් නිර්මාණය කිරීමය.

උදාහරණ ඕන තරම් :

අතීතයේදීත් මේ ආකාර නීති සකස් කිරීම ද ලංකාවේ එතරම් දුර්ලභ නොවන සිදුවීමකි. මේ පිළිබඳව උදාහරණ විශාල වශයෙන් දැක්විය හැකිය.

උදාහරණයක් වශයෙන් ලංකාව ලෝකයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදුකෙරෙන රටවල් අතර දෙවැනි තැන දිනාගෙන ඇත.

එසේ විශාල වශයෙන් අතුරුදහන් කිරීම් සිදුකළ එක් ආකාරයක් නම්, යමකු සැක සහිත ආකාරයකට මරණයට පත්වුව හොත් ඔහුගේ මරණය පිළිබදව පරීක්‍ෂණයක්, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කළ යුතු බවට ලෝකය පුරා පිළිගැනී ඇති නීතිය යටපත් කොට, සිරුරක් ආදාහනය කිරීමේ බලය සහකාර පොලිස් අධිකාරීවරයෙකුට අඩුනොවන නිලයක් දරන්නන් අතට පත්කිරීමය.

මෙහිදී පොලිස් නිලධාරීයකු විසින්ම හා පොලිසිය විසින් සිදුකරන ලද මරණයක් සම්බන්ධයෙන් ශරීරය භූමිදාන කිරීමේ අයිතිය පොලිසියටම පවරන අතර මේ මගින් එම මරණය පිළිබඳ කිසිදු පරීක්‍ෂණයක් පැවැත්වීමේ අයිතිය හා ඉඩකඩ නැතිවී යයි.

මානව හිමිකම් කොමිසමේ විරෝධය

මේ දක්වා බලයෙන් අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් කිසියම්ම හෝ නඩු පැවරීමක් සිදුනොවන්නේ මේ ආකාරයෙන් සාක්‍ෂි නැති කිරීම නිසාය.

කෙසේ වූවත් මෙවර ඉදිරිපත් කිරීමට උත්සාහ කරන සංශෝධනය ඉක්මනින් විශාල විවේචනයකට ලක්වූ අතර ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවද එහි සභාපතිනි ආචාර්ය දීපිකා උදුගමගේ අත්සනින් එයට විරුද්ධව දීර්ඝ ලිපියක් ආණ්ඩුව වෙත යොමුකරන ලදි.

ලංකාවේ නීතිඥ සංගමයද ඒ ගැන තම අවධානය යොමු කොට ඇති අතර ලංකාවේ ජනමාධ්‍ය තුළින් ද මේ පිළිබඳව විශාල උද්ඝෝෂණයක් ඇතිවෙමින් පවතී.

මෙවැනි වංචාවක් කිරීමට කරන උත්සාහය හුදෙක්ම නීති පිළිබඳව කෙටුම්පත් ලියන්නන් අතින් පමණක් සිදු නොවිය හැකිය.

ආණ්ඩුවේ අනුමැතියක් නොලැබුණානම් මෙවැනි නීතියක් ඉදිරිපත් කිරීමට ඔවුන් නොපෙළඹෙනු ඇත.

කෙසේ වූවත් මේ ආකාරයෙන් වංචනික ලෙස ලංකාවේ රටවැසියන් සතු මූළික අයිතියක් නැතිකිරීමට කරන ලද උත්සාහය, රජය මෙන්ම මාධ්‍යයේ ද පරීක්‍ෂණයට ලක්විය යුතුය.

(නීතිඥ බැසිල් ප්‍රනාන්දු) / ශ්‍රී ලංකා මිරර්

Archive

Latest news

Related news