Friday, May 10, 2024

මට වෙච්ව දේ වෙනකාටවත් වෙන්න දෙන්න එපා! – දුනේශ් ප්‍රියශාන්ත

කොටදෙණියාවේ දැරියක දූෂණය කොට මරා දැමූ  අපරාධකරුවා ලෙසින් පොලිසිය සහ මාධ්‍ය රටට හදුන්වා දුන් ‘‘කොණ්ඩයා’’ ( දුනේෂ් ප‍්‍රියශාන්ත) එම සිදුවීමට සම්බන්ධ නොවන බව ඞීඑන්ඒ පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වීමෙන් පසුව අධිකරණය ඔහුට ඇප නියම කළේ ය.

ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් පිටතට පැමිණ හෝරා කිහිපයකට පසු ඔහු සමඟ සාකච්ඡාවක් කිරීමට අපට අවස්ථාව ලැබිණ. ඒ වන විටත් ඔහු සිටියේ කිසියම් ආකාරයක වික්ෂිප්ත මානසික තත්ත්වයක වූයෙන් අපගේ දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වලට ඔහු ගෙන් ලැබුණේ කෙටි සහ සීමිත පිළිතුරු ය.

එහෙත් ඒ තුළ පොලිසිය රටේ නිතිය සහ සාමය ආරක්ෂා කරන ආකාරයත්, අපරාධ පරීක්ෂණ සිදුකරන ආකාරයත් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කෙරේ. ඊයේ සහ අද දුනේෂ් ප‍්‍රියශාන්තට අත්වූ ඉරණම හෙට ඔබට හෝ මට අත් නොවීම සඳහා නොපමාව සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් කරනු වස් මෙවර සතියේ කතා බහ වෙන්වෙන්නේ දුනේෂ් කළ හෙළිදරව්ව වෙනුවෙනි.


ඔබේ නම මොකක්ද?
දුනේෂ් ප‍්‍රියශාන්ත

වෙනත් නම් තිබෙනවාද?
පුංචි කාලේ ඉඳලා ‘‘පොඞී’’ කියලත් කතා කරනවා.

දැන් මිනිස්සු ඔබ හඳුන්වන්නේ කොණ්ඩයා කියලා බව ඔබ දන්නවද?
ඔව්.

කවුද ඔබට ඒ නම දැම්මේ?
දන්නේ නැහැ.

පොලිසියෙන්ද දැම්මේ?
නෑ. පොලිසියේදි නම් මට කොණ්ඩයා කියලා කවුරුත් කතා කළේ නැහැ. මාධ්‍යවල තමයි කොණ්ඩයා කියලා මට කියන්නේ.

ඔබේ පදිංචිය කොහේද?
ගම්පහ

ඔබ පහුගිය කාලයේ ජීවත්වුණේ කොහේද?
කොටදෙණියාවේ අක්කලා ගෙදර.

එහෙ මොකද කළේ ?
ඞී.සී. පොල් කැපුවා.

ඒ දිනවල කොටදෙණියාවේ සේයා කියලා දැරියක් ගැන ඔබ දැනගෙන හිටියාද?
නැහැ

දැන් දන්නවා නේද?
ඔව්

කොහොමද දැනගත්තේ?
මාධ්‍යවලින් දැනගත්තා. ඊට කලින් එහෙම ළමයෙක් ගැන මං දැනගෙන හිටියේ නැහැ.

ඇයගේ නිවෙස තිබෙන තැන ඔබ කලින් දැනගෙන හිටියාද?
දන්නේ නැහැ. මං ඒ ගෙදර දැකලාවත් නැහැ

ඔබ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ ඇයගේ මරණය සම්බන්ධයෙන් කියලා දැනගත්තේ කොයි වෙලාවෙද?
පොලිසියට ගෙනල්ලා ගහලා ගහලා කිව්වට පස්සේ.

මොනවද පොලිසිය ඔබට කිව්වේ?
අපි ඔක්කොම සාක්ෂිත් එක්ක හොයාගෙන තියෙන්නේ. ළමයව මැරුව විදිහයි, අරං ගිය විදිහයි විතරක් අපිට කියපං කිව්වා.

ඔබ මොකද කිව්වේ ?
මං කිව්වා මං එහෙම දෙයක් කළේ නෑ කියලා.

ඊට පස්සේ ?
කියපිය කියලා මගේ ඇස් බැඳලා ගහන්න පටන් ගත්තා. ගහලා ගහලා අන්තිමට මට පොතක අස්සන් කරන්න කිව්වා. මං ඒකට කැමති වුණේ නෑ. ඊට පස්සේ ආයෙත් ගහන්න පටන් ගත්තා. ගහන විදිහට මට හිතුණා මං මේක පිළිගත්තේ නැත්නම් මාව මරලා දායි කියලා. ඒ නිසා අන්තිමේ මං අස්සන් කරන්න කැමති වුණා.

මොකකටද ඒ අස්සන ගත්තේ ?
ඒකේ මොනව තිබුණද කියන්න මං දන්නේ නෑ. මට අස්සන් කරන්න තැන පෙන්නුවාම මං අස්සන් කළා.

ඔබ දීපු කටඋත්තරයක් පොලිසියේදි ඔබට කියවලා දීලා නිවැරදි නම් අස්සන් කරන කියලා ඔබට කිව්වාද?
නෑ. ඒ වෙනකොට මට හොඳටම ගහලා දරාගන්න බැරිව හිටියේ. අස්සන් කරපං කිව්වාම පෙන්නපු තැන මං අස්සන් කළා.

ඔබ නොකළ අපරාධයකට පොලිසිය ඔබෙන් බලෙන් මේ විදිහට අස්සන් ගත්තා නම් උසාවියට ඉදිරිපත් කළ වෙලාවේ ඔබ ඒ බව මහේස්ත‍්‍රාත්වරයාට නොකිව්වේ ඇයි?
මුලින්ම මාව මිනුවන්ගොඩ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ මා වෙනුවෙන් පෙනී හිටින්න කිසිම නීතිඥ මහත්තයෙක් හිටියේ නැහැ. මට කතා කරලා කියන්න හැකියාවක් ඒ වෙලාවේ තිබුණෙත් නෑ.

ඔබ මේ දූෂණය සහ ඝාතනය කළ බව අයියාට කී බවත් ඒ ගැන කාට හරි කීවොත් අයියාවත් මරා දාන බවට ඔබ අයියට තර්ජනය කළ බවත් අයියා පොලිසියට කියා තිබුණ බව වාර්තා වුණා. ඔබ එහෙම කිව්වද?
එහෙම කිසිම දෙයක් මං කිව්වේ නැහැ. අයියා පොලිසියට එහෙම කිව්වද කියලත් මං දන්නේ නැහැ.

කොහෙදිද ඔබ පොලිස් අත්අත්අඩංගුවට ගත්තේ ?
ගම්පහ අක්කලා ගෙදරදි.

කැලේකදි නෙවෙයිද ?
කැළේකදි නෙවෙයි.

ඔබ කැලේ ජීවත් වුණු පුද්ගලයෙක් කියා පොලිසිය කියන්නේ ඇත්තද?
ඒක බොරුවක්. මං යාලූවෙකුගේ කුඹුරක් වැඩ කළා. ඒකේ හිටියේ.

පොලිසිය ඔබ අත්අඩංගුවට ගත්තේ එහිදිද?
කුඹුරේ ඉඳලා කෑම කන්න ගෙදර එද්දි අතරමගදී.

කොහොමද අත්අඩංගුවට ගැනීම වුණේ?
පොලිසිය එනකොට මං දුවන්න යද්දි වැටුණා. එතකොට මාව අල්ලගෙන පොහොර කවරක් වගේ එකක් ඔළුවට දාලා ජීප් එකක් වගේ එකක් ඇතුළට දාගත්තා.

ඔබ අමුවෙන් මාළු කන පුද්ගලයෙක් කියලා කියන්නේ ඇත්තද?
මස් මාළු කනවා. ඒත් අමු මාළු කන්නේ නෑ. කාලත් නෑ.

ඔබ ජීවත් වුණු කාමරය කියා කාමරයක ඡායාරූප මාධ්‍යයේ පළ වුණා. ඒකේ බිත්තියේ කාය වර්ධකයන්ගේ ඡායාරූප අලවා තිබුණා. ඒක හරිද? ඔබ ජීවත්වුණේ එහිද?
ඔව්. අක්කලා ගෙදර ලොකු මහත් වෙච්ච ගෑනු ළමයෙක් ඉන්න නිසා පිටිපස්සට  වෙන්න ටකරන් දාලා මංමයි ඒක හදාගත්තේ. ගෙදර ඉන්න කොටත් මං ස්පෝට්ස් කරනවා. ගෙදර තිබුණු ඒවා තමයි බෑග් එකක දාගෙන මං අක්කලා ගෙදර ගෙනියලා තිබුණේ. එහෙ පහසුකම් නැති හින්දා. වැඩ ඇරිලා ආවම මං හවසට සෙල්ලම් කරනවා.

දැරිය මැරුවේ ඔබ නොවෙයි නම් ඇයි ඔබ පොලිසියට බයේ හැංගුණේ ?
මට වෙනත් නඩු තිබුණා.

ඒ මොනවටද?
ගෙට පැනලා පහරදීමකට. ඒක මං කළ එකක් නෙවෙයි. මගේ යාලූවෙක් කළ එකක්. ඒකට මාවත් ගාවල තියෙන්නේ පොලිසියෙන්.

මීට කලින් ඒ වගේ දේවල්වලට බන්ධනාගාර ගතවෙලා තියනවාද?
හිරේ ගිහින් නෑ. රිමන් වෙලා ඉඳලා තියනවා.

කොටදෙණියාවේ සේයා දැරියගේ සිදුවීම වෙනකොට ඔබ කොහෙද හිටියේ?
එහෙ අක්කලාගේ ගෙදර.

වෙන කවුද ඒ ගෙදර හිටියේ?
අක්කයි, ළමයි දෙන්නයි, මස්සිනයි, අයියයි.

එදා ? විශේෂ යමක් සිදුවුණාද?
ඔය මරණය වුණා කියන සිකුරාදා දවසේ අයියත් ගෙදර ඇවිල්ලා හිටියා. එදා මස්සිනා පඩි අරගෙන අරක්කු බෝතලයකුත් අරගෙන කළුවර වැටෙන වෙලාවේ ගෙදර ආවා. අපි අරක්කු බෝතලෙන් තුන් කාලක් විතර බිව්වා. අයියා බිව්වේ නෑ. මායි මස්සිනයි තමයි බිව්වේ. පස්සේ අපි තුන් දෙනාම නිදාගත්තා. මං නිදියන තැන පැදුරයි කොට්ට දෙකකුයි දාලා අයියට නිදා ගන්න දීලා මං ඊට එහා පැත්තෙන් නිදාගත්තා. නින්දේ ඉන්න අතරේ මට දැණුනා අයියා ඇඟ උඩින් පැනලා යනවා වගේ. නමුත් කොහෙ ගියාද එහෙම කියන්න මං දන්නේ නැහැ. මං උදේ අක්කටත් කිව්වා? මෙයා නැඟිටලා ගියා කියලා. අයියා නිදාගත්තේ සරමක් ඇඳගෙන. ඒත් උදේ බලද්දි හිටියේ ෂෝටක් දාගෙන.

දැරිය ඝාතනය කරන්න ඇත්තේ එහෙම ගියපු අයියා කියලා ඔබ හිතනවද?
ළමයෙක් ගෙනිච්චද? මැරුවද කියන්න මං දන්නේ නැහැ.

අයියා ගැන දැන් මොකද හිතෙන්නේ ?
කිසිම දෙයක් හිතෙන්නේ නෑ.

ඔබගේ හිසේ තුවාලයක් සහිත ඡායාරූපයක් මාධ්‍යවල පළ වුණා. කොහොමද ඒ තුවාලේ සිද්ධ වුණේ?
මගේ ඇස් වහලා බැඳලා තමයි සීඅයිඩියට අරගෙන ගියේ. අරං ගිය ගමන්ම ඒ බැඳලා තිබුණු පටියෙන් අල්ලලා මගේ ඔළුව බිත්තියේ ගැහුවා. එතකොට.

කොටදෙණියාවේ හිටිය ඔබ දැරියගේ ඝාතනයෙන් පසුව ගම්පහට ගියේ ඇයි?
මං කොටදෙණියාවේ අක්කලා ගෙදර ඉන්න වෙලාවෙ සිවිල් ඇඳපු දෙන්නෙක් ඇවිත් මගේ නම ගම විස්තර ඇහුවා. මගේ ෆෝන් එක අරගෙන ඒකේ මෙමරිය චෙක් කළා. ඇඳුම් ඔක්කොම ඇදලා බැලූවා. ඒ වෙලාවෙ අක්කයි දුවයි එළියට ගිහින් හිටියේ. ඒ දෙන්නා ආවම අක්කගෙනුත් විස්තර අහලා සටහන් කරගත්තා. වැඩකරන තැන ගැනත් විස්තර අරගෙන ඒ දෙන්නා ගියා.

ළමයෙක් මරපු සිදුවීමක් ගැන ඔබෙන් ප‍්‍රශ්න කළාද?
නෑ. එහෙම කිසිම දෙයක් ගැන ඇහුවේ නෑ. වැඩ කරන තැන විස්තර ඇහුවා. ඇඳගෙන හිටිය ඇඳුම් එහෙමත් චෙක් කළා. ෆෝන් එක චෙක් කළා. එච්චරයි.

ඒ අය කවුද කියලා ඔබ දැනගෙන හිටියද?
නෑ. කවුද කියලා කිව්වේ නෑ.

ඊට පස්සේ ?
අත්තනගල්ල උසාවියේ තිබුණු නඩු නිසා මට හිතුණා පොලිසියෙන් තමයි එන්න ඇත්තේ කියලා. ඒ බයට මං ගම්පහ අක්කලා ගෙදර එන්න පිටත් වුණා? හත විතර වෙනකොට මං අක්කලා ගෙදරට ආවා. මං යනකොට මල්ලියි අම්මයි මිදුලේ හිටියා. මං ඒ අයට කිව්වා මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ අම්මා කෑම බෙදලා දුන්නා. කෑම කාලා මං පල්ලෙහා තිබුණු ගෙදරකට වෙලා පැයක් දෙකක් හිටියා. එතනටත් පොලිසිය එයි කියලා හිතුණ නිසා ඊට පස්සේ පල්ලෙහා තියන වෙළට ගියා.

ඔබව රිමාන්ඞ් බන්ධනාගාරගත කළාම කරදර හිරිහැරවලට මුහුණ දෙන්න වුණාද?
නෑ. මාව ඇතුළට ගන්න වෙලාවෙම බන්ධනාගාරේ මහත්තුරු ඇහුවා මංද මේක කළේ කියලා. මං කිව්වා නෑ පොලිසිය බොරු කටඋත්තරයකට අස්සන් අරගෙන මාව ඇතුළට දැම්මේ කියලා. ඇතුළේ හිටිය අනෙක් කට්ටියත් ඇහුවම මං ඇත්ත කිව්වා. ඒ කාගෙන්වත් මට කිසිම හිරිහැරයක් වුණේ නෑ. ඒ අය අතරෙත් මට වගේ බොරු චෝදනා දාලා ඇතුළට දාපු අය ගොඩක් හිටියා ඇපයක්වත් තියාගන්න බැරිවෙච්ච.

ඔබ කොච්චර දුරට ඉගෙන ගෙන තිබෙනවාද?
මං ඉස්කෝලේ පහේ පන්තියට විතරයි ගියේ. අක්කලා දෙන්නයි අයියයි මායි මල්ලියි පවුලේ පස් දෙනයි. අපි කවුරුවත් වැඩිය ඉගෙන ගෙන නෑ. අපිට ඒවාට වියදම් කරන්න සල්ලි තිබුණෙත් නෑ. තාත්තා කුලී වැඩක් කරලා හම්බ කරගත්ත දේකින් තමයි පවුල ජීවත් කළේ.

දැන් පවුලේ අනෙක් අයගේ තත්ත්වය මොකක්ද?
අක්කලා දෙන්නා දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා. මල්ලි පොඩි රස්සාවක් කරනවා.

දැන් ඔබගේ වයස කීයද?
අවුරුදු 32යි.

ඔබට පේ‍්‍රම සම්බන්ධතාවක් එහෙම තිබුණේ නැද්ද?
ආදරේ කළ ගෑනු ළමයෙක් නුවර කටුගස්තොට හිටියා. දැන් ඉන්නවද දන්නේ නැහැ.

ඔබ විවේකයක් ලැබුණම විනෝදයට මොන වගේ දේවල්ද කරන්නේ?
ස්පෝට්ස්වලට තමයි ගොඩක් කැමැති. චිත‍්‍රපටි බලන්නත් කැමතියි.

අන්තිමට බැලූව චිත‍්‍රපටිය මොකක්ද?
මතක නෑ.

මොනවගේ චිත‍්‍රපටිද සාමාන්‍යයෙන් බලන්නේ ?
රෙස්ලින් වගේ තියන ඒවා.

සංගීතයට වගේ කැමති නැද්ද?
සින්දුත් අහනවා.

ඔබට නිදහස ලැබී තිබෙනවා. දැන් ඔබ කොහෙද යන්නේ ?
ඒක තමයි මාත් කල්පනා කරන්නේ? අක්කලාගෙ ගෙදරටත් ගින්දර දාලා නිසා එහෙ යන්නත් බෑ. දුවගේ ඉස්කෝලේ ගමනත් නැවතිලා තියෙන්නේ.

රස්සාවක් කරන්න කැමතිද?
ලැබෙනවා නම් කැමතියි.

ඔබ සමාජයෙන් ඉල්ලා සිටින්නේ මොනවද?
මට වෙච්ච අසාදාරණයට යුක්තිය ඉෂ්ට කරන්න කියලයි. වෙනත් කෙනෙකුට මට වෙච්ච දේ වෙන්න ඉඩ තියන්න එපා කියලයි.

මේ සිදුවීමෙන් පසුව මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්න කියලා රටේ ලොකු ඉල්ලීමක් තියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?

වරදක් කළොත් දඬුවමක් දෙන්න  ඕනේ.

වෙනත් දඬුවමක් නෙවෙයි. මරණ දඬුවම?
ඔය වගේ අපරාධවලට නම් මරණ දඬුවමත් දෙන්න  ඕනේ. හැබැයි වැරදි කළ පුද්ගලයන්ට.

සාකච්ඡා කළේ – ශ‍්‍රීලාල් සෙනෙවිරත්න

කලම්බ්‍ර පෝස්ට්

Archive

Latest news

Related news