Friday, April 19, 2024

ප්‍රගීත් අතුරුදහන්වීම ගැන සොයන්න කරුණු මදියි – අතුරුදහන් කොමිසමෙන් සන්ධ්‍යාට ලිපියක්

සන්ධ්‍යා එක්නැළිගොඩ විසින්  අතුරුදහන්වූවන් පිළිබඳ කොමිසමට පැමිණිළි කර ඇති ප්‍රගීත් එක්නෑළිගොඩ අතුරුදහන්වීම පිලිබඳ පරීක්ෂනය කිරීමට කරුණූ ප්‍රමාණවත් නැතැයි එම කොමිසම ලිපියක් මගින් සන්ධ්‍යා එක්නැළිගොඩට දන්වා තිබේ.

එම ලිපියෙහි කියා ඇත්තේ ඔවුන් සතුව ඇති දත්ත පෝරමය ප්‍රමාණවත් නැති බැවින් පහත සඳහන් ලිපි ලේඛන සපයන ලෙසයි.

ජාතික හැඳුනුම්පත. පොලිස් පැමිණිල්ලේ පිටපත, අතුරුදහන් වූ පුද්ගලයාගේ ජාතික හැඳුනුම් පත, ඡායාරූපයක් සහ උප්පැන්න සහතිකය, අයදුම්කරුගේ ජාතික හැඳුනුම් පත, උප්පැන්න සහතිකය, දිව්රුම් ප්‍රකාශයක්, දරුවන්ගේ උප්පැන්න සහතික, ඥාතිත්වය ඔප්පු කිරීමේ දිව්රුම් ප්‍රකාශයක්. අතුරුදහන් වූ පුද්ගලයාගේ විවාහ සහතිකය. මරණය ලියා පදිංචි කිරීමේ පිටපත සහ මරණ සහතිකය, පදිංචිය සහතික කිරීමේ ග්‍රාම සේවක සහ ප්‍රාදේශීය ලේකම් ලිපි, අතුරුදහන් වූ පුද්ගලයා පිළිබඳ පුවත් පත්‍රිකාව සහ වෙනත් ලිපි සහ වෙනත් අංශවල ඉල්ලීම්.

එහි ඇති වඩා භයානක කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ අතුරුදහන්වූවන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට සහ අන්තර් ජාතික රතු කුරුස සංවිධානයට යවන ලද ලිපි ඇත්නම් ඒවායේ පිටපත්ද වෙනත් කොමිෂන් සභා ලිපි සහ වාර්තා ඇතොත් ඒවායේ පිටපත්ද ලබා දෙන ලෙස කරන ලද දැනුම් දීමයි.

මෙම අරුම පුදුම ලිපියට දීර්ඝ පිළිතුරක් යවන සන්ධ්‍යා එක්නැළිගොඩ අතුරුදහන්වූවන් පිළිබඳ වත්මන් කොමිසමේ සභාපති උපාලි අබේරත්න, පළි ගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති වශයෙන් ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව පිළිබඳ ගත් අනිසි පියවර සඳහන් කරයි.

ඇය එහිලා මෙසේ සඳහන් කරයි.

එම නඩු විභාගය සම්බන්ධයෙන් පළි ගැනීම් කොමිසම කරන ලද පරීක්ෂණයට තමා කැඳවූවේ නැත.

නඩු විභාගයේ සාක්ෂිකරුවන් වෙත අනිසි බලපෑම් කරන ලදී.

කොමිෂන් සභා වාර්තාව විසින් ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම පිළිබඳ කෙරී ගෙන යන නඩු විභාග දෙකෙහි (HC 209/19 සහ HC (TAB) 725 /19 ) අධි චෝදනා ඉවත් කර චූදිතයින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම පිළිබද නිවැරදි පරීක්ෂනයක් කළ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දණ්ඩනයට ලක් කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

තමා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ රතුකුරුස සංවිධානයට යවන ලද ලිපි ඉල්ලීම අනිසි බලපෑමකි.

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කරවීම පිළිබඳ වැඩි තොරතුරු දැන ගැනීම අවශ්‍ය නම් B7417/10 (Homagama M C) HC 2019/19 (Homagama HC ) HC (TAB) 725 /19   යන නඩුකරයන්හි ඇති තොරතුරු ලබා ගන්න.

Archive

Latest news

Related news