Tuesday, July 16, 2024

උපාධිධාරීන්ට හමුදාව පුහුනුව දෙන වැඩසටහන හමුදා මධ්‍යස්ථාන 51 ක දී

රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන්  ජනාධිපති උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන සඳුදා (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කරයි.

අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම මාසයක කාල සීමාවක් පවත්වනු ලබන නේවාසික වැඩසටහනේ පළමු අදියරේදී උපාධිධාරින් 10,000 ක් මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කරගනු ලැබේ. එසේ අදියර 5 ක් යටතේ බඳවාගනු ලැබූ උපාධිධාරින් 50,000 ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.  ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයෙහි සම්බන්ධීකරණය තුලින් ක්‍රියාත්මක කෙරේ.

මෙම ක්‍රමවේදය හරහා අදියරකදී උපාධිධාරීන් 10,000 ක් පුහුණු කිරීම සඳහා රාජ්‍ය අංශය සැලසුම් කර ඇති අතර ‘නායකත්වය හා සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම’, ‘කළමනාකරණ පුහුණුව’, ‘පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන පුහුණුව’, ‘ව්‍යාපෘති කටයුතු සහ ක්ෂේත්‍ර අධ්‍යයනය’, ‘සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව’ වැනි විෂයයන් ඔස්සේ රාජ්‍ය ඵලදායිතාවයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ සේවකයෙකු බිහිකිරීමට අපේක්‍ෂා කරව බවද එම සඳහන් කරයි.

රාජ්‍ය අංශය වෙත බඳවාගනු ලබන මෙම උපාධිධාරින්ගේ මානසිකත්වය බඳවා ගැනීමේ සිට විශ්‍රාම දිවිය දක්වාම යහපත් ලෙස පවත්වාගෙන යාමෙහි අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් පවත්වනු ලබන යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව නායකත්වය, කළමනාකරණය, අවධානය, විශ්වාසය සහ දිගුකාලීන හා කෙටිකාලීන අරමුණු සඳහා ඵලදායී හා කාර්යක්‍ෂමව කටයුතු කිරීම, ඔවුන්ගේ සංකල්පීය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම වැඩසටහන යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 ක දී පැවැත්වෙනු ඇත.

 මෙම වැඩසටහන සමඟයුද්ධ හමුදා පුහුණු ආයතනයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමීපව කටයුතු කරනු ඇත.

මෙම පුහුණු වැඩසටහන මැනවින් පවත්වා ගැනීම වෙනුවෙන් උපායමාර්ගික මගපෙන්වීම් ලබාගැනීම සඳහා පුහුණු වැඩසටහන දියත් කරනු ලබන මාස 05 ක කාලය පුරා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධව කටයුතු කරන අතර මෙම පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් විවිධ ක්ෂේත්‍රයන්හී ප්‍රවීණතම සම්පත් දායකයින් සමඟින් නිරන්තරයෙන් සම්බන්ධ වනු ඇතැයි ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කරයි.

army media

Archive

Latest news

Related news