Friday, April 26, 2024

අත්අඩංගුවේ මිය ගිය මාරිමුත්තුගේ මරණය ගැන පරීක්ෂනයක් ඕනෑ -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

ඉකුත් 31 වන දින තලවකැලේ නගරයේදී තලවකැලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු වූ විසි හැවිරිදි මාරිමුත්තු මනෝජ් නැමැති සැකකරු පොලීස් අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිද්ධිය පිළිබඳව අප දැඩි කණස්සල්ලයට පත් වෙමු. මෙම මරණය පිළිබඳ පොලිස් ප්‍රකාශණයේ දක්වා ඇත්තේ මෙම සැකකරු ජීප් රථයෙන් රැගෙන යාමේදී ජීප් රථයෙන් පැන දුවගොස් ජලාශයකට පැන මරණයට පත් වූ බවය.

එහෙත් මෙම සිද්ධිය මේ ආකාරයට සිදුවිය හැකිද යන්න පිළිබඳව සැක සහිතය. විශේෂයෙන්ම පොලීසියේ මෙම ප්‍රකාශය පසුගිය වසර තුනක කාලය තුල පොලිස් අත්අඩංගුවේදී මියයන ලද සැකකරුවන් සියයකට ආසන්න පිරිසක් මිය යෑමේදී දෙන ලද ප්‍රකාශයට සමාන වේ.

පසුගිය ජනාධිපතිවරණයේදීද මෙවැනි මූලික අයිතිවාසිකම් කඩවීම් හා මිනී මැරීම් පිළිබඳව පසුගිය පාලනය දැඩි විවේචනයට ලක්විය. මැතිවරණයේදී ජනතාව මෙවැනි ක්‍රියා හෙළා දකිමින් ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික අයිතිවාසිකම් ආරක‍්ෂා කිරීමට පොරොන්දු වූ රජයක් පාලනයට පත් කර ඇති බව පොලීසියට නොවැටහීම කණගාටුදායකය.

මෙම සිද්ධියද මෙයට පෙර පාලනය යටතේ සිදුවූ සිදුවීම් ඉදිරියටද පොලීසිය විසින් පවත්වාගෙන යෑමක් ලෙස දැකිය හැකි හෙයින් මහජනතාව තුල ඇති සැකය දුරු කිරීම සඳහා වහාම විධිමත් ඉහළ පෙලේ පරීක‍්ෂණයක් පවත්වා ජනතාවට ඇත්ත දැන ගැනීමට සලස්වන මෙන් අප පොලිස්පතිගෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ
කැඳවුම්කරුවන්
ලාල් විජේනායක,
චන්ද්‍රපාල කුමාරගේ,
ජේ සී වැලිඅමුණ,
කේ එස් රත්නවේල්ල
සුදත් නෙත්තිසිංහ,
සුදර්ශන ගුණවර්ධන

Archive

Latest news

Related news