Thursday, June 24, 2021

“71 අගවෙන තුරු මං හිතං හිටයේ විජේවීර හිරෙන් පැනලා විල්පත්තුවේ ඉන්නවා කියළයි!” – වැඩිම කළක් වනගතව සිටි අප්‍රේල් කැරලිකරු සෝමපාල ගරුසිංහ

මගේ ගම් පලාත මාතර අකුරැස්ස. මගේ පියා ධනවතෙකු නොවුවත් ඔහු අදීන පුදගලයෙක්. අයුක්තිය ඉදිරියේ සැලූනේ නැහැ. ඔහු අපගේ අධ්‍යාපනයට වෙහෙසුනා. මට ඉගෙන ගැනීමට ආශාව හා දක්ෂතාව තිබ්බා. මා ප්‍රාථමික අධ්‍යපනය ලැබුවේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ. මම ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් උනා. ඉන්පසු උසස්පෙළ අධ්‍යාපනය සඳහා මාතර රාහුල විද්‍යාලයට ගියා. පාසල් සමයේ සිටම මට විවිධ අසාධාරණයන්ට මුහුණ දෙන්නට සිදු උනා. ඒ අසාධාරණයන්ට නොබියව මුහුණ දීම තුලින් මම ආත්ම ශක්තිය ගොඩ නගා ගත්තා.

මම කරේ ගුරු වෘත්තිය. 1968 මම පුහුණුව සඳහා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට පැමිණියා. නවකයෙකු ලෙසට මට  ජේෂ්ඨයින්ගේ නවක වදයට ලක් වීමට සිදුවීම මතකයි. මෙම නවක වදය කලේ උඩරට පහතරට වශයෙන් පටු බේදීම් ඔස්සේ බව වැටහුනා .මම නවක වදයට විරුද්ධව පෙනී හිටියා. මේ කාලයේ මම ජූඩෝ රෙස්ලිං වැනි ක්‍රීඩා කලා. එබැවින් මා වටා නවක වද විරෝධී ශිෂ්‍ය ගුරුවරු පිරිසක් එකතු වී හිටියා.

ප්‍රනාන්දු දෙසොයුරන් සමඟ

මේ කාලයේ සරත් ප්‍රනාන්දු, හා විමල් ප්‍රනාන්දු යන දෙසොහොයුරෝ මා සමග මිත්‍රව සිටියා. ඔවුන් දේශපාලන වශයෙන් දැරුවේ සමසමාජ අදහස්. සරත් ප්‍රනාන්දු කෑගල්ලේ සරත් විජේසිංහව අඳුරනවා. ඒ නිසා සරත් විජේසිංහ හරහා කල්යානන්ද තීරණාගම අපි හමුවීමට ආවා. අපට මාක්ස්වාදය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීමට. මෙ කාලයේ පේරාදේණිය විශ්ව විද්‍යාලයේ සමාජවාදී සංගමය සරත් විජේසිංහ වැනි අයගේ මූලිකත්වයක් තිබුණා. ඒ වගේම සුමිත් දෙව්නුවර, ගාමිනි යාපා වැනි වෙන කණ්ඩායම් වශයෙන් කි්‍රයා කලා.

කල්යානන්ද තීරණාගම නීතිඥයෙක්. ඔහු ජීවත් උනේ ඉතා සරල විදිහට. කල්යානන්දට අවශ්‍ය කලා මහජන විප්ලවය පිලිබඳව මිනිසුන් දැනුවත් කිරිමට. ඔහු ඒක හැදින්නුවේ මහජන යුද්ධය කියලා. කල්යානන්ද තීරණාගම අනුගාමිකයන් එවකට 100-200 විතර ඉන්න ඇති. මට යම් ආශාවක් තිබ්බා ගරිල්ලා භටයෙකු වීමට මම චේ ගේ පොත් පත් කියෙව්වා. කැලෑ ජීවිතය ගැන හැදෑරුවා.

1969 මැද භාගයේදි විතර මම විමල් ප්‍රනාන්දු හා ඥානතිලක සමඟ කෑගල්ලේ සරත් විජේසිංහගේ ගෙදර ගියා. මේ කාලයේ සරත් විජේසිංහ කල්යානන්ද තීරණාගමගෙන් කැඩිලා. මම ඒ පිළිබඳව හරිහැටි දැනගෙන හිටියේ නැහැ. සරත් විජේසිංහ ලංකා ලයින් එකක් ගැන කථා කලා. තිරණාගම කථා කලේ වෙන ක්‍රමයක් ගැන මේ නිසා යම් යම් මතවාදී ගැටලූ දෙදෙනා අතර තියෙන්න ඇති.

අපි සරත්ගේ ගෙදර යන කොට සරත් නැහැ. ඒත් විජේවීර හිටියා. ඥානතිලක විජේවීර ගේ මොස්කව්හි ලූමුම්බා සරසවියේ සමකාලීනයෙක්. ඥානතිලක ඉංජිනේරු උපාධිය අවසන් කරලා හිටියේ. ඥානතිලක විජේවීර ගැන දැගෙන හිටියා. දෙන්නා ආගිය තැන් කථා කලා.

මේ සිද්ධියෙන් ටික කාලෙකට ඉස්සර සරත් විජේසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය අතර රෙස්ලිං තරඟයක් සංවිධානය කලා පේරාදෙණියේ. ඒකට මම පේරාදෙණිය ගියා. එහිදි සරත් සමඟ මම රෙස්ලිං තරඟයක් කොට ජය ලැබුවා. තරඟයෙන් පස්සේ සරත් විජේසිංහ මට විජේවර්ධන ශාලාවේ නවතින්න ආරාධනා කලත් මම එදාම කොළඹ ආවා. මේ හේතුවෙන් සරත් විජේසිංහ සහ මා අතර යම් හැඳුනුම් කමක් තිබුනා.

අපි සරත්ගේ ගෙදර ටිකක් වෙලා ඉඳලා යන්නට පිටත් උනා. ඥානතිලක ඒ වෙලාවේ අපි පාරට ආවම කිව්වා සරත් ලොක්කා නිසා අමාරුවේ වැටෙනවා යනුවෙන්. අපි කෑගල්ල ඉස්පිරිතාලය ලඟට එන කොට අපට සරත් විජේසිංහ හමු උනා. සරත් මට පෙරැත්ත කලා අපේ ගෙදර යං කියලා. විමලූයි, ඥානසේනයි. විමල්ලාගේ කෑගල්ලේ ගෙදර ගියා. මම සරත් විජේසිංහ එක්ක සරත්ගේ ගෙදරට ගියා.

විජේවීර හමුව

එදා රැ විජේවීර කෑගල්ලේ වීරරත්න කියන ගුරුවරයාගේ ගෙදර පන්තියක් කලා. වීරරත්න මහරගම ගුරු අභ්‍යස විදයාලයේ පලමු වසරේ කෙනෙක්. සරත් මෙ පන්තියට මාවත් ගෙනිච්චා. රෑ අටේ සිට අළුයම පහ දක්වා විජේවීර කථා කලා. මේ පන්තියට කට්ටිය 10-15 විතර ඉන්න ඇති. ඔහු කථා කලේ ආර්ථීක අර්බුධය ගැන ලඟ එන හමුදා ආණ්ඩුවක් ගැන කිව්වා. මම විජේවීර ගේ කථාවට බොහොම පැහැදුනා. පසුවදාම කොළඹ ගියාම මම කල්යානන්ද තිරණාගම හමු වෙලා විජේවීර හා ඔවුන්ගේ දේශපාලන අන්තර්ගතය ගැන පැවසූවා.

කල්යානන්ද 1930 ගනං වල චින කොමියුනිස්ට් පක්ෂයේ මාංචින් කියන අතිධාවනකාරී පුද්ගලයා පක්ෂයට කල විනාශය ගැන මාඕ ලියූ ලිපිය කියෙව්වා. විජේවීර ගේ දේශනයේ අන්තර්ගතය විවේචනය කලා. මේක මාක්ස්වාදය නෙවෙයි කෙටි ප්‍රයෝජනවාදය, තැනේ හැටියට ජාතිවාදය කුලවාදය අදින ස්ථීර ප්‍රතිපත්ති රහිත සර්ව සංග්‍රහ වාදයක් කිව්වා. මම විජේවීර ගේ පන්තියට ගිය නිසා තිරණාගම මාව ටිකෙන් ටික අයින් කරන්න ගත්තා. අපේ බෝඩ්මේ හිටපු රත්නපාල කියන සගයා මා සමග දැඩිව ගැටුනා. විමල් ප්‍රනාන්දු මට මැදහත් විදිහට සැලකුවා. මගේ පැරැණි මිතුරන් බෝඩිමෙන් අස්වෙලා ගියා. මගේ මේ හේතුවෙන් මම වඩාත් සරත් විජේසිංහ දෙසට තල්ලූ උනා.

කල්යානන්ද මා සමඟ දිගටම සංවාදය මගින් මට කරුණු අවබෝධ කිරීම වෙනුවට කලේ මාව කපා දාන එක. ඒ නිසා මම සරත්ලාගේ පිලට ඇදී ගියා. ඉන්පස්සේ මාව හමුවෙන්න ලොකු අතුල, බෝපගේ, මිල්ටන් සුනිල් වික්‍රම එහෙම එනවා. විජේවීර ත් එනවා. සමහර දවස්වලට රෑ මගෙ බෝඩිමේ නවතිනවා. විජේවීර මම හරහා මහරගම ටේ‍රනිං කොලේජ් එකට සම්බන්ධකම් ඇති කර ගත්තා. මම මහරගම ටේ‍රනිං කොලේජ් එකේ පිරිසක් අධ්‍යාපන කඳවුරකට සහභාගි කෙරෙව්වා. ඒ පන්තිය කලේ ප්‍රේමපාල. ඩී.. ගුණසේරත් සහභාගී උනා. මෙහෙම යන කොට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ 30 විතර පිරිසක් අපිට හිටියා. බෝපගේත් පන්ති කලා මේ පිරිසට. 1969 අග වෙන කොට මමත් පන්ති පැවැත්වූවා.

එව්.එන්. ප්‍රනාන්දු සමඟ

1970 ජනවාරි මාසයේ මට ත්‍රිකුණාමල මහා විද්‍යාලයේ පත්වීමක් ලැබුනා. විමල් ප්‍රනාන්දු ගෝමරන්කඩවල විද්‍යාලයට ගියා. විමල් දිගටම හිටියේ කල්යානන්ද එක්ක. මම ත්‍රිකුණාමල මහා විද්‍යාලයට යන කොට එච්.එන්. ප්‍රනාන්දු එහි කුඩා කණ්ඩායමක් හදලා තිබුනේ. 1970 හයිඩ් පාක් එකේ ජ.වි.පෙ. රැස්වීමට මම එච්. එන්. ප්‍රනාන්දු එක්ක ගියා. එච්.එන්.ට පියතිලකව හඳුන්වලා දුන්නා.

එච්.එන්. ප්‍රනාන්දුගේ කණ්ඩායමේ කුමාර ජයසේකර. මරතඩියේ ප්‍රේමදාස, ති්‍රකුණාමල දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකාරයෙකු වන කටු අතුල හෙවත් ගුණරත්න හිටියා. හුංගම රංජිත් පූර්ණකාලීනයෙකු හැටියට වැඩකලා. මම ත්‍රිකුණාමල මහා විද්‍යාලයට යනකොට එච්.එන්. ප්‍රනාන්දුට මාරුවක් ලැබිලා. ඒත් එච්.එන්. ප්‍රනාන්දු එයා හදපු කණ්ඩායම මට අඳුන්වලා දුන්නා.

අපි ටිකින් ටික සන්නද්ධ වෙන්න පටන් ගත්තා. ත්‍රිකුණාමලයේ පතුරං මිලට ගන්න අමාරුවක් නැහැ. මම පතුරං සල්ලි වලට ගන්නවා. ඒවා ලයනල් බෝපගේට යැව්වා. මම කෝච්චියේ කොළඹ එනකොටත් පතුරං ගේනවා. වරක් මම පතුරං අරගෙන එන කොට මාත් එක්ක දුම්රිය නිදන මැදිරියේ ත්‍රිකුණාමල පොලිසියේ ඒ.එස්.පි. ත් ආවා.

මම පාසලේ ඉගැන්නුවේ භෞතික විද්‍යාව. මේ වනවිට අප 100-150 විතර ව්‍යාපාරෙට සම්බ්න්ධ කරගෙන. ඒත් මගේ ශිෂ්‍යයන්ට කොකු ගහන්න ගියේ නැහැ. පාසැලේ විදුහල්පති වැඩවසම් අදහස් තිබු කෙනෙක්. එයා කැමති නැහැ අපි ළමයින්ට උගන්නනවට. මුන් මාළුකාරයන්ගේ පුත්තු උන්ට ඉගෙනීමෙන් වැඩක් නැහැ කියලා නිතරම ගුරුවරුන්ට කියනවා.

ධිවරයින් ලෙස වෙස්වෙලා ගෙන

අපි ත්‍රිකුණාමලයේ පන්ති කරනවා පෝස්ටර් ගහනවා. සමහර විට මමයි කටු අතුලයි පෝස්ටර් පොලිසියෙ තාප්පේ පවා ඇලෙව්වා. මේ වන විට සී.අයි.ඩී. එකට අපි ගැන ඉව වැටිලා. අපේ බෝඩිමේ ඉදිරියේ අමුතු හිඟන්නෙක් ඉන්නවා කකුලක් කුණු කානුවක දාගෙන. මට හිඟන්නා ගැන සැකයක් ආවා.

දවසක් අපි මාළුකාරයෝ වගේ පලල් වාටි තියන තොප්පි දාගෙන රෑ පෝස්ටර් අලවන්න ගියා. සිවිල් දෙන්නෙක් අපිව අල්ල ගත්තා. මට හොඳට ජූඩෝ පුලූවන් නිසා මම මාව අල්ල ගත්ත කෙනාව බිම දැම්මා. පහර දෙන්න යන කොට ඒ අය පොලිස් හැඳුනුම්පත් පෙන්නුවා. මම පැනලා යන්න දුවන්න අවශ්‍ය උනත් කටු අතුල කිව්වා අපි වරදක් කරලා නැහැ නීත්‍යානුකූලව පක්ෂයක පෝස්ටර් ඇලෙව්වා විතරයි අපි පොලිසි යං කියලා. ඒ නිසා අප පොලිසියට ගියා අපි දෙන්නම පොලිසියේ කූඩුවට දැම්මා. කට උත්තර ගත්තා ඇඟිලි සලකුණු ගත්තා. අපේ විස්තර ගන්ත කොස්තාපල් හිටියේ බීලා. මගේ විස්තර ලියා ගත්තේ කටු අතුලගේ නම තිබ්බ පෝර්මේ. මම ඒක දැක්කා. දැකලා කටවහගෙන හිටියා. ශරීර විස්තර ලියන කොට මගේ ශරීර විස්තර යටතේ ලියන්නේ කටු ඇතුලගේ ශරීර සලකුණු. කටු අතුලගේ ඛෙල්ලේ ඔපරේෂන් මාක් එකක් තිබ්බා ඒක මගේ සලකුණක් හැටයට මගේ නම තිබ්බ කොලේ ලියැවුනා. මම සැඟවිලා ඉන්න කොට පසුකාලෙක පොලිසිය මගේ ශරීර විස්තර ලෙස ඉදිරිපත් කලේ ඛෙල්ලේ තුවාල කැලලක් තියන කෙනෙක් හැටියට. මාව අහු වෙලා සී.අයි.ඩී. ගෙනාවම ඒ අය හිතුවේ මම ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් කැලල මකාගෙන කියලා. ඒ අයත් දැනගෙන හිටියේ නැහැ මගේ ඛෙල්ලට කැලල දැම්මේ බීමත් පී.සී වග.

අපි කූඩුවේ ඉන්න කොට මම දැක්කා අපේ බෝඩිම ඉදිරියේ හිටපු හිඟන්නා ඇවිල්ලා පොතක අත්සන් කරනවා. මට තේරුණා මෑන් පොලිස් ඔත්තුකාරයෙක් බව. අපිව උසාවි දැම්මා. මම ඇල්ලූවා නීතිඥ ආර්. සම්බන්දන්. අපිට ඇප ලැබුනා. රෑ 10 විතර අපිව නිදහස් කළා. අපි දෙන්නා යලි බෝඩිමට එනකොට හිඟන්නත් ඈතින් අපේ පිටිපස්සෙං ඇවිත් බෝඩිම ඉදිරියේම වාඩි උනා. මම හිමීට ගිහිල්ලා එතන හිටපු ධීවර පිරිසට කිව්වා පොලිස් ඔත්තුකාරයා ගැන. මේ ධීවරයන් අතර හොරබඩු බිස්නස් කරන අයත් ඉන්නවා. ඒ නිසා ඒ අයට පොලිස් ඔත්තුකාරයෝ පේන්න බෑ. කට්ටිය ඇවිල්ලා පොලිස් ඔත්තුකාරයාාට ගහලා පැන්නුවා. ඊට පස්සේ මෑන් අපේ බෝඩිම ලඟට ආවේ නැහැ.

දවසක් බෝපගේ ආවා මාව හමුවෙන්න. මාව ගෙනිච්චා කතරගමට. කතරගම දෙටගමුවේ විජේවීර ඉන්නවා. මෙ වෙන කොට සරත් විජේසිංහ විජේවීරගෙන් ටිකක් ඈත් වෙලා. විජේවීරට අවශ්‍ය වෙන්න ඇති මම සරත් විජේසිංහගේ කල්ලියේ කෙනෙක්ද කියලා බලන්න. මගෙ ස්ථාවරය ගැන විජේවීර සතුටු වෙන්න ඇති.

නන්දන මාරසිංහ සමඟ

අප්‍රේල් 5 දින ප්‍රහාරය ගැන මට කිව්වේ නන්දන මාරසිංහ. එයා 1971 අප්‍රේල් 3 දා මට ප්‍රහාරය ගැන කිව්වා. අපට නියම වෙලා තිබුනේ අනුරාධපුර සුනාත ශාලාවේ තිබූ හමුදා කඳවුරට පහර දෙන්න. පිරිස 50 විතර ආවා. ඒත් ප්‍රහාරය කර ගන්න බැරි උනා. අසංවිධානාත්මකයි. අපි ඉන් දවස් දහයකට පස්සේ නච්චිදූවේදි ප්‍රතිසංවිධානය වෙලා ගලෙන් බිඳුනු වැවට ගියා. එහිදි අපිට නන්දන මාරසිංහ හමු උනා.

1971 අප්‍රේල් අග වෙන කොට පිරිස 100-150 එක්ක අපි රිටිගලට ගියා. අපි රිටිගල කළු දැවේ කඳවුරු ගැහුවා. අපි කෑම රැස් කලා. හාල් මිටි කඳවුරට ගෙනාවා. අපි පිරිස 200 විතර හිටියා. නන්දන මාරසිංහ නායකයා, ලොකු බන්ඩා, ඒකනායක, සී.බී. සෙනෙවිරත්න, කැකිරාවේ විජේසිංහ එහෙමත් අපි අතරේ හිටියා. 1971 මැයි වෙන කොට අපි කඩවලින් කෑම එකතු කලා. ගලෙන් බිදුනු වැව සමූපකාරය කඩලා හාල්. සිනි, පාන් පිටි එහෙම ලබා ගත්තා. ඒ එක්කම හමුදා ප්‍රහාර දැඩි වුනා. අපිත් ප්‍රති ප්‍රහාර දෙනවා.

මාරසිංහ කිව්වා අනෙක් අපේ සාමාජිකයන් විජේවීර මුදාගෙන විල්පත්තුවට ගෙනල්ලා. අපි විල්පත්තුවට යන්න ඕනේ කියලා. පිරිස කණ්ඩායම් කිහිපයකට ඛෙදුවා. ශක්තිමත් පිරිස මාරසිංහ තමන්ගේ යටතට අරගෙන මගෙ කන්ඩායමට ආවේ අබල දුබල අය. ලෙඩවෙලා හිටපු අය ඇතුළු ගැහැනු ලමයි 6 දෙනෙක් දැම්මා.

විජේවීර විල්පත්තුවේ

මාරසිංහ විජේවීර හමුවෙන්න යනවා කියලා කණ්ඩායමක් එක්ක විල්පත්තු ගියා. මම 1971 අග වෙනකං විශ්වාස කලේ විජේවීර හිරෙන් පැනලා විල්පත්තුවේ ඉන්නවා කියලා. මාරසිංහගේ කණ්ඩායම විල්පත්තු ගියාම අපේ කණ්ඩායම ලෑස්ති උනා යළි විල්පත්තු යන්න. අපි ටිකෙන් ටික ඉදිරියට ගියා. මට තේරුණා. ඉදිරියෙන් හමුදාව එන බව සමහරු යෝජනා කලා මාරසිංහ විල්පත්තු ගියා වගේ බස් එකක් පැහැරගෙන විල්පත්තු යන්න. මාරසිංහත් අපට කිව්වේ එහෙම කරන්න කියලා. ඒත් ඒක මේ අවස්ථාවේ භයානකයි. සමහරු කිව්වා අපි ගිරාතලාන රැස් වෙහෙර හරහා විල්පත්තුවට යං කියලා. මට හිතුනා කලා ඔය දිගේ විල්පත්තුවට යන්න එත් අපට ඒ වගේ දුර ගමනකට කෑම හිඟයි. මඟදී ප්‍රහාර වලට මුහුණ දෙන්නත් සිදුවන නිසා මම පිරිස අරගෙන යළි රිටිගලට ආවා.

වනගතව පලා යමින්

1971 ජුනි වෙන කොට 35 කන්ඩායමක් සමඟ කළුදැව කඳවුර ඉසව්වට ආවා. අපේ කඳවුරේ හංගපු හාල් මිටි පුච්චලා. කෑම ඔක්කොම හමුදාවෙන් විනාශ කරලා. අපි හාමතේ අඩපන වෙලා හිටියේ. හොඳ වෙලාවට කඳවුරට අදින්න බැරි වෙච්ච හාල් මිටි 5 කළුදෑවේ වැව් බැම්ම අසල හැංගු බව මතක් උනා. ඉක්මනට ගිහිල්ලා ඒ හාල් අරගෙන පිරිසට උයලා කන්න දුන්නා.

අපි රිටිගල මකුළුඔයට එනම් මල්වතු ඔයේ ආරම්භය වෙන තැනට ගියා. එතනින් කියුලේකඩ කැලේට ගියා. අපි ගමන් කලේ අමාරුවෙන්. ලෙඩ්ඩු මැලේරියා උණකාරයෝ උස්සගෙන වත්තං කරගෙන හිමිට හිමිට ගියා. සුනිල් පියදාස, පී.බී. සෙනවිරත්නට වෙඩි වැදිලා තුවාල වෙලා හිටියේ. අපි කියුලේකඩට එන කොට බමුණුත්තුවේ දි හමුදාවෙන් වෙඩි තිබ්බා. ඒ පිරිස මෙහෙයවලා තියෙන්නේ කර්නල් නාරම්පනාව බව මට පසුව අත්අඩංගුවේදි දැනගන්න ලැබුනා. අපිත් එක්ක ගිය බන්ඩාගේ අතට වෙඩි වැදුනා.

හෙලිකොප්ටයරට තැබූ වෙඩිල්ල

හමුදාව දිගටම වෙඩි තියනවා ඒ අතරේ කියුලේකඩ කන්දට හෙලිකොප්ටරයකින් බෝම්බ දානවා. අපි කෝටු කටේ ගහගෙන බිම වැතිරුණා. අපිත් එකක හිටියා කහපත්විලගම දිසානායක කියලා දඩයක්කාරයෙක්. මිනිහා ඉලක්කයට වෙඩි තියන්න දක්ෂයා. මිනිහගේ අතේ තිබ්බා 1971 අප්‍රේල් අගදි හුරුල්ලෙගේ වලව්වෙන් ගත්ත රයිෆල් එකක්. දිසානායක ඉලක්කය අල්ලලා හෙලිකොප්ටරයට වෙඩිතිබ්බා. ඒ වෙඩිල්ල හෙලිකොප්ටරයට වැදුනා. හෙලිකොප්ටරය හරවා ගෙන ගියා. පසුව නඩු විභාගයේදි මට දැන ගන්නට ලැබුනා ඒ වෙඩි පහර නියමුවාගේ අතට වැදිලා හෙලිකොප්ටරය අනුරාධපුරයට අරගෙන ගිහිල්ලා බාපු වග.

1971 අගවෙන කොට මට තේරුනා විජේවීර විල්පත්තු කැලයේ නැති විත්තිය. ප්‍රධාන පෙළ නායකයෝ සෑම දෙනාම වගේ අත්අඩංගුවේ. රේඩියෝ එකේ මගේ නම කියනවා මට ඇහුනා. අපි ලඟ තිබ්බා අලගොල්ලෑව පල්ලියෙන් ලබා ගත් ටෙලිෆන්කන් රේඩියෝ එකක්. ඒකේ ප්‍රවෘත්ති වගේම සමහර විට හමුදා පණිවිඩ හුවමාරු පවා අපට ඇහෙනවා. අපි හිමීට රේඩියෝ එක දාලා බලනවා හමුදාව වෙනස් ක්‍රමයට සංඥා යවනවා නැත්තං කෙලින්ම කථා කරනවා. සංඥා ඇහෙනකොට අපි දන්නවා ලඟ හමුදාව කියලා.

මරණයේ දේශපාලනය

1972 වෙන කොට අපි හිටියේ කන්තලේ කැලේ. 72 අප්‍රේල් වෙනකොට මාරසිංහ ආවා. මාරසිංහ මම ගැන ටිකක් අප්‍රසාදයෙන් ඉන්න බව තේරුණා. කැකිරාව පොලිසියට පහර දීම අසාර්ථක වීම ගැන අප දෙන්නා අතර පොඩි විරසකයක් ඇති කලා. මම ගල්ගුහාවේ බිත්තියෙ අඟරු කැටයකින් ලියලා තිබ්බා සටනින් තොර ජයග්‍රහනයක් නැත කියලා මේක මාරසිංහ දැක්කේ එයාට ලියපු අපහාස වැකියක් හැටියට.

පසු කාලයක මම හලාවත පැන්ටිස්ගෙන් දැන ගත්තා මාරසිංහ මට වෙඩි තියන්න පැන්ටිස්ට කියා තිබුනු බව. පැන්ටිස් ඒකට අකමැති වෙලා තියනවා. මම මේ කරුණ දැනගත්තෙ මාරසිංහගේ මරණෙන් පස්සේ.

බෝල සමරේගේ කණ්ඩායම

1972 අගදි මාරසිංහ අපේ කට්ටියක් අරගෙන අනුරාධපුරේ හිරගේ කඩන්න ගියා. අපි ත්‍රිකුණාමල කැලේට ගියාම බෝල සමරේගේ 35 ක පිරිසක් හා ගාමිණී බාස්ගේ කන්ඩායමෙන් ඉතුරු වෙච්ච 18 දෙනෙක් එකතු උනා. අපි 1973 යළි කන්තලේ කැලේට ගියාම බෝල සමරේ අපේ කන්ඩායමෙන් ගියා.

1972-73 අතර කාලයේදි අපේ කන්ඩායමේ කොටසක් පැනලා ගිහිල්ලා හබරණ ප්‍රදේශයේ මංකකොල්ලකෑම් කලා. මේකට නායකත්වය දුන්නේ ඩී.එස්. රණසිංහ.

1973 අගදි මමයි ඒකනායකයි රූ 15 000ක ත්‍යාගයකට ගැස්ට් කරලා. ගමේ ඛෙදලා තිබ්බා පත්‍රිකාවක්. චන්දරේ විහිළුවට ගහක ඇලෙව්වා මට පේන්න. එතකොට අපි කන්තලේ කැලේ. රේඩියෝ එකේ අප දෙන්නාගෙ නං කියවෙනවා. මට හිතුනා අපි දෙන්නා මෙච්චර ලොකු මිනිස්සු දෙන්නෙක්ද? අපිට වැඩිය හිටපු නායකයෝ කෝ? අපිවගේ සොච්චං දෙන්නෙක්ව මෙච්චර ඩිමාන්ඩ් ඇයි.

සමූපකාර 12ක් කැඩුවා

අපි තීරණය කලා කැලේ විසිරෙන්න. මාත් එක්ක 5 දෙනෙක් ආවා. අපි සමූපකාර කැඩිම හමුදාව එක්ක ගැටීම නැවැත්තුවා. මේ වෙන කොට අපේ පැවැත්මට සමූපකාර 12 විතර කඩලා තිබුනා. අපි සමූපකාර කැඩුවට ගත්තේ හාල් මිටි 2-3, සීනි, ධාන්‍ය වර්ගයක් වගේ දේවල් විතරයි. මංකොල්ලකෑම් මම තහනම් කලා. වරක් අපි තුවක්කු හොයන්න ගිහිල්ලා ගල්මැටියංකුලම බංගලාවට කඩා වැදුනා. අපිට හමු උනා වටින ඔරලෝසු තොගයක් මම තුවක්කු විතරක් අරගෙන ඔරලෝසු යලිත් භාර දුන්නා.

සමූපකාර කැඩුවේ අපිට කෑමට යමක් නොතිබුනු වෙලාවලට. සමූපකාරය කඩන්නට පෙර අපි රියසල් දානවා. විනාඩි 20 බඩු සියල්ලම ඇදලා ඉවර කරන්න ඕනෑ. කෙනෙක් ඔත්තු බලනවා. මම ශිෂ්‍ය කාලේ The Great Train Robbery චිත්‍රපටය බලලා තිබ්බා. ඒ චිත්‍රපටයේ අනුව සමූපකාර කඩන්නට පෙර ඒ අවට කෙනෙක් ගැවසී තත්වය බලා ගැනීම හමුදාව ගැන විමසිලිමත් වීම කරනවා. රෑට තමයි සමූපකාරය කඩන්නෙ. ගන්න ආහාර ගෝනි කරේ තියාගෙන හැතැප්ම 10-12 ඇවිදගෙන යනවා. කැලේ ලොකු ගහක මැස්සක් බැදලා වැල් ආධාරයෙන් ආහාර කොටසක් මැස්සට අදිනවා. ඒ කරලා කොල අතු වලින් වහනවා. බිම ඉඳගෙන බලන කෙනෙකුට මැස්ස පේන්නේ නැහැ.

අපිට හාල් වගේ ආහාර ද්‍රව්‍ය සමූපකාර වලින් ලබා ගැනීමට සිදු උනේ දුර්වල අසනීප සාමාජිකයින් නඩත්තු කරන්න. අප උයන්නේ අළුයම් යාමේ. උදේ 6 වෙන කොට උයලා කාලා හැලි වලං හොදලත් ඉවරයි. දවල්ට කථා කරන්න තහනම්. ගස් වල අතු කඩන්න තහනං. වැසිකිලි ගිහි්ලලා අසුචි පස් වලින් වහන්න ඕනේ අඩි සලකුණු තියන්න තහනම්. අපි ගත කලේ නියම ගරිල්ලා ජීවිතයක්.

ආහාර හිඟ උනාම දඩයමක් කර ගන්නවා. කුළු හරක්, මුවෝ, වල් ඌරෝ මම දඩයං කරා. පතුරං පරිස්සං කර ගන්න අවශ්‍ය නිසා ගිනිකුරු වලින් පතුරං හැදුවා. ගිනිපෙට්ටි 5ක වෙඩි බේත් වලින් වඳුරෙක් මරා ගන්න පුළුවන්. හරක් තෙල් වලින් ඉටිපන්දම් හැදුවා.

ජීවගුණය සඳහා කී කතා

අපේ සාමාජිකයන්ගේ මොරාල් එක හීන වීම වලක්කන්න අපි රැස්වීම් තිබ්බා. ක්ෂණික කතා, විවාද පැවැත්තුවා. මම සමහරුන්ට අකුරු ලියන්න කියවන්න ඉගැන්නුවා. අපගෙ කන්ඩායමේ හිටියා අකුරු නොදත් කිහිප දෙනෙක්. ඒ අය අකුරු ඉගෙන ගත්තා. අපි ලඟ පොත් සඟරා තිබ්බා. ඒවා කියවනවා. මම සැබෑ මිනිසෙකුගේ කථාවක් පොත කියවා අවසන් කලා. මේ කටයුතු කෙරුනත් සැම විටම පරිස්සම තිබුනා. හමුදාව ප්‍රදේශයේ දඩයක්කාරයන් අල්ලගෙන අපිව වටලන්න එනවා. උල්පත් වැව් අසල සැඟවිලා ඉන්නවා අපිව අත්අඩංගුවට ගන්න. ඒ නිසා අපි ජල මූලයන් හා අප අතර සබඳතාව නිරන්තරයෙන්ම වෙනස් කලා. ස්ථීර සබඳතා තියා ගත්තේ නැහැ. ජලය හිඟ කාලෙට වැල්ලේ වලක් හාරලා වතුර කළ දෙක තුනක් උපරිමයට ලබා ගන්නවා. ඒ වලවල් යලි හොයන්න බැරි විදිහට වහනවා. නිතරම ජලය පරිස්සම් කර ගත්තා.

අපි කැලෑ පරිසරයේ කොටසක් බවට පත් උනා. එතකොට මට තේරුණා අපිට සතුන් ගෙන් පවා ඔත්තු ලබා ගත හැකි බව. වඳුරා, වැලි මුවා, දඩුලේනා, හොඳ ඔත්තුකාරයෝ. කිසිම මිනිහෙකුට කැලෑ වදින්න බැහැ මේ සත්තුන්ට හොරා. මිනිහෙක් දැක්ක හැටියම අමුතු සද්ද වලින් කෑ ගහනවා. සතුන්ගේ ඉරියව් නිරීක්ෂණය කලහම මට තේරුණා උන් අපිට තොරතුරු කියන බව.

කැලේ ජීවිතය භයානකයි. ආරක්ෂක අංශ විතරක් නෙවෙයි කොටියා, වලහා අලියා. පවා පහර දෙන්න පුළුවන්. දවසක් කොටියෙක් පැන්නා. හොඳ වෙලාවට ඒකනායක ඌට වෙඩි තිබ්බා. පස්සේ කොටියා හම ගහලා හම වේලලා ගම්මුන්ට දුන්නා ගිනිපෙට්ටි, ලූණු වගේ දේවල් ගන්න. දවසක් අලි අපට පහර දෙන්න ඇවිල්ලා අපි මුළු රැයක්ම ගස උඩ නිදා ගත්තා. සමහරවිට තනි අලියා පහර දෙන්න එනවා. ඒ වෙලාවට වෙඩි තියන්න පවා සිදු වුනා.

අපි ගම් වලට යන කොට අලි පස්සේ යන්න පුරුදු උනා. අලි යනකොට ගම්මු මඟ හැරලා යනවා. අපි අලි පස්සේ යම් දුර ප්‍රමාණයක් තියලා යනවා. අලි ගම් වලට ගියහම අපිත් ඒ ගම් වලට යනවා ඒ මිනිසුන්ගේ දෑස් වල නොගැටී.

සමහර විටක විස සර්පයන්ගෙන් කරදර ආවා. අපෙ අය කීප දෙනෙක් පොලොංගු කෑවා. නයි පොලොං විසට ප්‍රතිකාර කරන වෙද මහත්තයෙක් යකල්ලේ හිටියා. උණඩියා කියලා. උණඩියා වෙද මහත්තයා ප්‍රතිකාර කරලා ඒ අය සනීප උනා. උණඩියා වෙදා මට දුන්නා සර්ප විෂ තෙලක්. මේ තෙල මම ගස් ඛෙනේක ගහලා තිබ්බා. දවසක් මාව දිවි මකුළුවෙක් කෑවා. විස මගේ අත දිගේ යන අයුරු මට දැනුනා අත සීතල වේගෙන ගියා. මම උණඩියා වෙද මහත්තයා දුන්න තෙල් ටිකක් එතන ගෑවා. මගෙ අමාරුව ඉක්මනට ඇරිලා ගියා.

රු 45,000 ක තැග්ගක්

1975 විතර වෙන කොට මමයි ඒකනායකයි තමයි වඩාත්ම අවශ්‍ය කැරලිකාරයෝ දෙන්නා. අනික් හැමෝම වගේ අත් අඩංගුවේ නැත්තං බාර වෙලා. අපේ මිලත් වැඩි කරලා රුපියල් 15000 නියම කරලා තිබූ ගණන දැන් රුපියල් 45000යි. අපිව 45000ට ගැසට්කර වග ආරංචි උනාම අපි තවත් ආරක්ෂිත පියවර ගත්තා. මමයි ඒකනායකයි වෙන වෙනම තැන් වල හිටියා. මාස 3 සැරයක් සාමාජිකයන් නම් මාරු කරනවා. පරණ නම් වලින් කථා කරන්න තහනම්. මට නම් හය හතක් තිබ්බා. එක එක කාලෙට වෙන වෙන නම්. මාව සී.අයි.ඩී. ගෙනියැව්වම මහින්දලා 6ක් ඉන්නවා. සිරිසෙනලා 7-8 ඉන්නවා. සී.අයි.ඩී මහත්තුරු පඹ ගාලක පැටලිලා. මාව අල්ලලා දෙන කෙනෙකුට රු. 45000ක තෑගි මුදලක් දෙනබවට විස්තර පත්‍රිකා ගම්වල ඇලෙව්වා. හෙලිකොප්ටර් වලින් පත්‍රිකා දැම්මා. මගෙ නම උනාට පත්‍රිකා වල නියම ශරීර ලක්ෂණ තිබුණේ නැහැ.

අපි වෙඩි පාවිච්චිය අඩු කරා. කැලේ මීයක් කඩාගෙන කනවා. හේන් ගොවියන් දඩයක්කාරයො අපිට හිතවත්. ඒ අය ආහාර පවා අපිට දෙනවා. මාව රුපියල් 45000 ගැසට් කරලා තියන බව දැන දැනත් ගම්මු අපිව පාවලා දුන්නේ නැහැ. දවසක් කැලේ දී බන්ඩා විදානේ කියන දඩයක්කාරයා මට කිව්වා මහත්තයා පාරට යන්ට එපා. මේක ගන්ට කියලා උන්දෑ මට තමන් දඩයම් කරපු සතා අතට දුන්නා.

අපි ගම්මුන්ට හේන් කොටන්න උදව් කරා. ඇලවල් කපා දුන්නා. ඒත් පරිස්සම නිතරම ඔළුවෙ වැඩ කරා. 1975 කාලයේ දවසක් මමයි ගැමියෙකුයි ගමක් අසලට ගියා. මම ගහක් ලඟ ඉඳලා ගැමියා ගමේ ගෙදරකට යැව්වා. පණිවිඩයකට. ගැමියා මට බනිස් ගෙඩියකුත් ගේන්නං කියලා කිව්වා. කැලේ කෑම කාලා ඉඳහිට බනිස් ගෙඩියක් එහෙම කන්න මම ආසයි.

මම නිතර ආරක්ෂක පියවර ගත්තා. කෙනෙක් ගමකට යැව්වොත් මම හිටපු තැන ඉන්නේ නැහැ. වෙන තැනක ඉඳං නිරීක්ෂණ කරනවා. පිටතට ගිහිල්ලා එන සාමාජිකයා මුණ ගැහෙන්නෙ තැන් තුන හතරකට යවලා. මුලින්ම ගහක් යට ලියුමක් තියනවා. ඒ ලියුමේ තියනවා අහවල් පඳුර ලඟට යන්න. එතන තව ලියුමක් මේ විදිහට තුන් හතර තැනකට ගෙන්වලා තමයි අන්තිමට මම මුණ ගැහෙන්නේ.

වැරදුණූ වෙඩිල්ල

මම ගඟ ලඟ ඉන්න කොට තුවක්කුවක් ගත්ත කෙනෙක් එනවා සරමක් ඇඳලා ගැමියෙක් වගේ. මිනිහගේ කොන්ඩේ ක්‍රීම් ගාලා පීරලා රැවුල බාලා. මට සැකයක් ආවා. මගෙ අතේ තිබ්බේ ෂොට් ගන් එකක්. ඒකේ පතුරම මගේ අතේ. තුවක්කුව හිස්. මට පතුරම දාගන්න වෙලාවක් තිබුනේ නැහැ. මිනිහා මම ලඟට ඇවිල්ලා කථා කරා මම උත්තර දෙන කොටම මිනිහාගේ අතේ තිබ්බ තුවක්කුව මගේ පපුවට එල්ල කරලා කිව්වා දඟලන්න එපා තුවක්කුව බිම දාපං කියලා. මම ඇසිපිය හෙලන මොහොතක දී පැත්තකට පැන්නා මිනිහා වෙඩි තිබ්බා ඒත් වෙඩිල්ල පත්තු උනේ නැහැ. මම හිතන්නේ උන්ඩේ හිර වෙන්න ඇති. මම එතකොට තුවක්කුව මිනිහාගේ පපුවට එල්ල කරලා උඹේ තුවක්කුව බිම දාපං කියලා නියෝග කලා. මගේ තුවක්කුව හිස් මම කලේ ප්‍රයෝගයක්. මිනිහා දාඩිය වලින් නෑවුනා. ඒත් වෙව්ලන අතින් තුවක්කුව කඩලා පතුරම් පරීක්සා කරනවා. මට තිබ්බේ සුලූ කාලයයි. මම පැන්නා පහර දෙකෙකින් මිනිහව බිම දාලා තුවක්කුව මගේ අතට ගත්තා.

මම මිනිහට කිව්වා මම උඹව මරන්නේ නෑ. මෙහෙම පැය භාගයක් බිම වැතිරිලා හිටපං නැත්තං උඹේ ජීවිතය නැති වෙයි කියලා. බියට පත්වූ මිනිහා එහෙම්ම බිම ඔළුව ගහගෙන හිටියා මම පැත්තකට මුවා උනා. ගමට ගිය මගේ හිතවතා ඒ එක්කම වෙන පාරකින් එනවා. එයා වෙච්ච කලබලය ගැන දන්නේ නැහැ. එයා මට බනිස් එකකුත් ගෙනල්ලා.

මම වෙච්ච සිද්ධිය කිව්වා. බලන කොට හමුදාව ඒ ගම වට කරලා. මට තුවක්කුව එල්ල කරපු මිනිහා වෙස් වලා ගත්ත හමුදාකාරයෙක්. එයාගේ තුවක්කුව මම පරීක්ෂා කලා. ඒක හොඳ වර්ගයේ එකක්. අපි අපේ තිප්පොලට එන කොට උඩ රූස්ස ගහක වඳුරෙක් හිටියා. අපේ තුවක්කු වලින් එච්චර උසක දඩයමක් එලා ගන්න අමාරුයි. මම අලූත් තුවක්කුවේ පතුරම යලි සකස් කරලා වඳුරට එල්ල කරලා කොකා ගැස්සුවා. වඳුරා බිම එදා අපි අළුත් තුවක්කුවයි දඩයම් කරගත් වඳුරයි අරගෙන තිප්පොලට ගියා.

අපි කණ්ඩායමක් වශයෙන් හැංගිලා හිටපු කාලේ මහ ඉලූම්පල්ලමේ දී ග්‍රාමාරක්ෂකයන් 5 දෙනෙක් කැලේ යනවා අපි ඒ අය වට කරලා අත්අඩංගුවට ගත්තා. තුවක්කු ගත්තා පිරිසට හානියක් කලේ නැහැ. මේ අය යන්නේ ග්‍රාම නිලධාරයාගේ ගෙදරට. එතන තමයි මෙහෙයුම් මධ්‍යස්ථානය. අපි ග්‍රාම නිලධාරියාගේ ගෙදරට ගියා. ග්‍රාමසේවක අපිව දැකලා බයවෙලා. අපි ග්‍රාම සේවකගේ තුවක්කුව අරගෙන යන්න හදන කොට ග්‍රාමසේවක අපිට අලූත් කමිස වගයක් දුන්නා. ග්‍රාම නිලධාරියාගේ සතුට ඉහවහ ගිහිල්ලා අපි එයාගේ ජීවිතයට හානියක් නොකරපු එකට.

අපි හැම සාමාජිකයාටම ගෝනි වලින් සැක් මහලා හදිසියකදි ආහාර, බේත්, වගේ දේවල්, පැක් කරා. ඒක අපේ survival kit එක. ඒ වගේ යම් ප්‍රහාරයක් උනොත් ඉදිරියට යන්න තහනම් කලින් දවසේ රෑ හිටපු තැනට එන්න ඕනේ.

මියගිය සගයෝ

අපේ සමහරක් සාමාජිකයන්ට වෙඩි වැදිලා මැරුණා. ඒ ගැන හරි දුකක් දැනෙනවා. සීප්පුකුලමේදී නාවික හමුදා වාහනයකින් අපිට වෙඩි තිබ්බා. අපි ප්‍රති ප්‍රහාර එල්ල කරලා පසු බැස්සා. මාවනවැවදී එල්. බී. සෙනවිරත්නට වෙඩි වැදුනා. ග්‍රාම ආරක්ෂකයන් අතින්. එල්. බී. ගේ බඩට වෙඩි වැදිලා තිබුනේ. තුවාල වෙලා දවසකට විතර පස්සේ එල්.බී. සෙනවිරත්න මැරුණා. කෝංවැව සමූපකාරය කඩන්න ගිය අවස්ථාවේදි අපි 25-30 විතර ගියා. පොලිසිය අපිට වට කරලා වෙඩි තිබ්බා. අපේ සාමාජිකයන් දෙන්නෙක් මැරුණා.

ඒ වාගේම වරක් විල්පත්තු යන්න හදපු වෙලාවෙත් ප්‍රහාරයකට මුහුණ දුන්නා කටියාවේ දී. අපි ගමන් කරන කොට ඉදිරියෙන්ම පස් දෙනෙක් යනවා වඩා ශක්තිමත් හා අත්දැකීම් තියන අය. මැද දුර්වල හා ලෙඩ්ඩු. පසුපස අත්දැකීම් සහිත අය. මේ විදියට තමයි ගමන් කරන්නේ. කටියාවේදී ඒ ක්‍රමය කැඩුනා. අපිට වෙඩි ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. වලගම්බාහුවල මෛත්‍රි හා දයාපාල මැරුණා. සුනිල් පියදාසගේ දණහිසටත් වෙඩි වැදුනා. මම මෛත්‍රි උස්සං ගියා. මෛත්‍රිගේ පපුවට උන්ඩය කා වැදිලා. මම මෛත්‍රිව සනසන්න කිව්වා බය වෙන්න එපා. අත පොඩ්ඩක් තුවාල වෙලා තියනවා. අපි අරං යන්නං කියලා. එතකොට මෛත්‍රි කිව්වා මගේ පපුව රිදෙන්නේ මොකෝ? ටික දුරක් යනකොට මෛත්‍රි කිව්වා මගේ සාක්කුවේ ලියුමකුයි සල්ලි වගයකුයි තියනවා. ඒක ගන්න කියලා. පපුවට වැදුණු වෙඩි පහරින් මෛත්‍රි මැරුණා.

සමහර වෙලාවට තනිවට පැලකට වැදිලා මේවා ගැන හිතන කොට ඩෙනවා. මට අකුරැස්ස පොලිසියට පහර දෙන්න ගිහිල්ලා මිය ගිය මගේ මල්ලි සරත් ගරුසිංහව එහෙමත් මතක් වෙනවා. ඒ වෙලාවට දරා ගන්න බැරි පාළුවක් සිතේ මෝදු වෙනවා.

අවසන් කාලය තනියෙන්

අත්නිමට කාලවල මම තනිවම වගේ හිටියේ. ඒකනායක වරින් වර හමුවෙනවා. 1976 අගෝස්තු අග වෙනකොට මම ඒකනායක, කළු සිරා හුරුළු වැව පඩිකාරමඩුව නුවරඑළි කොළනියේ වැව් ඉස්මත්තේ හේන් පැල් වල හිටියා. මෙතෙන්ට එනවා හම්මිල්ලෑව පාසලේ ජයසිරි කියලා ගුරුවරයෙක් ඒකනායකගේ ඇඳුනුම්කමකට. ඒකනායක පඩිකාරමඩුවේ ගුරුවරයෙකු ලෙස සේවය කරන කොට පාසැලෙත් කට්ටි පැන්න කොල්ලෙක් තමයි ජයසිරි. ඒ කාලේ ජයසිරිට කිව්වේ ජානිස් නැත්තං ජානිසා.

ජානිස් හබරණ කඩවල ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න කොට ඒකනායක මූව කනෙං ඇදගෙන ඇවිල්ලා ලඟ නතර කරවාගෙන ඉගැන්නුවා. ජානිස් එහෙම ඉගෙන ගන්න ගමන් එස්. එස්. සී. ත් පාස් කළා. ඒකනායක මැදිහත්වෙලා ජානිසාට ගුරු පත්වීමකුත් අරගෙන දුන්නා. පත්වීම ලැබුනේ හම්මිල්ලෑව පාසලට. ගුරුවරයෙකු වුනාම ජානිස් නම වෙනස් කළා ජයසිරි කියලා. ඒත් ගමේ අය මිනිහා නැති තැන කිව්වේ ජානිස් කියලා. මට මුලදි ඉඳම්ම ජානිස් ගැන සැකයි. ජානිස්ගේ ඉරියව් මට ඇල්ලූවේ නැහැ.

ගමේ මිනිස්සුත් අපිට හරි හිතවත්. වරක පොලිසියෙන් අපිට දෙන්න කියලා පාන් පිටි එක්ක වස වගයක් දීලා තියනවා. ගමේ මිනිස්සු පාන් පිටි වෙනමයි වස වෙනමයි අපේ අතටම ගෙනත් දුන්නා. මට ජානිස් සැක උනත් ඒකනායක ජානිස්ව විශ්වාස කලා. මගේ ගෝලයෙක් මූ මාව පාවලා දෙන්නේ නෑ කියලා.

මට මුලින්ම ජානිසා ගැන සැකය ආවේ ගොවියෙක් වගේ වෙස්වෙලාගෙන හමුදාකාරයා ආපු වෙලාවේ. ජානිස් වරක් ඒකනායකට අළුත් කමිසයක් තෑගි කරා. මේක නයිලෝන් වගේ රෙද්දකින් මහලා තිබ්බේ චොකලට් පාට එකක්. ඒ වාගේ කමිස ගම් පලාත්වල නැහැ. මේ කමිසය මගේ මතකේ තිබ්බා එදා ආපු හමුදාකාරයත් ඇඳගෙන හිටියේ මේ වගේ චොකලට් පාට කමිසයක්. මට සැකයක් ආවා හමුදාව හා පොලිසිය ජානිස්ව අල්ලගෙනවත් ද කියලා. මම ඒකනායකට මගේ සැකය කිව්වා. ඒත් ඒකනායකට තමන්ගේ ගෝලයා විශ්වාසයි.

රැ. 45.000ට ජානිසා කළ පාවාදීම

1976 ඔක්තෝම්බර් පළවනදා මම හුරුළුවැවට පඩිකාරමඩුව නුවරඑළි කොලනියේ අර්නෝලිස් කියන හේන් ගොවියාගේ පැල් කොටේ හාන්සි වෙලා හිටියා. ඒකනායක හිටියේ තව හේන් තුන හතරකට විතර දුර තියන පැලක. අපේ පැල තිබ්බේ වැව අද්දර. එදා කිරි බැබලෙන හඳපාන. මුළු කැලෑවම එළියයි. බල්ලෝ බුරන සද්දයක් ඇහුනා. අපේ ආරක්ෂාවට අපි වරින් වර බල්ලොත් ඇති කළා. බල්ලෝ බුරන නිසා මම පැල්කොටෙන් කර පොවලා එළිය බැලූවා. ගැමියෝ වගයක් අපේ පැල් දිහාට එනවා. මම හිතුවා වැවේ මාළු කොටන්න යන මිනිස්සු කියලා. ඒ පිරිස අපේ පැල්කොටේ පැත්තට හයියෙන් හයියෙන් එන්න ගත්තා. අපේ පැල බැඳලා තිබ්බේ රූස්ස ගහක. ඒ නිසා පහලින් එන ඕන කෙනෙක්ව පේනවා. මට තේරුණා මේ මාළු කොටන්න ආපු පිරිසක් නොවන වත්තිය.

මම අවුරුදු ගානක් පුරා ලඟ තියාගෙන හිටපු ෂොට් ගන් එක අතට ගත්තා. අර්නොලිස් නිදි. “ගරුසිංහ යටත් වෙයං වටකලරා තියෙන්නේකියලා රළු කට හඞකින් කෙනෙක් කෑ ගැහුවා. ඒ එක්කම අහසට වෙඩි වැලක් තිබ්බා. මට තේරුණා මේ පිරිස එක්ක ෂොට් ගන් එකෙන් මුහුණ දෙන්න බැරි බව. මට ඒතතු ගියා මේක මගේ අවසානය බව. පොලිසිය මාව වටකරලා. අවුරුදු පහක් මාස අටක මගේ කැලේ ජීවිතයට විරාමයක් ගෙනල්ලා. දඩ බල්ලෝ වගේ පොලිසිය හමුදාව ආවත් මම ගත කලේ නිදහස් ජීවිතයක්. අද රැයෙන් ඒක හමාර උනා. මට මතක් උනා ඉලූක් හෙවත් ඉලූක්තැන්නේ පී.කේ. සේනාරත්න වරාය පොලිසියේ රඳවාගෙන ඉන්න කොට අඟරු කැටයකින් බිත්තියේ ලියූ වගන්තිය. “මෙය කෙලවර නොවේ මඟ සලකුනක් පමණි.”

මට තේරුණා තව දුරටත් සටන් කිරීමෙන් ඵලක් නොවන බව. මෙය කෙලවර නොවේ. මඟ සලකුනක් පමණී කියන පේලිය තොල් මතුරමින් මම අත් දෙක උස්සාගෙන නැගිට්ටා. එක කොස්තාපල් කෙනෙක් හිටියා හැඩි දැඩි. ඒ කොස්තාපල්ට කිව්වේ යකඩයා කියලා. මේ යකඩයා නොහොත් කරුණාපාල කොස්තාපල් ලණු ඉනිමඟ දිගේ අපේ පැලට නැග්ගා. අනික් අය වටේට මම දිහාට තුවක්කු මාන ගෙන. යකඩයා පී.සී. මගේ එක අතකට මාංචු දාලා එයාගේ අතට අනෙක් මාංචුව දැම්මා. ඒ කරලා කිනිස්සක් මගේ පපුවට තියලා කිව්වා කළබල නොකර බැහැපං කියලා.

මම පැලෙන් බිමට බහින කොට අනුරාධපුර එච්. කිව්. අයි. නලින් දෙල්ගොඩ මහත්තයා ලඟට ආවා. ඇවිත් කිව්වා උඹ තමයි මේ ගරුසිංහ කියන්නේ නේද?” කියලා. මම කතා කලේ නැහැ. මම බිමට අඩිය තිබ්බ ගමන් උල්කාවක් පළාතම එළිය කරගෙන කඩාන වැටුනා. පොලිසියේ මහත්තයා හිතුවේ ඒක අපේ සාමාජිකයෙක් දීපු සංඥාවක් කියලා. මගෙන් ඇහුවා ඒක මොක්කද? මම කිව්වා සර්ලා ගහපු පැරා එකක් නැත්තං දේවතා එළියක්.”

නලින් දෙල්ගොඩ මට ලං උනා. “ගරුසිංහ අපි තමුසෙට කිසිම හිංසාවක්, වදයක් දෙන්නේ නෑ අපිට ඒකනායක අල්ල ගන්න උදව් කලොත්.” ඒකනායක හිටියේ 29 පැලේ මට අවශ්‍ය උනා ඒ දෙල්ගොඩ මහත්තයා ප්‍රකෝප නොකර ඒකනායකව බේරගන්න. ඒ හිතලා මම කිව්වා මම ඒකනායක අල්ලා දෙන්නං හැබැයි අපිට කිසිම හිංසාවක් කරන්න ඉඩ දෙන්න එපාකියලා. දෙල්ගොඩ මහත්තයා ඒකට එකඟ උනා.

මම කිව්වා ඒකනායක ඉන්නේ 53 න පැලේ කියලා. මට ඕන උනේ කට්ටිය ඈතට ගෙනියන්න අපි ඒකනායක හිටපු පැල ලඟින් යන කොට බල්ලෝ බුරන්න පටන් ගන්නවා. එතකොට ඒකනායකට කාලය තියනවා කැලෑවට වහංගු වෙන්න. මේ වෙලාවේ පොලිසිය අර්නෝලිස්වත් මම හිටපු පැලෙං බස්ස ගත්තා. මගේ තුවක්කුව පොත්පත් පැලේ. ඒවාට පොලිසිය සැලකිල්ලක් දැක්කුවේ නැහැ. අර්නෝලිස් මෝඩ පහේ මිනිහෙක්. මම බය උනා අර්නෝලිස්ගේ කටින් ඒකනායක ගැන යමක් කියවෙයිද කියලා.

මම කිව්වා ඒකනායක ඉන්න 53 න පැලට යන්නේ මෙතනින් කියලා.” පරංගියා කොට්ටේ ගියා වගේ දුරින් යන පාරක් තියන අඩිපාරක් පෙන්නුවා. එතකොට අර්නෝලිසා කට දාපි. “53 ට මෙතනින් ලඟයිකියලා නියම පාර අර්නෝලිස් අතින් පෙන්නුවා. දෙල්ගොඩ මහත්තයාට සැකයක් ආවා. ඒ පාර යකඩයාගේ අතේ තිබ්බ මාංචුව ගලවලා මාවයි අර්නෝලිසුයි එකට තියලා මාංචු ගැහුවා. යකඩයාට බලය දුන්නා අපි සැක හිතන යමක් කරොත් ඒකනායකට වෙඩි තියන්න. මම කකුලින් සද්ද කරන ගමං ඒකනායක හිටපු 29 පැල මඟහැරවලා 53 පැල ලඟට පිරිස ගෙන ගියා.

පස්සේ මට දැනගන්න ලැබුනා ඒකනායක අපිව දැකලා පැලෙන් පහලට බැහැලා හැංගුන බව. පොලිස් පිරිස 53 පැල ලඟට ඇවිල්ලා පැල් කොටේ උඩට වෙඩි තිබ්බා. පැලේ හිටියේ ගුනපාල කියන හේන් ගොවියා. ඒකනායක නැහැ. දෙල්ගොඩට තරහා ගිහිල්ලා මගේ යටි බඩට පයින් ගැහුවා. මම ඇදගෙන වැටුනා.

මම කිව්වා සර් ඒකනායක හිටියේ මෙතන සර්ලා සද්ද බද්ද කරගෙන එන කොට බල්ලෝ බිරුවා. ඔහොම ගිහිල්ලා ඒකනායකගේ වල්ගෙවත් අල්ල ගන්න බැරි වෙයි.” ඒ පාර දෙල්ගොඩ නිහඞ උනා.

මේ අතර මම හුරතලයට හදපු මී මින්නා පැටියෙක් මගේ කකුලේ දැවටෙනවා. ඌ දන්නේ නැහැ මේ අපි එකට ඉන්න අන්තිම මොහොත බව. මීමින්නා මගේ පයේ දැවටෙන කොට දෙල්ගොඩ මහත්තයාට අනුකම්පාවක් ඉපදෙන්න ඇති. මට ඌව අතට ගන්න කිව්වා.

එතන හිටපු පී.සී. ජයසිංහ කියන කොස්තාපල් කිව්වා සර් ඉස්ෆොා්මන්ට් කියපු හැටියට ඒකනායක මේ පැල් වල එකක ඉන්නවා. අපි පැල් ඔක්කෝම සර්ච් කරමුදකියලා. දෙල්ගොඩ මහත්තයා ඒකට වැඩි උනන්දුවක් පෙන්නුවේ නැහැ. ඒත් එවෙලාවේ බැලූවනං 29 පැලේ ඒකනායක ඉන්නත් තිබුනා. ඈතින් කෙනෙක් හිටියා අපි දිහා බලාගෙන. ඒ තමයි පී.සී. ජයසිංහගේ ඉන්ෆෝමන්ට්. මට තේරුනා එතන ඉන්නේ ජානිසා බව. ජානිස් ගැන මා තුල තිබ්බ සැකය හරි.

මාව අත්අඩංගුවට අරගෙන ඉක්මනට පොලිසියට ගෙනියන්න දෙල්ගොඩ මහත්තයාට අවශ්‍ය උනා. මාව අල්ලලා දවස් 5 ක් ඇතුලත. නලින් දෙල්ගොඩ ඒ.එස්.පී. ප්‍රමෝෂන් ලැබුනා. පීසිලා සාජන්ලා උනා. හැමෝටම රු 2500 ගානේ මුදල් තෑගි ඉන්ක්‍රීමන්ට් දෙක බැගින් දුන්නා.

මාවයි, අර්නෝලිස්වයි ගුණපාලගෙයි අත්වලට මාංචු දමලා ඇස් බැන්දා. අපිව ජීප් එකේ දාගන හම්මිල්ලෑව ඉස්කෝලේ ලඟට ගෙනාවා. ඉස්කෝලේ ලඟදි වාහනය නතර කලා. කෙනෙක් වාහනෙන් බැස්සා. මට තේරුණා ඒ ජානිස් බව. ජානිස් බැහැලා ගියහම අපේ ඇස් වැහිලා තියනවාද කියලවත් බලන්න පොලිසියට ඕන කලේ නැහැ. ජානිස් අපිව පාවලා දීලා රු. 45,000 තෑග්ග අරගෙන තියනවා.

ජානිසාට 88 ජවිපෙන් වෙඩි

88/89 භීෂණ කාලේ ජානිස කනුවක බැඳලා වෙඩි තියලා තියනවා. කටට සත 10 කාසියක් ඔබලා. ඒත් එකේ අනෙක් පැත්ත ජානිස් මරන්න නියෝග දුන්න අයම 88/89 මාවත් මරන්න නියෝග දීම.

ඒ කොහොම වෙතත් අපිව හබරණ හන්දියට ගෙනාවා පොලිසියේ අය. තේ බිව්වා. මටත් තේ දුන්නා. මාංචු නිසා මට රාලහාමි කෙනෙක් බනිස් හා ආනමාලූ කවලා තේ එක පෙව්වා.

මට ඕන කලා අර්නෝලිස්ව ගුණපාලවයි බේරන්න. මම කිව්වා සර් මේ අය අහිංසකයි අපිට උදවු කලේ අපි කවුද කියලා දන්නේ නැතිව මේ අයට යන්න දෙන්නකියලා. ඒත් ඒ අයවත් රඳවාගෙන හිටියා. හබරණ ඉඳං අපිව කෙලින්ම අනුරාධපුර එස්.පී. නිල නිවසට ගෙනිච්චා.

නිල නිවාසේ ලඟ වාහනෙන් බැහැපු නලින් දෙල්ගොඩ මහත්තයා යුනිෆෝම් එක හදාගෙන එස්.පී. බංගලාවට ගියා. ටික වෙලාවකින් අනුරාධපුර එස්.පී. වෝල්ටර් ලියනගේ මහත්තයා එලියට පැමිණියා. “ගරුසිංහව පණපිටින් අරං එයි කියලා මම හිතුවේ නැහැ. ගුඩ් ජොබ්කියලා දෙල්ගොඩට ප්‍රශංසා කලා.

එතකොට දෙල්ගොඩ කිව්වා මාව අත්අඩංගුවට ගන්න කොට උල්කාවක් කඩා වැටීම පිළිබඳව. එස්.පී. වෝල්ටර් ලියනගේ මහත්තයා මගේ අල්ල බැලූවා. ඒ බලලා කිව්වා කාටවත් තමාව මරන්න බැහැ. ඊට පස්සේ අපිව අනුරාධපුර පොලිසියට ගෙනිච්චා. මාව එක කූඩුවකටයි ගුණපාලයි අර්නෝලිස්වයි වෙන කූඩුවකටයි දැම්මා. අපි කූඩුවල පැයක් හමාරක් ඉන්න කොට මාව එලියට අරගෙන විශාල ශාලාවකට ගෙන ගියා. ඒ ශාලාවේ පොලිසියේ හමුදාවේ උසස් නිලධාරින් 30 විතර වාඩිවෙලා. හැමෝම කුතුහලයෙන් මා දිහා බලනවා. ගරුසිංහ අත්අඩංගුවට ගත්ත කියලා ඒ අයට විශ්වාස කරන්නත් අමාරුයි. එතන කොබ්බෑකඩුව මහත්තයත් හිටියා වගේ මතකයි.

ඒ කාමරේ ප්‍රධාන මේසේ වාඩිවෙලා හිටියේ වෝල්ටර් ලියනගේ අනුරාධපුර එස්.පී. මේසේ පුවරුවක ලියලා තියනවා නලින් දෙල්ගොඩ කියලා. මගෙන් ඇහුවා තමා දන්නවද මම කවුද කියලා?” මම කිව්වා නලින් දෙල්ගොඩ මහත්තයා.” මම එහෙම කිව්වම හොහ් හොහ් ගාලා හිනා උනා. “ඒ තමයි තමා අත් අඩංගුවට ගත්ත කෙනා.” මම ඊගාවට කිව්වා වෝල්ටර් ලියනගේ මහත්තයා?” එයා අහපි කොහොමද දන්නේ.” “මම අහලා තියනවා රේඩියෝ එකෙන් පත්තරෙන් පසුගිය කාලේ හම්බන්තොට ගංජා සංහාරය කරපු වීරයෙක්කියලා මම කිව්වා.

වෝල්ටර් ලියනගේ මහත්තයාට දැන ගන්න ඕන කලා මාව අත්අඩංගුවට ගන්න කොට මම හිටපු ස්ථානය. එතන බිත්තියේ ගහලා තිබ්බා අඟලේ සිතියමක් මම හිටපු තැන පෙන්වන්න කිව්වා මම විනාඩියකටත් අඩු කාලයකදි මාව අත්අඩංගුවට පත් වුනු ප්‍රදේශය සිතියමේ නියමාකාරයෙන් පෙන්නුවා.

වෝල්ටර් ලියනගේ මහත්තයාගේ ඇස් උඩ ගියා හැමෝටම ඇහෙන්න කිව්වා ගුඩ් මැප් රීඩර්කියලා. ඊගාවට මම දිහා බලලා ඇහුවා ඇයි බාර නූනේ?” මම උත්තර දුන්නා. “බාර වීම නිවට කමක්, අපට අවශ්‍ය උනේ පසු බැස ප්‍රති සංවිධානය වෙන්න.”

එතකොට එස්.පී. වෝල්ටර් මහත්තයා කියනවා ඔබ තමයි අපි අල්ලගත්ත වැදගත්ම කෙනා. හිටපු කැරලිකරුවන්ගෙන් අපට උදවු කරපු අය ගැන කියන්නද”

මම ප්‍රති උත්තර දුන්නා මට උදවු කරපු අය පාවලා දෙන්නෑ. ඒක මනුස්සකම. එතකොට එතන හිටියා අයි.පී. ඒකනායක කියලා නිලධාරියෙක් එයා කිව්වා කයිවාරු කාරයෝ කථා කරවන හැටි අපි දන්නවා

අනුරාධපුර පොලිස් අධිකාාරි වෝල්ටර් ලියනගේ මගෙන් අන්තිමට ඇහුවා තමා පැනලා යනවාද? මම මොහොතක් ඇස් දෙක දිහ බලලා කිව්වා අවස්ථාව ලැබුනොත්. ඒක කරනවා හිරගෙදර මෙන්න මේ මහත්තයා ලඟට ගියාම. (මට ඇඟිල්ලෙන් අනුරාධපුර බන්ධනාගාරයේ එස්.පී. ව පෙන්නුවා) මම තමාව මට නීත්‍යුනුකූලව ලඟ තබා ගන්න පුළුවන් උපරිම කාලය මෙහේ තියා ගන්නවා නඩු කට උත්තර ඒවා උසාවි එක්ක. කවුරුහරි සැකකාරයාට පහර දුන්නොත් ඉන්ටඩික් කරනවා හැබැයි පැනලා යන්න උත්සාහ කරන තෙක්. එස්.පී. වෝල්ටර් ලියනගේ මහත්තයා හැබැයි පැනලා යන්න උතසාහ කරන තෙක් කියන පදය දෙපාරක්ම කිව්වා. ඉන් පසුව නලින් දෙල්ගොඩ දිහා බලලා කිව්වා කවුරු හරි මිනිහට අත තිබ්බොත් ඉන්ටඩික්.

නලින් දෙල්ගොඩ මහත්තයා සැලූට් එකක් ගහලා නියෝගය පිලිගත්තා. වෝල්ටර් ලියනගේ මහත්තයා මගෙන් ඇහුවා බඩගිනිද කියලා. එතකොට දෙල්ගොඩ කිව්වා මට ආනමාළු. බනිස් දුන්න බව. මට තේ එකක් ගේන්න කිව්වා. ට්‍රේරේ එකක තියාගෙන තේ එකක් පියන් කෙනෙක් ගෙනාවා.

මාව පොලිසියේ දවස් 20 තියාගත්තා. හැමදාම රෑට වෝල්ටර් ලියනගේ මහත්තයා මාව බලන්න එනවා.. කිසි කෙනෙක් මට පහර දුන්නේ නැහැ. අපිට කෑමට දුන්නේ ආහාර පොඩි ප්‍රමානයක් අපිට ඒවා මදි. මම දවස් 3 කෑවේ නෑ. මගේ කෑම අර්නෝලිස්ටයි ගුණපාලටයි දුන්නා. මේක දැක්ක පී.සී. කෙනෙක් පොලිස් මෙස් එකේ උයපු බත් එකක් රෑ ගෙනල්ලා මට දුන්නා. මේ පී.සී. මාව අල්ලන්න එදා මගේ පැලට ආපු කෙනෙක්.

මට බත් එක දෙනවා සාජන් කෙනෙක් දැකලා පැමිණිළි කළා. . එස්. පී. චන්ද්‍රා මෙන්ඩිස් උදේ මේ ගැන විභාග කළා. මගෙන් ඇහුවා කවුද තමාට බත් ගෙනාවේ? මම බත් ගෙනාව පී. සී ව පාවලා දුන්නේ නැහැ. මේ සිද්ධියෙන් පස්සේ පොලිස් පොඩ්ඩෝ මාත් එකක් යාළු උනා.

මගෙන් කට උත්තර ගන්න කොළඹින් සී.අයි.ඩී. නිලධාරින් ආවා. එතන හිටියා අයි.පී. අළුවිහාරේ. මගෙන් ප්‍රශ්න කරන කොට අයි.පී. ඒකනායක මූ එස්.පී. මහත්තයත් රැවැට්ටුවාකියලා මට පයින් ගැහුවා. මම ඒ පහර කට් කරලා යලි පහර දුන්නොත් පහරට පාර දෙන්න සුදානමෙන් හිටියා. තොට කොළඹ ගෙනිහිල්ලා දෙන්නං අයි.පී. ඒකනායක ගෙරෙව්වා. සී.අයි.ඩී. නිලධාරින් මගෙන් කට උත්තර ගන්නවා. රළු විදිහට ප්‍රශ්න කරන්නේ මම තෝරලා බේරලා උත්තර දෙනවා. මූව කොළඹ ගෙනිහිල්ලා මහන කරමු ඒ නිලධාරි කථා වෙනවා.

මට කට උත්තරේ අත්සන් කරන්න කිව්වා. මම අත්සන් කරන එක ප්‍රතික්ෂේප කළා. මම කිව්වා මේක තියෙන්නේ ඉංග්‍රීසියෙන්. මට තේරෙන්නේ නෑ නොතේරෙන ලියවිල්ලකට අත්සන් කරන්නේ කොහොමද? අයි.පී. අළුවිහාරෙට තරහා ගියා. තමා කිහිප තැනකදිම ඉංග්‍රීසියෙන් කථා කල බව අපි දන්නවා. වහාම අත්සන් කරනවා කියලා නියෝග කලා. මම යලිත් කිව්වා මම නොදන්නා භාෂාවකින් තියන ලියවිල්ලකට මම අත්සන් කරන්නේ නැහැ.

තරහා ගිය අයි.පී. අළුවිහාරේ කියනවා මුං එක්ක Psychological warfare”

මේ කාලයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වීරසුරිය ශිෂ්‍යාගේ මරණය පොලිස් වෙඩි පහරකින් වෙලා අනුරාධපුර පොලිසිය ලඟ පෙලපාලි මේ කලබල නිසා මාව කොලඹ ගෙනල්ලා මැගසින් බන්ධනාගාරේ රිමාන්ඩ් කලා.

මාව සී.අයි.ඩී. එකේ 4 තට්ටුවට ගෙනගිහිල්ලා විජේවීර ගේ පාපොච්චාරනය අඩංගු ටේප් එක වාදනය කලා. ඒකේ තැනක අහනවා පොලිස් නිලධාරියෙක්, ති්‍රකුණාමලයේ දිසා ලේකම් කවුද? විජේවීර පිලිතුරු දෙනවා ගරුසිංහ වෙන්න ඕනේ. ඊට පස්සේ මම ගැන තොරතුරු කියනවා.

මැගසින් බන්ධනාගාරයේදි මාව දැකපු උයන්ගොඩ, බෝපගේ මාව වැළඳගත්තා. විජේවීර නොදැක්කා වගේ ගියා.

දැන් 1977 වසරත් ලබලා නඩු ගොඩක් අයගේ ඉවරයි. මගේ නඩුව නීතිඥ රංබන්ඩා සෙනෙවිරත්න භාර ගත්තා.

නිදහස්!

මහ මැතිවරණයේ දී යූ.එන්.පී. ආණ්ඩුව බලයට පත් උනා. මගේ නඩුව කල් යනවා. මගේ නීතිඥයා නඩුව අහන්නෙ නැත්තං ඇප දෙන්න කියලා මෝසමක් දැම්මා. අවසානයේදි නීතිපති මට විරුධව තිබූ නඩු ඉල්ලා අස් කර ගත්තා. 1977 අග මාව නිදහස් කල බව දැනුම් දුන්නා.

මම නිදහස් කරන දවසේ මම ඉල්ලීමක් කරා සෙසු සිරකාරයන්ගෙන් සමුගන්න ඉඩ දෙන්න කියලා. මාව ඇඩ්ඩිං කියන ෙජ්ලර් මහත්තයා එක්ක හිර ගෙදර වටේ යැව්වා පිරිසගෙන් සමු ගන්න. මට විජේවීර ගෙන් සමු ගන්න ගියාම විජේවීර මාත් එක්ක කථා නැතුව අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තා.

ඔයා ඉස්සරහ එයාට අවදි වෙන්න බැහැ.” ඇඩ්ඩිං ෙජ්ලර් විහිළුවෙං මගේ කනට කරලා කිව්වා.

මම පිරිසගෙන් සමු අරගෙන සිරගෙයින් නිදහස් ලෝකෙට ආවා. කැරැල්ල කැළෑව, සිරගෙදර. මේ ලෝක තුනේ ගත කරපු කාලය අවසන්. මම එතකං නීතිඥ රන්බන්ඩා සෙනවිරත්න ගුණදාස කපුගේ එක්ක බොරැල්ල වයි.එම්.බී.ඒ එකේ හිටියා. අපි ගියා තේ බොන්න.

මම රන්බන්ඩා සෙනවිරත්න ගුණදාස කපුගේ අපි බොරැල්ල උපවංශ හෝටලෙන් තේ බිව්වා. නිතිඥ රන්බන්ඩා සෙනවිරත්න මට කිව්වා සුමානයක් නිවාඩු අරගෙන ඉන් පසු වහාම වැඩට වාර්තා කරන්න ත්‍රිකුණාමල මහා විද්‍යාලයට යන්නෙයි කියලා. මම එකඟ උනා.

1978 ජනවාරි මාසේ මම මගේ පරණ ඉස්කෝලේ ත්‍රිකුණාමල මහා විද්‍යාලයට ගියා. 1971 අප්‍රේල් මම පාසලෙන් ගිහිල්ලා 1978 ජනවාරි යලි එනවා. අවුරුදු ගානකට පස්සේ ශිෂ්ඨාචාරය එක්ක ගනුදෙනු කරන්න කාලය ඇවිත්. පාසල වෙනස් වෙලා අළුතින් ගොඩනැගිලි ඇවිදින්.

1971 කාලේ මාත් එක්ක ඒ පාසලේ ගුරුමන්ඩලේ හිටපු හේවාවිතාරණ තමයි දැන් විදුහල්පති. මගේ ගෝලයෙක් වෙලා හිටපු නවින් චන්ද්‍ර දැන් ගුරුවරයෙක්. මම ඉස්කෝලෙට ගිය දවසේ කට්ටිය මාව සාදරයෙන් පිලිගත්තා. ඒ කාලේ විද්‍යාගාරේ විද්‍යාගාර සහායක මෙරිල්. මෙරිල් මට ලැබ් එකට කථා කරලා ෆයිල් එකක් දුන්නා.

ඒ පයිල් එකේ මට ආපු රාජකාරි ලිපි සියල්ලම මෙරිල් අරන් තියලා. සර් කවදා හරි මුණගැහෙනකං මම මේ ලිපි ආරක්ෂා කරගෙන හිටියා. මෙරිල් කිව්වා. මට මෙරිල් ගැන ලොකු සෙනෙහසක් දැනුනා. ඒ ලියුම් මට විශ්‍රාම යන තෙක් උපකාර උනා මගේ රාජකාරි වැඩ වලට.

1982 දි මම බැන්දා. අපිට ළමයි 3 ලැබුනා. මම නොයෙකුත් පාසල් වල සේවය කළා. සමහර පාසල් වල අය මම චේගුවේරා කාරයා ත්‍රස්තවාදියා කියන ලේබලය අලවලා මගේ පිටිපස්සට කසු කුසු ගෑවා. ඒත් ඒවාට මම සැලූනේ නැහැ. කැලේ ජීවිතය පොලිස් සී.අයි.ඩී. ප්‍රශ්න කිරීම් හමුවේ අභියෝග වලට මුහුණ දුන්න මට හැංගිලා ගල් කැට විසිකරපු නිවටයන් වචනයකින්වත් අභියෝගයක් උනේ නැහැ. වැඩි පිරිසක් මගේ අත්දැකීම් වලට සැලකිල්ලක් ගරුත්වයක් දැක්වූවා.

1988/89 භිෂණ කාලේදි මට යලිත් ප්‍රශ්න ආවා. 88/89 භිෂණයේදි දේශප්‍රේමී කියාගන්න තුවක්කුකරුවන් මගේ පස්සෙන් ආවා. අනෙක් පසින් පොලිසිය මාව දෙවන කැරැල්ලට සැක කරලා සිර කරන්න උත්සාහ කරනවා. පොලිසියෙන් මාව අත්අඩංගුවට ගෙන මාතර පොලිසියේ රඳවලා තිබ්බා. මම මාතර පොලිස් කූඩුවේ ඉන්නකොට සාජන් බැද්දගේ ආවා. මෙයා මගේ 1971 මිස් වෙච්ච ටාගට් එකක් කිව්වා.

මට මතකයි 1971 දි සාජන් බැද්දගේ පී.සී කෙනෙක්. 88 වෙන කොට යන්න ප්‍රළුවන් උනේ සාජන් දක්වා පමණයි. ඒත් මිනිහා කථා කලේ අති දක්ෂ පොලිස් නිලධාරියකුගේ විලාශයෙන්.

විජය කුමාරතුංග සමඟ

මාව උසාවියට ඉදිරිපත් කරලා චෝදනා නැති නිසා මහේත්‍රාස්ගේ අත්සනින් නිදහස් කරන්න නියෝගයක් දී තිබුනත් මාව රඳවගෙන හිටියා. සමහර විට අතුරුදහන් කරන්න වෙන්න ඇති. ඒ අවස්ථාවේදි විජය කුමාරතුංග ඒ වගේම මහින්ද විජේසේකර , හඞ නගලා තමයි මාව නිදහස් කර ගත්තේ. මම විජය කුමාරතුංග, දේවබන්ඩාර සේනාරත්න එක්ක දේශපාලනය කරා. යලිත් ආයුධ අතට ගන්න දේශපාලනයක් අවශ්‍ය උනේ නැහැ.

දේවාට වෙඩි තියන කොට මම ඒ අසලත් හිටියා. ඝාතන දේශපාලන සංස්කෘතිය නිසා අපට ඉතා යහපත් මිනිසුන් රැසක් අහිමි උනා. මාව 1988 දි අත්අඩංගුවට ගැනීම පිලිබඳ මම මානව හිමිකම් නඩුවක් පැවරුවා. මට හිතෙන්නේ ඒ කාලේ දාපු ප්‍රථම 88 සිද්ධින් සම්බන්ධ මානව හිමිකම් නඩුව වෙන්න ඇති. නඩුව කරේ මගේ පැරණි දේශපාලන ගුරුවරයා නීතිඥ කල්යානන්ද තිරනාගමයි.

විශ්‍රාම ගැනීමෙන් පස්සේ මම දැන් පොත පත කියවනවා. අතීත සිද්ධීන් ස්මරනය කරනවා. මෑතකදී මම විදුහල්පතිවරු කණ්ඩායමක් එක්ක රිටිගල ප්‍රදේශයේ චාරිකාවක නිරත උනා. මම කැලේ ඉන්න කොට හිටපු තැන් මට යළි දැක ගන්න ලැබුනා.

අපේ සමහරු 1971 වැරදි වලින් ඉගෙන ගත්තේ නැහැ. 71 අත්දැකීම සැඟවීමේ ශාපය තමයි 88දි මතු උනේ. 71 වැරදි වලින් පාඩම් ඉගෙන නොගත් නිසා දේශපාලනමය, සදාචාරමය මෙන්ම හැම අතින්ම විනාශකාරි වූ කැරැල්ලක් තමයි 88 දී මතු උනේ. යළිත් මෙවැනි විනාශ අයේ සමාාජයේ විය යුතු නැහැ.

(වෛද් රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතියෙනි)

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...