Friday, January 15, 2021

හැමෝම ෆේල් රටක චම්පිකගේ ගෝත්‍රවාදය ජය ගනීද? – වික්ටර් අයිවන්

රට අසමත් රටක් බවටත්, රටේ සියලු නායකයන් අසමත් නායකයන් බවටත් රටේ සියලු පක්ෂ අසමත් පක්ෂ බවටත් රටේ ව්යවස්ථාදායකය, විධායකය, අධිකරණය අසමත් ආයතන බවටත් පත්වී ඇත්නම් ලංකාව මුහුණ දී තිබෙන මෙම අර්බුදය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද?

හැමෝම ෆේල්

රටේ ඇතිවී තිබෙන මෙම අසමත්භාවයේ තරම ඒ කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු හා ඊට තමන් විසින් ලබාදී තිබෙන දායකත්වයේ තරම තවමත් රටේ දේශපාලන නායකයන් හොඳින් තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන් හිතන්නේ ගෝඨා ෆේල් වෙන තරමට තමන්ට පාස්වීමට තිබෙන හැකියාව වර්ධනය වන බවය. එහෙත් ෆේල් වී තිබෙන්නේ ගෝඨා පමණක් නොවේ. රටේ අන් සියලු නායකයන්ද ෆේල්ය.
රට ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන ව්‍යුහමය වෙනස්කම් ඇති කරන මහජන ව්යවස්ථා සම්පාදනයකට රට යොමු කිරීමකින් තොරව පවත්වන මැතිවරණයක් ගැන සිහින දැකිය හැක්කේ මෙම අර්බුදය ගැන කිසිදු අවබෝධයක් නැති මෝඩ නායකයන්ට පමණය.
මේ රටට හා ජනතාවට තමන් විසින් සිදුකර තිබෙන මහා විපත ගැන ඔවුන්ගේ ඇස්වල කඳුළු නැතිනම් ඒ විනාශයට තමන් ලබාදී තිබෙන දායකත්වය ගැන අවංක කනගාටුවක් ඇතිකර ගැනීමේ හැකියාව නැතිනම්, තව තවත් කල්පනා කරන්නේ රොඞ්ඩක් බවට පත් කර තිබෙන මේ රටේ සාරය තවදුරටත් උරා බීමට නම් මහජනයා නොවේ නම් ස්වභාවය ධර්මය හෝ ඔවුන්ට දඬුවම් කරනු ඇත. ඇත්ත වශයෙන් ඔවුන් මේ රටට සිදුකර තිබෙන විනාශය සහරාන් රටට කර තිබෙන විනාශයට වඩා දහස් ගුණයක් විශාලය.

චම්පික රණවක

විකල්ප නායකයකු වන චම්පික රණවක ජාතික හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත් වන අවස්ථාවේදී කරන ලද උද්වේගකර කතාව ඇසූ විට මට රටේ අනාගතය ගැන ඇතිවූයේ බලාපොරොත්තුවක් නොව විශාල බියකි.
මම චම්පික දන්නෙමි. දෙවැනි කැරැල්ලේදී ඔහුගේ ජීවිතය බේරා ගත් පුද්ගලයාද මා විය හැකිය. ගල්කිස්ස පරණ ගල්වල පාරේ තිබෙන පුංචි නිවසක රාවය සඟරාව කරන කාලයේදී විටින් විට රාවය කාර්යාලයට ඔහු ආව ගියේය. ඒ වනවිට ඔහු ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයකු විය. දෙවැනි කැරැල්ලේදී ආරක්ෂක හමුදාව ඔහු පැහැරගෙන ගොස් තිබූ අවස්ථාවකදී ඔහුගේ ආරක්ෂාව සඳහා මා දන්නා හමුදා නිලධාරියකුට කතා කොට චම්පික ගැන ඔහුට කියා ඔහුගේ අත්වල ලේ තැවරී නැති නිසා ඔහුට කරදරයක් වන්නට ඉඩ නොතබන ලෙස ඉල්ලා සිටියෙමි.
පුදුමයට මෙන් චම්පික පැහැරගෙන ගොස් රඳවාගෙන තබාගෙන තිබෙන්නේ මා කතා කළ නිලධාරියාගේ කඳවුරේය. එම හමුදා නිලධාරියා ඒ බව මට කීවේ නැත. කිසියම් කලකට පසුව ඉහත හමුදා නිලධාරියා ඇස් බඳින ලද චම්පිකව දමා ගොස් තිබුණේ රාවය කාර්යාලයේ මිදුලේය. එය රාත්රියකම සිදුවූ දෙයක් විය. ඒ කාලයේ මා රෑ නිදා ගන්නේද එම කාර්යාලයේම මට තිබුණු පුංචි කාමරයකය. චම්පිකට දිග කොණ්ඩයක් හා දිග රැවුලක් ලැබී තිබුණු අතර ගෙදර යන්නට පෙර රැවුල කපා ගත්තේද රාවය කාර්යාලයෙනි.

දෙවැනි කැරැල්ල

දෙවැනි කැරැල්ලක් ළඟ ළඟම එන බව දයා පතිරණ ඝාතනයට පෙර සිටම මම දැන සිටියෙමි. එහි සුවඳ මට දැනී තිබේ. ඒ ගැන මම හෙක්ටර් අබේවර්ධන, කාලෝ ෆොන්සේකා හා තිස්ස විතාරණ සමගද කතා කර තිබුණි. කැරැල්ලේ උච්චතම අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණ ශ්රීලනිප ප්රමුඛ වමේ පක්ෂය සමග ගොඩ නැගී තිබුණු දේශපාලන සන්ධානය සමග සාකච්ඡා කරන තැනකට ගොස් තිබුණි.
1988 ජනාධිපතිවරණයට සිරිමා බණ්ඩාරනායක තරග නොකරන තැනකට ගෙන කැරැල්ල ජයග්රාහී ලෙස ඉදිරියට ගෙන යෑම ජවි පෙරමුණේ උපාය මාර්ගික අරමුණ වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් සිරිමා බණ්ඩාරනායක ඒ ගැටේට අසුවූයේ නැත. ඇගේ එම දැඩි ස්ථාවරය කෙරෙහි මාගේ අදහස්ද බලපෑවේය. කොතරම් තර්ජන එල්ල වුවද මැතිවරණ රැස්වීම් පවත්වාගෙන යන ලෙසත්, ඒ මගින් මහජනයා තුළ ඇති කර තිබෙන බිය තුනී කරන ලෙසත් මම කියා සිටියෙමි. අම්බලන්ගොඩ රැස්වීමක් පවත්වන්නට දරන උත්සාහයත්, ආසන සංවිධායකයාගෙන් එල්ල වූ විරෝධය නිසා අසාර්ථක වූ බව මට දැනගන්නට ලැබුණු අතර, ඒ වෙනුවට ගාල්ලේ නගර ශාලාව ඉදිරියේ රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු පසුබිමේ සිට සිදුකර දුන්නෙමි.

සිරිමා බණ්ඩාරනායක හසුනොවූ උගුල

සිරිමා බණ්ඩාරනායක සිය උගුලට හසු කර ගන්නට බැරිවූ තැන ජවිපෙ පාක්ෂිකයන්ට සම්බන්ධ අයද ඝාතනය කරන තැනකට ගියේය. ජවිපෙ ජනාධිපතිවරණය තහනම් කොට ඊට වැඩ කිරීම හෝ ඡන්දය පාවිච්චි කිරීම මරණ දඬුවම ලැබෙන වරදක් බවට ප්රකාශයට පත් කළේය.
මම ඔවුන්ගේ එම නියෝගයට එරෙහිව කතු වැකියක් ලීවෙමි. නොබියව ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටියෙමි. මාගේ දේශපාලන විග්රහය වෙන් කළේ ආණ්ඩු මාරුවක් ඇති නොවන ලෙස ජනාධිපතිවරණයට අවහිර කළහොත් ජනතා විමුක්ති පෙරමුණට ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදුවන බව පෙන්නුම් කිරීම සඳහාය. මා සඟරාවේ පිටකවරය සකස් කළේ වතුර වෙනුවට ලේ ගලා යන ගංගාවක ඡායාරූපයකිනි.
ඇත්තටම අවසානයේ සිදුවූයේද එයයි. කැරැල්ල අවසන් වන විට රට ලොකු සොහොන් බිමක් බවට පත්ව තිබුණි. දෙපාර්ශ්වයම උපරිම ක්රෑරත්වයක් සමාජය මත මුදාහැර තිබුණි. සිංහල සමාජයේ ලොකු තරුණ පිරිසක් මරණයට පත්ව තිබූ අතර ජීවත් වූ සියලුදෙනාද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්ව සිටියේය.
1988 ජනාධිපතිවරණයට අවහිර නොකොට ආණ්ඩු මාරුවකට ඉඩ දුන්නේ නම් සමහරවිට රට මේ තරම්ම කාලකණ්ණි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි.

කැරැල්ලෙන් පසු

කැරැල්ල අවසන්වීමෙන් පසු චම්පික සිය දේශපාලන හිතමිතුරන් සමග විටින් විට රාවය කාර්යාලයට ආවේය. ඔවුන් අතර කුමාරතුංග මුණිදාසගේ මුණුබුරෙකු වන ගෙවිඳු කුමාරතුංගද සිටියේය. ශ්‍රීලනිපයට හෝ එජාපයට එකතු වී එම පක්ෂවලටද යහපත් දැක්මක් ලබාදෙමින් ප්රධාන දේශපාලන ප්රවාහයකට එකතු වන ලෙස මම චම්පිකගෙන් ඉල්ලා සිටියෙමි. ශ්‍රීලනිපයට එකතුවීමට කැමති බව කියා බණ්ඩාරනායක මැතිනිය හමුවී සාකච්ඡාවක් කිරීමට කටයුතු සූදානම් කරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය.
මා අනුරුද්ධ රත්වත්ත සමගත් බණ්ඩාරනායක මැතිනිය සමගත් චම්පික ගැන කතා කළෙමි. චම්පික හා ඔහුගේ හිතවතුන්ට සාකච්ඡාවක් ලබාදීමට බණ්ඩාරනායක මැතිනිය කැමති වූ අතර, එම සාකච්ඡාවට ශ්‍රීලනිපයෙන් බන්ඩාරනායක මැතිනියද, පක්ෂ ලේකම් සූරියප්පෙරුමද, අනුරුද්ධ රත්වත්ත හා මහින්ද රාජපක්ෂද සහභාගි වූහ. මම චම්පික සමග තවත් හතර දෙනකු හෝ පස් දෙනකු සහභාගි වූ අතර ඒ අතර ගෙවිඳු කුමාරතුංගද සිටියේය. එහිදී දෙපක්ෂය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවතුණද චම්පික ශ්‍රීලනිපයට එකතු වූයේ නැත. ඔහු තමන්ගේම ගමනක් ගියේය. අවසානයේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින ඉතා බලවත් ජාතික නායකයකු බවට පත්වූයේය. දැන් ඔහුගේ අභිලාෂය රටේ ඊළඟ නායකයා වීම විය හැකිය.
ගෝඨා බලයට පත් කරන දේශපාලන ව්‍යාපෘතියේ ඔහු කොටස්කරුවකු නොවුණද එම දේශපාලන ප්‍රතිඵලය සඳහා වන සමාජ දේශපාලන වටපිටාව හැදීමට ඔහුද බලවත් ලෙස දායක විය.
දැන් ඔහු අත තිබූ සිංහල බෞද්ධ ධජය තිබෙන්නේ රාජපක්ෂවරුන් අතේය. ගෝඨා ෆේල් වන විට එම ජනතාව ඒ වෙනුවට තමාව භාරගනු ඇතැයි චම්පික සිතනවා විය යුතුය. ඉන් පෙනෙන්නේ කොතරම් උගත් වුවත් යුගයක් අවසන් වී ඇති බව ඔහු තවමත් තේරුම් ගෙන නැති බවය.

අනාගතය කොතැනටද?

මෙම කතාවේදී චම්පික සිංහල බෞද්ධයන් වෙනුවෙන් තමන් අතින් සිදුවූ සේවාව විස්තර කර තිබුණේ මහත් උජාරුවකින් යුතුවය. සිංහල බෞද්ධයන්ගේ උන්නතිය පිණිස සුළු ජනවර්ග පීඩාවට පත්කිරීමට හා බිහිසුණු ගැටුම් ඇති කිරීමට බලපෑ සියලු ක්‍රියා මාර්ග ඔහු සිය කතාවෙන් අනුමත කර තිබුණි.

ප්‍රභාකරන් මතක් කර කළු ජූලිය අමතක කිරීම

ප්‍රභාකරන් ගැන කතා කර තිබුණද 83 කළු ජූලිය ගැන කිසිවක් කතා කර නොතිබුණි. ගංගොඩවිල සෝම හිමියන් ගැන කතා කර තිබුණද ඒ හිමියන්ගේ අපවත්වීමේ සිද්ධිය ඝාතන කුමන්ත්රණයක් ලෙස පෙන්නුම් කොට ඉන් ලබාගත් අයුතු දේශපාලන වාසි ගැන කතා කර නොතිබුණි. එම ආරවුල දුරදිග ගියේ නම් විය හැකිව තිබුණ විනාශය සුළුපටු නැත. මා එම සටකපට මෙහෙයුම ගැන ‘පන්සලේ විප්ලවය’ නමින් පොතක්ද ලියා පළ කර තිබේ. ප්රභාකරන් යුද්ධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු දෙමළ සතුරා වෙනුවට මුස්ලිම් සතුරකු මවාපෑම සඳහා සමාජගත කෙරුණ වඳ බෙහෙත් කතා ගැන කිසිවක් කතා කර නැත.
සුළුතර ජනවර්ග පීඩාවට පත් කරමින් හෝ ක්‍රියාවට නගන ලද අන්තවාදී වැඩසටහන් අර්ථවත්, සාර්ථක හා ප්‍රායෝගික නම් සිංහල බෞද්ධයන් රටේ විශාල බහුතරයක් වන තත්ත්වයක් තුළ දේශය සේ ම ලංකාවේ රාජ්‍යද එහි ආයතන ක්‍රමද සිංහල බෞද්ධ ජනයාද ශාසනයද ඉහළම දියුණුවක් පෙන්නුම් කළ යුතුව තිබුණි. එහෙත් ඒ සියල්ල තිබෙන්නේ දිව්‍ය ලෝකයක නොව අවීචිමහා නරකාදියකය. රට ඉල්ලා සිටින්නේ ගෝත්රික නායකයෙකු නොව නූතන වටිනාකම්වලට ගරුකරන නූතනවාදී නායකයෙකි.
චම්පික උගත් වුවත් ඔහු සැලකිය හැක්කේ පටු  ගෝත්‍රවාදී නායකයකු ලෙසය.

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...