Tuesday, January 26, 2021

විත්‍රපට පසුපස සිටින අප නොදකින ශිල්පීන්ගේ කතාව අහන්න! – සුදේශ් ද සිල්වා

ඉතිරි කරපුවයි….රත්තරං බඩුයි ඉවර වුනාම පස්සේ මොකද කරන්නේ?
ජනතාවගේ රසවින්දනයට වෙහෙසුනු කාටත් අමතක වුනු මිනිසුන්.

අඳුරු වූ ශාලාවේ සුදු පැහැ තිරය මත පතිත වන රූප වලින් අප සිත් සතන් පිනවයි. ඔවුන් රූප කායෙන් අප මුසපත් වෙයි. ඔවුන්ගේ රංගනයෙන් අප මුසපත්වෙයි. අපගේ ජීවිත ද ඒ හා සමාන යයි සිතයි. එයින් ඇසෙන ගීය දිනක් සතියක් නොව අවුරුදු ගණන් අපගේ මනසෙහි, මුවගෙහි රෑදී ඇසෙයි. ඔවුන්ගේ රූපයෙන් සැරසුණු බිත්ති, පොත් කවර වර්තමානයේ නම් ඒ රූපයන් ජංගම දුරකතනයෙහි රැඳී සිටියි.

අප වෙත මේ අයුරින් එන සෞන්දර්යය අප වෙත ගෙන ඒම සඳහා, කිසිදින රුපයෙන් අප දැක නැති විශාල නිර්මාණ ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් පිරිසක් වෙහෙසෙයි. කැමරා ශිල්පියාගේ සිට ආලෝකකරණ සහයක දක්වා ද, නිෂ්පාදන කළමනාකරුගේ සිට ආවතේවකරු දක්වා ද, සහය අධ්‍යක්ෂකගේ සිට වේශ නිරූපන දක්වාද, ඇඳුම් පැළඳුම් සකස් කරන්න ශිල්පීන්, ප්‍රවාහනය සලසන රියදුරු දක්වාද විශාල පිරිසකගේ සේවය ලැබෙයි. ලෝකයේ කොතනත් ඉන්නේ තිරය පසුපසය.

වර්තමානයේ දී මුහුණ දී තිබෙන කෝවිඞ් තත්ත්වය නිසා ජීවිත අර්බුදයට පත් පිරිස් ගැන සාකච්ඡාවන්, ප්‍රවෘත්ති සාකච්ඡාවන් පැවතියද, ලිපි, ප්‍රකාශන පළ වුවද මෙම පිරිසගේ ජීවන තත්ත්වයන් ගැන මාධ්‍යයේ, රජයේ, අදාල නිලධාරීන්ගේ අවධානය යොමු වී නොමැත. සහය අධ්‍යක්ෂවරුන්ගේ හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ අදහස් යෝජනා ක්‍රමවත් ලෙස ඉදිරිපත් වුවද, අනෙක් ශිල්පීන් සම්බන්ධයෙන් එලෙස සංවිධානාත්මක ඉල්ලීම් දක්නට නොලැබෙයි.

ඔවුන්ගේ රැකියාවේ ස්වභාය ඉතා වෙනස්ය. ඔවුන් දිනපතා, සතිපතා, මාස්පතා රැකියා කරන්නන් නොවෙයි. ඔවුන් තමන්ගේ රැකියාව නිසාම සමාජයේ ලැබී ඇති සමාජ ගෞරවය ද රකිමින් තමන්ගේ පවුල ජීවිතය ගෙන යන්නේ සැලසුමක් නොමැතිව ලැබෙන නිර්මාණ හරහා ය. ඒවා ස්ථාවර, නිශ්චිත ආදායමක් ලැබෙන අවස්ථාවන් නොවේ. ඒ නිසාම ඔවුන් ජීවිත ද පවතින තත්ත්වයන් අනුව ක්ෂණිකව වෙනස් වේ.

මේ වන විට මාර්තු මාසයේ සිට ඔවුන්ගේ ආදායම් මාර්ග ඇණ සිට ඇත. ආහාර, නිවාස, ළමුන්ගේ අධ්‍යාපනය, මූලික බිල්පත් සියල්ලම අර්බුදයට ලක්වී තිබේ. තිබූ රන් බඩු බැංකුවේය. සමහරු ණය වී, ඒ ණය ගෙවන්න තවත් ණය වී තිබේ. ඔවුන්ට රැකියාව සඳහා ලිපියක්, හැඳුනුම්පතක් නැත. කිසිම බැංකුවකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ණයක් ලැබෙන්නේ නැත. ආදායම අවිනිශ්චිත ඔවුන් වෙනුවෙන් ඥතියෙක්වත් ඇපකරුවෙක් වීමට කැමැත්තක් නැත. ක්ෂේත්‍රයේ සිටින අනෙක් පිරිස ගේ කතාවත් මේ හා සමාන නිසා ඔවුන්ට උදව් කිරීමට කිසිවෙක් නැත.

මේ ඔවුන්ගේ කතාවයි. ඒ කතාව ඔවුන් අපට වෙහෙසව ඉදිරිපත් කරන කතාව තරම් සුන්දර නැත.

විදේශ විනිමය ලැබීමට තිබූ, ශිල්පීන්ට වැඩ කිරීමට තිබූ නිර්මාණ රැසක් අහිමිවුනා.

 

– දමින්ද මඩවල. සහය අධ්‍යක්ෂක

දමින්ද මඩවල

මම වැඩිපුර වැඩ කරන්නේ සිනමාවේ වුනත්, ටෙලිනාට්‍ය, රූපවාහිනී මාධ්‍ය, වෙළඳ දැන්වීම්, වාර්තා වැඩසටහන්, වල වැඩ කරන සහය අධ්‍යක්ෂකරුන් 75, 80 ක් ඉන්නවා. මේ වන විට චිත්‍රපට කර්මාන්තය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. කෝවිඞ් තත්ත්යෙන් පසුව පසුගිය මාර්තු මාසෙයන් පසුව සම්පූර්ණ කරපු එකම චිත්‍රපටය අසෝක හඳගම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය විතරයි. සහය අධ්‍යක්ෂකවරුන්ට දැඩි අර්බුදයක් තියෙනවා. මාත් එක්ක කතා කරන පිරිසගේ අත්දැකීම් ගත්තම ඒක කියන්න පුළුවන්. රූපවාහිනි ක්ෂේ්‍රයේ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සමහර වැඩ කටයුතු සිදු වෙනවා. චිත්‍රපට පමණක් තමන්ගේ වෘත්තීය කරගත් සහය අධ්‍යක්ෂවරුන්ට සහ අනෙක් ශිල්පීන් දැඩි අර්බුදයක සිටින අතර මේ තත්ත්වයන් නිසා විශාල බලපෑමක් ඇතිවෙලා තිබෙනවා වෘත්තීය ජීවිතයට හා පෞද්ගලික ජීවිතයට. සංකීර්ණ ආර්ථික ප්‍රශ්න ඇතිවී තිබෙනවා. රජයට පීඩාවට පත්, විපතට පත් කලාකරුවන් සම්බන්ධයෙන් හරිහමන් වැඩපිළිවෙලක් නැහැ. යම් යම් දේවල් කරනවා කියලා කිව්වත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකවීමක් සිදුවෙන්නේ නැහැ. හැම ආණ්ඩුවකටම වගේම ඒ තැනට යන්න උදව් කරනවා කලාකරුවන්, අවශ්‍ය කාලයන් වලදී කලාකරුවන්ට සම්බන්ධ කරගත්තත් ඉන්පස්සේ ඔවුන්ගේ අභිවෘද්දීයට වැඩ කරන බවක් පෙනෙන්නේ නෑ මේවෙන තාක්කල්.

මාර්තු 12 තමයි අපිට ආරංචි වුනේ. මම එතකොට හිටියේ සීගිරිය පැත්තේ රූපගත කිරීමක. අපි මාර්තු 15 රූපගත කිරීම් නැවැත්තුවා. රාත්‍රියේම අපි කොළඹ ආවා. පළවෙනි කෝවිඞ් එකේ දී දින කිහිපයක දී අපි එම චිත්‍රපටයේ ඉතිරි වැඩ අවසන් කළා. ඊට පසුව මේ වනතුරු කිසිම වැඩක් කළේ නැහැ. මට චිත්‍රපට දෙක තුනක වැඩ තිබුණා. ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් වැඩ තිබුණා. ඒවා දේශීය චිත්‍රපට. ඒ වගේම ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ගේ ඉන්දීය චිත්‍රපටය ඇතුළු තව විදෙස් චිත්‍රපට කිහිපයක වැඩ කරන්න තිබුණා. ඒ තුළින් විශාල විදේශ විනියමක් ලංකාවට රැගෙන එන්න අවස්ථාවක් තිබුණා. නමුත් ඒ සියල්ල අහිමිවුනා.

ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡාවක් තිබුණා. නමුත් චිත්‍රපට සම්බන්ධයෙන් එවැනි සාකච්ඡාවක් තිබුණා කියලා අපට දැනගන්න ලැබිලා නැහැ. ටෙලිනාට්‍ය සඳහා ගිය සාකච්ඡාවෙන් පස්සේ යම් කිසි ක්‍රමවේදයකට ඒවා කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ පහසුකම චිත්‍රපට වලටත් ලබා දී තිබෙනවා. නුමුත් ඒ නීති රීති කෝන්දේසි සමග චිත්‍රපට කරන්න අමාරුයි. දැනට විකාශනය වෙන මෙගා ටෙලි නාට්‍ය බොහෝම සරළ මට්ටම් පසුතල ඇතිව රූපගත කිරීම් සිදු කරනු ලබනවා. නමුත් නිර්මාණශිලි ටෙලි නාට්‍ය කරන නිර්මාණකරුවන් විශාල අර්බුදයක ඉන්නේ.

සහය අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංවිධානයක් තියෙනවා. සංවිධානයක් වශයෙන් අදාල සියළුම ශිල්පින් වෙනුවෙන් ඉල්ලිමක් ඉදිරිපත් කළා. ඒ වගේම රජයෙන් රුපියල් ලක්ෂ පහක ණය මුදලක් ලබාදෙන්න තීරණය කරලා තිබුණා. අපි ඒ සඳහා අපේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරන කොට එදා එම ණය මුදල් ගෙවීම අවසන් කළා කිව්වා. මගේ අයදුම්පත් භාරගත්තත් මේ වනතුරු කිසිවක් සිදුවුනේ නැහැ. වෙනත් කණ්ඩායමක් ඒවා ලබාගෙන තිබුණා.

අපේ ප්‍රශ්න අපි කාටද කියන්නේ. කව්ද ඒවා අහන්න ඉන්නේ.?
– රුවන් කොස්තා, සිනමා කැමරා අධ්‍යක්ෂක

රුවන් කොස්තා

පළවෙනි සැරේ කෝවිඞ් එක ආවට පස්සේ මම කලින් කැමරාකරණය කරපු චිත්‍රපටයක කොටසක් තිබුණා ඒක ඉවර කළා. වෙළඳ දැන්වීම් කිහිපයක්ම තිබුණා. ඒ ටික වැඩ ඉවර කළා. දෙසැම්බර් වල තව චිත්‍රපටයක් තිබුණා. ඒකේ දර්ශන බලලත් ඉවර කළා. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන කෙනා පිටරට ඉන්නේ එයාට එන්න විදියක් නැහැ. කෝවිඞ් එක නිසා ඒක කල් ගියා. ජනවාරි මාසේ තව එකක් පටන් ගන්න තිබුණා, ඒකට අවශ්‍ය දර්ශන තල බැලීම් අනෙක් වැඩ සේරම කලා. ඒත් ඒවා ඔක්කෝම කල් ගියා. තව චිත්‍රපට හතරක් පහක් කතා කරලා තියෙනවා. ඒ ඔක්කෝම දින නියමක් නෑ. මොකක්ද වෙන්නේ, මොකක්ද කරන්න ඕන කියන එක කාටවත් කියන්න බෑ. වෙළඳ දැන්වීම් පවා මේ සූදානම් කරනවා, මේ නවත්වනවා. කිසිම විශ්වාසයකින් වැඩක් කරන්න බෑ.

වෙළඳ දැන්වීම් කරන කැමරා ශිල්පීන් නම් දැනට වැඩ කරගෙන යනවා. චිත්‍රපට පමණක් කරන කැමරා ශිල්පීන් ට නම් කිසිම වැඩක් නෑ මේ කාලේ. ඉස්සෙල්ලා වැඩ කරපු විදියට දැන් වැඩ කරන්න බෑ. අළුතෙන් චිත්‍රපට කිසිවක් නිෂ්පාදනය වෙන්නේ නෑ, අසෝක හඳගමගේ චිත්‍රපටය හැරෙන්නට.

අපේ මේ ගැටළු තත්ත්වයන් කාට ද යෝජනා කරන්නේ. අපි ස්වාධීනව නිදහසේ වැඩ කරන පිරිසක්. මේ වන විට අපගේ ආදායම බින්දුවයි. අපි තියෙන දෙයක් කළමනාකරණය කරනවා මිසක් ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල ඇහිරිලා තියෙන්නේ. චිත්‍රපට සංස්ථාව කවදාවත් කතා කරන්නේ නැහැ මේ වගේ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න ගැන. අඩුම ගානේ නැවතිලා තියෙන මේ ෆිල්ම් ටික කොහොමද පටන්ගන්නේ කියලවත් සැලැස්මක් නෑනේ. ඩිජිටල් ප්‍රොජෙක්ටර්ස් තියෙන ෆිල්ම් හෝල් එකක් වහගෙන ඉන්න බෑ. ඩිජිටල් ප්‍රොජෙක්ටර්ස් හැමදාම ඔන් කරන්න ඕනා. ඒවා නිතර භාවිතා කරලා බලන්න ඕන. ඒවා වහලා දාලා තියන්න බෑ. ඉලෙක්ට්‍රොනික් දේවල් ඔන් කරලා තියන්න ඕනා. ඔවුන්ට ආදායමක් නැති වුනත් ඔවුන්ට වියදමක් දැරීමට සිදු වෙලා තියෙනවා. නැත්නම් කෝටි ගාණක් වටිනා මැෂින් විනාශ වෙලා යනවා. ඒ ගැන කිසිවෙක් කතා කරන්නේ නෑ, එතකොට වෙන්නේ සිනමා ශාලා අපට අහිමිවීමයි. පක්ෂ පාට භේදයකින් තොරව මේ සිනමාව මුහුණ දෙන මේ අර්බුදයන් ගැන සැලකීමක් කළේ නැහැ. කරපු දේකුත් නැහැ. ඒ කලාවේ, කර්මාන්තයේ නියැලිලා ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලවත් බලන්නේ නැහැ.

කුලියට ගෙවල් අරගෙන වැඩ කරන අපි ජීවිතය යන්තමින් ගැටගහ ගන්නවා

-කේ.එල් ප්‍රියන්ත, නිෂ්පාදන සහයකයක, චිත්‍රපට හා වෙළඳ දැන්වීම්

කේ.එල් ප්‍රියන්ත

මාර්තු 13 වෙනිදා අපි වැඩ කරමින් හිටපු රුසියානු චිත්‍රපටයේ වැඩ නැවැත්තුවට පස්සේ, මේ කාලය තුළ දවස් 20 ක් වත් වැඩ කළේ නැහැ. චිත්‍රපට නිෂ්පාදනයන් නම් කොහොමටත් වෙන්නේ නැහැ. වෙළඳ දැන්වීම් කිහිපයක් ආවා. අවුරුද්ද අග නිසා වෙළඳ දැන්වීම් කිහිපයක් කරන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටියක වැඩ කරද්දි ආහාර සැපයුම මම සම්පූර්ණයෙන් භාරගන්නවා. මාත් එක්ක වැඩ කරපු තවත් කට්ටිය ඉන්නවා ඒ අයට වැඩක් නැති නිසා ඒ අය ගෙවල් වලට වෙලා ඉන්නවා. මම මගේ වෘත්තියේ කොටසක් විදියට වෙළඳ දැන්වීම් කරන නිසා මට යම් වැඩක්, ආරක්ෂාවක් තියෙනවා. අනික් අය නම් බොහෝම අමාරු තත්ත්වයක තමයි ඉන්නේ.

අපේ විස්තර ගත්තා රජයට දෙනවා කියලා. ඒත් ඒ දේවල් වලින් තවම ප්‍රයෝජනයක් වුනේ නම් නැහැ. ඒ ගැන මොනවද වුනේ කියලවත් දන්නේ නැහැ. අපිට කිසිම ප්‍රතිලාභයක් ඒකෙන් ලැබුණේ නැහැ. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අයගේ අධ්‍යපන කටයුතු අන්තර්ජාලයෙන් කරන නිසා ඒකටත් වියදමක් යනවා. ෂේප් එකේ බොහෝම අමාරුවෙන් වැඩ කරගෙන යනවා.

මම මේ කේටරින් එක පටන් ගත්තේ චිත්‍රපට සඳහා පමණයි කියලා හිතාගෙන. ඒක වෙනම විදියකට කරන්නේ. මම ගම්පොළින් කොට්ටාවේ ඇවිල්ලා ගෙයක් කුලියට අරගෙන තමයි කට්ටියත් එක්ක වැඩ කරගෙන ගියේ. මම සම්බන්ධ චිත්‍රපට කර්මාන්ත එක්ත විතරයි. ගමේ හිටිය නම් ගමේ තියෙන වෙනත් දේවල් වලට ආහාර සපයන්න තිබුණා.

අපි වැඩ කරන්න කැමතියි. ඒත් කොහොමද, කොහේද වැඩ කරන්නේ

-නිශාන්ත පද්මකුමාර, නිෂ්පාදන කළමනාකරු

නිශාන්ත පද්මකුමාර

පළමු වතාවේ කෝවිඞ් එක එන කොට අපි ගොඩක් වැඩ සැලසුම් කරලා තිබුණා. ඒ ඔක්කෝම නැවතුනා. මුල් අවස්ථාවෙදි කොවිඞ් එකත් එක්ක කොහොමද මේ වැඩ පටන් ගන්නේ කියලා අදහසක් අපිට තිබුණේ නෑ. නමුත් දෙවෙනි රැල්ල වෙලාවේ දි ලොක්ඩවුන් එකත් එක්ක වැඩ කරන්න පොඩි සැලසුම් තියෙනවා. එතනදි ප්‍රශ්නයක් වෙන්නේ, එළියට ගිහින් සෙනග මැද්දේ වැඩ කරන්න අමාරුයි. එහෙම අර්බුදයක් තියෙනවා.

මාස ගණනාවක් තිස්සේ වැඩ නැතුව ඉඳලා ශිල්පීන්ව එකතු කරගන්න ගැටළුවක් නෑ. හැම කෙනෙක්ම වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නේ. චිත්‍රපට කර්මාන්තයේ නියැලීමම වෘත්තියක් විදියට කරගත්ත පිරිස් ඉන්නවා. ඒ අය ඕනම වෙලාවක වැඩ කරන්න ලෑස්තියි. අර්බුදයක් පැන නගින්නේ දර්ශන තලයක් හැටියට ගෙයක් ගත්තොත්, මේ තත්ත්වය යටතේ වැඩ වලට ගෙවල් දෙන්නේ නෑ. නිෂ්පාදන කණ්ඩායමක් නිවසකට ගෙන්න නිවැසියන්ගේ අකමැත්තක් තියෙනවා. මේ වෙනකොට රෝගය හැම තැනම පැතිරිලා තියෙන නිසා කාටද රෝගය තියෙන්නේ, නැත්තේ කියලා කියන්න බැරි නිසා, සෙනග එකතු කිරීම ප්‍රශ්නයක්.

දෙවෙනි කෝවිඞ් රැල්ල එන්න ඉස්සර අපි වෙළඳ දැන්වීමක් කරන්න සැලසුම් කරලා හිටියා. අපි ගාල්ල ප්‍රදේශයේ රූපගත කිරීමක් කරන්න ලෑස්ති වෙලා හිටියා. දැන් අපි එහෙම තැනකට ගියත් සෞඛ්‍ය පරීක්ෂකව සම්බන්ධ කරගන්න ඕනා. රූපගත කිරීමට අනුගමනය කළ යුතු චිත්‍රපට වෘත්තිකයන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මාර්ගෝපදේශක මාලාවක් දීලා තියෙනවා. අපේ රූපගත කිරීමක් කරන්න ගියාම 60, 70, සමහර විට 100, 150 ක් විතර ඉන්න ඉඩ තියෙනවා. ඒත් අදාල ප්‍රදේශ වල ඉන්න කට්ටිය බයයි රූපගත කිරීම් වලට. දැන් අපේ රූපගත කිරීමට හිටිය තියෙන තත්ත්වයත් ඒක්ක ගාල්ලේ අය කැමති නෑ. කොළඹින් වැඩි පිරිසක් ඇවිත් රූපගත කරනකොට මිනිස්සු බය වෙයි.

දැනට අපි උදේ වැඩ පටන්ගන්න අවස්ථාවේ ශරීරයේ උෂ්ණත්වය බලලා, සැනිටයිසර් වලින් අත් පිරිසිදු කරලා අදාල වෙනත් පියවර අනුව වැඩ කරනවා. රූපගත කිරීමේ දි අපහසුයි කියන නීති රීති ඒ විදියටම කරන්න. අපේ ශිල්පීනුත් විවිධ ප්‍රදේශ වල ඉන්නේ. ඒ නිසාම අපිට ප්‍රයෝගික අපහසුතා විශාල සංඛ්‍යාවත් තියෙනවා.

දැනටම ශිල්පීන් කිහිප දෙනෙක් අසාදිතයන් වුනාට ඒ තත්ත්වය අපිට අර්බුදයක් වුනේ නෑ. ඒ තත්ත්වය දැනට රූපගත කිරීම් සිදු කිරීමට බාධාවක් වෙලා නෑ,

ලාබදායී චිත්‍රාගාර බිහි කලොත් වැඩ කරන්න පුළුවන් 

– බුද්ධි සංජය එදිරිසිංහ. ඇඳුම් නිර්මාණ / නිෂ්පාදන කළමනාකරු

බුද්ධි සංජය එදිරිසිංහ

කොරෝනා තත්ත්වය මැද පසුගිය පෙබරවාරි ඉඳලා නිර්මාණයන්ට සහභාගිවුනේ නෑ, නිවසේ අවශ්‍යතාවයන් තියෙනවා. නිවසටම වෙලා ඉන්න සිද්ධ වුනාම, ක්ෂේත්‍රයේ වැඩ කරලා පුරුදු අයට අමාරුයි. මම කොළඹ කුලිය ජීවත් වෙන කෙනෙක්. ගෙදර කුලිය ගෙවාගන්නේ අමාරුවෙන්. කෑම බීම කොහොම හරි කරගත්තත් ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න තියෙනවා. අපි එහෙම හරි මොනවා හරි ඉතුරු කරගත්ත දෙයක් තියෙනවා. කැමරා ඒකකයන් වල, වෙනත් ඒකකයන් වල දිනක වැටුපට වැඩ කරන ශිල්පීන් ඉන්නවා. එයාලට කොහොමත්ම ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඉතුරුවක් කිරීමට අපහසුයි ලැබෙන මුදලත් එක්ක. එතකොට එවැනි අය අසරණ වෙනවා මුකුත් කරගන්න බැරිව.

අපේ කලා අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානයෙන් සාකච්ඡා කරලා ලක්ෂ පහක ණය මුදලක් බැංකුවෙන් ලබාගන්න පුළුවන් කියලා කිව්වා. අපේ සංවිධානයෙන් අපිට ලියුමක් දුන්නා බැංකුවට. ඒත් අපි බැංකුවට ගියාම ඒ ලියුම අදාල නෑ, ඒ ලියුම බැංකුව බලන්නෙවත් නෑ, වෙනත් ලියකියවිලි ඉල්ලනවා. මම මගේ සියළුම ලියකියවිලි සකස් කරලා බැංකුවට ගිහින් දුන්නම බැංකුව කිව්වා සති දෙක තුනකින් හරියයි කියලා. පස්සේ මම බැංකුවට ගියාම බැංකුව කියනවා ඒ ණය දෙන එක නවත්තලා කියලා. ඒ ගැන වගකියන්න ඕන කිසිම පුද්ගලයෙක් නැහැ. අපිට ඒ ගැන කතා කරන්න තැනකුත් නෑ, අපේ යෝජනා කොතනට ඉදිරිපත් කළත් ඒවා වලටත් නියම පිළිතුරක් නෑ,

දැන් ඊයේ පෙරේරා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා වේදිකාවේ ඉන්න සියළුම දෙනාට රක්ෂණයක් දෙනවා කියලා. වේදිකාව, සිනමාව, රූපවාහිනිය මේ ඔක්කෝම වෙල සිදුවෙන්නේ කලා කටයුතු. වේදිකා ශිල්පීන්ට විතරක් වෙනස් කරලා දෙන එකත් වැරදියි. සින්දු කියන කෙනාගේ ඉදලා කලාවට සම්බන්ධ අය. ලියන තැන ඉදලම කලාවට සම්බන්ධයක් තියෙනවා.

මේ තත්ත්වයන්ට හොඳම විසඳුමක් තමයි චිත්‍රාගාර තුළ රූපගත කිරීම් කිරීම. ලංකාවේ එහෙම තැන් නෑනේ. රන්මිණිතැන්න කියන්නේ සම්පතක්. ටෙලිනාට්‍ය වලදි වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ තැනකට ගිහින් වියදම් කරලා ටෙලි නාට්‍යක් කරන්න බෑ. ටෙලි නාට්‍යයකින් ලැබෙන ගාන මදියි ඒ වගේ තැනක වැඩක් කරන්න. රන්මිණිතැන්න පවා සහනදායි මුදලකට ටෙලි නාට්‍ය වලට දෙනවා නම්, ටෙලි නාට්‍ය කොටසකට නිශ්චිත මුදලක් ලබාදෙනවා නම්, ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේ තැන් දැන් අවශ්‍ය වෙනවා. ඉස්සර එහෙම කරන්න පුළුවන් වුනා.

අවුරුදු ගනන් කන්න පුළුවන් විදියට අපි සල්ලි ඉතුරු කරලා නෑ.

– චලින් මධුරංග අබේසිරිවර්ධන, අධ්‍යක්ෂක /සහය අධ්‍යක්ෂක,

චලින් මධුරංග

මූලිකව සියළුම දෙනාගේ රැකියාවන් වල අර්බුදයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරපු රැකියාවල් දැන් කරගෙන යන්න බෑ. අපි කරන්නේ බොහෝ වෙලාවල් වලට අනුන්ගේ තැනක ගිහින් තමයි වැඩ කරන්නේ. අපි කාර්යාලයක රූපගත කිරීම් කළොත් අපිට ඒ වගේ තැන්වලට යන්න බෑ. එතන රූපගත කිරීම් ඉවරවෙලා තව තැනකට යනවා නම් එතනට යන්න බෑ. ඒක ගෙයක් වෙන්න පුළුවන්. පාරක් වෙන්න පුළුවන්. පවතින කෝවිඞ් තත්ත්වයන් මත පාරකවත් රූපගත කිරීම් කරන්න බෑ. අවසර ලැබෙන්නේ නෑ. ගෙදරකට යන්න බෑ. ඒ ගෙවල් හිමියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා. ඒ නිසා ගෙවල් වලින් අපිට අවසර දෙන්නේ නෑ. අපේ සියළු රූපගත කිරීමේ මාර්ගයන් ඇහිරිලා තියෙන්නේ.

රූපගත කිරීමේ සෞඛ්‍යාරක්ෂිත මගපෙන්වීම් යටතේ අවම හා උපරිම වශයෙන් රැකිය යුතු කොන්දේසි තිබෙනවා. පවතින තත්ත්වයන් යටතේ අවම තත්ත්වයන් රැකීමට ආමාරුයි. වේශ නිරූපනයන්වලට දෙන්නෙක්,කලා අධ්‍යක්ෂණයට හතර දෙනෙක්, රියදුරන් හය දෙනක්, අවශ්‍ය වෙනවා. මේ විදියට බැලුවොත් 50 ක විතර ලැයිස්තුවක් එනවා. පවතින නිති රීති හදන්න මමත් සම්බන්ධ වුනා. ඒත් ඒ තියෙන ක්‍රමයන් අනුව අපහසුයි. නළු නිළියන් 5 දෙනෙක් හිටියොත් වැඩ කරන්න පුළුවන් 15 දෙනාටයි. 15 දෙනාත් මීටරයක් දුරින් ඉන්න ඕනා. සමීප රූපයක් තනි එක්කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. දෙන්න කතා කරන රූපයක් මීටරයක් දුරින් ඉදලා ගන්න බෑ. ඒ විදියේ ගැටළු තිබෙනවා. මේ වෘත්තීය කරන්න ඒ විදියේ ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා. ඒත් සමහර අය කරනවා මේ තත්ත්වයන් මැදත්. සමහර ඒවා නීතිමය විදියටත් සමහර ඒවා අනීතික විදියටත් කරනවා. ඒ කිසිම කෙනෙක්ට අපිට දොස් කියන්න බෑ.
අපි අවුරුද්දක් කන්න කියලා මුදල් ඉතුරු කරලා තියාගන්නේ නෑ, මම දන්න විදියට අපි අඩුම ගානේ මාස දෙකක්, තුනක් කන්න බොන්න සල්ලි තියා ගනිවී. සියයට අසූවක්ම එදාවේල හම්බ කරගෙන තමයි ජීවත්වෙන්නේ. අපේ වෘත්තිය තූල අපිට අදායම ලැබෙන්නේ වෙනස් විදියකට. අපිට හම්බකරන වෙලාවට හොඳට මුදල් ලැබෙනවා. නැතිවෙලාවට මාස දෙකක් තුනක් ගෙදර. අපි දැන් ඒ දරාගන්න පුළුවන් කාලේ පහුවෙලා මාස ගාණනාවක් ඇවිල්ලා. මාර්තු වල අපි කරමින් හිටපු රූපගත කිරීම් නැවතුනාට පස්සේ අපිට සල්ලි දෙන්නේ නැහැ. ඒ අය කියනවා සල්ලි නැහැයි කියලා. ඒ මුදල් නොමැති කම චක්‍රයක් වගේ දිගටම යනවා. අපිට දැන් තියන්න රත්තරං බඩුවක් නෑ. ඒවා ඔක්කෝම තියලා ඉවරයි. අපේ ගොඩක් අයගේ රත්තරං බඩු සින්න වෙලා. අපේ සමාජිකයන් අපේ සංසදයට පින්තූර එවලා තියෙනවා. ඒ අය අපේ සංසදයෙන් යම් උදව්වක් බලාපොරොත්තු වෙනවා. අපිටත් සමහර දේවල් කරන්න බෑ.

අපිට වෙන රස්සාවක් කරන්න යන්න බෑ. සමහර අය ත්‍රීවීල් දානවා. අපිට ත්‍රීවීල් එකක් ගන්න බෑ. බැංකු වලින් ලෝන් ගන්න බෑ. සමහර අයට තමන් කරගෙන ආපු වෘත්තීය ගෞරවය හා සමාජ තත්ත්වයන් නිසා වෙනත් රැකියාවක් කරන්න බෑ. අපේ අර්බුදය හරි සංකීර්ණයි. දැන් අපි තියෙන මුදල් වියදම් කරනකොට අපිට අදායමක් ලැබෙන්න වෙන ක්‍රමයක් නැහැ. අපේ රැකියාවල ස්වභාවය අනුව මාස දෙකයි අපි එහෙම ආදායම් මාර්ගයක් නැතිව ඉන්න පුළුවන්. ඒත් අපි තවම යනවා.

අපිට මේ විදියට යන්න පුළුවන් තව බොහෝම ටික කාලයයි. තව ටික දවසකින් අපිට එකිනෙකා පෙන්නන්න බැරි, පාන් රාත්තල උදුරගෙන කන මට්ටමක් ඇති වේවි. ප්‍රවීන ගායක නලීන් පෙරේරා කියලා තිබුණා බැංකු කඩන්න වෙයි කියලා. මම එතන ඉන්නවා. ළමයින්ට අපිට කියන්න බෑ කන්න නැහැ කියලා. අපි කොහොම හරි ළමයින්ට කන්න දෙනවා. අපි ළමයි දෙන්නටම පාසැල් නැති වුනත්, අධ්‍යාපනය නැතිවුනත්, පාසැලේ ගාස්තු ගෙවන්න ඕනා. ළමයි දෙන්නෙක් ඉන්න පෞද්ගලික පාසැල් වලට යන පවුලක් රුපියල් ලක්ෂයක් විතර පාසැල් වලට ගෙවන්න ඕනා. සමහර පාසැල් වලින් කියනවා, පාසැල් ගාස්තු ගෙවන්න බැරි නම් ළමයව අයින් කරගන්න කියලා. අපිට කතා කරලා මේ දේවල් විසඳගන්න පුළුවන් වුනු තත්ත්වය ඉවරයි.

ජනාධිපති රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා වෘත්තීය සහාය අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිශ්පාදක කළමනාකරුවන්ගේ සංගමය විසින් යවන ලද ලිපිය මෙහි කියවන්න: Request for system of Television programes (two pages)

Archive

Latest news

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...

Related news

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...