Friday, December 4, 2020

මුස්ලිම් ජනයා අවදානමට පත් කැරෙන කොරෝනා කාලයේ මරණය

ශ්‍රීන් සරූර් සහ මිනෝලි ද සොයිසා විසිනි.

කෝවිඩ්-19 ආසාදිතයින් භූමදානය හෝ ආදාහනය පිළිබඳ ප්‍රශ්නය, රජයේ නායකයින් විසින් විවිධාකාර ප්‍රකාශ ලබාදීමත් හා ඒවා එකිනෙකට පරස්පර විරෝධීවීමත් සමඟ රජයේ පරස්පර විරෝධීභාවය හෙළිදරව් කැරෙන විකාර සහගත හැරවුමක් බවට පත්ව තිබේ.

“වියළි භූමියක්”

කෝවිඩ්-19 ආසාදනය වීම නිසා මියගිය මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බවත්, භූමදානය සඳහා “වියළි භූමියක්”සොයා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බවත් හදිසියේම නිවේදනය කරන ලදි. සෞඛ්‍ය අධිකාරිය විසින් එය වහාම ප්‍රතික්ෂේප කරන ලදි. ඉන් පසු භූගත ජලය දූෂණය වීම වැළැක්වීම සඳහා වියළි කලාපයේ “දුර බැහැර ප්‍රදේශයක”භූමදානය කිරීම සඳහා අවසර දී තිබේ. දැන් පෙනෙන්නට ඇත්තේ එය සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කළ යුතු බවයි.

තලේමන්නාරම සිදුසු වියළි භූමියක් යැයි දැන් යෝජනාවී තිබේ. එමගින් ප්‍රායෝගික වශයෙන් මුස්ලිම් භූමිදානයන් නොහැක්කක් බවට පත් කරයි.

ආදාහනය වෙනුවට භූමදානය ඉල්ලීම සඳහා වහබි කණ්ඩායම් සම්බන්ධ වී ඇති බව කියමින් මෙම විකාර සහගත ඝෝෂාවේ ජාතිවාදී අංග නිරාවරණය කළ බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කියා සිටියේ ආගමික බලපෑමෙන් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදහස් ජනතාවට පැවසිය යුතු බවය.

විජිත යුගයේ ආඥා පනත

වසංගත හා බෝවන රෝගවලට ගොදුරු වූවන් සඳහා සුවිශේෂ මාර්ගෝපදේශ අනුව මරණයෙන් පසු වහාම බැහැර කිරීම අනිවාර්ය කර ඇති යටත් විජිත යුගයේ ආඥා පනතක ශ්‍රී ලංකාවේ බලධාරීන් සිරවී සිටී. රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනත මගින් එවැනි මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රම වශයෙන් භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට අවසර ලබා දී තිබේ.එකී අඥා පනත මගින් භූමදානය හෝ ආදාහනය සම්බන්ධයෙන් රෙගුලාසි පැනවීමට ඇමැතිවරයාට බලය පවරා තිබේ. පනත ප්‍රකාරව ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි මගින් මියගිය මළ සිරුරු භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම සඳහා බැහැර කිරීමේ දී විශේෂ ක්‍රියාපටිපාටි පනවා තිබේ. කෙසේ වෙතත්, මෙම රෙගුලාසිවලට අප්‍රේල් 11 වන දින ගැසට් නිවේදනයක් මගින් හඳුන්වා දුන් සංශෝධනයක් මගින් කෝවිඩ්-19 ආසාදනයවූවන් සහ ආසාදනය වූ බවට සැකකරන්නන් “ආදාහනය කළ යුතු”බව ප්‍රකාශ කරන ලදි.

රටවල් 180 ක අවසරය

ස්වකීය දේහයන් ආදාහනය නොකළ යුතු බව තම ආගමික විශ්වාසයන්ගේ නියමයන්ට අනුව මුස්ලිම්වරු විශ්වාස කරති. තවද භූමදානය කිරීම ලොව පුරා බොහෝ ජනයාගේ සංස්කෘතිය හා සම්ප්‍රදාය ද වී තිබේ. ලොව පුරා රටවල් 180 කට අධික සංඛ්‍යාවක් තුළ ඒ සඳහා අවසර දී සහ අනුගමනය කරමින් තිබේ.

මේ වන විට කෝවිඩ්-19 ආසාධිත රෝගීන් මිලියන 5.5 ක් සහ මරණ මිලියන 1.27 ක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ, 2020 නොවැම්බර් 11 වන දිනවන විට ආසාදිතයින් සංඛ්‍යාව 14,759 ක්ද මරණ 45 ක් වාර්තා වී තිබේ.

2020 මාර්තු මාසයේදී කෝවිඩ් -19 හි ආසාදිතයින් සමඟ කටයුතු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ සකස් කරන ලදී. භූමදානය සහ ආදාහනය යන දෙකම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් මාර්ගෝපදේශයන් සපයා තිබේ. අවමංගල්‍ය උත්සවයකදී ඥාතීන්ට මළ සිරුර නැරඹිය හැකි නමුත් එය ස්පර්ශ නොකළ යුතු බව මාර්ගෝපදේශ වල සඳහන් වේ. මියගිය අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන්ට ගරු කළ යුතු බව එහි දී අවධාරණය කොට තිබේ. සිරුරු ඥාතීන්ට භාර දිය යුතු නැති නමුත් ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සඳහා රැගෙන යාමට පෙර ඔවුන්ගේ ආදරණීයයන්ට එය දැකීමට ඔවුන්ට හැකි විය යුතුය.

විද්‍යාත්මක පදනමක් නැත

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නොසලකා හරිමින් අත්තනෝමතික හා කුරිරු ක්‍රියාමාර්ග ගනිමින් ශ්‍රී ලංකාව තමන්ටම සුවිශේෂී මාවතක ගමන් කරමින් සිටී. කොවිඩ් -19 ආසාදිතයෙකු හෝ ආසාදිතබවට සැක කෙරෙන්නෙකු භූමදානය කිරීමට අවසර නැත. මෙම භූමදානය ප්‍රතික්ෂේප කිරීම මුස්ලිම් ප්‍රජාව සඳහා ඉතා ගැඹුරින් සංවේගදායකය. මෙම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. ආදාහනය දැන් මුස්ලිම්වරුන්ගේ මනසෙහි ඇති වඩාත්ම දරුණුම භීතිය බවට පත්ව තිබේ.

මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු බොහොමයක් බලහත්කාරයෙන් නිවෙස්වලින් කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් මළ සිරුරු සඳහා සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වූයේ නම් ආදාහනය කර තිබේ.

කල්ගිය මූලික අයිතිවාසිකම්

ආදාහනය කිරීම පමණක් යන රෙගුලාසියට අභියෝග කරමින් ආසාදිතයින්ගේ පවුල් ඇතුළු ඇතැම් පුරවැසියන් විසින් අප්‍රේල්ජූනි මාසවලදී මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කර තිබේ. වසංගතය ආශ්‍රිත තත්වයන් හේතුවෙන් උසාවි වරින් වර වසා දැමීම හේතුවෙන් මෙම අයදුම්පත් තවමත් විභාග වී නැත. 2020 මාර්තු 30 වන දින දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය තුළ භූමදානය කෝවිඩ් -19 ආසාදිතයින් සඳහා ආරක්ෂිත විකල්පයක් ලෙස ලැයිස්තුගත කර තිබූ නමුත් පළමු මුස්ලිම් පුද්ගලයාගේ මරණය වූ, මාර්තු 29 වන දින, මියගිය පුද්ගලයාගේ දේහය බැලීමට පවුලේ සාමාජිකයින්ට ඉඩ නොදී ඉක්මන්ම ආදාහනය කරනු ලැබීය. මෙතෙක් භූමදානය කිරීමට අවසර දී තිබූ මාර්ගෝපදේශය හදිසියෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉවත් කරන ලදි.

නොවැම්බර් 10 වන විට ආදාහනය කරන ලද කොවිඩ් අසාදිත මුස්ලිම්වරු සංඛ්‍යාව 21 ක් වේ (ජාතික කෝවිඩ් මරණ ලැයිස්තුවට දෙකක් ඇතුළත් කර නැත). එක් අවස්ථාවක දී, PCR පරීක්ෂණ ප්‍රතිඵලය ඍණාත්මක වූ නමුත් එම ප්‍රතිඵලය ලැබී තිබුණේ ආසාදිතයාගේ ආදාහනය කිරීමෙන් පසුවය.

මුස්ලිම්වරුන් රටේ ජනගහනයෙන් සියයට නවයක් පමණ වුවද, කෝවිඩ් -19 නිසා මියගිය අය යැයි සැළකෙන අයගෙන් විශාල සංඛ්‍යාවක් ඔවුහු වෙති. පවුලේ සාමාජිකයින්ට අනුව, ආදාහනය කිරීමට නියෝග කරන ලද මළ සිරුරු 21 න් 14 ක්ම සාමාන්‍ය රෝගාබාධවලින් හා වැඩි වශයෙන් නිවෙස්වල දී මියගිය අයගේ වන නමුත් සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගය මත ඔවුන්ගේ සිරුරු කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබේ. රෝහල් අධිකාරියට අනුව ඔවුන් කෝවිඩ් ආසාදිත බව පරීක්‍ෂා වී තිබේ.

වර්තමානයේ, ජනාකීර්ණ තත්වයන් යටතේ ජීවත් වන මුස්ලිම් ජනතාව සිටින උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ වසා දමා තිබේ. ඔවුන් සාමාන්‍යයෙන් දිළිඳු අය වේ. සෑම මළ සිරුරක්ම ජාතික රෝහල වෙත ගෙන ගොස් PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල දැන ගන්නා තෙක් දේහයන් මෘත ශරීරාගාරයේ තබන ලෙස මෙම ප්‍රදේශවල රජයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. PCR පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක නම් පවුල් ස්වයං නිරෝධායනයක තැබීම හෝ හමුදා නිරෝධායන ආයතන වෙත ගෙන යෑම සිදුවේ. දේහය ආදාහනය කිරීම සඳහා පවුලේ සාමාජිකයින්ගෙන් කෙනෙකු අත්සන් කළ යුතුය.

යාඥාවට එක්කෙනයි

කෝවිඩ් -19 ආසාදිත සිරුරු මිනී පෙට්ටියක මුද්‍රා තබනු ලබන අතර ඒ සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවම වශයෙන් රුපියල් 5,000 ක් ගෙවිය යුතුය. බොහෝ අවස්ථාවලදී දේහය ආදාහනය සඳහා රැගෙන යාමට පෙර යාඥා කිරීම සදහා අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණකි. ඇතැම් විට මියගිය අයගේ මුහුණ බැලීමට ද ඔවුන්ට අවසර දී නැත.

ඇතැම් මරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හදිසි මරණ ලෙස වර්ගීකරණය කර තිබුණ ද කෝවිඩ් -19 දෙවන රැල්ල ඇතිවූ ඔක්තෝබර් මාසයේ දී කොළඹ ජාතික රෝහල විසින් බොහොමයක් දේහයන් ආදාහනය සඳහා නියම කර තිබේ.

රිනෝසාගේ කතාව

මැයි 4 වන දින කොළඹ ජාතික රෝහලේ නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි ෆාතිමා රිනෝසා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වෙත මාරු කරනු ලැබීය. ඇය මියගොස් ඇයගේ දේහය ආදාහනය කර ඇති බව පසුදා උදෑසන පවුලේ අයට පවසා තිබේ. ඇයගේ ආදාහනයෙන් පසුව PCR පරීක්ෂණ ප්‍රතිඵලය ලැබී තිබුණු අතර ඇයගේ මරණයට හේතුව “කෝවිඩ් -19” යැයි සැක සහිත බව මරණ සහතිකයෙන් කියැවුණි. රිනෝසාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵලය ඍණාත්මක බව රජයේ වෛද්‍යවරයෙක් මැයි 6 වන දින ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් කියා සිටියේ ය. ඇයගේ මරනයෙන් පසු පවුලේ අය කනිරෝධායනය පිනිස රැගෙන යන ලද නමුත් ඔවුන් සියලු දෙනාම ද මරණයට පත් රිනෝසාද පීසීආර් පරීක්ෂන මගින් නිශේධාත්මක වූ නිසා ආපසු නිවසට ඇරලවන ලදී.

අබ්දුල් හමීඩ් රෆාදීන්ගේ කතාව

මැයි 5 වන දින අසනීප කිහිපයකින් පීඩා විඳිමින් සිටි වයස අවුරුදු 64 ක් වූ අබ්දුල් හමීඩ් රෆාදීන් මිය ගිය අතර ඔහුට තිබූ රෝගාබාද හේතුවෙන් මියගිය බව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයෙකු විසින් ප්‍රකාශ කරන ලදි. ඔහුගේ පවුලේ අය ඔහු භූමදාන කිරීම සඳහා සූදානම් වෙමින් සිටින අවස්ථාවේ දී මෘත දේහය කොළඹ ජාතික රෝහලට ගෙන යන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් නියෝග කරන ලදි. PCR පරීක්ෂණයක් නියම කරන ලද අතර ඔහුගේ දේහය සැකසහිත කෝවිඩ් -19 ආසාදනයක් ලෙස ආදාහනය කරන ලද නමුත්, ඔහුගේ මරණය ජාතික කෝවිඩ් මරණ සංඛ්‍යාව ලැයිස්තුවට ඇතුළත් කර නැත. පෙනෙන ආකාරයට ඔහුගේ දේහය ආදාහනය කර තිබෙන්නේ අත්වැරදීමකිනි. ඔහුගේ පවුලේ අය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර, නඩුව විභාගයට නොගෙන විවිධ හේතු මත කල් දමා තිබේ.

මොහොමඩ් මින්හාජ්ගේ කතාව

ඔක්තෝබර් 27 වන දින, මානසිකව ආබාධිත හා උපතෙහි සිටම ඇඳේ වැතිරී සිටි වයස අවුරුදු 19 ක් වූ මොහොමඩ් මින්හාජ්, ඔහුගේ පවුලේ අධීක්ෂණය යටතේ නිවසේ නිදා සිටියදීම මිය ගියේය. නිතිපතා ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා විසින් භූමදානය සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කළ නමුත් පැවති අගුළු දමා තිබූ තත්වය නිසා සිරුර සුසාන භූමියට ගෙනයාමට පොලිස් අවසරය ලබා ගන්නා ලෙස ග්‍රාම සේවා නිලධාරියා විසින් මින්හාජ්ගේ සහෝදරයෙකුගෙන් ඉල්ලා තිබේ. පොලිසිය නිවෙසට ගොස් මළ සිරුර කොළඹ ජාතික රෝහල වෙත ගෙන යාමට පවුලේ අයට බලකර තිබේ. රෝහල විසින් PCR පරීක්ෂණයක් සඳහා නියෝග කරන ලද අතර, ප්‍රතිඵල ලැබෙන තුරු මෘත ශරීරය මෘත ශරීරාගාරයට ගෙන යන ලදි. ප්‍රතිඵලය ධනාත්මක බවත් ඔහුගේ දේහය ආදාහනය කළ බවත් ඊළඟ දිනයේ පවුලේ අයට පවසා තිබේ. ඔහුගේ මරණය හදිසි කෝවිඩ් මරණයක් ලෙස වාර්තා විය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට පැමිණි ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් අනිවාර්ය හමුදා නිරෝධායනය සඳහා යවන ලදී.

නොවැම්බර් 2 වන දින 78 හැවිරිදි අහමඩ් ජමාල්දීන් අබ්දුල් රසීක් හිසේ ඇති වූ තුවාලවීමක් නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. අධික රුධිර වහනයක් හේතුවෙන් ඔහු හදිසි අනතුරු වාට්ටුවටත් පසුව හුදකලා කිරීමේ වාට්ටුවකටත් මාරු කරනු ලැබීය. පසුදා ඔහු මිය ගිය අතර ඔහුගේ දේහය මෘත ශරීරාගාරයේ රඳවා ගනු ලැබීය. පවුලේ කිසිවෙකුට ඔහුගේ දේහය බැලීමට අවසර නොලැබුණි. ඔහුගේ PCR පරීක්ෂණය ධනාත්මක වූ බැවින් පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත ලබා නොගෙන නොවැම්බර් 4 වන දින ඔහුගේ දේහය ආදාහනය කළ බවත් පසුව රෝහල් බලධාරීන් පවසා තිබුණි. ඔහුගේ මරණය හදිසි කෝවිඩ් -19 මරණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද නමුත් පසුව ඔහුගේ නම ජාතික කෝවිඩ් මරණ ලැයිස්තුවෙන් ඉවත් කරන ලදි. පවුලේ අයට ලබා දුන් ලේඛනයේ සඳහන් වන්නේ ඔහුගේ මරණය සිදුවී ඇත්තේ හිස තුවාල වීමෙන් ඇති වූ මොළයේ හානියක් නිසා බවයි. සමීප පවුලේ සාමාජිකයන් නිවාස නිරෝධායනය යටතේ සිටින නමුත් මේ දක්වා ඔවුන්ගෙන් කිසිවෙකු පරීක්ෂණයෙන් ධනාත්මක වී නැත.

කොළඹ ජාතික රෝහලේදී පමණයි

රජය විසින් දිගින් දිගටම ප්‍රජා ව්‍යාප්තිය සිදු වී තිබෙන බව ප්‍රතික්ෂේප කළ ද කෝවිඩ් -19 රට පුරා ව්‍යාප්ත වී තිබේ. එසේ වතුදු බොහෝ මුස්ලිම්වරුන්ගේ මරණයෙන් පසු කෝවිඩ්-19 ආසාදිත බව සොයාගෙන තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේදී පමණකි. නමුත් ආදාහනය කිරීමෙන් පසු නිකුත් කරන ලද මරණ සහතිකවල සඳහන් වන්නේ කෝවිඩ් -19 සහ වෙනත් රෝගාබාධ ඇති බවය.ෙ මළ සිරුරු සඳහා මෙම අනිවාර්ය PCR පරීක්ෂණය ප්‍රධාන වශයෙන් බලපාන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා මුදල් ගෙවිය නොහැකි ජාතික රෝහලේ නොමිලේ ලබා ගත හැකි සේවාවන් මත යැපෙන දුප්පත් මුස්ලිම් පවුල් සඳහා ය. බොහෝ දෙනා මිනී පෙට්ටියක් පවා මිලදී ගැනීමට නොහැකි දෛනික වැටුප් උපයන්නන් වේ.

ව්‍යාජ හේතූන් මත ආදාහනය කරනු ඇතැයි යන බිය නිසා බරපතළ ලෙස රෝගාතුරව සිටින බොහෝ දුප්පත් මුස්ලිම්වරු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිති.

මානුෂිය විකල්පය

එකම විකල්පය ආදාහනය කිරීම බවට පත්කළ අප්‍රේල් 11 වන දින අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කළ යුතු අතර රජය විසින් ආරක්ෂිතව භූමදානය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. ඇතැම් ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් භූමදානය කළ කෝවිඩ් -19 මළ සිරුරු මගින් ව්‍යාප්ත විය හැකි හෝ භූගත ජලය දූෂණය කළ හැකි බවට සිදු කරන ප්‍රකාශ සනාථ කිරීමට විද්‍යාත්මක සාක්ෂි නොමැත්තේය යන පදනම මත රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් භූමදානය කිරීම සඳහා අවසර දී තිබේ.

2020 මුල් භාගයේ දී වසංගතය පැතිර ගිය දා සිට කෝවිඩ් -19 ආසාදිතයින් සිය දහස් ගණනක් භූමදානය කර ඇති අතර එවැනි භූමදානය හේතුවෙන් කිසිදු අහිතකර බලපෑමක් ඇති වූ බවට සාක්ෂි කිසිවක්ම නැත. එබැවින් මුස්ලිම් ප්‍රජාවට සහ අන් අයට ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික විශ්වාසයන්ට හා භාවිතයන්ට අනුව මියගිය අය භූමදානය කිරීමට කැමති අයට ඉඩ දීම සම්පූර්නයෙන්ම තර්කානුකූල හා මානුෂීය වේ.

Archive

Latest news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...

Related news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...