බහුතර අපේක්ෂා ආමන්ත්‍රණය නොකර සජබට ඉදිරියක් නැහැ! -අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

283

සාකච්ජා කළේ ධනුෂ්ක සිල්වා

ජනාධිපතිවරයා ධුරයට පත්වී වසරක් ගතවන මොහොතකි. අලුතින් පත්වූ පාර්ලීමේන්තුව දින 100කට වඩා ගෙවා තිබේ. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි මේ මොහොතේ උත්ගතව ඇති නව තත්වයන් අළෙලා කෙරුනු සාකච්ඡාවකි. අප සංවාදය හා එක්වූ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ශ්‍රී ජයවර්ධපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

ජනාධිපතිවරයා බලයට පත්වී වසරක්. වසරක ශේෂ පත්‍රය ගැන ඔබට ඇති කියවීම කෙබදුද?

මේ ආණ්ඩුව බලයට පත්වීමට පසුගිය ආණ්ඩුවේ තිබූ සත්‍ය දුර්වලතා හේතු වුණා. මහබැංකු ප්‍රශ්නය, පාස්කු ප්‍රහාරය, විධිමත් පාලනයකට අවශ්‍ය බල කේන්ද්‍රය අපැහැදිළිතාවය හා ඒ හේතුවෙන්ම අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර පාලනය සම්බන්ධයෙන් ඇතිව තිබූ අවුල්කාරී තත්වය පෙර ආණ්ඩුවේ සත්‍ය දුර්වලතායි. ඒ වගේම ජනතාව අතර පෙර ආණ්ඩුව කෙරෙහි ජනාප්‍රසදයක් ඇතිකිරීමට මාධ්‍ය යොදාගෙන කෘත්‍රිමව නිර්මාණය කළ වෛද්‍ය සාෆිගේ කතාව, කොටි නිදහස් කිරීම, රණවිරුවන් දඩයම් කිරීමහා බටහිර රටවල් විසින් ලංකාවේ විශාල වටලෑමක් කරමින් තිබීම වැනි වැනි ව්‍යාජ හේතුත් මේ ආණ්ඩුවට බලය ලබාගැනීමට ආධාර වූණා.

පසුගිය යහපාලන රජය ගෙන ගිය පාලන කලාවේ දැඩි අඩුපාඩු තිබුණා. මේ ආණ්ඩුව බලය ලබාගැනීමේදී පෙර ආණ්ඩුවේ සත්‍ය දුර්වලතා යථාර්ථවාදීව විවේඡනය කරනවා වෙනුවට තිබූ දුර්වලතා මත විශාල පරිමාණයේ මිත්‍යාවක් රෝපණය කළා. ඒක හරියට මාධ්‍ය යොදාගෙන කළ විශාල මාර්කර්ටින් කැම්පෙන් එකක් කිව්වොත් වඩා නිවැරදියි. එමනිසා මේ මොහොත වන විට ප්‍රධාන කරුණු දෙකක් ආණ්ඩුවට විපාක දෙමින් තිබෙනවා.

පළමුවැන්න, මේ ආණ්ඩුව බලය ලබාගැනීමේ සිට පරණ ආණ්ඩුවේ දුර්වලතා විවේඡනය කරන තැනකට ගියා මිස පාලනය සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් නිර්මාණය කළේ නැහැ. ඕනෑම පක්ෂයකට විපක්ෂයේ සිටිමින් පවතින ආණ්ඩුවේ දුර්වලතා මාකට් කරමින් ජනප්‍රසාදය දිනා ගැනීමට හැකියි. හැබැයි ආණ්ඩු බලය ලැබුණට පස්සෙ තමයි ඇත්ත ප්‍රශ්න ආණ්ඩුව ඉදිරියට එන්නෙ. ඇත්ත ප්‍රශන සම්බන්ධයෙන් දූරදර්ශී වැඩපිළිවෙළක් නිර්මාණය කර නොගැනීමේ හෝ එසේ කරගැනීමට අපොහොසත් වීමේ විපාකයට වත්මන් ආණ්ඩුව මුහුණදෙමින් සිටිනවා.

දෙවැන්න, ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද කලින් කියූ මිත්‍යාව ආණ්ඩිවේම ප්‍රතිවාදියෙක් බවට පත්වෙමින් තිබෙනවා. දැන් වන විට මේ ආණ්ඩුවට සහය දෙන කණ්ඩායම් මෙන්ම විපක්ෂ කණ්ඩායම් ද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සන්සන්දනය කරන්නේ පෙර පැවති යහපාලන ආණ්ඩුව මිනුම් දණ්ඩක් කර ගෙන නොවෙයි. බලයට ඒමට කලින් මේ ආණ්ඩුව කියූ දෙය හා ආණ්ඩුව දැන් කරමින් සිටින දේ මතයි ඒ සන්සන්දනය කරන්නේ. වෙනත් වචනවලින් කියනවා නම් මැතිවරණයට කලින් රාජපක්ෂවාදය හා මැතිවරණයට පසු රාජපක්ෂවාදය අතර සන්සන්දය කිරීමයි. තමන් විසින් ම ගොඩනගන ලද ව්‍යාජය ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වයට අභිමුඛ වී තිබෙනවා. මේ වසර තුළ එවැනි සන්සන්දනයකට හසුවීම තමයි දෙවැනි විපාකය.

“දෙමළ, මුස්ලිම්, කතෝලික ඉවැන්ජලික කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතුන් මෙරට මිලියන 15ක් වුණු සිංහල පිරිස්වල අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙරට එන්නේ නැහැ. ප්‍රධාන ජනකොටස ආවරණය කෙරෙන ප්‍රශ්න ගැන සාකච්ඡා නොකර විපක්ෂයට කෙදිනකවත් දේශපාලනය කළ නොහැකියි.”

එහෙත් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නිර්මාණ කර පාලනයේ යම් විධිමත්බවක් ඇතිකිරීමට උත්සහ කරමින් සිටිනවා නේද?

මම හිතන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙහෙසියෙන් ගෙන ඒමට හැකිවේවි කියල. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අදහස අපි දන්නා විදිහට 1978 සිට ඉදිරිපත් වන ප්‍රායෝගිව යථාර්ථක් කළ නොහැකි අදහසක්. ඊට හේතු කිහිපයක් බලපෑවා. මම හැමදාම කියනවා වගේ ලංකාවෙත් ලෝකෙ වෙන රටකවත් විධායක ජනාධිපති ක්‍රමය කියලා එකක් නැහැ. ලංකාවේ තිබෙන අර්ධ හෝ මිශ්‍ර ජනාධිපති ක්‍රමය ගැන ඇති අනවබෝධය මූලිකවම බලපා ඇති හේතුවක්- අනෙක් කාරණය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වාමාංශික කණ්ඩායම් ගෙනා ව්‍යවස්ථාව ටික කලකට පසු ජෙ- ආර් ජයවර්ධන දැන් තිබෙන ව්‍යවස්ථාව ගෙන ඒම ගැන හිත් නොහොදකමක් තිබෙනවා. ඒ නිසා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොද නැත යන අදහස බලවත් ලෙස සමාජගත කරමින් සිටිනවා.

ඇමෙරිකානු ව්‍යවස්ථාව පිටු 10යි!

මම කියන්නෙ නැහැ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා හොදයි කියලා. නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සර්ව රෝග නිවාරණය කළ හැකියි වැනි මතයක් සමාජයේ තිබෙනවා. මේ වන විට එම සටන් පාඨය රාජපක්ෂ කදවුර අතට ගෙන තිබෙනවා- තවත් කරුණක් තිබෙනවා. ලෝකයේ පරිපූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියල වර්ගයක් නැහැ. පරිපූර්ණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලියල ඉවර කරන්නත් බැහැ. උදාහරණයකට ලංකාව වගේ 150 ගුණයක් විශාල ලෝකයේ බල්වත් ම රට වන ඇමරිකාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා තිබෙන්නේ පිටු 10ක පමණ කුඩා ලියවිල්ලක්. ඇමරිකන් ව්‍යවස්ථාවේ සීමිතකම් එමටයි. එහෙත් නිතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම හෝ මුළුමනින්ම ව්‍යවස්ථා වෙනස් කිරීමේ සම්ප්‍රදායක් ඇමරිකාවේ නැහැ. ඒ වෙනුවට අධිකරණ මාර්ගයෙන් ව්‍යවස්ථා අර්ථ නිරූපන ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කල්පවත්වාගැනීම තමයි සිදුකරන්නේ.

ඒ කියන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකද?

දැන් තිබෙන ව්‍යවස්ථාව තමයි මෙරට ඉතිහාසයේ වැඩිම කලක් පැවතුණු ව්‍යවස්ථාව. මට හිතෙනවා මේ ව්‍යවස්ථාව අපේ රටට පත්තියන් වෙලා තියෙන්නෙ කියලා. අනෙක් කාරණය තමයි අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආවොත් එහි අඩංගු මූලික වගන්ති 300ක් තිබේ නම් ඒ 300ටම පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතුයි. එවැනි අනුමැතියක් ලබාගැනීම ලේසි නැහැ. ඊළගට ජනමත විචාරණයකුත් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීමේදී ප්‍රතිවිරුද්ධ මත අතර සම්මුතියක් ඇති කරගැනීම අසීරුයි. ලංකාවේ පළාත් සභා ක්‍රමය ගමු. එක් පිරිසක් තනි ඒකීය ක්‍රමයට කැමති විය හැකියි. තවත් පිරිසක් ෆෙඩරල් ක්‍රමයට කැමති විය හැකියි. මේ මත දෙක අතර සම්මුතියක් ඇති කරගන්නේ කොහොමද? අවසානයේ දෙගොල්ලන්ට අකමැත්තෙන් වුවත් දැන් තිබෙන පළාත් සභා ක්‍රමයට කැමති වෙන්න සිදුවෙනවා. සම්මුතීන් තමන් කැමති දේ ඒ ආකාරයටම ඉටුවීම තුළිනුත් නිර්මාණය වෙනවා. ඒ වගේම තිබෙන දෙයට එකග වීමෙනුත් සම්මුති නිර්මාණය වෙනවා. නමුත් සම්මුතීන් ගොඩනගාගන්න එක හිතන තරම් ලේසි නැහැ.

20න් පෙනෙන නව ව්‍යවස්ථාවක හැඩය

20 වැනි සංශෝධනය දැන් තිබෙන ව්‍යවස්ථාව වඩා යහපත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ආරම්භක පියවර නොවේද?

20 වැනි සංශෝධනය ගෙන ඒමේදී රාජපක්ෂවරු එය තාවකාලික සංශෝධනයක් විතරක් බවත් අවසානයේ සියලු දෙනාට එකගවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බව පුනුරුච්ඡාරණය කළා. එහෙත් ඔවුන් පොරොන්දු වූ ආකාරයෙඔ ප්‍රවේශයක් එහි දක්නට නැහැ. ඔවුන් කිව්වේ ඒමගින් ප්‍රජාතන්ත්‍රවාදී නැතහොත් රටට හිතැති ප්‍රවේශයක් ගන්නවා කියල නේ! එහෙනම් 20වැනි සංශෝධනයේ ඒ අතට ප්‍රවේශයක් තිබුය යුතුයි. ඒකීයත්වයට ප්‍රවේශ වනවා නම් ඒ අතට ප්‍රවේශයක් තිබිය යුතුයි. එහෙත් ආණ්ඩුවේ ප්‍රධාන ධුරවල පැවැත්ම ශක්තිමත් කරගන්නවා හැර ඊට වැඩි දෙයක් 20වැනි සංශෝධනය තුළ දක්නට නැහැ. මට හිතෙනවා දැන් තිබෙන නියෝජනය වැනි කරුණු පිළිබද ආණ්ඩුවට සහාය දෙන වාමාංශික පක්ෂ අතර යම් විවේචනයක් තිබෙන නිසා දැන් තිබෙන සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට වෙනත් කේවල ක්‍රමයකට බර නියෝජනය ක්‍රමයක් හදුන්වා දිය හැකියි කියල. එහෙත් එසේ සංශෝධනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න නෙවෙයි. පොදු ජන පෙරමුණට කේවල ක්‍රමය යටතේ වැඩියෙන් බලය තහවුරු කරගැනීමටයි. මෙහිදී වාමාංශික කණ්ඩායම් ඉතා ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරිපත් කරන සටන් පාඨ මගින් සටකපට බුද්ධියක් ඇති දේශපාලඥයෙකුට ලෙහෙසියෙන්ම පුළුවන් තමාගේ බල ව්‍යාපෘතිය තහවුරු කරගන්න. ඒ අනුව මේ ආණ්ඩුව තවදුරටත් බලය සංකේන්ද්‍රගත කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා හැර ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැමුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙ ඒමේ සම්භාවිතාවය ඉතා අඩුයි.

සජබට දකුණේ අභියෝගය

දැන් ප්‍රධාන විපක්ෂය පෙර පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජාතිකවාදී නැඹුරුවක් සහිත මාවතේ ඉදිරියට යමින් තිබෙනවා.
ඔය අදහස මෙරට ලිබරල් හා වාමාංශික කණ්ඩායම් නගන ජනප්‍රිය චෝදනාවක්. මම ඒක ඒතරම් පිළිගන්නේ නැහැ. මෙහිදී අපි මුලින්ම බලන්න ඕනෙ දැන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය මුහුණ පා සිටින තත්වය කුමක්දැයි කියා. විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේගයට දකුණේ සිංහල බෞද්ධ ඡන්දවලින් 20%- 25% අතර ප්‍රමාණයක් පමණයි ලබාගැනීමට හැකි වුනේ. ඒ ප්‍රතිඵලය හරියට 2010 හා 2015 මැතිවරණවලදී රාජපක්ෂ කදවුර උතුරේ ආසනවලින් ලබාගත් ප්‍රතිඵලයට සමානයි. එහි අනෙක් අර්ථය තමයි උතුරේ දෙමළ ජනතාව අතර මහින්ද රාජපක්ෂට තිබෙන තැන තමයි අද වන විට සමගි ජනබලවේගයට හා එජාපයට දකුණේ සිංහල ජනතාව අතර තිබෙන්නේ. මේ ගැටළුව තවදුරටත් ආන්තික ලිබරල්වාදී වීමෙන් විසදාගත නොහැකියි. ලංකාවේ ලිබරල්වාදී බුද්ධිමතුන් ජාතිකවාදි ලෙස ගන්නා දෙය ඇත්තටම ප්‍රශ්නකාරීයි. ඔවුන් බොහෝවිට ලෝකය දකින්නේ එක්කො මූලධර්මවලින් නැත්තම් ඉතාම අතීතාකාමි විදිහට.

දෙමළ, මුස්ලිම්, කතෝලික ඉවැන්ජලික කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතුන් මෙරට මිලියන 15ක් වුණු සිංහල පිරිස්වල අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙරට එන්නේ නැහැ. ප්‍රධාන ජනකොටස ආවරණය කෙරෙන ප්‍රශ්න ගැන සාකච්ඡා නොකර විපක්ෂයට කෙදිනකවත් දේශපාලනය කළ නොහැකියි.

එසේනම් විපක්ෂයේ සටන් තේමා නවීකරණය විය යුත්තේ කෙසේද?

ලංකාවේ සිංහල බහුතරයේ අපේක්ෂාව මුස්ලිම් සුළුතරය මරා දැමීමවත් දෙමළ බහුතරය මරාදැමීමවත් නෙමෙයි. අපි එය තේරුම්ගත යුතුයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි ජාතික ආරක්ෂාව. අනෙක තමයි ජාතික වශයෙන් රටේ ඇතිවන සංවර්ධනය. එජාපය, විශේෂයෙන් සමගි ජනබලවේගය පවා අමතන්නේ පෞද්ගලිකව මිනිස්සුන්ගේ සාක්කුවලට. ඒ කියන්නේ “ඔයාට මෙච්චර පඩි වැඩි කරනවා” “ඔයාට ගෙයක් දෙනවා” වැනි පාඨවලින්. පෞද්ගලිකව මිනිසුන්ට ලැබෙන දේ තමයි ඉස්මතු කර දක්වන්නේ. හැබැයි මිනිස්සු සමාජයක් විදිහට අපේෂාකරන්නේ රටට මොනවද වෙන්නෙ? රටට මොනවද ලැබෙන්නේ? කියන දේ.

කෙනෙකුට කියන්න පුළුවන් “නෑ මිනිස්සු ආත්මාර්ථකාමියි” කියල ඇත්ත මිනිස්සු ආත්මාර්ථකාමීයි තමයි. හැබැයි දේශපාලනයේදී හුදෙක් ආත්මාර්ථකාමී දේවල් මත ම නෙමෙයි මිනිසුන් ඡන්දයක් දෙන්නේ. එහෙම නෙවෙයි නම් පසුගිය යහපාලන ආණ්ඩුව පරදින්න විදිහක් නෑ. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ යහපාලන රජය යටතේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවන ක්‍රියාවලියට අවැඩක් වුණා කියලා. උදාහරණයකට යහපාලන රජය රාජ්‍ය සේවකයාගේ වැටුප 107%කින් වැඩි කළා. හැබැයි රාජ්‍ය සේවකයෝ අනෙක් පැත්තට ඡන්දය දුන්නා. ඊට ආසන්නතම හේතුව වුණේ ඔවුන් පොදුවේ බලාපොරොත්තු වූ ජාතික ආරක්ෂාව හා ජාතික සංවර්ධනය පසුගිය රජය යටතේ යථාර්ථයක් නොවුනු බවට කල්පනා කිරීම.

බහුතර ජනවර්ගයේ පොදු අවශ්‍යතා ආමන්ත්‍රණය

මේ යුගයේ ජාතිකවාදී වීම යනු රාජපක්ෂ ආකෘතියෙන් ආන්තීකරණය වීම නෙවෙයි. උදාහරණයකට මොහොමඞ් සාෆි නාටකට වගේ දේවල් කරලියට ගෙන ඒම නොවෙයි. විපක්ෂය තේරුම්ගත යුත්තේ සිංහල බෞද්ධ ජනකාය මුළුමනින්ම දෝෂදර්ශනයට ලක් කිරීම මගින් රාජ්‍ය බලය අත්පත් කරගැනීමට නොහැකි බවයි. එසේ කිරීමෙන් වික්‍රමබාහු කරුණාරත්නගේ වැනි කුඩා පක්ෂයක් බවට පමණක් පරිවර්තනය විය හැකියි. එසේනැතිව බහුතර ජනවර්ගයේ පොදු අවශ්‍යතා ආමන්ත්‍රණය කරන තැනකට විපක්ෂය යායුතුයි.

ඉතිහාසයේ සෑම අවස්ථාවකම යම් කදවුරක් ජාතිකවාදී මාවත වැළදගැනීම තුළ ම රාජපක්ෂවාදය තවදුරටත් ශක්තිමත් වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා නේද?

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට අවස්ථාව ලැබුණා යහපාලන රජයේ දුර්වලතාවයකින් විශාල ප්‍රයෝජනයක් ගන්න. ඒ තමයි යහපාලන රජය ඒ තමයි යහපාලන ආණ්ඩුව සිංහල බෞද්ධ පිරිසගේ අපේක්ෂාවන් තේරුම්ගැනීමට අසමත්ය යන අදහසක් වර්ධනය වීම. ඇත්තටම කලිනුත් කිව්වා වගේ යහපාලන ආණ්ඩුව සිංහල මිනිසුන්ගේ අපේක්ෂාවන්ට කළ බරපතල නරකක් නැහැ. හැබැයි යහපාලනයේ ප්‍රධාන දේශපාලන නායකයන් සිංහලයන් අරබයා කළ විවේඡනවලින් සිංහලයගේ හිත රිදුණා විය හැකියි. ඒ අනුව යහපාලන ආණ්ඩුව දැන හෝ නොදැන කළ මූලික වරද තමයි ජාතිකවාදය මැතිවරණයේදී මූලික ගැටළුවක් කරගැනීම. වඩාත් නිවැරදිව කිව්වොත් ගැටළුවක් කර දීම. එම ගැටළුව රාජපක්ෂ කදවුරේ ජයග්‍රහණය තවදුරටත් ලෙහෙසි කළා. විපක්ෂය මුලින්ම කළ යුත්තේ ඒ ගැටළුව මත ජනතාව අතර ඇතිවු අනිසි භිය නැති කිරීම.

පසුගිය මැතිවරණයේදීත් රාජපක්ෂ කදවුර අන්ත දූෂිතබව ඔප්පු කිරීමට විපක්ෂ කණ්ඩායම්වලට හැකි වුණා. එහෙත් එමගින්ම රාජපක්ෂ කදවුර දූෂිත වුවත් රටට ආදරේ කරනවා වැනි සරලමතික මතයක් ජනතාව අතර ඇති වුණා. රටේ ජනතාවගෙන් බහුතරය දූෂිතබව නොසළකා රටට ආදරේකමට ඡන්දය දුන්නා. අනෙක අමතක නොකළයුතුයි ඒ තොරාගැනීම කළේ 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කතිරය ගැසූ මිනිසුන් බව. විපක්ෂය කළයුත්තේ මා මුලින් පෙන්වාදුන් ජාතිකවාදී තේමා නැවත මැතිවරණයකට ගෙන ඒමට තිබෙන ඉඩ හැකි තරම්දුරට සීමා කිරීම. එසේනොවුනහොත් ජාතිකවාදී සටන් පාඨ අතර තරගයක් ඇතිවිය හැකියි. එම තරගයෙන් රාජපක්ෂ කදවුර නිසැකව ජයගනීවි.

කොරෝනා පාලනය යන ස්ලෝගනය පෙරට දමා රාජ්‍ය වේගයෙන් මිලිටරීකරණය වෙමින් තිබෙනවා. මෑතදී ඩෝන රෙජිමේන්තුවක් පිහිටුවීම, රියදුරු බලපත් නිකුත් කිරීමේ බලය මිලිටරියට ලබාදීම හා විශ්ව විද්‍යාලවල මිලිටරි අනුඛණ්ඩ යෙදවීම වැනි සිවිල් ක්ෂේත්‍ර මිලිටරීකරණය යෝජනා වී තිබෙනවා.

මිලිටරිය විහිළුවක් වෙන එක

ජනතාව ගොඨාභය රාජපක්ෂගෙන් බලාපොරොත්තු වුණේ මිලිටරීමය මර්දනයක් නම් වෙමින් තිබෙන්නේ මිලිටරිය විහිළුවක් වෙන එක. ලෝකයේ ඕනෑම හමුදාවක් නිශ්චිත විශේෂඥතාවයකට අනුවයි පුහුණු කරනු ලබන්නේ. ඒ වගේම ඔවුන් වෙත භාර වූ නිශ්චිත රාජකාරීමය වගකීමක් තිබෙනවා. හමුදාවට පැවරෙන මුල්ම වගකීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. ඊළගට යම් ආපදාමය අවස්ථාවලදී අනෙක් අංශවලට සහාය වීම. විශේෂයෙන්ම ආපදාවකට වඩා සංකීර්ණ වසංගත තත්වයකදී හමුදාවේ කාර්යභාරය මීට වඩා වෙනස් තැනකයි තිබෙන්නෙ තිබුණේ.

මෙහිදී ජනාධිපතිවරයාට පාලනය සම්බන්ධයෙන් ඇති සීමාසහිත දැනුමත් බලපැවා. සරල උදාහරණයක් ගන්නම්. හාල් මිල පාලනය වැනි විෂයක් හමුදාවේ බ්‍රෙගේඩියර්වරයෙකුගේ එක් නියෝගයකින් වෙනස් කළ නොහැකි සංකීර්ණ ගැටළුවක්. එවැනි විෂයන්වලට මිලිටරිමය ප්‍රවේශයකින් හමුදාව මැදිහත්වීම තුළ සිදුවන්නේ සමස්ත ක්‍රමය බිදවැටීමයි.
ඒ වගේම ඔබ ඔය කියූ ක්‍රීඩාව, සෞඛ්‍ය, පරිපාලනය කියන්නේ හමුදාව ප්‍රගුණ කළ ක්ෂේත්‍ර නෙවෙයි. හමුදා සෙබලෙක් වීම යනු විශේෂිත රැකියාවක්. ඔවුන් ඕනෑම මොහොතක ජීවිත කැපකිරීමට සූදානමිනුයි රැකියාව කරන්නේ. ඒ ගැන මුළු ලෝකයේම ජනාදරය ඔවුන්ට ලැබෙනවා. හමුදාව ප්‍රගුණ නොකළ ක්ෂේත්‍රවලට යෙදවීම තුළින් අවසන් වශයෙන් සිවිල් සමාජය තුළ ඔවුන්ට තිබෙන තැන බිදවැටීමට හැකියි. ආණ්ඩුව උත්සාහ කරන්නේ මිලිටරිමට ආකෘතියේ පාලනයක් හෝ මර්දනයක් කිරීමට. එහෙත් මට අනුව නම් ඇත්තටම සිදුවන්නේ අනවශ්‍ය ප්‍රමාණයට මිලිටරිය ජනඅප්‍රසාදයට ලක්වීම.

ඒ කියන්නේ කොරෝනා මර්දනයට මිලිටරිය යෙදවීම අසාර්ථකයි?

මුළු කොරෝනා කාරණයම ගත්තොත් එහි අසාර්ථකත්වයේ වැඩි වගකීම පැවරෙන්නේ හමුදාව වෙත. මම කියන්නේ නැහැ යුධහමුදාව යෙදවීම හැම මොහොතෙම නරකයි කියල. ඔවුන් ප්‍රසංසනීය කාර්යයක් කළා කොරෝනා මර්දනයේදී. එහෙත් නිසි කළමනාකරණයකින් හා නිසි සැළසිමකින් තොරව ඔවුන් යෙදවීම තුළ සිදුවන්නේ කොරෝනා මර්දනය අසාර්ථක් වීම. අනෙක් අතින් ඔවුන් අපකීර්තියට ලක්වීම. හමුදාව විසින්ම කළ යුතු නිශ්චිත කාර්යයක් පැමිණි දිනයක හමුදාවට මේ වැඬේ කළ හැකිද? යන කුකුස ජනතාව තුළ ඇතිවීමට හැකියි.

නිරීක්ෂක රාජ්‍යයක් (Surveillance State)

මෙම වසංගත සමයෙන් පසුවත් රාජ්‍ය රාජ්‍ය මිලිටරීකරණය සාමාන්‍යත්වයට පත්වීමට හැකියි නේද?

පසුගිය වසර පුරා ලෝකයේම රාජ්‍යයන් මේ වසංගත තුළ නව ප්‍රවණතාවයක් මතිවෙමින් තිබෙනවා . එනම් සම්ප්‍රදායික රාජ්‍ය නිරීක්ෂක රාජ්‍යයක්. (Surveillance State) දක්වා වර්ධනය වීම. රාජ්‍ය විසින් මේ කාලය තුළ පුරවැසියාගේ සිවිල් ජීවිතවලට එබී බැලීමේ අයිතිය අනවශ්‍ය ප්‍රමාණයෙන් තමන් යටතට ගැනීම. දැන් වන විට නිරීක්ෂක රාජ්‍යවල මැදිහත්වීම පමණ ඉක්මවා තිබෙනවා. පෘථග්ජන පුද්ගලයන් විදිහට අපගේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනත් කෙනෙකුට නිරාවරණය කරදීමට අපට බැහැ. අපගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය විදිහට වෙනත් කෙනෙකු දැනගැනීම යනු රාජ්‍යට පුද්ගලයා පාලනය කිරීමට ඇති විශාල අවස්ථාවක්. මෙහි තිබෙන බරපතලකම තමයි එසේ පඉද්ගලිකත්වය පිළිබද රාජ්‍ය අත්පත්කරගන්නා බලය වසංගත සමයෙන් පසුත් අත්නොහැර තබා ගැනීම. මෙය ලංකාව ආවෙණික ප්‍රශ්නයකුත් නෙමෙයි ඇත්තටම.

මෙහි ලංකාවට ආවේණික ප්‍රශ්නයකුත් තිබෙනවා නේද?

ඇත්තටම ඔව්- ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් ඇති ලෝකයේ වෙනත් රටවල පුරවැසියාගේ පෞද්ගලිකත්වයට එබී බැලීම සිදු වුනත් පොදුවේ ඒ තොරතුරු රහසිගතව තබා ගැනීම, තොරතුරු රැස්කිරීමේ පරිමාව ආදී කරුණුවල පොදු සැළසුම්කරණයක් තිබෙනවා. ලංකාවේ පසුගිය මාස කිහිපයේදී සිදුවූ සිදුවීම් දෙස බැලීමේදී නිසි සැළසුම්කරණයකින් තොරව පුද්ගලයාගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය ලෙස සමාජයට නිරාවරණය කෙරෙමින් තිබෙනවා.

රාජ්‍ය විසින් පුද්ගලත්වය සිදුරු කිරීම ප්‍රජාත්න්ත්‍රවාදයේ පැවැත්මට කරන බලපෑම කෙබදුද?

මුලින්ම කියන්න අවශ්‍යයි එමගින් පුද්ගලයාගේ පුද්ගලත්වයේ පරිමාව දරුණු විදිහට පළුදු විය හැකියි කියලා. පුද්ගලයෙකුට පෞද්ගලිකත්වයට ඇති නිදහස මගින් තමයි ඔහුගේ සමාජීය මැදිහත්වීම තීරණය වන්නේ. එසේ නොමැතිව රාජ්‍ය විසින් හැමවිටම නිරීක්ෂණය කරන පුරවැසියා පත්කිරීම තුළින් ඔහුගේ සමාජීය මැදිහත් වීම අණහිටීමට හැකියි. අනෙක් කරුණ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ අයට නැති සුභවාදී හැගීමක් මට තිබෙනවා. නොයෙකුත් දේශපාලඥයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු ඒකාධිපති ස්වරූපයේ ගමනක් ආරම්භ කළ ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම ජනතාව විසින් එවැනි ආණ්ඩු ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේත් නැත්නම් අභ්‍යන්තර අර්බූදයක් මගින් ආණ්ඩු බිදවැටෙනවා. 1970 මැතිවරණයෙන් සිරිමා බණ්ඩාරනායක 2/3ක බලයක් ගන්නවා. නමුත් ඉන් පසු මැතිවරණයෙන් ඇය දරුණු පරාජයකට ලක්වෙනවා. 78දී ජෙ-ආර් ජයවර්ධන 5/6ක බලයක් ලබාගෙන ඒ බලයටම සරිලන ව්‍යවස්ථාවක් හදනවා. එහෙත් වසර කිහිපයක් තුළ ඔහුට උතුරේත් දකුණේත් බලය ඔහුට ප්‍රායෝගිකව අහිමි වෙනවා. ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායමට පමණක් බලය සීමා වෙනවා- 2010දී මහින්ද රාජපක්ෂට සිදුවූයෙත් එවැන්නක්.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අපි බලාපොරොත්තු වෙන ප්‍රශස්තම මට්ටමෙන් සමාජගත වී නැහැ. එහෙත් ලංකාවේ සමාජ දේහයට ආවෙණික දශක ගණනාවක් තිස්සේ වර්ධනය වූ ලාංකික පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවා. එම ප්‍රජාතන්ත්‍රවාදයට හානිවීමට යම සෑම අවස්ථාවකදීම ජනතාව ඊට ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව මේ වසංගත සමයේදී ජනතාව තමන්ගේ ප්‍රජාත්න්ත්‍රවාදී පැවැත්මට රාජ්‍ය විසින් හානි කිරීම යම් තරමකට ඉවසාගෙන සිටියත් වසංගත තත්වයෙන් පසු ජනතාව ඉවසන එකක් නැහැ. එසේ ඉවසා සිටීවි යැයි ආණ්ඩුව සිතනවා නම් ආණ්ඩුවට විය හැකි බරපතලම වරදවා තෙරුම් ගැනීම එය විය හැකියි.

පුරවැසියාගේ පෞද්ගලිකත්වයට තදබල ලෙස බලපෑම්කිරීම මගින් වසංගතය පාලනය කළ හැකියි වැනි ප්‍රවාදයක් ගොඩනැගී තිබෙනවා. 

ජනාධිපතිතුමා නිතර පාවිච්චි කරන වචනයකින් ම කිව්වොත් ලෝකයම මේ මොහොතෙ පැනික් වෙලා තියෙන්නේ. ඇතැම්විට මේ අවස්ථාවේදී මිනිසුන් සබුද්ධිකව කටයුතු නොකරනවා විය හැකියි. මෙබදු කාලවලින් පසු තමයි මිනිසුන් සිදුවී දේ ගැන ආපසු හැරී බලන්නේ. චීනය කෙසේවෙතත් ජාත්‍යන්තරවාදී රටවල පුරවැසිභාවයේ ලක්ෂණය එයයි. ජනාධිපතිවරයා ඕනෑවට වඩා මිලිටරිය මත විශ්වාසය තබා ඇති නිසා කොරෝනා මර්දනය කරන ආකාරයටම සමාජය අවනතව තබාගත හැකි යැයි කල්පනා කළ හැකියි. ඒත් මම හිතන්නේ නැහැ එය යථාර්ථයක් බවට පත්වේවි කියා.