Friday, December 4, 2020

ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරු හත් දෙනාගේ මන්ත්‍රී ධූර අහිමි කළ හැකි ද? සජබ මුහුණ දී ඇති අභියෝගය – රජිත් කීර්ති තෙන්නකෝන්

ලස්සනම ගැහැණුන් දෙදෙනාගෙන් අයෙකු යැයි කියන ක්ලියෝ පැට්රා ගේ පෙම්වතා මාර්ක් ඇන්තනී ද මරාගෙන ආණ්ඩුවට ගිය ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරුන් 7 දෙනා සමගි ජන බලවේගයෙන් ඉවත් කළ නොහැකි ද?

එයට ‘ඔව්‘ සහ ‘නැත‘ යැයි උත්තර දෙකක් තිබේ.

ඉවත් කිරීමේ නෛතික ප්‍රතිපාදනය

1978 ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය අනුව, ‘‘ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් කවර හේතුවකි නිසා හෝ නතර වූ අවස්ථාවක ………………..‘‘ සිදු කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය යි.

99 (13) වගන්තියේ ව්‍යවහාරික නීතිය යුග දෙකකි. එහි පළමු වැන්න, පක්ෂ විනය කඩකල මන්ත්‍රීවරුන් ට අසුන් අහිමි කිරීමට දේශපාලන පක්ෂ සමත් වූ 1992 ට පෙර යුගය යි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (පළාත් සභා) විරුද්ධව ඡන්දය දීම නිසා, එජාපය චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය) වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (හක්මන) පක්ෂයෙන් නෙරපනු ලැබීය. ජේ.ආර්.ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව පැවරූ නඩු වලින් (SC 50/87Spl සහ SC 51/87 Spl) පැරදුණු ඔවුන් ට මන්ත්‍රී ධූර අහිමි විය.

1988 මැයි 24 දින සම්මත වූ, 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් මනාප ඡන්ද ක්‍රමය හදුණ්වා දෙනු ලැබීය. එහි දී, අපේක්ෂකයෙකුට පමණක් නොව, මුලින් පක්ෂයකට ද ඡන්දය ලබාදීම සිදුවේ.

මන්ත්‍රී ධූරය අයිති පක්ෂයට නැතිනම්, මන්ත්‍රීවරයාට ද, මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයේ නියෝගයට අවනත විය යුතු ද? හෟර්ද සාක්ෂිය අනුව ඡන්දය දීම සඳහා මහජන නියෝජිතයින්ට අවස්ථාවක් නොමැති ද? යන සෛද්ධාන්තික තර්කය මතුවන්නේ 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය.

නීතිය, ව්‍යවහාර බුද්ධිය, නායකත්වය හා දෝෂාභියෝගය

ජනාධිපති ආර්.ප්‍රේමදාස ට විරුද්ධ දෝෂාභියෝගයට අත්සන් කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්.ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරුන් සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් 8 දෙනා, 1991.09.06 දින එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් අනුව එජාපයෙන් නෙරපා හරිනු ලැබීය. නෙරපීමට එරෙහිව, දිසා අධිකරණයේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු (Dissanayake v. Kaleel SC (Special) Nos. 4 සිට 11/91 දක්වා) විභාග විය. එම නඩුව, පක්ෂ තහනම් කිරීම පිළිබඳ නෛතික තත්වය පිළිබඳ විශ්ව කෝෂයකි. විනිසුරු ප්‍රනාන්දු, වඩුගොඩපිටිය හා කුලතුංග ගේ තීන්දුව පිටු 248 කි.

‘‘පක්ෂ සාමාජිකත්වය නෙරපීම හිතු මනාපයට කළ නොහැකිය. යුක්තිය තිබිය යුතුයි. මන්ත්‍රීවරුන්ට තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දිය යුතුය. වරද කුමක් ද කියා චෝදනා පත්‍රයකින් දැන්විය යුතුය. උත්තර දීමට, නීතිඥ සහාය ලබා ගැනීමට, පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුය.‘‘ යන්න ගාමිණී නඩුවේ පදනමයි.

සමානුපාතික නියෝජනය තුල පක්ෂය ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව තීරණය වන බැවින්, පක්ෂ සාමාජිකත්වය අහිමි වූ විට මන්ත්‍රී ධූරය අහිමිවිය යුතු බව අනෙක් පස තර්ක වූවේය.

නඩුවෙන් ලලිත් – ගාමිණී කණ්ඩායම පරාජය වූවේ එජාපය ‘‘ස්වභාවික යුක්ති නීතිය අනුව කටයුතු කර තිබූ බව‘‘ තහවුරු කරන්නට එජාපය නීතිඥයින්ට හැකි වූ නිසාය.

ඇත්තම කථාව නම් එජාප නායකයින්, විනය පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑලට යොමු කළ බවට ලේඛන තිබූ නමුත්, ඒවා මන්ත්‍රීවරුන්ට ලැබී නොතිබුණි. (තැපෑලේ දී අස්ථාන ගත කරනු ලැබීම එවකට මහ ලේකම් සිරිසේන කුරේ ගේ වික්‍රමයකි)

ප්‍රේමදාස හමුවේ දණ ගැසු මන්ත්‍රීවරුන්ගේ ඉරණම

ආර්.ප්‍රේමදාස ට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කර පසුව තම අත්සන ඉවත් කර ගත්, ආරියරත්න ජයතිලක හා එස්.ඒ.මුතුබණ්ඩා ද, පක්ෂයෙන් නෙරපනු ලැබීය. නෙරපීම අභියෝගයට ලක් කර, ශ්‍රේෂ්ඨාධිිකරණයට ඉදිරිපත් වූ (මුතුබණ්ඩා එදිරි කලීල් SC 2/92 Spl) නඩුවේ පැමිණිල්ලේ නීතිඥවරු ලලිත් ඇතුළත්මුදලි ඇතුළු කණ්ඩායමකි. ජයතිලක, මුතුබණ්ඩා ගේ පෙත්සම නිශ්ප්‍රභා විය. අඛණ්ඩව අභියෝග කළෝ ද, අතරමැද දී දණ ගැසූවෝ ද එකම ඉරණම උරුම කර ගත්තෝය.

විපක්ෂයේ කැරළිකරුවන්ගේ ඉරණම

මේ කාලයේ ම (1993), ශ්‍රීලනිපයේ, ජිනදාස නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, මර්වින් සිල්වා, හේමකුමාර නානායක්කාර ඇතුළු කණ්ඩායම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද, පක්ෂ නායකත්වය නොතකා කටයුතු කළේය. ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමාරයා, අනුර බණ්ඩාරනායක එජාපට එක් වී උසස් අධ්‍යාපන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධූරය දැරීය. ශ්‍රීලනිප මේ මන්ත්‍රීවරු නෙරපා දැමූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර දෙනු ලැබීය.

ඒ අනුව, මන්ත්‍රීවරුන් නෙරපීම පිළිබඳ නඩු තීන්දු බලයේ සිටින පක්ෂයට වාසි සහගත වන බවට මතයක් රට තුල මතු විය. නමුත්, සත්‍යය නම් ලලිත් – ගාමිණී කණ්ඩායම නෙරපීම සම්බන්ධයෙන් වන ලේඛන සැකසීමේ දී එජාපයේ මහ ලේකම් බී.සිරිසේන කුරේ සතු වූ විචක්ෂණ බුද්ධිය හා ක්‍රියාත්මක වීමේ හැකියාව හමුවේ ලලිත් ගාමිණී පරාජයට පත් වූ බව ය.

1993 ශ්‍රීලනිප නඩුව, බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක හා මන්ත්‍රී තිලක් කරුණාරත්න විසින් සිරිමා බණ්ඩාරනායක විරුද්ධවය. ‘ද අයිලන්ඩ්‘, 1993.01.24 දින ‘ලක්දිව‘, බීබීසී සම්මුඛ සාකච්ඡා මගින් ශ්‍රීලනිප විනය දැඩිව කඩ කළ බව චෝදනාව විය. 1993.05.31 දින තිලක් කරුණාරත්නගේ දිසා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමේ උත්සාහය සාර්ථක වූවේ නැත. නමුත්, විනය පරීක්ෂණවලට එරෙහිව අතුරු තහනම් නියෝග ගැනීමේ වත්මන් සුලබ ව්‍යවහාරයේ කේන්ද්‍රය තිලක් ලේ නඩුවයි.

විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සභාව වසර ගණනාවකින් පවත්වා තිබුණේ නැත) මත තිලක් කරුණාරත්න නෙරපා හැරීම නීති විරෝධී බව අධිකරණය තීරණය කළේය.

1994 ට පෙර යුගයේ දී ද, ස්වභාවික යුක්ති නීතියේ පියවර අනුගමන කිරිම හෝ නොකිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැනීමේ හැකියාව/නොහැකියාව මත මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ හැකියාව/නොහැකියාව ස්ථාපනය වී ඇත.

රනිල් වික්‍රමසිංහ යුගය – අසමත් නායකත්වය හා දුර්වල නීතිඥයින්

1994 නොවැම්බර් මස ඇරඹි ලංකා දේශපාලනයේ රනිල් වික්‍රමසිංහ යුගය ට එරෙහි පළමු එජාප කැරැල්ල 1999 දී මතු විය. ආචාර්ය විමල් වික්‍රමසිංහ සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු කණ්ඩායමක්, සිරිසේන කුරේ එජාප හිටපු මහ ලේකම්වරයා ගේ ද මැදිහත්වීමෙන් ‘පුරවැසි පෙරමුණ‘ ලෙස වෙනම මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කෙරුණි.

එම සාකච්ඡා පැවැත්වෙන අතර, එම කණ්ඩායමේ සරත් අමුණුගම, සුසිල් මුණසිංහ, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, චූල බණ්ඩාර, ස්ටැන්ලි කල්පගේ ඇතුළු 35 ක් දෙනෙකු ‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා‘‘ යැයි කියමින් චන්ද්‍රිකා ආණ්ඩුවට එක් විය.

‘‘පක්ෂයෙන් එලවීම සඳහා හේතු නොදැක්වීම, චෝදනා පත්‍රයක් නොමැතිවීම‘‘, හේතුවෙන් 1999 නොවැම්බර් මස එජාපය මන්ත්‍රීවරුන් පස් දෙනා පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය (SC SPL.(E) NO. 4/99) තීරණය කළේය. සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය නඩුවෙන් පසුව කිසිදු අවස්ථාවක, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂවලින් ඉවත් කිරීම හා එමගින් ඔවුන්ගේ මන්ත්‍රී ධූර ඉවත් කිරීමට දේශපාලන පක්ෂ දැරූ උත්සාහයන් සාර්ථක වී නැත.

අධිකරණ කටයුතු සඳහා විශාල කාලයක් ගතවීම, තමන්ගේ නඩුවේ විනිසුරු තමන් විය නොහැකිය යන සිද්ධාන්තය මත පක්ෂයේ මහ ලේකම් ට විනය පරීක්ෂණය තියන්න ඇති නොහැකියාව, හා විනය පරීක්ෂණ කමිටුවකින් අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම, හේතුවෙන් බොහෝ විට දේශපාලන පක්ෂ සිය සමාජිකයින් නෙරපන්නට කටයුතු කරන්නේ ද නැත.

මන්ත්‍රීවරයෙකු නෙරපා හැරීමේ ක්‍රමවේදය

දේශපාලන පක්ෂයක් සිය සමාජිකයෙකු නෙරපා හැරීම මහ ලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතුයි. එවිට මැතිවරණ කොමිසම ඒ බව අදාළ මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබේ. මන්ද, පක්ෂ සමාජිකත්වය අහිමිවීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ ධූරය අහිමි වන බැවිනි. කෙසේ නමුත්, මැතිවරණ කොමිසම දින 21 යන තුරු අදාළ මන්ත්‍රීවරයා නෙරපා හරින්නේ නැත. නීති ප්‍රකාරව පක්ෂයේ තීරණයට එරෙහිව අදාල පක්ෂ මුලස්ථානය ස්ථාපිත දිසා අධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීම එහි අරමුණ යි. යම් මන්ත්‍රීවරයෙකු දින 21 ක් තුල දිසා අධිකරණයේ නඩු පවරන්නේ නැති නම්, මැතිවරණ කොමිසමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සක නොවන්නේ නම්, එම මන්ත්‍රීවරයා ඉවත් කරනු ලබයි.

ජනතා විමුක්ති පෙරමුණ – බුලේගොඩ නඩුව

ජවිපෙ දෙවැනි නැගිටීමෙන් පසුව, ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ නමින් මැතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පක්ෂයේ ලේකම් බුලේගොඩ විසින් නෙරපනු ලැබුවා නොව, පන්නා දමනු ලැබූවේ ‘පක්ෂයේ සාමාජික ගාස්තු නොගෙවීම/ගෙවීම පැහැර හැරීම‘ චෝදනාව යටතේ ය. ගලප්පත්ති ගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සුදානම් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවනු ලැබූ ගලප්පත්ති ට එදිරි බුලේගොඩ නඩුවේ දී (1997 1 SLR 393) ද, ස්වභාවික යුක්ති මුලධර්මයට අනුව විධිමත් විමර්ශනයක් නොපැවැත්වීම, පෙත්සම්කරු ඇති චෝදනා පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම මත නීති විරෝධී බව තීරණය විය.

18 ට සම්මත කිරීමට ‘දෑත් ශක්තිමත් කිරීම‘

ජනාධිපතිවරයාගේ අතට බලය ගොනු කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයක් ලබාදීම සඳහා එජාප මන්ත්‍රීවරු 7 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට ඡන්දය දුන්නේය. බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වරණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර් එම මන්ත්‍රීවරුන් ය. එජාප ය මෙම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරනු ලැබූ නමුත්, මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැත. (18 ට විරුද්ධව එදා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ඡන්දය දුන්නේ ද නැත)

එක්සත් ජාතික පෙරමුණ නම් නාමික පක්ෂය (සැබෑ නම එක්සත් ජාතික පක්ෂය) යටතේ තරඟ කළ රවුෆ් හකීම් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු 8 ක් ද 18 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔවුන් කිසිවෙකුට විරුද්ධව එදා එජාපය විනය වපියවර ගත්තේ නැත.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පී.එච්.පියසේන ද 18 ට පක්ෂව ඡන්දය දුන්නේය. 2010 නොවැ. 28 දින ‘ඉලංගේ තමිල් අරසු කච්චි‘ පක්ෂය විනය විරෝධී කටයුතු හේතුවෙන් ඔහු ඉවත් කළේය. පියසේන තමන් පක්ෂයෙන් නෙරපීමට විරුද්ධව යාපනය දිසා අධිකරණයේ (DC Jaffna case No. 38/2010 (Misc), නඩු පැවරා, තහනම් නියෝගයක් ගැනීමට අසාර්ථක උත්සහයක් ගත්තේය.

තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට විරුද්ධව, පියසේන ශ්‍රේෂ්ඨාධිකරණයට SC Application Special [Expulsion] No. 03/2010) පෙත්සම ඉදිරිපත් කළ අතර, 2011 පෙබරවාරි 8 දින ද්‍රවිඩ ජාතක සන්ධානය විසින් පියසේන ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම නිතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මුස්ලිම් කොන්ග්‍රස් හා ද්‍රවිඩ ජාතික සන්ධාන අත්දැකීම, සන්ධානගත පක්ෂයක මන්ත්‍රීවරයෙකු විධිමත් විනය පරීක්ෂණයකට ලක් කිරීම පහසු නොවන බව ය.

කරු ජයසූරිය එල්ටීටීඊ ට එරෙහිව දෑත් ශක්තිමත් කිරීම

2007 වසරේ දී එජාපයෙන් තරඟ කර මහජන මන්ත්‍රීවරුන් බවට පත් වූ කරු ජයසූරිය, මහාචාර්ය ජී.එල්.පීරිස්, මිලින්ද මොරගොඩ, ඇතුළු 17 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට එක් විය. එජාපය හා සන්ධානගත වී පාර්ලිමේන්තුවට තේරී පත් වූ රවුෆ් හකීම්, ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසයේ කණ්ඩායම අමාත්‍ය ධූර ලබාගත්තේය. 2008 දෙසැ. 8 දින කරු ජයසූරිය නැවත එජාපයට එක් වූවේ නියෝජ්‍ය නායකයා ලෙසි නි. මේ පිරිසෙන් කිසිවෙකුත් පක්ෂයෙන් හෝ සන්ධානයෙන් ඉවත් කිරීමට එජාපයට අවශ්‍ය වූවේ ද, හැකි වූවේ ද නැත.

හකීම් – රිෂාඩ් යුද්ධය

ස්වභාවික යුක්ති නීතිය, මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ තහනමට බලපාන ආකාර පිළිබඳ හොඳම උදාහරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අමීර් අලි, රිෂාඩ් බදුර්දීන් හා නජිම් ඒ මජීඩ් 2005 අප්‍රේල් 4 දින පක්ෂයෙන් නෙරපීම යි. ඉහත මන්ත්‍රීවරුන්, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විවේචනය කරමින් පක්ෂය වෙත ලිපියක් යැවීය. එම ලිපියේ විවේචණය නොඉවසූ හකීම් එයට පෙරළා උත්තර දුන්නේ ‘‘ඔබ වැරදියි. උතුරු නැගෙනහිර මුස්ලිම්වරුන්, ඔබ විසින් සිදු කළ ක්‍රියාවට සමාව දෙන්නේ නැත. පක්ෂය ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත්තේය, (“Finally I woud like to remind that the Muslims of the north east will not pardon you for the treacherous act committed and the Party to o will take appropriate action against you in due course .”) යැයි කියමිනි.

පක්ෂය රිෂාඩ් ඇතුළු කණ්ඩායම නෙරපීමට විරුද්ධ ශිරානි බණ්ඩාරනායක ලියූ නඩු තීන්දුවේ දැක්වෙන්නේ විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පෙර ‘‘ඔබ වැරදියි. මුස්ලිම් සමාජය පවා සමාව දෙන්නේ නෑ‘‘ යැයි පැවසීම තුලින් ‘‘නෙරපීමට පෙර ඔබ අදාළ මන්ත්‍රීවරුන් වැරදිකරුවන් බවට පූර්ව නිගමනයකට පැමිණ තිබූ බව යි. 02/2005, 03/2005, 04/2005 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුන එකට විභාග කොට අලී, රිෂාඩ්, මජීඩ් ගේ පක්ෂ තහනම නීත්‍යානුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් එන් සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල 2005 ජූලි 1 දින තීන්දු කරනු ලැබීය.

මුස්ලිම් කොන්ග්‍රසයේ විනය කාර්ය පටිපාටියට අනුව, පක්ෂ සාමාජිකයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයට පමණී. එසේ තිබිය දී, පක්ෂ නායකයා වරද පිළිබද පූර්ව නිගමනයකින් කටයුතු කළ බව එම නඩුවේ ප්‍රමුඛ තර්කය වූවේය.

පසුගිය දා, කදුරට ජනතා පෙරමුණ සාමාජික, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ අරවින්ද කුමාර් මන්ත්‍රීවරයා ද 20 සංශෝධනයට පක්ෂව පසුගිය දා ඡන්දය ලබා දුන්නේය. පසු දින, “20 ට පක්ෂව ඡන්දය දුන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රී අරවින්දකුමාර් පක්ෂයෙන් නෙරපීමට තීරණය කෙරුණා – දප්‍රස නායක මනෝ ගනේසන්” යැයි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ෆේස් බුක් හා වෙනත් සමාජ මාධ්‍ය මගින් නිවේදනයක් නිකුත් කළේය. යම් හෙයකින් අරවින්ද කුමාර් ඉවත් කිරීමට සමගි ජනබලවේගය උත්සාහයක් දරන්නේ නම්, මනෝ ගනේෂන් ගේ ප්‍රකාශය උසාවියේ දී අරුත් ගැන්වෙන ආකාරය අතිශයින්ම වැදගත් වනු ඇත්තේය. මන්ද, විනය පරීක්ෂණයක් හෝ නොපවත්වා ‘මන්ත්‍රීවරයෙකු නෙරපීමට තීරණය කිරීම ස්වභාවික යුක්ති නීතියෙන් කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවන බවට‘ තර්ක කළ හැකි බැවිනි.

මම මෙයින් අවධාරණය කරනු ලබන්නේ ‘ස්වභාවික යුක්ති නීතිය‘ ට අදාල තර්කනයේ දී දේශපාලන පක්ෂ නායකයින් තමන් ගැටුම් ඇතිකර ගන්නා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කියන කරන දේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයක දී තීරණාත්මක වු බව ය!

 

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහිවීම හා අමිර් අලී නඩුව
මුස්ලිම් කොන්ග්‍රසය හා විරසකවීමෙන් පසුව ඒ වන විටත් නීතිඥ හමිඩ් විසින් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර තිබූ දේශපාලනය ලෝකයේ ‘අනාගත රිෂාඩ් ගේ පක්ෂය‘ යැයි ඒ වන විටත් හදුන්වා දෙමින් තිබූ ‘‘සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සම්මේලනය සංවිධානය කෙරුණි. එහි මහ ලේකම්වරයා වූයේ වයි.එල්.එස්.හමීඩ් ය. පුත්තලමේ පැවති සම්මේලනයට රිෂාඩ් බදුර්දීන්, අමීර් අලී ඇතුළු ඒ වන විටත් මුස්ලිම් කොන්ග්‍රසයෙන් කටයුතු සඳහා සම්බන්ධකර නෙගෙන සිටි පිරිසට ආරාධනා කර තිබුණි. නමුත්, ඒ වන විට ඔවුන් පක්ෂයේ මුදල් ගෙවා සමාජිකත්වය ගත්තෝ නොවීය. පක්ෂ සම්මේලනයේ දී රිෂාඩ් බදුර්දීන් පක්ෂ නායකයා ලෙස ද, අමීර් අලී පක්ෂයේ සභාපති ලෙස ද නම් යෝජනා විය.

මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය දරමින් සිටින අතරම, වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳ රවුෆ් හකීම් ඒ වන විටත් පක්ෂය සමග විරසකව සිටි මේ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසනු ලැබීය. අමීර් අලී, රිෂාඩ් උසාවිය ගියේය. පක්ෂයේ මහ ලේකම් ප්‍රකට නීතිඥ හමීඩ් එයට අපුරු උත්තරයක් දුන්නේය. එහි අර්ථය ‘‘රිෂාඩ්, අමීර් අලී ට පක්ෂයේ තනතුරු යෝජනා කෙරුණා. ඔවුන්ට පක්ෂ සාමාජික අයදුම්පත් බාරදුන්නා. ඔවුන්ට තනතුරු ලැබෙන්නේ පක්ෂ සාමාජිකත්වය ගත්තේ නම් පමණයි. නමුත්, ඔවුන් පක්ෂ සාමජිකත්වය ලබා ගැනීම ප්‍රතිකේෂප කළ බැවින් ඔවුන්ට තනතුරු ලබාදීම හෝ බාර ගැනීමක් සිදු නොවූ බව‘‘ ය. උසාවිය හමීඩ් ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගනු ලැබූවෙන්, එවර ද, හකීම් ට විරුද්ධ මුස්ලිම් සමාජයේ ප්‍රභලම අභියෝගය බවට පත් වූ රිෂාඩ් බදුර්දීන් පක්ෂයෙන් නෙරපීමට/එළවා දැමීමට/මන්ත්‍රී ධූර අහෝසි කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් නායකයාට හැකිවූවේ නැත.

20 ට සහාය දුන් කණ්ඩායම හා අමීර් අලී නඩුවේ සිද්ධි ගලායාම අතර සමානකම් බොහෝ වේ. නාමික සන්ධානයක් මගින් තරඟ කර ජයගත් මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත හැක්කේ නාම යෝජනා බාරදුන් පක්ෂයට ද? නැතිනම් හවුල්කාර පක්ෂයට ද? එසේ නම්, කුමන පක්ෂයක/සන්ධානයක විනය කාර්ය පටිපාටිය නෙරපීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ද? යන්න එහි ප්‍රමුඛ හා වැදගත්ම සාධකය යි.

මාගේ පුද්ගලික අදහස නම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා කදුරට ජනතා පෙරමුණ/ද්‍රවිඩ ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ඇරඹීමට හෝ සමගි ජනබලවේයට අදාල හවුල්කාර පක්ෂ ඉඩ නොදෙනු ඇති බව යි.

 

කෙහෙළිය, බෝගොල්ලාගම, මහින්ද සමරසිංහ එජාපයෙන් නෙරපීම
එජාපයට කිසිදු සාමාජිකයෙකු පක්ෂයෙන් එළවිය නොහැකි, මන්ත්‍රීවරයෙකුට විරුද්ධව උසාවියේ දී ශක්තිමත් තර්කයක් නැගීමට නීතිඥවරුන් නොමැති යුගයක් එලැඹුණා. එයට හේතු වූයේ, එජාපයේ සිටි දක්ෂතම නීතිඥවරුන් රනිල් වික්‍රමසිංහ ගෙන් ඉවත්වීම යැයි කීම අතිශෝක්තියක් නොවේ. එජාප ව්‍යවස්ථාවේ 3.3 (ආ) හා 3.4 (ඇ) වගන්ති අනුව, පළාත් සභා සහ පලාත් පාලන ආයතනවල සභිකයින් හෝ ඉවත් කර ගැනීමට නොහැකි විය. 2011 – 2014 එජාප නායකත්ව කැරැල්ල සමයේ මේ වගන්ති පුද්ගලිකව මටත්, ශිරාල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න, ගුණරත්න වන්නිනායක වැනි සජිත් ප්‍රේමදාස/කරු ජයසූරිය කණ්ඩායමට හිතවත් එදා කටයුතු කළ නීතිඥයින්ට කට පාඩම් ය. පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ ලිපි සඳහා එවූ ලිපි සඳහා ප්‍රති උත්තර බදින්නට හෝ එදා එජාපයට හැකි වූවේ නැත.

බෝගොල්ලාගම නඩුවේ දී, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) අ වගන්තිය අතර ඇති පරස්පරය ගැන විනිසුරු ජයසිංහ ලියූ තීන්දුව සුවිශේෂි වේ. නිසි විනය පරීක්ෂණයකින් තොරව එජාපයෙන් නෙරපා ඇති බව තීරණය කළ නිහාල් ජයසිංහ, නිමල් දිසානායක, රාජා ප්‍රනාන්දු විනිසුරුවරුන් බොගොල්ලාගම ගේ පක්ෂ සාමජිකත්වය රැකදුන්නේය.

එජාපය අදටත්, ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය සංශෝධනය කොට විනය කාර්ය පටිපාටිය යාවත්කාලීන කර නැත.

එජාපයේ නීතිඥයින් එදා අධිකරණයට කීවේ බෝගොල්ලාගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වී ඇමතිධූර ලබා ඇති බැවින් ‘විනය පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බව‘ කියමිනි. එජාපයට එකම සාමාජිකයෙකු හෝ නෙරපා හැරීමට නොහැකිවීම පිළිබඳ පුදුම විය යුතු නැත.

2012 ඔක්තෝබර් 18 දින කොළඹ හයිඩ් පිටියේ දී රැස්වීමක් පවත්වමින් කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කර ගැනීමේ රැස්වීමේ වෙිදිකාවට ගොඩ වූ අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම විහිළුවක් ලෙස සලකා කටයුතු කරන්නට හැකිවූවේ ඒ නිසාමය.

 

කෙහෙළිය නඩුව
2000, 2001, 2004 මැතිවරණවල දී මහනුවරින් වැඩිම මනාප ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් වුයේ ආසන බලමණ්ඩලයේ දී පාක්ෂිකයින්ගේ නාටකයකට ද මුහුණ දෙමිනි. අගවිනිසුරු සරත් එන් සිල්වා කෙහෙළිය නඩුවේ (S.C. (EXPULSION) NO. 1/2006) තීන්දුව ලියුවේ 1978 අංක 2 දරණ අධිකරණ පනත 41 (2) වගන්තිය උපුටමිනි.

විනය ක්‍රියාමාර්ග නිසි ලෙස සම්පූර්ණ නොවන්නේ නම්, මන්ත්‍රීවරයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම, පක්ෂයෙන් නෙරපීම කළ නොහැක්කක් බවට පොදු මතයක් ස්ථාපනය වූවේ කෙහෙළිය ගේ තීන්දුවත් සමඟ ය. මහින්ද සමරසිංහ ගේ නඩුවේ තීන්දුව ද, කෙහෙළිය, බෝගල්ලාගම තීන්දුවලට වෙනස් වූයේ නැත.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් 2018 ඔක්තෝබර් මස අගමැති මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුවට එක්විය. ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට ද, ද්‍රවිඩ ජාතික සන්ධානයට හැකි වූයේ නැත.

2007 පෙබරවාරි මස මංගල සමරවීර හා ශ්‍රීපති සුරිආරච්චි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය හා ගැටෙමින් අමාත්‍ය ධූර අහිමි කර ගනු ලැබීය. මන්ත්‍රීවරුන් විපක්ෂය සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කළ නමුත් පක්ෂය ඔවුන් නෙරපා දැමීමට සැබෑ උත්සාහයක් දරනු නොලැබීය.

විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 2008 දී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කල නමුත්, ඔවුන්ගේ ද මන්ත්‍රී ධූර අහිමි කිරීමට හැකි වූවේ නැත. ජාතික නිදහස් පෙරමුණ ලෙස විමල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ඉන් පසුව ක්‍රියාත්මක විය.

ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට උත්සහ දරන අවස්ථාවන් හි දී, දිසා අධිකරණ මගින් තහනම් නියෝග ලබා ගැනීම සුලබ සිදුවීමකි. මොහාන් ලාල් ග්‍රේරෝ එසේ සාර්ථකව තහනම් නියෝග ලබා සිය මන්ත්‍රී ධූරය ආරක්ෂා කර ගත්තේ ය.

 

පසුවදන
ආසන 149 ක් ඇති සෞභාගයේ ආණ්ඩුවට 2/3 ගන්නට, 150 වැන්නා කර ගන්නේ නසීර් අහමඩ් බව මම 2020 අගෝස්තු 25 දින පාර්ලිමේන්තුව මුල්වරට රැස්වීමටත් පෙර ම රටටම කීවෙමි. (සටහන අමුණා ඇත) එය නවතා ගන්නට සමගි ජනබලවේගයට හැකි නොවීය.

නසීර් අහමඩ් සහ හාරිස් මන්ත්‍රීවරුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් එකිනෙක තම ගොඩට එක් කර ගනිද්දී, ඒ ගැන 20 පරාජය කිරීමට ආශා කළ නොසන්සුන් වූහ. ඔක්. 2 දින 20 ට පක්ෂව ඡන්දය දිය හැකි මුස්ලිම් මන්ත්‍රීවරුන් ගේ අනුමාන ලැයිස්තුව හෙළි කරන ලැබූවේ කදුරට ජනතා පෙරමුණ ද මුස්ලිම් පක්ෂ අනුව කටයුතු කරද් දී ය.

මම රටකට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව විශ්වාස කරමි. ඒ නිසා විපක්ෂයේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, උතුරේ අනෙකුත් පක්ෂ 2 හි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට නොයා රැකගත හැකි ද යන්න පිළිබඳ සවිඥානිකවීමට උත්සහ කරමි.

 

ඩයනා සහ මන්ත්‍රී කණ්ඩායම ඉවත් කළ හැකි ද? යන ප්‍රශ්නයට ලැබෙන උත්තරය ‘ඔව්‘ හා ‘නෑ‘ අතර විචල්‍ය වන්නේ සාධක 4 ක් මතය.

1. සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ පවතින දුබලතාව/ප්‍රබලතාව

2. ඩයනා ගමගේ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට සජබ ට ඇති සංස්කෘතික හැකියාව/නොහැකියාව

3. මුස්ලිම් කොන්ග්‍රසය/සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (රිෂාඩ්) හා කඳුරට ජනතා පෙරමුණ/ද්‍රවිඩ ප්‍රගතිශිලි සන්ධානයට ඇති උවමනාව/අවශ්‍යතාවය

4. අනාගතයේ පක්ෂ මාරු කිරීම වැලැක්වීමට සජබ ට ඇති උවමනාව/වෘත්තීය භාවය යන කරුණු කරුණු හතර මත ය.

 

සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ පවතින දුබලතාව/ප්‍රබලතාව
පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත.

 

විනය පියවර ගැනීමට සජබ ට ඇති සංස්කෘතික හැකියාව/නොහැකියාව
ඩයනා ගමගේ තමන්ට විරුද්ධව කථා කරන පිරිසට තර්ජන හා කිචෝක් කරමින් සිටී. (ඡායාරූපයේ දැක්වෙන්නේ එවැන්නකි) පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් ගැන ජනමාධ්‍ය යේ අදහස් දක්වයි. නායකත්වය දැනුවත්ව 20 ට ඡන්දය දුන් බව අවඟයි. තවදුරටත් පක්ෂ නියෝජ්‍ය ලේකම් තනතුරේ සිටින බව ද, සේනක සිල්වා උප සභාපති බව ද පවසයි. ආණ්ඩුවට එක්වීමට සුදානමින් සිටි තවත් පිරිස් පිළිබඳ ඉඟි කරන අතරම, තමන්ට ඔවුන් මෙහෙයවිය හැකි බව දක්වයි.

මේ ශක්තිය මන්ත්‍රී කණ්ඩායමට ලැබෙන්නේ කොතැනින්ද? යන්න ප්‍රශ්ණාර්ථයකි.

 

සන්ධානගත (මුස්ලිම්) පක්ෂ සාමාජිකයින් ඉවත් කිරීම එම පක්ෂවල කැමැත්ත ද? අවශ්‍යතාවයද?
අමීර් අලි නඩුවේ දී සිදු වූ ලෙසම, එජාපයට තමා සමඟ සන්ධානගතවී ඇති මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවරගත හැක්කේ ද? සැබෑ ලෙසම ඔවුහු 20 ට පක්ෂව ඡන්දය දුන්නේ රිෂාඩ් හා හකීම් ගේ අනුදැනුම මත ද යන්න ප්‍රශ්ණාර්ථයකි. පක්ෂ නායකත්වයට ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට උවමනාවක් ඇති ද? යන්න මෙන්ම එමගින් ඇති විය හැකි ප්‍රතිඑල ගැන ද? යන්න පිළිබඳ දේශපාලනික ඇඟයීමක් අවශ්‍ය ය.

සන්ධානගත පක්ෂ සාමාජිකයින් ඉවත් කිරීම දුෂ්කර බව අමිර් අලි නඩු තීන්දුව අපට පසක් කරයි.

 

අනාගතයේ පක්ෂ මාරු කිරීම වැලැක්වීමට සජබ ට ඇති උවමනාව, විශේඥතාව සහ වෘත්තීය භාවය
තම මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කරනවා දකින්නට විපක්ෂයේ කිසිදු පක්ෂයක නායකයින්ට අවශ්‍යතාවයක් තිබිය නොහැකිය. නමුත්, එය වැලැක්වීමට නම් විශේඥතාව හා වෘත්තීය භාවය අවශ්‍ය ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ව්‍යවස්ථාව මගින් පක්ෂයේ ලේකම්ට කළ නොහැක්කක් නොමැති තරම් ය. ඒ තරමටම, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තියට සාමාජිකයින් රදවා ගැනීමට කළ හැක්කක් ද නොමැති බව ඒ තරම්ම සත්‍යයකි.

මන්ත්‍රීවරුන් රඳවා ගැනීමට නම් ඒ විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතුව ඇත.

අනාගතය
සමගි ජනබලවේගය ‘නිල දේශපාලන පක්ෂයක්‘ ලෙස පිළිගැනීම අධිකරණය මගින් තහවුරු කොට ඇත. එය වෙනස් කළ හැකි තත්වයක් නොවේ. සජබ ට මන්ත්‍රීවරු 54 කි. එයින් 14 ක් සන්ධානගත පක්ෂ නියෝජිතයින් ය. සෘජුව සජබ නියෝජනය කරන ඉතිරිය 40 කි. 2011 මහා මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ගේ එජාපය ආසන 60 ක් ලැබූ අතර, එයින් 16 දෙනෙකු ආණ්ඩුවට එක් වූවේය.

පක්ෂ තීන්දුවලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් ඉවත් කළ නොහැකි ය යන්න මිත්‍යාවකි. නමුත්, එය සිදු කිරීමට නම්, මා පෙර කී ලෙසම ‘‘විශේෂඥතාව සොයා ගත යුතු අතර, වෘත්තීය භාවය ස්ථාපනය කර ගත යුතු‘‘ ව ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු දකුණු හා මධ්‍යම පලාත් ආණ්ඩුකාර

2020 නොවැ. 01

Archive

Latest news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...

Related news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...