Sunday, October 25, 2020

“හමුදාව අපට සැළකුවේ සිරකරුවන් විදිහට” – ඇගලුම් සේවිකාවන් නිරෝධායනයට දැමූ හැටි!

ඡායාරූපය: කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා.

කටුනායක ඇඟලුම් කම්හල් සේවකයින්ගේ තත්වය - COVID-19 යාවත්කාලීන කිරීම
මරිසා ද සිල්වා

2020 ඔක්තෝබර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 සඳහා පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට COVID-19 වෛරසය ආසාධනය වී ඇති බව (පොසිටිව්) බව පළමු වරට තහවුරු විය. කෙසේ වෙතත්, අද වන විට, එම පොකුර 1500+ දක්වා වර්ධනය වී (මෙම පොකුරේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ සමීප මිතුරන් ද ඇතුළුව) තිබේ. මෙම පොකුර බිහිවූයේ බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් විශේෂ වරලත් ගුවන් යානයකින් ඉන්දියාවේ සිට රැගෙනආ කම්කරුවන් 48 දෙනාගෙන් එක් අයෙකුගෙන් හෝ වැඩි දෙනෙකුගෙන් ය. කෙසේ වෙතත්, බ්‍රැන්ඩික්ස් නිල ප්‍රකාශයක් මගින් මෙම පොකුරට හේතුව එය බව ප්‍රතික්ෂේප කළ අතර, COVID-19 හා සම්බන්ධ සියලුම රජයේ අනිවාර්ය රෙගුලාසි අනුගමනය කළ බව ද කියා සිටින ලදි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ඔහුගේ විධි නියෝගය අනුව මෙම කම්කරුවන් 48 දෙනාගේ නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කර නොමැති බව පසුව අනාවරණය විය. බ්‍රැන්ඩික්ස් සම්බන්ධයෙන් වූ රෙගුලාසි ලිහිල් කිරීම/නොසලකා හැරීම සඳහා රජය විසින් දක්වන පැහැදිලි අනුග්‍රහය ද මෙයින් පෙන්නුම් කෙරේ.

මේ රජයයි සෞඛ්‍ය අමාත්‍යංශයයි කරපු ලොකුම වැරැද්ද තමයි අපි කොරෝනා පරද්දපු බව කියපු එක. ඊට පස්සේ හැමෝම ඒ ගැන වැඩ වෙන එක නැවැත්තුවා. ගොඩක් අය මාස්ක් ගැන එක පවා නැවැත්තුවා. කොරෝනා පාලනය කළා කියලා ලෝක වාර්තා තියෙන එකේ ( ලෝකයේ දෙවන ස්ථානයට) කිසිම වැඩක් නෑ, අපි ලංකාවේ වාර්තා ගත පාලන තත්වයක් පවත්වා ගන්න අවධානයක් යොමු කරලා මෙහෙ දේවල් හරියට කළමනාකරණය කරගත්ත නම් කොහොමත් ලෝකේ පිළිගැනීමකට නිකම්ම පාත්‍ර වෙනවා.

විශේෂයෙන්ම ආවරණය වී ඇති අවකාශයක් තුළ එකිනෙකාට ඉතා ආසන්නව වැඩ කරන කම්කරුවන් විශාල සංඛ්‍යාව සහ එකිනෙකාට ඉතාමත් සමීපව නවාතැන් ගෙන සිටින හවුල් නවාතැන්වල පවතින සමිපතාවය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයේ නියුතු කම්කරුවන් සහ මෑන්පවර් සේවකයින් අතර වෛරසය වේගයෙන් පැතිරීම සිදු වේ. වෘත්තීය සමිති නියෝජනයක් නොමැතිවීමත් කිසිදු සේවා යෝජකයෙකු ඔවුන් පිළිබඳ වගකීම භාර ගැනීමට අකමැතිවීමත් නිසා මෑන්පවර් සේවකයින් තවදුරටත් අවදානමට ලක්ව තිබේ.

මෑතදී ඇති වූ මෙම ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසයේ දෙවන රැල්ල ලෙස පුළුල්ව සැළෙකෙමින් තිබේ. වෛරසය පැතිරීම කෙතරම් පුළුල්ද යන්න තවමත් පැහැදිලි නැති අතර, රටේ බොහෝ ප්‍රදේශවලින් වෛරසය ආසාධනය වීමේ සිද්ධීන් වාර්තා වී ඇති නිසා එය පාලනය කිරීම සැලකියයුතු අභියෝගයක් වනු ඇත. හදිසියේ අධිකලෙස පැතිරී යාම තවමත් ප්‍රජා සම්ප්‍රේෂණමට්ටමකට ප්‍රගතියක් ලබා නොමැති බව රජය විසින් දිගින් දිගටම කියා සිටින නමුත්, පුළුල් අහඹු පරීක්ෂණයක් සිදු නොකර, මෙම පුවත සහතික කිරීම හෝ නිවැරදි යැයි සැලකීම සිදුකළ නොහැකිය. ප්‍රජාව තුළ වෛරසය කෙතරම් පුළුල්ව පැතිරී ඇත්ද යන්න අපැහැදිලි බැවින්, තමන්වම ආරක්ෂා කර ගැනීම සහ අවශ්‍ය පියවර ගැනීම දැන් මහජනතාවගේ එකම වගකීම බවට පත්ව ඇති බව පෙනේ.

විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් සමඟ කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගත්විට රජය සහ හමුදාව මෙම මෑත අර්බුදය හසුරුවා ඇති ආකාරය ඉතාමත් ගැටලු සහගතය. පැහැදිලි තොරතුරු/දැනුවත්භාවය නොමැතිවීම, අනාරක්ෂිත ප්‍රවාහනය, අපිරිසිදු නිරෝධායන පහසුකම් සහ සේවකයින් බස්රථවලට පැටවීමට පෙර සහ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම, ආණ්ඩුව විසින් පිළිපැදිය යුතු යැයි කියනු ලබන මූලික COVID-19 රෙගුලාසි පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

ඔක්තෝබර් 11 වන දින (ඉරිදා) රාත්‍රී 10.30 ට පමණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයින් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව) හමුදාව විසින් අල්ලාගෙන බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන පහසුකමක් වෙත නිරෝධායනය සඳහා ගෙන ගොස් තිබේ. අසල්වැසි නේවාසිකාගාරයේ COVID ආසාධිත වූ සේවකයින් කිහිප දෙනෙකු වාසය කර ඇති බවත්, එබැවින් ඔවුන්ව ද නිරෝධායනය කළ යුතු බවත් සේවකයින්ට පවසා තිබුණි. “අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ” කම්කරුවන් පැවසීය. ඔවුන්ව වේයන්ගොඩට ගෙනයන බව පවසා තිබුණත්, දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයකට ඔවුන්ව ගෙන ගොස් තිබුණි.

එදිනම පාන්දර 12.30 ට පමණ (අලුයම 12) ඇවරිවත්තේ ද සේවකයින් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) දෙනෙකු අවදි කොට බස් රථයකට නංවා ගෙන තිබුණි. “රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා.මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ. අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මායැයි කලුතරට පැමිණි සේවිකාවක් පැවසීය.

ඔවුන් කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන අවසානයේ ඔක්තෝබර් 12 වන දින අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගොස් තිබුණි. පැය 12 කට පසු දහවල් 12.30 ට ඔවුන් කලුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොතිබුණි. එහි ගිය පසු ඔවුන්ට ආහාර ටිකක් ලබා දී තිබුණත් ඒවා ආහරයට ගත නොහැකි තත්වයේ විය. මෙම පහසුකම පිරිසිදු කර නොතිබූ අතර, වැසිකිළි උතුරා අපිරිසිදු වී තිබූ අතර, ඒ වනතෙක් (ඔක්තෝබර් 13 වන විට) කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු හමුවිය නොහැකි විය. එම ස්ථානයේ සිටියේ හමුදාව පමණි. මධ්‍යස්ථානයට ඇතුළත් වූ පසු කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ පවත්වා නැත. “වෛද්‍යවරයකු අප බැලීමට එන බවට කටකතා අපට අසන්නට තිබූ නමුත්, නිල වශයෙන් කිසිවක් අප වෙත මෙතෙක් දැනුම් දී නැහැ යැයි ඔවුන් පැවසීය.

12දා දිනයේ දී සේවකයින් සඳහා සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි මූලික අත්‍යවශ්‍ය දෑ ලබා දී තිබුණි. දැනට කම්කරුවන් 400-500 ක් පමණ දෙනා පහසුකම තුළ සිටින බව කම්කරුවන් විසින් පවසනු ලැබීය. ඇතැම් කාමරවල එක් කාමරයකට කම්කරුවන් 6-7 ක් දක්වා සිටින අතර ඇතැම් ඒවායේ කම්කරුවන් 3 -5 දක්වා ප්‍රමාණයක් සිටියි. කම්කරුවන් 30 ක් පමණ සඳහා ස්නානය කිරීමේ ස්ථාන කාමර 2 ක්, වැසිකිළි 2 ක් සහ සින්ක් 2 ක් බෙදා බෙදාගෙන සිටිති (සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.)

මේ වන විට එම ස්ථානය පිරිසිදු කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති නමුත්, ඔවුන් එය ඉතා ඉක්මනින් පිරිසිදු කර දෙන බව හමුදාව විසින් ඔවුන්ට පවසා තිබුණි. ඔවුන්ට වඩා හොඳ තත්වයේ ආහාර ලබා දෙන බවට ඔවුන් පොරොන්දු වී තිබූ නමුත් මේ වන තෙක් ලබාදුන් ආහාර අශෝභන තත්වයේ තිබුණි. කිසිවෙකුටවත් මෙම ස්ථානයෙන් ඉවත් වී යා නොහැකි බව ඔවුන්ට පවසා තිබුණි. එක් අයෙකුට හෝ සමහර කම්කරුවන්ට ආසාදනය වී තිබේනම්, එම තාවකාලික පහසුකමෙහි නිසි ආරක්‍ෂිත ක්‍රියාපටිපාටියක් නොමැති නිසා ඔවුන් සියල්ලන්ටම වේගයෙන් රෝගය ව්‍යාප්ත වනු ඇතැයි කම්කරුවන් බියෙන් පසුවෙයි. “මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා ”, යැයි ඔවුන් පැවසීය.

මට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා, සිරවීම් දෙකක් සිදුවුණා. මම ගොඩක් බෙහෙත් බොනවා. මම දැන් මෙහේ ඉන්න නිසා මට කොරෝනා හැඳුනොත් මම නම් මරණයෙන් බේරෙන එකක් නැහැ. මේ ස්ථානය බල්ලන්ටවත් සුදුසු නැහැ. මේ අයට ඡන්දය දීපු එකට අපිටම ගහන්න ඕන, එක් සේවකයෙක් කේන්තියෙන් පැවසීය.

අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ අනෙක්ස් එක්ක සිස්ටර්ලා දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සහෝදරියෝ දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්‍ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම අනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා” කම්කරුවෝ කෝපයෙන් පැමිණිලි කළහ.

රජයේ රෙගුලාසි සහ නිරෝධායන පිළිපැදීමට අප විරුද්ධ නැහැ. නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අප සමඟ කටයුතු කිරීමට එවන ලද (එනම් හමුදාව) අයව අපට මානුෂිකව හා ගෞරවයෙන් සැලකීමට පුහුණු කරන්න. අපව රැගෙන යන්නේ කොතැනටද යන්න නොදැන ඔබට මධ්‍යම රාත්‍රියේ ඇවිත් බස්රථවලට පැටවීමට මිනිත්තු 10 ක් ලබා දෙන්න ඔබට බැහැ. මිනීමරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පවා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුව ඔබ ඔහුට/ඇයට පැවසිය යුතුයි. ඇයි අපිට අවම වශයෙන් මෙම මූලික ගෞරවය ලබා නොදෙන්නේ, ”ඔවුහු ප්‍රශ්න කළහ.

අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි , අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ . අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු” “අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි” යැයි ඔවුහු වේදනාවෙන් පැවසීය.

මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින් අපි එයාලට දුන්නේ. දැන් තමයි අපිට තේරෙන්නේ හමුදාව කියන්නේ කවුද කියලා, දැන් අපි තමයි විදවන්නේ, අපි ගාමන්ට් වල වැඩ කරනවා කියලා අපි මෝඩයෝ නෙවෙයි, අපිටත් අයිතිවාසිකම් තියෙනවා. අපි නිසා තමයි එයාලා (ආණ්ඩුව සහ හමුදාව) හොඳට ඉන්නේ , ඒත් එයාලා හරියට අපිට සලකන්නේ අපි එයාලගෙන් ජිවත් වෙනවා වගේ, එයාල තමයි අපිට කරදරයක් වෙලා ඉන්නේ. අපිට මෙහෙම සලකන්නේ අපි වැදගත් සල්ලිකාර මිනිස්සු විදියට එයාලා ගණන් ගන්නේ නැති නිසානේ, සේවකයින්ට කොරෝනා හැදුන එක අපේ වරදක් නෙවෙයිනේ, එයාල අපෙන් පලි ගන්න වගේ අපිට සලකන එක නවත්තන්න ඕනි. අපේ ආණ්ඩුවෙන් අපිට මේවද බලාපොරොත්තු වෙන්න වෙන්නේ?” ඔවුන් විසින් කෝපයෙන් අසනු ලැබීය.

අපි ආණ්ඩුවට දොස් කියන්නේ නෑ,අපේ ජනාධ්පති තුමා නැත්නම් මෙලහකටත් අපි මැරිලා, ඒත් මේ ආණ්ඩුව අපි බලයට ගෙනාව නිසා අපිට වගකීමක් තියෙනවා අපි වෙනුවෙන් එයාලට වගකිමක් තියෙන බව මතක් කරන්න,එයාලා කරන වැරදි එයාලා හදාගෙන ඉස්සරහට යන්න ඕනි. ග්‍රාම සේවකලා, නේවාසිකාර අයිතිකරුවන්, සේවකයින් ආදී මේ සියලු දෙනා අතරේම පුළුල් දැනුවත් භාවයක් ගොඩ ගන්න ඕනි, දැනට කිසිම නිසි ක්‍රියා දාමයක් නෑ, ඔක්කොම වෙන්නේ තාවකලිකව අටව ගත්ත විදියකට” යැයි ඔවුහු පැවසීය

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...