Sunday, October 25, 2020

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය පිළිබඳ ප්‍රචාරය කරනු ලබන දුර්මත දුරලීම‍ – නිමල් සිරිපාල (අවසන් කොටස)

මුස්ලිමුස්ලිම්ම් ජනගහනයේ වර්ධනය සිංහලයන්ගේ වර්ධනයට වඩා ඉහළ මට්ටමක දිගට ම පැවතුණොත්, කිසියම් කාලයකදී, එය සිංහලයන්ගේ ජනගහනය ඉක්මවා යා හැකි බව තර්ක කරනු ලැබේ. මෙය හරියට 5.5%ක වාර්ෂික සාමාන්‍ය ආර්ථික වර්ධන අනුපාතිකයක් ඇති ශ්‍රී ලංකාව කිසියම් දිනෙක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් ඇති දැවැන්ත ආර්ථිකයක් වන එක්සත් ජනපද ආර්ථිකය පසුබස්වනු ඇතැයි සිතීම වැන්නකි.

මෙම පුරෝකථනයන් ගණිතමය වශයෙන් කළ හැකි වුවත්, යථාර්ථයේදී, ජනවිකාස වෙනස්කම් සිදු වන්නේ බහුවිධ සමාජ ආර්ථික සාධක මත පදනම්ව ය. දරිද්‍රතාව, අධ්‍යාපනය, කාන්තාවන්ගේ රැකියා නියුක්තිය, අභ්‍යන්තර සහ බාහිර සංක්‍රමණය, ළමා සත්කාරක පහසුකම්වල අඩුව සහ වියදම හාවඩා හොඳ ජීවන ගුණයක් අත්පත් කරගැනීමට ඇති කැමැත්ත ආදිය එම සාධක අතර වේ. යුරෝපයේ වඩා ධනවත් රටවල දෙවන පරම්පරාවේ මුස්ලිම් සංක්‍රමණිකයන් අතර සාඵල්‍යතා අනුපාතිකය කැපී පෙනෙන පරිදි පහත වැටී තිබේ. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රජාවන්ට සමානව නාගරික මුස්ලිම් පවුල්වල ද සිටින්නේ අඩු දරුවන් සංඛ්‍යාවකි. ඇමති රාවුෆ් හකීම් සමග පැවැත්වුණ සාකච්ඡාවකදී උදය ගම්මන්පිල මහතා මෙම කරුණ පිළිගත්තේ ය. එබැවින්, අවුරුදු සිය ගණනක් තිස්සේ මුස්ලිම්වරුන්ගේ ජනගහනය එක ම වේගයකින් අධික ලෙස වර්ධනය වීම සිදු විය හැක්කක් නොවේ. 1953/ 63 කාලපරිච්ඡේදයේ මුස්ලිම්වරුන්ගේ වාර්ෂික ජනගහන වර්ධන වේගය 2.9%ක් වූ අතර, 1981/ 2011 කාලයේදී එය 1.9%ක් විය. ඉදිරි කාලයේදී එය තවත් අඩු විය හැකි ය.

5 වගුව මවගේ වයස සහ ජනවර්ගය අනුව හා ජනවාර්ගිකත්වය අනුව සජීවී දරු උපත් ලියාපදිංචි කිරීම, 2013මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – 2014

5 වගුවෙන් පැහැදිලිව නිරූපණය කරන්නේ මවගේ වයස සහ ජනවර්ගය අනුව හා ජනවාර්ගිකත්වය අනුව සජීවී දරු උපත් ලියාපදිංචි කිරීමයි. මුස්ලිම් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තම නව යොවුන් වියේ දී විවාපත්ව වඩා කලින් දරුවන් ජනනය කරනු ලබන බව එයින් පෙනේ. සිංහල සහ වෙනත් ප්‍රජාවන්ගේ කාන්තාවන් කල් පසු වී විවාහ වීමට සහ පසුව දරුවන් ජනනය කිරීමට නැඹුරුවක් තිබේ. කෙසේ වෙතත්, කල්තබා විවාහ වීමෙන් මුස්ලිම් කාන්තාවන් අති විශාල දරුවන් සංඛ්‍යාවක් බිහිකරන බව නිරූපණය වන්නේ නැත. එහෙත්, කල්තබා විවාපත් වීම වෙනත් සමාජමය සැලකිලිමත්වීම්වලට හේතු වී තිබේ. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන ලෙස මුස්ලිම් කාන්තාවෝ බලපෑම් කරති. මුස්ලිම් ප්‍රජාව වසර 2100දී රටේ බහුතර ජනගහනය විය හැකි තරම් වේගයකින් වර්ධනය වෙමින් ඇතැයි යන අදහස මෙම සියලු කරුණු මගින් විහිළුවක් බවට පත් කෙරේ.

දෙවන මිථ්‍යාව වයස අවුරුදු 8ට අඩු මුස්ලිම් ළමා ජනගහනය වසර 15කින් මුස්ලිම් නොවන සෙසු ප්‍රජාවන්ගේ වයස අවුරුදු 8ට අඩු ජනගහනය පසු කරනු ඇත. මුස්ලිම් 52%ක් ද සිංහල සහ වෙනත් 48%ක් ද වනු ඇත.

හොඳින් පළපුරුදු සංඛ්‍යාලේඛන විශේෂඥයකුට පවා මිථ්‍යාවන් දුරලීම කරුණු ඉදිරිපත් කිරීමට වඩා දුෂ්කර ය. පුද්ගලයන් වැඩි වැඩියෙන් ඉහත කී ප්‍රකාශය සමග ගැටෙති. එමගින් කාංසාව සහ අවුල්සහගත බව ඇති විය හැකි ය. පුද්ගලයන්ට මෙම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේ හැකියාව හෝ ඒ සඳහා කාලය හෝ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස එය ඇත්ත ලෙස පිළිගැනීමට ඉඩ තිබේ.

එබැවින්, මුස්ලිම් නොවන වයස අවුරුදු 8ට අඩු ළමා ජනගහනය වයස අවුරුදු 8ට අඩු සමස්ත ජනගහනයෙන් 52%ක් දක්වා වර්ධනය වීමට හා සිංහල සහ වෙනත් ජනවර්ගයන්ගේ වයස අවුරුදු 8ට අඩු ළමා ජනගහනය 48% දක්වා පහත හෙළීමට මුස්ලිම් දරු උපත්වල වර්ධනයේ වාර්ෂික අනුපාතිකය කොපමණ විය යුතු ද යන්න සම්බන්ධයෙන් සරල ගණනය කිරීමක් සිදුකිරීම ප්‍රයෝජනවත් වේ.

අනතුරු අඟවන්නන් විසින් නිරූපණය කර තිබෙන පරිදි වසර 2030 වන විට වයස අවුරුදු අටට අඩු සමස්ත ජනගහනය මිලියන 6ක් වනු ඇත. ඒ අනුව, වයස අවුරුදු 8ට අඩු මුස්ලිම් ළමා ජනගහනය මිලියන 3.2ක් වන අතර, සිංහල සහ වෙනත් ජනවර්ගයන්ගේ එකී ළමා ජනගහනය මිලියන 3කි. වර්තමානයේදී වයස අවුරුදු අටට අඩු මුස්ලිම් ජනගහනය එම වයස් කාණ්ඩයේ සමස්ත ජනගහනයෙන් 12%කි. එය 52% දක්වා ඉහළ නැංවීමට නම්, 2013දී ඔවුන්ගේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව වූ 44,284 වසර 2030 වන විට වසරකට දරු උපත් 648,208 දක්වා ඉහළ නංවාගත යුතුය. ඒ අතර, සිංහල සහ වෙනත් ජනවර්ගයන්ගේ වර්ධන වේගය මධ්‍යස්ථ 1.04% මට්ටමක තිබිය යුතු ය. ඒ අනුව, මුස්ලිම්වරුන්ට වාර්ෂිකව තම දරු උපත් සංඛ්‍යාව 17%කට වඩා වර්ධනය කරගැනීමට සිදු වේ. වර්තමානයේදී එය පවතින්නේ 2%ක පමණ මට්ටමක ය. ඒ අනුව, මුස්ලිම්වරුන්ට තම දරු උපත් සංඛ්‍යාව 2013 සිට 2030 දක්වා කාලය තුළ විශ්වාස කළ නොහැකි 1364% මට්ටමකින් වර්ධනය කරගැනීමට සිදු වේ. වර්තමානයේදී සිංහල සහ වෙනත් ජනවර්ගයන් අතර දරුවන් ජනනය කරන වයසේ කාන්තාවන් 100ක් අතරින් වසරකට දරු උපත් 8ක් සිදු වන අතර, මෙම වයස් කාණ්ඩයේ මුස්ලිම් කාන්තාවන් 100ක් අතරින් වසරකට දරු උපත් 10ක් සිදු වේ. මෙම ප්‍රවණතාව අනුව, වසර 2030 වන විට, වයස අවුරුදු 8ට අඩු සිංහල ළමයින් මිලියන 2.59ක් (86.3%) සිටින අතර, මුස්ලිම් ජනයා සඳහා එම සංඛ්‍යාව මිලියන 0.397ක් (13.7%) වේ. එය අනතුරු අඟවන්නන් විසින් දක්වනු ලබන චිත්‍රය නොවේ.

සංඛ්‍යාලේඛන ඇස්බැන්දුම් හේතුවෙන් මහජනයා බිය ඇති කරන ප්‍රකාශන සත්‍ය ලෙස පිළිගැනීමට පෙළඹේ. එම ප්‍රකාශ පිළිගත නොහැකි යයි ඇතැමෙකුට තර්ක කළ හැකිමුත්, එමගින් කරනු ලබන හානිය අතිවිශාල ය. මෙම මිථ්‍යාවන් අන්තර්ජාලයේ ‘ෂෙයා’ කරනු ලබන ප්‍රමාණය සහ ඒවාට ‘ලයික්’ කරනු ලබන ප්‍රමාණය ද, ඒ ගැන අදහස් පළ වන ප්‍රමාණය ද විසින් මෙවැනි ප්‍රකාශ විසින් සිදුකරනු ලබන නොමග යැවීමේ තරම නිරූපණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බලය රූපවාහිනී වැඩසටහනේදී පවා රාවුෆ් හකීම් මහතාට විශේෂයෙන් පැවසුවේ වෛද්‍යවරයකු සහ ආගමික පූජකවරයකු ද ඔහුට මේ පිළිබඳ පවසා ඇති බවයි. වෛද්‍යවරුන් සහ පූජකවරුන් අතර ද එවැනි විශ්වාස කරන්නන් සිටී නම්, ගම්මන්පිලට සැකයක් ඇති විටදී පවා, අපට සාමාන්‍ය සිංහල ජනයා අතර තිබෙන විශ්වාසයේ තරම සිතාගත හැකි ය.

ඒ හා සමානව, රජයේ පවුල් සැලසුම් වැඩසටහන ද සිංහල ජනගහනය අඩු කිරීමෙන් මුස්ලිම් ජනවර්ගයට වාසිදායක තත්වයක් ඇති කරන භයානක ව්‍යාපෘතියක් ලෙස නිරූපණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජනගහන සංඛ්‍යාලේඛන ශ්‍රී ලාංකික ප්‍රජාවන් අතර උපත් අනුපාතිකයේ වේගවත් පහතවැටීමක් නිරූපණය කරයි. ඒ සම්බන්ධයෙන් බොහෝ විට දෝෂාරෝපණය එල්ල වන්නේ 1960 දශකයේදී හඳුන්වා දෙන ලද පවුල් සැලසුම් වැඩසටහනටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පවුල් සැලසුම යනු ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ මූලෝපායක් වන අතර එය සමස්ත සෞඛ්‍යය, සවිබලගැන්වීම සහ පුද්ගල මානව හිමිකම් හා තිරසර සංවර්ධනයත්, සමාජයන්ගේ සාධාරණ සංවර්ධනයත් තහවුරු කරන වැදගත් කුලුනකි.

සිංහල ජනගහනයේ දක්නට ලැබෙන අඩුවීමට හේතුව යයි සැලකෙන පවුල් සැලසුම්කරනය බටහිර කුමන්ත්‍රණයක් ලෙස දකිනු ලැබේ. එහෙත්, මෙම ප්‍රතිපත්තිය දියත් කරනු ලැබූ විට, සියලු දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පරිපාලකයන් සහ පුරවැසියන් පවුල් සැලසුම්කරනය දරිද්‍රතාවට, විරැකියාවට සහ අධි ජනගහනයට විසඳුමක් ලෙස භාරගත් හ. පුළුල් ප්‍රජාව තුළ පවුල් සැලසුම් සේවා ලබාගැනීමේ ප්‍රතිශතය 65%කි. එයට 1960 සහ 1970 දශකවලදී ලෝක ආකර්ශනයක් ඇති විය. එයට හේතු වූයේ දරිද්‍රතාව, ඉහළ යන ජනගහනය සහ විරැකියාව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල වැදගත් ප්‍රශ්න වීමයි.

පවුල් සැලසුම් වැඩසටහනේ මූලික සැලසුම්කරුවකු වූ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා සිය අභාවයට දින කීපයකට පෙර ආචාර්ය සරත් අමුණුගම විසින් ලියන ලද පොතක් විචාරය කරමින් 2018 දෙසැම්බර් 9දා මෙසේ ලියුවේ ය:

සෑම කෙනෙකු ම දන්නා පරිදි, නැසීගිය ලලිත් ඇතුලත්මුදලි මා හට පවුල් සැලසුම් වැඩසටහන පක්ෂ දේශපාලනයෙන් ඉහළට ඔසවා තැබීමට උපකාර කළේ ය. …. එසේම, ජාත්‍යන්තර විවරණ වැඩසටහන් ප්‍රධානත්වය දැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ සෞඛ්‍ය ඇමති ධුරය දැරූ සිවා ඔබේසේකර පත් කිරීමට මම ඇමති හා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් අවසර ලබාගත්තෙමි. …. ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වූ පවුල් සැලසුම් සංවිධානය වැනි සියලු රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලැබිණි. එවකට එහි නායකත්වය දැරුවේ දයා අබේවික්‍රමයි. ප්‍රජා සංවර්ධන සේවා නායකත්වය දැරුවේ බ්‍රිගේඩියර් ඩෙනිස් හපුගලයි.

රජයේ මුද්‍රණාලයේ ලියුම් කවරවල ‘පුංචි පවුල රත්තරං’, ‘අපි දෙන්නයි දරු දෙන්නයි’ වැනි පාඨ මුද්‍රණය කරගැනීමට ඔහු මට උපකාර කළ අන්දම මට තවම මතක ය. ඒවා එතරම් ම සිත් ඇදගන්නාසුළු පාඨ විය. ඒවා මා හට සපයනු ලැබුවේ ආචාර්ය අමුණුගම විසිනි.”

මෙම පවුල් සැලසුම් ප්‍රතිපත්තියට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පමණක් නොව සියලු ම දේශපාලනඥයන්ගේ හා බොහෝ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ද සහයෝගය ලැබිණි.

කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ, පූජකවරුන්, විද්‍යාර්ථීන්, දේශපාලනඥයන්, කලාකරුවන් සහ වෙනත් බොහෝ අය විසින් පවුල් සැලසුම් වැඩසටහන පිළිබඳ බලවත් අතෘප්තිය පළ කර තිබේ. 1970 දශකයේ ප්‍රවර්ධනය කරන ලද ‘පුංචි පවුල රත්තරන්’ සංකල්පය සිංහල කාන්තාවන්ගේ සාඵල්‍යතාව අඩුකිරීමට හේතු වූ බවට නිතර චෝදනා එල්ල කරනු ලැබේ. පවුල් සැලසුම් වැඩසටහන බටහිර සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් බෞද්ධ රටක සිංහල බෞද්ධ ජනගහනය අවම කිරීම ප්‍රවර්ධනය කරන ලද කුමන්ත්‍රණයක් ලෙස ප්‍රධාන පෙළේ පුද්ගලයන් විසින් නිතරම හෙළා දකිනු ලැබේ.

මෑත ඉතිහාසයේදී, මෙම ප්‍රතිපත්තිය පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් සාපයක් ලෙස දක්වන ලදී. බෞද්ධ තරුණයන් අතර ජනප්‍රිය දේශකයකු වූ උන් වහන්සේ “අවුරුදු 50කින් සිංහල ජනගහනය අතුරුදහන් වනු ඇත. අවුරුදු 40කින් සිංහල ජනගහනය සහ මුස්ලිම් ජනගහනය සමාන වනු ඇත. ඔබේ දරුවා වැඩෙන විට රැකියාවක් ලබාගැනීම සඳහා ආගම හා නම මාරු කිරීමට සිදුවනු ඇත,” ආදී මිථ්‍යා අදහස් පතුරුවන ලදී. මෙම දේශනාව කරනු ලැබුවේ මීට අවුරුදු 15කට පෙරයි. ඒ අනුව තවත් අවුරුදු 25කින් සිංහල සහ මුස්ලිම් ජනගහනයන් සමාන වනු ඇතැයි සැලකීම හාස්‍යජනක ය.

මෑතදී හිටපු ජනාධිපතිවරයකු හා මුදල් ඇමතිවරයකු සිය අදහස් ප්‍රකාශ කළේ මෙසේ ය: “ඉස්සර අපේ පවුල්වල ළමයින් අටක්, නවයක් හිටියා. දැන් ඉන්නේ එක්කෙනයි, දෙන්නයි, වැඩි ම වුණොත් තුන්දෙනයි. අපේ ජාතිය වඳ වී යමින් තිබෙනවා. මා දැකල තියෙන විදියට, එක පැත්තකින් ජීවන තත්වය භයානක වෙද්දි, ආණ්ඩුව අපේ ජනගහනයත් අවම කිරීමට කුමන්ත්‍රණය කරනවා.”

ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් සංගීතඥයකු, ගායකයකු, ගීත රචකයකු සහ සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු පවුල් සැලසුම් වැඩසටහන පිළිබඳ සිය බලවත් අතෘප්තිය පළ කළේ ය. එමගින් රට පුරා ප්‍රේක්ෂකයන්ගේ මනස තුළ පවුල් සැලසුම් වැඩසටහන පිළිබඳ ඍණාත්මක බලපෑමක් නිර්මාණය වන්නට ඇත. හේතුව ඔහු ජනප්‍රිය පෞරුෂයක් වීමයි. සිව් වසරකට පෙර බණ්ඩාරගම පවුල් සැලසුම් සායනයට පහර දීම බොහෝ කාන්තාවන්ගේ මානව හිමිකම් ප්‍රචණ්ඩ ලෙස උල්ලංඝනය කිරීමට නිදසුනකි. එම ප්‍රහාරයට නායකත්වය දුන්නේ භික්ෂුවක විසිනි. ඔහු ඒ සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුමෙන් සහභාගි වීමට බල කළේ ය. එය ආක්‍රමණශීලී විරෝධයක් වූ අතර රෝහලේ වෛද්‍යවරුන්ට 34වන වියේ සිටි තෝරාගත් කාන්තාවන් 40ක් සඳහා පවුල් සැලසුම් කාර්යයන් අතහැරදැමීමට සිදු විය. භික්ෂුවගේ තර්කය වූයේ එමගින් සිංහල ජනගහනය තවත් වැඩි වනු ඇති බවයි. රජයේ ආයතනයකට කඩාවැදී එහි කටයුතුවලට බාධා කිරීම සහ කාර්යමණ්ඩලයට හිංසා කිරීම සම්බන්ධයෙන් භික්ෂුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

පුදුමයට මෙන්, නැවතත් 2018 ඔක්තෝබර් 22දා ජාතික හෙළ උරුමයේ හිටපු නායක සහ දකුණු පළාතේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි මාතර රැළියක් අමතමින් අලුත් දත්ත ඉදිරිපත් කළේ ය.

ඔහු පැවසූ පරිදි සිංහල ජනගහනය පසුගිය අවුරුදු 15 තුළ 78% සිට වර්තමාන මට්ටම වන 60%ට අඩු විය. එය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලද සංඛ්‍යාතිවලට පටහැණි ය. එයට අනුව, සිංහල ජනගහනය සමස්ත ජනගහනයෙන් 75%කි. (2 වගුව බලන්න)

ඕමල්පේ සෝභිත හිමියන් පවසන පරිදි, පසුගිය අවුරුදු හයක කාලය තුළ සිංහල ජනගහනයේ 15%ක අඩුවීමක් තිබේ. එය සිදුවිය නොහැක්කකි.

1982 සිට 2012 දක්වා පසුගිය වසර 31 තුළදී සිංහල ළමයින්ගේ උපත් ලක්ෂ 40ක අඩුවක් තිබේ. පසුගිය වසර 25ක් තුළ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, සිංහල දරු උපත් සංඛ්‍යාව ලක්ෂ 70ක් පමණ වේ. (2 ප්‍රස්ථාරය බලන්න) එම නිසා, ඔහුගේ ප්‍රකාශය පිළිගත නොහැකි ය.

කණගාටුවට කරුණ වන්නේ ගෞරවනීය තනතුරු දරන පුද්ගලයන් විසින් විශ්වාසවන්ත සාක්ෂි මත පදනම් නොවී මෙවැනි ප්‍රකාශ දිගින් දිගට ම කිරීමයි.

රසවත් කාරණයක් වන්නේ, භික්ෂූන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් සිදු කරන ලද මෙම කිසිදු විරෝධයක් හෝ ව්‍යාපාරයක් හේතුවන් සිංහල කාන්තාවන් අතර දරු උපත් අනුපාතිකය වර්ධනය නොවීමයි. ප්‍රතිඵල අත්පත් කරගැනීමට අසමත් වූ අන්තවාදීන් දැන් සිංහලයන්ගේ උපත් අනුපාතිකය ඉහළ නැංවීම පමණක් නොව මුස්ලිම්වරුන්ගේ ආර්ථික පදනම්වලට පහරදීම ද ප්‍රවර්ධනය කරති. මෙම අන්තවාදීන් විසින් පතුරුවා හරිනු ලබන තවත් හාස්‍යජනක ප්‍රචාරයක් වන්නේ මුස්ලිම්වරුන් තම ජනගහනය ප්‍රසාරණය කරනවාට අමතරව කූට ක්‍රම මගින් සිංහල ජනගහනය අඩුකිරීමට ද කටයුතු කරමින් සිටින බවයි. සිංහල කාන්තාවන්ට මුස්ලිම් ඇඳුම් සාප්පුවලින් ඇඳුම් මිළදී නොගන්නැයි ද එම ඇඳුම් මගින් කාන්තාවන් වඳභාවයට පත් විය හැකි බව ද ප්‍රචාරය කරනු ලැබේ. මුස්ලිම් භෝජනහල්වලදී ආහාරවලට වඳබෙහෙත් එකතු කරන බවට ද ප්‍රචාරයක් යවන ලදී. නිසරුභාවය ඇති කරන එවැනි බෙහෙත් ආහාර හා ඇඳුම් මගින් මිනිසුන්ට ලබාදිය නොහැකි බව පෙන්වා දීමට ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්ට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නිවේදනයක් නිකුත් කිරීමට සිදු විය . එසේ තිබියදීත්, ආගමික ධුරාවලියේ ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් විසින් පවා තවමත් මෙම වඳබෙහෙත් කතාව පතුරුවාහරිනු දැකිය හැකි ය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ශාෆි විසින් සිංහල කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කිරීම පිළිබඳ කතාව කුමන්ත්‍රණකාරී පාර්ශ්ව විසින් ඉදිරියට ගෙන එන ලද නාටකීය ජවනිකාවක් වූ අතර ඒ හේතුවෙන් මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වූ හ. මෙහි සිදු වූ වඩාත් ම ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රියාව වන්නේ අදාළ බලධාරීන්ට ස්වාධීන විමර්ශන සිදු කර සත්‍යය හෙළිදරව් කිරීමට අවස්ථාව නොදීමයි.

මෙම ද්වේෂ සහගත මිථ්‍යාවන් නිර්මාණය කරන්නේ සහ රට පුරා පතුරුවා හරින්නේ වාර්ගික සමගිය යටපත් කිරීමේ සහ තවත් ප්‍රචණ්ඩත්ව රැල්ලක් ඇති කිරීමේ අරමුණෙනි. එමගින් කූට දේශපාලනඥයන්ට හා රට අනතුරේ හෙළා තම අරමුණු ඉටු කරගැනීමට කටයුතු කරන අයට වාසි සැලසේ. මෙම ප්‍රචාරණයේ අරමුණ වන්නේ පසර 15කින් වයස අවුරුදු 8ට අඩු මුස්ලිම් ළමයින් ශ්‍රී ලංකාවේ ජාතික ජනගහනයෙන් 52%ක් වන බව පවසා භීතිකාවක් ඇති කිරීමයි. එමගින් සිංහල කාන්තාවන් උපත් පාලනයෙන් ඈත් කරගැනීමට ද දුර්වල උත්සාහයක් දරනු ලැබේ. උපත් පාලනය කාන්තාවන්ගේ මානව හිමිකමකි.

තුන්වන මිථ්‍යාව – 1951දී 51%ක් වූ කොළඹ සිංහල ජනගහනය 10%ට අඩු වී ඇත

කොළඹ සිංහල ජනගහනය 10%ක් බවට සාක්ෂි නැත. කෙසේ වෙතත්, මාධ්‍ය විසින් ද මෙම ප්‍රකාශයට මුල් තැනක් දෙන ලදී. එබැවින් එය වැඩිදුරටත් විමර්ශනය කළ යුතු ය. 2018 පෙබරවාරි 26දා මව්බිම පුවත්පත මේ පිළිබඳ සම්පූර්ණ පිටුවක ලිපියක් පළ කළේ ය. එම පුවත්පතට අනුව එම ප්‍රකාශය කරනු ලැබුවේ ප්‍රධාන පෙළේ භික්ෂුවක විසින් පෙරපාසල් පුහුණුව ලැබූ ගුරුවරියන්ට ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයකදී ය. මෙම පණිවුඩයේ යටි අරමුණ ලෙස පෙනෙන්නේ මුස්ලිම්වරුන් රටේ හදවතේ පාලකයන් ලෙස නිරූපණය කර බහුතර ප්‍රජාව අතර භීතිකාවක් නිර්මාණය කිරීමයි.

2011 වසරේ ජනගහන සංගණනය අනුව, කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සිංහල ජනගහනය 37%කි. එය මහ නගර සභා බල ප්‍රදේශයේ ජනවාර්ගික ප්‍රතිශතයන් අතරින් ඉහළ ම ප්‍රතිශතයයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ලියාපදිංචි මුස්ලිම් හා දෙමළ ප්‍රජාවන් 30%ක් පමණ වේ. පහත දැක්වෙන 8වන වගුව බලන්න.

සිංහල ජනගහනය වසර පහක් හෝ හයක් ඇතුළත 37% සිට 10% දක්වා අවම කිරීම නොකළ හැක්කකි.

6 වගුව: කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ජනවර්ගය අනුව ජනගහනය

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කෙසේ වෙතත්, වැදගත් පර්යේෂණයකට මෙමගින් දොරගුලු විවර වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පමණක් ගතහොත්, මුස්ලිම් ජනගහනය එහි විශාලතම ජන ප්‍රජාවයි. ඔවුන් 41%ක් වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිංහල ජනගහනය 25%කි. එය ශ්‍රී ලාංකික දෙමළ ජන ප්‍රතිශතයට ද වඩා අඩු ය. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුළපන, බොරැල්ල, දෙමටගොඩ, නාරාහේන්පිට ආදිය අයත් වන්නේ නැත. ඒවා අයත් වන්නේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. එහෙත්, මේ දෙක ම කොළඹ මහනගර සභා බල ප්‍රදේශය ලෙස සැලකේ.

7 වගුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය ජනවර්ගය අනුව  2001 2011 වෙනස 

ජනවර්ගය  ජනගහනය %   ජනගහනය %
සිංහල 1231,794 32% 80,734 25% -41,600
ශ්‍රී ලාංකික දෙමළ 117,340 31% 100,570 31% -16,770
ඉන්දීය දෙමළ 7,504 2% 6,259 2% -1,245
ශ්‍රී ලාංකික මුස්ලිම් 127,374 33% 133,179 41% 5,805
බර්ගර් 2,786 1% 1,388 % -1,398
වෙනත් 4,148 1% 1,127 % -3,021
එකතුව 380,946 100% 323,257 100% -57,689
මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ සිංහල ජනගහනයේ අඩුවක් සිදුවීම පුදුම විය යුතු තත්වයක් නොවේ. 2001 වසරේ සිට දස වසරක් තුළ කොළඹ මහනගර බල ප්‍රදේශයේ ජනගහනය 642,000 සිට 561,000 දක්වා අඩු විය. අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ 2011 සංගණනයේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන ලද ගණන්ගැනීමේ ක්‍රමවේදයයි. 2001 වසරේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ දත්ත 2011 ජන සංගණන දත්ත සමග අනුකූල වන පරිදි ගලපා නැත. එනමුත් තවමත් ඔප්පු වන පරිදි කොළඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයෙහි මුස්ලිම් ජනගහනය වැඩි ය. පසුගිය ජන සංගණන දෙක අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයෙහි ජනගහනය අඩු වීම 60,000කට ආසන්න ය. මෙම කාලය තුළ සිංහලයන් 40,000ක් පමණ තම පදිංචිය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බැහැරට වෙනස් කළ අතර, මුස්ලිම් 6000ක් පමණ කොළඹ නගරය තුළට පදිංචියට පැමිණිය හ. සාමාන්‍යයෙන් ගත් කල සිංහලයන් 4‍,100ක් වාර්ෂිකව කොළඹින් බැහැර වූ අතර මුස්ලිම් 580ක් නගරයට පැමිණිය හ. එයින් ඒත්තු යන්නේ කොළඹ නගරයට දැවැන්ත මුස්ලිම් ආගමනයක් සිදු නොවන බවයි. කොළඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයෙහි ජීවත් වන ජනගහනය අඩු වෙමින් තිබේ. ප්‍රතිශතයක් ලෙස සිංහල ජනගහනය අඩු වන්නේ මුස්ලිම් ජනගහනය විශාල වශයෙන් නගරය තුළට සංක්‍රමණය වන නිසා නොවේ. සිංහලයන් වඩා හොඳ ජීවන ගුණයක් සොයා තදබද වූ නාගරික ප්‍රදේශවලින් පිටතට සංක්‍රමණය වන බව පෙනේ. එසේම, ගණන් තැබීමේ ක්‍රමය de facto ක්‍රමයේ සිට dejure ක්‍රමයට මාරු වීම ද සංඛ්‍යා වෙනස්කම්වලට හේතු විය.

කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය පිළිබඳ කිසිදු පූර්ව සංකල්පයක් නොමැතිව, ඓතිහාසික තොරතුරු භාවිතා කරමින් ජනවිකාස වෙනස්කම් විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය ය. ඓතිහාසිකව ම කොළඹ යනු ඉහළ ජනගහනයක් සිටින නගරයකි. එහි ජන ඝනත්වය ලෝකයේ වෙනත් එවැනි නගරවලට වඩා වැඩි ය.

පහත උපුටාගැනීම කරනු ලබන්නේ කොළඹ මහනගර සභාවට සියවසක් (1865 – 1965) පිරීම නිමිත්තෙන් නිකුත් කරන ලද “The Colombo MC Centenary volume 1865-1965” සමරු ප්‍රකාශනයෙනි:

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. කන්නන්ගර මහත්මිය Demographic Study of the City of Colombo නම් සිය රසවත් සහ සාරවත් විශ්ලේෂණයෙහි පෙන්වා දෙන පරිදි කොළඹ නගරය 1953දී රටේ සෙසු ප්‍රදේශ මෙන් 95ගුණයක ජන ඝනත්වයකින් යුක්ත ය. එහි ජන ඝනත්වය ලන්ඩන්, නිව්යෝක්, මොන්ට්‍රියල්, බර්මින්හැම් සහ ලිවර්පූල්වලට වඩා වැඩි ය.”

එම ලේඛනයෙහි ම සඳහන් වන ආකාරයට 1963දී කොළඹ ජනගහනය 511,644කි. සන්සන්දනාත්මකව බැලූ කල 2011 කොළඹ ජනගහනය ද එම මට්ටමේ ම ය.

1921 සහ 1963 වසරවලදී කොළඹ නගරයේ සිංහල ජනගහනය පිළිවෙලින් 46.9% සහ 51.1% විය. මුස්ලිම් ජනගහනය 18.6% සහ 21.0% විය. සිංහල ප්‍රජාවේ ප්‍රතිශත වැඩිවීම සමස්තය 4.2%කි. මුස්ලිම් ජනයා සඳහා 2.4%කි. එම වකවානුවේදී සිංහලයන් කොළඹ නගරයේ පදිංචියට පැමිණීම මුස්ලිම් ජනයා මෙන් දෙගුණයක් විය. වර්තමාන ප්‍රවණතාව එහි අනෙක් පැත්තයි. සිංහලයන් ඉහළ අනුපාතිකයකින් කොළඹ නගරයෙන් ඉවත් වෙමින් තිබේ. මුස්ලිම් ජනයා ද එම ක්‍රියාමාර්ගය ම අනුගමනය කිරීමට ඉඩ තිබේ. දැනටමත්, සිංහල සහ මුස්ලිම් ජනයා පිටකොටුව සහ කොටුව ප්‍රදේශවලින් ඉවත් වෙමින් තිබේ. මෙය ලොව බොහෝ අගනාගරික ප්‍රදේශවල ප්‍රවණතාවකි. කොළඹ නගරයේ පදිංචි ජනගහනය තවදුරටත් අඩු වේ නම් පුදුම විය යුතු නැත.

කෙසේ වෙතත්, කොළඹ නගරයේ ක්‍රියාකාරකම් අඩු වෙමින් ඇති බවක් මෙයින් අදහස් වන්නේ නැත. සිදුවෙමින් තිබෙන්නේ පෞද්ගලික නිවාස වෙනුවට වානිජ ගොඩනැගිලි, හෝටල් සහ වියදම් අධික කොන්ඩොමිනියම් ඉදිවීමයි. ඒ හා සමානව, අලුත් ව්‍යාපාරික ආයතන ද මතු වේ. ඒ සමග තවත් ඇතැම් ව්‍යාපාර වැඩි ලාභාපේක්ෂාවෙන් කොළඹින් පිටතට යති. වැඩි කලක් යන්නට පෙර කොළඹ මහා පරිමාණ වෙළඳ, වානිජ, මුල්‍ය සහ බැංකු මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ලකුණු තිබේ.

මෙම සංවර්ධනයන් හේතුවෙන් කොළඹ නගර මධ්‍යයේ දේපල හිමි මහජනයාට ඒවා විස්මිත මිළකට විකුණා ඉහළ ධනයක් උපයාගෙන කොළඹින් පිටත වඩා හොඳ ජීවිතයක් අත්පත් කරගැනීමට අවස්ථාව ලැබී තිබේ. සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනයා මෙන් නොව, සිංහල ජනයාට කොළඹින් බැහැර ප්‍රදේශවලට නිදහසේ පදිංචිය මාරු කළ හැකි ය. එබැවින් ඔවුන් එම අවස්ථාව ලබාගෙන වහා කොළඹින් පිටතට පදිංචිය මාරු කරති.

කොළඹ මුස්ලිම් ජනගහනය ඓතිහාසිකව ම වෙළඳ ප්‍රජාවකි. වර්තමානයේදී ඔවුන් වැඩි දෙනෙකු සුළු වෙළඳුන් බව පෙනේ. ඔවුන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇතැම් කොට්ඨාසවලට සංකේන්ද්‍රණය වී තිබේ. මෙම වෙළඳ ප්‍රජාවට පදික වේදිකා වෙළඳුන්, සුළු වෙළඳුන්, වීදි ආහාර වෙළඳුන් ආදිය අයත් වේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ජීවත් වන්නේ දැඩි ලෙස තදබද ප්‍රදේශවල ය. එබැවින්, කොළඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙහි මුස්ලිම් ජන ඝනත්වය අධික ය.

මුස්ලිම් ජනයා විශාල ප්‍රමාණයක් ජීවත් වන්නේ අධික ජනගහනයක් ඇති පැල්පත් නිවාස ප්‍රදේශවල ය. ඒවායේ බොහෝ විට ප්‍රමාණවත් තරමින් වැසිකිළි වැනි පහසුකම් නැත. එබැවින්, එතරම් දරිද්‍රතාවක ජීවත් වන ජනගහනයකට ඔවුන් කොළඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බහුතරය වුවත් ඉරිසියා කරන්නට දෙයක් නැත. පහළ මට්ටමේදී කොළඹ නගරය පවත්වාගෙන යන්නේ මෙම ප්‍රදේශවල ජීවත් වන සිංහල සහ මුස්ලිම් ජනයා ය. ධනවත් මුස්ලිම් සහ සිංහල කොටස් එවැනි තදබදයක ජීවත් වන්නට කැමති නැත. ජනවාර්ගිකත්වය කුමක් වුවත්, ඔවුහු තමන්ට සුවපහසුවෙන් ජීවත් විය හැකි ප්‍රදේශ වෙත පදිංචිය වෙනස් කරති.

මෙම වානිජකරණ ප්‍රවණතාව කොළඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයට පමණක් සීමා වී නැත. කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින මෙය කෝට්ටේ සහ තිඹිරිගස්යාය වැනි වෙනත් කොට්ඨාසවල ද සිදුවෙමින් තිබේ. ගොඩනැගිලි ඉදිවීමේ වේගය සහ ප්‍රධාන වීදි අද්දර සහ ඇතුළු ප්‍රදේශවල වානිජ කටයුතු වැඩි වීම ද මෙම ප්‍රදේශවල පැහැදිලිව දැකිය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහත කොට්ඨාස දෙකෙන් ද සිංහල ජනයා කොළඹ දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම සිදු වේ. කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනයා වැඩිපුර පදිංචියට යාම දකින්නට ලැබෙන්නේ කොලොන්නාව, ඔබේසේකරපුර සහ වෙනත් උප නාගරික ප්‍රදේශවල ය. ඒවායේ ඉඩම් මිළ සාපේක්ෂ වශයෙන් අඩු ය.

කොළඹ දිස්ත්‍රික්කයේ දැඩි ගෘහස්ථ සංක්‍රමණයක් ද සිදුවෙමින් පවතී. වර්තමානයේදී කොළඹට බැහැරින් පැමිණෙන අයට අධික ඉඩම් මිළ නිසා කොළඹ නගරය ආසන්නයෙහි පදිංචි විය නොහැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනගහනය කොළඹ දිස්ත්‍රික්කයේ උප නාගරික සහ අර්ධ ග්‍රාමීය ප්‍රදේශ වන හෝමාගම, කැස්බෑව, හංවැල්ල සහ කඩුවෙල වැනි ප්‍රදේශ වෙත සංක්‍රමණය වනු දැකිය හැකි ය. එම ප්‍රදේශවල ඉඩම් මිළ සාපේක්ෂව අඩු ය. දශක කීපයක් පැවති වාර්ගික ගැටුම් හේතුවෙන් දෙමළ ජාතිකයන්ට සුරක්ෂිතව පදිංචි විය හැකි ප්‍රදේශ සීමිත වීම නිසා ඔවුන්ගේ සංක්‍රමණය සීමා වී තිබේ. අතීතයේදී මුස්ලිම්වරුන්ට තම පදිංචිය තෝරාගැනීම සඳහා වඩා හොඳ අවස්ථාවක් තිබිණි. එහෙත්, පසුගිය වසර හය හතක සිට, මුස්ලිම් විරෝධී ව්‍යාපාර මැඩලීමට බලධාරීන් ක්‍රියා නොකිරීම හේතුවෙන් සහ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් නොදන්නා ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමේ ඔවුන්ගේ විශ්වාසය පළුදු වී තිබේ.

මුස්ලිම් ජනයා ද සෙසු ජනවාර්ගික කණ්ඩායම් මෙන් ම තම දරුවන්ට හැකි හොඳම අධ්‍යාපනය ලබා දීමටත් ඔවුන්ගේ යහපැවැත්ම වර්ධනය කරගැනීමටත් වැඩි වැඩියෙන් උනන්දු වෙති. එබැවින්, මුස්ලිම් නාගරික සංක්‍රමණය දිගට ම පවතිනු ඇත. එහෙත්, ඔවුන් ජීවත් වීම සඳහා වඩා සුරක්ෂිත ස්ථාන සොයනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ, වෙනත් බොහෝ රටවල මෙන්, එහි ආගමික නැඹුරුව වැඩිවීමයි. එය රටේ සියලු ආගමික කණ්ඩායම් අතර දැකිය හැකි ලක්ෂණයකි. කෙසේ වෙතත්, ආගම දෙසට තිබෙන මෙම නැඹුරුව සාධනීය ලක්ෂණයක් ලෙස ඔප්පු වී නැත. එහි වෙනත් ආගම් හා ප්‍රජාවන් දෙසට වෛරය යොමුකිරීමේ ප්‍රවණතාවක් තිබේ. ආගමික නායකත්වය, අධ්‍යාපනික ව්‍යූහයන්, දේශපාලනඥයන් සහ බුද්ධිමතුන් ප්‍රජාවන් අතර ඒකාබද්ධතාව ඇතිකිරීමට අසමත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස තරුණ පරපුර වැඩෙන්නේ වෙනත් ප්‍රජාවන් සැක කිරීම සහ ඔවුන්ට වෛර කිරීම සාමාන්‍ය ලක්ෂණයක් වන පරිසරයක ය. ආගමික නායකත්වය, සාමකාමී සහජීවනය පිළිබඳ පණිවුඩ සන්නිවේදනය කරනවා වෙනුවට, වැඩි වැඩියෙන් යොමුවන්නේ අනුගාමිකයන් පොළඹවන විශාල සහ ආකර්ශනීය ගොඩනැගිලි, සංකේත ආදිය නිර්මාණය කරගැනීමට ය. ඒ අතර ඔවුන් විසින් ප්‍රජාවන් අතර තරගකාරිත්වයන් ද ප්‍රවර්ධනය කෙරේ. දේශපාලන අවස්ථාවාදය, සදාචාර විරෝධී ජනමාධ්‍ය චර්යා සහ ප්‍රකෝපකාරී සමාජ මාධ්‍ය ප්‍රචාර එක් වී වාර්ගික ගැටුම්වල ගිනි දළු අවුළුවනු ලැබේ.

මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ආගමික නායකත්වයේ කාර්යය වන්නේ පූජකවරුන් වෛරය ප්‍රචාරය කිරීම වැළැක්වීමයි. වැරදි කරන්නන්ගේ තත්වය හෝ ආගම් හෝ නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. දෙපාර්ශ්වයේ ම මධ්‍යස්ථ මතධාරීන් නිසි ස්ථාවරයක පිහිටා මෙම වෛරී ප්‍රචාරවලට එරෙහිව කටයුතු කිරීම ද ඉතා වැදගත් ය.

මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) විසින් කරන ලද නිතර උපුටාගනු ලබන ප්‍රකාශයකින් මෙම රචනාව අවසන් කරමි. “මෙම සමාජ පරිවර්තනීය යුගයේ දරුණුම ඛේදවාචකය වන්නේ නරක මිනිසුන්ගේ කර්කශ කෑමොරදීම නොව, හොඳ මිනිසුන්ගේ අශෝභන නිහැඬියාව බව වාර්තා කිරීමට ඉතිහාසයට සිදු වනු ඇත.”

නැපෝලියන් බොනපාට් ද සමාන ප්‍රකාශයක් සිදු කළේ ය: “ලෝකය බෙහෙවින් පීඩා විඳියි. ඒ නරක මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය නිසා නොවේ. හොඳ මිනිසුන්ගේ නිහැඬියාව නිසා ය.”

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...