Sunday, October 25, 2020

ලෝක ළමා දිනය සහ ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරියේ මර නින්ද

2011 දී ලැබී ඇති පැමිණිලි 3,249ක් විසඳා නැත. 2012 දී ලැබුණු පැමිණිලි 2,812ක් විසඳා නැත. 2013දී ලැබුණු පැමිණිලි 5,504ක් විසඳා නැත. 2015දී ලැබුණු පැමිණිලි 5,783ක් විසඳා නැත. ඒ සියල්ල අවුරුදු පහක් හෝ ඊට වැඩි පැමිණිලිය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ළමා අපචාර, අපයෝජන ආදිය පිළිබඳ මහජන උනන්දුව ඉහළ ගොස් ඇති බව පෙනේ. ඒ නිසාම ළමා ආරක්ෂක අධිකාරිය පිළිබඳ උනන්දුවද ඉහළ ගොස් ඇත. ළමා ආරක්ෂක අධිකාරිය නිදිද? යන පැනය විවිධ පුද්ගලයන් විමසන අයුරු දකින්නට ලැබේ. පසුගිය සතියක නිකුත් වූ විශේෂ විගණකාධිපති වාර්තාවක් පිරික්සා බැලූ කල අවබෝධ වෙන්නේ ළමා ආරක්ෂක අධිකාරිය නින්දේ සිටින බව පමණක් නොවේ. මර නින්දක සිටින බවය.

ළමා ආරක්ෂක අධිකාරිය යනු අධිවේගයෙන් ක්‍රියාත්මක විය යුතු ආයතනයකි. හිංසනයට, අපයෝජනයට ලක් වූ දරුවෙකු නැවත නැවතත් අඳුරු මතකයන් සිහිපත් කරමින් වසර ගණන් තිස්සේ ඇදෙන නඩුවලට මුහුණදීම භයානක තත්වයකි. ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි මත පදනම් වූ නඩු සඳහා වෙනම අධිකරණ ක්‍රියාවලියක් ඇති කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත්තේද ඒ නිසාය.

[title]වාර්තාවේ පසුබිම[/title]

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පසුබිම එම වාර්තාවෙහි සඳහන් කර ඇත. වර්තමාන සමාජය තුළ සිදුවන ළමා අපයෝජනයන් සාපේක්ෂව දිනෙන් දින ඉහළ යන බවට මාධ්‍ය වාර්තා තුළින් අනාවරණ කිරීමත්, ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යාම හා ඊට සාපේක්ෂ පැමිණිලි විසඳීමට ගනු ලබන  ක්‍රියාමාර්ගවල දුර්වල ත්තවයක් පවතින බව නිරීක්ෂණය වීමත් බව ඒ අනුව සඳහන්ය.

ළමා අපයෝජන වැළැක්වීමත්, එවැනි අපයෝජනවලට ගොදුරු වූ ළමුන්  ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් සකස් කිරීමත් අධිකාරිය පිහිටුවීමේ අරමුණ වූ බවත් වසර 20කට පසුව එය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අධිකාරිය අපොහොසත් බව නිරීක්ෂණය වූ බවත් වාර්තාව ඉදිරිපත් කිරීමට පසුබිම ලෙස දක්වා ඇත.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම වන ළමා අපයෝජන සිදුවීම වැළැක්වීම මෙන්ම, සිදුවූ අපයෝජනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යන මූලික වගකීම් දෙකම එම දෙපාර්තමේන්තුව පැහැර හැර ඇත.

[title]පැමිණිලි 48,361ක්[/title]

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් අංශය වෙත 2010 සිට 2019 ජුනි මාසය දක්වා පැමිණිලි 48,361 ක් ලැබී තිබුණ අතර, ඉන් පැමිණිලි 413 ක පමණක් විමර්ශන අවසන් කර මහාධිකරණය වෙත අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපති වෙත යොමු කර තිබුණි. එලෙස නීතිපති වෙත යොමු කරන ලද ගොනු අතරින් 185 ක් සදහා මහාධිකරණයේ නඩු පවරා ඇත. ඒ අනුව ක්ෂණිකව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත්තේ පැමිණිලි අතරින් සීයට 1ක් පමණි. යැවූ ඒවා අතරින් අඩක්වත් මහාධිකරණයේ නඩු පැවරීමට යොමු කර නැත.

අප පෙර සඳහන් කළේ ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් අංශයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාවය. 1919 දූරකථන අංකය, ළමා ආරක්ෂක අධිකාරියේ දූරකථන අංක හා අනෙකුත් ක්‍රමවේදත් ඇතුළත්ව 2011 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ වර්ෂ 09 ක කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි 79,259 ක් විය. එම පැමිණිලි අතරින් 42,075ක් තවම විසඳා නැත.

ඒ අතර 2011 දී ලැබී ඇති පැමිණිලි 3,249ක් විසඳා නැත. 2012 දී ලැබුණු පැමිණිලි 2,812ක් විසඳා නැත. 2013දී ලැබුණු පැමිණිලි 5,504ක් විසඳා නැත. 2015දී ලැබුණු පැමිණිලි 5,783ක් විසඳා නැත. ඒ සියල්ල අවුරුදු පහක් හෝ ඊට වැඩි පැමිණිලිය.

2011 දී වයස අවුරුදු 12ක දරුවෙකුට සිදුවූ අපයෝජනයක් ගැන පැමිණිල්ලක් කළායැයි සිතමු. දැන් ඒ දරුවාගේ වයස අවුරුදු 21කි. ඒ අනුව පැමිණිලි ප්‍රමාද කිරීම ලෙහෙසි පහසු තත්වයක් නොවන බව පැහැදිලිය.

මෙම පැමිණිලි විභාග නොවීමට හේතු කිහිපයක් නියැදි පරීක්ෂා ඇසුරින් විගණකාධිපති දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇත. ඒ අතරින් එක් ප්‍රධාන හේතුවක් වන්නේ නිලධාරීන්ට ලැබෙන ප්‍රවාහන දීමනා ප්‍රමාණවත් නොවීම නිසා ස්ථානීය පරීක්ෂණ සඳහා යොමු නොවීමය. ඊට අමතරව නිසි උපදෙස් නොලැබීම, තාක්ෂණික දැනුම නොතිබීම වැනි හේතු තිබී ඇත. එකම පැමිණිල්ල අංක දෙකක් යටතේ ලියාපදිංචි වීම වැනි තාක්ෂණික හේතුද ඇත.

2009 සිට 2019 සිට වර්ෂ 10 ක් තුළ නීතිපති වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සංඛ්‍යාවෙන් සීයට 55කට නඩු පවරා නොතිබුණු බවත් විගණනයේදී නිරීක්ෂණය වී ඇත. ඒ අනුව ඇතැම් සිදුවීම් නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවෙන බවත් පැහැදිලිය. එම නිසා විගණන වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ ළමයා වැඩිහිටියෙකු වීමට පෙර නඩු අවසන් කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය ක්‍රමවේදයක් සැකසිය යුතු බවය. නඩු ගොනුව යවා අත පිසදාගැනීමේ හැකියාවක් අධිකාරියට නැත.

[title]ප්‍රතිපත්තියක් නෑ[/title]

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව කාලයක් තිස්සේ තිබී ඇති යෝජනාවක් වන අතර, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස නිර්දේශ කර ඇත.

2009 වර්ෂයේදී සකස් කිරීම ආරම්භ කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීම වසර ගණනක් තිස්සේ ප්‍රමාද වී ඇත. ආණ්ඩු වෙනස්වීම්, අමාත්‍යවරුන් වෙනස්වීම් සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරු වෙනස්වීම් සමඟ පෙර පරිපාලනය සකස් කළ ප්‍රතිපත්තිය අත්හැර මුල සිට අලුත් ප්‍රතිපත්තියක් සකස් කළ අවස්ථා කිහිපයක් ඇත. ඒ අනුව 2017 දී පස්වැනි වතාවටත් ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇත. එය 2019 ඔක්තෝබර් 29 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ලක් කර ඇත. එහෙත් 2019 නොවැම්බර් මාසයේදී ආණ්ඩුව වෙනස් විය. නව ආණ්ඩුව පෙර ප්‍රතිපත්තිය පිළිගන්නවාද, එය ඉදිරියට ගෙනයනවාද, එය ප්‍රකාශයට පත්කරනවාද යන්න ගැටලුවකි. ඇතැම්විට නව ආණ්ඩුව නව ප්‍රතිපත්තියක් සකස් කරන්නට පටන්ගැනීමේ ඉඩක් ඇත.

[title]වැඩසටහන් කොට උඩ[/title]

ඊට අමතරව මෙම විගණකාධිපති වාර්තාවෙහි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ වැඩසටහන් කිහිපයක් ගැන සොයාබලා ඇත. පාසල්වල ළමා ආරක්ෂක කමිටු, ග්‍රාමීය මට්ටමෙන් ළමා අපයෝජන සිදුවීම් වැළැක්වීමේ වැඩසටහන් දියත් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම් ආදිය ගැන විස්තර ඇත. සමාජය තුළ ළමා අපයෝජන වැළැක්වීම සඳහා සමාජ අවබෝධය සකස් කිරීමේ වැඩසටහන් ඇත. ඒවාට වියදම් කර ඇතත්, එම වැඩසටහන් රටේ ළමා අපයෝජන අවම කරන තැනට පත් වී නැත. තවත් වැඩසටහන් ගණනාවක් අකාර්යක්ෂම සහ ඵලදායී නොවන තැනට පත්වී ඇත. බාල වයස් විවාහ වැඩි ප්‍රදේශ, මාපියන් විදේශගත වන අවස්ථා වැඩි ප්‍රදේශ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇති ප්‍රදේශ ආදි ලෙස විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රදේශ ඇතත්, ඒවායේ ක්‍රියාත්මක වීම් දුර්වලය. ජාතික දත්ත පද්ධතියක් සකස් කළ යුතු වුණත්, එයත් සිදුකර නැත.

[title]පටිගත කිරීම්[/title]

අසාර්ථක වැඩසටහන් සඳහා උදාහරණයක් ලෙස ළමා අපයෝජකයන්ට ගොදුරු වන වින්දිත ළමුන් හා අදාළ නඩු කටයුතුවල සාක්ෂිකරුවන් බවට පත්වන ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන් වින්දිතභාවයට පත්වීම අවම කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කරගනිමින් සාක්ෂි පටිගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණි. එලෙස සාක්ෂි පටිගත කිරීමට 2001 වර්ෂයේදී ළමා ආරක්ෂක අධිකාරිය තුළ පහසුකම් ඇති ස්ථාන දෙකක් පිහිටුවා ඇත. 2011 වර්ෂයේදී ගාල්ලේ කරාපිටිය අධිකරණ වෛද්‍ය පීඨයෙහි තවත් ස්ථානයක් ස්ථාපනය කර තිබුණි. එහෙත් පටිගත කිරීම් සඳහා සිට ඇත්තේ එක් නිලධාරියෙකු පමණි. එම නිලධාරියාම පටිගත කළ සාක්ෂි ගැන අධිකරණය ඉදිරියේ ප්‍රකාශ ලබාදීම සඳහා යා යුතු විය. සාක්ෂි පටිගත කරන්නට ඇති උපකරණ අබලන් වී ඇත. සම්මුඛ සාකච්ඡා මෙහෙය වීම සදහා පුහුණු නිලධාරීන් පොලිස් ස්ථානවල නොමැති වීමත් එය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී තිබුණි.

[title]සිසුන් ප්‍රවාහනය[/title]

පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී ළමා අපයෝජන වැඩි වශයෙන් සිදුවන බව කාලයක් තිස්සේ ඇති චෝදනාවකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පාසල් වෑන්රථ, බස්රථ ආදි ප්‍රවාහන කටයුතුවලදී අපයෝජන සිදුවූ බවට වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇත. ඒ නිසාම, ළමා අපයෝජන වැළැක්වීම සඳහා පාසල් සිසුන් ප්‍රවාහන සේවය විධිමත් කළ යුතු බව ළමා ආරක්ෂක අධිකාරිය හඳුනාගෙන තිබුණි. එම ප්‍රවාහන රථවල ප්‍රමිතිය පිළිබඳ නිර්ණායක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියම කර තිබුණි.

රථයක තිබිය යුතු ආසන සංඛ්‍යාව, ප්‍රවාහනය කළ හැකි ළමුන් සංඛ්‍යාව, ප්‍රමාණවත් වාතාශ්‍රය සහ ආලෝකය  සහිත වීම, රිය සහායිකාවක් අනිවාර්ය වීම, රියදුරු සහ රිය සහායිකාව අපරාධ පිළිබඳ ඉතිහාසයකින්  තොර වීම වැනි මූලික නිර්ණායක හඳුනාගෙන තිබුණි. එම නිර්ණායක මත පදනම් වූ නෛතික රාමුවක් සකස් කිරීම බලාපොරොත්තුව විය.

එම නිර්ණායක මත පදනම්ව පාසල් සිසුන් ප්‍රවාහන කිරීම සදහා සුදුසු වැඩපිළිවෙළක් සකසන ලෙසත්, එලෙස ගන්නා ලද ක්‍රියාමාර්ග ළමා ආරක්ෂක අධිකාරිය වෙත දන්වා සිටින ලෙසත් අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු  අමාත්‍යාංශයේ ලේකම් වෙත 2015  මාර්තු 26 දින ලිඛිතව දන්වා තිබුණි. ඉන්පසු වසර හතරක් තිස්සේ එම වැඩපිළිවෙළ පිළිබඳ කිසිදු විමසීමක් කර නැත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම මෙලෙස ලියුම් යවා බලා ඉඳීම නොව, විසඳුම් සකස් කිරීමය.■

අනිද්දා පුවත්පතිනි.

 

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...