Friday, December 4, 2020

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ ටිවිටර්යකිනි)

අසරණ වූ සැකකරුවෙකු ඔහු අත්අඩංගුවේ තබා ඇති පරිශ්‍රය තුළම තුච්ච හා ම්ලේච්ඡ ලෙස වධදීමේ ක්‍රමයන්ට භාජනය කරන අසික්කිත පොලිස් නිලධාරියෙකුගේ බියගුලු ක්‍රියාවක් තරම් මිනිස් හෘදය සාක්ෂියට කම්පනයක් නැත. පොලිසියේ පැත්තෙන් සිදුවන මෙවැනි ක්‍රියාවන් නීතියට අපහාසයක් බවට පත්වනවා පමණක් නොව නීතිය හා සාමය පවත්වා ගැනීමට පොලිසියට ඇති හැකියාව පිළිබඳ මහජනතාවගේ විශ්වාසය නැති වී යාමක් බවටද පත්වේ. පෙත්සම්කරු අනුකම්පාවක් ලැබිය යුතු නැති දරුණු ගණයේ අපරාධකරුවන්ගේ කල්ලියකට අයත් විය හැකිය. එසේ නමුත් ව්‍යවස්ථාමය සහතික කිරීම්වලට අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සැකැස්ම තුළ යම් අර්ථයක් හෝ වටිනාකමක් තිබීමට නම්, අපේ ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ආරක්ෂාව ඔහුට අහිමි නොකිරීම අත්‍යවශ්‍ය වේ.”

මේ වනාහී පසුගියදා ඝාතනය කරන ලද සමරසිංහ ආරච්චිලාගේ මධුශ් ලක්ෂිතෙගේ නීතිඥයා වූ චමින්ද අතුකොරළ විසින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවෙත ලියන ලද ලිපිය අවසන් කළ ජේදයයි.

එම උදෘතය ඔහු උපුටා ගන්නේ 1988 දක්වා මෙරට අවිනිසුරු වූ සුප්පයියා ශ්‍රවේන්ද්‍ර විසින් බිහිසුණු 1987 වසරෙහිදී පොලිස් වධ හිංසාවන්ට විරුද්ධව දෙන ලද තීන්දුවකිනි.

පොලිස් වධහිිංසා

එකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය පැවැතියේ සොරකමකට අත්අඩංඟුවට ගන්නා ලද අමල් සුදත් සිල්වා නම් පුද්ගලයකු, පොලීසිය තමා දින පහක් රඳවා තබාගෙන වධහිංසා දුන් බවට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙනි. තමාට පොලීසිය සිය දෑත් ළනුවක ගැටගසා බාල්කයක එල්ලා බැටන් පොලුවලින් පහර දුන් බවටත් සිය ශිෂ්නය මේස ලාච්චුවකට දමා වැසීම නිසා තැලී පොඩිවී ගිය බවටත් බීමට වතුර ඉල්ලූ විට මිරිස්කුඩු දැමු ජලය පෙවූ බවටත් යනාදී වශයෙන් චෝදනා කර තිබුණි.

ශ්‍රී ලංකාවේ පොලීසි තුල මෙවැනි තුච්ච වධහිංසා පැමිනවීම් නිතිපතා සිදු වන බව අප සෑම දෙනාම දන්නා නමුත්, අපේ එකෙකුට එවැනි විපතක් වන තුරු අප එම තුච්ච ක්‍රමවේදයන්ට විරුද්ධ වන්නේ නැත.       

මාකදුරේ මදූශ් යැයි දැන් හැදින්වෙන මදූශ් පතාල ලෝකයේ අධිපතියකුව සිටිමින් මෙරට තුල මත් ද්‍රව්‍ය ජාවාරම ගෙන ගිය බවට පොදු පිළිගැනීමක් තිබේ. එබැවින් ඔහු අනුකම්පාව හිමිවිය යුතු අයකු නොවේ. එසේ නමුත් අගවිනිසුරු වචනයෙන්ම කියන්නේ නම් “දරුණු ගනයේ අපරාධකරුවකුට වුවත් ව්‍යවස්ථාමය රුකවරණ අයත්ය.”

ප්‍රශ්ණය ඝාතනයම නොවේ

ප්‍රශ්ණය එයම ද නොවේ. ඔහු ඝාතනය කිරීමෙන් පසු පොලීසිය සිය ප්‍රධානියකු හරහා එකී ඝාතනය වසං කිරීම පිනිස ප්‍රචාරය කරනු ලබන කතාන්තරයයි. එම කතාන්තරය තර්කානුකූලව සිතන පතන කිසිවකු විසින් පිළිනොගනු ඇති බව ප්‍රබන්දය ජනගත කළ ඩී.අයි.ජී. දේශබන්දු නොදන්වා යැයි සිතීම දුෂ්කරය. එසේ තිබියදීත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙකී ප්‍රබන්ධය ප්‍රචාරය කරන්නේ ඇයි? මෙරට මානව හිමිකම් ප්‍රජාව විමසිය යුතු ප්‍රශ්ණය එයයි.

අප කෙටියෙන් කතාන්තරය විමසා බලමු. පොලීසිය එනම් කොලඹ අපරාධ විමර්ශණ ඩිවිශනය අලුයම තුනට කුඩා පොලිස් කණ්ඩායමක් සමඟ මෙකී පාතාල නායකයා සමග මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංඟුවට ගැනීමට යයි. එසේ යන විට මදූශ්ගේ සහචර කන්ඩායමක් පොලීසියට වෙඩි තියති. වෙඩි මැද මියන්නේ මදූශ්ම පමණය. පොලීසියට ද තුවාල වෙයි. සහචරයෝ තමන් පැමිණි යතුරු පැදිය දමා පලා යති.”

මදූශ්ගේ නීතිවේදයාගේ ඉහත කී ලිපියෙහි සදහන් වන්නේ මදූශ් මෙළෙසම මරා දමනු ඇතැයි යන සැකය උඩ, ඔහුගේ බිරිඳ කොළඹ අපරාධ විමර්ශන අංශයට ලිපියක් යවමින් ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලූ බවයි. නීතිවේදියාගේ එම ලිපිය පෙන්වා දෙන්නේ මදූශ්ට පනවා තිබූ රැදවුම් නියෝගය අවසන් වියයුතුව තිබුණේ ඔක්තෝබර් 28වනදා නමුත් පසුගිය 16වනදා ඔහු කොළඹ අපරාධ විමර්ශන ඒකකයට බාර දුන් බවයි. ඔහු රදවා තිබිය යුතුව තිබූ ස්ථානය ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නොහොත් සී.අයි.ඩීය සඳහන් කර තිබූ බැවින් මෙළෙස ඔහු වෙනත් අංශයකට මාරු කරන ලද්දේ කුමණ හේතුවක් නිසාද යන්න එම ලිපිය මතු කරන ප්‍රශ්ණයකි.

පාර්ලිමේන්තුවෙහි 20 වන සංසෝධනය විවාද කැරෙන ඔක්තෝබර 20 වන දින උදෑසන මදූශ් මරා දැමෙනු ඇති බවට සමාජ ජාලකරුවෝ පුරෝකථනය කර තිබුණි. මෙහිදී පැන නගින ප්‍රශ්ණය නම් මෙම ඊනියා මත්ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුුම 20දාම සිදුවූයේ ඇයිද යන්නයි.

පුද්ගලිකව සංසරණය වන වෙඩි වැදී මිය ගිය මදූශ්ගේ මුහුණේ ජායාරූපයෙන් ඉතා පැහැදිළිව පෙනෙන්නේ හරියටම ඔහුගේ වම් ඇස ආසන්නය ඉලකක්කර වෙඩි තබා ඇති බවයි. මෙහිදී මතුකළ යුතු ප්‍රශ්ණය නම් මෙම වෙඩිල්ල පැමිණියේ කොතරම් දුරක සිටද යන්න පිළිබදව ස්වාධීන බැලස්ටික් පරීක්ෂණයක්, එනම් වසීම් තාජුඩීන් ගසක හැපී මිය ගිය බවට දුන් වාර්තාව වැනි එකක් නොව, කරන ලද්දේ ද නැත්නම් ඒ කුමක් නිසාද යන්නයි.

“දණ ගහපන්”

මදූශ් ඝාතනය කරන ලද ස්ථානයෙහි ඔහුගේ සහචරයන්ගේ යැයි කියන පිස්තෝල දෙකක් වැටී තිබුණ බව පොලීසිය කියයි. එතැනම වැටී ඇති මිලි මීටර 7.62×39 ප්‍රමාණයට ආසන්න බව පෙනෙන ඒ.කේ 47 වර්ගයේ පතුරම් පිස්තෝලවල පාවිච්චි වන්නේ ද නැත. එම සහචරයන් සැඟවී සිට වෙඩි තැබූ බව කියන ස්ථානයේ හිස් පතුරම් කොපු වැටී තිබුනේද? ඒ දෙසට පොලීසිය තැබූ වෙඩි වැදුණූ තැන් දක්නට තිබුනේද?

20වන දින උදෑසනම ඝාතනය සිදු වූ ස්ථානය ආසන්යේ ජීවත් වන බව පෙනෙන හිටපු සොල්දාදුවකු සිය මුහුණු පොතෙහි සඳහන් කර තිබුණේ “දණ ගහපන්” යැයි කියනුද “එපා එපා” යැයි කියනුද ඉන් පසු වෙඩි හඬ දෙකක්ද ඇසුණු බවයි. එම සටහනටම අනුව පල්සර් වර්ගයේ යතුරු පැදිය එහි ගෙනැවිත් දමන ලද්දේ “හෙන වෙලාවකට පසුය”. ඔහුගේ මෙම සටහන ගැන පරීක්ෂනයක් කරන ලද්දේ ද නැත්ද?

මදූශ් නම් කර තිබුණේ මහා අපරාධකරුවකු ලෙසය. ඔහු ඩුබායි සිට මෙහි ගෙන ඒමේදී ඔහු වටා යුද හමුදා වළලක් යොදවා තිබුණි. මදූශ් ඝාතන මෙහෙයුම සිදුවූ 20දින අලුයම එම ක්‍රියාන්විතය සූදානම් කරන ලද්දේ කවරකු විසින්ද? එහි යෑමට පෙර ස්ථානයෙහි ආරක්ෂාව සහතික කරගැනීමට ඔත්තුකරුවන් යොදවන ලද්දේද? මෙවැනි ක්‍රියාන්විතයන් සඳහා උපයෝගී කර ගන්නා විශේෂ පොලිස් කාර්ය බලකාය නොකැදවන ලද්දේ මන්ද? පොලිස් කණ්ඩායම සතුව තිබූ පෙර සූදානම කුමක්ද?

මෙම ක්‍රියාන්විතය සදහා පොලිස් නිලධාරීන් කී දෙනෙකු යොදවන ලද්දේද? ඔවුන් කවර දක්ෂතා ඇති අයද? පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් යම් ජනමාධ්‍ය වාර්තා කර ඇති පරිදි මදූශ් පැහැරගෙන යෑමට මෙම සහචරයන් සැළසුම් කලේ නම් ඔවුන් පැමිණියේ එක් යතුරු පැදියකින් පමණක්ද? පොලිස් කන්ඩායමකට එරෙහිව දෙදෙනෙක්?

මෙම මරණය සම්බන්දයෙන් මතුකරන ලද ප්‍රශ්ණ නිසාම ඒ් පිළිබද පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කරන ලද පව මාධ්‍ය වාර්තා කර තිබුණි. එවැනි පරීක්ෂනයක් පැවැත්වෙන අතරතුර එහුගේ දේහය මිහිදන් කරනු වෙනුවට ආදාහනය කිරීමට අවසර දෙන ලද්දේ මන්ද? පුලුස්සන ලද මළසිරුරක් යළි යළි ගොඩ ගෙන වෙඩි වැදුණූ තැන් සහ ක්‍රමය විමර්ශනය කළ නොහැකිය. 

දේශබන්දු ප්‍රබන්ධය

ඉහතකී ප්‍රශ්ණ යනාදිය විමසා බැලන විට පෙනී යන්නේ, මදුශ්ගේ නීතිවේදියා සිය ලිපියෙහි සදහන් කරන පරිදිම, පොලිසිය කියන කතාව හුදු ප්‍රබන්ධයක් පමණක්ම වන බවයි. අපරාධ විමර්ශන සුදුසුකම් ඇති පොලිස් නිලධාරින් අපටත් වඩා හොදින් දන්නා කාරණයක් වනු ඇත්තේ ඉහත කී ප්‍රශ්ණ ඇසුරෙන් විමර්ශනයක් කරන ලද්දේ නම් ඩී.අයි.ජී. දේශබන්දුගේ ප්‍රබන්දයෙහි පතුරු යනු ඇති බවයි.

මදූශ් මෙම ආණ්ඩුව බලයට පැමිණ පසු මෙළෙස ඝාතනය වූ හතරවැන්නාය. 2005 – 2015 කාලය තුළ එළෙසම ඝාතනය කරන ලද පිරිස් දුසිම් ගණනාවක්ම වූහ. එබැවින් මදුශ් මෙළෙස ඝාතනය වූ පළමුවැන්නා හෝ අන්තිමයා හෝ නොවනු ඇත. සමහර විටෙ නම් කෙටූ පතුරම්ද ඒ අතර තිබෙන්නට පුලුවන.

ඝාතන ඒ්කකයක්ද?

වැදගත්ම ප්‍රශ්ණය මුලින්ද සදහන් කළ පරිදි වෙනත් එකකි. එනම් දැන දැනම දේශපාලනය ඝාතන වසං කිරීමට පොලිස් ලෙක්කන් කිසිදු බියකින් සැකයකින් තොරව ප්‍රබන්ද සමාජ ගත් කරන්නේ කුමන පිටු බලයක් කුමන ආරක්ෂාවක් ඇතිවද යන්නයි. මෙම අපරාධය කරන ලද්දේ පොලිස් නිලධාරීන් විසින් නම් ඒ අය සුවිශේෂ ඝාතන ඒකකයකට අයත් වන්නේ ද යන්න භයානක ප්‍රශ්ණයකි..

මෙම ඝාතනය දේශපාලනයකි. ඉන් සමාජයට ලබාදෙන පණිවිඩය නම් නීත්‍යනුකූලව පොලිස් අත්අඩංඟුවේ සිටියද කවර තැනක හෝ තීරණයක් ගනු ලැබු විට ඝාතනය වැළැක්විය නොහැකි බවයි. එවැනි ඝාතන, ප්‍රබන්ධ මගින් වසං කිරීම සඳහා අනුබලයද පිටුබලයද රැකවරණයද ලැබෙනු ඇති බවයි.

අප මෙම ඝාතනය සහ ඊටත් වඩා මෙම ඝාතනයේ දේශපාලනය කියවිය යුත්තේ පසුගිය පසු ගිය සති දෙක පුරා වාර්තා වූ මැදියම් රැයේ නිරෝදායන මෙහෙයුම් සමගය. කොවිඩ් 19 වැළැක්වීමේ වැඩසටහන් යුදකරණය කිරීම නිසා ඇතිවී තිබෙන ප්‍රශ්ණ ඉදිරිපත් කර ඇත්තේ නිදහස් වෙළද කලාපයෙන් පමණක් නොවේ. සුව සේවා අංශ ගණනාවක් විසින්ද කොවිඩ් වැළැක්වීම යුදකරණයේ අනතුර පෙන්වා දී තිබේ.

එකී බලහත්කාර නිරෝධායන මෙහෙයුම් පිළිබදව ගලේ කෙටූ සාක්ෂි පිට සාක්ෂි තිබියදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ එම විවේචන සම්පුර්නයෙන්ම අසත්‍ය බවත් ඒවා ශ්‍රී ලංකා යුද හමුදාවන් අපකීර්තියට පත් කිරීමට දරන දේශද්‍රොහී කූට ක්‍රියාවන් බවත්ය. එමගින් යුදහමුදාපති මහ රෑ නිරෝධායන මෙහෙයුම් සාධාරණිය කරනවා පමණක් නොව වරදක් පිළි ගැනීමට සූදානමක් නැති බවද පෙන්වයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාපති වැනි බලයකින් සාධාරණ විවේචන යටපත් කැරෙන විට සමාජයට ලැබෙන්නේ බිය මුසු හැගීමකි. තමන්ට සිදුවන අසාධාරණයන් ගැන කතා කළහොත් නරක විපාක විඳවන්නට සිදුවනු ඇතැයි වින්දිත පිරිස් බිය වෙති.

එනයින් මේ සමස්තය වනාහී යුද මිලිටරිපොලිස් රජයක කළල රෑපය.

එන්නම ගණනින් ඉහළ යන විවේචකයින් විසින් කියා සිට ඇති පරිදි, ආණ්ඩුවේ 20වන සංසෝධනය මඟපාදනු ඇත්තේ නිදහස පාගා දැමූ ඒකාධිපතිත්වයකටය. බදාදා රැයෙහි ලියන මෙම සටහන පළ වන විට අප ජීවත්වනු ඇත්තේ එම බියකරු පූරෝකථනයන් සැබෑ වන්නට පදනම සළසන 20වන සංසෝධනය යටතේය.

20වන සංසෝධනය වනාහී ඉහත කී පොලිස්මිලිටරි රජයක කළලයන්ට ගොර බිරම් රකුසකු බවට වර්ධනය වීමට අවශ්‍ය මජර පසය.

පසු සටහන: (බ්‍රහස්පතින්දා රැයෙහිය) අපේක්ෂිත ලෙසම 20වන සංසෝධනය 2/3ක ඡන්දයෙන් සම්මත විය. නමුත් අපූරු උත්ප්‍රාසයක් සමගිනි. සුලුතර ඡන්ද නැතිව තමන් බලයට පත්වූ බවටත් සුලුතර පක්ෂ නැතිව රට පාලනය කරන බවට නන්දෙඩු නන්දසේන රාජපක්ෂ පාලනයට ස්වකීය දේශපාලන චූඩාමානික්‍ය වූ 20වන සංසෝධනය සිය ඔටුන්නට සවිකර ගැනීමට හැකිවූයේ විපක්ෂයෙන් පාර්ලිමෙන්තුවට ආ, මුස්ලිම් මංත්‍රීවරුන් හත් දෙනෙකුට පිං සිදු වන්නටය. රාජපක්ෂ දේශපාලනය දැන් සිටුවා ඇත්තේ දෙපා හිස සේ සිටින සේ ඔලුවෙනි.

Archive

Latest news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...

Related news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...