Friday, December 4, 2020

ජී.එල්.ගේ කෙප්ප සහ විස්ස ගැන තිත්ත ඇත්ත – සුනිල් ජයසේකර

පසුගිය 13 වන අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාය. එහිදී ඔහුගේ මූලික අවධානය යොමුව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සිය අර්ථ දැක්වීමකටය. “19 මිරිඟුවක් විජ්ජාවක්” යනුවෙන් ඒ සඳහා යොදා ඇති සිරස්තලයම 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව ඔහු තුළ පවත්නා ආකල්පයෙහි ස්වභාවය මැනවින් කියාපායි.

ජී.එල්.ට පිළිතුරු

ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා දක්වා ඇති අදහස් පිළිබදව අවධානය යොමුකළ යුත්තේ ඔහුගේ මතවාදී විකාශණයද අමතක නොකරමිනි. ඒ කෙසේ වෙතත් ලංකාදීප විමසුමට ඔහු දක්වා ඇති අදහස් ප්‍රශ්ණ නොකරසිටීමට නොහැකි තරමටම මහජනතාව නොමඟ යවන සුළු කරුණුවලින් ගහනය. අසත්‍ය හා වැරදි නිගමනයන් සහිත එකී කරුණු දැක්වීම අප රටේ සාමාන්‍ය දේශපාලකයෙකුට හෝ තරම් නොවන විවරණයක් ලෙස සැලකිය හැකිය.

ජී.එල්.ගේ කෙප්ප

එහිදි සිය විවරණය මගින් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරන මුඛ්‍යතම කරුණ වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු කරන සියලුම චෝදනා පදනම් විරහිත වන බවය. එහිදි ඔහු අපූරු තර්කයක්ද ඉදිරිපත් කරඇත. එනම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් කිසිවක් එකතු නොවන බවයි. එමගින් සිදුවන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් මේ රටේ දශක තුනකට අධික කාලයක් පැවැති නීතිමය තත්වයට රට නැවත ගමන් කරවීමක් පමණක් වනබවය. ඒ ගැන බොහෝ දෙනෙකුට වාද විවාද කළ හැකිය. ඇත්තටම ප්‍රධාන ප්‍රශ්ණය එය නොවේ. විස්සෙන් භයානක තත්වක් ඇතිවන බව කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේනම් වසර තිස් ගණනක් පුරා අතීතය තුළ එම චෝදනා ඉදිරිපත් නොවුනේ ඇයිද යනුවෙන් ඔහු කරන විමසීමයි. ජී.එල්.පීරිස් මහතා එයින් කියන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුගිය වසර තිස් ගණනාවක කාලයක් තිස්සේ විවේචන ඉදිරිපත් නොවූ බව නොවේද ?

ජී.එල්.ගේ අතීතිය

මේ රටේ බුද්ධිමත් පුරවැසියාට ඒ බව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ නම් මහාචාර්ය ජී.එල්.පිරිස් මහතාගේ අතීත දේශපාලන විවරණ පිලිබදව නැවත විමසිලිමත්වීම ඒ සඳහා හොදටම ප්‍රමාණවත් ය. එයට අමතරව මෙම ව්‍යවස්ථාව පිළිබදව 1978 අගෝස්තු මස 28 වනදින ගරු සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරණායක මැතිණිය ජාතික රාජ්‍ය සභාවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පිළිබදව පමණක් හෝ අවධානය යොමු කරවීම වැදගත්ය. “මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම රජය හිට්ලර් අකුරටම අනුගමනය කලා වනු ඇත.ඒ මගින් මේ රජය පාර්ලිමේන්තුව විහිළුවට ලක්කර හිට්ලර් කලාක් මෙන් පාර්ලිමේන්තු ක්‍රමයේ ආධාරයෙන්ම ඒකාධිපතියෙකු බිහිකිරීමට ක්‍රියාකර තිබේ. එහෙත් හිට්ලර්ගේ ඉරණම ගැන සලකන විට ඉතා පැහැදිලි වන කරුණක් නම් පැසිස්ට්වාදී නීතිවලින් හෝ අවි බලයෙන් හෝ මිනිස් නිදහස මැඩලිය නොහැකි බවයි.මිනිසා ඉවසීමේ සීමාවේ අන්තයටම පැමිණි විට හා මානසික පීඩනයේ උපරිම අවස්ථාවට එළැඹි විට කොතරම් දරදඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණත් මිනිස් නිදහසට හා රටේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන මෙම දරුණු පාපාකර්මයේ ප්‍රතිවිපාක වලින් මිදීමට මේ රජයට කිසිසේතම නොහැකි වන බව එක එල්ලේම කියා සිටිනු කැමැත්තෙමු. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිදුකළ පුරෝකතනය අපට සිහිපත් කරවන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ආරම්භයේදීම සාමාජය තුළින් මතුවූ විරෝධය යි.

ආචාර්ය ඇන්.එම්.පෙරේරා මැතිතුමාගේ චිවේචනාත්මක විශ්ලේෂණයක් නැමැති කෘතිය මෙහිදී උපුටා දැක්වීම අමුතුවෙන් අවශ්‍ය නොවේ.පසු කලෙක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා,මහාචාර්ය තිස්ස විතාරණ, සී.වී.විග්නේෂ්වරන්,ඩිව්.ගුණසේකර, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක,වික්ටර් අයිවන්, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වැනි දේශපාඥයන් හා විචාරකයන් පමණක් නොව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද උපුටා දක්වමින් ඒ සදහා ඕනෑ තරම් කරුණු දැක්විය හැකිය.එහෙත් අද අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතාට අනුව වසර තිස් ගණනක කාලයක් තිස්සේ මේ ව්‍යවස්ථාවට එරෙහිව චෝදනාවක් එල්ලවී නැත. එසේ චෝදනා ඉදිරිපත් නොවුයේ ඇයි යනුවෙන් ඔහු අපෙන් විමසා සිටින්නේ ඒ නිසා විය යුතුය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ස්වාධීන විගණන කොමිසමට අත්වන ඉරණම පිළිබඳව මතුවන චෝදනාවලටද ජී.එල්.පීරිස් මහතා මතුකර ඇති කරුණු සත්‍ය විකෘති කරන සුළුය. ඔහු කියන ආකාරයට 19 වන සංශෝධනය ගෙන ඒමට පෙරද මේ රටේ විගණන ක්‍රියාවලියක් තිබී ඇත. 20 වන සංශෝධනයෙන් එයට වන කිසිවක් නැත. රජය සතු ව්‍යාපාර පමණක් නොව ජනාධිපති කාර්යාලය හා විගණනය කරන්නටද 20 න් කිසිදු බාධාවක් නැත යනුවෙන් එහිදි ඔහු බොහෝ කරුණු කියයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් ඇසිය යුතු සරල කාරණා දෙකක් තිබේ. එනම් රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කල යුතු බවට 154(1) ව්‍යවස්ථාව තුල ඇතුලත්ව තිබූ වගන්තිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව මගින් ඉවත් කර ඇත්තේ ඇයිද යන්නය. එමෙන්ම ව්‍යවස්ථාවේ උක්ත වගන්තිය මඟින් රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිෂන් සභාව, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය විගණකාධිපතිවරයා විසින් විගණනය කල යුතු බවට 19 වන ව්‍යවස්ථා සංශෝධන තුළ පනවා තිබූ නියමය 20 වන සංශෝධනය මගින් ඉවත්කර ඇත්තේ ඇයිද යන්නය.

බැදුම්කර වංචාව

එමෙන්ම අපේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ රටේ ජනතාව නොමඟ යැවීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අභූත හා අසත්‍ය චෝදනා ගණනාවක්ම විමසුමට දක්වා ඇති කරුණු දැක්වීම තුළ සිදුකර තිබේ. ඉන් එකක් වන්නේ මේ රටේ බලගතුම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වන සංශෝධනය ක්‍රියාත්මක වූ යුගයේ වන බවය. එහෙත් 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක යුගයේ සිදුවූවායැයි කියන රටේ ලොකුම මූල්‍ය වංචාව කුමක්ද යන්න පෙන්වා නොදීමට ජී.එල්.පීරිස් මහතා එහිදී වගබලාගෙන තිබේ. එසේ ඔහු කියන මේ රටේ සිදු වූ ලොකුම වංචාව මහබැංකු බැදුම්කර ගනුදෙණුවට අදාලව එල්ල වී ඇති චෝදනාව වන්නේ නම් එය එක් අතකින් වැරදිය. අනෙක ඒ සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඈදා ගැනීම ඊටත් වඩා වැරදිය. එය එසේ වන්නේ කරුණු දෙකක් හේතුවෙනි. 2015 වසරේදී සිදුව ඇති මහබැංකු බැදුම්කර ක්‍රියාවලියට අදාලව හෙළිවී ඇති වංචාව මේ රටේ සිදුවී ඇති ඒ ආකාරයේ එකම හෝ විශාලතම වංචාව නොවේ. එවැනි වංචා සිදුව ඇත්තේ 2008 වසරේ සිටය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරාගේ පාලන සමය තුළදීය.

අනෙක 2015 මහබැංකු බැදුම්කර ගනුදෙණුව සිදුව ඇත්තේ යහපාලන රජය බලයට පත්වී මුල් මාස කිහිපය තුළදීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනු ලැබුවේ 2015 අප්‍රේල් මස 28 වනදාය. කතානායකවරයා ඊට අත්සන් තබා එය නීතියක් බවට පත්කලේ ඊටත් පසු දිනකය. එබැවින් මේ රටේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වන සංශෝධන ක්‍රියාත්මක වූ යුගයේදීය යනුවෙන් ජී.එල්.පීරිස් මහතා කරන චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය. එහෙත් 19 වන ව්‍යවස්ථාව මඟින් මේ රටේ විගණකාධිපති සේවාවට ලබාදුන් ස්වාධීනත්වය හා නිදහස නොවුනේ නම් එකී වංචා පිළිබඳ තොරතුරු හා විමර්ශණ සාර්ථකව සිදුකිරීමට නොහැකිවන බව නම් ඉතා පැහැදිලිය.

පොලිස්පති කෙප්පය

විමසුම කරුණු දැක්විම තුළ ජී.එල්.පීරිස් මහතා සත්‍යයට ආසන්න වූ යම් හෝ සදහනක් කර ඇත්නම් එය සිදුකර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට අදාලව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත සීමා පැනවීම පිළිබඳවය. එහිදී ඔහු මෙසේ කියයි අමාත්‍යමණ්ඩල සීමාවට අදාලව 19 වන සංශෝධනයේ සදහනක් තිබුණද එයට ව්‍යතිරේක සපයා තිබේ. එය සත්‍යයකි. එය නොවිය යුතු දෙයකි. එහෙත් පොලිස්පතිවරයා ඉවත් කිරීමට නොහැකිවීම හා පාස්කු ප්‍රහාරය සිදුවීමට රට තුළ මතු වු අරාඡිකත්වය වැනි කරුණු පදනම් කරගනිමින් ඔහු 19 වන සංශෝධනයට එරෙහිව නගන චෝදනාවලට කිසිදු පදනමක් නැත. පාස්කු ප්‍රහාරයට අදාලව හෝ වේවා විනය කරුණු පදනම් කරගනිමින් හෝ වේවා පොලිස්පතිවරයා හෝ වෙනත් ඕනෑම රාජ්‍ය නිළධාරියෙකු ඉවත් කිරීම සඳහා 19 වන සංශෝධනය මඟින් කිසිදු බාධාවක් පනවා නැත. අදවන විටත් වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පතිවරයා එකී තනතුරෙන් ඉවත් කිරීමට පෙර පැවැති රජයට හැකියාවක් තිබුණා පමණක් නොව වර්තමාන රජයට අද පවා ඕනෑම මොහොතක එය සිදුකල හැකිය.

ඒ සඳහා කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඑමින් එය සාමාන්‍ය බහුතර ඡන්දයකින් අනුමත කරවාගැනිම පමණි. එහෙත් වර්තමාන රජය පවා ඒ සඳහා කටයුතු කර නොමැත.එමෙන්ම පාස්කු ප්‍රහාරය හා 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතර කිසිදු සම්බන්ධයක් නැත. ජී.එල්.පීරිස් මහතා කියන ආකාරයට පාස්කු ප්‍රහාරය සිදුවූයේ බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වී තිබීම නිසා නොවේ. අදාල වගකිව යුතු පුද්ගලයන් හා ආයතන ඔවුන් සතු වගකීම ඉටු නොකිරීම තුළය. අනෙක් අතට පාස්කු ප්‍රහාරයටද වඩා අතිශයින්ම දරුණු හා බිහිසුණු ප්‍රහාර ගණනාවකට අතීතයෙහි අප රට ගොදුරු වී තිබීම සැලකිල්ට ගැනීමේදී එම ප්‍රහාරයන් සිදුවන කාලය තුළ 19 වන සංශෝධනය බලාත්මකව නොතිබු බව සිහිපත් කරගැනීම ද වැදගත්ය.

එමෙන්ම ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද ඇතැම් කමිටුවල අසාර්ථකත්වයට ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඈදමින් එහි වගකීම 19 මත පැටවීමට ජී.එල්.පීරිස් මහතා ක්‍රියාකර තිබේ. එයද ජනතාව නොමඟ යැවීමට ගත් තවත් එක් උත්සහයකි. 19 වන සංශෝධනය ක්‍රියාත්මක නොවූ කාලවලදී පවා අග්‍රාමාත්‍ය වරයා මෙන්ම ජනාධිපතිවරයාද තම බලතල යොදාගනිමින් විවිධ කමිටු හා ආයතන ස්ථාපිත කල බවට බොහෝ නිදසුන් තිබේ. ඒවා සාර්ථකවීම හෝ අසාර්ථක වීම ඒවායේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව සිදුවූවක් මිසක පත්කරන ලද පුද්ගයන්ගේ හෝ බල කේන්ද්‍ර හේතුකරගෙන සිදු නොවූ බව මේ රටේ බුද්ධිමත් ජනතාවට අමුතුවෙන් කරුණු පැහැදිලි කලයුතු නොවේ. ජී.එල්.පීරිස් මහතා මැතිවරණ කොමිසමේ හා ව්‍යවස්ථා සභාවේ ඇතැම් සාමාජිකයන්ට එල්ල කරන චෝදනාද එසේමය. ඒවාට කිසිදු පදනමක් නැත.එමෙන්ම ඒ සඳහා දක්වන උදාහරණ සහ තොරතුරුද නිවැරදි නොවේ.

අවසානයේ ජනාධිපති බලය හා එහි සීමා ගැනද යම් විග්‍රහයක යෙදෙන ජී.එල්.පිරිස් මහතා 20 වන සංශෝධනය බලාත්මකවීමෙන් පසු පාර්ලිමේන්තුවට හිමි බලය පිළිබදවද කරුණු දක්වා තිබේ. පාර්ලිමේන්තුව සතු මුදල් පාලන බලතල හා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට ඇති හැකියාව වැනි කරුණු ජී.එල්.පීරිස් අමාත්‍යවරයා එහිදී උදාහරණ වශයෙන් දක්වා තිබේ.

ජී.එල්.ගේ 2000

වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙන්ම මේ රටේ ජනතාව බොහෝ කාලයක සිට මහාචාර්යවරයෙකු ලෙස හොදින් දන්නා ජි.එල්.පීරිස් මහතාට එහිදී සිහිපත් කලයුතුව ඇති කරුණු කිහිපයක් තිබේ. අවසාන වශයෙන් එයද පෙන්වාදෙනු කැමැත්තෙමි. මේ රටේ බලාත්මකව පවත්නා ව්‍යවස්ථාව හා ඒ මඟින් රටට අත්පත් කර ඇති දුර්විපාක පිළිබඳව ඉතා පැහැදිලිවම කරුණු දක්වා ඇති අවස්ථා ගණනාවක්ද ඒ සඳහා ප්‍රතිකර්ම ලෙස යෝජනා කරන ලද උත්සහයන් කිහිපයක්ද ඉතිහාසය තුළ මැනවින් දැකගත හැකිය.1989 ඔක්තෝබරයේදී ජී.එල්.පීරිස් මහතාද සාමාජිකයෙකු ලෙස නම් කරමින් පත්කරන ලද තරුණයන් පිළිබඳව ජනාධිපති කොමිසමේ නිර්දේශ කෙරෙහි අද අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජී.එල්.පීරිස් මහතාගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය. එමෙන්ම ඔහුගේ සුවිශේෂී භූමිකාවක් තුළ ඉදිරිපත් වූ 1993 පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහිද ජී.එල්.පීරිස් මහතාගේ සුජාතකත්වයේ 1995 වසරේදී ඉදිරිපත් කළ රජයේ බලය බෙදාහැරීමේ යෝජනාවලිය කෙරෙහිද 2000 වසරේදී ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කෙරෙහිද ජී.එල්.පීරිස් මහතා අද නැවත අවධානය යොමුකල යුතුය. ඒ සියල්ලම ඔහුගේ නායකත්වය,මඟපෙන්වීම හා සහභාගිත්වය ඇතිව රට හමුවේ ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනාවන් ය. ඒ සියලු අවස්ථාවල එවැනි උත්සහයන්ට හේතු වූ කරුණු කාරණා ලෙස ජී.එල්.පීරිස් මහතා රටට පෙන්වා දුන්නේ විධායක ජනාධිපති වෙත සංකේන්ද්‍රණය වී ඇති අනිසි බලය රට මුහුණ දෙමින් සිටින බොහෝ දුර්භාග්‍යන්ට ඉවහල්ව ඇතිබවය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු 19ට පෙර තිබූ තත්වයට නැවත යාමට ගනුලබන සරල උත්සහයක් නොව විධායක ජනාධිපතිවරයා සතු පවත්නා බලය තවදුරටත් ඉක්මවා යමින් බලය තව තවත් සංකේන්ද්‍රණය කරගැනීමට දරණ උත්සහයක් ලෙස ඒ අනුව පැහැදිලි වනු ඇත.

එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය.

සුනිල් ජයසේකර, මාධ්‍ය ප්‍රකාශක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Archive

Latest news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...

Related news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...