Sunday, October 25, 2020

උතුරු මුස්ලිම්වරුන්ගේ කළු ඔක්තෝබරය: එතැන්සිට අවුරුදු 30ක්, අපි කොහිිිද? – ශ්‍රීන් සරූර් 

ඡායාරූපය: උතුරුකරයෙන් පළවා හැරි මුස්ලිම් ජනයා

1990 ඔක්තෝබර් මාසයේ දී එල්ටීටීඊය විසින් උතුරු පළාතේ මුස්ලිම්වරුන් 75,000 ක් (පළාතේ මුළු ප්‍රමාණයෙන් සියයට පහක් පමණ) පමණ දෙනෙකු තම භූමියෙන් බලහත්කාරයෙන් එළවා දමනු ලැබීය. පළාතෙන් පිටවීමට මුස්ලිම්වරුන්ට ඇතැම් ස්ථානවලදී කැරලිකරුවන් විසින් ලබා දී තිබු‍ණේ පැය 48 ක් පමණි. ඔක්තෝබර් 15 දිනයේ චවාකච්චේරියේ සිට ආරම්භ කොට ඔක්තෝබර් 30 දිනය වන විට මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, යාපනය සහ වවුනියාවේ ඇතැම් ප්‍රදේශවලින් මුස්ලිම්වරුන්ව ඉවත් කරනු ලැබීය. ඇතැම් පවුල්වලට රැගෙන යාමට අවසර දුන්නේ රුපියල් 500 ක් සහ ඇඳුම් කිහිපයක් පමණි; සමහරුන්ට කිසිවක් නොමැතිවම පලා යාමට බල කෙරී තිබුණි. දකුණේ නගර කරා ළඟා වන තුරු ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට නොහැකි වූ බොහෝ දෙනෙකු දින තුනක් පමණ ඇවිද ගොස් තිබුණි. මගේ පවුලේ අයත් ඔවුන් අතර සිටියා. ඒ වන විට කොළඹ ශිෂ්‍යයෙකු වශයෙන් සිටි මම, මගේ පවුලේ සාමාජිකයින් මන්නාරමේ පිහිටි අපේ නිවසින් පලා යෑමේ ප්‍රවෘත්ති දෙස සාංකා සහගතව බලා සිටියෙමි. අද වන විටත් මෙම ප්‍රජාවේ දුක් වේදනා නිල වශයෙන් හඳුනාගෙන නැත. ඔවුන් වෙනුවෙන් ආපසු පැමිණීම වෙනුවෙන් හෝ වන්දි ගෙවීම වෙනුවෙන් ප්‍රමාණවත් සහයක් ලැබී නැත. දශක තුනක් පුරා ප්‍රදේශවාසීන්, රජයේ නිලධාරීන්, ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සහ දකුණේ මුස්ලිම්වරුන් විසින් තමන්ව නොසලකා හැරීමට සහ වරදවා වටහා ගැනීමට ලක්වීම නිසා උතුරේ මුස්ලිම්වරුන්ට විශ්වාස කළ හැකි කිසිවෙකුත් නොමැති බවක් හැඟී ගොස් තිබේ.

අද උතුරු ප්‍රතිචාරය

2009 මැයි මාසයේ සිවිල් යුද්ධය අවසන් වූ දා සිට, උතුරේ මුස්ලිම්වරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ආපසු පැමිණීම ආරම්භවී තිබේ. එහෙත් උතුරේ සිටින්නවුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ නැවත පැමිණීම පිළිගෙන නැත. නැවත පැමිණෙන මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව රජයේ බලධාරීන් එතරම් තැකීමක් නොකරන බවත්, නැවත පදිංචි කළ දෙමළ ජනතාව පිළිබඳව පමණක් සැළකිල්ල දක්වන බවත් උතුරේ මුස්ලිම්වරුන් පෙන්වා දෙයි. දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර දේශපාලන හා ආර්ථික එදිරිවාදිකම් පවතී. නිදසුනක් වශයෙන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින්, මුස්ලිම් නැවත පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව අඩුවෙන් සඳහන් කර තිබෙන අතර, එමඟින් ඔවුන් සඳහා සම්පත් වෙන් කිරීම සහ නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය සංවර්ධන සහයෝගය ලබාදීම සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මෙම පැහැදිළි පක්ෂග්‍රාහීත්වය පිළිබඳව, උතුරේ රජයේ නිලධාරීන් ප්‍රතිචාර ලෙස දක්වන්නේ මුස්ලිම්වරුන් දැනටමත් පුත්තලමේ හොඳින් පදිංචි වී සිටිනබැවින් රජයේ ප්‍රමුඛතාවය විය යුත්තේ යුද්ධයෙන් පීඩාවට පත්වූවන් වෙත බවයි. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ සිවිල් වැසියන්ගේ තත්වය තවමත් ඉතාම දුක්ඛිත බව සත්‍යයකි. යුද්ධය අවසන් වී දශකයකට පසුවත් ඉඩම්, නිවාස හා වෙනත් මූලික අවශ්‍යතා නොමැතිව තවමත් බොහෝ දෙනෙකු සිටින අතරම ඔවුහු බියජනක අවකාශයක් තුළ සත්‍යය සහ යුක්තිය උදෙසා තවදුරටත් අරගල කරමින් ද සිටිති. මෙම අවශ්‍යතා ඉතාමත්ම වැදගත් වන නමුත් ඒවාට විසඳුම් සෙවීමේදී සාමූහිකව නැවත පැමිණීමට උතුරේ මුස්ලිම්වරුන්ට ඇති අයිතියට අවහිර නොකළ යුතුය.

මුස්ලිම්වරුන්ටම බැට දීම

නැවතත් පැමිණෙන උතුරේ මුස්ලිම්වරුන්ට ප්‍රමාණවත් පරිදි සහයෝගය නොලැබීම පිළිබඳව මාධ්‍යවේදීන් විසින් දෙමළ රජයේ නිලධාරීන්ගෙන් සහ ආගමික නායකයින්ගෙන් විමසූ මාන්නාරමේ සහ යාපනයේ පැවති රැස්වීම්වලට මා සහභාගී වී තිබේ. එම නායකයින් ඊට ප්‍රතිචාර වශයෙන් දැක්වූයේ මුස්ලිම් ප්‍රජාව කිසිදු අයුරකින් සැලකිය යුතු ආකාරයකින් ආපසු පැමිණ නැති බවයි. කිහිප දෙනෙකු පමණක් වෙළඳාම සඳහා පැමිණ තිබෙන බවත්, ඔවුන් එක් අඩියක් පුත්තලමේත් සහ තවත් අඩියක් උතුරේත් තබාගෙන ඇති බවටත් ඔවුන් තර්ක කරන ලදි. මෙම තක්සේරුව බොහෝ දුරට නිවැරදි වුවත්, උතුරේ මුස්ලිම්වරුන් විසින් පුත්තලමේ සම්බන්ධතා පවත්වා ගැනීමට තෝරා ගැනීම මගින්ම නැවත පැමිණෙන අයට පවතින බාධක පිළිබිඹු වේ. ඔවුන්ගේ ඉඩම්වල වනාන්තර වැවී වාසය කිරීමට නොහැකි තත්වයට පත් වී ඇති නිසා, නව නිවාස හා ජීවනෝපායන් ස්ථාපිත කිරීමට පෙර වසර 30 ක් තිස්සේ ඔවුන් ජීවත් වූ ස්ථාන සම්පූර්ණයෙන්ම අත්හරිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මූලික යටිතල පහසුකම් නොමැතිවීම පමණක් නොව, ඔවුන්ව රජයේ නිලධාරීන් හෝ අසල්වාසීන් විසින් පවා පිළිගන්නේ ද නැත. වසර 30 ක වෙන්වීමෙන් පසුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ හිටපු අසල්වැසියන් විසින් පවා හඳුනන්නේ නැත.

නැවත පදිංචිවීමේ ආධාර ලබාගත් ස්වල්ප දෙනෙකුට (වැඩි වශයෙන් මන්නාරමේ) නෙරපා හැරීම නිසාම දේශපාලන වෘත්තිය ආරම්භ කළ හිටපු ඇමතිවරයෙකුගේ දේශපාලන අනුග්‍රහයෙන් ආපසු පැමිණීමට හැකි වී තිබේ. නැවත පැමිණෙන නව පවුල් සඳහා, ජීවනෝපාය ආධාර සහ රැකියා ලබා ගැනීමේ අභියෝගයන් කෙසේ වුවත් ඔවුන්ගේ ඉඩම්වලට ප්‍රවේශය ලබාගැනීම සහ දරුවන්ට යහපත් පාසල් අධ්‍යාපනය ලබා ගැනීම අතිශයින්ම කළකිරවන සුළුය.

තැනක් නොලැබුණු සාම සාකච්ජා

එල්ටීටීඊයට ඔවුන්ගේ වාර්ගික හායන ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වුවද, 2002-2005 සාම සාකච්ඡා අතරතුරදී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම නිහඬව සිටියේය. තවද, නෝර්වේජියානු මැදිහත්කරුවන් ද ඇතුළුව සාකච්ඡාවල නිරත වූ කිසිදු පාර්ශ්වයක් විසින් උතුරේ සාමාන්‍ය තත්වය ස්ථාපිත කිරීමේ මූලික කොන්දේසියක් වශයෙන් උතුරේ මුස්ලිම්වරුන්ගේ ආපසු පැමිණීමේ අයිතිය පිළිබඳව සලකා බැලුවේ නැත. 2002 සාම ක්‍රියාවලිය තුළ ආපසු පැමිණි දෙමළ අභ්‍යන්තර අවතැන්වූවන් හා සසඳන විට නෙරපා හරින ලද මුස්ලිම්වරුන් පැමිණීමේ අඩු අනුපාතයක් තිබීමට ප්‍රධානම හේතුව මෙයයි.

උතුරේ මුස්ලිම්වරුන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳව ජාත්‍යන්තර නියෝජිතයින් රජයෙන් විමසන විට, මුස්ලිම්වරුන් පුත්තලමේ ජනගහනය සමඟ හොඳින් සම්බන්ධ වී ඇති බවත්, උතුරට ආපසු යාමට දැන් උවමනාව ඇති වන්නේ ව්‍යාපාරික අවස්ථාවන් නිසා හෝ ඔවුන්ගේ දේපළ විකිණීමේ අභිලාශයන් නිසා බවත් පවසා තිබේ. නෙරපා හරින ලද මුස්ලිම්වරුන් සියල්ලන්ම මේ අවස්ථාවේ උතුරට පැමිණියහොත් එමගින් ප්‍රදේශයේ ජනවාර්ගික සංයුතිය වෙනස් කරවනු ඇතැයි මුස්ලිම් නොවන ආගමික නායකයින් කිහිප දෙනෙකු විසින් පවසා තිබේ. මුස්ලිම්වරුන් යුද කලාපයෙන් පිටත ජීවත්වීමත්, උපත් පාලනයට ආගමිකව එරෙහි වීමත් නිසා පසුගිය අවුරුදු 29 තුළ දී මුස්ලිම් ජනගහනය විශාල ලෙස වැඩිවී තිබෙන නිසා ඔවුන්ගේ නැවත පැමිණීම යනු යුද්ධය පුරාවටම දුක් විඳිමින් සිටි දෙමළ ජනතාවට සිදුවන අසාධාරණ බරකි. යුක්තිය වෙනුවෙන් උතුරේ මුස්ලිම්වරුන් මුහුණ දෙමින් සිටින අභියෝගයේ විශාලත්වය එවැනි ප්‍රකාශ මගින් අවධාරණය වේ.

වැඩි කැමැති පුත්තලමටද?

අවතැන් වූ මුස්ලිම්වරුන් පුත්තලමේ ජනගහනය සමඟ හොඳින් ඒකාබද්ධ වී ඇති බවත්, ඔවුන් නැවත පැමිණීම ප්‍රමුඛතාවයක් නොවන බවත් ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් ද පොදුවේ කියා සිටියි. ඔවුන් බොහෝ අවස්ථාවල දී 2004 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය වන UNHCR විසින් සිදුකළ මතභේදාත්මක සමීක්ෂණයක් මත විශ්වාසය තබන අතර, ඒ මගින් අවතැන් වූ මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් තම මුල් නිවෙස් කරා ආපසු යාමට වඩා පුත්තලම සමඟ ඒකාබද්ධ වීමට කැමැත්තක් දැක්වූ බව සොයා ගෙන තිබේ. අන්තර්ජාතික ප්‍රජාව විසින් මෙහිදී නොසළකා හැරෙන කාරණය නම්, සමීක්ෂණය සිදු කරන අවස්ථාවේ දී එල්ටීටීඊය ක්‍රියාකාරීව සිටි බවත්, ඒ නිසා නැවත පැමිණීමට ඇති භීතිය සමඟ ආරක්ෂක අවදානම, යුද්ධය නැවත ඇතිවීමේ අවදානම සහ තවත් නෙරපා හැරීමක් ඇතිවීමේ අවදානම නිසැකවම සම්බන්ධ බවයි.

රාජපක්ෂ කොමිසම

සිය පළමු ධුර කාලය ආරම්භයේදී, 2005 අග භාගයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, උතුරේ මුස්ලිම්වරුන් නෙරපා හැරීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන බවට පොරොන්දු විය මෙය ඔහු කිසිදිනක ඉටු නොකළ පොරොන්දුවකි. යුද්ධයේ අවසානය සැමරීමේ උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය: “එල්ටීටීඊය විසින් අහිංසක මුස්ලිම්වරුන්ට හිරිහැර කොට බලහත්කාරයෙන් නෙරපා හරින විට දී කිසිවෙකුත් මෙම අවතැන්වීම නැවැත්වීමට ඉදිරිපත් වුණේ නැහැ. දැන් මගේ රජයෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමඟ 2010 මැයි මාසය වන විට මුස්ලිම්වරුන් නැවත පදිංචි කරවීමට සියලුම උත්සාහයන් ගන්නවා.” ඉවත් කරන ලද මුස්ලිම්වරුන් පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙම කතාව මගින් සනිටුහන් වී තිබේ. එසේ වුවද, ඔහුගේ කඩිනම්, පශ්චාත්යුද කාලීන ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ උතුරේ මුස්ලිම්වරුන්ට නැවත පැමිණීමේ අයිතිය ලබාදීම සඳහා ප්‍රමුඛත්වය දීමට හිටපු ජනාධිපතිවරයා අසමත් විය. දශකයකට පසු, පාස්කු ඉරිදා ප්‍රහාරයන් මගින් මුස්ලිම් විරෝධී හැඟීම් අවුස්සමින් නැවත බලයට පැමිණීමට රාජපක්ෂවරුන් පෙළඹීමත් සමඟ තම දුක්ඛිත තත්වය සඳහා සහයෝගය සහ පිළිගැනීම ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නැවතත් රජය සමඟ සම්බන්ධ වීමේ තේරුමක් තිබේදැයි මුස්ලිම්වරුන් ප්‍රශ්න කරමින් සිටියි.

නෙරපා හැරීමේ පදනම ගැන බොරු කතා

එල්ටීටීඊය විවේචනය කරන විට හෝ දෙමළ ඊලාම් පිළිබඳව ප්‍රකාශ කරන විට දී රජයේ නිලධාරීන් සහ සිංහල ජාතිකවාදී විචාරකයින් බොහෝ විට උතුරු මුස්ලිම්වරුන්ගේ දුක්ඛිත තත්වය ඉදිරියට ගෙනඒම සිදුවේ. නමුත්, පලා යාමට බලකෙරුණු අයට සිදුවූයේ කුමක් ද සහ ඔවුන් වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න අව්‍යාජ ලෙස සලකා බලන්නේ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි. උතුරේ මුස්ලිම්වරුන් මෑත කාලයේ දී පුළුල් මුස්ලිම් ප්‍රජාව හා සමානවම වෛරයට මුහුණ දී සිටිති. අවුරුදු 30 ක් තිස්සේ, ඔවුන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳව උතුරේ මුස්ලිම් දේශපාලනඥයන් විසින් පමණක් සලකා තිබෙන අතර අනෙක් සියල්ලෝ එය නොසලකා හැර තිබේ. මේ වන විට, සමහර දකුණේ මුස්ලිම් දේශපාලනඥයන් විසින් මුස්ලිම් ජාතිකවාදය පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින අතර, ඉස්ලාමීය භීෂණයෙන් මිදෙමින් සිංහල බහුතරය සමඟ දේශපාලනිකව එකඟ වන ලෙස ඔවුහු මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටිති. උතුරු හා නැගෙනහිර තිබෙන ජනවාර්ගික කණ්ඩායම් දේශපාලනය ඔවුන් විසින් විවේචනයට ලක් කරනු ලැබේ. එහි කුඩා හෝ උත්ප්‍රාසයක් නැත. නෙරපා හැරීම යනු දෙමළ ජනයා මෙන් ජීවත්වීම හා ප්‍රමාණවත් ආගමික භක්තිය නැති වීම නිසා ලැබූ දඬුවම බව 1990 දී බොහෝ දකුණේ මුස්ලිම්වරුන් විසින් පවසන බව මට අසන්නට ලැබී තිබේ. මෙම අදහස් සමහර මුස්ලිම් පල්ලිවල සිකුරාදා දේශනවලදී ද නැවන නැවතත් පවසන ලද අතර, ප්‍රමාණවත් තරම් මුස්ලිම් නොවූ නිසා උතුරේ අභ්‍යන්තර අවතැන්වූවන්ට අල්ලා දඬුවම් කර ඇති බව ඉමාම්වරු කියා තිබේ. ඔවුන්ට තේරුම් ගැනීමට අපොහොසත් වී ඇත්තේ කොටින් අපව නෙරපා හරිනු ලැබුවේ අපගේ ආගමික පදනම නිසාම පමණක් බවයි. උතුරේ මුස්ලිම්වරුන්ට ඉස්ලාම් ආගම පිළිපැදීමට පමණක් නොව, උතුරු දෙමළ ජනයා සමඟ සමීපව සම්බන්ධ තමන්ගේ උතුරු උරුමය නැවත ලබා ගැනීමට ද අයිතියක් තිබේ; ඔවුන්ට වෙනත් තෝරා ගැනීමක් සඳහා බල කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

සංක්‍රාන්ති යුක්තියටත් අමතකවීම

2015 සිට 2019 දක්වා වූ සංක්‍රාන්ති යුක්තිය තුළ යෝජිත යාන්ත්‍රණයන් මගින්, උතුරේ මුස්ලිම්වරුන්ගේ දුක්ගැනවිලි විසඳීමට ගත් මුල් උත්සාහයන් අත්හැර දමන ලදි. මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් දියත් කරන ලද OISL විමර්ශනය මගින් විමර්ශනය කරනු ලැබූවේ 2002 පෙබරවාරි සටන් විරාමයේ සිට 2011 දක්වා කාලය පමණි. මෙයින් අදහස් කළේ එල්ටීටීඊය විසින් උතුරේ මුස්ලිම්වරුන් ජනවාර්ගික වශයෙන් අතුගා දැමීම වැනි පෙර අපරාධ මෙහි දී නොසලකා හැර ඇති බවයි. 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව අනුව සංක්‍රාන්ති යුක්තිය උදෙසා ශ්‍රී ලංකා රජය කැප වූ විට, ඒ ආකාරයෙන් ඊට පෙර සිදුවීම් සඳහා පිළිතුරු සෙවීමට කැප වූයේ නැත. කෙසේ වෙතත්, උතුරේ මුස්ලිම්වරුන් ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයන් පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවනු ලබන මහජන නඩු විභාගයේ දී ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වීමට උත්සාහ කළ නමුත් එහි කිසිදු ප්‍රතිඵලයක් වූයේ නැත. ඒ හේතුවෙන් වර්තමාන වන්දි ගෙවීමේ ප්‍රතිපත්තිය තුළ කිසිදු ආකාරයකින් උතුරේ මුස්ලිම්වරුන්ට සිදුවී ඇති හානිය නිශ්චිතව හඳුනා ගැනීමක් සිදු නොවේ.

ජන්ද අයිතියටත් බාධා

වසර 30 ක නොසලකා හැරීමේ ප්‍රතිඵලවලින් පීඩා විඳි උතුරේ මුස්ලිම්වරුන්ට මෑතකදී ඔවුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම්වලට ද මුහුණ දීමට සිදුවී තිබේ. 2019 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය සඳහා පුත්තලමේ සිට මන්නාරමට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගිය උතුරේ මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල විය. 2019 නොවැම්බර් 16 වන දින උදෑසන මන්නාරමට යන අතරමග තන්තිරිමලේදී ඔවුන්ගේ බස් රථවලට වෙඩි තබා තිබුණි. ඡන්දය දීමෙන් පසු එදින සවස මැදවච්චියේ දී සිංහල මැරයන් විසින් ඔවුන්ට නැවත පහර දෙන ලදි. බොහෝ කාන්තාවන් හා ළමුන් තුවාල ලබා ඇති නමුත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත (මැතිවරණ කොමිසමේ විමර්ශන වාර්තාවක් පවා නැත). මැදවච්චියේ ප්‍රහාරයට පෙර ඔවුන්ගේ බස් රථ චෙට්ටිකුලම්හිදී නතරකොට පොලිසිය විසින් ඔවුන්ව පැය ගණනක් රඳවා තබා ගෙන තිබේ. මැතිවරණ කොමසාරිස් මහාචාර්ය රත්න ජීවන් හූල් පොලිසියට පැමිණ කාන්තාවන් සහ ළමයින් පොලිස් ආරක්ෂාව සහිතව නිවෙස්කරා යවන ලෙස පොලිසියට උපදෙස් දුන් නමුත් නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. එදින සවස් වරුවේ කාන්තාවන් සහ ළමයින් නැවත පුත්තලම බලා යද්දී ඔවුන්ට පහර දීම සිදුවිය. 1 තුවාල ලැබූ ඡන්දදායකයින් බොහෝ දෙනෙකු පළිගැනීම්වලට බියෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන නැත. මෙම ප්‍රචණ්ඩත්වය නිසා මෑතදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙම ඡන්ද දායකයින් වෙනුවෙන් පුත්තලමේ පොකුරු ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම එකඟ විය. මන්නාරමේ ඡන්දදායකයින් 6000 කට අධික සංඛ්‍යාවක් විශේෂ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් පුත්තලමේ දී ඡන්දය ප්‍රකාශ කරන ලදි. මෙම ධනාත්මක වර්ධනය තිබියදීත්, මන්නාරමේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් මන්නාරමේ ස්ථිරව ජීවත්වන ඡන්ද දායකයින් පමණක් ලියාපදිංචි කරන ලෙස දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී තිබුණි. සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ප්‍රශ්න කළ විට පාවෙන ඡන්දදායකයින්සිටිය නොහැකි බව ඔහු කියා තිබුණි: පුත්තලමේ වෙසෙන ජනතාව පුත්තලමේ ලියාපදිංචි වී ඡන්දය දිය යුතුයි. පුත්තලමේ වෙසෙන මන්නාරමේ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් කුලියට ගත් පෞද්ගලික බස් රථවල පැමිණීම තහනම් කර තිබේ යැයි එම සහකාර කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණයට මොහොතකට පෙර කියා තිබේ.

වන්නිය තුළ බොහෝ වාරයක් අවතැන්වීම් අත්විඳි, යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනයා මෙන් නොව, බලහත්කාරයෙන් ඉවත් කරන ලද මුස්ලිම්වරුන්ට යුද්ධයෙන් විනාශ වූ තම නිවෙස්වලින් ඈත්ව ජීවත් වීමට බල කෙරී තිබුණි. මේ අනුව, වන්නිගේ දෙමළ ජනයාට මුහුණදීමට සිදුව ඇති සමූල ඝාතන හා දරුණු විනාශයන්වලින් ඔවුන් ගැලවී ඇති බව සත්‍යයකි. නමුත් උතුරේ මුස්ලිම්වරුන්ට ලැබිය යුතු ආපසු පැමිණීමේ සහ නැවත පදිංචි වීමේ අයිතිවාසිකම් වෙනුවෙන් නුසුදුසු කරවීමට එය භාවිතා නොකළ යුතුය. උතුරේ ප්‍රජාවන් අතර තවදුරටත් සැකයක් හා අවිශ්වාසයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන්, උතුරේ ක්‍රියාත්මකවන වෙනත් නැවත පදිංචි කිරීම් හා සංවර්ධන වැඩසටහන් සමඟ සමාන්තරව ආපසු පැමිණීමට උතුරේ මුස්ලිම්වරුන්ට ඇති අයිතියේ යුක්තිය ද හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. දැනටමත්, උතුරට ආපසු පැමිණි සමහර මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ගම්වල සීමාවන් වෙනස් වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉඩම් සඳහා ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි වී ඇති බවත් දැන ගැනීමට ලැබී තිබේ. රජයේ නිලධාරීන් විසින් ගම්වල මායිම් වෙනස් කරන විටදී, මහජන ඉඩම් රජයේ පාසල්, සුසාන භූමි, පූජනීය ස්ථාන, ක්‍රීඩා පිටි හෝ සතුන් සඳහා තණබිම් පවා වෙන් කොට ඇති ඉඩම් අත්පත් කර ගෙන නව ජනාවාස සඳහා නැවත බෙදා හැරීම සිදුවී තිබේ. දශක ගණනාවක් තිස්සේ තම භූමියෙන් ඈත්ව ජීවත්වීමට සිදු වූ මුස්ලිම්වරුන්ට මෙම තීරණ ගෙන ඇති ආකාරය පිළිබඳව තමන්ගේ කිසිදු සඳහනක් වෙනුවෙන් ඉඩක් ලැබී නැති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අතිරේකව අමතර පාඩු විඳීමට ද සිදුවී තිබේ.

කුමක් කළ හැකිද?

ද්‍රවිඩ දේශපාලනඥයින් අතලොස්සක් සහ ප්‍රජාවේ හා ඩයස්පෝරාවේ සාමාජිකයින් අතළොස්සක් මෙම ප්‍රශ්නය පිළිබඳව සැළකිල්ලක් දක්වා තිබුණත්, සමස්තයක් වශයෙන් දෙමළ දේශපාලනය 1990 මුස්ලිම්වරුන් නෙරපා හැරීම පිළිබඳව නිහඬව සිට තිබේ. 2009 සැප්තැම්බරයේ දී එවකට ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ සුළුතර අවශ්‍යතා පිළිබඳව පැවැත් වූ රැස්වීමක දී දෙමළ ජාතික සන්ධානය (TNA) විසින් පළමු වරට උතුරු මුස්ලිම්වරුන්ගේ ගැටලුව පිළිබඳ කාරණය ප්‍රසිද්ධියේ ඉස්මතු කරනු ලැබීය. 2013 දී උතුරු පළාත් සභා මැතිවරණයෙන් TNA ජයග්‍රහණය කළ විට උතුරේ මුස්ලිම් ජනතාව කෙරෙහි සිය ධනාත්මක ප්‍රවේශය විදහා දැක්වීම වෙනුවෙන් මුස්ලිම් අයෙකු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔවුන්ගේ ප්‍රසාද ආසනයකට පත් කරනු ලැබීය. TNA මන්ත්‍රීවරුන් සුළු පිරිසක් විසින් මෙම ගැටළු සෘජුවම විසඳීමට ගත් උත්සාහයන් සාදර පිළිගැනීමට ලක් වූ අතර, එය රටේ විශාලතම සුළුතර ජනවර්ගයන් දෙකේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ උත්සාහයක් ලෙස ද සැලකුණි. අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කිලිනොච්චියේ සහ යාපනයේ මුස්ලිම්වරු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකු සඳහා විවෘතවම සහයෝගය ලබාදුන් අතර දෙමළ ජාතික සන්ධානයට තම ඡන්දය ද ලබා දුන්හ. මෙම ප්‍රශංසනීය දේශපාලන පියවර තිබියදීත්, බොහෝ දෙමළ නායකයින් සහ බුද්ධිමතුන් විසින් නෙරපා හරින ලද උතුරු මුස්ලිම්වරුන් වෙනුවෙන් තම සහයෝගිතාවය තවමත් පෙන්වා නැත.

දෙමළ ප්‍රජාවට වචනයක්

තත්වය අනුව, තම ජීවිත මුල සිටම නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් හා තම දෙමළ සහෝදර සහෝදරියන් සමඟ නැවත වරක් සහජීවනයෙන් ජීවත්වීමේ උවමනාවෙන් කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මුස්ලිම්වරුන් හුදෙක්ම උතුරට ආපසු ගමන් කරමින් සිටියි. සමාන සැලකිල්ලක් දැක්වීම, තම ඉඩම්වලට ප්‍රවේශය ලබාදීම, මූලික ජීවනෝපාය ක්‍රියාකාරකම් ලබාදීම සහ වනාන්තර බවට පත්ව ඇති ඔවුන්ගේ ඉඩම් කඩිනමින් නිෂ්කාශනය කිරීම වැනි ඉල්ලීම් හැරුණු විට ඔවුන් විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. තම පවුල් වෙනත් තැනක ජීවත් වීමට තෝරා ගත්තේ ද යන්න නොසලකා නෙරපා හරින ලද මුස්ලිම්වරුන්ට තම උපන් බිමේ තම දේපළ හා ජීවනෝපාය අවස්ථා නැවත ලබා ගැනීමට අයිතියක් ඇති බව දෙමළ රජයේ නිලධාරීන් සහ උතුරේ දේශපාලනඥයින් විසින් පිළිගැනීම අත්‍යවශ්‍ය වේ. විශ්වාසය ගොඩනගා ගන්නා විට, තවත් උතුරේ මුස්ලිම්වරුන්ට තම මුතුන් මිත්තන්ගේ ඉඩම් සහ සංස්කෘතික උරුමයන් වෙත නැවත පැමිණීම සහ නැවත ඒවා ලබා ගැනීම සඳහා ආරක්ෂිත බවක් හැඟෙනු ඇත. කෙසේ වෙතත්, මේ මොහොතේ, ඔවුන් නැවත පැමිණීමට එරෙහි සාමූහික ප්‍රතිරෝධයක් තිබෙන බව පෙනේ. මෙහි දී උතුරේ මුස්ලිම්වරුන් සහ ද්‍රවිඩයන් අතර තවදුරටත් වාර්ගික ගැටුම් ඇති කරවීමට ඉඩ ඇති අතර බහුතරවාදයට ප්‍රතිලාභ සැලසෙන පරිදි දෙමළ ජනතාවගේ දිගුකාලීන අපේක්ෂාවන් හා ඔවුන්ගේ තවමත් නොවිසඳුණු දේශපාලන අභිලාෂයන්ට හානි පැමිණෙනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාවේ සහ සානුකම්පිත සිංහලයන්ගේ සහය ඇතිව ගැඹුරු සහයෝගීතාවය වෙනුවෙන් ප්‍රමුඛතාවය දීම සහ ඔවුන්ගේ වෙනස් නමුත් ගැඹුරින් බැඳී ඇති දුක්ගැනවිලි හා වේදනා තුළින් කටයුතු කිරීම ප්‍රජාවන් දෙකේම යහපත සඳහා වනු ඇත.

1 https://www.colombotelegraph.com/index.php/was-the-presidential-election-free-and-fair-when-colombo-returning-officer-called-sajith-premadasa-the-son-of-a-donkey-asks-prof-hoole/

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...